වාද්දුව පොලිසියේ පහරදීමෙන් පසු කම්කරු තරුනයෙකු මරුට

වාද්දුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඉතා අමානුෂික ලෙස පහරදීමෙන් පසු පෙබරවාරි 11දා තරුනයෙකු මරනයට පත්ව ඇත.

සමිත දිල්ෂාන්

මෙසේ මරනයට පත්ව ඇත්තේ, වාද්දුව තල්පිටිය, දූව පාරේ “පැතුම් විමන” නිවාස යෝජනා ක්‍රමයේ පදිංචිව සිටි, විසි හතර හැවිරිදි ආර්.එම්. සමිත දිල්ෂාන් නමැති එක්දරු පියෙකි. ගමේ සිට වාද්දුව පදිංචියට පැමිනි පවුල ජීවත්වූයේ තරුන කම්කරුවාගේ බිරිඳ වන රෝෂනී ලක්මාලිගේ දෙමාපියන්ගේ නිවසට ඈඳා තැනූ ලෑලි කාමරයක ය. ජීවිකාව සඳහා මේසන්වැඩවලට අත්උදව්දීම ඇතුලු විවිධ කුලීවැඩවල නිරතවූ දිල්ෂාන්ට එවැනි වැඩක් නොලැබුන වාර අනන්තය.

සමිත දිල්ෂාන්ගේ බිරිඳ රෝෂනී ලක්මාලි තම කුඩා දරුවාත් සමඟ

සැමියාගේ අකල් මරනයෙන් වැන්දඹුවූ ලක්මාලිත් ඔවුන්ගේ අවුරුදු එක හමාරක් වයස බිලිඳු දරුවාත් අන්ත අසරන තත්වයකට පත්ව ඇත. දිල්ෂාන්ගේ නිවසේ “ස්ථිරසාර” රැකියාවක් කරනුයේ, මාතුපිටිය ප්‍රදේශයේ කසල ප්‍රතිචක්‍රීකරන මධ්‍යස්ථානයක රු.1000ක සොච්චම් දෛනික වැටුපකට වැඩකරන ඔහුගේ නැන්දනියවූ සමන්මලී ෆොන්සේකා පමනි. ඇගේ සැමියා ද කුලී වැඩ කලත් ඒවාද අඛන්ඩව නොලැබෙන බව ඇය ලෝක සමාජවාදී වේබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට කීවාය.

දිල්ෂාන්ගේ නැන්දනිය වන සමන්මලී ෆොන්සේකා

පෙබරවාරි 10දා සවස දෙකට පමන දිල්ෂාන්, අසල්වැසි වයි.එස් දර්ශන සිල්වා නමැති හිතවතෙකු සමග යතුරුපැදියක ගමන් කරමින් සිටියේ ඔහුගේ බිරිඳගේ උපන් දිනයට කේක් එකක් මිලදී ගෙන ඒමට ය. තල්පිටියේ වේරගම හන්දිය ආසන්නයේ සිටි අවිගත් සිවිල් ඇඳුමින් සැරසුනු හතර දෙනෙකු යතුරු පැදිය නවත්වන ලෙස ඔවුන්ට අනකර ඇත. වටහා ගත හැකිපරිදි, තුවක්කු මානාගත් සිවිල් ඇඳුම් ඇඳගත් පිරිසක් දැක බියට පත්වෙනු ඇති ඕනෑම කෙනකු මෙන් යතුරුපැදිකරු ද නොනවත්වා ධාවනය කිරීමට උත්සාහ කල අතර, කලබලය නිසා ඉදිරියෙන් පැමිනි තවත් යතුරුපැදියක ගැටී ඇත.

