ට්‍රම්ප්ගේ ධවල මන්දිරය විසින් යූඑස්ඒඩ් වෙත එල්ල කරන ලද ප්‍රහාරයේ දේශපාලනික හා සමාජීය ඇඟවුම්

[මෙය The political and social implications of the attack on USAID by the Trump White House යන මැයෙන් 2025 පෙබරවාරි 17 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ට්‍රම්ප් පරිපාලනය විසින් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය (යූඑස්ඒඩ්) වසා දැමීම දැනටමත් අප්‍රිකාව පුරා දැඩි බලපෑමක් ඇති කර ඇති අතර එය මානුෂීය ව්‍යසනයක තර්ජනය මතු කරයි. ඒජන්සියේ ඩොලර් බිලියන 44 ක අයවැය සමස්ත ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 6.75 ක ෆෙඩරල් අයවැයෙන් සියයට 1 කටත් වඩා අඩුය. නමුත් මෙම සොච්චම් මුදල පවා, ලෝකයේ දෙවන වැඩිම ජනගහනය සහිත මහාද්වීපයේ සාගත-සහන සහ රෝග ප්‍රතිකාර සහ වැලැක්වීමේ සැලකිය යුතු කොටසක් සඳහා දායක වේ.

යූඑස්ඒඩ් හි වැඩ නතර කිරීමේ නියෝගය නිසා එච්අයිවී පිලිබඳ තීරනාත්මක පර්යේෂන වහාම නතර වී ඇති අතර බොහෝ ප්‍රතිකාර සායන වසා දමා ඇත. එච්අයිවී වලින් දැඩි ලෙස පීඩාවට පත් වූ රටවල් අතර සිටින උගන්ඩාව සහ නයිජීරියාව සෞඛ්‍ය සේවකයින් ගෙදර යවමින් සිටී. එච්අයිවී ආසාදිත පුද්ගලයින්ගේ වෛරස් මර්දනය කරන සහ සම්ප්‍රේෂනය වලක්වන ඖෂධ හිඟයක් පිලිබඳව අනතුරු අඟවා ඇත.

තාවකාලික අධිකරන නියෝගයක් මගින්, සේවකයින් වහාම වැටුප් සහිත නිවාඩු යැවීමෙන් සහ විදේශයන්හි යොදවා ඇති යූඑස්ඒඩ් සේවකයින්ගෙන් අතිමහත් බහුතරයක් නැවත එරටට ගෙන්වා ගැනීමෙන් ධවල මන්දිරය වලක්වා ඇති බව කියනු ලැබේ. මෙම විනාශකාරී මෙහෙයුමට ට්‍රම්ප් සහ මස්ක්ගේ කැමැත්ත ලැබුනහොත්, ලොව පුරා සේවකයින් 10,000 කට වඩා සිටින ආයතනයේ කාර්ය මන්ඩලය 300 කට වඩා අඩු වනු ඇත. අප්‍රිකානු කාර්යාංශයේ කාර්ය මන්ඩලය 12 ක් සහ ආසියාවේ අට දෙනෙකු පමනක් ඉතිරි වනු ඇත.

'ජීවිතාරක්ෂක' ආධාර දිගටම පවතින බවට රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝගේ සහතිකය නොතකා, යූඑස්ඒඩ් හි කටයුතු හදිසියේ නැවැත්වීමේ ප්‍රතිඵලයක් ලෙස ආහාර ආධාර දැනටමත් ගබඩාවල සිරවී තිබේ. යූඑස්ඒඩ් පරීක්ෂක ජෙනරාල්වරයා, ආහාර, කුසගින්නෙන් පෙලෙන ජනතාවට ලබා දීම වෙනුවට කුනු වෙමින් පවතින බව වාර්තා කල විට, ට්‍රම්ප් ඔහුව සේවයෙන් පහ කලේය.

සෝමාලියාවේ මොගඩිෂු හි ආහාර සැපයුම් මධ්‍යස්ථානයක තරුන ගැහැනු ලමෝ පෙල ගැසී සිටිති [Photo by Tobin Jones / CC BY-NC-ND 4.0]

තීරනාත්මක ස්වස්ථතා මැදිහත්වීම් සහ මානුෂීය සහන සඳහා දිගු කලක සිට යූඑස්ඒඩ් මත යැපෙන කලාපයක් වන උප-සහාරානු අප්‍රිකාව, මෙම දැඩි කප්පාදුවල බර දැරිමට නියමිතය. රටවල් 50 කට ආසන්න සංඛ්‍යාවක් සහ බිලියන 1.24 ක ජනතාවක් සිටින කලාපයක් වන උප-සහාරානු අප්‍රිකාව, ලෝකයේ වඩාත්ම විනාශකාරී සෞඛ්‍ය අර්බුද කිහිපයකට නිවහන වන අතර, එච්අයිවී/ඒඩ්ස්, මැලේරියාව සහ ක්ෂය රෝගය (ටීබී), එහි වාර්ෂිකව මිලියන ගනනක ජීවිත බිලිගනී. සාමාන්‍ය මාසික වැටුප ඩොලර් 800 ට අඩුය. ලෝක බැංකුවට අනුව, අප්‍රිකානුවන්ගෙන් සියයට 85 ක් ජීවත් වන්නේ දිනකට ඩොලර් 5.50 ට අඩු ආදායමකිනි.

