විදුලිබල ප්‍රතිසංස්කරන පනත් කෙටුම්පතට (ඊආර්බී) එරෙහි සටන සාකච්ඡා කිරීමේ ප්‍රකාශිත අරමුන ඇතිව, ලංකා විදුලිබල මන්ඩලයේ (ලංවිම) ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය (ජේටීයූඒ) මැයි 7 වැනි දින කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී සම්මන්ත්‍රනයක් පවත්වන ලදී. කෙසේ වෙතත්, සම්මන්ත්‍රනය, වෘත්තීය සමිති නායකයින් මෙම පනතට එරෙහිව කම්කරුවන් බලමුලු ගැන්වීමේ නොහැකියාව අවධාරනය කරන සිද්ධියක් බවට පත් විය.
රැස්වීම පැවැත්වුනේ, අප්‍රේල් 25 දින, උක්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව යි. මැයි 13 වන දින පාර්ලිමේන්තු සාකච්ඡාවකදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර 'ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීම දිගටම කරගෙන යනු ඇති' බව නැවත අවධාරනය කලේය.
ප්‍රතිසංස්කරන පනත් කෙටුම්පතට අනුව ලංවිම වෙනම සමාගම් 10 කට බෙදා වෙන්කරනු ඇත. විදුලිබල මන්ඩලයේ 'ක්‍රියාකාරකම් කොටස් වලට කඩා වෙන් කිරීම හරහා පවත්නා ආයතනික රාමුව ප්‍රතිසංස්කරන කිරීමට සැලසුම් කර ඇත්තේ, විදුලිබල කර්මාන්තයට නව ආයෝජන ආකර්ෂනය කර ගැනීමට' බව පනත් කෙටුම්පත පවසයි.
මේ අනුව, ප්‍රතිව්‍යුහගත කිරීම යනු, පුද්ගලික කලමනාකරනය සහ ආයෝජන සමඟ පුද්ගලීකරනය හෝ වානිජකරනය සඳහා වන පලමු පියවරයි. මෙය කම්කරුවන් 23,000 කට වැඩි පිරිසකගේ රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි වලට බලපානු ඇත.
මැයි 07 සම්මන්ත්‍රනය අසාර්ථක විය. දුසිමකට ආසන්න ලංවිම වෘත්තීය සමිති නායකයින්ට අමතරව වෙනත් අංශවල වෘත්තීය සමිති කිහිපයක් සහ සිවිල් සංවිධාන යැයි කියාගන්නා පිරිස් මෙම අවස්ථාවට එක්ව සිටියහ. නමුත් ප්‍රේක්ෂකාගාරයේ සිටියේ 75 කට අඩු පිරිසකි.
සැලකිය යුතු කරුනක් වන්නේ, විදුලිබල මන්ඩලයෙන් හෝ සාමාන්‍ය කම්කරුවෙකු සහභාගි නොවීමයි. ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන ලද රනිල් වික්‍රමසිංහ ආන්ඩුවේ ම්ලේච්ඡ කප්පාදු වැඩපිලිවෙලට එරෙහි සටනට ලංවිම හා අනෙකුත් අංශවල සේවකයින් උනන්දු නොවන නිසා නොවේ.
ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව පසුගිය මාස කිහිපය තුල කම්කරුවෝ නොයෙකුත් විරෝධතා ක්‍රියාමාර්ග සඳහා ඉදිරිපත් වූහ. වෘත්තීය සමිති නායකයින් මෙම විරෝධතා කැඳවූයේ, ආන්ඩුවට වඩ වඩාත් පීඩනය යෙදීමෙන් එහි ප්‍රතිපත්ති වෙනස් කල හැකිය යන මිත්‍යාව වපුරමිනි. නමුත්, එම විරෝධතා නොසලකා හරිමින් ආන්ඩුව ප්‍රහාරය ඉදිරියටම ගෙනයමින් සිටී. ආන්ඩුවට පීඩනය යෙදීමේ සමිති පිලිවෙතෙහි බංකොලොත්භාවය අත්දැකීමෙන් අවබෝධ කර ගන්නා කම්කරුවන්, එම පිලිවෙතම තොරොම්බල් කරන ඊනියා සම්මන්ත්‍රන කෙරෙහි දක්වන්නේ අවම උනන්දුවකි. මේ තත්වය තුල කම්කරුවන් මෙම රැස්වීමට නොපැමිනීම පුදුමයක් නොවේ.
