1948

මේ සමග පලවන්නේ, හතරවන ජාත්‍යන්තරයේ ඉන්දු උප මහාද්වීපයේ ශාඛාව වූ ඉන්දීය බොල්ශෙවික් ලෙනින්වාදී පක්ෂයේ (බීඑල්පීඅයි) නායකයා වූ කොල්වින් ආර් ද සිල්වා විසින්, “ඉන්දියාවේ වර්තමාන දේශපාලන තත්ත්වය” (The Present Political Situation in India) යන මාතෘකාවෙන් 1948 මාර්තු මාසයේ 5 දින, ඉන්දියාවේ බටහිර බෙංගාලයේ උලුබෙරියාවේ දී පැවැත්වුනු සමස්ත බෙන්ගාල ශිෂ්‍ය සම්මේලනය අමතා කරන ලද කල දේශනයි. එය “1948” ලෙස නමින් 1983 ජුනි 15 දින පලකලේ කම්කරු මාවත ප්‍රකාශකයන් විසිනි.

1947 අගෝස්තු 15 දින බ්‍රිතාන්‍ය විජිත පාලකයන්, ධනපති ඉන්දියානු ජාතික කොන්ග්‍රසයේ සහ මුස්ලිම් ලීගයේ නායකයන් සමග කුමත්‍රනයෙන් ඉන්දියාවට 'නිදහස' ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ගත ව තිබූ මාස අටකට ආසන්න කාලය තුල සිදු වූ දේශපාලන වර්ධනයන් අලලා ගනිමින් මෙම විශ්ලේෂනය සිදුකර තිබේ. කම්කරු මාවත ප්‍රකාශකයන් විසින් කරන ලද කෙටි හැඳින්වීමක් ද මීට ඇතුලත් ය.

කොල්වින් ආර් ද සිල්වා ලංකාවේ ඊනියා නිදහසෙන් දින දහයකට පසු ඉන්දියාවට සිදු කල සංචාරයක දී මෙම දේශනය සිදු කලේ ය. දේශනයේ දී මහත්මා ගාන්ධි ඝාතනයේ, ඉන්දියාව දෙකට බෙදීමේ සහ ඊනියා නිදහසේ දේශපාලන ඇඟවුම් කොල්වින් ආර් ද සිල්වා විශ්ලේෂනය කර ඇත. දෙවන ලෝක යුද්ධයෙන් ඉක්බිති ව 1947-1948 කාල පරිච්ඡේදයේ දකුනු ආසියානු කලාපයේ අධිරාජ්‍යවාදීන් ඇතිකල සමථයන්ගේ ස්වභාවය පිලිබඳව දුර දක්නා අයුරින් කල මෙම දේශනය ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය මත පදනම් වී තිබේ.

සිල්වා ඉන්දියාව දෙකට බෙදීමෙ ඛේදනීය ප්‍රතිවිපාක ගැන සඳහන් කල පහත ඡේදය අදටත් වලංගු ය.

'බෙදීම එක අංශයකින් මහජනතාව අධිරාජ්‍යවාදය විසින් වහල් භාවයට ගැනීමට යෑම අලුතින් වාත්තු කිරීමේ මාර්ගයක් බව ඔප්පු වී ඇත. අනික් අංශයෙන් එය රාජ්‍ය දෙකක් උනුන් යුද වැදීමේ අදහසට එලඹීමට රැවටීමේ මගක් බව ඔප්පු වී ඇත. එසේ කරන ලද්දේ අභ්‍යන්තර වර්ගවාදී හැඟීම් සිවිල් කම්පනයන්ගෙන් වෙනතකට හැරවීමට ය. යුද්ධය (දැනටමත් කාශ්මීරයේ හා ජුනාගාද් හී ඇවිත් නැත්නම්) එන්ට පුලුවන. එහෙත් ඒ අතර සිවිල් කම්පන විනාශකාරී ආකාරයකින් පැමින ඇත.'

ඉන්දියානු උප මහාද්වීපය, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලකයන් විසින්, කොන්ග්‍රසයේ හා මුස්ලිම් ලීගයේ ධනපති නායකයන් සමග කුමන්ත්‍රනයෙන් හින්දු ඉන්දියාව හා මුස්ලිම් පකිස්තානය ලෙස බෙදා 1947 අගෝස්තු 15 දින 'නිදහස' දීම ආසන්න වශයෙන් සාමාන්‍ය ජනයා මිලියන දෙකක් පමන වර්ගවාදී කෝලාහල නිසා මරනයට පත් කල අතර මිලියන 12-14ක් පමන සරනාගතයන් බවට පත් කලේ ය. ස්ටැලින්වාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය ඉන්දියාව බෙදීමේ ප්‍රතිගාමී කුමත්‍රනයට සහයෝගය දුන්නේ ය.

