දුගී ගොවීන් සහ පාරිභෝගිකයන් මිරිකා සංගත ලාභ තරකර ගැනීම ජාජබ/ජවිපෙ ආන්ඩුව යටතේ වඩාත් තීව්‍ර වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රධානත ම ආහාරය වන සහල් සහ අනෙකුත් ආහාර ද්‍රව්‍යයන්ගේ මිල සාමාන්‍ය වැඩ කරන ජනතාවට දරාගත නොහැකි මට්ටම් වලට පැමින ඇති අතර එය තවදුරටත් ඉහල යමින් පවතී. මහජනතාව අතර වඩාත් ජනප්‍රිය නාඩු සහල් කිලෝග්‍රෑමයක සාමාන්‍ය වෙලඳපොල මිල 2021 දී පැවති රුපියල් 100 සිට රුපියල් 250 දක්වා සියයට 150 කින් වැඩි වී ඇත. රටේ තවත් ප්‍රධාන ආහාරයක් වන පොල්වල මිල ද දැවැන්තව ඉහල ගොස් පවතී. 2021 දී රුපියල් 80 ක්ව පැවති පොල් ගෙඩියක මිල අද රුපියල් 240 කි. එය සියයට 200 ක වැඩි වීමකි.

සහල්වල අධික මිල සහ හිඟය හේතුවෙන් මහජනතාව අතර වැඩුනු බලගතු විරෝධය හමුවේ, ජනාධිපති අනුර කුමාර දිසානායක, 2024 ඔක්තෝබර් 25 දා, මහා ව්‍යාපාරික සහල් මෝල් හිමියන් කැඳවා, සහතික මිලට සහ හිඟයකින් තොර ව වෙලඳපොලට සහල් සපයන ලෙස 'නියෝග' කලේ, සහල් කිලෝග්‍රෑමයක රාජ්‍ය-පාලිත මිල රුපියල් 220 සිට 230 දක්වා ඉහල දමමින් මෝල් හිමියන්ට සහන සලසමිනි.

තත්වය වඩාත් නරක අතට හැරුනු තත්වය යටතේ, ජනවාරි 21 දා, සිරස රූපවාහිනී නාලිකාවේ “සටන” වැඩසටහනට සහභාගිවෙමින් දිසානායක කියා සිටියේ ප්‍රශ්නය විසඳීමට 'දින කීපයක්' දෙන ලෙසයි. සහල් මෝල් හිමියන් ආන්ඩුවේ සැලැස්මට එකඟ නොවුනොත්, එම මෝල් 'හමුදාවේ පාලනයට' ගන්නා බවට තර්ජනයක් ද ඔහු ඒ සමගම කලේ ය.

'දින කීපය' කෙසේ වෙතත්, දිසානායකගේ එම තර්ජනයෙන් පසු සති කීපයක් ගත වී ඇති නමුත් සහල් ප්‍රශ්නය වඩාත් උග්‍ර වෙමින් පවතී.

මේ අතර, ජාජබ/ජවිපෙ ආන්ඩුව, දුගී ගොවියන්ට එරෙහි ව අවශේෂ මහජනතාව ප්‍රකෝප කිරීමේ තුච්ඡ උද්ඝෝෂනයක් අරඹා ඇත. කිලෝග්‍රෑමයකට රුපියල් 120 බැගින් ගෙවා රජය විසින් වී මිල දී ගනිද්දී, වී වෙලඳපොලේ ඊට වඩා වැඩි මිලක් ගෙවන සහල් මෝල් හිමියන්ට ගොවියන් විසින් තම වී විකිනීම, සහල් හිඟයට සහ අධික මිලට හේතු වී ඇතැයි ආන්ඩුව පවසයි. කෘෂිකර්ම ඇමති කේ.ඩී.ලාල්කාන්ත පසුගිය දා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ, රජයේ සහනාධාර යටතේ ගොවියන් වීසින් නිෂ්පාදනය කරන වී රාජ්‍ය-පාලිත මිලට රජයට ලබාදීම ඔවුනගේ වගකීම බවයි.