2022 වන විට, අප්‍රිකාවේ සෑම පස් දෙනෙකුගෙන් එක් අයෙකු ම, එනම් මිලියන 264 ක ජනතාවක් කුසගින්නෙන් පෙලුනු අතර, එය ගෝලීය වශයෙන් ඕනෑම කලාපයක ඇති නරකම අනුපාතයයි. ජනගහනයෙන් හතරෙන් එකකට විශ්වාසදායක ජල මූලාශ්‍ර සඳහා ප්‍රවේශය නොමැත. පවතින ගැටුම්, නියඟ, ආහාර මිල ඉහල යාම, සමාජ අසමානතාවය සහ යටිතල පහසුකම් නොමැතිකම යන සියල්ල එයට දායක වන සාධක වේ. උප-සහරානු අප්‍රිකාවේ, අවුරුදු පහට අඩු ලමුන්ගෙන් සියයට 40 ක් නිදන්ගත මන්දපෝෂනය හේතුවෙන් ඌන-වර්ධනයට (කුරු බව) පත්ව සිටිති. 2023 දී ඔක්ස්ෆෑම් වාර්තා කලේ, මහාද්වීපය පුරා තවත් මිලියන 20 කට අධික ජනතාවක් දැඩි කුසගින්නකට තල්ලු කර ඇති බවත්, එය බොට්ස්වානා, නැමීබියාව සහ සිම්බාබ්වේ යන රටවල සමස්ත ජනගහනයට සමාන බවත්‍ය.

2024 දී, යූඑස්ඒඩ් උප-සහරානු අප්‍රිකාවට මානුෂීය ආධාර වශයෙන් ඩොලර් බිලියන 6.6 ක් පමන ලබා දුන් අතර, සැලකිය යුතු කොටසක් (සියයට 73) සෞඛ්‍ය සහ ආහාර ආරක්ෂන වැඩසටහන් සඳහා වෙන් කරන ලදී. යූඑස්ඒඩ්, එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ සහයෝගයෙන්, උප-සහරානු අප්‍රිකාව ඇතුලුව ලොව පුරා හදිසි ආහාර ආධාර සඳහා ඩොලර් බිලියන 1 ක අරමුදල් යෙදවීය.

යූඑස්ඒඩ්, අප්‍රිකාවේ ආහාර ආධාර වැඩසටහන් සඳහා විශාලතම දායකත්වයක් සපයන ආයතනයකි. එය ඉවත් කර ගැනීමත් සමඟ, විශේෂයෙන් සුඩානය සහ සෝමාලියාව වැනි ගැටුම් සහිත කලාපවල මිලියන ගනනක් සාගතයට මුහුන දෙති. “යූඑස්ඒඩ් හි සහාය නොමැතිව, බොහෝ අප්‍රිකානු රටවල සාගත තත්වයන් යථාර්ථයක් බවට පත්වනු ඇති,” බවට, ඉන්ටර්නැෂනල් ක්‍රයිසිස් ගෲප් හි ආහාර ආරක්ෂන විශේෂඥයෙකු වන ක්‍රිස් නිව්ටන් අනතුරු අඟවයි.

ඇමරිකානු අධිරාජ්‍යවාදය සඳහා යූඑස්ඒඩ් හි කාර්යභාරය

ධනේශ්වර පුවත්පත්වල සිරස්තල කියවීමෙන් සහ 'රැඩිකල් උන්මත්තකයින් රොත්තක් විසින් මෙහෙයවනු ලබන ඒජන්සියෙන් අපි ඔවුන් එලියට දමමින් සිටිමු' යන ට්‍රම්ප්ගේ දන්ඩනාත්මක ප්‍රකාශයට සවන් දීමෙන් ම, මෙය මෙම අහංකාරෝන්මාදියා (megalomaniac) විසින් සමාජ වියදම්වලට එල්ල කරන තවත් ප්‍රහාරයක් බවට හැඟීමක් ඇති කර ගත හැකිය. මෙය යූඑස්ඒඩ් හි ඉතිහාසය සහ සීතල යුද්ධයේ උච්චතම අවස්ථාවේ දී 1961 දී එහි ආරම්භයේ සිට වර්තමානය දක්වා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආයුධයක් ලෙස එහි අතිමහත් වැදගත්කම නොසලකා හරිනු ඇත.

දෙවන ලෝක යුද්ධයේ අලු මත, එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතා ලෙස මතු වූ දා සිට, පාලක පන්තිය තම ලෝක ආධිපත්‍යය පවත්වා ගැනීමේ ප්‍රධාන පූරකයක් (key adjunct) ලෙස විදේශ ආධාර—ඊනියා 'මෘදු බලය'—භාවිතා කර ඇත. මාෂල් සැලැස්ම (1948-1952) යනු, යුද්ධයේ අලු මතින් යුරෝපය නැවත ගොඩනැගීම සඳහා එක්සත් ජනපදයේ ත්‍යාගශීලී ක්‍රියාවක් නොව; එය අපේක්ෂා කරන ලද්දේ, යුද්ධයෙන් පසු එක්සත් ජනපද ආර්ථික ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා උපායමාර්ගික පියවරක් ලෙසට ය. යුරෝපයේ පශ්චාත් යුධ ප්‍රතිසංස්කරනය, යුරෝපීය ධනේශ්වර ආර්ථිකයන් ඇමරිකානු නායකත්වයෙන් යුත් ගෝලීය පද්ධතියකට ඒකාබද්ධ කිරීම සහතික කිරීම සහ ස්ටැලින්වාදී පක්ෂවල සහයෝගීතාවයෙන් ඉතාලිය, ප්‍රංශය සහ ජර්මනිය වැනි රටවල සමාජ විප්ලවයේ තර්ජනය අවහිර කිරීම මගින් එක්සත් ජනපදය තම ගෝලීය ආධිපත්‍යයට අඩිතාලම දැමීය.

