ඉදිරිදර්ශන

ෆොක්ස්වාගන් කම්හල් වසා දැමීම නිවේදනය කිරීමෙන් ඉක්බිති: මෝටර් රථ කර්මාන්තයේ රැකියා කප්පාදුවලට එරෙහිව ගෝලීය ක්‍රියාකාරී කමිටු උද්ඝෝෂනයක් සඳහා!

[මෙය After plant closures announced at VW: For a global rank-and-file campaign against job cuts in the auto industry! යන මැයෙන් 2024 ඔක්තෝබර් 29 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

චැටනූගා හි ෆොක්ස්වාගන් කම්කරුවන් [ඡායාරූපය: ෆොක්ස්වාගන්] [Photo: Volkswagen]

කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය, මෝටර් රථ හා අනෙකුත් කර්මාන්තවල රැකියා කප්පාදුවලට එරෙහිව ගෝලීය උද්ඝෝෂනයක් කැඳවුම් කර සිටී. වෘත්තීය සමිති නිලධරයේ ආධාර සහ අනුග්‍රහය ඇතිව ජාත්‍යන්තර සංගත විසින් එල්ල කරන දැවැන්ත ප්‍රහාරවලට ජාත්‍යන්තර කම්කරු පන්තියේ බලය බලමුලු ගැන්වීමෙන් පිලිතුරු දිය යුතුය.

කම්කරුවන් විසින්, ජාත්‍යන්තර වැඩ වර්ජන ක්‍රියාවකින් කුලුගැන්වෙන, ලෝක ව්‍යාප්ත පිකට් සහ රැලි ඇතුලත් ගෝලීය උද්ඝෝෂනයක් සූදානම් කල යුතු ය. සති හතකට ආසන්න කාලයක වර්ජනයට එරෙහිව පලිගැනීමක් ලෙස 17,000 ක් දොට්ට දැමීම් නිවේදනය කර ඇති බෝයිං, කප්පාදුවලට මුහුන දෙන අනෙකුත් කර්මාන්තවල කම්කරුවන් සමග සන්ධානගතව, එක්සත් ජනපදයේ, ජර්මනියේ සහ අනෙකුත් රටවල මෝටර් රථ කම්කරුවන් අතර සන්නිවේදන මාර්ග ස්ථාපිත කිරීම මගින් මේ සඳහා පදනම සකස් කල යුතුය.

ගෝලීය කර්මාන්ත වසා දැමීමේ බලය කම්කරුවන්ට ලබා දෙමින්, උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ සෑම ප්‍රධාන කර්මාන්තශාලාවක්ම ඇතුලත් වන පරිදි, මෝටර් රථ කම්කරුවන් අතර ක්‍රියාකාරී කමිටු පුලුල් කල යුතුය.

සඳුදා ජර්මනියේ අයිජී මෙටල් වෘත්තීය සමිතිය නිවේදනය කලේ, ෆොක්ස්වාගන්, රැකියා දස දහස් ගනනක් විනාශ කරමින් අවම වශයෙන් රට තුල කම්හල් තුනක්වත් වසා දමන බවයි. මෙය මෝටර් රථ කර්මාන්තයේ බිහිසුනු ගෝලීය රැකියා විනාශයක නවතම අවස්ථාවයි. යුරෝපයේ පමනක්, මෙයට බෙල්ජියමේ අවුඩි කම්හලක් වසා දැමීම සහ ෆෝඩ්, ස්ටෙලන්ටිස් සහ අනෙකුත් ප්‍රධාන මෝටර් රථ නිෂ්පාදකයින්ගේ කප්පාදු මෙන්ම අමතර කොටස් කර්මාන්තයේ දස දහස් ගනනක රැකියා කප්පාදු ද ඇතුලත් වේ.

