[මෙය The murder of Hassan Nasrallah: Imperialism abandons all restraint on global war යන මැයෙන් 2024 සැප්තැම්බර් 30 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.
සෙනසුරාදා, ඊශ්‍රායලය හා එක්සත් ජනපදය විසින් බේරූට් නගරයේ හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා සමග සිවිල් වැසියන් සිය ගනනක් ඝාතනය කිරීම ලෝක සමාජවාදී වෙබ් අඩවිය හෙලා දකී. නස්රාල්ලා ඝාතනය කල දැවැන්ත බෝම්බ ප්‍රහාරය, සිවිල්වැසි ප්‍රදේශතුල ඝාතනය සහ ඉවබව නැති බෝම්බ ප්‍රහාර තහනම ඇතුලු බහුවිධ ජාත්‍යන්තර යුද නීති පැහැදිලිවම උල්ලංඝනය කිරීමකි.
නස්රල්ලාගේ ඝාතනයත් සමග අධිරාජ්‍යවාදී බලවතුන් පෙන්නුම් කරමින් සිටින්නේ, පැරනි යටත් විජිතවලට යලි විලංගු දැමීමේ ඔවුන්ගේ ප්රයත්නය කිසිවකින් හෝ නතර නොවන බවයි.
නස්රල්ලා 1992 සිට හිස්බුල්ලා සංවිධානයේ මහලේකම්වරයා ලෙස සේවය කලේය. 1979 ඉරාන විප්ලවයේ ආස්වාදයය ලැබ 1982 සහ 2000 අතර ඊශ්‍රායලය විසින් දකුනු ලෙබනනය ආක්රමනය කිරීමට එරෙහි “ඉස්ලාමීය ප්‍රතිරෝධී” [ව්‍යාපාරයක්] ලෙස මෙම කන්ඩායම පිහිටුවන ලදී. හිස්බුල්ලා සංවිධානය තලා දැමීමේ අරමුනින් ඊශ්‍රායලය විසින් 2006 දකුනු ලෙබනනය ආක්රමනය කිරීමේදී, කන්ඩායම කෙරෙහි පුලුල්ව පැතිරුනු මහජන සහයෝගය මගින් බලමුලු ගැන්විනි. මෙමගින් ඊශ්‍රායලයට සහ බුෂ් පරිපාලනයට එක්සත් ජාතීන්ගේ පිටුබලය ලත් සටන් විරාමයක් පිලිගැනීමට බල කෙරුනු අතර, එය ඊශ්‍රායලයට අත් වූ පරාජයක් ලෙස පුලුල් ලෙස සැලකුනි. දැන්, මෙම අපහසුතාවයට එරෙහිව ලේ වැකි පලිගැනීමක් ලෙස ඊශ්‍රායලය 2023 ඔක්තෝබර් 7 වන දින හමාස් විසින් එල්ල කරන ලද ප්‍රහාරය ඩැහැගෙන ඇත.
සෙනසුරාදා, නස්රල්ලා අනෙකුත් නායකයින් හමුවෙමින් සිටි ලෙබනනය මධ්‍යයේ පිහිටි භූගත පරිශ්‍රයක් මතට ඊශ්‍රායල F-15 ප්‍රහාරක ගුවන් යානා විසින් බෝම්බ 85 ක් හෙලන ලද අතර, මෙම බෝම්බ බහුතරයක් එක්සත් ජනපදය විසින් සපයන ලද රාත්තල් 2,000 ක බංකර් නාශකයන් ය. මෙම ප්‍රහාර හේතුවෙන් මහල් නිවාස සංකීර්න ගනනාවක්ම සම්පූර්නයෙන්ම විනාශ විය.
“ප්‍රහාරය මගින්, ස්ථාන දෙකක තිබූ සුවිසල් ගොඩනැගිලි සතරක් සමතලා කෙරුනු බවත්, අඩි 1000 ක් පමන පැතිරුනු ප්‍රදේශයකට බරපතල විනාශයක් සිදු කෙරුනු” බවත් “වොෂිංටන් පෝස්ට්” පුවත් පත වාර්තා කලේය . “ජනේලයකින් පටිගත කරනු ලැබූ එක් වීඩියෝවක් මගින් දාහියේ නමැති දකුනු බීරූට් හී නගරාසන්න පෙදෙස තුලින් වෙන්වෙන්ව ගුවනට නැගුනු ස්ථම්භ සතරක් පෙන්නුම් කෙරේ. පහලින් ඇති ගොඩනැගිලිවලට ඉහල ආකාසයේ, උසින් සහ පලලින් අඩි දුසිම් ගනනක් පුරා පැතිර යමින්, රැලි නගන ධූම ස්ථම්භයන් මෙන් මේවා දිස්වේ. පසුබිමින් විලාපයන් ඇසෙයි.”