මාෂල් සැලැස්ම මගින් ස්ථාපිත කරන ලද අරමුනු, අවසානයේ, ගෝලීය ආධිපත්‍යය සඳහා මෙවලමක් ලෙස යූඑස්ඒඩ් හි ආයතනීකරනය කරන ලදී. 1961 දී යූඑස්ඒඩ් පදනම ආරම්භ කරන අවස්ථාවේ දී ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිගේ පරිපාලනය මෙසේ සඳහන් කලේය, 'සාමකාමී විප්ලවය කල නොහැකි බවට පත්කරන අය, ප්‍රචන්ඩ විප්ලවය නොවැලැක්විය බවට පත් කරති.' ඔහුගේ පන්තියේ කල්පනාකාරී නියෝජිතයෙකු වූ කෙනඩි, සෑම විට ම, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ආරක්ෂා කිරීමේදී නොසැලී සිටියේ ය. යූඑස්ඒඩ් හි මානුෂීය වරප්‍රසාද වෙනුවෙන් කරන ලද ප්‍රකාශ කුමක් වුවත්, එය සංගත-හිතකාමී ආර්ථික ප්‍රතිපත්ති පැනවීම, එක්සත් ජනපද-හිතකාමී දේශපාලන ව්‍යාපාර සහ ප්‍රති-කැරලිකාර උත්සාහයන් සඳහා අරමුදල් සැපයීම සඳහා වූ මෙවලමක් වූ අතර සංවර්ධනය වෙමින් පවතින ලෝකය පුරා සමාජවාදී සහ ජාතිකවාදී ව්‍යාපාරවලට වල කැපීය.

ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි, 1962 අගෝස්තු මාසයේදී, ඇමරිකානු ආන්ඩුවේ අරමුදලින් නඩත්තු වන ඒඑෆ්එල්-සීඅයිඕ හි විදේශ ප්‍රතිපත්ති අංශය වන ඒඅයිඑෆ්එල්ඩී හි සාමාජිකයන් පිරිසක් අමතයි [Photo: Abbie Rowe, White House]

ඇමරිකානු මාධ්‍යවේදියෙකු සහ ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තියුනු විවේචකයෙකු වන විලියම් බ්ලම් විසින් ඔහුගේ 'අපේක්ෂාවන් මරා දැමීම (Killing Hope)' නම් පොතේ, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ නාමයෙන් යූඑස්ඒඩ් විසින් සෘජුව සහ වක්‍රව සිදු කරන ලද අපරාධ සහ මිනීමැරුම් පිලිබඳ ව කරන ලද සම්පූර්න විස්තරය කෙටියෙන් උපුටා දැක්වීම ප්‍රයෝජනවත් වනු ඇත:

  • 1962 සිට 1980 දක්වා ග්වාතමාලාවේ, යූඑස්ඒඩ් හි මහජන ආරක්ෂක කාර්යාලය (ඕපීඑස්) ග්වාතමාලා පොලිස් නිලධාරීන් 30,000 කට වැඩි පිරිසක් පුහුනු කල අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් වාමාංශික කන්ඩායම්වලට එරෙහිව කැරලි මර්දන මෙහෙයුම්වල නිරත වූහ. දස දහස් ගනනක් සිවිල් මරන ලේඛනගත වී ඇත. 1970 සහ 71 අතර, 7,000 කට වැඩි පිරිසක් “අතුරුදහන්” කර හෝ මරා දමනු ලැබ ඇත.

  • වියට්නාමයේ ෆීනික්ස් වැඩසටහන (1968-1971) යනු, සමූහ අත්අඩංගුවට ගැනීම්, වධහිංසා පැමිනවීම් සහ නීති විරෝධී ඝාතන හරහා ජාතික විමුක්ති පෙරමුනේ දේශපාලන යටිතල ව්‍යුහය තුරන් කර දැමීම අරමුනු කරගත් යූඑස්ඒඩ් හි සහාය ලත් මෙහෙයුමකි. මෙහෙයුම් මෙහෙය වූ සීඅයිඒ නිලධාරි විලියම් කොල්බි, මෙම මෙහෙයුමේදී වියට් කොං සොල්දාදුවන් 20,587 දෙනෙකු මිය ගිය බව වාර්තා කලේය.

  • 1970 ගනන්වල මැද භාගයේදී සයරේ (දැන් කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය) හි, ඇමරිකානු පතල් කැනීම් අවශ්‍යතා පිලිබඳ උත්සුකයන් මත කැරලිකාර ව්‍යාපාර මැඩපැවැත්වීම සඳහා ඒකාධිපති මොබුටු සේසේ සේකෝ ට මිලිටරි ආධාර සැපයීමට යූඑස්ඒඩ් සම්බන්ධ වූ අතර අනාගත ඒකාධිපතියා පොහොසත් කලේ ය. අඛන්ඩ එක්සත් ජනපද බලපෑම සහතික කරමින්, යූඑස්ඒඩ් පිටුබලය ලත් වැඩසටහන් හරහා සීඅයිඒ මුදල් යොදවනු ලැබුනි. සෝවියට් බලපෑම මැඩපැවැත්වීම සහ එක්සත් ජනපද පතල් කැනීම් අවශ්‍යතා සඳහා සම්පත් සුරක්ෂිත කරනු වස් එහි සීතල යුද්ධ මෙහෙයුම් අනුගමනය කරන විට, අප්‍රිකාවේ විශාලත ම සීඅයිඒ මධ්‍යස්ථානවලින් එකක් එම රටෙහි පිහිටා තිබුනි.

