ඉදිරිදර්ශන

සැලසුම්ගත ජනසංහාරය: වොෂින්ටනයේ නිෂ්පාදනය කරන ගාසා සංහාරය

[මෙය Genocide by design: The Gaza massacre is made in Washington මැයෙන් 2024 ජූලි 1 වැනි දා පල කල ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනයයි.]

ගාසා ජනසංහාරයේ දී භාවිතයට ගැනීම සඳහා, ඔක්තෝබරයේ පටන් රාත්තල් 2,000 බෝම්බ 14,000ක් එක්සත් ජනපදය ඊස්රායලයට යවා ඇති බව ජුනි 28දා රොයිටර් පුවත් සේවය වාර්තා කලේ ය. එක්සත් ජනපද අවි ගබඩාවේ විශාලතම අවි අතරට අයත් වන මෙම අධි බලැති බෝම්බ, සමස්ත නගර සංකීර්නයන් විනාශ කිරීමට සමත් වන අතර, අඩි 1,200කට ඔබ්බෙන් දක්වා සිටින ජනයා මරා දැමීමට සමත් ය.

ඊස්රායලය හා ගාසා තීරය අතර දේශසීමාවේ පිහිටි කෙරේම් ශාලොම් වෙත කල සංචාරයක් අතරතුර, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් ගාසා ජනසංහාරයේ ප්‍රගතිය පරීක්ෂා කරයි. ඔහුට පිටුපසින් සිටින්නේ, පලස්තීනුවන් “මානව සත්ත්වයන්” ලෙස හැඳින්වූ ඊස්රායල ආරක්ෂක ඇමති යෝව් ගැලන්ට් ය. (එව්ලින් හොක්ස්ටයින්/ඒපී ඡායාරූප එකතුව) [AP Photo]

ඊස්රායලයට යවන ආයුධ තොගවල යථා ලැයිස්තුවක් පලමු වරට හෙලිදරවු කල රොයිටර් වාර්තාව, අනෙකුත් සියලු වර්ගවල බෝම්බ හා මිසයිලවල එකතුවට වඩා, බයිඩන් පරිපාලනය ඊස්රායලයට රාත්තල් 2,000 බෝම්බ යවා ඇති බව පෙන්වා දුන්නේ ය.

අධික ජනඝනත්වයකින් යුත් නාගරික ප්‍රදේශයක් තුල භාවිතා කිරීම සඳහා, අතිශය විනාශකාරී මෙම ආයුධ එතරම් ප්‍රමානයක් එක්සත් ජනපදය විසින් යවා ඇත්තේ මන්ද යන්නට ඇත්තේ එක් විග්‍රහයක් පමනි: ගාසා තීරය සම්පූර්නයෙන් විනාශ කිරීමටත්, හැකිතාක් පලස්තීනුවන් ප්‍රමානයක් සංහායරට ලක්කිරීමටත්, බයිඩන් පරිපාලනය දැනුවත් ව හා හිතාමතා ම උත්සාහ කරමින් සිටී.

සත්‍ය වසයෙන් ම, ගාසා තීරය තුල ඊස්රායලයේ “යුද්ධය,” වොෂින්ටනයේ සිටින එහි නිර්මාපකයන් විසින් අවබෝධ කරගන්නේ, සමූලඝාතක යුද්ධයක් ලෙස ය. සිවිල් නිවාස, පාසල් හා රෝහල් ක්‍රමානුකූල ව විනාශ කර දැමීම, අහඹු අතිරේක නිෂ්පාදනයක් නො ව, එක්සත් ජනපද පිලිවෙතේ දැනුවත් ඉලක්කය යි. මෙහි අරමුන වන්නේ, විනාශ කරන සිවිල් ශරීර ප්‍රමානය අඩු කිරීම වෙනුවට වැඩි කිරීම යි.

සැලසුම් කරන ජනසංහාරයක් වන එය, වොෂින්ටනයේ සැලසුම් කරමින් සංවිධානය කරනු ලැබේ.

පලස්තීන ජනයා මරා දැමීම පිලිබඳ ප්‍රගති වාර්තාවක් කොංග්‍රසයේ ඒකාබද්ධ සැසියකට ඉදිරිපත් කිරීමටත්, ජනසංහාරයේ මීලඟ අවධිය සැලසුම් කිරීම සඳහා වැඩිදුර උපදෙස් ලබාගැනීමටත්, ඊස්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ජූලි 24දා වොෂින්ටන් (කොලොම්බියා දිස්ත්‍රික්කය) නගරයට පැමිනෙනු ඇත.

