ආන්ඩුව ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමත් සමග විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය තීරනාත්මක මංසන්ධියක: ඉදිරි මාවත කුමක් ද?

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා 2024 මාර්තු 13 වැනි දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවැති විරෝධතාව

මැයි 27දා, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් මන්ඩලය, විශ්වවිද්‍යාල අනධ්‍යයන කම්කරුවන් ඇතුලු රාජ්‍ය අංශයේ සේවකයන් “වැටුප් විෂමතා” ඉවත් කරන ලෙස කර ඇති ඉල්ලීම “මේ වසරේ” විසඳිය නොහැකි බව තීන්දු කර ඇත.

ඉන් පසුවදා, කැබිනට් මන්ඩල තීන්දු ප්‍රකාශයට පත්කිරීමේ මාධ්‍ය සාකච්චාවේ දී ඇමති බන්දුල ගුනවර්ධන සඳහන් කලේ, විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මන්ඩලය, සෞඛ්‍ය අංශ සේවකයන් හා ගුරු වෘත්තිකයන් ඇතුලු රාජ්‍ය ආයතනවල සේවකයන් ඉදිරිපත්කර ඇති “වැටුප් විෂමතා”ඉවත් කිරීමේ ඉල්ලීම් විසඳීමට මේ වසරේ අයවැය ප්‍රතිපාදන නැතිබව ජනාධිපති ප්‍රකාශ කල බවයි. මෙම ඉල්ලීම් විමර්ශනය කිරීමට “විශේෂඥ කමිටුවක්” පත්කිරීමට යෝජනා කල ජනාධිපති, වෘත්තීය සමිති වැඩවර්ජන හා උද්ඝෝෂන නතර කොට එයට තම ඉල්ලීම් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටි බව ගුනවර්ධන කීවේය. 2025 අයවැයේ දී මෙම ඉල්ලීම් විසඳීමට “රජයකට කලහැකි උපරිමය කිරීමට” යෝජනා ඉදිරිපත් කරන බව වික්‍රමසිංහ කියා ඇත.

ඊනියා විසඳුම් අනාගතයට තල්ලු කල මෙම යෝජනා වනාහි අනධ්‍යන හා අනෙකුත් ආන්ඩුවේ සේවකයන් ගේ වැටුප් ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට අඩු දෙයක් නොවේ. මෙබඳු කොමිටි පත්කිරීම බලයේ සිටින ආන්ඩු ප්‍රශ්න යට ගැසීමට හා වෘත්තීය සමිති නායකයන්ට කම්කරු අරගල නතර කිරීමට හේතුවක් ලබාදීමේ උපාමරුවක් ලෙස සැමවිට ම යොදාගෙන තිබේ.

ආන්ඩුව ක්‍රියාකරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දී ඇති නියෝග අනුව මුල්‍ය පාලනය ගෙනයමින්, එහි අනෙකුත් කප්පාදු වැඩපිලිවෙල එකක් නෑර ක්‍රියාවට දැමීමයි. විශේෂයෙන්, ලංකාව ගෙවීම පැහැර හැර ඇති විදේශ නය යලි ගෙවීම සඳහා කොන්දේසි සැකසීමට කම්කරුවන් හා දුගීන් මිරිකා ගැනීම ආන්ඩුවට නියම වී ඇත.

මේ අතර ආන්ඩුව එක් පසෙකින්, විශ්වවිද්‍යාල පරිපාලනය ද මෙහෙයවා ගනිමින් වර්ජිත අනධ්‍යන කම්කරුවන්ට එරෙහි රාජ්‍ය මර්දනය තීව්‍ර කරමින් සිටින අතර, අනෙක් පසින්, ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන බවට චෝදනා කරමින් ඔවුන්ට එරෙහිව මහජනතාව ප්‍රකෝප කිරීමේ ව්‍යායාමයක යෙදී සිටී. ධනපති මාධ්‍ය බිස්ස ආන්ඩුව සමග පූර්න එකඟතාවයෙන් කටයුතු කරයි.

2007 දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිකුත් කල චක්‍රලේඛයකින් විශ්වවිද්‍යාල සේවකයන්ට එරෙහිව ස්ථාපිත කල වැටුප් කැපීම ඇතුලු මර්දන නීති ක්‍රියාත්මක කරන බවටත්, නො එසේනම් නව සේවකයන් බඳවා ගැනීමට පවා සිදුවනු ඇති බවටත් ආන්ඩුව පසුගිය දා තර්ජනය කලේය.

මේ අතර, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක විසින්, වැඩවර්ජනයේ යෙදී සිටින එම විශ්වවිද්‍යාලයේ අනධ්‍යන සේවකයන්ට එරෙහිව මහනුවර දිසා අධිකරනයේ නඩු පැවරීය. මැයි 28 දින විභාගයට ගත් එම නඩුව තාක්ෂනික හේතුවක් නිසා කල්දැමූ නමුත් ජූනි 4 දා යලි කැඳවීමට නියමිතය. වර්ජනයට එරෙහිව රාජ්‍ය මර්දනය කඩාපැන්නවීම එලෙස සූදානම් කෙරේ.