  • 1980 සිට 1994 දක්වා, යූඑස්ඒඩ් සංවිධානය එල් සැල්වදෝරයේ දැවැන්ත හමුදා ව්‍යාප්තියකට දායක වූ අතර, පාලක හමුදා ජුන්ටාවට සහාය විය. ඝාතක කන්ඩායම්වල ක්‍රියාකාරකම් සහ සමූහ සිවිල් ඝාතන සඳහා වගකිව යුතු හමුදා ආන්ඩුවට සහාය වීම සඳහා කැරලි මර්දන උත්සාහයන් ප්‍රවර්ධනය කිරීමට යූඑස්ඒඩ් හරහා ආධාර සපයන ලදී. එම කාලය තුල ම, නිකරගුවාවේ, යූඑස්ඒඩ් අරමුදල් ලද කොන්ට්‍රා යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස දස දහස් ගනනක් මිය ගියහ.

දශක ගනනාවක් පුරාවට ලොව පුරා සිදුකල යූඑස්ඒඩ් හි බොහෝ මෙහෙයුම් අතරට, ලතින් ඇමරිකාවේ කැරලි මැඬීමේ සහ පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුම්, අප්‍රිකානු ඒකාධිපතියන්ට සහාය දීම සහ ඇමරිකානු සංගතවල අවශ්‍යතා සඳහා සම්පත් නිශ්කර්ශනය (extraction), සෝවියට් සංගමයේ බිඳවැටීමෙන් පසු ආර්ථික ලිබරල්කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ එක්සත් ජනපද සංගත ප්‍රවේශය සහතික කිරීම මෙන්ම යුක්‍රේනයේ සහ නැගෙනහිර යුරෝපයේ විපක්ෂ ව්‍යාපාර සඳහා අරමුදල් සැපයීම සහ ඉරාක යුද්ධවලින් පසු මැද පෙරදිග ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුලත් වේ. පසුගිය වසර තුන තුල, යූඑස්ඒඩ් අරමුදල්වල විශාලතම ප්‍රදානලාභියා යුක්‍රේනය වූ අතර, එම ඒජන්සිය, බයිඩන් පරිපාලනයේ කේන්ද්‍රීය විදේශ ප්‍රතිපත්ති අරමුන වූ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධයට සහාය දක්වයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් යූඑස්ඒඩ් ඉලක්ක කර ගන්නේ මෙම ලේ වැකි වාර්තාව නිසා නොවේ. ඊට විපරිත ව, “රැඩිකල් උන්මත්තකයන්” පිලිබඳ ඔහුගේ භාෂාවෙන් ඇඟවෙන පරිදි, ඔහු “මෘදු බලය” භාවිතා කරන්නන් හෙලා දකින්නේ, මිලිටරි බලය පමනක් ම—සහ විදේශීය ආන්ඩු සහ සංගතවලට සෘජු අල්ලස් දීම ද ඇතුලත් ව—ඔහුගේ විදේශ ප්‍රතිපත්තියේ අත්‍යවශ්‍ය මෙවලම බව ඔහු විශ්වාස කරන නිසා ය. එ පමනක් නොව, යූඑස්ඒඩ් හි ක්‍රියාකාරකම් බොහොමයක් සිදුවන වඩාත් දුප්පත් රටවල්, ඔහු වරක් විස්තර කල පරිදි, නොවැදගත්, “ජරා (shithole)” රටවල් ලෙස සලකයි; ව්‍යසනය වැලැක්වීම සඳහා ධනවත් රටවල් ඇඟිල්ලක්වත් එසවීමකින් තොරව එම ජනතාවන්ට කුසගින්නේ සිටීමට, රෝගී වීමට සහ මිය යාමට ඉඩ හැරිය යුතුය.

එතෙකුදු වුව, පසුගිය වසර පහ තුල කොවිඩ් වසංගතය මිලියන 30 ක ජීවිත බිලිගත්තේ ය. 2023 වන විට, විශේෂයෙන් අප්‍රිකානු මහාද්වීපයේ මිලියන 733 ක්, එනම් 11 දෙනෙකුගෙන් එක් අයෙක් කුසගින්නට මුහුන දී සිටියි. ලෝකයේ සෑම දෙනෙකු ම පෝෂනය කිරීමට ප්‍රමානවත් ආහාර නිෂ්පාදනය කරන අතරතුර, ඇස්තමේන්තු වලට අනුව, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගත නොහැකි අය බිලියන තුනක් පමන සිටිති. සෑම වසරක ම අවම වශයෙන් කුසගින්න ආශ්‍රිත මරන මිලියන නවයක් සිදු වේ; ඉන් වැඩි ම සංඛ්‍යාවක් වයස අවුරුදු පහට අඩු දරුවන් ය. ගාසා තීරයේ මෑත කාලීන ජන සංහාරය කම්කරු පන්තියේ දුක්ඛිත තත්වය පිලිබඳ සිද්ධි අධ්‍යයනයක් පමනි. වෙනත් වචන වලින් කිවහොත්, අප්‍රිකාවේ සහ ලෝකයේ අනෙකුත් සෑම කලාපයක ම ව්‍යාධීන්, තම වත්මන් මරලතෝනි අවධියේ පසුවන ධනේශ්වර පාලනයේ අතුරු ඵලයකි.

