රජයේ රෝහල්වලට බඳවා ගන්නැයි ඉල්ලා සම සෞඛ්‍ය උපාධිධාරීහු විරෝධතාවයේ යෙදෙති

රජයේ රෝහල්වල පවතින පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීන් සඳහා බඳවා ගන්නා ලෙස ද, අසාධාරන තරග විභාගය අහෝසි කරන ලෙස ද ඉල්ලා 500ක පමන සම සෞඛ්‍ය උපාධිධාරීහු පසුගිය සඳුදා කොලඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.

විරෝධතාකරුවන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පැමිනියේ, 'නිදහස් අධ්‍යාපනය සුරකිනු', 'රෝගී ජීවිත අනතුරේ', 'නිදහස් සෞඛ්‍යයට අත නොතබනු', 'සම සෞඛ්‍යය අනතුරේ' සහ 'පැලැස්තර විසඳුම් එපා' ආදි සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් කොලඹ නගරසභාව ආසන්නයෙන් ආරම්භ කල විරෝධතා පාගමනකිනි.

සම සෞඛ්‍ය උපාධිධාරීන්ගේ විරෝධතාවය [Photo: Allied Health Sciences Graduates' Unity's Facebook]

2019 වසරින් පසු මේ දක්වා සමසෞඛ්‍ය උපාධිධාරීන් රජයේ රැකියා සඳහා බඳවා ගෙන නැත. ඒ අනුව වසර 5 ක පමන සමසෞඛ්‍ය උපාධිධාරීන් සිය ගනනක් රැකියා අපේක්ෂාවෙන් සිටිති.

රසායන විද්‍යා, භෞතචිකිත්සක, විකිරන ශිල්පී, විකිරන චිකිත්සක සහ ඖෂධවේදී යන පරිපූරක වෛද්‍ය සේවාවන් සඳහා සෞඛ්‍ය සේවාවේ ඇති දැවෙන අවශ්‍යතාවයට පැලැස්තර විසඳුමක් ලෙස උසස් පෙල සමත් සීමිත සිසු සංඛ්‍යාවකගෙන් සම සෞඛ්‍ය උපාධිය ආරම්භ කලේ 2005 වසරේ දී ය. උපාධිය අවසන් කල සිසුන් ප්‍රමානයකට 2010 හා 2019 වසරවල දී රැකියා ලබා දී තිබේ.

නමුත්, 2021 වසරේ නිකුත් කර ඇති චක්‍රලේඛයක් මගින් පුරප්පාඩු මත බඳවා ගැනීම නතර කොට තරග විභාග පැවැත්වීමට යෝජනා වී තිබේ. අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුනු (ජවිපෙ)/ජාතික ජන බලවේග (ජාජබ) ආන්ඩුව යටතේ ද එම තරග විභාග පැවැත්වීමට සූදානම්වීම සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ විරුද්ධත්වයට හේතු වී තිබේ.

ඒ තත්වය තුල, සඳුදා දින විරෝධතාවය සංවිධානය කර තිබූනේ, සම සෞඛ්‍ය උපාධිධාරී එකමුතුව (සසෞඋඑ) හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් මෙහෙයවන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබමය) විසිනි.

සංවිධායකයින් විරෝධතාවය අතරතුර සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස සමග සාකච්ඡාවක් ලබා ගත්තේ ය. එදින පැවති කැබිනට් මන්ඩල රැස්වීමට ප්‍රශ්නය යොමු කර පිලිතුරක් ලබා දෙන බවට ඇමති ජයසිංහ දුන් පොරොන්දුවක් මත විරෝධතාකරුවෝ රාත්‍රිය වනතුරු අමාත්‍යාංශය ඉදිරිපිට රැඳී සිටියහ. නමුත් කැබිනට්ටුවෙන් ලැබී තිබෙන්නේ, රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමග සාකච්ඡා කොට සති දෙකක් ඇතුලත පිලිතුරක් ලබා දෙන බවට වූ අවිනිශ්චිත පිලිතුරකි.

විරෝධතාවයේ දී මාධ්‍යට අදහස් දැක්වූ සසෞ උපාධිධාරීන්ගේ එකමුතුවේ ලේකම් නදුන් දර්ජිත කියා සිටියේ පසුගිය වසර කිහිපය පුරා සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ට ලිපි යැවූ බවත්, උද්ඝෝෂනයේ යෙදී ප්‍රහාරයට ලක් වූ බවත් ය.

