වත්මන් ඉන්දියාවේ අසමානතාව බ්‍රිතාන්‍ය පාලනයේ උච්චතම අවස්ථාවට ද වඩා වැඩිය

[මෙය Inequality in India greater today than at the height of the British Raj යන මැයෙන් 2024 අප්‍රේල් 26 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

මිලියන දෙසීයක පමන ජනතාවක් මන්දපෝෂනයෙන් පෙලෙමින් ද තවත් මිලියන සිය ගනනක් කම්කරුවන් සහ ග්‍රාමීය දුගීන් එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීමට අරගල කරමින්ද සිටින ඉන්දියාවේ, ධනවත්ම සියයට 1 හි ආදායම් කොටස ලොව ඕනෑම තැනක ඉහලම ධනවතුන් අතරට නැග තිබේ.

“1922-2023 අතර ඉන්දියාවේ ආදායම් සහ වත්කම් අසමානතාව” යන මැයෙන් මාර්තු මාසයේ ප්‍රකාශයට පත් කරන ලද ඉන්දියාව පිලිබඳ නවතම ලෝක අසමානතා දත්ත සමුදා පත්‍රිකාවට අනුව, ඉන්දියාවේ ඉහලම 1%, දැන් දකුනු අප්‍රිකාව, බ්‍රසීලය සහ එක්සත් ජනපදය ඇතුලු ලෝකයේ වඩාත්ම අසමාන රටවල් ලෙස මෙතෙක් සැලකූ බොහෝ රටවල්වල ඔවුන්ගේ සගයන්ට වඩා ජාතික ආදායමෙන් විශාල කොටසක් ගිල දමයි.

2023 පෙබරවාරි 10 වැනි සිකුරාදා, ඉන්දියාවේ ගුවහාටි නගරයට නුදුරින් පිහිටි පැල්පත් නිවසක ගැහැනු ලමයෙක් සිටගෙන සිටියි. [ඒපී ධායාරූප/අනුපම් නාත්] [AP Photo/Anupam Nath]

වාර්තාව සම්පාදනය කර තිබුනේ, ගෝලීය අසමානතාව පිලිබඳ විද්‍යාගාරයේ (ඩබ්ලිව්අයිඑල්) ආර්ථික විශේෂඥයින් වන නිතින් කුමාර් භාර්තී, ලූකස් චාන්සල්, තෝමස් පිකෙටි සහ අන්මෝල් සෝමන්චි විසිනි. පසුගිය දශක තුන පුරා ඉන්දියාවේ ධනේශ්වර “නැග්මේ” ඵල සම්පූර්නයෙන්ම වාගේ පොදිගසාගෙන ඇත්තේ, ඉන්දියානු ධනේශ්වරය, මධ්‍යම පන්තියේ වඩාත් වරප්‍රසාදිත කොටස් සහ ගෝලීය ප්‍රාග්ධනය විසින් බවත්, ජනගහනයේ බහුතරය අසරනභාවයේ, දරිද්‍රතාවේ සහ ගැඹුරු ආර්ථික අනාරක්ෂිතභාවයේ ගිලී සිටින බවත් එය පෙන්වා දුන්නේ ය.

මෙය--සියල්ලටම වඩා, ඉන්දීය මහා ව්‍යාපාරිකයන්ගේ ප්‍රධාන පක්ෂ වන කොන්ග්‍රස් පක්ෂය සහ 2014 වසරේ සිට අග්‍රාමාත්‍ය ධුරය හොබවන නරේන්ද්‍ර මෝදිගේ හින්දු ස්වෝත්තමවාදී භාරතීය ජනතා පක්ෂය (බීජේපී)යවිසින් මෙහෙයවූ-- සෑම තරාතිරමකම ආන්ඩු සහ සමස්ථ දේශපාලන සංස්ථාපිතය පිලිබඳ චෝදනා පත්‍රයකි.

