සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරය අප්‍රේල් 7 වැනි දා යාපනය තරුන ක්‍රිස්තියානි සංගම් ශ්‍රවනාගාරයේ දී ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත් වීය. එම රැස්වීම මැයි 6 වැනි දා පැවැත් වෙන පලාත් පාලන මැතිවරනය සඳහා සසප සිදු කරන උද්ඝෝෂනයේ කොටසකි.
අපේක්ෂකයන් 33 දෙනෙකු ඉදිරිපත් කරමින් සසප යුද්ධයෙන් විනාශ කෙරුනු උතුරේ කාරෙයිනගර් ප්‍රාදේශීය සභාවටත් කොලඹ කොලොන්නාව නගර සභාවටත් තරග කරයි.
ඩෑන් ටීවී නාලිකාව, තම ප්රවෘත්ති තුල, යාපනය රැස්වීම සම්බන්ධයෙන් කෙටි වාර්තාවක් පල කලේ ය. තරුන තරුනියන්, ශිෂ්‍යයන් සහ පක්ෂ ආධාරකරුවන් ඇතුලු 40කට ආසන්න පිරිසක් රැස්වීමට සහභාගී වීම පෙන්නුම් කරන්නේ ගැඹුරු වන දේශපාලන ආර්ථික අර්බුදයක් මැද සසප සමාජවාදී වැඩපිලිවෙල කෙරෙහි වැඩෙන උනන්දුවයි.
සසප දේශපාලන කමිටු සභිකයෙකු සහ කාරෙයිනගර් ප්‍රාදේශීය සභාවට තරග කරන සසප තරුන අපේක්ෂකයෙකු වන දිලක්ෂන් මහලිංගම් රැස්වීමේ මූලාසනය හෙබවී ය.
මැතිවරනය සඳහා වන සසප ඉදිරිදර්ශනය පැහැදිලි කරමින් මහලිංගම් රැස්වීම ආරම්භ කලේ ය. ලංකාව තුල නරක අතට හැරෙන සමාජ කොන්දේසි වනාහී කෝවිඩ්-19 වසංගතය සහ යුක්රේනය තුල තීව්ර කෙරෙන අධිරාජ්‍යවාදී යුද්ධය හේතුවෙන් උග්‍ර කෙරෙන ධනපති ක්රමයේ පුලුල් ගෝලීය අර්බුදයේ කොටසක් බව ඔහු පැහැදිලි කලේ ය. සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත සිංහල දෙමල මුස්ලිම් කම්කරුවන් වාර්ගික රේඛා ඉක්මවමින් කම්කරු පන්තික පදනමින් එක්සත් ව මෙම අර්බුදයට ප්‍රතිචාර දැක්විය යුතු බව ඔහු අවධාරනය කලේ ය.
මහලිංගම් 2022 සහ 2023 වසරවල දී රාජපක්ෂ සහ වික්‍රමසිංහ ආන්ඩු මෙම මැතිවරනය ප්රජාතන්ත්ර විරෝධී ව කල් දැමීම හෙලා දකිමින් ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) නායකත්වය දෙන ජාතික ජන බලවේග (ජාජබ) ආන්ඩුව ඡන්දය පැවැත්වීම ප්රජාතන්ත්රවාදී පියවරක් ලෙස හුවා දැක්වීමේ ප්‍රෝඩාකාරී ස්වභාවය පෙන්වා දුන්නේ ය.
“ජවිපෙ/ජාජබ ආන්ඩුව වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රතිපත්ති ඔවුන් නතර කල තැනින් ඉදිරියට ගෙන යමින් සිටිනවා. පොදු සේවා කප්පාදුව, වැටුප් ඛාදනය සහ පුලුල් පරිමාන පෞද්ගලීකරනය ඇතුලත් ඔවුන්ගේ අයවැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විධානය කෙරුනක්. කම්කරුවන් යාපනයේ සිටියා වුනත් කොලඹ සිටියා වුනත් මේ ධනවාදයේ අර්බුදයට කර ගැසීමට ඔවුන්ට බල කෙරෙනවා,” යැයි මහලිංගම් පැවසී ය.