එම අවස්ථාවේ සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරීන් හතර දෙනා, මාලයක් කැඩූ බවට අහේතුක චෝදනා නගමින් මිතුරන් දෙදෙනා අල්ලාගෙන අසලට එක්‍ රැස්වූ පිරිස ඉදිරියේ පහර දී තිබේ. අනතුරුව වාද්දුව පොලිස් ස්ථානයට රැගෙනවිත් එහිදී නැවත දරුනු ලෙස පහරදී ඇත. පොලිස් ස්ථානයේදී තම සැමියාට සහ මියගිය තරුනයාට පොලිස් නිලධාරියෙකු පොල්ලකින් පහර දෙන අයුරු සියැසින් දුටු බව සිල්වාගේ බිරිඳ සෙල්ලප්පෙරුමගේ ශානිකා කීවා ය. ඔවුන් වේදනාවෙන් කෑගසන ශබ්ධය ඇසී අසලට දුවයන විට පොලිස් නිලධාරියා ඉතා අමානුෂික ලෙස ඇයට බැනවැදී එලවා දැමීමට උත්සාහ දරා ඇත.

එවන් දසවධදීත් ඔවුන්ගේ බොරු චෝදනා සනාථ කරගැනීමට නොහැකිවූවිට, එදින රාත්‍රී දහයට පමන පොලිසිය චෝදනාවකින් තොරව පොලිසියට රැගෙන ආ දෙදෙනා නිදහස් කර තිබේ. ශානිකා, හිතවතුන් කීපදෙනෙකු සමග පොලිසියට ගොස් නිදහස්වූ දෙදෙනාම නිවෙස් වෙත රැගෙනවිත් ඇත. සිල්වා ඉතාම රුදුරු ලෙස පොලිස් ප්‍රහාරයට ලක්වී තිබුනත්, පොලිස් තර්ජන නිසා තවත් කරදරවේය යන සහේතුක බියකින් ප්‍රතිකාර ගැනීමට රෝහලට ගියේ නැතිබව, ඔහුගේ බිරිඳ ලෝසවෙඅට කීවාය. ශානිකාගේ දුරකථනයට කතාකල පොලිස් නිලධාරියෙකු, “පොලිසිය ගැහුව කියන එක කියන්නෙ නැතුව ඉන්න ඕනේ ” යනුවෙන් තර්ජනය කර තිබෙන අතර එම හඬ පටය දෙරන ප්‍රධාන ප්‍රවෘත්තී ඔස්සේ විකාශය කෙරුනි.

නිදහස් කිරීමෙන් පසු පොලිසිය “ඇඟේ අමාරු යන්න” බව පවසමින් මත් පෙති ලබාදීමට උත්සාහකොට ඇති බවත් පහර කෑමට ලක්වූ දෙදෙනා එය ප්‍රතික්ෂේප කොට තිබෙන බවත් ශානිකා වැඩි දුරටත් පැවසුවාය.

දිල්ෂාන් නිවසට පැමින ඇත්තේ ඉතා අපහසුවෙනි. ඔහුට හුස්ම ගැනීමේ අමාරුකම් ඇතිවී ලේ වමනයවීම නිසා ඉක්මනින් රජයේ ගිලන් රථ සේවයට කතාකොට පානදුර රෝහලට ඇතුලත් කොට තිබේ. මියගිය තරුනයාගේ නැන්දනිය වන සමන්මලි ෆොන්සේකා පැවසුවේ. සිය බෑනාට පැමිනි ත්‍රිරෝද රථයෙන් බැසගැනීමට පවා අපහසු බවයි. 'අම්මේ මට පොලිසියේදී හොඳටම ගැහුවා මට අමාරුයි' යැයි ඔහු පවසා තිබේ.

බෑනාගේ ඔලුව තෙත් වී තිබුනු බවත් බෙල්ලේ සහ පපුවේ ඉදිමුම් තිබූ බවත් දිල්ෂාන්ගේ නැන්දනිය කීවාය. ඇය තවදුරටත් සඳහන් කලේ ඔලුවට, පිටුපසට සහ පපුවට ඉතාම තදබල ලෙස පහරදී එල්ලලා යටි පතුල් වලට පහරදී පසුව බිම දමා කීප දෙනෙක් පාගාගෙන පහර දුන් බවත් දිල්ෂාන් තමන්ට කී බවයි.

බිරිඳගේ මස්සිනා, ඇඳසිටි කමිසයේ සපත්තු අඩි සලකුනු තිබෙන අයුරු දැක්වෙන ඡායාරූපයක් ලෝසවෙඅ වාර්තාකරුවන්ට පෙන්වූවාය. පසුව නිවසට පැමිනි පොලිසිය වැඩිදුර පරීක්ෂන වලට යයි පවසමින් එම කමිසය රැගෙන ගොස් තිබුනි.