නැවත තරග විභාග පැවත්වීම සම්බන්ධයෙන් “කලින් ආන්ඩු කරපු දේම කරන්නද මේ ආන්ඩුව බලයට පත් කර ගත්තේ“ යනුවෙන් ඔහු ප්‍රශ්න කලේ ය. මෙවන් ප්‍රශ්න කිරීම්, ජවිපෙ/ජාජබ ආන්ඩුව කලින් පැවති ධනපති ආන්ඩුවලට වෙනස් වූ “ජනතා ආන්ඩුවක්“ යයි ද එහි බලයට පැමිනීම “මහජන අපේක්ෂාවන් මුදුන් පත් වීමක්“ යයි ද, පීඩනය යොදා ආන්ඩුව “නිවැරදි මාවතට“ ගත හැකි යයි ද ආදි වශයෙන්, ව්‍යාජ-වාම පෙසප ගොතන ප්‍රලාපයෙන් ගලා එන්නකි.

ජවිපෙ/ජාජබ ආන්ඩුව නිශ්චිත ව ක්‍රියාවට දමා තිබෙන්නේ, කලින් පැවති රනිල් වික්‍රමසිංහ ආන්ඩුව විසින් ආරම්භ කල, රාජ්‍ය අංශයේ රැකියා කප්පාදුව හා නිදහස් අධ්‍යාපනය, මහජන සෞඛ්‍යය ආදී සමාජ සුභසාධන වියදම් කප්පාදු කිරීම ඇතුලු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) රුදුරු කප්පාදු වැඩපිලිවෙලයි. සම සෞඛ්‍ය රැකියා කප්පාදුව ක්‍රියාවට දැමෙන්නේ මෙම කප්පාදුවේ කොටසක් ලෙසයි.

විරෝධතාවය පුරා කිහිප සියයක පොලිස් භටයන් හා කඳුලුගෑස් හා ජල විදින රථ සන්නද්ධ ව තබා තිබුනි. මෙම විරෝධතාවයට පහර එල්ල නොවූව ද, දෙසැම්බර් 02 දා අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවති පාසල් සංවර්ධන නිලධාරීන්ගේ විරෝධතාවයට පහර දීමෙන් අනතුරුව තවදුරටත් ගෙන යන පොලිස් දඩයම මගින් පෙන්වා ඇත්තේ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට බාධාකාරී වන කාට වූවද රුදුරු මර්දනයක් දියත් කිරීමේ ආන්ඩුවේ සූදානමයි.

සසෞ උපාධිධාරි එකමුතුව හා අවිශිබමය ආන්ඩුවේ කප්පාදුව පිටුපසින් ඇති ජාමූඅ ප්‍රහාර දැනුවත්ව වසන් කරයි. ඔවුන් කියා සිටින්නේ එලෙස තරග විභාග පවත්වන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලවල උපාධිධාරීන් රජයේ රැකියා සඳහා යොමු කර ගැනීමේ කූට අරමුනෙන් බවයි.

විරෝධතාවයේ දී මාධ්‍යට අදහස් දැක්වූ සසෞ උපාධිධාරි එකමුතුවේ ලේකම් නදුන් දර්ජිත නිදහස් අධ්‍යාපන කප්පාදුව සම්බන්ධ ධනපති ආන්ඩුවල වාර්තාව හා ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල වසන් කරමින්, රජයේ විශ්වවිද්‍යාල අවස්ථා අහිමිවීම හේතුවෙන් පෞද්ගලික විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා හැදෑරීමට බල කෙරුනු ශිෂ්‍යයන්ට එරෙහිව තර්කයක් ගොඩනැගූවේ ය. “උසස් පෙල තරග විභාගයේ තරග විභාගය ජය ගන්න බැරි වුන අය - මුදලට උපාධි ගත්තු අය මේ රැකියාවලට ගන්න යනවා. උසස් පෙල කියන්නේ ලංකාවේ සෑම දරුවෙකුටම සමානව සාධාරනව ලැබෙන තරග විභාගයක්. ඉන් ඉහල ලකුනු තියෙන අයව තමා විශ්වවිද්‍යාලවලට තෝර ගන්නේ. ඒ අයව හලලා, මුදලට උපාධි ගත්තු අයව මේකට රිංගවන්න යනවා. ඒකයි තරග විභාග තියන්න මූලික හේතුව“.