මෙම තත්වයට මූලික වශයෙන් වගකිවයුතු සමිති නායකයන්ගෙන් කෙනෙකු වන, ලංකා විදුලි සේවක සංගමයේ (සීඊඩබ්ලිව්යූ) ප්‍රධාන ලේකම් සහ ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායකයෙකු වන රංජන් ජයලාල්, කම්කරුවන්ගේ උද්යෝගය හීනවීම සම්බන්ධයෙන් ඔවුන්ටම දොස් පවරමින් මෙසේ පැවසීය: 'අපි දන්නවා, අපේ ආයතනයේ සහ වෘත්තීය සමිතිවල අපේ සාමාජිකයන් සිනාසෙමින් කතා කලත්, ඔවුන් ඇවිදින මලකඳන් බවට පත් වෙලා තියෙන්නෙ කියලා.'
ලංවිම සේවකයින් 'ඇවිදින මලකඳන්' බවට පත්ව ඇතැයි ජයලාල් විසින් කරන ලද මඩ ප්‍රකාශය සියලු කම්කරුවන් විසින් පිලිකුලෙන් හෙලා දැකිය යුතුය. ඔහුගේ නරුම ප්‍රකාශයට ප්‍රතිවිරුද්ධව, මෙම සේවකයින් ආන්ඩුවේ කම්කරු පන්ති විරෝධී ප්‍රතිසංස්කරනවලට එරෙහිව සටන් කිරීමට ඇති සූදානම යලි යලිත් පෙන්නුම් කර ඇත.
ඔවුන් ජනවාරි 3 සිට 5 දක්වා දින තුනේ විරෝධතා ව්‍යාපාරයක යෙදී ගත්තේ, ජනාධිපති වික්‍රමසිංහ විසින් ලංවිම 'අත්‍යවශ්‍ය සේවාවක්' බවට ප්‍රකාශයට පත්කර තිබියදී ය. 'අත්‍යවශ්‍ය සේවා' විධිවිධාන යටතේ වැඩවර්ජන ඇතුලු කාර්මික ක්‍රියාවන් තහනම් කෙරෙන අතර, එහි රෙගුලාසි උල්ලංඝනය කලහොත් දැඩි දඬුවම් වලට යටත් කල හැක. රැකියාවලින් නෙරපා හැරීම, අධිකරනය මගින් දඩ නියම කිරීම, අත්අඩංගුවට ගැනීම සහ සිර දඬුවම් නියම කිරීම, දේපල රාජසන්තක කිරීම සහ රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ අනාගත රැකියා සඳහා අසාදු ලේඛනගත කිරීම ආදිය එම දඬුවම් වලට ඇතුලත් ය.
ලංවිම සේවකයන් 62 දෙනෙකුගේ වැඩ තහනම් කරමින් ආන්ඩුව මර්දනය ආරම්භ කලේය. රාජ්‍ය දඩයම, මර්දනය සහ ජාමූඅ කප්පාදු පරාජය කරනුවස්, ලංවිම සේවකයින් පමනක් නොව සමස්තයක් ලෙස කම්කරු පන්තිය බලමුලු ගන්වාගත් දේශපාලන ප්‍රතිප්‍රහාරයක් සංවිධානය කිරීමට සමාජවාදී සමානතා පක්ෂය කැඳවුම් කලේය. කෙසේ වෙතත්, වෘත්තීය සමිති එවැනි බලමුලු ගැන්වීමක් වලක්වමින්, මර්දනයට නියෝග කල ආන්ඩුවටම, අත්හිටුවන ලද සේවකයින් යලි සේවයේ පිහිටුවන ලෙසට නිෂ්ඵල ආයාචනා කරමින්, අධිකරනමය මැදිහත්වීමක් ඉල්ලා සිටියේය.
ජයලාල්ගේ සහ ජවිපෙ හි ස්ථාවරය වන්නේ ජාමූඅ කප්පාදුවට එරෙහිව කවර හෝ සටනක් සංවිධානය නොකිරීමයි. අප්‍රේල් 25 වැනිදා, විදුලි සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල දිනයේ පාර්ලිමේන්තු වටරවුම අසල පැවති විරෝධතාවයේදී ඔහු එම අදහස් පැහැදිලිව සඳහන් කලේය.
