ඉදිරිදර්ශන

ජවිපෙ/ජාජබ ආන්ඩුව දෙමල, මුස්ලිම් සංවිධාන සහ පුද්ගලයන්ට එරෙහි තහනම දීර්ඝ කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, 2025 පෙබරවාරි 20 දා නිකුත් කල අති විශේෂ ගැසට් නිවේදනයක් මගින්, දෙමල, මුස්ලිම් සංවිධාන 15 කට සහ පුද්ගලයන් 222 කට එරෙහිව පෙර පැවති ආන්ඩු විසින් පනවා තිබූ තහනම තවදුරටත් දීර්ඝ කර ඇත. “ත්‍රස්තවාදයට සම්බන්ධිත ක්‍රියාකාරකම්” වලට සහයෝගය දීම සහ “ත්‍රස්තවාදය සඳහා නැවත නැවතත් මුල්‍ය ආධාර සැපයීම” සම්බන්ධයෙන් ඔවුනට එරෙහිව චෝදනා එල්ල වි ඇත.

දෙමල විමුක්ති කොටි සංවිධානය (එල්ටීටිඊ), දෙමල පුනරුත්ථාපන සංවිධානය (ටීආර්ඕ), දෙමල සම්බන්ධීකරන කමිටුව (ටීසීසී), ලෝක දෙමල ව්‍යාපාරය (ඩබ්ලිව්ටීඑම්) සහ දෙමල ඊලාමයේ අන්තර්ජාතික ආන්ඩුව (ටීජීටීඊ) ඇතුලු දෙමල සංවිධාන ගනනාවක් ද ජාතික තව්හීඩ් ජෙමා (එන්ටීජේ) සහ ශ්‍රී ලංකා ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරය (එස්එල්එස්එම්) ඇතුලු මුස්ලිම් සංවිධාන කීපයක් මෙම තහනම් ලැයිස්තුවට ඇතුලත් කෙරී පවතී.

“ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්වය” පිලිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ආරක්ෂක ලේකම් ඇතුලු යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේදී පෙබරවාරි 25 පැවත්වූ සාකච්ඡාවේ අවස්ථාවක් (ඡායාරූපය: ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවිය)

තහනමට අනුව, මෙම සංවිධානවල සහ පුද්ගලයින්ගේ සියලු මුල්‍ය සහ ආර්ථික වත්කම් අත්හිටුවා ඇති අතර, ශ්‍රී ලාංකිකයන්ට ඔවුන් සමග කවර හෝ සම්බන්ධතාවක් පැවැත්වීම තහනම් කෙරී ඇත. එවැනි සබඳතා සිරගත කිරිම් ඇතුලු දඬුවම් වලට යටත් වේ. 1979 දී ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනගේ පාලන තන්ත්‍රය විසින් පනවන ලද කුරිරු “ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ)” යටතේ මෙම සංවිධාන තහනම් කර ඇත. පීටීඒ මගින්, පොලිසියට සහ ආරක්ෂක අංශවලට, අත්තනෝමතික ලෙස පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට සහ චෝදනාවකින් තොරව රඳවා තබා ගැනීමටත්, වධහිංසා පැමිනවීම් යටතේ ලබාගත් පාපොච්චාරන අධිකරනයේ සාක්ෂි ලෙස භාවිතා කිරීමටත් පුලුල් බලතල සම්පාදනය කෙරෙයි.

තමන් බලයට පත් වූ සැනින් කුරිරු පීටීඒ නීතිය අහෝසි කරන බවට,    ජවිපෙ/ජාජබ පසුගිය වසරේ පැවති ජනාධිපතිවරනයේදී සහ මහමැතිවරනයේදී යලියලිත් පොරොන්දු වූහ. එසේ කලේ විෂඝෝර ත්‍රස්ත නීතිය කෙරෙහි මහජනයා අතර ඇති විරුද්ධත්වය ගසාකෑම සඳහාය. අනෙකුත් දහසක් පොරොන්දු මෙන් ම, මෙම පොරොන්දුව ද දැන් කුනුකුඩයට දමා ඇති දිසානායක මෑත දී ප්‍රකාශ කලේ, ඒ වෙනුවට “ත්‍රස්තවාදය හා අන්තවාදය” මැඩීමට තවත් බලවත් පනතක් ආන්ඩුව සූදානම් කරමින් සිටින බවයි.

