ඉදිරිදර්ශන

ජනසංහාරක යුද්ධය වැඩිදුර උත්සන්න කිරීමක් තුල ඊස්රායලය ගාසා වැසියන් 274ක් මරා දමයි

කොන්ග්‍රසය නෙතන්යාහුට කල ආරාධනයට විරෝධය දැක්වීමට ජූලි 24දා වොෂින්ටන් ඩීසීහි දී මහජන විරෝධතාවක් සඳහා

[මෙය, 2024 ජූනි 10 දා, For a mass demonstration on July 24 in Washington D.C. to protest congressional invitation for Netanyahu යන මැයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල වූ ලිපියේ පරිවර්තනයකි.]

ජුනි 8දා ඊස්රායල හමුදා සමස්ත ජනසංහාරයේ මහා පරිමාන මිනීමැරීම්වලින් වඩාත් ම ගොරතර ක්‍රියාවක් සිදු කල හ. මධ්‍යම ගාසා තීරයේ නුසෙයිරට් සරනාගත කඳවුරට එල්ල කල ප්‍රහාරයේ දී, අවම වසයෙන් පුද්ගලයින් 274ක් මරා දැමුනි. මෙම මරන සංඛ්‍යාවට අවම වසයෙන් ලමුන් 64ක්, කාන්තාවන් 57ක් හා වැඩිහිටියන් 37ක් ඇතුලත් වෙයි. තවත් පුද්ගලයින් 680කට තුවාල කෙරුනි.

2023 නොවැම්බර් 5දා, වොෂින්ටන් ඩීසීහි දී ගාසා ජනසංහාරයට එරෙහි ව පැවැත්වූ රැලියක්

ආධාර බෙදන කම්කරුවන් ලෙස වෙස් වලාගත් ඊස්රායල භටයෝ, සරනාගත කඳවුරට වෙඩි තබා කඩාපැනීම් ගනනාවක් සිදු කල හ. මෙම සංහාරය මතුපිටට පෙන්වන ලද්දේ, “ප්‍රාන ඇපකරුවන් මුදාගැනීමේ” මෙහෙයුමක් ලෙස ය. එහෙත් මුදාගත් සෑම එක් ප්‍රාන ඇපකරුවෙකුට ම, පුද්ගලයින් 68ක් ගොරතර ලෙස සංහාරයට ලක්කල අතර, සැලකිය යුතු ලෙස එක්සත් ජනපදයේ පුරවැසියෙකු ද ඇතුලු ඊස්රායල ප්‍රාන ඇපකරුවන් තිදෙනෙක් ඒ අතර සිටිය හ.

මෙම සංහාරය සිදු කරන ලද්දේ, වොෂින්ටන් ඩීසීහි දී ජූලි 24දා පැවැත්වෙන ඒකාබද්ධ කොන්ග්‍රස් සමුලුවක් අමතන ලෙස, ඊස්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට කොන්ග්‍රසයේ මන්ඩල දෙක ම දින නියම කිරීමෙන් යන්තම් දින කිහිපයකට පසුව ය. එය, දෙවන ලෝක යුද්ධය සමයේ හොලෝකෝස්ටයේ ඉහල ම අදියරේ දී, කොත්ග්‍රසයේ කතා කිරීම සඳහා හිට්ලර් ට ආරාධනා කිරීමටය සමාන වේ.

නෙතන්යාහු එහි පෙනී සිටින කාලයේ දී, වොෂින්ටන් ඩීසී නගරයේ මහජන විරෝධතාවක් පවත්වමින් ප්‍රතිචාර දක්වන ලෙස, ලෝක සමාජවාදී වෙබ් අඩවිය කම්කරුවන්ට හා තරුනයන්ට කැඳවුම් කරයි. එහෙත් මෙම විරෝධතාවේ අභිප්‍රායය වන්නේ, හුදෙක් නෙතන්යාහුට පමනක් නො ව, ජනසංහාරයට මාවත පෙන්වමින්, මුදල් සපයමින්, සන්නද්ධ කරමින් හා දේශපාලනික ව යුක්තිසහගත කරමින් ඇමරිකානු අධිරාජ්‍යවාදය හා සමස්ත දේශපාලන සංස්ථාපිතය ගෙන යන භූමිකාවට විරෝධය දැක්වීම ය.

