දිගු කාලයක් පුරා නොතකන ලද, තමාට හිමි වැටුප් වැඩිවීමක් ඉල්ලා ශ්‍රී ලංකාවේ පාසල් ගුරුවරුන් ජූනි 26 දා දියත් කල “අසනීප නිවාඩු” උද්ඝෝෂනය කේන්ද්‍ර කර ගනිමින්, ඩේලි මිරර් පුවත්පතේ ජූනි 29 දා කතුවැකිය, ගුරුවරුන්ට එරෙහිව තුච්ඡම ගනයේ අවලාද මාලාවක් නගා තිබුනි. දිවයිනේ ප්‍රධාන ධනපති මාධ්‍යයක් වන ඩේලිමිරර් හි මෙම ප්‍රතිචාරය කම්කරු පංතියේ ප්‍රජාතන්ත්‍රීය සහ සමාජ අයිතීන් සම්බන්ධයෙන් සමස්ත ධනපති සංස්ථාපිතයේ නරුම නොතැකීම සහ විරුද්ධත්වය ගැඹුරින්ම ප්‍රකාශයට පත් කරයි.
'වර්ජනයේ යෙදෙන පාසල් ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ එහි බලපෑමට ලක්වන ලමා සිත්” යන හිසින් යුත් කතුවැකියේ ආරම්භක ඡේදයක මෙසේ සඳහන් වෙයි: “කෙතරම් වාසනාවක් ද? ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට නිර්දේශිත වැටුප් වැඩිවීමෙන් තුනෙන් එකක් ලැබී ඇත. ගුරුවරු, විශ්‍රාම වැටුපක් ද භුක්ති විඳිති.'
කෙතරම් නරුමත්වයක් ද? 1997 සිට ගුරුවරුන් ඉල්ලා සිටි ඔවුනට හිමි වැටුප් වැඩිවීමෙන් තුනෙන් එකක් හෝ ලැබුනේ සියවස් කාර්තුවකට පසුය; එනම් 2022 වසරේදී ය. එකී දීර්ඝ කාලය තුල දැවැන්තව වැඩි වූ ජීවන වියදමට අලගු තැබීමටවත් එම වැටුප් වැඩිවීම ප්‍රමානවත් නොවන බව සිහිනුවන ඇති කවරෙකුට නම් නොවැටහේ ද?
ඩේලිමිරර් කතුවරයාට අනුව විශ්‍රාම වැටුපක් හිමිවීම “වාසනාවකි'. ඊට විපරීත ව, එය ගුරුවරුන් ඇතුලු සමස්ත කම්කරු පංතිය සතු මූලික සමාජ අයිතියකි. රැකියාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු උදාවන සැඳෑ සමයේ, සෞඛ්‍ය සම්පන්නව සහ ආත්ම ගෞරවයෙන් යුක්තව ජීවත් වීමට ප්‍රමානවත් විශ්‍රාම වැටුපක් ලබා ගැනීමේ මෙම මූලික අයිතිය තහවුරු කරනු ලැබුවේ ජාත්‍යන්තර කම්කරු පංතිය දිගු කාලීනව කරන ලද අරගලවල ප්‍රතිඵලයක් ලෙසිනි.
කෙසේ නමුත්, ඩේලිමිරර් කතුවරයා “වාසනාවක්” ලෙස සලකන ගුරුවරුන් ඇතුලු බහුතරයකට ලැබෙන විශ්‍රාම වැටුප ඔවුනගේ අවශ්‍යතා සපුරා ගැනීමට කිසිසේත් ප්‍රමානවත් නොවේ. එපමනක් නොව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු විධානයන්ට අනුව, රාජ්‍ය සේවයට බඳවා ගැනෙන නව කම්කරුවන්ට විශ්‍රාම වැටුප් මුලුමනින්ම අහිමි වේ.
කතුවරයාගේ මෙම ප්‍රකාශයේ දුෂ්ට අරමුන වනුයේ, ජීවිතයේ සැඳෑ සමයේ කවර හෝ සුරක්ෂිතභාවයක් නොමැති තත්වයකට ධනපති පාලක පංතිය විසින් ඇදදමා තිබෙන කම්කරුවන් සහ අවශේෂ පීඩිත කොටස්, ගුරුවරුන් ඇතුලු විශ්‍රාම වැටුප් හිමි කම්කරුවන්ට එරෙහිව පිහිටුවීම යි.
ගුරුවරුන් පාසල් වේලාව තුල සිසුන්ට ප්‍රමානවත් අධ්‍යාපනයක් ලබා නොදෙන බැවින්, තම දරුවන්ගේ පුද්ගලික උපකාරක පංති සඳහා දැවැන්ත මුදලක් වැය කිරීමට දෙමාපියන්ට සිදුව ඇති බවට, සමීක්ෂන වාර්තා උපුටා දක්වමින් කතුවැකිය තවත් අවලාදයක් නගයි.