ජාතිවාදය හා ආගමික අන්තවාදයන් ඇතුලු 'ත්‍රස්තවාදයන්ට” ලංකාව තුල යලි හිස එසවීමට ඉඩ නොදෙන බව ජවිපෙ/ජාජබ නායකයා පුනපුනා ප්‍රකාශ කරයි. ඔහු පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අවසන් කරමින් කල කතාවේ දී මෙසේ සඳහන් කලේය: “අපේ ඉතිහාසය බැලුවත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන එක් අන්තයක් තමයි ජාතිවාදය අන්තවාදය. දීර්ඝකාලීන යුද්ධය, පාස්කු ප්‍රහාරය පතුලේ තිබුනේ ජාතිවාදය සහ අන්තවාදය. අපි ඒවාට යලි රට තුල කිසි සේත් ම හිස ඔසවන්නට ඉඩ දෙන්නේ නෑ.'   

මේ කතා කරන්නේ, සිංහල ස්වෝත්තමවාදය ඇවිලවීමේ ලංකාවේ ධනපති පංතියේ චිරකාලීන විසකුරු දේශපාලනය අනුයමින්, සිංහල දේශප්‍රේමය හා රැඩිකල්වාදයන් කලතාගත් දෘෂ්ටිවාදයන් මත බිහි වූ සංවිධානයක නායකයෙකි! ඉන් පසු ගතවූ දශකවල, ඔහු සඳහන් කරන “දීර්ඝකාලීන යුද්ධයට,” සැබවින්ම නම් දෙමල විරෝධී වර්ගවාදී යුද්ධයට, සහයෝගය දීමේ ද 1987-1990 ඉන්දියානු විරෝධය පෙරට දමාගෙන ෆැසිස්ට් ප්‍රහාරවල ද ඔහුගේ සංවිධානය නිරත විය.

එසේ වුවද, ජාජබ සංවිධානය කරගැනීමෙන් පසු, ජවිපෙ නායකයා පසුගිය වසර කිහිපයේ තමන් එම ලේ වැකි අතීතයෙන් “කැඩීගිය” බව ප්‍රකාශ කරමින් එම ඉතිහාසය “අමතක කරන ලෙස” මහජනයාගෙන් ද ඉල්ලයි. එලෙස බොරු ප්‍රකාශ හා ප්‍රතිඥා නිකුත් කරන දිසානායකට හා ඔහුගේ ආන්ඩුවට, රටේ පීඩිත සුලු ජාතීන්ට එරෙහිව සිංහල ස්වෝත්තමවාදය අවුලුවාලීම සහ ඔවුන් මර්දනය කිරීම සඳහා අනුප්‍රාප්තික ආන්ඩු විසින් අඛන්ඩව ගෙනගිය උත්සාහය අත්හැරීමට නොහැකිය.

ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ හා ලංකාවේ මහා ව්‍යාපාරිකයන්ගේ මෙහෙයවීම පිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) රුදුරු කප්පාදු වැඩපිලිවෙල අකුරටම ක්‍රියාවට දැමීම ඉදිරියට ගෙනයන ජනාධිපති දිසානායකගේ ආන්ඩුව, ඊට එරෙහිව නැගෙන විරෝධය ඒකාබද්ධ අරගලයක් ලෙස වර්ධනයවීම වලක්වා, කම්කරු පන්තිය බෙදීම සඳහා වාර්ගික ආතතීන් අවුලුවා ගැනීම ඉලක්ක කර ගෙන ක්‍රියා කරයි.

ලංකාවේ ධනපති පාලක පන්තිය සම්බන්ධයෙන් ගත්කල, 1948 දී බ්‍රිතාන්‍යයෙන් නිල නිදහස ලැබීමේ සිට, කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීමට ඔවුන් විසින් යොදාගනු ලැබුවේ දෙමල විරෝධී වර්ගවාදයයි. එම භේද උත්සන්න කරමින්, එහි ප්‍රතිවිපාකයක් ලෙස දෙමල ජාතිකවාදී දේශපාලනයෙන් බිහිකෙරුනු බෙදුම්වාදී එල්ටීටීටීයට එරෙහිව කොලඹ දේශපාලන සංස්ථාපිතය 1983 දී ඇරඹු ලේවැකි වාර්ගික යුද්ධය වසර 26 ක් පුරා පැවතුනි.