ඔහු මෙසේ පැවසීය: “ලංවිම යනු අසමසම ආයතනයක්. අපි විසින්ම දුක් විඳිමින් වුනත් දැඩි පියවරක් ගැනීමට අපි දෙවරක් සිතිය යුතුයි. අපි 1996 න් පස්සේ වැඩ වර්ජනවලට ගිහිල්ලා නැහැ. ...........සෞඛ්‍ය සේවකයින් වර්ජනය කලොත් රෝගීන් පීඩාවට පත් වෙනවා, දුම්රිය සේවකයින් වර්ජනය කලොත් මගීන් පීඩාවට පත් වෙනවා. ලංවිම සේවකයින් වර්ජනය කලොත් මුලු රටම අඳුරේ බවත්, මිලියන 20 ක ජනතාවක් පීඩාවට පත්වන බවත් අපි දන්නවා.'
ජයලාල්ගේ තර්කයට අනුව, මහජනතාව පීඩාවක් නොමැතිව වර්ජනයක් දියත් කල හැකි කවර හෝ ක්ෂේත්‍රයක් නොමැත. එබැවින්, කවර ක්ෂේත්‍රයක හෝ කම්කරුවන් වර්ජනය කිරීමෙන් වැලකී සිටිය යුතුය.
මේ වනාහි, තම ඉල්ලීම් දිනාගනුවස් වැඩවර්ජන ඇතුලු කාර්මික ක්‍රියාවන්හි නිරත වීම සඳහා කම්කරු පංතිය සතු ප්‍රජාතන්ත්‍රීය අයිතියට එරෙහිව ධනපති පාලක පංතිය විසින් චිරකාලීනව තොරොම්බල් කරන කුතර්කය යි. බලයට පැමිනියහොත් ජාමූඅ හි කප්පාදු ඉදිරියටම ගෙන යාමට කැප වී සිටින ධනපති පක්ෂයක් වන ජවිපෙ, එම තර්කය කම්කරු පංතියට එරෙහිව ලෙලවන්නේ බලයට පැමිනීමටත් පෙරය. ජයලාල්ගේ ප්‍රකාශය, ඔවුන් බලයට පැමිනියහොත් එය කෙතරම් රුදුරු ආකාරයෙන් යොදාගනු ඇත්ද යන්න පිලිබඳ පෙර ඇඟවුමකි.
පනත සම්මත වුවද එය ක්‍රියාත්මක කිරීමට මාස හයක් ගත වන බව සඳහන් කරමින් ජයලාල් මෙසේ පැවසීය: “මාස හයක් කියන්නේ නොවැම්බර්, ඊට පස්සේ රනිල් නැහැ, කාංචන නැහැ, ආන්ඩුවක් නැහැ.” ඔහු වක්‍රව කියා සිටින්නේ, නොවැම්බරයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරනයෙන්, ජවිපෙ නායකත්වය දෙන ජාතික ජන බලවේගය බලයට පැමින සියල්ල විසඳන බවයි.
පන්ති අරගල අවහිර කරමින්, කම්කරු පන්තිය මැතිවරන හා පාර්ලිමේන්තු රාමුව තුල කොටු කිරීම ජවිපෙ සහ එහි වෘත්තීය සමිතිවල ප්‍රයත්නය යි. කම්කරු පන්තිය, තම පන්ති අවශ්‍යතා ධනේශ්වර පක්ෂවලට යටත් කිරීමේ මෙම ද්‍රෝහී ක්‍රියාව ප්‍රතික්ෂේප කල යුතුය.
ජයලාල්ට අමතරව සම්මන්ත්‍රනයේ අනෙකුත් කථිකයන් අතර, ලංවිම ඉංජිනේරු සංගම් නියෝජනය කරන ඒකාබද්ධ සභාපති නන්දන උදයකුමාර ද විය. ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) සහ එහි වෘත්තීය සමිති අරගල මධ්‍යස්ථානයේ නායකයෙකු වන දුමින්ද නාගමුව ද සම්මන්ත්‍රනය ඇමතීය.
කෙසේ වෙතත්, විදුලිබල මන්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව සටන් කරන්නේ කෙසේද යන්න පිලිබඳව කිසිදු සාකච්ඡාවක් සිදු නොවීය. ඒ වෙනුවට සියලුම වෘත්තීය සමිති නායකයින් සෘජුව හෝ වක්‍රව පෙන්වා දුන්නේ විදුලි සේවකයින් අරගලයකට බලමුලු ගැන්වීමට තමන් සූදානම් නැති බවයි.
