ශ්‍රී ලංකාව: යුක්‍රේන සමාජවාදී බොග්ඩාන් සයිරෝටියුක් වහා නිදහස් කරන ලෙස බල කරන ප්‍රකාශයන්

[මෙය Sri Lanka: Statements demanding the immediate release of Ukrainian socialist Bogdan Syrotiuk යන මැයෙන් 2024 මැයි 27 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

යුක්‍රේනයේ ආරක්ෂක සේවා විසින් අත්අඩංගුවට ගෙන රඳවා සිටින යුක්‍රේනයේ බොල්ෂෙවික් ලෙනින්වාදීන්ගේ තරුන රැකවල (වයිජීබීඑල්) හි නායක බොග්ඩාන් සයිරොටියුක් සහෝදරයා පිලිබඳව, ශ්‍රී ලංකාවේ ශාස්ත්‍රාලිකයෙකු, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු සහ ප්‍රසිද්ධ කලාකරුවන් කිහිප දෙනෙකු විසින් නිකුත් කරන ලද ප්‍රකාශ පහතින් පල කරන්නෙමු. මෙම ප්‍රකාශයන්, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) විසින් ආරම්භ කරන ලද ගෝලීය ව්‍යාපාරයට දක්වන ලද ප්‍රතිචාර වේ.

බොග්ඩාන් රුසියාවේ පුටින් පාලන තන්ත්‍රයේ ඒජන්තයෙකු බවට වන බොරු චෝදනා මත, අප්‍රේල් 25 වන දින, ෆැසිස්ට් සෙලෙන්ස්කි තන්ත්‍රයේ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිරගත කරන ලදී. මෙම අත්අඩංගුවට ගැනීමේ සැබෑ හේතුව වන්නේ, ඔහු රුසියාවට සහ ඊට සම්බන්ධ සියලුම ආන්ඩුවලට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධයට එරෙහිව සමාජවාදී වැඩපිලිවෙලක් මත යුක්‍රේන හා රුසියානු කම්කරුවන් එක්සත් කිරීමට සටන් කිරීම යි. හජාජාක අන්තර්ජාල පෙත්සමට මෙතැනින් අත්සන් කරන ලෙස අපි සියලු පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.

කොලඹ පදනම් වූ ඩේලි මිරර් හි ජාත්‍යන්තර කටයුතු විශ්ලේෂක සහ ගෝලීය යුක්තිය සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින අමීන් ඉසඩීන්:

මම, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු සහ ගෝලීය යුක්තිය සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින්නෙකු වශයෙන්, දැනට දකුනු යුක්‍රේනයේ නිකොලෙව්හි අධි ආරක්ෂිත බන්ධනාගාරයක රඳවා සිටින බොල්ෂෙවික්-ලෙනින්වාදීන්ගේ තරුන රැකවල (වයිජීබීඑල්) හි නායක බොග්ඩාන් සයිරොටියුක් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ලොව පුරා විරෝධයක් ඉල්ලා සිටිමි.

ව්‍යාජ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගැනීම, යුක්‍රේනය තුල වේගයෙන් හැකිලෙමින් පවතින ප්‍රකාශනයේ නිදහස සහ සමාජවාදී දේශපාලන අදහස් සඳහා වන දේශපාලන අවකාශය පිලිබඳ බරපතල උත්සුකයන් මතු කරයි. ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරන දින නියමයක් නොමැතිව කල්දැමීම සමග එක්ව ගත්කල, බරපතල රාජද්‍රෝහී චෝදනා මත සයිරොටියුක් අත්අඩංගුවට ගැනීම, යුක්‍රේනය දක්ෂිනාංශික අන්තවාදයට ඇද වැටීමක් ද සංඥා කරයි.

අමීන් ඉසාඩීන්

සයිරොටියුක් අත්අඩංගුවට ගැනීම සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී විසම්මුතිය නිහඬ කිරීමේ උත්සාහයකි. පාලන තන්ත්‍රය විවේචනය කරන අදහස් පල කරන්නන් තොරතුරු ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වමින් ත්‍රස්තවාදී ලේබල් ගැසීමට යුක්‍රේන ආන්ඩුව දරන උත්සාහය ද මම දැඩි කනස්සල්ලෙන් යුතුව සටහන් කරමි.