මේ අනුව, යූඑස්ඒඩ් වෙත එල්ල කරන ලද ප්‍රහාරයෙන් පෙන්නුම් කෙරෙන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී ධනේශ්වර පාලනයේ දුර්වලකමත් පාලක ප්‍රභූව ලොව පුරා තම දේශපාලන හා ආර්ථික ආධිපත්‍යය සහතික කිරීම සඳහා වඩාත් ම්ලේච්ඡ ක්‍රමවේදයන් වෙත විවෘතව හැරීමත් ය. මෙම ප්‍රතිපත්ති මාරුවේ වඩාත්ම ක්ෂනික ප්‍රතිවිපාක විශේෂයෙන් අප්‍රිකාවේ දුප්පත්ම කලාපවලට දැනෙනු ඇත.

එච්අයිවී/ඒඩ්ස් රෝගීන්ට ව්‍යසනයක්

උප-සහරානු අප්‍රිකාවේ ආසන්න වශයෙන් මිලියන 25.6 ක ජනතාවක් එච්අයිවී සමඟ ජීවත් වන අතර එය ගෝලීය සමස්ත ආසාදිත සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට වඩා වැඩිය. බලගතු ප්‍රගතියක් තිබියදීත්, වසංගතය, විශේෂයෙන් කාන්තාවන් සහ තරුන ගැහැනු ලමයින් අතර දරුනු ලෙස පවතී; ඔවුන්ට, පිරිමිට වඩා තුන් ගුනයකින් එච්අයිවී ආසාදනය වීමේ සම්භාවිතාව වැඩිය. ප්‍රති-වයිරස ප්‍රතිකාර (ඒආර්ටී), ආසාදනයෙන් ආරක්ෂා වීම පිලිබඳ අධ්‍යාපන වැඩසටහන් සහ රෝගයෙන් පීඩාවට පත් වූවන්ට සහාය ලබා දීම සඳහා යූඑස්ඒඩ් උපකාරී වී ඇත. ජාත්‍යන්තර ඒඩ්ස් සංගමයේ (International AIDS Society) තේරී පත් වූ සභාපති වෛද්‍ය කෙනත් නුගුරේට අනුව, “යූඑස්ඒඩ් අරමුදල් ඉවත් කර ගැනීම යන්නෙන් අදහස් කරන්නේ, නව ආසාදන වැලැක් වීමෙන් අප ලබා ඇති බිඳෙනසුලු ප්‍රගතිය ආපසු හැරවීම වියහැකි අතර මිලියන සංඛ්‍යාත ජනතාවකට ජීවිතාරක්ෂක ප්‍රතිකාර නැති ව යා හැකි බවයි.”

එක්සත් ජනපද ආධාර කපා හැරීමේ ප්‍රතිවිපාක දුරදිග යන සහ විනාශකාරී විය හැකි ය. මිලියන දෙකකට අධික නයිජීරියානුවන් ප්‍රති-වයිරස ප්‍රතිකාර සඳහා යූඑස්ඒඩ් සහාය දක්වන සායන මත රැඳි සිටිති. මෙම සායන බොහොමයක් දැනටමත් වසා දමා ඇති බැවින්, රෝගීන් තුල නැවත වෛරස් ඇතිවීමේ අවදානම පවතින අතර සම්ප්‍රේෂන අනුපාතය වැඩි වේ. “මිනිසුන්ට ප්‍රතිකාර නොලැබෙනු ඇත; එය තවත් ආසාදනවලට තුඩු දෙන අතර අවසානයේ වසංගතය නරක අතට හරවනු ඇත,” එච්අයිවී විශේෂඥවරියක් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ එච්අයිවී වැඩසටහන් සඳහා හිටපු කන්ඩායම් ප්‍රධානී වෛද්‍ය රේචල් බැග්ගලේ අනතුරු අඟවයි.

මෙම ගෝලීය එච්අයිවී/ඒඩ්ස් වැඩසටහන් සඳහා ඇමරිකා එක්සත් ජනපදය දක්වන සහයෝගය නැවැත්වීම, විශේෂයෙන් ඒඩ්ස් සහන සඳහා වන ජනාධිපතිවරයාගේ හදිසි සැලැස්ම (පීඊපීඑෆ්ඒආර්) නවතා දැමීම, 2029 වන විට එච්අයිවී ආසාදන සංඛ්‍යාව හය ගුනයකින් වැඩි වීමට හේතු වනු ඇත. යූඑන්ඒඩ්ස් විධායක අධ්‍යක්ෂිකා විනී බයානිමා පවසන පරිදි, මෙයින් අදහස් වන්නේ, ඒඩ්ස් ආශ්‍රිත මරන දස ගුනයකින් (මිලියන 6.3 කින්) සහ අනාථ දරුවන් මිලියන 3.4 කින් ඉහල යාම යි. මෙම සංඛ්‍යාවේ දැවැන්ත බව තේරුම් ගැනීමට නම්, 2023 දී රෝගීන් මිලියන 1.3 ක අවම නව රෝගීන් සංඛ්‍යාවක් දක්වා සියයට 60 කින් අඩු වීමට වසර 30 කට ආසන්න කාලයක් ගත වූ බව සිහි තබාගත යුතු ය.