ස්ටෙලන්ටි සමාගම සතු වොරන් ට්‍රක් එකලස් කිරීමේ කම්හලේ රැකියා 2,450 කට ආසන්න සංඛ්‍යාවක් සහ තවත් දහස් ගනන් පරිපූරක සේවකයින් සේවයෙන් පහ කිරීම ඇතුලුව, එක්සත් ජනපදයේ මහා පරිමානයෙන් රැකියා කප්පාදු සිදු වෙමින් පවතී. අඟහරුවාදා (ඔක්තෝබර් 28), ඩෙට්‍රොයිට් හි ස්ටෙලන්ටිස් මැක් එකලස් කිරීමේ කම්හල තවත් කප්පාදුවක් නිවේදනය කලේය. ජීඑම් විසින් ෆෙයාර්ෆැක්ස් හි, කැන්සාස් කම්හලේ කම්කරුවන් 1,700 ක් තාවකාලිකව දොට්ට දමා ඇති අතර රට පුරා අර්ධ-කාලීන තාවකාලික සේවකයන් සිය ගනනක් දොට්ට දමා තිබේ. මෙය සිදුවන්නේ, එහි මෘදුකාංග හා සේවා අංශයේ වැටුප් ලබන සේවකයන් 1000 ක් ඉවත්කිරීමෙන් අනතුරුව ය.

මේ වැඩපිලිවෙල ඉදිරියට ගෙන යාමට කලමනාකාරිත්වයට ‌ඉඩ ලැබුනහොත්, ඉදිරි වසරවල සිදුවන කප්පාදු හමුවේ දැනට සිදුවෙමින් පවත්නා කප්පාදු ඉතා සුලුවනු ඇත. මෙම රැකියා සංහාරය, ගෝලීය වාහන කර්මාන්තය විදුලි වාහන වෙත සංක්‍රමනය වීමේ කොටසකි. නව තාක්‍ෂනය විසින් පොරොන්දු වී ඇති ආකාරයට, ආයෝජන පිරිවැය පියවා ගැනීමටත්, අඩු ශ්‍රම පිරිවැය සාක්ෂාත් කර ගැනීමටත් රැකියා කපා හැරීමට සමාගම් නිර්දය තරඟයක යෙදී සිටී. රැකියා මිලියන ගනනක් නොවේ නම් ලක්ෂ ගනනක්වත් තර්ජනයට ලක්ව ඇත.

දුම්රිය මාර්ගවල සිට නැව් තටාකාංගන, සැපයුම්, ඉංජිනේරු සහ චිත්‍රපට රංගනය දක්වා අනෙකුත් කර්මාන්තවල රැකියා ස්වයංක්‍රීයකරනය සහ ඒඅයි (කෘතිම බුද්ධිය) වැනි නැගී එන තාක්ෂනයන් මගින් තර්ජනයට ලක්ව ඇත. ශ්‍රමයේ ඵලදායිතාව බොහෝ කලකට පෙර ම, දරිද්‍රතාව සහ අනෙකුත් සියලුම සමාජ ගැටලු තුරන් කිරීමට අවශ්‍ය මට්ටමට ලඟා විය. මෙම ගැටලු නොනැසී පවතිනවා පමනක් නොව, නරක අතට ද හැරෙමින් පවතින්නේ සමස්ත ආර්ථික ජීවිතයම පුද්ගලික ලාභයට යටත් කිරීම නිසාය.

කක්‍රික-ජාස, කම්කරුවන් බිමට ඇද දමා ලාභය උපරිම කර ගැනීම සඳහා නිෂ්පාදනය පාලනය කිරීමට ධනපතියන්ට ඇති “අයිතිය” ප්‍රතික්ෂේප කරයි. ඒ වෙනුවට, යෝධ සංගත මහජන උපයෝගිතා බවට පරිවර්තනය කිරීම හරහා, නිෂ්පාදනය මත කම්කරුවන්ගේ පාලනය තුලින් කම්කරු පන්තියේ සමාජ අයිතීන් සාක්ෂාත් කර ගැනීමට අපි සටන් කරන්නෙමු. නව තාක්ෂනයේ ප්‍රතිලාභ යා යුත්තේ නිෂ්පාදකයින්ගේ ජීවිත වැඩිදියුනු කිරීම සඳහා මිස තවදුරටත් පරපෝෂිතයන් අතලොස්සක් පොහොසත් කිරීම සඳහා නොවේ.

සෑම කර්මාන්තයක්ම ගෝලීයකරනය වූ නිෂ්පාදන සහ සැපයුම් දාමයන් භාවිතයෙන් ක්‍රියාත්මක වන බැවින් දොට්ට දැමීම්වලට එරෙහි ව්‍යාපාරය ලෝක පරිමාන විය යුතුය. “ජර්මානු” හෝ “ඇමරිකානු” මෝටර් රථයක් වැනි දෙයක් තවදුරටත් නැත. ඒ වෙනුවට, නවීන වාහන යනු, සංගත මූලස්ථානය වුල්ෆ්ස්බර්ග්හි හෝ ඩෙට්‍රොයිට්හි තිබේද යන්න නොතකා, රටවල් දුසිම් ගනනක කම්කරුවන්ගේ සම්බන්ධීකෘත ශ්‍රමයේ නිෂ්පාදනයකි.