බැංකු වලට, ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් වලට සහ ගිනිපොලීකාරයන්ට නය වෙමින් සහ කනකර ඇතුලු තමා සන්තක දෑ උකසට තබමින් ඉතා දුෂ්කර ව ගොවිතැනෙහි යෙදෙන මෙම ගම්බද දුගීන්ට අවශ්‍ය වනුයේ, නය තුරුස් ගෙවා ජීවිත ගැට ගසා ගනු වස් තම නිෂ්පාදනයන්ට උපරිම මිලක් ලබා ගැනීමයි. එය ඔවුන්ගේ අයිතියකි. ජාජබ/ජවිපෙ ආන්ඩුව උද්ඝෝෂනයේ යෙදී සිටින්නේ එම අයිතියට එරෙහි ව යි.

නැගෙනහිර කින්නියා පීන්ගාන් උඩයින්ධාරු ගොවියෝ-2021 ජූනි 19

ජාජබ/ජවිපෙ ආන්ඩුව බලයට පත්වූයේ, මෙතෙක් ආන්ඩු කල සම්ප්‍රදායික ධනපති පක්ෂ කෙරෙහි වැඩී තිබුනු මහජන වෛරය ගසා කමිනි. මහා ව්‍යාපාරික “සහල් මාෆියාවට” වෙලඳපොල හැසිරවීමට ඉඩ දීම සම්බන්ධයෙන් ජනාධිපති දිසානායක ඇතුලු ජාජබ/ජවිපෙ එවකට පැවති ආන්ඩු වාචාල ලෙස විවේචනය කලේ ය.

දැන් තම ආන්ඩුව යටතේ ද එම “සහල් මාෆියාව” වෙලඳපොල හසුරුවන බවට ජාජබ/ජවිපෙ කනිපින්දම් කියයි. වෙලඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මාධ්‍යයට පැවසුවේ “මේ වසරේ රටේ අතිරික්ත සහල් නිෂ්පාදනයක් තිබුනත්, වෙලඳපොලට යන විට සහල් නෑ” යනුවෙනි. ඔහු විපක්ෂයේ සිට කතා කරනවාක් මෙනි.

වෙලඳපොලෙහි සහල් මිල අඩු කිරීම සඳහා සහල් මෙට්‍රික් ටොන් 70,000 ක් ආනයනය කිරීමට කටයුතු කල බව ඇමති සමරසිංහ පවසයි. මෙය පෙර පැවති ආන්ඩු විසින් ද ක්‍රියාවට නංවන ලද අසාර්ථක උපායකි. ආනයනිත සහල්වල මිල අඩු වුව ද ගුනාත්මකභාවය අඩු බැවින් සාමාන්‍ය මහජනතාව ඒවා පරිභෝජනය කරන්නේ ඉතා මඳ වශයෙනි.

සහල් මිල ඉහල යමින් පැවතිය ද ඉන් කවර හෝ සහනයක් දුගී ගොවියාට අත් නොවේ. තම නිෂ්පාදන වියදමට කිසිසේත් නොසෑහෙන සොච්චම් මිලක් ගෙවන මෝල් හිමියන් සහ රජය පමනක් නොව, අධික මිල ගනන් වලට, බීජ, පලිබෝධනාශක, වල්නාශක සහ පොහොර සම්පාදනය කරන බහුජාතික සමාගම් සහ කොල්ලකාරී නය මෝරුන් දුගී ගොවි ජනතාව හාත්පසින්ම සූරාකෑමට ලක් කරති.

එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, 2023 වසර සඳහා 'ධාන්‍ය සහ පෝෂනය' වාර්තාවට අනුව, ශ්‍රී ලංකාව තුල හෙක්ටයාරයක (අක්කර 2.5) වී වගා කිරීම සඳහා වන වාර්ෂික වියදම, 2021/22 දී රුපියල් 100,000 ක් ව තිබී, 2022/23 දී රුපියල් 200,000 ක් දක්වා වැඩි වී ඇත. මෙය සියයට 100 ක වැඩිවීමකි. එම වාර්තාවට අනුව 2022 දී වී හෙක්ටෙයාරයකින් ලැබෙන වාර්ෂික ශුද්ධ ආදායම රුපියල් 100,000 කි. ඒ අනුව හෙක්ටෙයාරයක මාසික ශුද්ධ ආදායම රුපියල් 8500 ට අඩුය.