ආන්ඩුව කම්කරු පන්තියෙන් නොවැලැක්විය හැකි ලෙස එල්ල වන ප්‍රතිරෝධය මැඩීමට මර්දනකාරී පියවර සූදානම් කරමින් සිටින බවට අනතුරු ඇඟ වූ ඔහු එයට මුහුන දීමට සියලු ම ධනේශ්වර පක්ෂවලින් ස්වාධීන වූ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට පෙරට එන්නැයි කම්කරු පන්තියෙන් ඉල්ලා සිටියේ ය.
ප්රමුඛ සසජාතශි සාමාජිකාවක සහ තරුන ගෘහනියක වන එම් අනීතා කප්පාදුවේ ඍජු ප්‍රතිඵලයක් වසයෙන් පාසල් පද්ධතිය බිඳ වැටී ඇති ආකාරය පැහැදිලි කලාය. නිල සංඛ්‍යා ලේඛන ගෙන හැර පාමින් 2020 සිට 2023 දක්වා පාසල් අරඹන සිසුන් සංඛ්‍යාව 180 000ක සැලකිය යුතු සංඛ්‍යාවකින් බිඳ වැටී ඇති බව ඇය පෙන්වා දුන්නා ය. අවපෝෂන තත්ත්ව සහ ආර්ථික දුෂ්කරතා ලමුන්ට අධ්‍යාපනය අතරමග නතර කර සූරාකෑමේ කොන්දේසි යටතේ රැකියාවලට යොමු වීමට බල කරයි.
පෞද්ගලික උපකාරක පන්තිවලට සහ පෝෂ්‍යදායී ආහාරවලට කෙසේ වෙතත් බොහෝ පවුල් තව දුරටත් මූලික පාසල් උපකරනවල මිල ගනන් පවා දැරිය නොහැකි මට්ටමකට පත් ව සිටියි. පාසල් උපකරන සඳහා වන වැට් බදු ඉවත් කරන බවට ආන්ඩුව දුන් පොරොන්දුව පුස්සක් විය. ප්‍රාථමික සිසුන්ගෙන් සියයට 20ක් වෙත පමනක් ලඟා වන ජවිපෙ/ජාජබ ආන්ඩුවේ පාසල් ආහාර වැඩසටහන අතිශයින් අප්රමානවත් බව ඇය එලිදරවු කලා ය.
විද්‍යා සහ ගනිත ගුරු හිඟය අර්බුදය තවත් ගැඹුර කර ඇත. අඩු වැටුප් සහ දැරිය නොහැකි කොන්දේසි හේතුවෙන් 2023 වසරේ දී, 5 000කට ආසන්න ගුරුවරුන් ප්‍රමානයක් රැකියාව හැර ගොස් ඇත. 35 000කට ආසන්න ගුරු හිඟයකින් පෙලෙන පාසල් පද්ධතියට නිසි පරිදි ක්‍රියාත්මක වීමට අවශ්‍ය කාර්ය මන්ඩල නැත. “මේ දූෂනය හෝ අවපරිපාලනය නිසා සිදු වූවක් නොව, ජාමූඅ කප්පාදුවෙන් සිදු කෙරුනු දැනුවත් විනාසයක්” යැයි ඇය පෙන්වා දුන්නා ය.
මෙම සමාජ ප්‍රහාර ලංකාවට පමනක් සීමා වූවක් නොවන බව පෙන්වා දෙමින් ඇය කතාව නිමා කලා ය. එය ධනේශ්වර පාලක ප්රභූව මහජන සේවාවන්ට එරෙහි ව ගෙන යන ගෝලීය ප්රහාරයක කොටසක් බව ඇය පෙන්වා දුන්නා ය. මේ සඳහා විසඳුම වන්නේ ජාත්‍යන්තර සමාජවාදය වෙතට හැරීමයි. “මේ සඳහා පාසල්වල, විශ්වවිද්‍යාලවල සහ තරුන කම්කරුවන් අතරේ සසජාතශි ගොඩනගන්න” යැයි ඇය අවසාන වශයෙන් ඉල්ලා සිටියා ය.