සයිරොටියුක්ට එරෙහි චෝදනාවලට සහාය සඳහා යුක්‍රේන බලධාරීන් ලෝසවෙඅ වෙත ඔහුගේ දායකත්වය උපුටා දක්වා ඇත. ලෝසවෙඅ රුසියානු ප්‍රචාරක බිහිදොරක් බවට ලේබල් කරන යුක්‍රේන තන්ත්‍රයේ පදනම් විරහිත ප්‍රකාශ තිබියදීත්, ලෝසවෙඅ ක්‍රියාත්මක වන්නේ ද එක්සත් ජනපදයේ සිට බව සැලකිල්ලට ගැනීම වැදගත් ය. එහි පුලුල් පාඨක සංඛ්‍යාව සහ සාමයට ලැදි ක්‍රියාකාරීත්වයත්, ස්වාධීන පුවත්පත් කලාව සඳහා ඇති කැපවීමත්, යුක්ති සහගත ලෙස රුසියානු හිතවාදී ප්‍රචාරනයක් ලෙස වර්ගීකරනය කල නොහැක.

මාධ්‍ය නිදහස වෙනුවෙන් ක්‍රියාකාරිකයෙකු ලෙස, තරුන දේශපාලන නායකයා අත්අඩංගුවට ගැනීමට එරෙහිව වර්ධනය වන ගෝලීය හෙලාදැකීමට මගේ හඬ එකතු කරන අතර ඔහු වහාම නිදහස් කරන ලෙස බලකර සිටිමි.

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමුදු වලාකුලුගේ:

ෆැසිස්ට් සෙලෙන්ස්කි තන්ත්‍රයේ සහ නැටෝ-ලෝක ව්‍යාප්ත ධනේශ්වර අධිරාජ්‍යවාදී-නායකත්වයෙන් යුත් යුක්‍රේන-රුසියා යුද්ධයේ හතුරෙකු වන බොග්ඩාන් සයිරොටියුක් යුක්‍රේනයේ ආරක්ෂක සේවය (එස්බීයූ) විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සුමුදු වලාකුලුගේ

යුක්‍රේනයේ භෞමික අඛන්ඩතාව කඩාකප්පල් කිරීම සහ රුසියාවේ අවශ්‍යතා සඳහා සේවය කිරීම යන වංචනික චෝදනා මත බොග්ඩාන් අත්අඩංගුවට ගනු ලැබීය. ලේවැකි අධිරාජ්‍යවාදී යුද්ධයේ සියලු සැබෑ විරුද්ධවාදීන්ට එරෙහිව ෆැසිස්ට්වාදී සහ වර්ගවාදී පාලන තන්ත්‍ර විසින් මෙවැනි නිර්ලජ්ජිත චෝදනා එල්ල කිරීම ඉතිහාසය පුරා සාමාන්‍ය දෙයකි. ආරම්භයේ සිටම, බොග්ඩාන් එක්සත් ජනපදය ප්‍රමුඛ නැටෝවට, සෙලෙන්ස්කි පරිපාලනයට සහ ව්‍යාකූල මොස්කව් පාලනයට එරෙහිව සටන් කර ඇත.

නැටෝ-සෙලෙන්ස්කි සන්ධානයේ කොටසක් ලෙස සංවිධානය වූවා වියහැකි එස්බීයූව විසින් බොග්ඩාන්ට එරෙහිව ගොතන ලද බොරු චෝදනා, ඔහු සහ ලෝසවෙඅ රුසියානු ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රචාරකයින් බව ව්‍යාජ ලෙස කියාපායි.

හජාජාක සහ එහි ප්‍රසිද්ධ මාධ්‍යය වන ලෝසවෙඅ ද ඇතුලු සමාජවාදී විරුද්ධත්වයට එරෙහි ඔවුන්ගේ බියගුලු යුද ප්‍රකාශය සඳහා සෙලෙන්ස්කි තන්ත්‍රය විසින් මෙම ජවනිකාව යොදාගෙන ඇත. මෙම සිදුවී ඇත්තේ, බටහිර ධනවාදය සහ සෙලෙන්ස්කිගේ රූකඩ තන්ත්‍රය විසින් කුපිත කරන ලද යුද්ධයට එරෙහිව නැගී එන යුක්‍රේන කම්කරු පන්තියේ සහයෝගීතාවය මධ්‍යයේ ය. එය පෙන්නුම් කරන්නේ, සෙලෙන්ස්කි තන්ත්‍රය සියලු වාමාංශික ව්‍යාපාර කුරිරු ලෙස මර්දනය කරන බවයි.