මාතෘකාවෙන් පෙන්නුම් කරන පරිදි, බ්‍රිතාන්‍ය පදනම් කරගත් ආයෝජකයින්ගේ සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ යුද්ධවල ප්‍රයෝජනය සඳහා ක්‍රමානුකූලව ඉන්දියාව කොල්ලකෑ බ්‍රිතාන්‍ය පාලනයේ උච්චතම අවස්ථාවට වඩා ඉහල මට්ටමේ ආර්ථික අසමානතා මට්ටම්, “ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදය” යැයි කියන සමකාලීන ඉන්දියාවේ ඇති බව, වාර්තාව සොයා ගත්තේය.

2022-23 වසරේදී, ඉන්දියාවේ ජනගහනයෙන් ඉහලම සියයට 1 (හෝ පුද්ගලයන් 9,223,448) 2022-23 දී ජාතික ආදායමෙන් සියයට 22.6 ක් සහ ජාතික වත්කම්වලින් සියයට 40.1 ක් හිමිකරගෙන සිටියේ ය. මෙයට සාපේක්ෂව, ජනගහනයෙන් පහලම සියයට 50 (හෝ වැඩිහිටියන් මිලියන 461 කට වැඩි පිරිසට) හිමිව තිබුනේ ඉන්දියාවේ ජාතික ආදායමෙන් සියයට 15 ක් පමනි. මධ්‍යම සියයට 40 (හෝ වැඩිහිටියන් මිලියන 369 ක් පමන) සියයට 27.3 ක ආදායමක් ලැබුවේ ය. ධනයේ කොටස සම්බන්ධයෙන් ගත් කල, පහල සියයට 50 ට 2022-23 දී සියයට 6.4 ක් පමනක් හිමි වූ අතර මැද සියයට 40 ට සියයට 28.6 ක් හිමි විය.

ආදායම් අසමානතාවයේ විශ්මය ජනක මට්ටම පිලිබඳ හැඟීමක් ලබා දෙමින්, වාර්තාව සඳහන් කරන්නේ, “ඉහලම 1% සාමාන්‍යයෙන් ඉන්දියානු රුපියල් මිලියන 5.3 ක් (එක්සත් ජනපද ඩොලර් 63,580) උපයන අතර, එය ජාතික සාමාන්‍ය අයිඑන්ආර් මිලියන 0.23 මෙන් 23 ගුනයකි. ජනගහනයෙන් පහලම 50% සහ මැද 40% කන්ඩායම සඳහා සාමාන්‍ය ආදායම පිලිවෙලින් රු. 71,000 (එක්සත් ජනපද ඩොලර් 853)ක් හෝ සාමාන්‍ය ජාතික ආදායමේ අගය මෙන් 0.3 ගුනයක් සහ රු. 165,000 ( හෝ සාමාන්‍ය ජාතික අගයට සාපේක්ෂව 0.7ගුනයක්) විය. ධනය බෙදීයාමේ මුදුන්ස්ථානයේ සිටින ධනවත්ම පුද්ගලයන් 10,000 (ඉන්දියානු වැඩිහිටි ජනගහනය මිලියන 920 කි) සාමාන්‍යයෙන් රු.මිලියන 480 (එක්සත් ජනපද ඩොලර් මිලියන 5.7 ක් හෝ සාමාන්‍ය ඉන්දියානු ආදායම මෙන් 2,069 ගුනයක්) උපයති. ධනය බෙදී යාම කෙතරම් විකෘති වී ඇත්ද යන්න පිලිබඳ හැඟීමක් ලබා දෙන්නේ නම්, කෙනෙකු, ඉන්දියාවේ සාමාන්‍ය ආදායම උපයා ගැනීමට ඔහු, 90 වැනි ප්‍රතිශතය ආසන්නයේ සිටිය යුතු ය.”

