රෙමාල් සුලි කුනාටුව ලංකාවේ දහස් ගනනකට බලපෑම් එල්ල කර, 30 කට අධික පිරිසකට මරු කැඳවයි

[මෙය Cyclone Remal hits Sri Lanka, affects thousands and kills over 30 people යන මැයෙන් 2024 ජූනි 05 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

පසුගිය සතිය පුරා ශ්‍රී ලංකාවට බලපෑ කුනාටු සහිත මෝසම් වර්ෂා තත්වය ගංවතුර සහ නායයෑම් ඇතිකරමින්, පවුල් දස දහස් ගනනකට බලපෑම් එල්ල කල අතර අවම වශයෙන් පුද්ගලයන් 30 දෙනෙකුට මරු කැඳවීය. දිවයින පුරා පවතින වර්ෂාපතනය පිලිබඳව රාජ්‍ය බලධාරීන් තවදුරටත් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර නැවත දැනුම් දෙන තුරු ධීවරයින්ට මුහුදු යාමෙන් වලකින ලෙසට උපදෙස් දී ඇත.

2024 ජුනි 1 වැනි දින කොලඹ තදාසන්න ප්‍රදේශයක් වන අවිස්සාවේල්ලේ, පුවක්පිටිය ප්‍රදේශයේ ගංවතුරෙන් යට වූ ප්‍රධාන මාර්ගය සහ කඩ සාප්පු [ඡායාරූප: කවිදාස්] [Photo by Kavidas]

මැයි මැද භාගයේදී බෙංගාල බොක්කෙන් ආරම්භ වූ රෙමාල් සුලි කුනාටුව බංග්ලාදේශයට සහ බටහිර බෙංගාලය ඇතුලු ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවලට පහර දෙමින් මෙම විනාශය සිදු කලේය.

ශ්‍රී ලංකා ආපදා කලමනාකරන මධ්‍යස්ථානය ජුනි 4 උදෑසන වාර්තා කලේ, පවුල් 66,900 කට වැඩි සංඛ්‍යාවක පුද්ගලයින් 253,500 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි. නිවාස 40 කට වැඩි ප්‍රමානයක් සම්පූර්නයෙන්ම විනාශ වී ඇති අතර 4,000 කට වැඩි ප්‍රමානයක් අර්ධ වශයෙන් හානි වී ඇත. මරන 21 ක් සමග පුද්ගලයින් 13 දෙනෙකු අතුරුදහන් වී ඇති අතර ඔවුන් ද මියගොස් ඇති බවට අනුමාන කෙරේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පලාත්වලට සහ දකුනේ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට ජූනි 02 වනදා මිලිමීටර් 150 ඉක්මවූ වර්ෂාපතනයක් ඇති වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස—කලු, ගිං, නිල්වලා සහ කැලනි යන—ප්‍රධාන ගංගා රැසක් පිටාර ගලමින් පවතී. මෙම ගංඟා ආශ්‍රිතව ගංවතුර අවදානම් ප්‍රදේශවල සහ යාබද නගර සහ ගම්මානවල නිවාස සිය ගනනක් යට වී තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ ගංවතුර සහ අයහපත් කාලගුනික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසකට විදුලි සැපයුම අත්හිටුවා ඇති අතර නැවත නැවතත් බිඳවැටීම් තවමත් වාර්තා වන බවයි. පාලම් කඩා වැටීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල දුම්රිය ධාවනය අර්ධ වශයෙන් හෝ සම්පූර්නයෙන් අත්හිටුවා ඇත.

2024 ජූනි 3 වැනි දින, ශ්‍රී ලංකාවේ අකුරැස්සේ ගංවතුරෙන් යටව ඇති වීදි

දකුනු පලාතේ ගම්මාන සහ කුඹුරු ගංවතුරින් යටවීම නිසා ජනතාවට පාසල් හා පන්සල්වල තාවකාලික කඳවුරුවල රැකවරනය ලැබීමට සිදුව තිබේ.

ඛේදජනක සිදුවීම් රැසකින් එකක් ලෙස, ජලයෙන් යටවූ දකුනේ, මාතර දිස්ත්‍රික්කයේ, ජුනි 2 වන දින අකුරැස්ස නගරයට පැමිනි පාසල් සිසුවියක් නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් දියේ ගිලී මිය ගියාය. ඇයගේ සිරුර තවමත් ගොඩගැනීමට නොහැකි වී ඇත. තවත් සිසුවෙකුට දිවි බේරා ගැනීමට හැකි වී ඇත්තේ ගසක එල්ලී සිටීමෙනි.