ලෝක අධිරාජ්‍යවාදයේ අගනුවර දී ජනසංහාරය ප්‍රසිද්ධියේ උත්කර්ෂයට නැංවීමට විරෝධය පලකිරීම සඳහා, එක්සත් ජනපදය පුරා සිටින කම්කරුවන්ට හා තරුන ජනයාට ජූලි 24දා වොෂින්ටන් ඩීසී නගරයට පැමිනෙන ලෙස, ලෝක සමාජවාදී වෙබ් අඩවිය කැඳවුම් කරයි.

සමස්ත පාලක පන්තිය ජනසංහාරයට පිටුබලය දී ඇති අතර, සමාජයේ සියලු ධනය නිර්මානය කරන සමාජ බලවේගය වන කම්කරු පන්තිය, පලස්තීනුවන් ම්ලේච්ඡ ලෙස සංහාරයට ලක්කිරීමට විරුද්ධ වෙමින් ඔවුන් ආරක්ෂා කිරීමට සටන් කල යුතු ය.

නාස්ති කිරීමට කාලයක් නැත. ගතවන සෑම දවසක් පාසා ම, ගාසාවේ ජනගහනය ක්‍රමානුකූල ව කුසගින්නේ තබමින්, වෛද්‍යාරක්ෂනය අහිමි කෙරෙන අතර, ඔවුන් ව සිය ගනනින් මරා දැමෙමින් පවතී.

දැනට නිල වසයෙන් 37,765ක් වන ගාසාවේ මරන සංඛ්‍යාව, සියලු ඉඟිකිරීම් අනුව ප්‍රධාන අවගනනයකි. මාස හතරකට ආසන්න කාලයක පෙර, දේශපාලන ක්‍රියාකාරී රැල්ෆ් නාඩර් තක්සේරු කලේ, “මේ වන විට අවම වසයෙන් පලස්තීනුවන් 200,000ක් මරා දමනු ලැබ ඇති අතර, මරන සංඛ්‍යාව සෑම පැයක් පාසා ම වේගයෙන් ඉහල යමින් පවතින” බව යි. එතැන් පටන් සිදු වී ඇත්තේ, මහජනයා හිතාමතා කුසගින්නේ තැබීම ගැඹුරු කිරීම පමනි.

ජුනි 29 වැනි දා වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කලේ, රැඳවුම් කඳවුරු ගනනාවකට ගාසාවේ ජනයා යොමු කිරීමේ සැලසුමක් පවතින බව වන අතර, ඒවායේ දී එම ජනයා ස්ථීර ව විතැන් කෙරී සිරගත කෙරෙනු ඇත.

“ඊස්රායල මිලිටරිය විසින් ආරක්ෂාව සපයමින්, ඒවායේ අසල්වැසි ප්‍රදේශවලට ආසන්නයේ ස්ථානගත කරන වැටවල්වලින් වෙන් කරනු ලබන භූගෝලීය දිවයින්වල” රූපයෙන් “තාවකාලික වාසස්ථාන” නිර්මානය කිරීම සඳහා පවතින එක්සත් ජනපද-ඊස්රායල සැලසුමක් පිලිබඳ ව, “ගාසා තීරය ආරක්ෂක කලාපවල වෙන් කිරීම දැකගන්නා පශ්චාත් යුද දෘෂ්ටිය” යන මාතෘකාව සහිත ලිපියක් තුල වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කලේ ය.

වොෂින්ටනයේ “පලස්තීන ගැටලුවට අවසන් විසඳුම” සමග ගැලපෙන පරිදි, ගාසා තීරයේ සමස්ත ජනගහනය එක්කෝ මරා දැමීම හෝ නැතහොත් ස්ථීර ව සිරගත කිරීම සිදු කරනු ඇත.

ලොව පුරා මිලියන ගනන් ජනයා එක්සත් ජනපද-ඊස්රායල ජනසංහාරයෙහි ම්ලේච්ඡත්වය හේතුවෙන් තිගැස්මට පත් ව ඇත. මිලියන දෙකක සමස්ත ජනගහනයක් ඝාතනය කිරීමට හෝ සිරගත කිරීමට, තමන් ම “ප්‍රජාතන්ත්‍රයක්” යයි කියාගන්නා ආන්ඩුවක් මනාප වන්නේ මන්දැයි ඔවුහු අසති.