මැලේරියාව සහ ක්ෂය රෝගය

2023 දී ලොව පුරා මැලේරියා රෝගීන් මිලියන 241 ක් වාර්තා වූ අතර මරන 600,000 කට ආසන්න විය. මැලේරියා රෝගීන්ගෙන් සියයට 90 කට වඩා අප්‍රිකානු වැසියන් වේ. මෙම රෝගය ලමා මරන සඳහා ප්‍රධාන හේතුවක් ලෙස පවතී; සෑම වසරක ම වයස අවුරුදු පහට අඩු ලමුන් 450,000 ක් පමන මිය යති. කෘමිනාශක ප්‍රතිකාර කල මදුරු දැල් බෙදා හැරීම, ගෘහස්ථ ඉසින වැඩසටහන් සහ පලමු වරට ආර්ටීඑස්,එස් මැලේරියා එන්නත ක්‍රියාත්මක කිරීම හරහා යූඑස්ඒඩ් මැලේරියා වැලැක්වීමේ වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත. 2025 වන විට අප්‍රිකානු ලමුන් මිලියන 6.6 කට වඩා එය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන ලදී. සම්මානලාභී වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සලීම් අබ්දුල් කරීම් අනතුරු අඟවන්නේ, “යූඑස්ඒඩ් හි මැලේරියා වැඩසටහන් අවසන් කිරීම, ආසාදන නැවත ඇති කිරීමට හේතු විය හැකි අතර මෙම රෝගයට එරෙහි අපගේ සටන දශක ගනනාවකින් පසුබෑමට ලක් කල හැකි ය” යනුවෙනි.

යූඑස්ඒඩ් හි මැලේරියා එන්නත් සංවර්ධන වැඩසටහන (එම්වීඩීපී) නැවැත්වීමෙන් අදහස් වන්නේ, දෙවන පරම්පරාවේ මැලේරියා එන්නත් සඳහා වන ප්‍රගතිය ඇනහිට ඇති බවත්, එය වසර ගනනාවක ප්‍රගතිය ආපසු හැරවිය හැකි බවත්‍ ය. “අපි පැතිර යාමක අද්දර සිටියෙමු,” කේප්ටවුන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කෙලී චිබාලේ පවසයි. “දැන්, මෙම බලාපොරොත්තුසහගත එන්නත් වල අනාගතය අවිනිශ්චිතයි.”

මයිකොබැක්ටීරියම් ටියුබර්කියුලෝසිස් බැක්ටීරියාව [Photo: NIAID]

ක්ෂය රෝගය තවමත් සැලකිය යුතු මහජන සෞඛ්‍ය තර්ජනයක් වන අතර, ලෝකයේ රෝගීන්ගෙන් හතරෙන් එකක් පමන උප සහරා අප්‍රිකාවට අයත් වේ. දකුනු අප්‍රිකාව, නයිජීරියාව සහ කෙන්යාව වැනි රටවල, ක්ෂය රෝගයේ බර ඉහල එච්අයිවී සහ-ආසාදන අනුපාත මගින් සංකීර්න වන අතර එමඟින් ප්‍රතිකාර සංකීර්න වේ; මරන අනුපාතය වැඩි වේ. නව ක්ෂය රෝග ප්‍රතිකාර සංවර්ධනය කිරීමේදී සහ රෝගීන් සඳහා ඖෂධ ප්‍රවේශය සහතික කිරීමේදී යූඑස්ඒඩ් ප්‍රධාන හවුල්කරුවෙකු වී ඇත. “යූඑස්ඒඩ් හි අඛන්ඩ සහාය නොමැතිව, ඖෂධ-ප්‍රතිරෝධී ක්ෂය රෝගීන්ගේ නාටකාකාර වැඩිවීමක් අපි අවදානමට ලක් කරමු; ඒවා ප්‍රතිකාර කිරීමට වඩා දුෂ්කර හා මිල අධිකය,” පිට්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ ප්‍රජනක බෝවන රෝග පිලිබඳ මහාචාර්ය වෛද්‍ය ෂැරන් හිලියර් පවසයි.

ක්ෂය රෝග ප්‍රතිකාර සඳහා මාස ගනනාවක් පුරා අඛන්ඩ ඖෂධ අවශ්‍ය වේ. අරමුදල් කප්පාදුව සමඟ, අඩු වන තොග ඉක්මනින් අවසන් වනු ඇති අතර, එය ඖෂධ-ප්‍රතිරෝධී ක්ෂය රෝගයක් නැවත ඇතිවීමට හේතු වේ. “ක්ෂය රෝග ප්‍රතිකාරයේ බාධා කිරීම් අනිවාර්යයෙන්ම බහු-ඖෂධ-ප්‍රතිරෝධී ක්ෂය රෝගය වැඩි අවස්ථාවන්ට හේතු වනු ඇත; එය ප්‍රතිකාර කිරීමට වඩා දුෂ්කර හා මිල අධිකය,” යැයි චැපල් හිල් හි උතුරු කැරොලිනා විශ්ව විද්‍යාලයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තිමෝති මාස්ට්‍රෝ පවසයි.