1947 පටන් ඉන්දියාව හා පකිස්තානය අතර පුර්න පරිමාන යුද්ධ සතරක් ඇවිලී ගිය අතර, දුසිම් ගනනක් ගැටුම් හා නොමිනිය හැකි තරම් ප්‍රකෝප කිරීම ඇවිලී තිබේ. මෑත ම සිදුවීම වූයේ පසුගිය වසරේ කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයට එල්ල කල ත්‍රස්තවාදී ප්‍රහාරය ගසා කමින් ඉන්දීය ආන්ඩුව ගෙන ගිය යුද ප්‍රහාරයයි.

ධනපති ක්‍රමයේ ගෝලීය අර්බුදය මධ්‍යයේ තියුනු වෙමින් පවතින භූදේශපාලනික වර්ධනයන් තුල, ඉන්දු පකිස්ථාන ගැටුමට දහනශීලී ඉන්ධන වත් කොට ඇත. ඉන්දියාව ගත වූ දශක කිහිපය තුල ඇමරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ගෙන යන චීනයට එරෙහි යුද්ධයේ දකුනු ආසියානු කලාපයේ ප්‍රමුඛ සහකරුවා බවට පත්ව ඇත. සිල්වා පෙර දුටු පරිදි ම දැවැන්ත සමාජ අසමානතාවයකට මුහුන දී සිටින ඉන්දියාවේ පාලක පන්තිය කම්කරු පන්තියේ සහ ගොවි ජනතාව අතර වැඩෙන කැරලිකාරීත්වය අපසරනය කිරීම සඳහා ඉන්දු පකිස්ථාන ගැටුම් අනෙක් පසකින් යොදාගනිමින් සිටී.

අනෙක් අතින් 1947 බෙදීමෙන් පසුව ඇටවූ “ජාතික රාජ්‍යයන්” දෙක මහජනතාවගේ හෝ කම්කරු පන්තියේ සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් සාක්ෂාත් කිරීම සම්බන්ධයෙන් සම්පූර්නයෙන්ම අසමර්ථ ව ඇත. සිල්වා සඳහන් කල පරිදි එය අධිරාජ්‍යවාදී යදම් අලුතින් හැඩ ගස්වා අධිරාජ්‍යවාදීන්ගේ සෘජු පාලනයේ සිට වක්‍ර පාලනයට මාරු කිරීමක් පමනි.

මෙම විශ්ලේෂනය පසුගිය දශක කිහිපය තිස්සේ ම සමස්ත දකුනු ආසියානු කලාපය තුල ම ඛේදවාචී ආකාරයෙන් තහවුරු වී ඇත. ඊනියා නිදහසින් පසුව දකුනු ආසියානු කලාපයේ සියලු රටවල් තුල වැඩ කරන ජනයා හට උරුම කර ඇත්තේ උග්‍ර වන දරිද්‍රතාව, වාර්ගික යුද්ධ, ආගමික පීඩනය, මූලික ප්‍රජාත්නත්‍රවාදී නිදහස වෙනුවට පොලිස්-මිලිටරි මර්දනය, අධ්‍යාපනය හා සෞඛ්‍ය මුදල් ගරන ව්‍යාපාර බවට පිරිහෙලීම ආදී ව්‍යසනයන් ය.

දැන් අරගලයට ඇදෙමින් සිටින කම්කරු පන්තිය මෙම ඓතිහාසික පාඩම් වලින් උගත යුතු ය. කම්කරුවන්ගෙන්, සිසුන් ඇතුලු තරුනයින්ගෙන්, බුද්ධිමතුන්ගෙන් සහ සියලු සටන්කරුවන්ගෙන් අප ඉල්ලා සිටින්නේ මෙම දේශනය සැලකිල්ලෙන් අධ්‍යයනය කරන ලෙසයි.

***

පෙරවදනක්

1948 ලෝක පංති අරගලයේ තීරනාත්මක වසරක් විය. ඉන්දු උප-මහාද්වීප කලාපය සම්බන්යෙන්, පශ්චාත් යුද කාලීන කාල පරිච්ඡේදයේ ආරම්භය, එම වසරේ දී සිදු වූ බව පැවසීම අතිශයින් ම නිවැරදි ය.