කවියෙකු සහ මාක්ස්වාදී කලා විචාරකයෙකු වන දර්ශන මේදිස්:

සෙලෙන්ස්කි තන්ත්‍රයේ ෆැසිස්ට් පන්නයේ බලවේග විසින් යුක්‍රේනයේ බොල්ෂෙවික්-ලෙනින්වාදීන්ගේ තරුන රැකවල (වයිජීබීඑල්) හි නායක බොග්ඩාන් සයිරොටියුක් නීච ලෙස අත්අඩංගුවට ගෙන පසුව සිරගත කිරීම, මම තරයේ හෙලා දකිමි. ඔහුගේ ඊනියා 'බරපතල රාජද්‍රෝහී' ක්‍රියා හේතුවෙන් මාසයකට පෙර ඔහු රඳවා තබා ගැනීම, අසත්‍ය හා අභූත චෝදනා මත පදනම් වූවකි. ඔහු නිදහස් වීමේ සලකුනක් පවා නොමැතිව, දකුනු යුක්‍රේනයේ අධි ආරක්‍ෂිත බන්ධනාගාරයක කුරිරු තත්වයන් යටතේ රඳවා සිටින බව වාර්තා සනාථ කරයි.

දර්ශන මේදිස්

යුක්‍රේනයේ බොල්ශෙවික්-ලෙනින්වාදී යං ගාඩ් සංවිධානයේ (වයිජීබීඑල්) නායක බොග්ඩාන් සයිරොටියුක් සෙලෙන්ස්කි ආන්ඩුවේ ෆැසිස්ට් පන්නයේ මැර හමුදාව විසින් නොමනා ලෙස අත්අඩංගුවට ගනු ලැබ සිරගත කිරීම මම තරයේ හෙලා දකිමි. “ඉහල මට්ටමේ ද්‍රෝහිත්වය පිලිබඳ වරදකාරී හැඟීම” යන සාවද්‍ය වූත් විකාරරූපී වූත් චෝදනා යටතේ මසකට පෙර එම රඳවා ගැනුම සිදු වූ අතර ඔහු නිදහස් කිරීමේ ලකුනකුදු මෙතෙක් පෙනෙන්ට නැත. දකුනු යුක්‍රේනයේ අධි ආරක්ෂක බන්ධනාගාරයක කුරිරු තතු මධ්‍යයේ ඔහු රඳවනු ලැබ ඇතැයි වාර්තා වෙයි.

බොග්ඩාන් සහෝදරයා හුදු කේවල ඉලක්කයක් නොව වයිජීබීඑල් සංවිධානයට හා එහි දේශපාලනික සන්ධානයන්ට එරෙහි රාජ්‍ය උගුලක ගොදුරක් බව පැහැදිලි ය. වයිජීබීඑල් වනාහි, ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට ( හජාජාක) අනුබද්ධව යුක්‍රේනයෙහි මතු නොව රුසියාව හා නැගෙනහිර යුරෝපය තුල ද ක්‍රියාත්මක වන සංවිධානයකි. හජජාක යනු, එක් පසකින්, අධිරාජ්‍යවාදය හා එහි රූකඩයන්ට ද, අනික් පසින් ව්‍යාජ වම්මුන්ට ද එරෙහිව සටන් වදින ලොව එක ම වත්මන් මාක්ස්වාදී බලවේගය බැව් ප්‍රකට කරුනකි. එය, රුසියාවේ පුටින් තන්ත්‍රයේ යුක්‍රේන ආක්‍රමනයට විරුද්ධ වන අතර ම අමෙරිකනු-නැටෝ පිටුබලය ලබන සෙලෙන්ස්කි ආන්ඩුවට ද එරෙහි වෙයි. මේ දෙපිරිස ම රුසියානු හා යුක්‍රේන කම්කරුවන් අතර සමගියක් අපේක්ෂා නොකරති. බොග්ඩාන් ඉලක්ක කර ගැනුමේ සැබෑ අවශ්‍යතාව පවතිනුයේ මෙහි ය.