යූඑස්ඒඩ් විසුරුවා හැරීමේ බලපෑම, සෘජු ආධාර සහ සෞඛ්‍ය සේවා ඉක්මවා යයි; එය තීරනාත්මක වෛද්‍ය පර්යේෂන ද ඇනහිටුවා ඇත. මැලේරියා එන්නත් පර්යේෂන වැඩසටහන අත්හිටුවීම එක් ක්ෂනික ප්‍රතිවිපාකයක් වී ඇත. මෙම අත්හදා බැලීම්වලට සහභාගිවන්නන් අතහැර දැමීමෙන් මතු වූ සදාචාරාත්මක ගැටලු නොතකා, එච්අයිවී වැලැක්වීමේ අත්හදා බැලීම්වල යෙදී සිටි දහස් ගනනක් පුද්ගලයින්ට හදිසියේ ම ප්‍රතිකාර සඳහා ප්‍රවේශය අහිමි කර ඇත. දකුනු අප්‍රිකාවේ එච්අයිවී ඖෂධ නිෂ්පාදන මුලපිරීම් අවදානමට ලක් ව ඇතිවා පමනක් නොව, සෞඛ්‍ය විශේෂඥයින්, ඖෂධ-ප්‍රතිරෝධී එච්අයිවී වික්‍රියා පැතිරීම ගැන බිය පල කරති.

උදාහරනයක් ලෙස, මුල් අවධියේ සායනික අත්හදා බැලීම් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම මගින් එච්අයිවී එන්නත් පර්යේෂන ඉදිරියට ගෙන යාම සඳහා අප්‍රිකානු රටවල් අටක පර්යේෂකයන්ගේ එකමුතුවක් වන බ්‍රිලියන්ට් කන්සෝටියම් එච්අයිවී වැක්සින් ට්‍රයල්ස් (BRILLIANT Consortium HIV Vaccine Trials) පිහිටුවන ලදී. 2023 දී, ඔවුන්ගේ මුලපිරීම් සඳහා යූඑස්ඒඩ් වෙතින් ඩොලර් මිලියන 45 කට වැඩි ප්‍රදානයක් එම සමූහයට ලැබුනි. කෙසේ වෙතත්, මෙම වැදගත් ව්‍යාපෘති දැන් අත්හිටුවා ඇත. “මෙම පසුබෑමෙන් අදහස් කෙරෙන්නේ, අපට කිසිදා යථා තත්වයට පත් කල නොහැකි වසර ගනනාවක් පුරා අහිමි වූ පර්යේෂන විය හැකිය,” යැයි දකුනු අප්‍රිකානු වෛද්‍ය පර්යේෂන කවුන්සිලයේ ප්‍රධාන විද්‍යාත්මක නිලධාරි වෛද්‍ය ග්ලෙන්ඩා ග්‍රේ පවසයි. (සයන්ස්, 2025)

විශේෂයෙන් ලමුන් සඳහා වන නව ක්ෂය රෝග ප්‍රතිකාර පිලිබඳ පර්යේෂන අතහැර දමා ඇති අතර, එ මගින් රෝගීන් දහස් ගනනකට නව්‍ය ජීවිතාරක්ෂක සත්කාරයක් නොලැබී ගොස් ඇත. “මෙම පර්යේෂනය අතරමග නතර කිරීම සදාචාරාත්මක ව සහ විද්‍යාත්මක ව පිලිගත නොහැකියි,” දකුනු අප්‍රිකාවේ ඒඩ්ස් පර්යේෂන වැඩසටහනේ මධ්‍යස්ථානයේ වෛද්‍ය ලීලා මන්සූර් පවසයි.

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, මොසැම්බික්හි ලමුන් සඳහා මැලේරියා ප්‍රතිකාර, බංග්ලාදේශයේ කොලරාව සඳහා ප්‍රතිකාර, මලාවි හි ගැබ්ගෙල පිලිකා පරීක්ෂාව, පේරු සහ දකුනු අප්‍රිකාවේ ලමුන් සහ නව යොවුන් වියේ පසුවන්නන් සඳහා ක්ෂය රෝග ප්‍රතිකාර, ඉතියෝපියානු ලමුන් සඳහා පෝෂන සහාය සහ දකුනු අප්‍රිකාවේ එච්අයිවී සඳහා එම්ආර්එන්ඒ (mRNA) එන්නත් තාක්ෂනය ඇතුලු අධ්‍යයන 30 කට වැඩි ප්‍රමානයක් අත්හිටුවා ඇත.

සමාප්තිය

එක්සත් ජනපදය විලි වසාගන්නා, විදේශ මානුෂීය ආධාරවල ඵලදායී අවසානය, අප්‍රිකාවේ කුසගින්නෙන් පෙලෙන්නන් පෝෂනය කිරීම මුදල් නාස්තියක් ලෙස සලකන ප්‍රකෝටිපති පරපීඩනකාමීන් සහ එක්සත් ජනපදය තුල සියලු සමාජ වියදම් පිලිකුල් කරන්නන් වන ට්‍රම්ප් සහ මස්ක්ගේ කාර්යයක් පමනක් නොවේ. ට්‍රම්ප් විසින් සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කනිෂ්ඨ රොබට් එෆ් කෙනඩි තෝරා ගැනීමෙන් සංකේතවත් කරන ලද ඓතිහාසික ක්‍රියාවලියක් ඊට සම්බන්ධ වේ.