වාර්තාවේ ඉදිරිපත් කර ඇති ප්‍රධාන සංඛ්‍යා කිහිපයක් පහත දැක්වේ:

*“ෆෝබ්ස් බිලියනපති ශ්‍රේනිගත කිරීම්වලට අනුව, වෙලඳපොල විනිමය අනුපාතිකයේ (එම්ඊආර්) ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන ශුද්ධ වත්කම් ඇති ඉන්දියානුවන්ගේ සංඛ්‍යාව පිලිවෙලින් 1991, 2011 සහ 2022 දී 1 සිට 51 දක්වා 162 දක්වා වැඩි විය. එපමනක් නොව, ඉන්දියාවේ ශුද්ධ ජාතික ආදායමේ කොටසක් ලෙස මෙම පුද්ගලයින්ගේ මුලු ශුද්ධ ධනය 1991 දී සියයට 1 ට අඩු අගයක සිට 2022 දී සියයට 25 දක්වා ඉහල ගියේය. වෙනත් වචන වලින් කිවහොත්, ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයින් 162 දෙනා ඉන්දියාවේ ශුද්ධ ජාතික ආදායමෙන් හතරෙන් එකකට ආසන්න ප්‍රමානයක් හිමි ය.

* “2022-23 දී, ජාතික ආදායමෙන් 22.6% ක් ගියේ ඉහලම 1% වෙත ය, එය 1922 සිට අපගේ වාර්තාගත ශ්‍රේනියේ වාර්තා වූ ඉහලම මට්ටම වන අතර එය අන්තර්-යුද විජිත සමයට ද වඩා ඉහල ය. ඉහලම 1% ධනය කොටස 2022-23 දී 40.1% ක් වූ අතර අපගේ ධන වාර්තාගත ශ්‍රේනිය ආරම්භ වූ 1961 සිට එහි ඉහලම මට්ටම ද වේ.”

* “ ධනවතුන් පිලිබඳ ෆෝබ්ස් වාර්ෂික ලැයිස්තුවට අනුව, (ඇමරිකානු ඩොලර්) බිලියනපති ඉන්දියානුවන්ගේ ඒකාබද්ධ ශුද්ධ ධනය (උද්ධමනය ද සැලකිල්ලට ගත්විට) 2014 සහ 2022 වසරවලදී 280% කින් වැඩි වී ඇති අතර, එම කාල පරිච්ඡේදයේදී ජාතික ආදායමේ වර්ධන වේගය (27.8%) මෙන් 10 ගුනයකි.” මෙහි සඳහන් කාලපරිච්ඡේදය මෝදිගේ නායකත්වයෙන් යුත් බීජේපී ආන්ඩුවේ පලමු වසර අටට අනුරූප වන අතර, එහි ආයෝජක ගැති ප්‍රතිපත්ති කම්කරුවන්ගේ සහ ග්‍රාමීය කම්කරුවන්ගේ වියදමින් සුපිරි ධනවතුන්ට දැවැන්ත ලෙස ප්‍රතිලාභ ලබා දී ඇති ආකාරය මෙලෙස අවධාරනය කෙරෙයි.

1961 දී, ඉන්දියාවේ ජනගහනයෙන් ඉහලම සියයට 10 කගේ ධන කොටස සියයට 45 ක් බව වාර්තාව සොයා ගත්තේ ය. පසුකාලීන දශක දෙක තුල, මෙය බොහෝ දුරට වෙනස් වූයේ නැත; මන්ද, ධන සංකේන්ද්‍රනය “අඩු-හෝ-වැඩි වශයෙන් නැවතීමකට ගෙන ඒමට” හේතුවූ “සමාජවාදී ප්‍රතිපත්තිවල” “උච්චතම” අවස්ථාව මෙය වූ බැවිනි. වාර්තාවේ ගුනාංගීකරනයට පටහැනිව, මෙම කාල පරිච්ඡේදය තුල කොංග්‍රසය ප්‍රමුඛ ඉන්දියානු ආන්ඩු විසින් ගෙන ගිය ආර්ථික ප්‍රතිපත්ති සමාජවාදය සමග කිසිදු සම්බන්ධයක් නොතිබුනි. ඒවා ජාතික වශයෙන් නියාමනය කරන ලද ධනේශ්වර ප්‍රතිපත්ති වූ අතර එය ප්‍රධාන කර්මාන්තවල ඇතැම් මහා සමාගම් මත රාජ්‍ය ඒකාධිකාරයක් තබා ගත්තේය; එමෙන්ම දේශීය ඉන්දියානු ධනේශ්වර සංවර්ධනය ඉහල නැංවීම සඳහා විදේශ ප්‍රාග්ධනය ඇතුලුවීම බෙහෙවින් සීමා කලේය. අවධාරනය කරන්නේ, මෙම කාල පරිච්ඡේදය තුල පවා ඉහලම සියයට 10 සියලු ජාතික ධනයෙන් සියයට 45 ක් පාලනය කල බව යි; ජනගහනයේ අතිමහත් බහුතරයේ වියදමින් ඉතා කුඩා සුපිරි ධනවත් ප්‍රභූ පැලැන්තියක් පොහොසත් කිරීමට එම ප්‍රතිපත්ති හේතු විය.

