උසස්වීම් නිසි පරිදි ලබා නො දීමට එරෙහිව දුම්රිය රියැදුරෝ වැඩ වර්ජනය කරති

දුම්රිය රියදුරන්ගේ උසස්වීම් නිසි පරිදි ලබා නො දීමට හා නව රියදුරන් බඳවා ගැනීමට කටයුතු නො කිරීමට විරෝධය පල කරමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මාලිගාවත්ත බලවේග දුම්රිය ධාවනාගාරයේ හා මරදාන විදුලි බලවේග ධාවනාගාරයේ දුම්රිය රියැදුරන් ජුනි 6දා මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කල වැඩ වර්ජනය තව දුරටත් ක්‍රියාත්මක වේ.

මෙම දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් ජුනි 7 සිකුරාදා දින දුම්රිය ගමන් වාර 100ක් පමන අවලංගු කිරීමට සිදු වූ බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ලංකාදීප පුවත්පතට පවසා ඇත. දෛනික ව ධාවනය කෙරෙන සමස්ත දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 360කට ආසන්න වේ.

වර්ජිත රියැදුරන්ට එරෙහිව මහජනතාව උසිගන්වනුවස් ධනපති මාධ්‍ය බිස්ස වහා වැඩ ආරම්භ කලේය. දුම්රිය ගමන්වාර සීමා වූ බැවින් මගීන් දැඩි දුෂ්කරතාවන්ට මුහුන දී ඇති බව ද, කෝපයට පත් මගීන් දුම්රිය රියැදුරන්ට බැන අඬගසා දුම්රිය සේවය පුද්ගලීකරනය කල යුතු යයි කියා සිටි බව ද ඒවායේ වාර්තා විය.

සිය වැඩ වර්ජන තීන්දුව ගැන මාධ්‍ය වෙත අදහස් දැක්වූ දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ (දුඑරිස) ලේකම් එස්.ආර්.සී. එම්. සේනානායක “පවතින තත්ත්වය සලකා බලා, ධාවනාගාර දෙකක පමනක් වර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරනය කල” බව කීවේ ය. තමන් ඉදිරිපත් කරන ඉල්ලීම් ගැන “සාකච්ඡාවකට” එලැඹීමට ආන්ඩුවේ පාර්ශවයෙන් කිසිවෙක් හෝ ඉදිරිපත් වී නැතැයි සේනානායක එහි දී මැසිවිලි නැගී ය. මේ හේතුවෙන් “විසඳුමක් ලැබෙන තෙක්” වැඩ වර්ජනය අඛන්ඩ ව ඉදිරියට ගෙන යාමට තම සංගමය තීරනය කර ඇති බව ඔහු සඳහන් කලේ ය.

වැඩ වර්ජනයට තමන් තල්ලු වූ හේතු පැහැදිලි කල සේනානායක වර්තමානයේ දී දුම්රිය සේවය නිසි පරිදි පවත්වාගෙන යාමට රියදුරන් 458ක් සිටිය යුතු නමුත්, දැනට සිටින්නේ 250ක රියදුරන් සංඛ්‍යාවක් පමනක් බවත්, දුම්රිය රියදුරෙකු සේවයේ යෙදවීමට පෙර ලබා දිය යුතු පුහුනු කිරීම් ආදිය සලකන විට, අද දින බඳවා ගන්නා රියදුරෙකු සේවයේ යෙදවීමට වසර හතරක් පමන කාලයක් ගත වන බවත්, ආන්ඩුව එසේ බඳවා ගන්නා බවට ඉඟියක් හෝ කර නැති බවත් පැවසී ය. මේ වසරේ දී විශ්‍රාම ලබන රියදුරන් ප්‍රමානය ද සැලකිල්ලට ගත් විට, නුදුරේ දී ම මෙම රියදුරු සංඛ්‍යාව 200 දක්වා පහල යාමට නියමිත බව ඔහු වැඩි දුරටත් සඳහන් කලේ ය.

එහෙත් දැඩි ආර්ථික අර්බුදයක ගිලී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ආන්ඩුව දැන් හැරී ඇත්තේ, පවත්නා රාජ්‍ය ව්‍යවසායයන් වැඩි දියුනු කිරීමට නො ව, ඒවා ප්‍රතිව්‍යුහගත කිරීම හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝග පරිදි වානිජකරනයට හා පුද්ගලීකරනයට නතු කිරීමට යි. මේ යටතේ රාජ්‍ය ව්‍යවසායයන් 430ක් වසා දැමීම, පුද්ගලික හිමිකරුවන්ට නතු කිරීම හා ලාභ උපදවන පරිදි වානිජකරනය කිරීමට නියමිත ය. ශ්‍රී ලංකා දුම්රිය සේවය මෙම ලැයිස්තුවේ ඉහලින් ම පවතී.