“එක්සත් ජනපදයේ නියෝජිත මන්ඩලයේ හා එක්සත් ජනපද සෙනෙට් සභාවේ ද්විපාක්ෂික නායකත්වය” විසින් අත්සන් කරන ලදුව නෙතන්යාහුට යැවූ ආරාධනාව, එක්සත් ජනපදය තුල ද ලෝකය පුරා ද ගාසා ජනසංහාරයට එරෙහි මහජන විරුද්ධත්වයට එරෙහි දේශපාලනික ප්‍රකෝපකරනයකි. එය, යුද අපරාධ පිලිබඳ ජාත්‍යන්තර අපරාධ අධිකරනයේ ප්‍රධාන චෝදකයා විසින් චෝදනාවට ලක්කර ඇති මිනීමරුවෙකු සමග දේශපාලනික හා සදාචාරාත්මක සහෝදරත්වය ප්‍රකාශ කිරීමකි.

ඒ අතර ම, මෙම ආරාධනාව ඇමරිකානු ආන්ඩුව හා ඊස්රායල පාලන තන්ත්‍රය අතර පවතින සැබෑ සබඳතාව හෙලිදරවු කරයි. නෙතන්යාහුගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රගති වාර්තාවකට සමාන දෙයක් ඉදිරිපත් කරන ලෙස ය. “ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව, ත්‍රස්තවාදයට එරෙහි ව සටන් කිරීම සහ කලාපය තුල සාධාරන හා කල් පවතින සාමයක් ස්ථාපිත කිරීම සඳහා ඊස්රායල ආන්ඩුවේ දැක්ම බෙදාහදා ගන්නා ලෙස අපි ඔබට ආරාධනා කරමු” යි එය සඳහන් කරයි.

ඊස්රායල පාලන තන්ත්‍රය “ත්‍රස්තවාදයට එරෙහි ව සටන් කරමින් සිටිනවා” නො වේ. එය සමස්ත ජනතාවක් සංහාරයට ලක්කරමින් සිටින්නේ, එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදයේ උපකරනයක් ලෙස ය.

සත්‍ය වසයෙන් ම, ජුනි 8 සංහාරය සිදු කලේ, එක්සත් ජනපද හමුදාවේ ඍජු මැදිහත්වීම සමගිනි. මෙම ප්‍රහාරය සඳහා ඊස්රායල භූමියට දිගේලි කරන ලද එක්සත් ජනපද මිලිටරි භටයන් “ඔත්තු සේවාව හා අනෙකුත් සහයෝගයන්” සම්පාදනය කල බව නිව් යෝක් ටයිම්ස් පත්‍රය තහවුරු කල අතර, දිනකට පෙර ස්ථානගත කරන ලද එක්සත් ජනපදයේ නිෂ්පාදිත “මානවීය” ආධාර නෞකාවකින් ඊස්රායල හමුදා සැඟවී සිටි ආධාර රථය ගොඩබාන ලද බව පලස්තීන මූලාශ්‍ර කියා සිටියේ ය.

“මේ තරම් සිවිල් වැසියන් සංඛ්‍යාවක් මරා දැමීමෙන් පසුව පවා, මේ ආකාරයෙන් ම තවත් මෙහෙයුම් කිරීමට එක්සත් ජනපදය ඊස්රායලයට සහයෝගය දෙන්නේ දැ” යි විමසූ විට, “එසේ කිරීමට ඊස්රායලය සමග අපි අඛන්ඩ ව වැඩ කරනවා” යි ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන් ප්‍රකාශ කලේ ය.

නෙතන්යාහුට ආරාධනා කිරීම මගින්, ඇමරිකානු දේශපාලන සංස්ථාපිතය පැහැදිලි කරමින් සිටින්නේ, ඊස්රායල තන්ත්‍රයට මරා දැමීමට ඉඩ දෙන පලස්තීනුවන් සංඛ්‍යාවට “රතු රේඛා” නැති බව ය. මරන සංඛ්‍යාව දැන් 50,000ට ආසන්න වෙමින් තිබේ. මහා පරිමාන කුසගින්න යොදාගැනීම ද ඇතුලු ව ලක්ෂ ගනනක් මරා දැමිය හැකි අතර, එය එක්සත් ජනපදයේ සහයෝගය මත බලපෑමක් ඇති නො කරයි.