මෙයට පිලිතුර සොයාගත යුත්තේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයෙහි ගෝලීය පිලිවෙත තුල ය. සිය ආර්ථික ආධිපත්‍යයේ ඛාදනයට මුහුන දෙන ඇමරිකානු පාලක පන්තිය, භූ-දේශපාලනික ආධිපත්‍යය පවත්වාගෙන යාමේ එක ම මාවත ලෙස, සිය සාපේක්ෂ මිලිටරි වාසිය දැකගනී.

ඇමරිකානු අධිරාජ්‍යවාදය සාරභූත ලෙස යුක්‍රේනය තුල රුසියාවට එරෙහි යුද්ධය අවුලුවා ඇත. ඒ අතර ම, එය චීනයට එරෙහි යුද්ධය ක්‍රියාශීලී ලෙස සූදානම් කරයි. අතිවිශාල මිලිටරි බලය හා ප්‍රචන්ඩත්වය යොදා ගැනීම හරහා “නව ලෝක පර්යායක්” ස්ථාපිත කිරීමට එක්සත් ජනපදය උත්සාහ දරන “තීරනාත්මක දශකයක්,” බයිඩන් පරිපාලනය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

සිය “නව ලෝක පර්යාය” නිර්මානය කිරීමට දරන උත්සාහයේ දී, තමන් මුලුමනින් ම අනුකම්පා විරහිත වනු ඇති බවත්, එය ඝාතනය කිරීමට අපේක්ෂා කරන පුද්ගලයින් සංඛ්‍යාව සීමා රහිත බවත්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය පැහැදිලි කරමින් සිටී.

මැයි මාසයේ පැවති සාකච්ඡා මන්ඩපයක දී, සිවිල් වැසියන් මහා පරිමානයෙන් මරා දැමීම විවෘත ව ආරක්ෂා කරමින් යුක්තිසහගත කල ඒකාබද්ධ මාන්ඩලික ප්‍රධානීන් ගේ හිටපු සභාපති ජෙනරාල් මාක් මිලී, “එක්සත් ජනපදය අහිංසක මිනිසුන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කල” බව ආඩම්බරයෙන් ප්‍රකාශ කලේ ය. එම මන්ඩපයේ සිටි ඔහු ගේ සගයා වන පැලැන්ටිර් සංගතයේ ප්‍රධාන විධායක නිලධාරී ඇලෙක්ස් කාප් “දරුනු වීමට ඔබ මනාප විය යුතු” යි හා “ඔබ ඔබගේ විරුද්ධවාදියා ව බියට පත් කල යුතු” යි යනුවෙන් කියා සිටියේ ය.

සවිඥානික වේවා නො වේවා, ජෙනරාල් හා ප්‍රධාන විධායක නිලධාරියා ප්‍රතිරාවය කරමින් සිටියේ, ඇඩොල්ෆ් හිට්ලර් ඔහු ගේ පොදු කාර්යය මන්ඩලයට ප්‍රකාශ කල වචන යි: “අපේ ශක්තිය සමන්විත වන්නේ, අපේ ම්ලේච්ඡත්වයේ දී අපේ වේගය යි.”

සිය දෙපතුල දක්වා කුනු වෙමින් පවතින ඇමරිකානු අධිරාජ්‍යවාදය, සිය ඓතිහාසික අර්බුදයෙන් එලියට පවතින එක ම මාවත ලෙස දැකගන්නේ, ප්‍රචන්ඩත්වයේ හා ම්ලේච්ඡත්වයේ පුපුරා යාම යි. එය සැලසුම් කරමින් සිටින තුන්වන ලෝක යුද්ධය, යෝධ පරිමානයකින් ප්‍රචන්ඩත්වය අසීමිත ව යොදා ගැනීම දැක ගනු ඇත.

මෙම යථාර්ථයෙන් සාරභූත නිගමන දෙකක් ගලා එයි:

පලමු ව, අධිරාජ්‍යවාදී යුද්ධයේ ගෝලීය පුපුරා යාමට එරෙහි ව කම්කරු පන්තිය මත පදනම් වන මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමෙන් පිටත, ගාසා ජනංහාරයට විරුද්ධ වීම කල‌ නොහැකි ය.