මෙය පරිපූර්න ප්‍රලාපයකි. තම දරුවන්ගේ පුද්ගලික උපකාරක පංති සඳහා දැවැන්ත මුදලක් වැය කිරීමට දෙමාපියන්ට සිදුව ඇත්තේ, අනුප්‍රාප්තික ආන්ඩු විසින් අඛන්ඩව සිදු කරන ලද කප්පාදුවල ප්‍රතිඵලයක් ලෙස පාසල් අතර ඇතිකර තිබෙන දැවැන්ත අසමානතාවය හේතුවෙන්, සාපේක්ෂ වශයෙන් සම්පත් ඇති “ජනප්‍රිය” පාසල් වලට දරුවන් ඇතුලත් කර ගැනීමට දෙමාපියන් දරන ප්‍රයත්නය සහ රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රසාරනය නොකිරීමෙන් සිසුන් අතර ඇතිව තිබෙන දැඩි තරඟකාරිත්වය හේතුවෙනි. කප්පාදුවේ ප්‍රතිඵලයක් ලෙස අදාල විෂයයන් සඳහා පාසල් තුල ගුරුවරුන් නොමැතිවීම, දරුවන් පුද්ගලික උපකාරක පංති වෙත යොමු කිරීමේ තවත් හේතුවකි.
ගුරුවරුන් වැඩි වැටුප් ඉල්ලා සිටින්නේ, පසුගිය දෙවසර තුල, ප්‍රද්ගලික අංශයේ කම්කරුවන් සඳහා කවර හෝ වැටුප් වැඩිවීමක් නොලැබුනු සහ එම අංශයේ කම්කරුවන් දහස් ගනනකට රැකියා අහිමි වූ තතු තුල යැයි පවසන කතුවැකිය, වතුකම්කරුවන්ගේ පහත් වැටුප් මට්ටම් පිලිබඳ කිඹුල් කඳුලු හෙලයි. වතු කම්කරුවන් ඇතුලු පුද්ගලික අංශයේ කම්කරුවන්, ගුරුවරුන් ඇතුලු රාජ්‍ය අංශයේ කම්කරුවන්ට එරෙහිව පිහිටුවීම කතුවරයාගේ අරමුනයි.
අනතුරුව ඔහු, ජූනි 26 දා කොලඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ගුරුවරුන් පැවැත්වූ විරෝධතා පා ගමනට තහංචි පනවනුවස්, ආන්ඩුව පොලීසිය ලවා අධිකරනයෙන් ලබාගත් වාරන නියෝගයට ගුරුවරුන් අවනත නොවීමට එරෙහිව මෙසේ පවසයි: “රටේ ප්‍රධාන දුම්රිය ස්ථානයේදී විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ හැසිරීම් අනුගමනය කිරීමට තරුනයන් නොපෙලඹෙනු ඇතැයි, අනාගත පරපුර වෙනුවෙන්, අපට බලාපොරොත්තු විය හැකිය.'
පා ගමන් ඇතුලු විරෝධතා දැක්වීම මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතියක් වන අතර, ගුරුවරුන් උත්සාහ කලේ එම අයිතිය භුක්ති විඳීමට යි. පොලීසිය එයට ප්‍රතිචාර දැක්වූයේ උක්ත වාරන නියෝගය යොදා ගනිමින් ගුරුවරුන්ට ප්‍රචන්ඩ ප්‍රහාරයක් එල්ල කරමිනි. නමුත්, ධනපති මාධ්‍ය කතුවරයාගේ පෑන යොමු වන්නේ ප්‍රහාරකයාට එරෙහිව නොව, වින්දිතයාට එරෙහිවයි.
අනතුරුව ඔහු, මෙසේ පවසයි: “උතුරෙන් සහ නැගෙනහිරෙන් පිට පලාත්වල පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සෞඛ්‍ය සේවකයන් එදා යුද්ධයෙන් විනාශයට පත් වූ උතුරු නැඟෙනහිර ප්‍රදේශවල තම සහෝදරයන්ගෙන් ආදර්ශයක් ගනු ඇතැයි හුදෙක් අපට බලාපොරොත්තු විය හැකිය. මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රාන ඇපයට ගන්නවාට වඩා ඔවුන්ට අඛන්ඩ සේවයක් සහතික කිරීමට උදවු කරමු.'
යුද සමයේ, උතුරු-නැගෙනහිර ගුරුවරුන්, අරගල වලට නොපිවිසි බවට කතුවැකිය කරන ප්‍රකාශයමත් සාවද්‍ය ය. දැඩි මිලිටරි පාලනයක් පැවති මෙම ප්‍රදේශයන්හි ක්‍රියාවට නැංවුනු රුදුරු මර්දනය යටතේ පවා, ඔවුහු හැකි සෑම අවස්ථාවකම දකුනේ ගුරුවරුන් සමග අරගල වලට පිවිසියහ.