තාක්ෂන ඉංජිනේරු සහ වැඩ පරිපාලක සංගම් නායක උදයකුමාර වැනි ලංවිම අනෙකුත් වෘත්තීය සමිති නායකයින් 'ප්‍රතිව්‍යුහගත කිරීමේ' සාධනීය ගුනය ගැන තර්ක කලහ. බොහෝ රටවල විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කර ඇති බව පැවසූ ඔහු, “... ලංවිම සේවකයන් 22,000 ක් පුහුනු අය බැවින් ඔවුන් රැකියා අර්බුදයකට මුහුන නොදෙන බව” කීවේය.
එක් හෝ තවත් ආකාරයකින්, වික්‍රමසිංහ තන්ත්‍රයේ ක්‍රියාමාර්ගය සමඟ වෘත්තීය සමිති නායකත්වයේ පෙලගැස්ම එසේ ය. වින්දිත සේවකයින් 62 දෙනා පිලිබඳව කිසිදු කථිකයෙකු වචනයක් හෝ ප්‍රකාශ නොකර, ඔවුන් ආන්ඩුවේ දයානුකම්පාව යටතට පත් කිරීම විශේෂත්වයකි.
ජේටීයූඒ නායකයින්ට වාම ආවරනයක් සැපයීම සඳහා වේදිකාගතවූ ව්‍යාජ වාම පෙසප නායක නාගමුව කියා සිටියේ, “වෘත්තීය සමිති ව්‍යාපාරය කරමින් සිටින්නේ, සර්පයාගේ හිසට පහර නොදී වලිගය අල්ලනවා වගේ වැඩක්' බවයි. 'සර්පයා' සහ “සර්පයාගේ හිස' කුමක්දැයි පැහැදිලි නොකල ඔහු, “සර්පයාගේ හිස' ට පහර දීමේ” මාධ්‍යයක් ලෙස “සති දෙක තුනක් ඇතුලත ජාතික ක්‍රියාමාර්ගයක්” සූදානම් කරන ලෙස වෘත්තීය සමිති නිලධරයන්ගෙන් අයැද සිටියේය.
කම්කරුවන් අතර වේගයෙන් වැඩෙන විරෝධය හමුවේ, එවන් විරෝධතා සංවිධානය නොකරන්නේ නම්, එම විරෝධය වෘත්තීය සමිතිවල පාලනයෙන් මිදී යනු ඇතැයි ව්‍යාජ වම්මු බියපත්ව සිටිති.
කම්කරු ක්‍රියාකාරී කමිටු (ශ්‍රී ලංකාව) සාමූහිකය (සීඩබ්ලිව්ඒසී) මාර්තු 5 වැනිදා නිකුත් කල ප්‍රකාශයක, වෘත්තීය සමිතිවල මෙම ද්‍රෝහී භූමිකාවට විපරීතව කම්කරු පංතිය ගතයුතු ක්‍රියාමාර්ගය මෙසේ පැහැදිලි කලේය:
'පන්ති අරගලය අතහැර දැමීමේ මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසත්, අරගලය තම අතට ගැනීමට වෘත්තීය සමිති හා ධනපති පක්ෂවලින් ස්වාධීනව සෑම වැඩපලකම තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙසත්, සීඩබ්ලිව්ඒසී ය කම්කරුවන් උනන්දු කර සිටී.
“අත්හිටු වූ සියලුම ලංවිම සේවකයින් වහාම සහ කොන්දේසි විරහිතව නැවත සේවයේ පිහිටුවනු! ඔවුන් ආරක්ෂා කිරීම සඳහා මහා වැඩ වර්ජනයක් සූදානම් කිරීම ඇතුලුව කාර්මික ක්‍රියා සඳහා කැඳවුම් කරමු. ඊපීඑස්ඒ සහ අනෙකුත් මර්දන නීති ඉවත් කරන ලෙස කම්කරුවන් බලකර සිටිය යුතුය.
“මෙම අරගලය පහත ඉල්ලීම් සමග සම්බන්ධ කල යුතුය: පුද්ගලීකරනය හෝ කිසිදු ප්‍රතිව්‍යුහගත කිරීමක් එපා! සියලුම රජය සතු ව්‍යයසායයන් කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් කරනු! විදේශ නය ආපසු ගෙවීම එපා!”
එසේම මෙම අරගලයේදී ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙත හැරෙන ලෙස සීඩබ්ලිව්ඒසී කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.
කම්කරුවන් විසින් ගත යුතු අරගලය මෙයයි. මෙම වැඩසටහන සාකච්ඡා කිරීමට අප හා සම්බන්ධ වන ලෙස අපි කම්කරුවන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු.