අධිකරනය ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාව ඈවරකිරීමට එරෙහි පෙත්සම ප්‍රතික්ෂේප කරයි

2022 දෙසැම්බර් 8 වන දින, කොලඹදී විරෝධතාවයක නිරත වන ශ්‍රී ලංකා රක්ෂන සංස්ථා සේවකයින්. [ඡායාරූපය: ලෝසවෙඅ]

රාජ්‍ය ආයතන 400කට අධික සංඛ්‍යාවක් පෞද්ගලීකරනය කිරීමේ වැඩසටහනේ කොටසක් ලෙස, ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාව (මව් සමාගම), ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ලිමිටඩ් සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් යන සමාගම් තුනකට වෙන් කිරීමට එරෙහිව ඉදිරිපත් කර තිබූ රීට් පෙත්සමක් මැයි මස මුලදී අධියාචනාධිකරන විසින් ප්‍රතික්ෂේප කෙරුනි.

මෙම තීන්දුව එක් පැත්තකින්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ-ශ්‍රී ලංකා පොදුජන පෙරමුනු (ශ්‍රීලපොපෙ) ආන්ඩුව විසින් අනුයන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයිඑම්එෆ්) පැනවූ විෂකුරු කප්පාදු සහ පෞද්ගලීකරන වැඩපිලිවෙලට එරෙහි මොනම විරෝධතාවක් හෝ ධනේශ්වර සංස්ථාපිතය විසින් නොඉවසන බව පෙන්නුම් කරයි. අනෙක් පැත්තෙන්, මෙම රුදුරු වැඩපිලිවෙලට එරෙහිව රක්ෂන ක්ෂේත්‍රයේ පමනක් නොව සමස්ත කම්කරු පන්තිය ස්වාධීනව ඒකාබද්ධ කරන වැඩපිලිවෙලකට එරෙහිව සිටිමින්, ධනපති උසාවි මගින් විසඳුම් ලබාගත හැකියැයි වෘත්තීය සමිති නිලධරය විසින් වගාදිගා කරන මිත්‍යාව කීතු කර දමයි.

මෙම වසර ආරම්භයේදී, 2011 අංක 3 දරන රක්ෂන කර්මාන්තය නියාමනය කිරීමේ පනත අනුව රක්ෂන සංස්ථාව ප්‍රතිව්‍යූහගත කෙරුනේ අයිඑම්එෆ් නය කොන්දේසි ප්‍රකාරව ය. එම පනත රක්ෂන ව්‍යාපාර, සාමාන්‍ය සහ ජීවිත රක්ෂන යන අංශයන්හි වෙන වෙන ම සමාගම් වශයෙන් ලියාපදිංචි කොට පවත්වා ගෙන යා යුතු බව නියම කරයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් එවකදී වාර්තා කල පරිදි, මෙය ක්‍රියාවට නැංවීමේ දී රක්ෂන සංස්ථාවේ සේවය කල සියලු ම කම්කරුවන්ට අනිවාර්ය ඉල්ලා අස්වීමේ ලිපියකට අස්සන් කිරීමට සිදු වූ අතර, පසු ව ඔවුන් නවක සේවකයන් වශයෙන් මෙම සමාගම් දෙක අතරේ අනුයුක්ත කෙරුනි. රක්ෂන සංස්ථාව දිවයින පුරා ශාඛා 154ක සේවකයන් 2500කට ආසන්න සංඛ්‍යාවක් අලලා ගන්නා ආයතනයකි.

ජනවාරි 29 වැනි දින, “ස්වාධීන” වෘත්තියක් ලෙස පෙනී සිටින, රක්ෂන සංස්ථා පොදු සේවක සංගමය (රසපොසේස) ප්‍රධාන ලේකම් දිවාකර, මුදල් ඇමති ලෙස රනිල් වික්‍රමසිංහගේ ක්‍රියාව අභියෝගයට ලක් කරමින් පෙත්සමක් ගොනු කලේ ය. 'රක්ෂන කර්මාන්තය නියාමනය කිරීමේ පනත' අනුව එම පනත ක්‍රියාත්මක වූ දින සිට වසර හතරක් ඇතුලත මෙ ලෙස සමාගම් දෙකකට වෙන් කල යුතු වේ. පෙත්සම්කාර පාර්ශ්වයේ නීති තර්කය වූයේ, රක්ෂන සංස්ථාව මෙලෙස වෙන් වෙන් සමාගම්වලට කැඩීමේ දී මෙම වසර හතර ඉක්ම ගොස් තිබුනු බැවින් එම ක්‍රියාව නීත්‍යානුකූල නොවන බව යි.

අභියාචනාධිකරනය එය පසෙකට විසි කලේ, උක්ත වසර හතර ඇතුලත රක්ෂන සංස්ථාව සමාගම් දෙකකට යලි ලියාපදිංචි කිරීම පමා වූයේ එම පියවරට එරෙහි ව එම ආයතනයේ සේවකයන් අතර පැවති විරෝධතා ම මිස පරිපාලනයේ අතපසු වීමක් නොවන බව අවධාරනය කරමිනි. මෙම තීන්දුව, අධිකරනය හරහා ඊනියා විසඳුම් ලැබෙනු ඇතයි යන ප්‍රලාපය කීතු කර දැමෙන්නකි.

මාස පහකට ආසන්න කාලයක් රක්ෂන සේවකයින් අධිකරනය වටා, වට වන්දනාවේ රැගෙන ගිය රසපොසේස මෙම රීට් පෙත්සමට දෙන ලද තීන්දුව අභියෝගයට ලක් කරමින් නැවතත් ඇපෑලක් ඉදිරිපත් කිරීමට සුදානම් වේ. මෙම නිස්සාර නීති තර්ක කම්කරු පන්තිය මුහුන දී ඇති අන්තරාය සහ ඔවුන්ගේ සටනේ ඉදිරි මාවත පිලිබ දේශපාලන විඥානය දශමයකින් හෝ නංවන්නේ නැතිවා පමනක් නොව, එය, මෙම ධනපති ආයතන කෙරෙහි කම්කරුවන් තුල මිත්‍යාවන් දැල්වීමේ ප්‍රයත්නයක් ද වේ. අධිකරනයේ තීන්දුව සම්බන්ධයෙන් ගන්නා ඊලඟ පියවර කුමක්දැයි ලෝසවෙඅ දිවාකරගෙන් විමසූ විට කීවේ, “ලිපිලේඛනවලට විශාල මුදලක් යන නිසා ඇපීල් කිරීම පමාවෙමින් තිබෙන” බවත් ය.

මෙම අධිකරන ක්‍රියාමාර්ගයට පිවිසීමේදී, 2003 වසරේ වික්‍රමසිංහ ආන්ඩුවේ අයිඑම්එෆ් වැඩසටහන යටතේ පෞද්ගලීකරනය කරන ලද රක්ෂන සංස්ථාව 2009 දී නඩු තීන්දුවක් හරහා නැවතත් රජයට පවරා ගනු ලැබීම, තම ක්‍රියාමාර්ගයේ ශක්‍යතාව පෙන්නුම් කරන්නක් ලෙස දිවාකර විසින් ඔජවැඩුවේ ය. කෙසේවෙතත්, 2009 තීන්දුව ආපසු හරවමින්, 2011 දී නැවතත් රක්ෂන ව්‍යාපාරය සම්බන්ධයෙන් පනතක් සම්මත කර ගැනුනේ ඇයිදැයි දිවාකරව හෝ අවශේෂ සමිති නායකයෙකු හෝ කම්කරුවන්ට පහදන්නේ නැත.

දැන්, රසපොසේස නායකයාට අනුව, රැකියා අහිමිවේ ය යන බිය නිසා සේවකයින් රක්ෂන සංස්ථාව ප්‍රතිව්‍යුහගතකිරීමට එරෙහිව පාරට බැසීමට පැකිලෙමින් සිටී. එහෙත් ඔහු ඇතුලු අවශේෂ වෘත්තීය සමිති නොකියන කාරනය වන්නේ, දහස් ගනනක් රක්ෂන සංස්ථා සේවකයින් එම ආයතනය ඈවර කිරීමට එරෙහිව 2022 වසරේ සිටම පාරට බසිමින් ඒකාබද්ධ අරගලයක් දියත් කිරීමේ අධිෂ්ඨානය පෙන්නුම් කල බවයි. එය පුලුල් අරගලයක් බවට වැඩී සමස්ත ධනපති සංස්ථාපිතයටම එරෙහිව යාම වැලක්වීමේ කටයුත්ත වෘත්තීය සමිති භාරගෙන සිටී.