උසස් පෙල විභාගය සාධාරන, සෑම දරුවෙකුටම සමාන අවස්ථා ලැබෙන්නක් ලෙස හැඳින්වීම යථාර්තය උඩුයටිකුරු කිරීමකි. ගනිත විද්‍යා වැනි විෂයයන් සඳහා පවතින ගුරු හිගය, සෑම දරුවෙක් කෙරෙහිම අවධානය යොමු කිරීමට නො හැකි ආකාරයෙන් පන්ති කාමරවල ගුරු-සිසු අනුපාතය දැවැන්ත ලෙස ඉහල යෑම හා බහුතරයක් දෙමාපියන් මුහුන දෙන ආර්ථික දුෂ්කරතා වැනි කරුනු හේතුවෙන් සාමාන්‍ය පෙල විභාගයෙන් උසස් පෙලට තේරි පත්වන හා උසස් පෙල හැදෑරීමට යොමුවන සිසු සංඛ්‍යාව සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටින සිසුන්ගෙන් අඩකටත් අඩු අගයක් ගනී.

නිදහස් අධ්‍යාපනයේ කප්පාදුව මගින් රටේ විශ්වවිද්‍යාල පද්ධතිය ඇද දමා තිබෙන්නේ, ගරා වැටෙන නේවාසිකාගාර, දේශන ශාලා හා අචාර්ය හිගයෙන් පීඩා විඳින තත්වයකටයි. විශ්වවිද්‍යාල සඳහා තෝරා ගැනීමේ කඩඉම් ලකුනු ඉහල දැමීමෙන් වාර්ෂිකව උසස් පෙල සමත් ලක්ෂ තුනකට වැඩි සිසු පිරිසකට රජයේ විශ්වවිද්‍යාල අවස්ථා අහිමි කෙරේ.

මහ ව්‍යාපාර, බැංකු, දැවැන්ත ඉඩ කඩම් හිමි ඉහල මධ්‍යම පන්තියේ හා ධනපති පන්තියේ ම පවුල්වල අතලොස්සක් හැර තම දරුවන් පෞද්ගලික විශ්වවිද්‍යාලවල රුපියල් මිලියන ගනන් අය කරන උපාධි පාඨමාලා වෙත යෙමු කරන මධ්‍යම පන්තික පවුල් පවා ඒ සඳහා මුදල් සොයා ගන්නේ තම ඉඩකඩම්, කනකර උකස් කිරීමෙනි.

ධනපති ක්‍රමයේ අර්බූදය හමුවේ මෙම මධ්‍යම පන්තික කොටස් මත ද දරුනු ප්‍රහාරයක් එල්ල වී ඇති අතර නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය සඳහා වන අරගලයේ දී ඔවුහු අපගේ ආධාරකරුවෝ වෙති.

අනෙක් අතින්, නිදහස් සෞඛ්‍ය කප්පාදුවේ කොටසක් ලෙස රජයේ රෝහල් තුල මේ වන විට රුධිර පරීක්ෂන, එක්ස්රේ, ස්කෑන් ඇතුලු පරිපූරක වෛද්‍ය සේවාවන් පෞද්ගලික අංශය වෙත පවරා තිබේ. එවන් සේවාවන් රජයේ රෝහලකින් ලබාගත හැක්කේ නේවාසිකව ප්‍රතිකාර ලබන බරතපල රෝගීන්ට පමනි. රජයේ රෝහල්වල පරිපූරක වෛද්‍ය වෘත්තීන්හි රැකියා කප්පාදුවට බලපාන ප්‍රධාන හේතු මේවා ය.

ධනපති ක්‍රමයේ ලෝක පරිමාන අර්බූදය හමුවේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය කප්පාදුව ඇතුලු රාජ්‍ය අංශයේ රැකියා කප්පාදුව ජාත්‍යන්තර ප්‍රපංචයකි. බිලියනපතියන් අතලොස්සක් නියෝජනය කරන ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල් ට්‍රම්ප් බලයට පත් වී මසක් ඉක්මවද්දී එරට රාජ්‍ය අංශයේ දහස් ගනනක් රැකියාවලින් දොට්ට දමා ඇති අතර මිලියන දෙකක් පමන වන එරට ෆෙඩරල් ශ්‍රම බලකායෙන් බහුතරයක් දොට්ට වැටීමේ තර්ජනයට මුහුන දී සිටී. මිලියන ගනනකගේ ජීවනාලිය වන එරට මෙඩිකේඩ්, ආහාර කූපන් සහ නිදහස් අධ්‍යාපනය ඇතුලු සමාජ වැඩසටහන් කප්පාදුව වේගවත් කර ඇත. යුරෝපය ඇතුලු ලොව පුරා ධනපති ආන්ඩු ගෙන යමින් තිබෙන්නේ මහජනයාට එරෙහි මෙ වැනි ම සමාජ ප්‍රතිවිප්ලවයේ පිලිවෙතකි.

