ජවිපෙ/ජාජබ නායකයා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වෙයි

[මෙය JVP/NPP leader elected as new president of Sri Lanka යන මැයෙන් 2024 සැප්තැම්බර් 23 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ නව විධායක ජනාධිපති ලෙස තේරී පත්වූ බව ඊයේ ප්‍රකාශයට පත් කරන ලදී; එම තේරී පත් වීම, 2022 වසරේ නය පැහැර හැරීමේ සිට රටට බලපෑ ප්‍රගාඪ ආර්ථික, සමාජීය හා දේශපාලන අර්බුදයේ සහ ඉන් පසුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දිවයිනෙන් පලා ගොස් ඉල්ලා අස්වීමට බල කෙරුනු මහජන නැගිටීමේ පිලිබිඹුවකි.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරනය ජයග්‍රහනය කිරීමෙන් පසු, 2024 සැප්තැම්බර් 22 දින, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක කොලඹ මැතිවරන කොමිෂන් සභා කාර්යාලයෙන් පිටතට පැමිනෙද්දී අත වනා ආචාර කරයි [ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන] [AP Photo/Eranga Jayawardena]

ජවිපෙ සහ එහි මැතිවරන පෙරමුන වන ජාතික ජන බලය (ජාජබ) මීට පෙර කිසි දිනෙක ජනාධිපති ධුරය හොබවා නැති වීමත්, ආන්ඩුවේ කනිෂ්ඨ හවුල්කරුවෙකු පමනක් වීමත් සිදුවූ දේශපාලන පෙරලියේ පරිමාව පෙන්නුම් කරයි. සෙනසුරාදා (21) පැවති මැතිවරනයේ දී ලබා ගත් සියයට 42 ට සාපේක්ෂව සැසඳීමේදී 2019 ජනාධිපතිවරනයේ දී දිසානායකට ලබා ගැනීම ට හැකිවුයේ සියයට 3 ක ඡන්ද ප්‍රතිශතයකි.

ප්‍රතිඵලය තීරනය කිරීම සඳහා දෙවන මනාපයන් ගනන් කිරීම වෙත යාමට සිදුවීම, මෑත වසරවල දැවැන්ත ආර්ථික හා දේශපාලන පීඩනයන් යටතේ කොලඹ දේශපාලන සංස්ථාපිතයේ බිඳවැටීම අවධාරනය කරයි. 1948 නිල නිදහසේ පටන් ශ්‍රී ලංකාව පාලනය කල පක්ෂ දෙක—එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප)—ඔවුන්ගේ අතීත ස්වරූපයෙන් තවදුරටත් නොපවතී.

පාර්ලිමේන්තුව විසින් රාජපක්ෂ වෙනුවට ප්‍රජාතන්ත්‍ර-විරෝධී ලෙස ස්ථාපනය කරන ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, 2020 දී සමගි ජන බලවේගය (සජබ) කැඩී යාමත් සමඟ පරඬැලක් බවට පත් වූ එජාපයේ නායකත්වය දරයි. වික්‍රමසිංහට සෙනසුරාදා ලැබුනේ සියයට 17 ක් පමනක් වන අතර, සජබ අපේක්ෂක සහ නායක සජිත් ප්‍රේමදාස සියයට 33 ක් ලබා ගත්තේය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමූඅ) ඉල්ලා සිටින ම්ලේච්ඡ කප්පාදු පිලිවෙත් පැනවීමට මූලික වූ වික්‍රමසිංහ, ශ්‍රීලනිප භේදයේ ප්‍රධාන සංරචකය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලංපොපෙ) හි සහාය ඇතිව පාලනය ගෙන ගියේය. සෙනසුරාදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ඡන්ද බෙදී ගියේය—ඇතැමුන් වික්‍රමසිංහට සහාය දුන් අතර තවත් අය, සියයට 2.6 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් එහි අපේක්ෂක නාමල් රාජපක්ෂට සහාය දුන්හ.

ජවිපෙ/ජාජබ සඳහා ලැබුනු ඡන්ද ප්‍රමානය නාටකාකාර ලෙස වැඩි වීම අන්තර් සම්බන්ධිත ක්‍රියාවලීන් දෙකක ප්‍රතිඵලයකි—එක් අතකින්, තවදුරටත් නරක අතට හැරෙමින් පවතින ආර්ථික හා සමාජ අර්බුදය සම්බන්ධයෙන් ජනගහනයේ පුලුල් ස්ථරයන්ගේ සතුරුකම සහ කෝපය; අනෙක් අතින්, 2022 මහජන නැගිටීමේ කිසියම් පුනර්ජීවනයක් විප්ලවවාදී මාවතක් ගැනීම වැලැක්වීමේ මාධ්‍යයක් ලෙස පාලක පන්තියේ කොටස් තුලින් ජවිපෙ/ජාජබ සඳහා සැලකිය යුතු සහයෝගයක් ලැබීම යි.