පොල් කර්මාන්තය සම්බන්ධයෙන්ද තත්වය ඒ හා සමානය. දිවයිනේ සමස්ත පොල් වගාවෙන් සියයට 70 ක් පමන කුඩාවතු හිමියන් සතු වන අතර, පොහොර සහ කෘමිනාශක නිපදවන බහුජාතික සමාගම් විසින් පාලනය කරනු ලබන අධික මිල ගනන් හේතුවෙන්, පොල් වගාකරුවන් ද දැඩිලෙස පීඩා විඳිති. පොල්වල වෙලඳපොල මිල පාලනය කරනු ලබන්නේද මහා පරිමාන වෙලඳ සංගත විසිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝග අකුරට ම ක්‍රියාත්මක කිරීමට කැප වී සිටින දිසානායක ආන්ඩුව, ගොවි සහනාධාර කපා දමමින් සහ මහා සංගතයන්ට වඩ වඩාත් සහන ලබා දෙමින් මෙම තත්ත්වය වඩාත් දරුනු මට්ටම් වලට ගෙන එනු ඇත.

වෙලඳපොලේ වී මිල පාලනය කරනු වස්, පුද්ගලික අංශය සමග තරඟ කිරීම සඳහා දශක ගනනාවකට පෙර ස්ථාපිත කෙරුනු රජයේ වී අලෙවි මන්ඩලය, රාජ්‍ය බැංකුවලට සහ රාජ්‍ය භාන්ඩාගාරයට රුපියල් බිලියන 28 කට වඩා නය වී සිටීන තතු තුල, ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල තුල එය ඉක්මනින්ම අභාවයට යැවීමට නියමිත ය. මෙය මහා ව්‍යාපාරිත සහල්මෝල් හිමියන්ගේ ඒකාධිකාරිය වඩාත් ශක්තිමත් කරනු ඇත.

සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාන සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා පවසන පරිදි, “වර්තමානයේ මහා පරිමාන මෝල්කරුවන් වී/සහල් වෙලඳපොලෙන් සියයට 40 කට වඩා පාලනය කරයි.” ඉදිරි කාලය තුල මහා පරිමාන මෝල්කරුවන්ගේ වෙලඳපොල කොටස දෙගුන වනු ඇති බවත්, කුඩා හා මධ්‍ය පරිමාන අංශය සියයට 20 ක් දක්වා පහත වැටෙනු ඇති බවත්, රජරට විශ්ව විද්‍යාලයේ කෘෂිකර්මය පිලිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එල්.පී.රූපසේන පැවසී ය.

ව්‍යාජ-වාම සංවිධානයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) සහ එය නායකත්වය දෙන ගොවි ජාතික සමුලුව කියාපාන අන්දමට, ජාජබ/ජවිපෙ ආන්ඩුවට කරුනු පහදා දීමෙන් හෝ පීඩනය යෙදීමෙන්, මහා පරිමාන මෝල්කරුවන්ගේ, බහු ජාතික කෘෂි නිෂ්පාදන සංගතයන්ගේ සහ කීල්ස්, කාර්ගිල්ස් වැනි දැවැන්ත වෙලඳ සමාගම්වල ඒකාධිකාරිය පරාජය කිරීම ඇතුලු පීඩිත ගොවීන්ගේ සහ පාරිභෝගික මහජනතාවගේ දැවෙන ප්‍රශ්න කිසිවක් විසඳිය නොහැක.