විරෝධතාවයෙන් පසු ශිෂ්‍යයන් ඇමතූ අවිශිබමය කැඳවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත් සති දෙකෙන් විසඳුමක් නො ලැබුනහොත් යලි විරෝධතාවල යෙදෙන බව කියා සිටියේ ය. “අපි මේ සති දෙක තුල ගමක් ගමක් නගරයක් නගරයක් ගානේ ගිහින් ජනතාව දැනුවත් කරනවා. එදාට එන්නේ මේ බිත්ති පෙරලන් යන්න. අපි අදත් අත්හදා බැලුවේ ශිෂ්‍යයන්ගේ සංවිධානාත්මක බලය. පාර පැහැදිලියි වෙන මොකක් ද මහ පාරේ අරගලය. ශිෂ්‍යන්ගේ සංවිධානාත්මක බලය“ යනුවෙන් චන්ද්‍රජිත් බෙරිහන් දුන්නේ ය.

2014 වසරේ දී පැවති මහින්ද රාජපක්ෂ ආන්ඩුව විසින් සම සෞඛ්‍ය උපාධි පාඨමාලාව වසර 4 සිට 3 දක්වා කප්පාදු කරනු ලැබීමට එරෙහි ශිෂ්‍ය සටන් හුවා දක්වමින් චන්ද්‍රජිත් කියා සිටියේ එම ශිෂ්‍ය සටන් මගින් රාජපක්ෂ ආන්ඩුව “දන ගස්වා“ පාඨමාලා කප්පාදුව ආපස්සට හැර වූ බවයි.

ධනපති ආන්ඩු විසින් සිදු කරන එවැනි අතපස්සට ගැනීමේ උපාමාරු සහ සීමිත සහන දැවැන්ත “ජයග්‍රහන“ ලෙස ශිෂ්‍යයන් ඉදිරියේ ඔජවැඩූව ද, පසුගිය දශක කීපය තුල සැබැවින්ම සිදුව ඇත්තේ, මෙම 'ශිෂ්‍ය සටන් තිබිය දී' නිදහස් අධ්‍යාපනය දැවැන්ත පරිමානව කප්පාදු කරමින් අධ්‍යාපනයේ පෞද්ගලීකරනය වේගයෙන් ඉදිරියට යාමයි.

අවිශිබමයේ විරෝධතා දේශපාලනයේ සැබෑ එල්ලය වන්නේ, නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍යය මත එල්ල කෙරෙන ප්‍රහාර යටින් පවතින ධනපති ක්‍රමයේ අර්බූදය පිලිබඳ විද්‍යාත්මක විශ්ලේශනයක් හා එය පරාජය කල හැකි සක්‍ය ඉදිරිදර්ශනයක් වෙතින් ශිෂ්‍යයන් සහ තරුනයන් ඈත් කිරීමයි. නමුත්, සමස්ත නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍යය තුල, බලයට පත් ආන්ඩු සිදු කර ඇති කප්පාදු පෙන්නුම් කරන්නේ හුදකලා ශිෂ්‍ය සටන් මගින් ධනපති ආන්ඩුවල ප්‍රහාර පරාජය කල නො හැකි බවයි.

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වෙත පෙබරවාරී 20 දා නිකුත් කල විවෘත ලිපිය තුල ශිෂ්‍යයන්, තරුනයන් ගත යුතු මාවත මෙසේ සඳහන් කලේ ය.

“ජාතික ව, ධනපති ක්‍රමය තුල මහජනයාගේ කිසිදු ප්‍රශ්නයක් විසඳා ගත නො හැකි බව අපි කියා සිටින්නෙමු. කෘතීම බුද්ධිය ඇතුලු විද්‍යාව තාක්ෂනය තුල මානව වර්ගයා අත්පත් කරගෙන තිබෙන අද්විතීය ජයග්‍රහන උපයෝගී කර ගනිමින් අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුලු සමාජ අයිතීන් තහවුරු කල හැක්කේ ද, මානව වර්ගයාගේ ආර්ථික සමාජ-සංස්කෘතික ජීවිතය නව ඉහලකට ඔසවමින් සමාජ සමානතාවය තහවුරු කල හැක්කේ ද, අතලොස්සකගේ ලාභය සඳහා නොව මානව අවශ්‍යතා මත නිෂ්පාදනය සහ බෙදා හැරීම සිදු කරන ජාත්‍යන්තර සමාජවාදය යටතේ පමනි.

“දැන්, තරුනයන් සහ ශිෂ්‍යයන්, ධනපති ක්‍රමය පෙරලා දැමීමේ ඓතිහාසික ශක්‍යතාවය සහිත ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එක්වෙමින් කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ජාත්‍යන්තර ව ගොඩ නැගීමට එකතු වීම අවශ්‍යය ය.“

Loading