සසප දේශපාලන කමිටුවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු සහ කාරෙයිනගර් ප්‍රාදේශීය සභාව සඳහා නායක අපේක්ෂකයා වන තිරුඥාන සම්බන්ධර් දෙමල ජාතික සන්ධානය (TNA), දෙමල ජනතා ජාතික සන්ධානය (TPNA), දෙමල ජාතික මහජන පෙරමුන (TNPF), දෙමල මහජන ජාතික සන්ධානය (TMTK) ආදි දෙමල ධනේශ්වර පක්ෂ දශක ගනනාවක් දෙමල ජනයාට එරෙහි ව සිදු කල වැඩකටයුතු එලිදරවු කරමින් තියුනු විවේචනයක් එල්ල කලේ ය.
“මේ පක්ෂ අතොරක් නැති ව කතා කරන්නේ දෙමල ජනයාගේ අයිතිවාසිකම් ගැනයි. හැබැයි ජාමූඅ සහනාධාර කපා දමන්න, රාජ්‍ය අංශයේ රැකියා කප්පාදු කරන්න, සමාජ සේවා කප්පාදු කරන්න නියම කරද්දි මොවුන් කටක් අරින්නේ නෑ. ඇයි? මොකද මේවා දෙමල ධනේශ්වරයේ පක්ෂ වන නිසා. ඔවුන්ගේ සැබෑ පක්ෂපාතීත්වය ඇත්තේ ශ්‍රී ලංකාවේ ධනේශ්වර පන්ති පාලනයට සහ අධිරාජ්‍යවාදයටයි,” යැයි සම්බන්ධන් පැවසී ය.
ඔහු ඔවුන්ගේ දේශපාලන වාර්තාව සවිස්තරාත්මක ව එලිදරවු කලේ ය: “යුද්ධයේ අවසන් අදියරවල දී දෙමල ජාතික සන්ධානය එලිපිට ම ඇමරිකාව සහ ඉන්දියාව සමග හවුල් ව වැඩ කලා. ඔවුන් කොලඹ ආන්ඩුවේ මිලිටරි ප්‍රහාරයට කොල එලිය දැල් වූ වොෂින්ටනයේ ඊනියා සාම මැදිහත් වීම්වලට සහයෝගී වුනා. දැන් පවා මොවුන් ධනේශ්වර රාජ්‍යයේ රාමුව තුල ගනුදෙනුවක් බලාපොරොත්තුවෙන් මෙම අධිරාජ්‍යවාදී බලයන්ට ම හැරී ගෙන සිටිනවා.”
සම්බන්ධර් ඉහල යන ජීවන වියදම, පුලුල් විරැකියාව, සහ උතුරේ සමාජ කඩා වැටීම සම්බන්ධයෙන් දෙමල පක්ෂවල නිහැඬියාවට පහර දුන්නේ ය: “සාමාන්‍ය දෙමල පවුල් නය අර්බුදයේ කරවටක් ගිලී ගොස්. ගොවියන්ට පොහොර ගන්න විදියක් නෑ. ධීවරයන්ට බෝට්ටුවට ඉන්ධන සපයා ගන්නට විදියක් නෑ. උපාධිධාරීන්ට රැකියා නෑ. නමුත් මේ පක්ෂවලට කියන්න දෙයක් නෑ, මොකද ඔවුන් ජාමූඅ න්‍යාය පත්‍රය පිලිගන්නා නිසා.”
උතුරු නැගෙනහිර දිග්ගැස්සුනු මිලිටරි වාඩිලා ගැනීම, මිලිටරිය පෞද්ගලික ඉඩම් අල්ලා ගැනීම, රාජ්‍ය මර්දන යන්ත්‍රයේ අංගයක් වශයෙන් මිලිටරිය යොදමින් බෞද්ධ විහාර ගොඩ නැගීම සම්බන්ධර් හෙලා දැක්කේ ය. දෙමල දේශපාලන සිරකරුවන් නිදහස් නොකිරීම සහ පලස්තීන ජනයා සමග තම සහයෝගීත්වය ප්‍රකාශ කල මොහොමඩ් රිෂ්ඩි වැනි තරුනයන් හදිසි නීති යටතේ රඳවා ගැනීම වැනි ප්රජාතන්ත්රීය අයිතීන් සම්බන්ධ ගැටලු ඔහු ඉස්මතු කලේ ය.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ හදිසි නීතිය ඇතුලු අනුප්‍රාප්තික ආන්ඩුවල මර්දනකාරී පිලිවෙත් දිගට ම පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් ඔහු ජවිපෙ/ජාජබ ආන්ඩුව විවේචනය කලේ ය. සියලු ම ධනේශ්වර දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කර ක්‍රියාකාරී කමිටු ගොඩනගමින් දිවයින අලලා ගත් පන්ති අරගලයන්ට ඒකාබද්ධ වන ලෙස උතුරු නැගෙනහිර තරුනයන්ට සහ කම්කරුවන්ට කැඳවුම් කරමින් සම්බන්ධර් සිය කතාව අවසන් කලේ ය.