කැබිනෙට්ටුවේ තීන්දුව හා මෙම තර්ජන ගැන විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කොමිටියේ ප්‍රතිචාරය කුමක් ද?

ඩේලි මිරර් පුවත්පතට ප්‍රකාශයක් කල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත සඳහන් කලේ “කැබිනට් මන්ඩලයට ඉල්ලීම් විසඳීමට යෝජනාවක් ඉදිපත්කලත් සතුටුදායක විසඳුමක් ඇමතිවරුන්ගෙන් නොලැබුන” නිසා “සතුටුදායක විසඳුමක්” ලැබෙන තුරු වර්ජනය ගෙනයන බවයි. සතුටුදායක විසඳුමක් ලෙස ඔහු සඳහන් කරන්නේ ඉල්ලීම විසඳන බවට ආන්ඩුව “ප්‍රතිපත්තියක් ” ලෙස එකඟ බව ප්‍රකාශ කිරීමයි.

ප්‍රියන්තගේ සගයා වන ඒකාබද්ධ කමිටුවේ අනෙක් සම සභාපති මංගල ඩබරේරා මැයි 14 වන දින අද දෙරන ප්‍රවෘත්ති විකාශයට දෙන ලද ප්‍රකාශයෙන් එය තහවුරු වෙයි. ඔහු මෙලෙස කියා සිටියේ ය: “2018 ඉඳන් අපි කරපු සාකච්ඡා වල දී අපි කියාසිටියේ අපට මේක ප්‍රතිපත්තිමය වශයෙන් නිවැරදි කරලා දෙන්න කියල. අපි දන්නවා රටේ මූල්‍ය අර්බුදයක් තිබෙනවා, මුදල් ඔබතුමාලා තිබෙන වෙලාවක දෙන්න කියල අපි කිව්වා. කිසිම වෙලාවක අපි කියල නැහැ වැටුප් වැඩිකරන්න කියල.”

අන්‍යධන සේවක සමිති නායකයන්ගේ ඉහත ප්‍රකාශවලින් පැහැදිලි වන්නේ, වර්ජනය නතර කිරීමට කඩතුරාවක් ලෙස ආන්ඩුව තම ඉල්ලීම්වලට 'ප්‍රතිපත්තියක්' හැටියට එකඟ බවට ප්‍රකාශයක් කෙසේ හෝ ලබා ගැනීමේ මංමුලා සහගත උවමනාවෙන් ඔවුන් පසුවන බවයි. 

මෙම ප්‍රකාශ පෙන්නුම් කරන්නේ, ආන්ඩුවට බලපෑම් දමා විසඳුමක් ලබාගත හැකිය යන නිරර්ථක ක්‍රියාවක 13,000ක් වන අනධ්‍යයන සේවකයන් දිගටම සිරකර තබා ඔවුනගේ සටන පාවාදීමට සුදානම් කෙරෙන බව යයි අපි අනතුරු අඟවමු. මෙම සමිති නායකයන් තම සාමාජිකයන්ගේ නියෝජිත රැස්වීමක් හෝ විශ්වවිද්‍යාල ආශ්‍රිත රැස්වීම් හෝ කැඳවා, ඉල්ලීම් දිනාගැනීමට අරගලය ගෙන යන්නේ කෙසේදැයි සාකච්චා කිරීමට අවස්ථාවක් නොදෙන අතර, එමගින් පලල් සාමාජිකත්වය අන්ධකාරයේ තබා ඇත.

අදට දින 30 ඉක්මවා ගොස් ඇති වර්ජනයක නිරතව සිටින අනධ්‍යයන සේවකයෝ, ජනාධිපති විසින් තම ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමත් සමග, තීරනාත්මක මං සන්ධියකට පැමින සිටිති. දැන් ඔවුන් ජීවන වියදමට සරිලන වැටුපක් ඇතුලු සිය අයිතීන් දිනා ගැනීමට සක්‍ය වැඩපිලිවෙලක් මත අරගලය තමන් අතට ගත යුතු ය.

මෙය කල හැක්කේ කෙසේද? තමන් වෙනුවෙන් තීන්දු තීරන ගැනීම් තව දුරටත් සමිති නායකයන් අත නොතැබිය යුතුය. අනධ්‍යන කම්කරුවන්, තීන්දු තීරන ගැනීම තම අතට ගැනීම සඳහා, වෘත්තීය සමිති නිලධරයෙන් ස්වාධීනව හා වෘත්තීය සමිති ද බැඳී සිටින සියලු ධනපති පක්ෂවලින් ස්වාධීනව, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තෝරාපත්කර ගැනෙන ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතුය.