ජුනි 3 වැනිදා සවස එම දිස්ත්‍රික්කයේ ම, පල්ලෙවෙල නම් ගම්මානයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් වයස අවුරුදු 20 සහ 27 යන වයස්වල තරුනයන් දෙදෙනෙක් මිය ගිය අතර තවත් අයකු තුවාල ලබා තිබේ.

කොලඹට කිලෝමීටර් 45 ක් පමන නැගෙනහිරින් අවිස්සාවේල්ලට නුදුරින් පිහිටි එල්ස්ටන් වත්තේ, ජුනි 2 වෙනිදා අලුයම, අසල පිහිටි ඇලක් පිටාර ගලා ඔවුන්ගේ නිවස ජලයෙන් යටවීමෙන් 36 හැවිරිදි කාන්තාවක්, ඇගේ දියනිය සහ පියා ඇතුලු එකම පවුලේ තිදෙනෙක් මිය ගියහ.

පුවක්වත්ත, සිංහපුර, එගොඩ කොලොන්නාව, වෙන්නවත්ත, සාලවත්ත සහ බ්‍රැන්ඩියාවත්ත වැනි කොලඹ තදාසන්න ප්‍රදේශවල ජීවත් වන දිලිඳු පවුල්වලට කැලනි ගඟේ ගංවතුර තත්ත්වය බරපතල ලෙස බලපා ඇත.

2024 ජූනි 4 වැනි දිනට දින කිහිපයකට සිට අපවිත්‍ර ගංවතුර ජලයෙන් කොලඹ මීතොටමුල්ල, කොලොන්නාව, නිවාස යටවී ඇති අයුරු.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන් ජුනි හතරවනදා කොලොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයට යන අවස්ථාවේද ජල මට්ටම ඉහල යමින් තිබුනි. 2016 වසරේ ඇති වූ විශාල ගංවතුර තත්ත්වයෙන් පසු පිලියම් නොයෙදීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීහු ආන්ඩුවේ බලධාරීන්ට දොස් පැවරූහ.

දුරකථන සේවා සමාගමක සේවය කරන ප්‍රදේශවාසී කම්කරුවෙක් ලෝසවෙඅ වාර්තාකරුවන්ට මෙසේ පැවසීය: “2016 මීට වඩා ගංවතුර ආවා. දැන් ආයෙත් ඇවිත් තියෙනවා. ආන්ඩුවලට කිසිම වැඩපිලිවෙලක් නෑ. මේ ගංවතුර තත්වය නතර කරන්න. මෙහේ වතුර පිරෙනවා කියලා ආරංචි වෙලා මං රස්සාව අතර මැද්දේ ආවා බලන්න. මේවයෙ බර අපිට දරන්න වෙලා තියෙන්නෙ.”

කුඩා වර්ෂාවකට පවා යාබද නිවාස ගිලගනිමින් අසල ඇල පිටාර ගලන බව දරුවන් තිදෙනෙකුගේ මවක් ලෝසවෙඅ ට පැවසුවාය. “කොලඹ මහ නගර සභාව ඇල සුද්ද කරන්නේ නැහැ. මෙහෙ මිනිස්සු හරිම දුප්පත්,” ඇය කීවාය.

“වැසිකිලි අපද්‍රව්‍ය එක්ක ගංවතුර බැහැලා ගියත් මාස ගානක් දුර්ගන්ධය පවතිනවා. කලින් ගංවතුර දාපු වෙලාවල් වල ලමයින්ට තුවාල වුනා. කකුල් කසන්න පටන් ගත්තා. පහුගිය වැස්සට පස්සේ ඩෙංගු හැදිලා ලමයි දෙන්නෙක් ඉස්පිරිතාලෙ ඉඳල බොහොම අමාරුවෙන් සනීප කරගත්තේ.”