සැබැවින්ම, එම ලේවැකි වාර්ගික යුද්ධය වෙනුවෙන් පංති සටන් හකුලාගනු ලැබුවේ, දකුනේ වෘත්තීය සමිති නිලධරය යි. ගුරු සංගම් නායකයන් ඒ සම්බන්ධයෙන් කුප්‍රකට ය.
2007 අගෝස්තු මාසයේ දී ගුරු සංගම් විසින් වැඩි වැටුප් ඉල්ලා ගෙනගිය උද්ඝෝෂනයක් මධ්‍යයේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ, සාකච්ඡාවක් සඳහා ලංකා ගුරු සංගමයේ නායක ජෝසෆ් ස්ටැලින්, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) මෙහෙයවන ලංකා ගුරු සේවා සංගමයේ (ලංගුසේස) නායක මහින්ද ජයසිංහ ඇතුලු සමිති නායකයන් කැඳවීය. අගෝස්තු 13 දා පැවති එම රැස්වීමේදී, රාජපක්ෂ මෙසේ ප්‍රශ්න කලේය: “මේකට වෙන් කරන්න අපිට සල්ලි නැහැ. උතුරු නැඟෙනහිර ප්‍රදේශවලින් හමුදාව ඉවත් කල යුතුයි කියලද ඔබ කියන්නේ?”.
ඒ සම්බන්ධයෙන් තම ප්‍රතිචාරය කුමක් වූයේ දැයි ස්ටැලින්ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ නිශ්ශබ්ධව සිටි බවයි. ඒ මන්දැයි ඇසූවිට ඔහු මෙසේ පැවසීය: “ආන්ඩුව වැටුනොත්?' වෙනත් වචන වලින් කිවහොත්, වෘත්තීය සමිති ආන්ඩුවට සහාය දුන් අතර යුද්ධයට විරුද්ධ නොවුනි. යුද්ධය ඉහල නැංවියයුතු බවට ජවිපෙ උද්ඝෝෂනය කරමින් සිටි තතු යටතේ ලංගුසේස එයට මුලුමනින්ම කරබදු වී සිටියේ ය.
අවසානයේදී ධනපති ආන්ඩුව මුහුන දී සිටින ආර්ථික අර්බුදයේ පරිමාව පෙන්වන සංඛ්‍යා සහ දත්ත මාලාවක් ඉදිරිපත් කරන කතුවැකිය ගුරුවරුන්ට මෙසේ “අවවාද” කරයි:
'දැනුම ව්‍යාප්ත කරන්නේයැයි පවසන අය, රට මුහුන දී සිටින තත්වයේ බරපතලකම පුද්ගලික වාසි සඳහා ගසාකෑමට වඩා - නොදන්නා අයට තේරුම් ගැනීමට උපකාර කිරීමේ ලා ඉදිරියෙන්ම සිටිය යුතුය.'
කතුවැකිය කැටිකොට ගතහොත් මෙසේය:
ශ්‍රී ලංකාවේ පාලක පංතිය මුහුන දී සිටින ආර්ථික අර්බුදයේ සමස්ත බර කම්කරු පංතිය විසින්, කවර හෝ ප්‍රතිරෝධයකින් තොරව, දරා ගත යුතුය. ධනේශ්වර ක්‍රමය පවත්වාගෙන යාම සඳහා අනුප්‍රාප්තික ධනපති ආන්ඩු විසින් ලබා ගත් අතිවිශාල විදේශ නය ආපසු ගෙවීම සඳහා කම්කරු පංතිය, තම රැකියා, වැටුප් සහ ජීවන කොන්දේසි කැපකල යුතුය.
මේ සමස්ත ධනපති පාලක පංතියේ හඬයි. කම්කරු පංතිය මෙය මුලුමනින්ම ප්‍රතික්ෂේප කල යුතුය.
සමාජවාදී සමානතා පක්ෂය ජූනි 25 දා නිකුත් කල ප්‍රකාශයේ සඳහන් කර ඇති පරිදි,
'ධනේශ්වර ක්‍රමය පවත්වාගෙන යාම සඳහා අනුප්‍රාප්තික ධනපති ආන්ඩු විසින් ලබා ගත් මෙම අතිවිශාල විදේශ නය සඳහා කම්කරු පන්තිය වගකිව යුතු නොවේ. එය ධනේශ්වර අර්බුදයට වගකිව යුතු නැත.'
'කම්කරු පන්තිය සහ දුගීන් තම වැටුප්, රැකියා, විශ්‍රාම වැටුප්, මහජන සෞඛ්‍යය සහ අධ්‍යාපනය සහ අනෙකුත් සමාජ සුබසාධන වැඩසටහන් කැප කරමින් ධනේශ්වර අර්බුදයට උර දිය යුත්තේ ඇයි? දැනටමත්, කප්පාදු ප්‍රහාර, මහජනතාවගේ සමාජ හා ජීවන තත්වයන් දරාගත නොහැකි මට්ටමට තලා දමා තිබේ.'