මෙලෙස සංවිධානය වීමෙන් අනධ්‍යයන කම්කරුවන්ට තමන් මෙන් ම ප්‍රහාරයට ලක්ව සිටින අවශේෂ සහෝදර කම්කරුවන් වෙතට හැරී ඔවුන් සමග ජාමුඅ මුර්ග කප්පාදු වැඩපිලිවෙලට එරෙහි ඒකාබද්ධ අරගලයක් සූදානම් කිරීමට මූලිකත්වය ගත හැකි ය.

සෞඛ්‍යය සහ අධ්‍යාපනය ඇතුලු රාජ්‍ය අංශයේ සේවකයන්ගේ උද්ඝෝෂනවලට එරෙහිව වික්‍රමසිංහගේ ඉහත යෝජනාව වලංගු ය. විදුලිබල, ටෙලිකොම්, ඛනිජතෙල්, සහ රක්ෂන ආදී ක්ෂේත්‍රයන්හි කම්කරුවන්, ආන්ඩුවේ පුද්ගලිකරනය ඇතුලුව එම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමෙන් රැකියා, වැටුප් හා සේවා කොන්දේසි කප්පාදුවට මුහු දී සිටිති.

මෙම ආයතනවල, වෘත්තීය සමිති වල භූමිකාව අනධ්‍යන සේවක සමිතිවල භූමිකාවට වෙනස් නැත. කම්කරුවන් අතර නැගෙන විරුද්ධත්වය අපසරනය කිරීමට විරෝධතා සංවිධානය කරන මෙම සමිති ඒවා හුදෙක් ආන්ඩුවට බලපෑම් දමා ඉල්ලීම් දිනාගත හැකිය යන ව්‍යාජ වැඩපිලිවෙලක හිරකර පාවා දී තිබේ. අනධ්‍යන සමිති නායක ඩබරේරා ප්‍රකාශ කලාක් මෙන් මෙම සමිතිවල නායකයන් ද ආන්ඩුව හා ධනපති පන්තිය ආර්ථික අර්බුදයක ගිලි සිටින බව පිලිගත් ධනේශ්වර ගැත්තන් ලෙස ක්‍රියා කරති. මෙම තතු තුල සෑම වැඩපොලකම කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීම හදිසි අවශ්‍යතාවක් ලෙස මතුවී තිබේ.

කම්කරුවන්ගේ නව සංවිධාන රූපයක් ලෙස ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව සමාජවාදී සමානතා පක්ෂයේ අප යලියලිත් අවධාරනය කර තිබේ. අනධ්‍යන සේවකයන් මුහුන දී සිටින තීරනාත්මකභාවය තුල එහි අවශ්‍යතාව යලිත් තහවුරු වී තිබේ.

අනධ්‍යන කම්කරුවන් ඇතුලු සියලු ක්ෂේත්‍රයන්හි කම්කරුවන් විසින් ගොඩනගන එම කමිටු පහත ඉල්ලීම් මත සටන් කල යුතුය:

ඉහලයන ජීවන වියදමට අනුව ඉහලයන වැටුපක් ලබාදෙනු!

ඊනියා ප්‍රතිව්‍යුහකරනයට එරෙහිව, සියලු රාජ්‍ය ව්‍යවසායන් කම්කරු පාලනය යටතට ගෙන එනු!

අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා කප්පාදුව නතර කරනු!

ශිෂ්ට සම්පන්නව ජීවත්විහැකි විශ්‍රාම වැටුප් ක්‍රමයක් සහතික කරනු!

විදේශ නය ආපසු ගෙවීම නතර කරනු!

මෙම අරගලය ඉල්ලා සිටින්නේ ජාමුඅ කප්පාදුවට හා වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහිව දේශපාලන මහා වැඩ වර්ජනයක් සංවිධානය කිරීමයි.

මෙම ඉල්ලීම් සාක්ෂාත් කිරීම, විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කිරීම හා මහා සමාගම්, වතු, බැංකු කම්කරු පාලනය යටතේ ජනසතු කිරීම ඇතුලු සමාජවාදී වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන කම්කරුවන් හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමේ සටන සමග බැඳී පවතී.

ගෝලීය ධනේශ්වර අර්බුදය හමුවේ, සෑම රටකම පාලක පංතීන් විවිධ කප්පාදු හරහා ගෝලීය ධනේශ්වර අර්බුදයේ බර කම්කරු පංතිය මත පටවමින් සිටින අතර එයට එරෙහිව ලොවපුරා පංති අරගල රැල්ලක් වර්ධනය වෙමින් පවතී. ලංකාවේ අනධ්‍යන කම්කරු වර්ජනය ඇතුලු ශ්‍රී ලංකාවේ වැඩෙන පංති ප්‍රතිරෝධය එම ජාත්‍යන්තර අරගල මාලාවේ කොටසකි. ලංකාවේ කම්කරුවන්ට මෙම අරගලය ගෙනයාම සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතුව අවශ්‍ය ය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව මූලිකත්වය ගෙන ගොඩනගන කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය සමග ලංකාවේ ගොඩනගන ක්‍රියාකාරී කමිටු එක්වීම තීරනාත්මක වන්නේ මේ නිසාය.

Loading