ලොව පුරා අධිරාජ්‍යවාදී අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී සහ මානුෂීය ආවරනයක් සැපයීම සඳහා ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි යූඑස්ඒඩ් (සාම බලකාය සහ ඒ හා සමාන උත්සාහයන් සමඟ) පිහිටුවන ලදී. වසර හැටකට පසු, ඔහුගේ බෑනනුවන් දේශීය හා විදේශීය සමාජ ප්‍රතිසංස්කරන පිලිබඳ සියලු මවාපෑම් විසුරුවා හරින ජනාධිපතිවරයෙකුගේ ඉහල මට්ටමේ සහායකයෙකු වී ඇත; මන්ද, ඇමරිකානු අධිරාජ්‍යවාදය බංකොලොත් වී ඇති අතර තවදුරටත් ඒවා දැරීමට අසමත් බැවිනි. විදේශීය සහ දේශීය ක්ෂේත්‍ර දෙකෙහි ම කම්කරු පන්තියට එරෙහි ව තම අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා පාලක ප්‍රභූව කුරිරු ප්‍රචන්ඩත්වය මත විශ්වාසය තබනු ඇත.

ඩිමොක්‍රටික් පක්ෂයේ අක්‍රියතාවය බොහෝ දුරට තහවුරු කරන්නේ, ප්‍රතිසංස්කරනවාදී ප්‍රෝඩාව අවසන් බව ඔවුන් හොඳින් දන්නා බවයි. ට්‍රම්ප් කල හැකි ඕනෑම දෙයකට වඩා ඔවුන් බෙහෙවින් බිය වන්නේ, එක්සත් ජනපදය තුල වැඩෙන පන්ති ප්‍රතිවිරෝධතාවලට ය.

යූඑස්ඒඩ් විසින් සපයනු ලබන ඉතා සීමිත ආධාර නතර කිරීම උප සහරා අප්‍රිකාවට සහ එම සංවිධානය මත යැපෙන ලෝකයේ අනෙකුත් කලාපවලට විනාශකාරී ප්‍රතිවිපාක ඇති කරන බවට සැකයක් නැත. අරමුදල් අහිමි වීම බෝවන රෝගවලට එරෙහි ව සටන් කිරීමේ දශක ගනනාවක ප්‍රගතිය ආපසු හරවනවා පමනක් නොව, තීරනාත්මක සෞඛ්‍ය සේවා, ආහාර සහ පිරිසිදු ජලය සඳහා මිලියන ගනනකට ප්‍රවේශය අහිමි කිරීමට ද හේතු වනු ඇත. ක්ෂනික මැදිහත්වීමක් හෝ විකල්ප ආධාරක ප්‍රභවයන් නොමැති ව, කලාපය, ඉදිරියේ දී එන, නොගැනිය හැකි ජීවිත සංඛ්‍යාවක් බිලිගත හැකි අර්බුදයකට මුහුන දෙයි. “මෙම තීරනයේ දිගුකාලීන බලපෑම් ප්‍රමානනය කිරීම දුෂ්කර නමුත් ඒවා නිසැක ව ම විනාශකාරී වනු ඇත,” ආචාර්ය හිලියර් නිගමනය කරයි. “මෙය අරමුදල් සැපයීමේ ගැටලුවක් පමනක් නොවේ; එය මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවිතය හා මරනය පිලිබඳ කාරනයකි.”

නමුත් ට්‍රම්ප්ගේ ක්‍රියාවන් කෙසේ හෝ ආපසු හැරවීමට ඇමරිකානු අධිරාජ්‍යවාදයට හෝ ඩිමොක්‍රටික් පක්ෂයට කරන ආයාචනා මගින් මෙම ඛේදවාචකය ජය ගත නොහැක. මානව වර්ගයා ව්‍යසනයේ අද්දර සිටින්නේ, ලෝක ධනේශ්වර ක්‍රමය නිසා නම්, කුසගින්න, දරිද්‍රතාවය, රෝග, දේශගුනික ව්‍යසනය සහ යුද්ධයට එරෙහි ඕනෑම අරගලයක් ආරම්භ කල යුතු වන්නේ, මෙය හඳුනා ගැනීමෙනි.

මෙම සමාජ නපුර මුලිනුපුටා දැමීමේ මාධ්‍යයන් බහුල ව පවතී. සියලු මනුෂ්‍යයන්ට යහපත් ජීවිතයක් ලබා දීමේ ඉලක්කය සාක්ෂාත් කරගත හැකි ය; එහි භව්‍යතාවක් පවතී. නමුත් මේ සඳහා, පුද්ගලික ලාභය වෙනුවෙන් කරන නිෂ්පාදනය සහ අධිරාජ්‍යවාදී බලවතුන් අතලොස්සක් විසින් ආධිපත්‍යය දරන ජාතික රාජ්‍ය පද්ධතිය අවසන් කිරීමට අවශ්‍ය වන අතර ඒ සඳහා කම්කරු පන්තියට නව, සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක් අවශ්‍ය වේ. අප්‍රිකාවේ එතරම් ම විශද ව පෙනෙන ආකාරයට, ඉදිරියට යා හැක්කේ, ධනවත්ම රටවල පවා මතුපිටට යටින් සැඟ වී ඇති, යුග ගනනාවක් පැරනි නපුරට එරෙහි ව මානව වර්ගයාගේ අරගලය, ලාභ පද්ධතියට එරෙහි විප්ලවවාදී අරගලයක දී, එක ම සැබෑ ජාත්‍යන්තර පන්තිය වන කම්කරු පන්තියේ මුලපිරීම හරහා පමනි.