කෙසේ වෙතත්, වාර්තාවට අනුව, ජාත්‍යන්තර ප්‍රාග්ධනය ආකර්ෂනය කර ගැනීම සහ එක්සත් ජනපදය ප්‍රමුඛ ලෝක ධනේශ්වර පර්යායට ඉන්දියාව මුලුමනින්ම ඒකාග්‍ර කිරීම අරමුනු කරගත්, 1991 දී ආයෝජක ගැති/වෙලඳපොල ගැති ආර්ථික ප්‍රතිසංස්කරන ආරම්භ කිරීමත් සමග ඉන්දියාවේ සමාජ අසමානතාවය තියුනු ලෙස වර්ධනය වීමට පටන් ගත්තේය. යන්තම් දශක තුනකට පසුව 2022 දී, ධනවත්ම සියයට 10 හි ධන වත්කම් සියයට 63 දක්වා ලඟා විය. 1991 සිට කොන්ග්‍රසය සහ බීජේපීය නායකත්වය දුන් අනුප්‍රාප්තික ආන්ඩු විසින් ගෙන ගිය “විවෘත” ආර්ථික ප්‍රතිපත්තිවල මූලික ප්‍රතිලාභීන් වී ඇත්තේ ඉන්දියානු ධනේශ්වරය බව මෙය අවධාරනය කරයි.

වර්ධනය වන ධන අසමානතාවයේ ක්‍රියාවලියේ තවත් වැදගත් සාධකයක් ලෙස “කොටස් වෙලඳපොල වර්ධනය වීමෙන් (දල දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස) පෙන්නුම් කරන පරිදි ධනයේ වැඩි මූල්‍යකරනය” වෙත වාර්තාව අවධානය යොමු කරයි. මෙයට උදාහරනයක් ලබා දෙමින්, වාර්තාව සඳහන් කලේ: '1990 සහ 2023 අතර, බොම්බේ ස්ටොක් එක්ස්චේන්ජ් හි ලැයිස්තුගත කර ඇති සමාගම් 30 ක නිදහස්-පාවෙන (free-float weighted-සමාගමක කිසිදු බාධාවකින් තොරව ප්‍රසිද්ධියේ කොටස් විකිනිය හැකි කොටස්) සෙන්සෙක්ස් කොටස් වෙලඳපල දර්ශකය 7300 % කින් වර්ධනයවූ” බවයි. මෙයින් හෙලිදරව් කරන දෙය නම්, මෙම ප්‍රකෝටිපතියන්, ලොව පුරා සිටින ඔවුන්ගේ සගයන් මෙන්, කොටස් වෙලඳපොල මත සමපේක්ෂන කිරීම සහ මහජනයා සතු සමාගම් (රාජ්‍ය අංශයේ ඒකක) පුද්ගලීකරනය කිරීම හරහා විශාල මුදල් ප්‍රමානයක් සාක්කුවට දමාගෙන ඇති බව ය.