වික්‍රමසිංහ, රාජපක්ෂ, ප්‍රේමදාස වැනි පුද්ගලයන් හා පවුල් විසින් දිගු කලක් ආධිපත්‍යය දැරූ දේශපාලන සංස්ථාපිතයට එරෙහි මහජන විරෝධය, රැඩිකල් විකල්පයක් ලෙස පෙනී සිටිමින්, මහජනතාවගේ දුක් වේදනා සමනය කිරීම සඳහා බොරු පොරොන්දු දීමෙන් ගසාකෑමට ජවිපෙට සහ දිසානායකට හැකි විය. එහි මැතිවරන පම්පෝරි වල දී, ධනවාදයේ ගෝලීය අර්බුදය තුල මිලියන ගනනක් මුහුන දී සිටින දුක්ඛිත තත්වයේ මුලික හේතුව වසන් කිරීම පිනිස පසුගිය ආන්ඩුවල කෑදරකම සහ දූෂනය හෙලා දුටුවේය.

මාධ්‍ය තුල බොහෝ විට “මාක්ස්වාදී” හෝ “වාමාංශික” ලෙස හඳුන්වනු ලැබුවද, ජවිපෙ බොහෝ කලකට පෙර ම එහි සමාජවාදී මවාපෑම් සහ වාචාල කතා ඉවත දමා ඇත. මාඕවාදයේ, කැස්ත්‍රෝවාදයේ සහ සිංහල ජනතාවාදයේ මිශ්‍රනයක පදනම මත 1966 දී පිහිටුවන ලද ජවිපෙ, දස දහස් ගනනින් ඝාතනයට ලක් වූ ග්‍රාමීය සිංහල තරුනයින්ගේ විනාශකාරී නැගිටීම් දෙකකට නායකත්වය දුන්නේය. එතැන් සිට එය පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන සහ දේශපාලන සංස්ථාපිතයේ ස්ථානයක් සඳහා සිය ආයුධ අතහැර දැමූ මුත්, නිසැකවම යම් රැඩිකල් නිලංකාරයක් රඳවා තබා ගත්තේ ය.

දූෂනය සහ පාලක ප්‍රභූන්ගේ වරප්‍රසාද තුරන් කිරීම හරහා ආර්ථිකය යලි ගොඩනැංවීම සහ මහජනයාගේ ජීවන තත්වය නඟා සිටුවීමේ දිසානායකගේ පොරොන්දු පදනම් වී ඇත්තේ බොරුවක් මත ය. ජවිපෙ/ජාජබ අවධාරනය කර ඇත්තේ, ඩොලර් බිලියන 3 ක ඇප නයක් සඳහා ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රය පටවන බව යි; එහි අර්ථය වනු ඇත්තේ, රජය සතු ව්‍යවසායන් කුනු කොල්ලයට විකිනීම, රාජ්‍ය අංශයේ රැකියා මිලියන භාගයක් විනාශ කිරීම, සෞඛ්‍ය සහ අධ්‍යාපනය වැනි අත්‍යාවශ්‍ය සේවාවන්ට ප්‍රහාර, සහ මිල සහනාධාර ඉවත් කිරීම නිසා උද්ධමනය දිගටම පැවතීම යි.

දිසානායක විසින් නය කොන්දේසි සම්බන්ධයෙන් යලි සාකච්ඡා කරන බව ප්‍රකාශ කර ඇතත්, වෙනස් කිරීම් සඳහා ඉඩක් නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනටමත් පැහැදිලිවම ප්‍රකාශ කර ඇත. ඇත්ත වශයෙන්ම, ජාමූඅ නියෝජිත කන්ඩායම ඉදිරි දෙසතිය තුල නැවත කොලඹට පැමිනෙනු ඇත. පසුගිය මාසයේ, දූත මන්ඩල ප්‍රධානී පීටර් බෲවර්, “පිහි තුඩක රැඳී ඇති ශ්‍රී ලංකාවේ (ආර්ථික) ප්‍රකෘතිය තීරනාත්මක සන්ධිස්ථානයක” පවතින බවත්, “ආර්ථිකය ස්ථාවර පදනමක් මත තැබීමට... සියලු වැඩසටහන් කාලීනව ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත්” බවත් සෘජුවම පැවසීය.