දුම්රිය සේවයේ ගැටලු විසඳීමට වික්‍රමසිංහ ආන්ඩුව විසින් පත් කල කමිටුවේ යෝජනා, මේ මාසයේ දී කැබිනට් මන්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් රූබසිංහ පසුගිය දා ප්‍රකාශ කලේ ය. මෙම යෝජනාවල අන්තර්ගත දේවල් පිලිබඳ ව කිසිවක් ප්‍රසිද්ධ කර නැති ආන්ඩුව, වෘත්තීය සමිති නිලධරය දෙන නිහඬ සහයෝගයේ ආශීර්වාදය ද සහිත ව, දුම්රිය සේවය පුද්ගලීකරනය ක්‍රියාවට දමයි.

මෙහි පියවරක් ලෙස, දුම්රිය සේවයේ ප්‍රධාන කම්කරු වැඩබිම වන රත්මලාන දුම්රිය කර්මාන්තශාලා අංගනය තුල, ආසියානු සංවර්ධන බැංකුවේ නය ආයෝජන මත, නවීන පහසුකම්වලින් යුත් කර්මාන්තශාලාවක ඉදිකිරීම් ආරම්භ කර ඇත. එලෙස ම දුම්රිය මැදිරි අලුත් වැඩියාව දෙමටගොඩ පිහිටි තන්ත්‍රී නම් සමාගමකට පැවරී ඇති අතර, උතුරු දුම්රිය මාර්ගයේ අලුත් වැඩියා කටයුතු ප්‍රධාන පෙලේ ඉන්දියානු සමාගමක් වන අදානි සංගතයට පවරා තිබේ. පුද්ගලික අංශයට මෙලෙස දොරටු විවෘත කරමින් සිටින වික්‍රමසිංහ ආන්ඩුවට අලුතින් සේවකයන් දුම්රිය සේවාවට බඳවා ගැනීමේ අබමල් රේනුවක හෝ අවශ්‍යතාවක් නැත.

මෑත වසර කිහිපය තුල අවස්ථා කිහිපයක දී ම වැඩ වර්ජන කැඳවීම හා කිසිදු ඉල්ලීමක් දිනා නො ගෙන ඒවා අවලංගු කිරීමට දුඑරිස නිලධරය තීරනය කලේ, සිය සාමාජිකත්වයේ කිසිදු අදහස් විමසීමකින් තොර ව ය. මෙවර ද ඊයේ කොලඹ පැවති මාධ්‍ය හමුවේ දී දුඑරිස ලේකම් සේනානායක වැලපුනේ, ආන්ඩුවෙන් සාකච්ඡාවක් හෝ ලබා නො දීම පිලිබඳ ව යි. එනම්, කෝපයට පත් ව සිටින සිය සාමාජිකත්වය අස්වැසීමට කුමන හෝ ව්‍යාජ පොරොන්දුවක් ලබා ගැනීම දුඑරිස අපේක්ෂාව යි.

අනෙකුත් ක්ෂේත්‍රවල වෘත්තීය සමිති හා දුඑරිස ඇතුලු දුම්රිය සේවයේ සියලු සමිති ක්‍රියා කරන්නේ, දැවැන්ත දරිද්‍රතාව, රැකියා අනාරක්ෂිතභාවය, අති උද්ධමනය විසින් වැටුප් ගිල දැමීම ආදිය කෙරෙහි සමිති සාමාජිකත්වය අතරින් මතුවන සාධාරන විරුද්ධත්වය මැඩලා, වැඩ බෙදාගෙන කම්කරුවන්ගේ ප්‍රතිරෝධය කලමනාකරනය කිරීමට යි. ශ්‍රී ලංකා දුම්රිය සේවය තුල තිබෙන ධාවනාගර පහෙන් දෙකක රියදුරන් පමනක් වැඩ වර්ජනයට කැඳවා ඇත්තේ මේ පිලිවෙත මත ය.

එහෙත් ආන්ඩුව ක්‍රියා කරන්නේ කෙසේදැයි අද දින ම දුම්රිය රියදුරු වැඩ වර්ජනය ගැන අදහස් දැක්වූ ජනාධිපති වික්‍රමසිංහ ගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් හා කලින් කම්කරු සටන් පාවාදීම පිලිබඳ කුප්‍රකට ඉතිහාසයක් සහිත ඇටුවන් බැසි සමිති නිලධරයෙකු වූ සමන් රත්නප්‍රිය පැහැදිලි කලේ ය. “2021 වසර ගත්තොත් දුම්රිය අලාභය රුපියල් කෝටි 1,030 යි. 2022 අලාභය කෝටි 1,240 යි. ඉතින් මේ සා විශාල අලාභයක් ලබද්දි, ජනතාව පෙලන්නෙ ඇයි ද කියල ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන් ම මේ වගේ සේවයක ක්‍රියාත්මක වන වෘත්තීය සමිති මීට වඩා වගකීමකින් වැඩ කරන්න ඕන” යැයි රත්නප්‍රිය කීවේය. මෙය ජනාධිපති වික්‍රමසිංහ ගේ ම භාෂාව වන අතර, ආන්ඩුව සිය පුද්ගලීකරන ප්‍රයත්නයන් සාධාරනීකරනයට ප්‍රමුඛ ව යොදා ගන්නා දෙයක් වන්නේ මෙම ඊනියා අලාභයන් ය.