පසුදින උදෑසන පානදුර රෝහලට රෝගියා බැලීමට ගිය බිරිඳ, රෝෂනී ලක්මාලිට දැක ගැනීමට ලැබී ඇත්තේ නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලද සිය සැමියා ඇඳක් මත අත්හැර දමා තිබෙන ආකාරයයි. ඔහු ඉතාම වේදනාවෙන් ඇඳ උඩ වකුටුවී සිටි බවත්,. ඔහුට හුස්ම ගැනීමේ අපසුව වැඩිවී තිබුනු බවත් ඇය කීවාය. ඇය වහාම ඒ පිලිබඳව අසල සිටි හෙදියකගෙන් ප්‍රශ්න කර ඇත. ඇයට ලැබුනු උත්තරය-තුවාලකරු තව පැය දෙකක් ඇතුලත මිය යන බවයි. රෝගියා වතුර ඉල්ලා සිටියත් එසේ කිරීමට බිරිඳට අවසර දී නොමැත. රෝගියා බැලීමට ගිය අයට ඉවත්වීමට ද අනකර තිබේ.

මත් පෙති භාවිතය නිසා පෙනහලු දිය වී ඇති බව හෙදියක් පැවසූ කතාව සම්පූර්නයෙන් ප්‍රතික්ෂේප කල දිල්ශාන්ගේ බිරිඳ කීවේ, ක්‍රිකට් ක්‍රීඩාවේ පවා නිරතව සිටි ඔහු නිරෝගී සම්පන්න අයෙකු බවයි.

වෙනත් හෙද සේවකයෙකු පවුලේ ඥාතියෙකුට පවසා තිබුනේ දිල්ෂාන්ගේ බඩ දෙපසට පහරදීම නිසා වකුගඩු අකර්මන්‍ය වීමට ඉඩ තිබෙන බවයි.

තරුනයා අත්අඩංගුවට ගත්තද ඔහුට එරෙහිව පැමිනිල්ලක් නගා තිබුනේ නැත. රෝහල් ගතකල තරුනයා මියයන තුරුම රෝහල් පොලිසිය කට උත්තරයක් ගැනීමට පවා උත්සාහ කොට නොතිබිනි. ඔහුට හෘද්‍යාබාධයක් වැලඳුනේනම් රෝහලට ඇතුලත්වී පැය ගනනාවක් ගතවීමෙන් පසුවත් එවැන්නක් වලක්වා ගැනීමට කිසිදු පියවරක් ගෙන නැති බව පැහැදිලි ය. ඔහු දැඩි සත්කාර ඒකකයකට ඇතුලත් කිරීම හෝ වඩා ඉහල ප්‍රතිකාර සඳහා කොලඹ මහ රෝහලට මාරුකර යැවීම වැනි රෝගියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා ගත යුතු පියවර ගෙන නොතිබුනු බව මිය අයගේ ඥාතීහු චෝදනා කරති.

රෝහලේදී මියගිය සිය බෑනනුවන්ට පොලිස් පහරදීමෙන් මෙම අපරාධය සිදුවූ බව ෆොන්සේකා කෑගසනවිට, එහි පැමිනි රෝහල් පොලිසිය, “ඇයි පැමිනිලි කලේ නැත්තේ?” යැයි විමසමින් වගකීමෙන් කරහැරීමට වෑයම් කර තිබිනි. රෝගියාගේ ජීවිතය බේරාගැනීමට තිබූ අවස්ථා පොලිසිය විසින් වැලක්වූ බවට මෙයින් ඇඟවුම් කරයි.

මෙම මරනය සැලවීමත් සමගම මහජන කෝපය ඇවිලවූ අතර සියගනනක් තල්පිටියේ ජනයා එදින රාත්‍රියේ වාද්දුව පොලිසිය ඉදිරිපිටට රැස්වී ඝාතනයේ වගකීම පොලිසිය ගතයුතුබවත්, එයට වගකිවයුතු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන දඬුවම් පනවන ලෙසත් බල කලෝය. පහරදීමට සම්බන්ධ නිලධාරීන් හඳුනා ගැනීම සඳහා ඉදිරිපත් කරන ලෙසත්, දිගින් දිගටම සිදුවන ඝාතන නතර කරන ලෙසත්, අපරාධය යට ගැසීමට ඉඩ නොදී දිල්ෂාන්ට යුක්තිය ඉටුකරන ලෙසත් උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.