වැඩ කරන ජනතාවට, සමාජ අභිවෘධිය පොරොන්දු වන අතරම, ජවිපෙ, පාලක පන්තියට ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියා කරන බවට සහතික වෙමින් සිටී. සැප්තැම්බර් 4 දා ජාජබ හි ව්‍යාපාරික සංසදය විසින් කැඳවන ලද කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරිකයින්ගේ රැස්වීමක් අමතමින් දිසානායක, තම ආන්ඩුව යටතේ දේශීය හා විදේශීය ආයෝජකයින්ගේ ලාභ අවශ්‍යතා සම්පූර්නයෙන්ම ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දුන් අතර ජාජබ/ජවිපෙ ආන්ඩුවක් ජාමූඅ වැඩසටහන ප්‍රතික්ෂේප නොකරන බවට ඔවුන්ට සහතික විය.

ජවිපෙට පාලක පන්තියේ කොටස්වල සහය ඇති බවට තවත් සලකුනක් ලෙසින්, ඉවත්ව යන ජනාධිපති වික්‍රමසිංහ, දිසානායකට සුබ පැතීමට යුහුසුලු වෙමින්, ඔහු තමාට “විශ්වාසවන්” දේශපාලනඥයෙකු බවත් “මගේ ජනාධිපති” ලෙස හැඳින්වූ ඔහු “අඛන්ඩ වර්ධනයේ සහ ස්ථාවරත්වයේ මාවතක් ඔස්සේ ශ්‍රී ලංකාව මෙහෙයවනු ඇති” බවත් ප්‍රකාශ කලේය. ජාජබ ප්‍රමුඛ ආන්ඩුවක් යටතේ ආර්ථිකය කඩා වැටෙනු ඇති බවට උද්ඝෝෂනය අතරතුර වික්‍රමසිංහ අනතුරු ඇඟවූ මුත්, දැන් දිසානායක බලගතු ලෙස අනුමත කිරීම, ජවිපෙ ආන්ඩුවක් ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ ඉල්ලීම් සමග ගැටෙන ඕනෑම මැතිවරන පොරොන්දුවක් ඉක්මනින්ම අත්හරින බව පිලිගැනීමකි.

ඒ සමගම, බොහෝ කලකට පෙර ම එහි “අධිරාජ්‍ය විරෝධී” වාචාල කතා අත්හැර දමා ඇති ජවිපෙ/ජාජබ, චීනයට එරෙහි එක්සත් ජනපදයේ නායකත්වයෙන් යුත් ගැටුමට හා යුද ධාවනයට දිවයින ඒකාබද්ධ කිරීම දිගටම කරගෙන යනු ඇත. 2022 කැරැල්ල මධ්‍යයේ ජනතා විමුක්ති පෙරමුනේ කාර්යාලයට යාම ද ඇතුලුව එක්සත් ජනපද තානාපතිනී ජුලී චන්ග්, දිසානායක කිහිප වතාවක්ම හමුවී ඇත. එක්සත් ජනපද අවශ්‍යතාවලට සහය ලැබෙන බවට පැහැදිලිවම සහතික කරගත් ඇය, ජනතා විමුක්ති පෙරමුන මහජනතාව අතර රැව් පිලිරැව් දෙන “සැලකිය යුතු පක්ෂයක්” බව ප්‍රකාශ කලාය.

ජවිපෙ විදේශ ප්‍රතිපත්ති පෙලගැස්මේ තවත් සලකුනක් ලෙස, ශ්‍රී ලංකාවේ මූලෝපායික වැදගත්කම අවධාරනය කල සහ දිවයින සමග සහයෝගීතාව ශක්තිමත් කිරීමට තමන් බලාපොරොත්තු වන බව ප්‍රකාශ කල දක්ෂිනාංශික ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ද දිසානායකට සුබ පැතුම් එවා තිබුනි. මැතිවරනය ආසන්නයේ දී දිසානායක, චීනයට එරෙහි එක්සත් ජනපද යුද මෙහෙයුමේ ප්‍රධාන මූලෝපායික හවුල්කරුවෙකු වන ඉන්දියාවට ගියේ, ජවිපෙ එරට සමග සිටින බවට නව දිල්ලියට යලි සහතික කිරීම සඳහා ය. ඉරිදා සවස ජාතිය ඇමතූ දිසානායක, ජවිපෙ ව්‍යාපාරික ගැති සහ අධිරාජ්‍ය ගැති දිශානතිය වසං කිරීමටත්, එහි ධනේශ්වර ගැති ප්‍රතිපත්තිවලට එරෙහි ඕනෑම විරුද්ධත්වයක් නීති විරෝධී කිරීමටත්, ජාතික සමගිය සඳහා ආයාචනා කරමින්, “මට ඡන්දය දුන් හෝ නොදුන් සියලු දෙනාටම—අපට මේ රට ඉදිරියට ගෙන යාමේ වගකීම පැවරී තිබේ,” යැයි ප්‍රකාශ කලේය.