සියලු කම්හල්වල හා අනෙකුත් වැඩපොලවල කම්කරුවන්ට ලෝසවෙඅ කැඳවුම් කරන්නේ, විරෝධතාවට සහභාගි කරවීම පිනිස, නියෝජිතයන් සංවිධානය කරන ලෙස යි. ජූලි 24දා විරෝධතාවට සහභාගි වනු වස්, ඩීසී වෙත පැමිනෙන ලෙස ශිෂ්‍යයන් හා තරුනයන්ට ද අපි කැඳවුම් කරමු.

මෙම විරෝධතාවේ අභිප්‍රායය වන්නේ, යුද අපරාධකරුවන්ට ඔවුන්ගේ මනස වෙනස් කරගන්නා ලෙස පෙලඹවීම නො වේ. ඔවුන් වෙනස් නො වනු ඇත. අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අව්‍යාජ මූලෝපායක පදනම මත බලගතු යුද-විරෝධී ව්‍යාපාරයක් ආරම්භ කිරීම එහි අරමුන යි.

මෙම මූලෝපාය පහත දැක්වෙන මූලධර්ම මත පදනම් කල යුතු ය:

පලමු ව, ගාසා ජනසංහාරය, එක්සත් ජනපදය නායකත්වය දෙන ලෝක අධිරාජ්‍යවාදයේ ගෝලීය පුපුරා යාම සමග වෙන් කල නො හැකි ලෙස බැඳී, රුසියාවට හා චීනයට එරෙහි ව උත්සන්න කෙරෙමින් පවතින එක්සත් ජනපද යුද්ධයක තීරනාත්මක කොටසක් ලෙස පවතී.

නැටෝ බලයන් ඍජු සහභාගිකරුවන් ලෙස යුද්ධයට ඇතුලුවෙමින් සිටින, යුක්‍රේන යුද්ධයෙහි ප්‍රධාන තීව්‍ර කිරීමක් මධ්‍යයේ, නෙතන්යාහුට ආරාධනා කිරීම සිදු කෙරේ. පසුගිය සතියේ දී, නැටෝ ආයුධ යොදා ගනිමින් රුසියාව ඇතුලතට පහර දෙන ලෙස යුක්‍රේනයට තමන් අවසර දී ඇති බව බයිඩන් නිවේදනය කල අතර, යුක්‍රේනයට භටයන් යවන රටවල සන්ධානයක් තැනීම සඳහා තමන් වැඩ කරමින් සිටින බව ප්‍රන්ස ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් නිවේදනය කර ඇත.

ගාසා තීරය තුල ජනසංහාරයට පිටුබලය දෙන ආන්ඩු ම, යුක්‍රේනය තුල කුලීකාර තන්ත්‍රය සන්නද්ධ කරමින් සිටිති. එක්සත් ජනපදය හා එහි සගයෝ ජනසංහාරයට විරෝධය දක්වන පුද්ගලයින් දහස් ගනනක් අත් අඩංගුවට ගැනීම අධීක්ෂනය කරද්දී, විවෘත ෆැසිස්ට්වාදීන්ගෙන් සමන්විත යුක්‍රේනියානු ආන්ඩුව, යුද්ධයේ ද යුක්‍රේනය හා රුසියාව යන රටවල් දෙකේ ම ධනපති තන්ත්‍රයන්ගේ ද සමාජවාදී විරුද්ධවාදියෙක් වන බොග්ඩාන් සයිරෝටියුක් අත් අඩංගුවට ගෙන ඇත.

දෙවනුව, යුද්ධයට එරෙහි ව්‍යාපාරයක් පදනම් කල යුත්තේ කම්කරු පන්තිය මත යි.

යුද්ධයේ දී සටන් කරනු ඇත්තේ හා මරනයට පත්වන්නේ කම්කරු පන්තිය වන අතර, යුද්ධය සඳහා ගෙවීමට බල කරනු ඇත්තේ ද කම්කරු පන්තියට ය. යුද්ධය නිර්මානය කරන ධනපති අර්බුදය ම, යුද්ධය අවසන් කිරීම සඳහා පදනම ද -අසමානතාවට, දරිද්‍රතාවට, වැටුප්, රැකියා, සෞඛ්‍යාරක්ෂනය, අධ්‍යාපනය හා කම්කරු පන්තියේ සියලු සමාජීය අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයන්ට විරුද්ධ ව වර්ධනය කරන අරගලයක රූපයෙන් - නිර්මානය කරයි.