ලෝක අධිරාජ්‍යවාදයේ පරිහානයේ නව පාතාලයක් සලකුනු කරමින්, දෙවැනි අධිරාජ්‍යවාදී ලෝක යුද්ධය නිම විය. නැගෙනහිර යුරෝපය ද චීනය ද අධිරාජ්‍යවාදීන්ට නැති වූ අතර, අන් සෑම තැනක ම කම්කරු-පීඩිත ජනතාව ජාතික විමුක්ති අරගල මගින් ද කම්කරු පංතියේ ම විප්ලවවාදී සටන් මගින් ද නැගී සිටිය හ. ඉන්දු උප-මහාද්වීපය, මෙම කුනාටු සහිත පංති යුද්ධයේ තීරනාත්මක ක්ෂේත්‍රයක් විය. බ්‍රිතාන්‍යයෝ ඉන්දියාව අත හැර නො ගිය හ. පොතේ ඇති සහ නැති සෑම උපාමාරුවක් ම දමමින්, උප-මහාද්වීප කලාපයේ තම ග්‍රහනය රඳවා ගැනීමට, ඔවුහු ඇමරිකානුන්ගේ සහාය ඇති ව ජීවිතයත් මරනයත් අතර සටනට එලැඹුන හ. මහජන ව්‍යාපාරය පරාජය කර කුඩු කර දැමීමට නො සමත් වූ ඔවුහු, ස්ටැලින්වාදීන්ගේ ද ජාතික ධනපතියන්ගේ ද පාවාදීම මත පිහිටා සිටිමන්, එම නායකත්වයන් මත ලගිමින්, පෙරලා පහර දීමට කාලය එනතුරු ඇඟිලි ගනිමින් තාවකාලික ව පසු බෑ හ. ඒ අතරවාරයේ දී ම, ඉන්දු උප-මහාද්වීපය තුල ගිනි අවුලන කාල බෝම්බ සම්භාරයක් ද වලලා ගිය හ. 

ඉන්දියාවට, ලංකාවට හා බුරුමයට “නිදහස“ දෙන ලදී. ඊට පූර්ව කොන්දේසිය ලෙස, ආගම්වාදී-වර්ගවාදී පදනම් මත, ලක්ෂ ගනන් ජනයා මරුට බිලි දෙමින් ඉන්දියාව කුරිරු ලෙස දෙකට කපන ලදී. කටුනායක හා ත්‍රිකුනාමලයේ කඳවුරු, උප-මහාද්වීපයේ විප්ලවයට එරෙහි ව පාවිච්චි කරන්නට අධිරාජ්‍යවාදීන්ට ඉඩ දීමේ කොන්දේසි උඩ, ලංකාවේ නිවට ජාතික සංගම් නායකයන් සමග සම්මුතිය ඇති කෙරුනි. 

විප්ලවයට එරෙහි ව, ජාතික ධනපති නායකයන්ගේ හා ස්ටැලින්වාදීන්ගේ උදවු ඇති ව යොදන ලද මෙම තිරිංගය, ඉමහත් ලේ ගංගාවකට තුඩු දුනි. ලක්ෂ ගනන් ජන්ජාබීන් ද වෙනත් ජාතිකයෝ ද ලේවලින් වන්දි ගෙවූ හ. ජාතික ධනපති පන්තියේ නායක මහත්මා ගාන්ධිගේ ජීවිතය ඊලඟට බිලි විය. වර්ගවාදී කා කොටා ගැනීමේ උච්ඡතම අවස්ථාවේ දී, කම්කරු පංතියට ගැසීමට රුදුරු ලෙස රාජ්‍ය යන්ත්‍රය පන්නර ගැන්වුනි. ලංකාවේ දී, ලක්ෂ ගනන් වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිය ඝාතනය කෙරුනි. ජාතික ධනපතියෝ අධිරාජ්‍යවාදී බැංකු කරුවන් සමග අලුත් ජීවිතයකට ඇතුලු වූ හ.

මේ අයුරින් අලුත් කාල පරිච්ඡේදයක, එනම්, ජාතික ධනපති පංති පාලනය හා කම්කරු පංතිය අතර යුද්ධයේ බීජය රෝපනය කර ගත්තා වූ කාල පරිච්ඡේදයක ආරම්භය සිදු විය. 1983 දී, එනම් එයින් 35 වසරකට පසුව, අද දින අප අත්දකින්නේ එම අරගලය එහි මුදුන්පෙත්ත කරා සේන්දු වීම යි.