ධනේශ්වර පක්ෂවලට අනුබද්ධ ව වැඩ කරන වෘත්තීය සමිති වන, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය), සමගි සේවක සංගමය (සමගි ජන බලවේගය), ජාතික සේවක සංගමය (එක්සත් ජාතික පක්ෂය), පොදුජන ප්‍රගතිශීලී සංගමය (ශ්‍රීලපොපෙ), අන්තර්-සමාගම් සේවක සංගමය (ජනතා විමුක්ති පෙරමුන) ඇතුලු රක්ෂන සංස්ථාව තුල ක්‍රියාත්මක වෘත්තීය සමිති 15ක් පමන, පරිපාලනයේ තර්ජනයන්ට කම්කරුවන් යටත් කෙරෙන පරිදි ඔවුන් හුදෙකලාකොට, මෙම විරෝධතා විසුරුවා හැරීමට කටයුතු කලේ ය.

රක්ෂන සංස්ථාව පෞද්ගලීකරනය කිරීමේදී ලබාදුන් මෙම සහායට, පසුගිය වසරේ ජූලියේ තුල්හිරියේ මාස් හෝල්ඩිං ආයතනයට අයත් පුහුනු මධ්‍යස්ථානයකදී පැවත්වූ රසමවුලින් යුත් භෝජන සංග්‍රහයකින්, ධනපති පරිපාලනය වෘත්තීය සමිති නිලධරයට සත්කාර සැලකුම් දැක්වූයේ ය. එම සංග්‍රහය භුක්ති විඳි මේ වෘත්තීය සමිති නායකයෝ, සේවකයන්ට ඉල්ලා අස් වී නව සමාගම්වලට එක් වීමට කැමැත්ත පල කිරීමේ ලියුම් අස්සන් කිරීමට බල කලහ; ඔවුහු ඊට මත්තෙන් රසපොසේස ලේකම් දිවාකර සහ එම සමිතියේ තවත් නායකයෙකු දඩයම් කිරීමට හවුල් වූහ; තවද, සේවකයන්ට එරෙහි ව පීඩාකාරී පාලන තන්ත්‍රයක් කොලඹ රක්ෂන සංස්ථා මූලස්ථානය තුල ස්ථාපිත කිරීමට හවුල් වූහ.

උක්ත ක්‍රියාවන්ට එරෙහිව කම්කරුවන් සංවිධානය කිරීමට, දිවාකරගේ රසපොසේස මුලුමනින්ම අසමත් විය.

මැයි 22 වැනි දින අයිඑම්එෆ් විධාන නීතියක් බවට පත් කරන ආර්ථික ප්‍රතිසංස්කරන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුනි. පාලක පන්තියේ පෙර පැවති උපායික වෙනස්කම් කුමක් වුවත් දැන් ඒ සියලු කන්ඩායම් කම්කරු පන්තියට එරෙහි ව එක්සත් ව සිටිති.

ආන්ඩුවේ මෙම වානිජකරන ප්‍රතිපත්තියේ ම කොටසක් වශයෙන් පසුගිය වසරේ සේවකයන් 292ක් දොට්ට දමමින් සතොස වසා දමනු ලැබූ විට එම ආයතනයේ වෘත්තීය සමිති පන්ති අරගලයට ඇබ ගසමින් සරන සොයා ගියේ අධිකරනය වෙතටයි. රක්ෂන සංස්ථාව සම්බන්ධයෙන් දිවාකරගේ පෙත්සම සම්බන්ධයෙන් අධිකරනය දැක්වූ නිර්දය ප්‍රතිචාරයම දක්වමින්, 2023 ඔක්තෝබර් පෙත්සම ද අධිකරනය ඉවත දැමුවේ මෙසේ ප්‍රකාශ කරමිනි: “නීත්‍යානුකූලභාවයේ සහ සාධාරනත්වයේ සීමාවන් තුල ආන්ඩුවේ ප්‍රතිපත්ති පවතිනතාක්, ආර්ථික කටයුතුවලදී, විශේෂයෙන් අර්බුදකාරී කාලයන්හි දී, විධායක බලයට ගරු කිරීමේ වැදගත්කම පිලිගනිමින් මෙවන් නඩු වලදී ආන්ඩුවේ ප්‍රතිපත්තිවලට මැදිහත් නොවීමේ මූලධර්මය අධිකරනය විසින් තහවුරු කර ඇත”.