සසප සහකාර ලේකම් සමන් ගුනදාස ප්‍රධාන වාර්තාව ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවේ අර්බුදය ජාත්‍යන්තර සන්දර්භයක පිහිටු වී ය. බදු පැටවීම, සහනාධාර කැපීම, බිල්පත් ගාස්තු ඉහල නැංවීම සහ පෞද්ගලීකරනය ක්‍රියාවට දැමීම ආදී ජාමූඅ ප්‍රතිපත්ති හරහා කම්කරුවන් මත ප්‍රහාරය තීව්ර කරමින් ජවිපෙ/ජාජබ ආන්ඩුව ගෝලීය මූල්‍ය ප්රාග්ධනයේ අතකොලුවක් ව ක්‍රියාකරන ආකාරය ඔහු පැහැදිලි කලේ ය. මහ ව්‍යාපාර සහ ජාත්‍යන්තර නය හිමියන් තර කරන ප්‍රතිපත්ති ක්‍රියාවට දමමින් ආන්ඩුව ගෙන යන “දූෂන විරෝධී” ගෝසාබද්දයේ නිසරු බවත් අතාර්කික බවත් ඔහු පෙන්වා දුන්නේ ය.
දෙමල පක්ෂ සහ ව්‍යාජ වම ද ඇතුලු ව සියලු ම පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂ ජාමූඅ වැඩපිලිවෙලට සහයෝගී වන ආකාරය ඔහු අවධාරනය කලේ ය. ගෝලීය නිෂ්පාදනය සහ යල් පිනූ ජාතික රාජ්‍ය පද්ධතිය අතර පරස්පරතාවන්ගෙන් සලකුනු කෙරී ඇති ලෝක ධනේශ්වර පර්යායේ අර්බුදය ඇමරිකාව තුල ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ උච්චයක් ගෙන ඇති බවත් මේ අර්බුදය ආඥාදායකත්වය සහ ලෝක යුද්ධයට මං පාදන බවත් ඔහු පැහැදිලි කලේ ය.
මහජන විරුද්ධත්වය මර්දනය කිරීමට ලොව පුරා ෆැසිස්ට් බලවේග පෝෂනය කෙරෙන බව හිට්ලර්ගේ නැගීම ඓතිහාසික සමාන්තරයක් ලෙස ගනිමින් ඔහු පෙන්වා දුන්නේ ය. පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ පැවැත් වීමට නියමිත ව පැවති සසජාතශි ජාමූඅ වැඩපිලිවෙලට එරෙහි රැස්වීම ජාජබ ආන්ඩුවේ නියෝගයකින් තහනම් කරනු ලැබීම, පාසල් සංවර්ධන නිලධාරීන්ගේ විරෝධතාවට එල්ල කල ප්රකෝපකාරී ප්‍රහාරය සහ සමසෞඛ්‍ය උපාධීධාරින්ගේ විරෝධතාවට කඩා වැදී තොග පිටින් අත්තඩංගුවට ගැනීම, පලස්තීන ජන සංහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලය හෙලා දකිමින් ස්ටිකරයක් ඇල වූ රිෂ්ඩි තරුනයා ත්‍රස්තවාදය වැලැක් වීම පනත යටතේ අත්තඩංගුවට ගැනීම ආදී ශ්‍රී ලංකාව තුල කෙරෙමින් පවතින ප්රජාතන්ත්රවාදී අයිතීන් තලා දැමීමේ පියවරයන් මෙම ගෝලීය ප්රවනතාවේ කොටසක් බව ඔහු පෙන්වා දුන්නේ ය.