අත්ලාන්තික් සාගරයේ දෙපැත්තෙන්ම පාලක පන්තිය, මෙම පරිමාන දොට්ට දැමීම් සම්බන්ධයෙන් දොස් පැවරීමට උත්සාහ කරන්නේ චීනයේ තරඟකාරිත්වයට යි. බයිඩන් පරිපාලනය චීන වාහන සඳහා සියයට 100 ක තීරුබදු පනවා ඇති අතර, අඟහරුවාදා යුරෝපීය සංගමය, චීන වාහන සඳහා වන තීරුබදු දැවැන්ත ලෙස, සියයට 45.3 දක්වා වැඩි කලේය. මෙම ආරක්ෂනවාදී පියවර පාරිභෝගිකයින් මත ප්‍රතිගාමී බද්දක් වන අතර, වැඩකරන ජනතාවට, වැඩි මිල ගනන් හරහා මෝටර් රථ නිෂ්පාදකයින්ගේ ලාභය වෙනුවෙන් වන්දි ගෙවීමට බල කරයි.

දශක ගනනාවක් තිස්සේ, ගෝලීය තරඟයක යෙදී සිටින ප්‍රධාන සංගත විසින් ගෝලීය නිෂ්පාදනය භාවිතා කර ඇත්තේ, කම්කරුවන් පහලට ඇද දැමීම සඳහා වන කූඤ්ඤයක් ලෙස ය. එහෙත් වෘත්තීය සමිති නිලධරයන් සහ ජාතික ආන්ඩු විසින් ප්‍රවර්ධනය කරන ජාතික බෙදීම් ප්‍රතික්ෂේප කරන ජාත්‍යන්තර මූලෝපායක් මඟින් කම්කරුවන්ට එයට ප්‍රහාර එල්ල කල හැකි අතර, අතීතයේ දී හැකි වූවාට වඩා බෙහෙවින් බලගතු, ඒකාබද්ධ පන්ති ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා ගෝලීයකරනය වූ නිෂ්පාදනය යොදා ගත හැකිය.

බෝයිං වැඩවර්ජනය පිලිබඳව කක්‍රික-ජාස විසින් අනුග්‍රහය දක්වන ලද පසුගිය ඉරිදා (ඔක්තෝබර් 27) රැස්වීම, කල හැකි දේ පෙන්වයි. මෝටර් රථ කම්කරුවන් සහ අනෙකුත් අය ඇතුලු මහාද්වීප හයක කම්කරුවන් වැඩ වර්ජනයේ ගෝලීය වැදගත්කම පිලිබඳ රැස්වීමට සහභාගී වූ අතර එහිදී වර්ජනය බිඳ දැමීම සඳහා ආන්ඩුව, බෝයිං සහ වෘත්තීය සමිති විසින් කරන ලද උත්සාහයන්ට එරෙහිව බෝයිං සේවකයින් ආරක්ෂා කිරීමේ ලෝක මූලෝපායක් සාකච්ඡා කලේය.

දොට්ට දැමීම් සහ වැටුප් කප්පාදු කිරීම් බලාත්මක කරමින් විදේශීය ප්‍රතිවාදීන්ට එරෙහිව තරඟ කිරීමට “තමන්ගේම” ධනපතියන්ට උදවු කරන සෑම රටකම කම්කරු (වෘත්තීය සමිති) නිලධරයට එරෙහි කැරැල්ලක් ලෙස මෙම උද්ඝෝෂනය සංවිධානය කල යුතුය. සෑම රටකම වෘත්තීය සමිති මෙහෙයවනු ලබන්නේ, කිසිසේත් ම ඒ තුල සිටින කම්කරුවන් අතින් පාලනය නොවන නිලධර ආඥාදායකත්වයන් වශයෙනි. මෙම උපකරනය අහෝසි කල යුතු අතර සාමාන්‍ය කම්කරුවන්ට බලය පැවරිය යුතුය.