මේ සියලු ප්‍රශ්න ලෝක ධනවාදය මුහුන දී සිටින පෙර නොවූ විරූ අර්බුදයේ ප්‍රකාශනයන් ය. සමස්ත ගෝලීය නිෂ්පාදන ආර්ථිකය ක්‍රියාත්මක වනුයේ නිෂ්පාදන මාධ්‍යයන්ගේ අයිතිය දරා සිටින අතලොස්සක් වූ මහධනපතියන්ගේ ලාභ අවශ්‍යතා වෙනුවෙන් මිස මානව අවශ්‍යතා වෙනුවෙන් නොවේ. ගෝලීය ධනවාදයට මානව වර්ගයා වෙත දිය හැක්කේ, යුද්ධය, ආඥාදායකත්වය සහ සමාජ කාලකන්නිභාවය පමනි.

බැංකු සහ ක්ෂුද්‍ර මුල්‍ය සමාගම් ඇතුලු නය මෝරුන්ට ගෙවීමට නියමිත සියලු නය කපා හැරෙන, ගොවිතැන සඳහා අවශ්‍ය මුල්‍ය ආධාර පහසු කෙරෙන, පොහොර, කෘෂි රසායන සහ කෘෂි උපකරන අඩු මිලට සම්පාදනය කෙරෙන සහ දරු පවුල් සමග යහපත් ජීවිතයක් ගත කිරීමට සරිලන පරිදි වී ඇතුලු තම භෝග නිෂ්පාදනයන්ට සාධාරන මිලක් සහතික කෙරෙන යාන්ත්‍රනයක් පීඩිත ගොවීන්ට අත්‍යවශ්‍ය ය.

මහා පරිමාන බැංකු, දැවැන්ත සහල් නිෂ්පාදන කම්හල්, කෘෂි නිෂ්පාදන සංගත සහ සුවිසල් වෙලඳ සමාගම් ධනපතියන් අත තිබිය දී මෙය කිසිසේත් සාක්ෂාත් කල නොහැක. එය සාක්ෂාත් කල හැක්කේ එකී නිෂ්පාදන මාධ්‍යයන් කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට ගනිමින්, ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමෙන් පමනි.

මේ සඳහා, ජාමූඅ හි විධානයන් මත ජාජබ/ජවිපෙ ආන්ඩුව දියත්කර ඇති කප්පාදු ප්‍රහාරයන්ගෙන් බැටකන කම්කරුවන්ගේ සහ ගම්බද පීඩිත ගොවීන්ගේ ඒකාබද්ධ සටනක් අත්‍යවශ්‍ය ය. ඒ සඳහා, වෘත්තීය සමිති වලින් සහ ධනපති පක්ෂ වලින් ස්වාධීන වූ ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගන්නා ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන්ට සහ ගම්බද පීඩිත ගොවීන්ට කැඳවුම් කරයි. සෑම වැඩපොලක ම, නිවස්නා ප්‍රදේශයක ම සහ ගොවිබිමක ම ගොඩනගා ගන්නා එම ක්‍රියාකාරී කමිටු, ජාත්‍යන්තර ගොඩනගමින් පවත්නා 'ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය' සමග ඒකාබද්ධ වීම අත්‍යවශ්‍යය.

ඉහත ක්‍රියාකාරී කමිටුවල ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් තෝරා පත්කර ගන්නා නියෝජිතයන්ගෙන් සැදුම්ලත් කම්කරුවන්ගේ සහ ගම්බද පීඩිතයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සම්මේලනයක් ගොඩනැගීමට සසප සටන් වදී. එම සම්මේලනය, ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමේ වැඩපිලිවෙල ප්‍රජාතන්ත්‍රවාදී ව සාකච්ඡා කොට සම්මත කර ගනිමින් පහත ඉල්ලීම් මත සටන් වැදිය යුතු ය:

  • සියලු විදේශ නය ආපසු ගෙවීම නතර කරනු!
  • පීඩිත ගොවීන් ලබාගත් සියලු නය කපා හරිනු!
  • මහා පරිමාන බැංකු, කම්හල්, වතුයායයන් සහ වෙලඳ ජාලයන් කම්කරු පංතියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කරනු!
  • කෘෂි නිශ්පාදන වලට සාධාරන මිලක් සහතික කරනු!
  • ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමට සටන් වදිමු!