දිවයිනේ දෙමල සහ මුස්ලිම් සුලුතර ජන වර්ගයන් ජවිපෙ/ජාජබ දකිනු ලබන්නේ ගැඹුරු සැකයකින් සහ සම්පූර්න සතුරුකමකින් මිස අන් අයුරකින් නොවීම සැලකියයුතු කරුනකි. ජවිපෙ සිංහල ස්වෝත්තමවාදයේ ගිලී සිටින අතර බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි 26 වසරක විනාශකාරී වාර්ගික යුද්ධයේ දැඩි ආධාරකරුවෙකු විය. එය 2009 යුද්ධයේ අවසන් මාසවලදී දස දහස් ගනනක් දෙමල සිවිල් වැසියන් ඝාතනය කිරීම ඇතුලු මිලිටරියේ යුද අපරාධ ආරක්ෂා කලේය. දිවයිනේ දෙමල බහුතරයක් වෙසෙන උතුරු හා නැගෙනහිර පලාත් වලින් දිසානායකට ලැබුනේ සියයට 10 ක් හෝ ඊට අඩු ඡන්ද ප්‍රතිශතයකි.

එපමනක් නොව, ජීවන තත්වයන් නරක අතට හැරෙන විට, දිසානායකගේ පොරොන්දු වනාහි බොරු ගොන්නක් බව වැඩකරන ජනතාව තේරුම් ගන්නා විට, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ජවිපෙ/ජාජබ සඳහා පුලුල්ව පැතිරුනු සහයෝගය ඉක්මනින් වාෂ්ප වී යනු ඇත. වික්‍රමසිංහ මෙන් ම ජවිපෙ/ජාජබ ද වැඩවර්ජන හා විරෝධතා නොවැලැක්විය හැකි ලෙස අලුතින් පැනගිම මැඩපැවැත්වීම සඳහා පොලිස්-රාජ්‍ය ක්‍රියාමාර්ගවලට එලඹෙනු ඇති බවට සමාජවාදී සමානතා පක්ෂය අනතුරු අඟවයි. ජාජබ සිය ආන්ඩුව යටතේ මර්දනකාරී පියවරයන් සඳහා සූදානම් වීම සඳහා විශ්‍රාමික හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ සාමූහික ගොඩනගමින් සිටී.

1980 ගනන් අගභාගයේදී ජවිපෙ සිය ගනනක් දේශපාලන විරුද්ධවාදීන්, වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සහ කම්කරුවන් ඝාතනය කරමින්, ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව එහි ප්‍රතිගාමී ජාතිකවාදී ව්‍යාපාරයට පිටුබලය දුන් බව කම්කරුවන් හා තරුනයින් සිහිපත් කල යුතුය. එය දැන් අතහැර දමා ඇති “ඉන්දියානු අධිරාජ්‍යවාදය” හෙලාදැකීමේ පදනම මත ඉන්දු-ලංකා ගිවිසුමට විරුද්ධ විය. කෙසේ වෙතත්, දිසානායක තම ආන්ඩුවේ ප්‍රතිපත්තිවලට එරෙහි ඕනෑම මහජන ව්‍යාපාරයක් බෙදීමට සහ පීලි පැන්නවීමට, ජවිපෙ දේශපාලනය තුල ප්‍රවේනිගතව ගැඹුරින් කාවැදී ඇති දෙමල විරෝධී ස්වෝත්තමවාදය වෙත යොමු වීමට පසුබට නොවනු ඇත.

තමා බලයට පත්වීමට සූදානම් වන විට දිසානායක ඇඟවුම් කලේ තමාට “ජනවරමක්” සහිත ආන්ඩුවක් අවශ්‍ය බැවින් ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරනයක් පවත්වන බවයි. දැනට ආසන 225 කින් යුත් පාර්ලිමේන්තුවේ ජවිපෙ/ජාජබ සතුව ඇත්තේ ආසන තුනක් පමනක් වන අතර දිසානායකට පැහැදිලිවම අවශ්‍ය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු න්‍යාය පත්‍රය නිර්දය ලෙස ක්‍රියාවට නැංවීමට පෙර තම ස්ථාවරය ශක්තිමත් කිරීම සඳහා හදිසි මැතිවරනයකි.