තත්වය ප්‍රචන්ඩ වුවහොත් එවැන්නක් ලෙයින් මැඩීමට, වාද්දුව පොලිස් ස්ථානාධිපති වහාම අවට පොලිස් ස්ථාන වලින් බලමුලු කැඳවූ අතර පිවිසුම් දොරටුව අවහිර කොට ආරක්ෂාව තර කලේය. මහජනත කෝපය තුනී කිරීම සඳහා “නීතිය, සාමය, ආරක්ෂාව රකින” බවට පොරොන්දු ගොන්නක් ලබා දුන් පොලිසිය විරෝධතාව නවතන ලෙස ඉල්ලා සිටියෝ ය.

මෙවන් සිදුවීම්වලදී සාමාන්‍යයෙක් අනුගමනය කරන ආකාරයට මහජන කෝපය මැඩපැවත්වීම සඳහා, ඝාතනයට සම්බන්ධ පොලිස් නිලධාරීන් හතර දෙනකුගේ වැඩ තහනම් කොට අත්අඩංගුවට ගත් බව සහ ඔවුන්ට විරුද්ධව පොලිස් පරීක්ෂන ආරම්භ කොට තිබෙන බව නිවේදනය කලේය.

කලුතර දිසාභාර නියෝජ්‍ය පොලිස්පති (ඩීඅයිජී) දිල්ෂාන්ගේ ගෙදරට පැමින මියගිය අයට සාධාරනය ඉෂ්ට කරන බවට පොරොන්දු වූ නමුත්, “මේ කියන කතාවල හැටියට සාධාරනයක් වේවි කියල අපිට කිසි විස්වාසයක් නෑ” දිල්ෂාන්ගේ නැන්දනිය කීවාය. වාද්දුව පොලිසිය රුපියල් 35,000ක සොච්චම් වන්දි මුදලක් ලබා දුන් බවත්, මරනයේ වැඩ කටයුතු සඳහා තමා අත මුදල් නොතිබුනු තතු තුල එම මුදල භාර ගැනීමට අකැමැත්තෙන් උවත් සිදුවූ බවත් ඇය ලෝසවෙඅට කීවා ය.

අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් සිව් දෙනා පැය විසිහතරක් ඇතුලත අධිකරනයෙන් ඇපලබා නිදහස් වී තිබෙන බව පවුලේ ඥාතීහු පවසති. එසේ සිදුවී තිබෙන්නේ, මියයාමට හේතුව හෘදයාබාධයක් වැනි ස්වභාවික හේතුවක් යයි මරන පරීක්ෂනයේදී ව්‍යාජ ලෙස නිගමනය කිරීම නිසා බවට මරනකරුගේ පාර්ශවය දැඩිලෙස විශ්වාස කරයි. මරන පරික්ෂනයේ වාර්තාව මේ දක්වාමත් ඔවුන්ට ලබාදී නැති බවට ඔවුහු චෝදනා නගති.

ඇප ලබාදීමට උසාවියට ඉදිරිපත්කල අවස්ථාවේ පොලිස් නිලධාරීන් සතරදෙනා වෙනුවෙන් උසාවියේ සිටි සියලුම නීතිඥයන් නැගීසිටියහ. එහෙත්, ඝාතනයට ලක්වූ දිල්ෂාන් වෙනුවෙන් පෙනී සිටියේ, මානවහිමිකම් සංවිධානයක් විසින් ඉදිරිපත්කල නීතිඥයන් දෙදෙනෙකු පමනි.

පොලිසිය ධනපති දේපොල ක්‍රමයේ ආරක්ෂක උපකරනයකි. පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන්ට දස වධබන්ධන පැමිනවීමත්, ඔවුන් නිරාපරාදේ ඝාතනය කිරීමත් සම්බන්ධයෙන් ලෝකයේ අනෙකුත් පොලිසී මෙන්ම ලංකාවේ පොලීසිය ද කුප්‍රකට ය.