එම ප්‍රදේශයේම ජීවත්වන දිලින කුමාර පැවසුවේ අවිධිමත් නාගරීකරනය හේතුවෙන් ගංවතුර ගැටලු මතුව ඇති බවයි. “ආන්ඩුවෙන් ඉඩම් විකුනන්න ජීවත් වන ප්‍රදේශවලින් මිනිස්සු එලවලා දානවා. කොලොන්නාව තෙල් බෙදා හැරීමේ මධ්‍යස්ථානය ට තෙල්ගෙන යන නලය යනවා කියල අවට ජීවත් වෙච්ච මිනිස්සු අයින් කලා. සමහර අයට ගෙවල් දුන්නා. ඒවත් ජීවත් වෙන්න සුදුසු තත්වයේ ඒවා නෙවේ. සමහර අය මේ වගේ ජීවත් වෙන්න නුසුදුසු තැන්වල පදිංචි වුනා' යැයි ඔහු කීවේය.

2024 ජුනි 3 දින, ශ්‍රී ලංකාවේ අකුරැස්ස ප්‍රදේශයේ නිවසක් නායයාමකින් හානි වී තිබූ අයුරු

රජය විසින් සංවිධානය කරන ලද සහන මධ්‍යස්ථානවල නවාතැන් ගෙන සිටින අයට පමනක් ගංවතුර සහනාධාර ලබා දෙන බව ආන්ඩුවේ බලධාරීන් ප්‍රකාශ කර තිබේ. මෙයින් අදහස් වන්නේ, දැනට තම ඥාතීන් සමඟ රැඳී සිටින, ගංවතුරෙන් දිවි ගලවා ගත් බොහෝ අයට රාජ්‍ය ආධාර නොලැබෙන බවයි.

ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල මාරාන්තික මී උන සහ ඩෙංගු උන ව්‍යාප්ත වීමේ අවදානම පිලිබඳව ශ්‍රී ලංකා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අනතුරු අඟවා තිබේ. ශ්‍රී ලංකාවෙන් මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 24,815 ක් සහ මරන 9 ක් වාර්තා වී තිබේ.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බන්ඩාර තෙන්නකෝන් ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේ, “නිවාසවලට සිදුවූ අලාභය ඇස්තමේන්තු කිරීමට පියවර ගෙන ඇති අතර එම ක්‍රියාවලිය අවසන් කිරීමෙන් පසු විපතට පත් වූවන්ට වන්දි ලබා දෙන බව” බවයි. මීට පෙරද මෙවැනි ප්‍රතිඥා දී ඇති මුත්, ප්‍රමානවත් වන්දියක් ලබා දී නොමැත; ඇතැම් විට කිසිවක් හෝ ලබා දී නැත.

“ආපදාවෙන් විපතට පත් පුද්ගලයන්ගේ සුබසාධනය තක්සේරු කිරීම සඳහා” ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳුදා කොලොන්නාව, කැලනිය සහ අඹතලේ ප්‍රදේශවල “නිරීක්‍ෂන චාරිකාවක්” කල බව පවසමින් ජනාධිපති මාධ්‍ය අංශය උජාරුවෙන් වීඩියෝ වාර්තාවක් නිකුත් කර තිබේ.

වික්‍රමසිංහ නාගරික දිලිඳු පවුල් රැසක් ජීවත් වන කොලොන්නාවට යන විට, ගංවතුරෙන් දිවි ගලවා ගත් අය තාවකාලික සහන කඳවුරක නවාතැන් ගෙන සිටියහ.

2024 ජුනි 3 දින, ශ්‍රී ලංකාවේ අකුරැස්ස ප්‍රදේශයේ නිවසක් නායයාමකින් හානි වී තිබූ අයුරු,

තම නිවෙස් අපිරිසිදු අප ජලයෙන් යටවී ඇති බවත්, සති දෙකක් තිස්සේ කිසිවකු තමන් බැලීමට නොපැමිනි බවත් ප්‍රදේශවාසීහු පැවසූහ. ආන්ඩුවේ සහන පිලිගත යුතු නමුත්, “අනිත් ප්‍රශ්න විසඳන්න අවුරුදු පහක් හයක් ගත වෙනවා” යැයි ඔහු උද්දච්ච ලෙස පිලිතුරු දුන්නේය.

කැලනි ගං ඉවුරේ නව ඉදිකිරීම්වලට ඉඩ නොදෙන ලෙසත්, අනවසර ඉදිකිරීම් සියල්ල වහාම ඉවත් කරන ලෙසත්, දැනට සිදුකෙරෙන කුනු ගොඩකිරීමේ කටයුතු නවත්වන ලෙසත්, කානු පද්ධති පිලිසකර කර ප්‍රතිසංස්කරනය කරන ලෙසත් වික්‍රමසිංහ රාජ්‍ය බලධාරීන්ට නියෝග නිකුත් කර තිබේ. මීට සමාන හිස් පොරොන්දු පසුගිය ආන්ඩු විසින් ද නිකුත් කර ඇත.