ආන්ඩුවල කප්පාදු පිලිවෙත් ගලා එන්නේ ධනවාදය ලෝක පරිමාන ව මුහුන දී ඇති අර්බුදයෙන් බව දැනුවත්ව වසන් කරන දුඑරිස ඇතුලු සමස්ත සමිති නිලධරය, ආන්ඩුවට පීඩනය යෙදීමෙන් එම කප්පාදු ආපසු හැරවිය හැකිය යන මිත්‍යාව යටතේ නිස්සාර විරෝධතා සහ වර්ජන වලට තම සාමාජිකත්වය කොටු කර ඔවුන්ගේ කෝපය වාෂ්ප කර හරිති.

වැඩි වැටුප් සහ දීමනා ඉල්ලා, විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන්, දැනට මාසයකටත් වැඩි කාලයක් නිරතව සිටින අඛන්ඩ වැඩවර්ජනය මුහුන දී සිටින්නේ එම තත්වයටයි. තමා මුහුන දී සිටින දැඩි ආර්ථික අර්බුදය හමුවේ කවර හෝ වැටුප් වැඩිවීමක් කල නොහැකි බව ජනාධිපති වික්‍රමසිංහ ප්‍රමුඛ ආන්ඩුව යලියලිත් කියා සිටින තතු තුල, ආන්ඩුවට පීඩනය යෙදීමෙන් ඉල්ලීම් දිනා ගැනීමේ වැඩපිලිවෙල ඔස්සේ තවදුරටත් ඉදිරියට යා නොහැකි තත්වයකට අනධ්‍යන කම්කරුවෝ මුහුන දී සිටිති. ආන්ඩුවෙන් කවර හෝ ව්‍යාජ පොරොන්දුවක් ගෙන එය සාමාජිකත්වය හමුවේ ලෙලවා වර්ජනය නතර කිරීමේ ප්‍රයත්නයක සමිති නිලධරය නියැලී සිටී.

අන් සෑම ක්ෂේත්‍රයක් තුල මෙන් ම දුම්රිය සේවයේ ද මෙම වැඩ වර්ජනය අවසන් වනු ඇත්තේ පාවාදීමකිනි. එබැවින් රියදුරන් ඇතුලු දුම්රිය කම්කරුවන් කල යුතු වන්නේ, ධනපති ක්‍රමයට දහසක් හුයපටවලින් බැඳී ඇති වෘත්තීය සමිතිවල ග්‍රහනයෙන් මෙම අරගල තමන් අතට ගනු වස්, ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීම යි.

වෘත්තීය සමිති නිලධරයන් මෙන් ම ඔවුන්ගේ හාම්පුතුන් වන ධනපති දේශපාලන පක්ෂ ද මෙම ක්‍රියාකාරී කමිටුවලට වැද්ද නො ගත යුතු ය. එමෙන්ම, දුම්රිය ඇතුලු සෑම ක්ෂේත්‍රයකටම අයත් සියලු වැඩපොලවල, කම්හල්වල සහ වතුයායවල ගොඩනගන මෙවන් කම්කරු ක්‍රියාකාරී කමිටු, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය සමග ඒකාබද්ධ වෙමින්, ධනපති ආන්ඩුවට සහ සමස්ත ධනපති ක්‍රමයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත සටන් වැදිය යුතුය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රහාර පරාජය කල හැක්කේ එවන් දේශපාලන සටනකින් පමනි.

මේ වන විටත් දුම්රිය දෙපාර්තමේන්තුවේ කම්කරුවන් කන්ඩායමක්, සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) මග පෙන්වීම යටතේ දුම්රිය කම්කරු ක්‍රියාකාරී කමිටුව (දුකක්‍රික) ගොඩනගා ඇති අතර, අපි දුම්රිය රියදුරන් ඇතුලු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම කමිටුවට බැඳී එය පලල් සාමාජිකත්වයක් සහිත තමන්ගේ ම ස්වාධීන සංවිධානයක් ලෙස වර්ධනය කරමින් ඉහත දැක්වූ දේශපාලන සටන සූදානම් කිරීමට පියවර ගන්නා ලෙස යි.

'වර්ජිත විශ්වවිද්යාල කම්කරුවන් සඳහා ඉදිරි මාවත' යන මැයෙන්, සසප සහ එහි තරුන සහ ශිෂ්‍ය ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ, ජූනි 14 වන දා සවස 7.00 ට සූම් තාක්ෂනය ඔස්සේ පවත්වන ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීම තුල, ජාමූඅ හි ප්‍රහාර පරාජය කිරීමේ උක්ත වැඩපිලිවෙල සවිස්තරාත්මකව සාකච්ඡා කෙරෙනු ඇත. මෙම වැදගත් රැස්වීමට සහභාගි වන ලෙස අනධ්‍යන සහ දුම්රිය සේවකයන් ඇතුලු සියලු කම්කරුවන්ගෙන් ද තරුනයන්ගෙන් ද අපි ඉල්ලා සිටිමු.

පහත සබැඳිය හරහා රැස්වීමට ලියාපදිංචි වන්න:

Loading