ජවිපෙ/ජාජබ මෙම ප්‍රතිගාමී දේශපාලන සංස්ථාපිතයේ අත්‍යන්ත කොටසකි, එපමනක් නොව, එම සංස්තාපිතය සම්බන්ධ ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයේ ඒජන්සියකි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ගෝලීය මුල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියාත්මක වන සංවිධානයයි.    දිසානායක ජාමුඅ වැඩපිලිවෙලින් තොර මාවතක් නැතැයි දිවුරා කියා සිටින පුද්ගලයෙකි.

සුවිශාල කඳවුරු සහිතව උතුර සහ නැගෙනහිර පවත්වාගෙන යන මිලිටරි වාඩිලා ගැනීම මෙන්ම, ඊට අනුපූරකව දෙමල ජනයාගේ ඉඩම් හමුදාව භාරයේ තබා ගැනීම දිසානායක ආන්ඩුව යටතේ තවදුරටත් ඉදිරියට යයි. දෙමල කන්ඩායම්වලට එරෙහි තහනම, මෙම මිලිටරි අධිකාරය අඛන්ඩව පවත්වා ගෙනයාම යුක්තියුක්ත කර ගැනීමේ කොටසකි.

ජාජබ/ජවිපෙ ආන්ඩුවේ සියලු පියවර යොමු කෙරී ඇත්තේ, ධනපති ක්‍රමය මුහුන දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදයේ බර, ජාමූඅ හි කප්පාදු හරහා කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීමේදී ඔවුන්ගෙන් එල්ලවන කවර හෝ විරෝධයක් තලා දැමීම එල්ලකරගත් ආඥාදායක පාලනයක් වෙතටයි. ගෝලීය ධනේශ්වර අර්බුදය හමුවේ, එය ලොවපුරා සෑම ධනපති ආන්ඩුවකම පිලිවෙත වී ඇති අතර, ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය වන, එක්සත් ජනපදයේ ජනාධිපති ෆැසිස්ට්වාදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන තන්ත්‍රය මෙහි ඉහලම ප්‍රකාශනයකි.

කම්කරු පංතිය බෙදීම සඳහා ජාතික ස්වෝත්තමවාදයන් සහ වර්ගභේදවාදයන් ඇවිලවීම මෙම පාලකයන්ගේ මූලික අංග ලක්ෂනයකි. ට්‍රම්ප් මේ සඳහා යොදාගෙන ඇත්තේ, සංක්‍රමනික විරෝධය යි. ආර්ථික අර්බුදයෙන් “රට බේරා ගැනීමට” සියලු ජනවර්ග එක්වියුතු බව කියාපාමින්, සිංහල-බෞද්ධ ඒකීය රාජ්‍යය ආරක්ෂා කිරීමට දිසානායක නැවත නැවතත් කරන කැඳවුම තුල ඔහු ලෙලවන්නේ, කොලඹ ධනපති පාලක පංතියේ සම්ප්‍රදායික වර්ගවාදී අවිය යි.

දිසානායක ආන්ඩුවේ පිලිවෙත් මගින් අවධාරනය කෙරෙන්නේ, සිංහල බහුතරය මත පදනම්වූ ධනපති පංතියේ කිසියම් ම කොටසකට හෝ එහි කිසියම් ම ආන්ඩුවකට සුලුතර දෙමල ජනතාවගේ හෝ අනෙකුත් ජන කන්ඩායමක කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්, සමානාත්මතාවේ පදනම මත විසඳීමට පවතින ඓතිහාසික නොසමත්කම හා සතුරුකම යි. ලංකාවේ පාලක පංතිය සැමවිටම වාර්ගික හා ආගමික වෙනස්කම් යොදාගත්තේ, තම බෙලහීන පාලනය ආරක්ෂාකර ගැනීම සඳහා කම්කරු පන්තිය බෙදීම සහ මැඩීම සඳහා ය.