මෙම ප්‍රකාශය, ධනේශ්වර දේපල ක්‍රමයේ ආරක්ෂකයෙකු ලෙස ධනපති උසාවියේ සැබෑ කර්තව්‍යය තහවුරු කරන්නකි. මේවා ඇස්පනා පිටම සිදුවෙත්දීත්, ස්වාධීන සහ සටන්කාමී යැයි කියා ගන්නා වෘත්තීය සමිති යෙදී සිටින්නේ, කම්කරුවන් යථා වශයෙන් මුහුන දී සිටින රාජ්‍ය ප්‍රහාරය හමුවේ පන්ති අරගලයට වල කැපීමේ ක්‍රියාවේ ම ය.

මේ හා සමාන ම පියවර ශ්‍රී ලංකා ටෙලිකොම්, ඛනිජ තෙල් සංස්ථාව, ශ්‍රී ලංකා දුම්රිය සේවය, එයාර් ලංකා සහ ජල සම්පාදන මන්ඩලය ඇතුලු සෙසු රාජ්‍ය ව්‍යවසායන් තුල ද ගනු ලැබෙන අතර පොදුවේ වෘත්තීය සමිති නිලධරයේ ක්‍රියාමර්ග රක්ෂන සංස්ථාවේ සමිති නිලධරයෙන් වෙනස් නැත.

තතු මෙසේ වන්නේ, කම්කරු පන්තිය සටන් කිරීමට ඇති සූදානම ගැන යලියලිත් පෙන්නුම් කරමින් සිටියදී ය. දුම්රිය, සෞඛ්‍ය, අධ්‍යාපන, තැපල් ඇතුලු අනෙකුත් ක්ෂේත්‍රවල දැන් පුපුරායමින් තිබෙන වැඩවර්ජන සහ අනෙකුත් සටන් පියවර මගින් පෙන්නුම් කරන්නේ එයයි. ඇමෙරිකාව ඇතුලු ලොවපුරා අනෙකුත් රටවල තත්වය මෙයට වෙනස් නොවේ.

කෙසේවෙතත්, සමාජවාදී සමානතා පක්ෂය පමනක් අඛන්ඩවම කම්කරුවන්ට අවධාරනය කරන්නේ, ධනේශ්වර පක්ෂ හා වෘත්තීය සමිතිවල අත්අඩංගුවේ සිටිමින් මෙම අරගල අඩියක් හෝ ඉදිරියට නොයනු ඇති බවයි.

“ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාවේ කම්කරු දඩයමට එරෙහිවෙනු!”යන හිසෙන්, 2023 මැයි 31 දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කෙරුනු ලිපිය ඉදිරිපත් කල ක්‍රියාමාර්ගය නැවතත් උපුටා දැක්වීම වටී:

“ආන්ඩුවේ පුද්ගලීකරන න්‍යාය පත්‍රය සහ එහි පුලුල් කප්පාදු පිලිවෙත් පරාජය කල හැක්කේ, ධනේශ්වර ගැති වෘත්තීය සමිති වලින් ස්වාධීනව සහ ආන්ඩුවට සහ ධනේශ්වර පාලනයට අභියෝග කරන දේශපාලන මූලෝපායක් මත පදනම් වූ කම්කරු පන්තියේ ඒකාබද්ධ ව්‍යාපාරයකට පමනි. මෙයින් අදහස් කරන්නේ, ශ්‍රීලංරස සේවකයින් අතර ඇතුලුව සෑම සේවා ස්ථානයකම, කම්හලක, වතුකරයේ සහ අසල්වැසි ප්‍රදේශයකම කම්කරුවන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට අවශ්‍ය වන අතර කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය හරහා ඔවුන්ගේ ජාත්‍යන්තර සහෝදර සහෝදරියන් වෙත ලඟා විය යුතු බවයි.

“ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී කමිටු, කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා සසප ඉදිරිපත් කරන ඉදිරිදර්ශනය සඳහා සටන් කල යුතුය. දිවයින පුරා කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු වලින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කරගත් නියෝජිතයින් මත පදනම් වන මෙම සම්මේලනය, වික්‍රමසිංහ පාලනයට එරෙහිව සටන් කිරීමටත්, සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමටත්, කම්කරුවන්ගේ සහ පීඩිත ජනතාවගේ අවශ්‍යතා සහ අයිතිවාසිකම් සුරක්ෂිත කරන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමටත් අවශ්‍ය අඩිතාලම දමනු ඇත.”

Loading