දිසානායක තේරී පත්වීමෙන් පෙන්නුම් කෙරෙන්නේ දිවයින දැවැන්ත දේශපාලන ප්‍රවාහයක පවතින බවයි. 2022 නැගිටීමේදී මතු වූ ප්‍රශ්න කිසිවක් විසඳා නැත; ජවිපෙ ප්‍රමුඛ ආන්ඩුවක් යටතේ ඒවා විසඳිය නොහැක. ඇත්ත වශයෙන්ම, ජාමූඅ කප්පාදු පිලිවෙත් වලට එරෙහිව විටින් විට එන වැඩ වර්ජන හා විරෝධතා තුලින් මහජන කෝපය නැවත නැවතත් ඉහල ගොස් ඇත. විරුද්ධත්වය සීමා කිරීමේ දී සහ මර්දනය කිරීමේ දී ජනතා විමුක්ති පෙරමුන සහ එහි වෘත්තීය සමිති ඉටුකරන ප්‍රධාන භූමිකාව, දිසානායක දෙසට පාලක පන්තිය හැරීමේ එක හේතුවක් බව නිසැකය.

කෙසේ වෙතත්, වැඩ කරන ජනතාව මිලියන ගනනින් රාජපක්ෂ ආන්ඩුවට නැවත නැවතත් අභියෝග කල 2022 දී මෙන්, ජනතාව වැඩි කල් නොගොස් දිසානායක ආන්ඩුව සමඟ ගැටුමකට එනු ඇත. අව්‍යාජ විප්ලවවාදී සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක පදනම මත ඉදිරි පන්ති සටන් සඳහා කම්කරු පන්තිය සූදානම් කිරීමට සසප ජනාධිපතිවරනයේදී සිය අපේක්ෂකයා වන පානි විජේසිරිවර්ධන ඉදිරිපත් කලේය.

ස්වකිය හදිසි අවශ්‍යතා හෝ නැගී එන ලෝක යුද්ධයක අන්තරායන් කිසිවක් ධනවාදයේ රාමුව තුල හෝ පාර්ලිමේන්තුව තුලින් විසඳාගත නොහැකි බව කම්කරුවන්ට හා තරුනයින්ට අනතුරු ඇඟවූ විජේසිරිවර්ධන දැන් හදිසි අවශ්‍යතාවයක් බවට පත්ව ඇති කම්කරු පන්තිය සඳහා මූලෝපායක් විස්තාරනය කලේ ය. ඔහු සියලු ආකාරයේ ජාතිකවාදය සහ වර්ගවාදය දැඩි ලෙස ප්‍රතික්ෂේප කල අතර සමාජවාදය සඳහා සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ, දකුනු ආසියාව පුරා සහ ජාත්‍යන්තරව කම්කරු පන්තියේ ස්වාධීන ඒකාබද්ධ ව්‍යාපාරයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය අවධාරනය කලේය.

සියලු ධනේශ්වර පක්ෂවලින් හා ඒවායේ වෘත්තීය සමිතිවලින් ස්වාධීනව, ගම්බද දුගීන් අතර, සෑම කර්මාන්ත ශාලාවකම, වැඩබිමකම, වතුකරයේ සහ අසල්වැසි ප්‍රදේශවල කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට සසප කැඳවුම් කරයි. සසප මෙම ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයන් මත පදනම්ව කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් වෙනුවෙන් පෙනී සිටියි. ධනේශ්වර පාලනය පෙරලා දමා සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීමට ගම්බද දුගීන් පෙලගස්වා ගැනීමට කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීම මෙහි අරමුනයි.

ජනාධිපති අපේක්ෂකයින් 38 දෙනෙකු අතරින් විජේසිරිවර්ධන ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 4,410 කි. ප්‍රධාන අපේක්ෂකයින් මෙන්ම විවිධ ව්‍යාජ වාම සංවිධානවල අපේක්ෂකයින් ප්‍රතික්ෂේප කරමින්, සසපට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අදහස් කෙරෙන්නේ, කම්කරුවන් හා තරුනයින් එහි සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයට ආකර්ෂනය වීම මත පන්ති සවිඥානික තීරනයක් ගෙන ඇති බවයි. කෙසේ වෙතත්, දැන් අවශ්‍ය වන්නේ, එම එක් එක් ඡන්දදායකයින් සහ අනෙකුත් අය, වත්මන් දේශපාලන අර්බුදයේ දැවැන්ත බව බැරෑරුම් ලෙස සලකා බලමින්, ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට සහ වැඩ කරන ජනතාව මුහුන දෙන විපත්වලට සමාජවාදී විසඳුමක් සඳහා සටන් කිරීමේ මාධ්‍යයක් ලෙස පක්ෂයට බැඳීම සඳහා සසප කැඳවුම භාර ගැනීමයි.

Loading