දිසානායක ආන්ඩුව මුවහත් කරන ධනපති පන්තියේ ප්‍රතිගාමී මුලෝපයට එරෙහිව, කම්කරු පංතිය තමන්ගේ මුලෝපාය මුවහත් කරමින් දේශපාලනිකව මැදිහත්විය යුතු ය. එහි පලමුවන පියවර, සියලු වාර්ගික භේදකරනයන් ප්‍රතික්ෂේපකර, කම්කරුවන්ගේ ජාත්‍යන්තරවාදී එකමුතුව තහවුරු කරගැනීමයි.

වර්ගභේදවාදී පාලනයේ මූලය, ධනපති ක්‍රමය යි. දිසානායක ආන්ඩුව උත්සන්න කරන, මුර්ග කප්පාදු වැඩපිලිවෙලට හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මැඩීමට එරෙහි අරගලය ධනපති ක්‍රමය පෙරලා දමන සමාජවාදී වැඩපිලිවෙල මත පදනම් වූ අරගලයක් ලෙස වර්ධනය කල යුත්තේ එහෙයිනි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප), දෙමල හා මුස්ලිම් සංවිධාන සහ පුද්ගලයන් තහනම් කිරීමට විරුද්ධ ය. සසප, එසේ විරුද්ධ වන්නේ මෙම සංවිධානවල හා පුද්ගලයන්ගේ ප්‍රතිගාමී දේශපාලයට සහමුලින් ම විරුද්ධව සිටිමිනි. ඒවායේ වාර්ගය හා ආගම මත පදනම් වූ දේශපාලනය, පාලක පංතියේ දේශපාලනයට අනුපුරක වේ.    ධනපති ආන්ඩු, මෙම තහනම් පැනවූයේ පෙර කී පරිදි, වාර්ගික ආතතීන් ඇවිලවීමේ කොටසක් ලෙස ය.

ලංකාවේ සියලු ධනපති පක්ෂ- දෙමල හා මුස්ලිම් පක්ෂ ද ඇතුලුව-- සහ ජනමාධ්‍ය ආන්ඩුවේ “ත්‍රස්තවාදී සංවිධාන'තහනම් කිරීමේ නියෝග වලට උඩගෙඩි දෙති. වෘත්තීය සමිති නිලධරය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ සමාජවාදී සංවිධාන කටපියාගෙන ඒ හෝ මේ ආකාරයෙන් ඒවාට සහයෝගය දෙයි.

කම්කරු පන්තිය සටන් කලයුත්තේ, තමන් දුර්වල කිරීමට ධනපති පන්තිය හා එහි ගැත්තන් විසින් දෙමල, සිංහල හා මුස්ලිම් ලෙස වාර්ගිකව ද ආගම් මුල්කරගෙන ද ඇතිකරන භේදකරනයට එරෙහිවෙමින් තම පන්තිය එක්සත් කර ගැනීම සහ ශක්තිමත් කරගැනීම සඳහා යි.

උතුරෙන් සහ නැගෙනහිරන් මිලිටරිය ඉවත්කිරීම, වර්ගවාදය මත පාදකවූ ඒකීය රාජ්‍යයේ ව්‍යවස්ථාව හා වාර්ගික, ආගමික හා ලිංග භේදය මත වෙනස්කම් කිරීමේ නීති අහෝසිකිරීම, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඇතුලු සියලු මර්දන නීති ඉවත් කිරීම වෙනුවෙන් සසප සටන් කරයි.   

වාර්ගික හා ආගමික භේදකරනය අහෝසිකිරීම ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කල හැකිවන්නේ, සමාජවාදී ජාත්‍යන්තර වාදී වැඩපිලිවෙල සඳහා කරන අරගලයක් තුලිනි. සසප මේ පදනම මත, දකුනු ආසියාවේ සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමුහාන්ඩුවක් සඳහා—එනම් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා—ක්‍රියාමාර්ගය ඉදිරිපත් කරයි.

කම්කරු පන්තිය ධනපති පන්තියේ සෑම කොටසකින් ම ද එහි ඒජන්තයන්ගෙන් ද බිඳී කම්කරු පන්තිය මෙම අරගලය සඳහා බලමුලු ගැන්වීමට සසපට බැඳෙන ලෙස අපි ඉල්ලමු.