පාලක පන්තීන්ගේ යුද මෙහෙයුම්වල සමාජවාදී හා ජාත්‍යන්තරවාදී එදිරිවාදියෙකු වන බොග්ඩාන් සහෝදරයා සහ ඔහුගේ වයිජීබීඑල් සංවිධානය යෙදී ගත් මෑත ක්‍රියාකාරකම් මගින් පෙනී යනුයේ යුද්ධයෙන් බැට කන ජනතාව අතර යථොක්ත මාක්ස්වාදී මාවත ජනප්‍රිය වෙමින් පවතින බව යි. මේ තතු ප්‍රගාඪ සත්‍යයක් හෙලිදරව් කරයි: ලෙනින්ගේ අභාවයත් මාරාන්තික කායික ප්‍රහාර ඇතුලු මොනයම් දේශපාලන පරිපීඩනයන්ට මුහුන පෑව ද, පැරනි සෝවියට් සංගම් රාජ්‍යයන් තුල ට්‍රොට්ස්කිවාදය මියැදී නැති බව සහ එය පහසුවෙන් විනාශ කල නොහැකි බව යි. ධනවාදය සදහට ම භූතලයෙන් අතුගා දැමෙන තුරු එය තම හිස සෘජුව තබාගෙන සිය වගකීම ඉටු කරනු ඇත.

වයිජීබීඑල් සංවිධානය හා එහි දේශපාලනික සන්ධානයන්ට එරෙහි දේශපාලනික හිරිහැර නතර කරන ලෙස ද, බොග්ඩාන් සයිරොටියුක් සහෝදරයා කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ද, හජාජාක ට සහ එහි මධ්‍යම හඬ වන ලෝක සමාජවාදී වෙබ් අඩවියට අත නොතබන ලෙස ද, මම දෘඩතරව ඉල්ලා සිටිමි.

සම්මානලාභී සිනමාකරුවෙකු සහ ගුවන් විදුලි නාට්‍ය රචකයෙකු වන මාලක දේවප්‍රිය:

යුක්‍රේනයේ සෙලෙන්ස්කි තන්ත්‍රය යුක්‍රේන යුද්ධයට විරුද්ධ යුද විරෝධී ක්‍රියාකාරීන් ක්‍රෙම්ලිනයට පක්ෂපාතී බවට අභූත චෝදනාවක් එල්ල කර ඇත. මෙම දුෂ්ට චෝදනා ඉවත දමමින්, සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත යුද්ධයට විරුද්ධ වන බොග්ඩාන් සයිරොටියුක් අත්අඩංගුවට ගෙන රුසියානු ගැති ලේබලය අලවා ඇත. මෙය යුක්‍රේනයේ යුද විරෝධී ක්‍රියාකාරීන් මුහුන දෙන ඉරනම පිලිබඳ බරපතල සාක්ෂියක් බව මම සිතමි. කලාකරුවෙකු ලෙස, මෙම තරුන සමාජවාදී සටන්කාමියා නිදහස් කිරීම සඳහා හජාජාක විසින් ගෙන යන ජාත්‍යන්තර උද්ඝෝෂනයට මගේ පූර්න සහයෝගය ප්‍රකාශ කරන අතර ඔහු වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමි.

මාලක දේවප්‍රිය:

ලොව පුරා සිටින කලාකරුවන් යුද ගැති ස්ථාවරයක් ප්‍රකාශ නොකරන බව මම සිතමි. අපට පෙනෙන්නේ, ශ්‍රී ලංකාවේත් ජාත්‍යන්තරවත් විවිධ ගැටුම් ඇති වීමත් සමඟ මිනිස් ජීවිත හා දේපල විනාශ වූ බෙදුනු සමාජ වටපිටාවකි. රුසියානු ජනතාව දුප්පත්කමට, රාජ්‍ය දේපල කොල්ලකෑම්වලට, යුද්ධයට සහ වෙනත් ව්‍යසනවලට ගොදුරු වී ඇති ආකාරය, සෝවියට් සංගමය විසුරුවා හැර ධනවාදය ප්‍රතිෂ්ඨාපනය කිරීමෙන් පසු ඇති වූ පාලන තන්ත්‍රයන් තුල අපට දැකගත හැකිය. රුසියානු-යුක්‍රේන යුද්ධයේ පිපිරීම 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීම සමග සමීපව බැඳී ඇත.