ජර්මනියේ, වීඩබ්ලිව් අධීක්ෂන මන්ඩලයේ වාඩි වී “කර්මාන්ත විධායක සභා” සහ අනෙකුත් සංගතවාදී ආයතන හරහා කම්හල් කලමනාකරනය කිරීමට උදව් කරන අයිජී මෙටල්, කප්පාදුව “සමාජය පිලිගත හැකි” ආකාරයෙන්—එනම්, පහල සාමාජිකත්වයෙන් ක්‍රියාකාරී ප්‍රතිරෝධයක් ප්‍රකුපිතවීමකින් තොරව—සිදු කිරීම සහතික කිරීමට උදව් කරන බව පවසා ඇත.

එක්සත් ජනපදයේ එක්සත් මෝටර් රථ කම්කරු සමිති (යූඒඩබ්ලිව්) නිලධරය, තමාමත් කප්පාදුවලට මුහුන දී සිටින කැනේඩියානු සහ මෙක්සිකානු මෝටර් රථ කම්කරුවන් වෙත දොස් පැවරීමට උත්සාහ කරන අතරම, පාවාදීමේ නව කොන්ත්‍රාත්තුවක් යටතේ දොට්ට දැමීම් සිදු කිරීමට උදව් කරයි. යූඒඩබ්ලිව්, බයිඩන්ගේ ධවල මන්දිරයට කෙතරම් සමීපව සම්බන්ධ වී ඇත්ද යත්, එය ෆෙඩරල් ආන්ඩුවේ දෙපාර්තමේන්තුවක් ලෙස ක්‍රියා කරයි.

එකම ශක්‍ය ඉදිරිදර්ශනය වන්නේ, කම්කරුවන්ට පාලනය කල නොහැකි වෘත්තීය සමිති යාන්ත්‍රනයෙන් සාමාන්‍ය කම්කරුවන්ට බලය මාරු කිරීම සඳහා කම්කරුවන් බලමුලු ගැන්වීම මත පදනම් වූවකි. කම්කරුවන්ට තම ප්‍රජාතන්ත්‍රවාදී කැමැත්ත බලාත්මක කරනුවස් ස්වාධීනව ක්‍රියා කිරීමට සහ ලෝක පරිමානයෙන් ක්‍රියාවන් සූදානම් කිරීමට මාධ්‍යයන් ලබා දෙමින්, ක්‍රියාකාරී කමිටු නව බලයේ ඉන්ද්‍රියයන් ලෙස ගොඩනැගිය යුතුය.

නිලධරයන්ට පහතින් “බලපෑම්” කල නොහැක. මන්ද යත්, ඔවුන්ගේ ඉලක්කම් හයේ වැටුප් රඳා පවතිනුයේ, කලමනාකරනය සහ ධනේශ්වර ආන්ඩු යන දෙකටම කම්කරු සාමය සම්පාදනය කිරීම මත බැවිනි. ප්‍රතිචාරය විය යුත්තේ, නිලධරයේ අධිකාරය බිඳ දැමීම මිස එය ප්‍රතිසංස්කරනය කිරීම නොවේ.

නාසි ජර්මනියේ ජාතික මෝටර් රථ සමාගම ලෙස ප්‍රථම වරට ආරම්භ කරන ලද ෆොක්ස්වාගන් සමාගම, කලමනාකරනය සහ රාජ්‍යය සමඟ වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ ලෝකයේ වඩාත්ම කැපී පෙනෙන උදාහරන අතර වේ. “ඩොයිෂ්ලන්ඩ් ඉන්කෝපරේටඩ්” (Deutschland, Inc.) ආයතනික කොටස් හිමියන්, අයිජී මෙටල් සහ ජර්මානු ආන්ඩුව අතර ත්‍රෛපාර්ශ්වික සන්ධානයක් ලෙස ක්‍රියාත්මක වේ. “සමාජ හවුල්කාරිත්වය” සහ “සම-නිශ්චය” (co-determination) යන පදනම මත, කම්කරුවන්ගේ සහ ප්‍රාග්ධනයේ අවශ්‍යතාවන් සමහන් කල හැකි බව එය කියා සිටියේය.

කම්හල් වසා දැමීම මගින් මෙය බොරුවක් බව හෙලි කරයි. එහි සැබෑ අර්ථය වන්නේ, කම්කරුවන්ට එරෙහිව කලමනාකාරීත්වයේ, ආන්ඩුවේ සහ නිලධරයේ ජාතික සමගියයි.