ගංවතුරෙන් දිවි ගලවා ගත් අය මුහුන දෙන මංමුලා සහගත තත්වය, දුප්පතුන්ට දැඩි ලෙස බලපාන මූලික යටිතල පහසුකම් ගැටලු විසඳීමට දශක ගනනාවක් තිස්සේ ශ්‍රී ලංකා ආන්ඩු ප්‍රතික්ෂේප කිරීමේ සෘජු ප්‍රතිඵලයකි. ආන්ඩුවේ සමීක්‍ෂනයකට අනුව කොලඹ නගරයේ දරිද්‍රතාවයෙන් පෙලෙන පවුල් 87,000 කට නවාතැන් දෙන නිවාස 55,865 ක් සහිත ජනාවාස 1,360 ක් ඇත. මේවායින් බොහොමයක් මූලික පහසුකම් පවා නොමැති, පැල්පත් හෝ කුඩා නිවාස වේ.

කොලොන්නාවේ මීතොටමුල්ල ප්‍රදේශය, 2017 අප්‍රේල් 14 වන දින, රටේ ආන්ඩුව විසින් සිදු කරන ලද දරුනුතම ව්‍යසනයකට ගොදුරු විය. මීතොටමුල්ලේ දැවැන්ත කුනු කන්ද කඩා වැටිමෙන් අවම වශයෙන් පුද්ගලයින් 32 දෙනෙකු මිය ගොස්, නිවාස 146 ක් විනාශ කරමින්, ප්‍රදේශවාසීන් දහස් ගනනකට බලපෑම් එල්ල කලේ ය.

ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය නොතකා මෙම ස්ථානය කොලඹ මහ නගර සභාව විසින් කුනු කන්දක් ලෙස භාවිතා කරමින් තිබුනි. ආන්ඩුවේ බලධාරීන් උත්සාහ කලේ, කුනු කන්ද අසල ජීවත් වීම ගැන ප්‍රදේශවාසීන්ට දොස් පැවරීමට ය.

මීතොටමුල්ල ව්‍යසනය සිදුවන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පාලනයේ අගමැති වූයේ වික්‍රමසිංහ ය. ආන්ඩුව මෙම සමාජ ව්‍යසනයට ප්‍රතිචාර දැක්වූයේ විපතට පත් පවුල් වෙනත් ප්‍රදේශයක පහසුකම් නොමැති මහල් නිවාස වෙත ගෙන යාමෙනි. වත්මන් ආන්ඩුව දැන් මෙම ජනතාව නැවත පදිංචි කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ එම ඉඩම්, දේපල සංවර්ධකයින්ට සහ අනෙකුත් මහා ව්‍යාපාරික ආයෝජකයින්ට විකිනීම සඳහා ය.

ගංවතුරින් විපතට පත් ප්‍රජාවන් වෙත සංචාරය කිරීමට වික්‍රමසිංහ ගත් තීරනය, දිවි ගලවා ගත් අය කෙරෙහි ඇති අනුකම්පාව නිසා ගත්තක් නොව, ඉදිරි ජනාධිපතිවරනය සඳහා ඔහුගේ මහජන ප්‍රතිරූපය ඉහල නැංවීමට ගන්නා උත්සාහයේ කොටසකි.

ඔහුගේ ව්‍යාජ කනස්සල්ල සහ හිස් පොරොන්දු නොතකා, මිලියන ගනන් ශ්‍රී ලාංකිකයන් ඔහුගේ ආන්ඩුවේ ම්ලේච්ඡ කප්පාදු පිලිවෙත් වලට ගැඹුරින් ම සතුරුය. එම වැඩපිලිවෙල හේතුවෙන් දරිද්‍රතාවයේ වෙසෙන අයගේ සංඛ්‍යාව 2021 දී ජනගහනයෙන් සියයට 13 සිට පසුගිය වසරේ සියයට 26 දක්වා ඉහල ගියේය. වත්මන් ගංවතුර ව්‍යසනය, දුප්පතුන් මුහුන දෙන මංමුලා සහගත සමාජ තත්වයන් තවත් නරක අතට හරවන ව්‍යසනයකි.

Loading