ප්‍රහාරයෙන් දුරස්ථ වීමට ධවල මන්දිරය දැරූ උත්සාහය මුල සිටම විකාරයක් වූවා පමනක් නොව ඉක්මනින්ම මෙම මවාපෑමේ පරස්පරයන් මතු විය. ඊශ්‍රායලය තම ජෙට් යානාවන්හි පියාපත් යට රුවාගත් බෝම්බ සමඟ ගුවන්ගත වන ආකාරය පිලිබඳ දර්ශන ක්ෂනිකව ප්‍රකාශයට පත් කලේ, මෙම සංහාරය “ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිතයක්” බවට පැහැදිලි සහ දැනුවත් සංඥාවක් යවමිනි.
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් වහාම හා ප්‍රසිද්ධියේ නස්රල්ලා ඝාතනය අනුමත කලේ, 'ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින් සිදු කෙරුනු එම මරනය ඔහුගේ වින්දිතයන් රැසකට යුක්තිය ඉටු කිරීමේ පියවරක්' බව ප්‍රකාශ කරමිනි. බයිඩන් තවදුරටත්, “හිස්බුල්ලා, හමාස්, හූති සහ ඉරාන සහාය ලබන වෙනත් ඕනෑම ත්‍රස්තවාදී කන්ඩායම්වලට එරෙහිව තමන්ව ආරක්ෂා කර ගැනීමට ඊශ්‍රායලයට ඇති අයිතියට එක්සත් ජනපදය සම්පූර්නයෙන්ම සහාය දක්වයි,” යනුවෙන් පැවසීය. “ආක්රමනකාරීත්වය වැලැක්වීමට සහ පුලුල් කලාපීය යුද්ධයක අවදානම අවම කිරීම සඳහා මැදපෙරදිග කලාපයේ එක්සත් ජනපද මිලිටරි හමුදාවන්ගේ ආරක්ෂක පෙනී සිටීම් තවදුරටත් වැඩිදියුනු කිරීමට [මම] මගේ ආරක්ෂක ලේකම්වරයාට උපදෙස් දුන්නෙමි” යැයි ඔහු පැවසීය.
එක්සත් ජනපදය විසින් අරමුදල් සපයමින් සන්නද්ධ කරන ලද නෙතන්යාහුගේ ආන්ඩුව ස්වාධීනව ක්‍රියාත්මක වන්නෙකු නොව, ඇමරිකාවේ කුලී හේවායෙකි.
බැරෑරුම්ව ගත්කල, ඉරානය සමඟ යුද්ධයට තර්ජනය කරමින් එක්සත් ජාතීන්ගේ මහා මන්ඩල සැසියේදී අඛන්ඩ යුදවාදී චෝදනා ඉදිරිපත් කල දිනයේ නෙතන්යාහු නිව් යෝර්ක් නගරයේ සිට නස්රල්ලා ඝාතනය කිරීමට නියෝග කලේය. “ඊශ්‍රායලයේ දිගු හස්තයට ලඟා විය නොහැකි තැනක් ඉරානයේ නැත. මුලු මැදපෙරදිගටම එය සත්‍යයකි, ” යනුවෙන් ඔහු තර්ජනය කලේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල නෙතන්යාහුගේ කතාව සෘජු ලෙස පැහැදිලි කලේ, ගාසා ජන සංහාරය සහ ලෙබනනය තුල ඊශ්‍රායලයේ ජන ඝාතක ව්‍යාපාරය මැද පෙරදිග ප්‍රතිසංවිධානය කිරීමේ එක්සත් ජනපදයේ මෙහෙයුමක කොටස් බවය.
2023 ඔක්තෝබර් 7 දා හමාස් ප්‍රහාරයට සති තුනකට පෙර, එනම් 2023 සැප්තැම්බර් 22 වන දින එක්සත් ජාතීන්ගේ සංවිධානයට නෙතන්යාහු ප්‍රදර්ශනය කල සිතියමක් සම්බන්ධයෙන්, ඉන් වසරකට පසු ඔහු කල මෙම කතාවේදී කේන්ද්‍රීයව සැඳහුම් කලේය. සිතියමේ ඊශ්‍රායලය දැක්වෙන්නේ, එක්සත් ජනපදය සමග පෙලගැසුනු, ඊජිප්තුව, සුඩානය, ජෝර්දානය සහ සෞදි අරාබිය යන මැද පෙරදිග රාජ්‍යයන් වලින් සමන්විත භූ දේශපාලන රාමුවක කොටසක් වූ, යම් ආකාරයක ඊශ්‍රායල අධිරාජ්‍යයක් ලෙසය.