රුසියාවට විරුද්ධ ව උත්සන්න කරන යුද්ධයට හා චීනයට එරෙහි යුද සැලසුම්වලට විවෘත ව සහයෝගය දීම සමගින්, නෙතන්යාහු ආන්ඩුව ගැන කරන වාචික විවේචන ඒකාබද්ධ කිරීම, ඩිමොක්‍රටික් සෙනෙට් සභික බර්නී සෑන්ඩර්ස් හා කොංග්‍රස් සාමාජිකා ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝටෙස් වැනි පුද්ගලයන් විසින් කර ඇත. යථාර්ථයේ දී බයිඩන් පරිපාලනය තමන් භූගෝලය දක්වා විස්ථාරනය වන ගැටුමක් දියත් කරමින් සිටින බව පැහැදිලි කර ඇති අතර, ගාසා ජනසංහාරයට ඍජු ලෙස පැටලීම එහි තීරනාත්මක සංරචකයකි.

දෙවනු ව, බයිඩන්ට හෝ දේශපාලන සංස්ථාපිතයේ කිසිදු කන්ඩායමකට, ජනසංහාරය නවත්වන ලෙස ආයාචනා කිරීමෙන් පලක් නැත. මේ දක්වා, ජනසංහාරයට එරෙහි ගනන් නැති විරෝධතා, සිය මාවත වෙනස් කරන ලෙස බයිඩන්ට හා ඩිමොක්‍රටිකයන්ට ආයාචනා කිරීමට හෝ පීඩනය දැමීමට උත්සාහ දරා තිබේ.

එහෙත් ඊස්රායල පාලන තන්ත්‍රය විසින් කරන “ඉව බව නැති බෝම්බ දැමීම්” ගැන බයිඩන් ප්‍රසිද්ධියේ කරන විවේචන වනාහි, හැකිතාක් ගාසා වැසියන් මරා දැමීමට ඔහු දෙන පූර්න සහයෝගය ආවරනය කිරීමකට වැඩි දෙයක් නො වේ. යථාර්ථයේ දී, බයිඩන්, ජනසංහාරයේ නිර්මාපකයා හා කතුවරයා වෙද්දී, නෙතන්යාහු යනු ඔහු ගේ කුලියට ගත් මැරයා ය. සිය දේශපාලන ජීවිතය තුල, බයිඩන් යලි යලිත් පුනරුච්ඡාරනය කර ඇති ලෙස, “ඊස්රායලය නොපැවතියේ නම්, අපට එය නිර්මානය කිරීමට සිදු වනු ඇත.”

මේ කාරනා නිසා, ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා සමාජවාදී සමානතා පක්ෂය සංවිධානය කරන ජූලි 24 විරෝධතාව හා රැස්වීම, “ජනසංහාරක ජෝ” බයිඩන්ටත් ඔහු ප්‍රධානත්වය දරන ආන්ඩුවටත් එරෙහි විරෝධතාවක් මිස ඔවුන්ට ආයාචනා කිරීමක් නො වේ. ගාසාව තුල ජනසංහාරයටත්, පලල් ලෙස ගත් කල අධිරාජ්‍යවාදී යුද්ධයේ පුපුරා යාමටත් එරෙහි සටනේ ඉදිරි මාවත මූලෝපායගත කරගැනීමට කම්කරුවන්ට හා තරුනයන්ට වේදිකාවක් සම්පාදනය කිරීම, රැලිය හා රැස්වීම විසින් කරනු ඇත.

ගාසාව තුල මහා පරිමාන මිනීමැරීමේ මාස නවයකට පසුව, නිශ්චිත පාඩම් උකහාගත යුතු ය. ගාසා ජනසංහාරයට එරෙහි අරගලය යනු, ධනපති ක්‍රමයෙහි වඩාත් ම සාරභූත ලක්ෂනයන් ප්‍රකාශයට පත් කරන අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයෙහි ගෝලීය පුපුරා යාමට එරෙහි ව කරන අරගලය යි. එම නිසා, ගාසා ජනසංහාරයට එරෙහි සටන යනු, අවශ්‍ය වසයෙන් ම, ජාත්‍යන්තර කම්කරු පන්තිය ධනවාදයට විරුද්ධ ව කරන සටන යි.

ජූලි 24දා වොෂින්ටනයේ දී අප සමග එක්වන ලෙස මෙම මූලධර්ම සමග එකඟ වන කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

Loading