අත්ලාන්තික් සාගරයේ දෙපැත්තෙන්ම, මෙම ත්‍රෛපාර්ශ්වික සන්ධානය යුද සන්ධානයක ස්වභාවය ගනී. බයිඩන්, වෘත්තීය සමිති ඔහුගේ “ගෘහස්ථ නැටෝව” ලෙස හඳුන්වන අතර යුද්ධයට තීරනාත්මක වන සැපයුම් දාමයන් පවත්වාගෙන යාමට නිලධරය මත විශ්වාසය තබයි. නාසීන්ගෙන් පසු විශාලතම යලි-මිලිටරිකරනය සිදු කරමින් සිටින ආන්ඩුව පවත්නා ජර්මනියේ ද එය එසේම වේ. මේ අතර, වෘත්තීය සමිති නිලධරය, ගාසා තීරයේ ජන සංහාරය ද ඇතුලුව යුද්ධයට එරෙහි විරුද්ධත්වය සාපරාධීකරනය කිරීමේ උත්සාහයන්ට ආධාර සහ අනුබල දෙයි.

සෑම රටකම ආඥාදායකත්වය කරා රූටා යාමෙන් පෙන්නුම් කෙරෙන්නේ, තනිකරම ජාතික රාමුවක් තුල කම්කරුවන්ට තමන්ව ආරක්ෂා කර ගැනීමේ නොහැකියාව යි. සමස්ත සංගතවාදී වෘත්තීය සමිති රාමුව, කම්කරු පන්තියේ ස්වාධීනත්වයේ ගෙල සිර කිරීමට සහ විදේශීය ප්‍රතිවාදීන්ට එරෙහි යුද්ධයට රට සූදානම් කිරීමට සැලසුම් කල, ෆැසිස්ට්වාදය යටතේ පැවති, ජාතික කම්කරු ව්‍යාපාරික සංඝ (syndicates) වලට වඩ වඩාත් සමාන වේ.

ෆැසිස්ට්වාදයේ ප්‍රමුඛතම ප්‍රකෝටිපති ආධාරකරුවා එලෝන් මස්ක් වන අතර ඔහුගේ මෝටර් රථ සමාගම වන ටෙස්ලා, ඉලෙක්ට්‍රොනික වාහන සංක්‍රාන්තිය සඳහා තීරනාත්මක වේ. ට්‍රම්ප් ගොඩ නගමින් සිටින ෆැසිස්ට් ව්‍යාපාරයට ඔහුගේ අනුග්‍රහය පෙන්නුම් කරන්නේ, කම්කරු පන්තියට එරෙහිව සැලසුම් කරන ප්‍රහාර ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සමග නොගැලපෙන බවයි. දශක ගනනාවක් තිස්සේ කොමියුනිස්ට් විරෝධී හා විදේශිකයන්ට සහ සංක්‍රමනිකයන්ට රැකියා “සොරකම් කිරීම” වෙනුවෙන් ප්‍රහාර එල්ල කරන වෘත්තීය සමිති නිලධරය, ෆැසිස්ට් ආඥාදායකත්වයකට අනුගත වීමට මුලුමනින්ම සූදානම්ව සිටී.

සමානාත්මතාවයට නොගැලපෙන ලාභ පද්ධතියට එරෙහිව කම්කරු පන්තිය ලෝක පරිමානයෙන් බලමුලු ගැන්විය යුතුය. දොට්ට දැමීම්වලට එරෙහි සටන, ජීවන තත්වය වැඩිදියුනු කිරීම සහ මානව අවශ්‍යතා සපුරාලීම සඳහා නව තාක්ෂනයන් මත කම්කරුවන්ගේ පාලනය සඳහා වන සටනකට සම්බන්ධ කල යුතුය. සියල්ලන්ගේම ප්‍රයෝජනය සඳහා කම්කරුවන් විසින්ම පවත්වාගෙන යන මහජන උපයෝගිතා බවට ෆොක්ස්වාගන් සහ අනෙකුත් ජාත්‍යන්තර සංගත පරිවර්තනය කල යුතුය. සම්පත්, වෙලඳපොලවල් සහ සැපයුම් දාමයන් අත්පත් කර ගැනීමේ එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදයේ හඹායාම මගින් මෙහෙයවනු ලබන යුද්ධයට එරෙහි කම්කරු පන්තියේ සටනකට මෙය සම්බන්ධ කල යුතුය.

Loading