ධනවාදයේ පරස්පර විරෝධතා වැනි යුද්ධයට තුඩු දෙන ද්‍රව්‍යමය සාධක පිලිබඳවත්, යුක්‍රේන යුද්ධය සහ ඊශ්‍රායලයේ පලස්තීන විරෝධී ජන සංහාරය තුන්වන ලෝක යුද්ධයක් දක්වා වර්ධනය වීමේ සැබෑ තර්ජනයක් පවතින බව පිලිබඳවත් මහජනතාවට නිවැරදි අවබෝධයක් තිබිය යුතුය. ඒ අතරම, යුද්ධවලදී බිලිගත් මිනිස් ජීවිත පිලිබඳ ඓතිහාසික අත්දැකීම් අප සතුව ඇත. දෙවන ලෝක සංග්‍රාමයේදී මිලියන ගනනකගේ ජීවිත අහිමි වූ අතර අපි ද, දශක තුනක් පුරා දිව ගිය, ජීවිත ලක්ෂයකට වඩා බිලිගත් වර්ගවාදී යුද්ධයක් ශ්‍රී ලංකාව තුල අත්වින්දෙමු.

චිත්‍ර ශිල්පියෙකු වන සුජිත් රත්නායක:

යුක්‍රේන තන්ත්‍රය අත්තනෝමතික ලෙස බොග්ඩාන් සයිරෝටියුක් අත්අඩංගුවට ගෙන ඇත්තේ, මරා දමන කම්කරුවන් හා තරුනයන් වෙනුවෙන් ඔහු යුද්ධයට එරෙහිව සටන් කරන බැවිනි. ඔහු සමාජවාදය මත පදනම් ව සිටී. යුද මානසිකත්වයක් ඇති පරිසරයක විරුද්ධත්වයට ඉඩක් නැති බව සැබෑය. චිත්‍ර ශිල්පියෙකු ලෙස මම බොග්ඩාන් සයිරෝටියුක් අත්අඩංගුවට ගැනීම හෙලා දකිමි; චිත්‍ර ශිල්පියෙකු ලෙස මම බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් හිට්ලර්ට සහ යුද්ධයට එරෙහිව කලා සේ කලාව භාවිතා කරමි.

සුජිත් රත්නායක

යුක්‍රේනය සහ රුසියාව තුල නිකරුනේ ජීවිත අහිමි වන්නේ පීඩිත ජනතාවගේ ය. බ්‍රෙෂ්ට් ප්‍රකාශ කල පරිදි, යුද්ධයක් ආරම්භ වූ විට තිරිංග නොමැත; “හොඳ” යුද්ධ සහ “නරක” යුද්ධ නොමැත. යුද්ධය යනු යුද්ධයයි.

කාටූන් ශිල්පියෙකු සහ රජයේ පාසල් ගුරුවරයෙකු වන වසන්ත විජේසිරි:

යුක්‍රේනයේ සෙලෙන්ස්කි ආන්ඩුව විසින් බොග්ඩාන් සයිරොටියුක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ව්‍යාජ චෝදනා මත බව පැහැදිලිය. මෙය ලෝසවෙඅ ප්‍රකාශයට පත් කරන ලෝක මාක්ස්වාදී ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට, එනම් හජාජාකට එල්ල කරන ප්‍රහාරයක් බව මම සිතමි.

වසන්ත විජේසිරි

මෙම අත් අඩංගුවට ගැනීමේ අරමුන වූයේ, හජාජාක වැඩපිලිවෙල මත යුක්‍රේන හා රුසියානු කම්කරු පන්තිය බලමුලු ගැන්වීම සඳහා මෙම ම්ලේච්ඡ යුද්ධයේ සත්‍ය තත්වය වසන් කිරීමේ ද්වේශසහගත උත්සාහයන්ට එරෙහිව සයිරොටියුක් සහ ඔහුගේ සගයන්ගේ වැදගත් අරගලය වැලැක්වීමයි.

මෙම මර්දනකාරී සහ අත්තනෝමතික අත්අඩංගුවට ගැනීමට හා ධනේශ්වර යුද්ධයට එරෙහිව මහජන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුය. ඇමරිකාවේ ලෝක පර්යායට සහ නැටෝව හරහා කලාපයේ බලය අල්ලා ගැනීමට දරන උත්සාහයට අප විරුද්ධ විය යුතුය. එය හෙලිදරව් කල යුතුය. මේ ආකාරයට අපි බොග්ඩාන් සයිරොටියුක් සහෝදරයාගේ ධනේශ්වර විරෝධී සහ යුද විරෝධී අරගලයට සහයෝගය දිය යුතු ය; මෙම අරගලය සාර්ථක වේවායි මම ප්‍රාර්ථනා කරමි.

Loading