වාද්දුව පොලිසය මීට කලින්ද තල්පිටිය ධීවරයෙකු අත්අඩගුවට ගෙන පහරදී ඝාතනය කල බවත්, ඔහුද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු ලෙස බොරු චෝදනා නගා තිබූ බවත්, මරනය පහරදීම නිසා නොව හෘද්‍යාබාධයක් නිසා සිදුවූවත් බවට සාවද්‍ය කරුනු ඉදිරිපත් කර තිබූ බවත් රයිට් ටු ලයිෆ් නැමැති මානව හිමිකම් සංවිධානයේ ක්‍රියාකාරිනියක් ලෝසවෙඅට කීවාය.

ඉහල පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දේශපාලන අධිකාරියේ සහායද ලැබ එම ජාවාරම් කිසිදු බාධාවකින් තොරව කරගෙන යන අතරේ, ඒවාට ගොදුරුවන්නන් ලේවැකි ලෙස මර්දනය කිරීම සඳහා මත්ද්‍රව්‍ය මැඩීමේ නාමයෙන් කොලඹ ආන්ඩු මර්දනය දියත් කලේ කාලයක සිටය. එම පොලිස් මෙහෙයුම්වල මූලික අරමුනවූයේ, පොදුවේ මහජනයා ත්‍රස්ත කරමින්, ආන්ඩුවේ අයිඑම්එෆ් ගැති වැඩපිලිවෙලට විරුද්ධව නැගෙන මහජන විරෝධය තලා දැමීමය. ඊනියා මත්ද්‍රව්‍යවලට විරෝධී මෙහෙයුම් මගින් 2023 දෙසැම්බර් 17දා සිට පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ ශ්‍රී ලංකා යුද හමුදාව දිවයින පුරා වැටලීම් සිදු කල අතර 2024 ජනවාරි 17 වන විට සැකකරුවන් 38,525ක් අත්අඩංගුවට ගෙන තිබුනි.

“යුක්තිය” මෙහෙයුමට සම්බන්ධ වධහිංසා, කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම් සහ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම් සම්බන්ධ පැමිනිලි ගනනාවක් කොමිසමට ලැබී ඇතිබව වාර්තා විය. එවකට මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් “කුඩුකාරයන්” ලෙස නම් කල අයට වෙඩිතබා ඝාතනය කිරීමට අවසරය පොලිසියට ලබා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට පැමිනීමෙන් පසු, ජනවාරි 12දා සිට මසක් ඇතුලත විශේෂ අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරන මෙහෙයුම යටතේ, මත්ද්‍රව්‍ය වැටලීම මගින් පමනක් 16,000කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබෙන බව ජනාධිපති පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්දික මනතුංග 15දා ප්‍රකාශ කලේ ය. තමන් රාජකාරි කරන බලප්‍රදේශය තුල මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම එක් ප්‍රමඛ රාජකාරියක් බව පවසමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මෙවන් අනීතික පොලිස් ක්‍රියාකාරකම්වලට කොල එලිය දැල්වූවේ ය.

මෙලෙස ධනපති නීතිය නොතකා පොලිස් අපරාධ සිදුවන්නේ, වත්මන් ජවිපෙ, ජාජබ ආන්ඩුවේ අර්බුදය වේගයෙන් ගැඹුරු වෙමින් ඇති තතු තුලය. ජාමූ අරමුදලේ නියෝග ක්‍රියාවට දැමීමේදී පෙරටත් වඩා විරුද්ධත්වය වැඩෙමින්, නැවත මහජන නැගිටීමක් ඇතිවීමේ අවදානම ගැන ජාජබ/ජවිපෙ ආන්ඩුව ඇතුලු පාලක පන්තිය දැනුවත් ය. ආන්ඩුවේ ප්‍රතිචාරය වනු ඇත්තේ, කම්කරු-පීඩිත මහජනතාවට එරෙහිව කඩා පැන්නවීම සඳහා පොලීසිය ඇතුලු රාජ්‍ය මර්දන යන්ත්‍රය ශක්තිමත් කරමින් ආඥාදායක පාලනයක් වෙතට වේගයෙන් ගමන් කිරීමයි.