නෙතන්යාහු පැවසුවේ, “මෙය මම පසුගිය වසරේ ඉදිරිපත් කල සිතියමයි. එය ආශීර්වාදයේ සිතියමකි. එහි දැක්වෙන්නේ ඊශ්‍රායලය සහ එහි අරාබි හවුල්කරුවන් ආසියාව සහ යුරෝපය යා කරමින් ගොඩබිම් පාලමක් සාදන ආකාරයයි,” යනුවෙනි.
ඉන්පසු ඔහු ලෙබනනය, ඉරානය, සිරියාව සහ ඉරාකය හඳුන්වා දෙමින් දෙවන සිතියමක් පෙන්වමින් පැවසුවේ “දැන් බලන්න මේ දෙවැනි සිතියම. එය ශාපයක සිතියමකි. එය ඉරානය විසින් ඉන්දියානු සාගරයේ සිට මධ්‍යධරනී මුහුද දක්වා නිර්මානය කර පනවා ඇති ත්රස්තවාදයේ සිතියමකි,” යනුවෙනි. ඔහු පැවසුවේ ඊශ්‍රායලය “ශාපය ඉවත් කිරීමට කැපවී සිටින” බවයි.
“ඇමරිකානු සහයෝගය සහ නායකත්වය සමඟ, මෙම දෘෂ්ඨිය මිනිසුන් සිතනවාට වඩා ඉතා ඉක්මනින් යතාර්ථයක් කරගත හැකි බව මම විශ්වාස කරන්නෙමි” යැයි ඔහු ප්‍රකාශ කලේය.
නෙතන්යාහු විසින් ගෙනහැර දක්වන ලද “නව මැද පෙරදිග”, යුක්රේනයේ රුසියාවට එරෙහි යුද්ධය සහ චීනය ඉලක්ක කර ගනිමින් පැසිෆික් සාගරයේ එක්සත් ජනපද මිලිටරි තරකිරීම ඇතුලුව එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ගෝලීය යුද ධාවනයේ තීරනාත්මක සංරචකයකි. නස්රල්ලා ඝාතනය සිදු වූයේ න්‍යෂ්ටික අවි භාවිතා කරමින් ප්‍රතිචාර දක්වන බවට රුසියාව කරන තර්ජන හමුවේ, රුසියානු භූමිය තුල ඈතට නැටෝ අවි මගින් කරන ප්‍රහාර අනුමත කිරීමේ අද්දර එක්සත් ජනපදය සිටින විටදීය.
ලොව පුරා, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හිතාමතාම, තම ගෝලීය යුද්ධය මෙහෙයවීම සීමා කරනු ලැබ තිබූ සෑම “රතු ඉරක්ම” ඉක්මවා යමින් සිටී.
ඝාතනයට හවුල් වූ ඊශ්‍රායල ගුවන් නියමුවාගේ ප්‍රකාශය වූ, “අපි සෑම කෙනෙකුටම, සෑම තැනකටම ලඟා වන්නෙමු”, වනාහි ඇත්ත වශයෙන්ම, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය බලහත්කාරයෙන් ලෝකය නැවත අත්පත් කර ගැනීමට උත්සාහ කරන සටන් පාඨයයි. සෑම යුද අපරාධයක්ම - ත්‍රස්තවාදය, ඝාතනය සහ ජන සංහාර පවා - සාමාන්‍යකරනය කෙරෙමින් පවතී.
නස්රල්ලා ඝාතනය කිරීම හිස්බුල්ලා සහ ඉරානයේ අනෙකුත් මිත්‍ර පාක්ෂිකයින් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය විසින් සංවිධානය කරන ලද මිනීමරු බෝම්බ ප්‍රහාර සහ ඝාතන මාලාවක නවතම සිදුවීම පමනි. සැප්තැම්බර් 17 සහ 18 යන දිනවල ඊශ්‍රායලය හිස්බුල්ලා නායකයින් විසින් භාවිතා කරන ලද සන්නිවේදන උපාංග තුල හොර රහසේ සවි කරන ලද බෝම්බ දහස් ගනනක් පුපුරුවා හැරියේය. සතියකට වැඩි කාලයකට පෙර ඊශ්‍රායලය විසින් ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා කොමාන්ඩර්වරයෙකු වූ ඊබ්‍රාහිම් අකිල් බේරූට්හිදී ඝාතනය කරන ලදී. මෙම සිදුවීම් සිදු වූයේ හමාස් දේශපාලන කාර්යාංශයේ ප්‍රධානියා වූ ඉස්මයිල් හනියේ ඊශ්‍රායලය විසින් ඉරානයේදී මරා දමා මාස දෙකකට පසුව ය.
හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ට එරෙහිව ඊශ්‍රායලය විසින් සිදු කරනු ලබනු ලබමින් පවතින ප්‍රහාරයක් මධ්‍යයේ, එහි නායකයාට බේරූට් නගරය මධ්‍යයේ ඉහල මට්ටමේ රැස්වීමක් පැවැත්විය හැක්කේ කෙසේද? එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය බේරූට්හි හදවතෙහි මෙතරම් දැවැන්ත ප්‍රහාරයක් සිදු කිරීමට එඩිතර නොවනු ඇතැයි නස්රාල්ලා විශ්වාස කලේය. මෙම වැරදි ගනන් බැලීම පදනම් වූයේ බංකොලොත් දේශපාලන ඉදිරිදර්ශනයක් මත ය. එය ලෙබනනය, සිරියාව සහ ඉරාන ආන්ඩු විසින්ද පිලිගත්තකි.
ගාසා ජන සංහාරය හා ලෙබනනයට පහර දීම සම්බන්ධයෙන් මැද පෙරදිග පාලන තන්ත්‍රවල ප්‍රතිචාරය වනාහි ධනේශ්වර ජාතිකවාදයේ බංකොලොත් බව පෙන්නුම් කිරීමකි.
ඊජිප්තුව සහ සවුදි අරාබිය වැනි සමහර රටවල්, ඊශ්‍රායලයේ ගාසා ජන සංහාරයටත් සහ මැදපෙරදිග යටත් විජිත ලෙස කැබලි කිරීමටත් පහසුකම් සපයන එක්සත් ජනපදයේ ප්‍රධාන සහචරයින් වේ. ඉරානය වැනි තවත් රටවල්, අධිරාජ්‍යවාදී බලවතුන් සමග සම්මුතිවලට නොනැවතී ඉදිරිපත් වන්නේ, තමන්ට හානියක් නොවන යම් ආකාරයක සාකච්ඡාමය සමථයකට එලඹීමේ උත්සාහයක් ලෙස ය. ඔවුන් ඊශ්‍රායලය හා එක්සත් ජනපදය සමග සම්මුතීන් සඳහා මංමුලා සහගතව සිටින්නේ, ඊට එරෙහි ඕනෑම බැරෑරුම් අරගලයක විප්ලවවාදී ඇඟවුම් පිලිබඳව ඔවුන් භීතියට පත්ව සිටින බැවිනි.
1927 ඔහුගේ “චීන විප්ලවය සහ ස්ටැලින් සහෝදරයාගේ ප්‍රවාද” යන ලිපියේ ලියොන් ට්‍රොට්ස්කි පැහැදිලි කලේ පසුගාමී රටවල ධනේශ්වරයේ ප්‍රධාන උත්සුකය වන්නේ කම්කරු පන්තියට එරෙහිව තමන්ගේ ධනය හා වරප්‍රසාද රැක ගැනීම බව ය. “අධිරාජ්‍යවාදය පිටස්තරව සිට චීනයේ පන්තීන් යාන්ත්‍රික ලෙස ඒකාබද්ධ කරතැයි සිතීම බරපතල වැරැද්දකි...අධිරාජ්‍යවාදයට එරෙහි විප්ලවවාදී අරගලය, පන්තීන්වල දේශපාලන වෙනස්කම දුර්වල නො කරන අතර, එය වඩාත් ශක්තිමත් කරයි. .”
ඉරාන, සිරියානු සහ ලෙබනන් පාලක පන්තීන්ට අධිරාජ්‍යවාදයට එරෙහිව ක්රමානුකූල අරගලයක් කිරීමට, චීනයේ චියැං කායි ෂෙක්ට වඩා හැකියාවක් නැත.
විප්ලවවාදී විකල්පයක් ගොඩනැගිය හැක්කේ ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායේ පදනම මත පමනි. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ කුරුරි දඩ බල්ලා වන සියොන්වාදය සමග ගනුදෙනු බේරා ගැනීම මැද පෙරදිග හා ලෝකය පුරා කම්කරු පන්තියේ ව්‍යාපාරයක් වර්ධනය කිරීම හරහා මිස වෙනත් ආකාරයකින් සාක්ෂාත් කරගත නොහැක.
අධිරාජ්‍යවාදී යුද්ධය හා යටත්විජිතවාදය සමග වෙන් කල නොහැකි ලෙස බැඳී ඇති යල්පැන ගිය ජාතික රාජ්‍ය පද්ධතිය අවසන් කර එය සමාජවාදයෙන් ප්‍රතිස්ථාපනය කිරීම ඉලක්ක කරගත් යුද්ධයට එරෙහි ව්‍යාපාරය, ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනය මගින් උත්තේජනය කල යුතුය.