තෙවනුව, යුද්ධයට එරෙහි ව්‍යාපාරය, ධනපති පන්තියේ සියලු දේශපාලන පක්ෂවලින් හා සංවිධානවලින් මුලුමනින් ම ස්වාධීන වියයුතු සහ ඒවාට හතුරු විය යුතු ය.

බයිඩන් පරිපාලනය සහ ඩිමොක්‍රටිකයන් ආරම්භයේ පටන් ම මෙම යුද්ධයට ඍජු ව සහභාගි වී ඇත. 2024 මැතිවරනයේ බයිඩන් ගේ රිපබ්ලිකානු විරුද්ධවාදියා වන ඩොනල්ඩ් ට්‍රම්ප්, “ඊස්රායලය සිය රාජකාරිය අවසන් කල යුතු” යයි පසුගිය සතියේ ප්‍රකාශ කලේ ය. ජනසංහාරය සන්නද්ධ කිරීමේ දී හා එයට දක්වන විරෝධයට “යුදෙව්-විරෝධී” ලෙස මඩගැසීමේ දී, ඩිමොක්‍රටිකයන් හා රිපබ්ලිකානුවන් අත්වැල් බැඳගෙන ඇත.

රටින් පිටත යුද්ධය තීව්‍ර කරන අතර, පාලක ප්‍රභූන් රට තුල ෆැසිස්ට්වාදී හා ආඥාදායක පාලන රූප කරා විවෘත ව හැරෙමින් සිටී. සංගත හා මූල්‍ය කතිපයාධිකාරයේ පිලිවෙත්වලට කම්කරු පන්තිය දක්වන සකල විරුද්ධත්වයන්ට එරෙහි ව මෙය යොමු කරනු ලැබේ.

සිවු වනුව, ජනසංහාරයටත් යුද්ධයටත් විරුද්ධ ව්‍යාපාරයක්, සෑම රටක ම හා සෑම මහාද්වීපයක ම කම්කරුවන් ඔවුන්ගේ පොදු පන්ති අවශ්‍යතාවල පදනම මත එකමුතු කරන, ජාත්‍යන්තර ව්‍යාපාරයක් විය යුතු ය.

පලමුවන ලෝක යුද්ධය හා දෙවන ලෝක යුද්ධය මෙන් ම, තීව්‍ර වෙමින් පවතින ගෝලීය යුද්ධය පැන නගින්නේ, ලෝක ධනපති ක්‍රමයෙහි පරස්පර-විරෝධයන්ගෙනි. සමාජයේ සමස්ත ධනය නිෂ්පාදනය කරන්නා වූ ද ඒ නිසා ම ධනපති පාලක ප්‍රභූන්ගේ කුමන්ත්‍රනයන්වලට විරුද්ධ විය හැකි සමාජ හා ආර්ථික බලය ඇත්තා වූ ද ගෝලීය කම්කරු පන්තිය බලමුලු ගැන්වීම හරහා පමනක් නව ගෝලීය අග්නි ජාලයක් වැලැක්විය හැකි ය.

පස්වනුව, යුද්ධයට එරෙහි සටන ධනපති-විරෝධී හා සමාජවාදී විය යුත්තේ, මූල්‍ය ප්‍රාග්ධනයේ ආඥාදායකත්වය ද යුද්ධයේ මූලික හේතුව වන ආර්ථික ක්‍රමය ද අවසන් කිරීමට කරන සටන හරහා මිස යුද්ධයට එරෙහි බරපතල අරගලයක් තිබිය නො හැකි බැවිනි.

සංගත හා මූල්‍ය කතිපයාධිකාරය තම අවශ්‍යතා හා ධනපති ලාභ පද්ධතිය ආරක්ෂා කරගැනීම සඳහා මානව වර්ගයා අගාධයක් දෙසට ධාවනය කරමින් සිටී. පාලක පන්තියේ නො නවතින යුද්ධයට නො නවතින විප්ලවයේ ඉදිරි දර්ශනයෙන් කම්කරු පන්තිය පිලිතුරු දිය යුතු අතර, එහි මූලෝපායික අරමුන වන්නේ ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කිරීම සහ ලෝක සමාජවාදී සමූහාන්ඩු සංගමයක් ස්ථාපනය කිරීම යි.

Loading