සෑම වැඩපලක් ම සහ නිවහන් ප්‍රදේශයක් ම අලලා ගන්නා ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු ජාලයක් ගොඩනැගීමේ හදිසි බව ඔහු අවධාරනය කලේ ය. වීඅයි ලෙනින් සහ ලියොන් ට්‍රොට්ස්කි නායකත්වය සම්පාදනය කල රුසියානු විප්ලවය අනුයමින් විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කරන, වතුපිටි, බැංකු, කම්හල් සහ මහා ව්‍යාපාර කම්කරු පන්තියේ ප්රජාතන්ත්රවාදී පාලනය යටතේ ජනසතු කරන, නිෂ්පාදනය මානව අවශ්‍යතාවන්ට නතු කරන්නා වූ කම්කරු ගොවි ආන්ඩුවකට කම්කරුවන් පීඩිතයන් බලමුලු ගන්වන සසප සමාජවාදී ක්‍රියාමාර්ගයෙන් මෙම ක්‍රියාකාරී කමිටු ජාලය මෙහෙය විය යුතු බව ඔහු කියා සිටියේ ය.
අන්තර්වාර ධනේශ්වර ආන්ඩුවකට සහය පල කරමින්, “දේශපාලනය එපා” යන ගෝසාව පෙරට දමමින් ව්‍යාජ වම සහ වෘත්තීය සමිති විසින් පාවා දුන් 2022 මහජන අරගලයේ පාඩම් වෙත අවධාරනය යොමු කරමින් ගුනදාස තම වාර්තාව අවසන් කලේ ය: “අපි සටන් කරන්නේ මෙම ධනේශ්වර සමාජ ක්‍රමය පෙරලා දැමීමටයි. දකුනු ආසියාව අලලා ගත් සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක රූපයෙන් කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමට මෙහා ඉලක්කයක් අපට ඇත්තේ නෑ. එම ආන්ඩුව සඳහා වන අරගලය ලෝක සමාජවාදී විප්ලවයට පියවරක්.”
සහභාගී වූවන්ගේ උද්යෝගීමත් ප්‍රතිචාරයකින් රැස්වීම අවසන් විය. ඇතමෙක් සසප සසජාතශි සාමාජිකයන් සමග සාකච්ඡාවන්ට එක් වූ අතර තවත් අයෙක් සසප පත්‍රිකා ලබා ගැනීමට උනන්දු වූහ. මැතිවරන අරමුදලට ආධාරයක් ද සභාව විසින් එක් රැස් කර දුනි.
රැස්වීමට සහභාගී වූ දේශපාලන විද්‍යා ශිෂ්‍යයෙකු වන අනොච් රැස්වීම සම්බන්ධයෙන් තම ප්‍රතිචාරය මෙසේ සඳහන් කලේ ය:
“ඔබ ඉදිරිපත් කරන ඉල්ලීම් ඉතා වැදගත්. මම අනෙක් පක්ෂ කියන දේත් අසා තිබුනත් කම්කරු ගොවි ආන්ඩුවක් ගැන කතා කරනවා දැක්කේ ඔබලා පමනයි. වාර්ගික වෙනස්කම් නොමැති ව සියලු ම අංශවල කම්කරුවන් එක ම ප්‍රශ්නවලට මුහුන දෙන බවත් ආන්ඩුව විවිධාකාරයෙන් ඔවුන් අතර බෙදීම් උත්සන්න කරන බවටත් ඔබ කල පැහැදිලි කිරීම් මගේ අවබෝධය වැඩි කලා.”
“ජාමූඅ කප්පාදු පියවර සහ ඒවායේ ව්‍යසනකාරී ප්‍රතිඵල ගැන මම පැහැදිලි ව අවබෝධ කර ගත්තා. වෙන කිසිදු පක්ෂයක් ලෝක යුද අන්තරාය ගැන කතා කරන්නේ නෑ. නමුත් ඔබ පැහැදිලි විස්තරයක් ලබා දුන්නා. මේ කරුනු කැපී පෙනෙනවා.”