ඉන්දියාවේ ඩොලර් බිලියනපතියන්ගේ ලැයිස්තුව පෙන්නුම් කරන්නේ මෝදි ආන්ඩුවේ කම්කරු පන්ති විරෝධී පිලිවෙත්වල බලපෑම යි. හුරුන් ග්ලෝබල් (Hurun Global) පොහොසතුන්ගේ ලැයිස්තුවට අනුව, 2014 දී, මෝදි බලයට පත්වන විට ඉන්දියාවේ ඩොලර් බිලියනපතියන් 70 ක් සිටියේය. අද, මෙම සංඛ්‍යාව 271 දක්වා ලඟා වී ඇති අතර, ඔවුන්ගේ ඒකාබද්ධ ධනය ඩොලර් ට්‍රිලියන 1 කි. මෝදිගේ සංගත ගැති ප්‍රතිපත්තිවල ප්‍රමුඛ ප්‍රතිලාභියෙකු වන සහ දැන් ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානි, 2014 දී ඩොලර් බිලියන 18 සිට මේ වනවිට ඔහුගේ වත්කම ඩොලර් බිලියන 115 දක්වා වැඩි කර ගෙන ඇත.

හුරුන් ග්ලෝබල් ලැයිස්තුවට ට අනුව, ඉන්දියාවේ වානිජ අගනුවර වන මුම්බායි නගරය නිල වශයෙන් (බිලියනපතියන් 87ක් සිටි චීනයේ) ෂැංහයි නගරය අභිබවා වැඩිම ප්‍රකෝටිපතියන් සිටින ආසියාතික නගරය බවට පත් වූ අතර 2024 දී එම සංඛ්‍යාව 92කට ලඟාවී තිබේ. ලොව ඉහල ම ප්‍රකෝටිපතියන් තිදෙනාගේ පදිංචි-නගරවල ශ්‍රේනිගත කිරීම් අනුව, මෙම වසරේ ලැයිස්තුවේ මුම්බායි පලමු වරට ප්‍රවේශය සනිටුහන් කල බව, වාර්තාව සඳහන් කලේය.

“1922-2023 ඉන්දියාවේ ආදායම් සහ ධන අසමානතාවය: ප්‍රකෝටිපති රාජ්‍යයේ නැගීම” යන වාර්තාව පහත සඳහන් අදහස් ගෙනහැරපායි: 'දැන් ඉන්දියාවේ නූතන ධනේශ්වරයේ ප්‍රධානත්වයෙන් යුත් 'බිලියනපතියන්ගේ රාජධානිය' තුල, යටත් විජිත හමුදාවන් විසින් මෙහෙයවන ලද බ්‍රිතාන්‍ය රාජ්‍යයට වඩා අසමානතාවය වැඩි ය.' අනතුරුව, එය ධනේශ්වර ප්‍රභූවට කාලෝචිත අනතුරු ඇඟවීමක් ද කරයි: “මෙවැනි අසමානතා මට්ටම්, ප්‍රධාන සමාජ හා දේශපාලන පෙරලියකින් තොරව කොපමන කාලයක් පවත්වා ගත හැකිද යන්න අපැහැදිලි ය.”

එවන් සමාජ පිපිරීමක් වැලැක්වීමේ අරමුන ඇතිව ඔවුන් යෝජනා කරන්නේ, සමහර බයාදු ප්‍රතිසංස්කරන ක්‍රියාත්මක කල යුතු බවයි: “ආදායම් සහ ධන අසමානතාවය ඉබේම මන්දගාමී වනු ඇතැයි විශ්වාස කිරීමට හේතුවක් නැති” අතර “ප්‍රතිපත්ති හරහා එම තත්වය පාලනය කර ගත හැකි බවට ඓතිහාසික සාක්ෂි තිබෙන” බව පිකෙටි සහ ඔහුගේ සම කර්තෘවරු ලියයි . 'අධ්‍යාපනය, සෞඛ්‍ය සහ අනෙකුත් පොදු යටිතල පහසුකම් වෙනුවෙන් ප්‍රධාන ආයෝජන සඳහා මුදල් යෙදවිය හැකිවනු පිනිස' ආදායම් සහ ධනය යන දෙඅංශයම ඇතුලත් වන පරිදි බදුවැඩසටහන ප්‍රතිව්‍යුහගත කිරීම ද ඉන්දියානු ප්‍රකෝටිපතියන් සහ කෝටිපතියන් මත “සුපිරි බද්දක්” ක්‍රියාත්මක කිරීමටත් වාර්තාව යෝජනා කරයි.

මෝදි හෝ කොන්ග්‍රසය සහ ඉන්දියාවේ පාලක ප්‍රභූව නියෝජනය කරන අනෙකුත් විරුද්ධ පක්ෂ, එවැනි ආයාචනාවලට කිසිදු තැකීමක් නොකරනු ඇත. ඊට පටහැනිව, ඔවුන් කම්කරුවන් හා ගම්බද දුගීන් හිඟමනට ඇද දමමින්, කුඩා සංගත හා මූල්‍ය ප්‍රභූව තව දුරටත් පොහොසත් කිරීමට හැකි සෑම පියවරක්ම ගනු ඇත. කොවිඩ්-19 වසංගතය තුල පැහැදිලිව පෙන්නුම් කර ඇති පරිදි, ඔවුන් මිලියන සංඛ්‍යාත ඉන්දියානු කම්කරු පන්තියට සහ පීඩිතයන්ට දැඩි ලෙස සතුරු ය. ඉන්දියානු සහ විදේශ ප්‍රාග්ධනයේ ලාභ ආරක්ෂා කිරීම සඳහා වෛරසයට නිදහසේ පැතිරීමට ඉඩ සැලසීමෙන්, පාලක පන්තියේ “ජීවිතයට පෙර ලාභය” නම් පිලිවෙත ඉන්දියානුවන් මිලියන 5-6 ක් අතර සංඛ්‍යාවක් බිලි දුන්නේය. බරපතල මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කිරීම මෝදි ප්‍රතික්ෂේප කිරීම, ආසාදනවල හා මරනවල උච්චතම අවස්ථාවන්හිදී ඉන්දියාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය බිඳ වැටීමට හේතු විය.

ඉන්දියාවේ පාලක ප්‍රභූව ද චීනයට එරෙහි එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ යුද සූදානම තුල රට පෙරමුනු රාජ්‍යයක් බවට පත් කිරීම සඳහා බිලියන ගනන් වියදම් කිරීම මුලුමනින්ම අනුමත කරයි. දස ලක්ෂ ගනනක් මිනිසුන් ප්‍රමානවත් ආහාර සොයා ගැනීමට සහ වලක්වා ගත හැකි රෝගවලින් මිය යාමට එරෙහිව අරගල කරන අතර, ඉන්දියාව, මරනය හා විනාශය ගෙන එන නවීන ආයුධ සඳහා විශාල මුදලක් ආයෝජනය කරයි.

මෙවන් ම්ලේච්ඡ සමාජ ක්‍රමයක් අවසන් කල යුතු අතර, සුපිරි ධනවතුන් සතු අතිවිශාල ධනය සමාජ සන්තක කලයුතු ය. යුද්ධය සඳහා බිලියන ගනන් ධනස්කන්ධයක් කාබාසිනිහා කිරීමට සහ සංගත කතිපයාධිකාරය පොහොසත් කිරීම වෙනුවට, යහපත් සෞඛ්‍ය, අධ්‍යාපනය සහ මූලික සමාජ සේවා සඳහා ද දුප්පත් කම්කරුවන්ගේ හා ගම්බද දුගීන් කෑගසා ඉල්ලන සමාජ අවශ්‍යතා තෘප්තිමත් කිරීමට ද බිලියන ගනන් යෙදවිය යුතු ය. මෙය, කම්කරු බලය පිහිටුවීම හරහා සමාජයේ සමාජවාදී පරිවර්තනය සඳහා අරගලයක අවශ්‍යතාව ඉල්ලා සිටී.

Loading