හතරවැනි ජාත්‍යන්තරයේ ඉන්දීය ශාඛාව ලෙස ඒ අවස්ථාවේ ක්‍රියාත්මක වූ, බොල්ශෙවික් ලෙනිනිස්ට් පක්ෂයේ නායකයෙකු වූ කොල්වින් ආර්. ද සිල්වා, 1948 දී පැවැත්වූ කථාව අප අද පලකරන්නේ ඒ කොන්දේසි යටතේ ය.  මෙම කථාව පවත්වන ලද්දේ, 1948 මාර්තු 5දා උලුබේරියාවේ දී රැස් වුනු, සමස්ත බෙංගාලි ශිෂ්‍ය සම්මේලනයේ ආරම්භක දේශනය වසයෙනි. එය “ඉන්දියාවේ වර්තමාන දේශපාලන තත්ත්වය” යන මැයෙන්, කුඩා පොත් පිංචක් ලෙස ඉංග්‍රීසි බසින් මුද්‍රනය කරන ලදී. එහි සිංහල පරිවර්තනයක් මීට කලින් පලවුන බවක් අපට දැනගන්නට ලැබී නැත. එහි මාතෘකාව “1948” යනුවෙන් වෙනස් කරන ලද්දේ අප විසිනි. එමෙන් ම, කථාවේ අගට එන, පක්ෂයේ උපායන් යන ඡේද කිහිපයක්, අදට අදාල නැති බැවින් ඉවත් කරන ලදී.

මෙම කථාව, පැති දෙකකින්, අද දින කම්කරු පංති බලය සඳහා සටන් වදින සටන්කරුවන්ට වැදගත් ය. පලමු වැනු ව, 1948 “නිදහස”, ඉන්දියාව බෙදීම, ගාන්ධි ඝාතනය, පුද්ගලවාදී ත්‍රස්තවාදය, ජාතික ධනපති පංතියේ ක්‍රියාකලාපය, ජාතික ප්‍රශ්නය වැනි අද ද දැවෙන වැදගත්කමක් අත් කරගන්නා ප්‍රශ්න, කම්කරු පංතියේ බලය සඳහා අරගලයේ දෘෂ්ටියෙන් විභාග කර ඇති බැවිනි. එමෙන් ම 1948 පරිවර්තනය වටහා නො ගෙන 1983 වටහා ගැනීම අපහසු ය.

අනෙක් පැත්ත නම්, සමසමාජ නායකයන් අද සිටින තැනට පිරිහී ආවේ කුමන මූලධර්ම පාවා දී ගෙන ද යන්න ගැන මෙයින් ඇති කෙරෙන අවබෝධය යි. 1950 දී ලංකා සමසමාජ පක්ෂය තුල දිය වී යාම මගින්, කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්ලි ගුනවර්ධන හා ඩොරික් ද සූසා වැනි නායකයෝ, ඉන්දු උප-මහාද්වීපයේ තිබූ එක ම විප්ලවවාදී පක්ෂය වූ බොල්ශෙවික් ලෙනිනිස්ට් පක්ෂය දිය කල හ. එයින් ම, මෙම කථාවේ අඩංගු විප්ලවවාදී ඉදිරි දර්ශනය ද දිය කර දමන ලදී. 1964 මහා පාවා දීමේ මුල ඇත්තේ එතැන යි.

කොල්වින් ආර්. ද සිල්වාගේ මෙම වටිනා දේශනය, පරිවර්තනය කර යලි මුද්‍රනය කිරීම මගින්, “කම්කරු මාවත“ ප්‍රකාශකයෝ, වර්තමාන දේශපාලන තත්ත්වයේ ම ගැඹුර ග්‍රහනය කර ගැනීමට අවශ්‍ය අවියක්, කම්කරු පංතියට සපයා දෙනවා පමනක් නො ව, සමසමාජ පාවා දීමට එරෙහි ව අරගලය කිරීමේ අවියක් ද සපයයි. එබැවින් මෙය පල කෙරෙන්නේ, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වන, විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය ගොඩනැගීමේ අවියක් වසයෙනි.

ප්‍රකාශකයෝ, 

1983 ජුනි 15,

කොලඹ.

***

කො ල්වින් ආර් ද සිල්වා [ඡා යා රූ පය: විකිපීඩියා] [Photo: Wikipedia]

1948 

සහෝදරවරුනි, මිත්‍රවරුනි,

දුර බැහැර ලංකාවේ සිට, ඔබේ සම්මේලනය විවෘත කිරීමේ කථාවට පැමිනෙන ලෙස මට ආරාධනා කිරීම, සත්තිකින් ම ගෞරවයකි. මා එය වඩාත් කැමැත්තෙන් බාර ගත්තේ, එය මට කරන ලද පුද්ගලික ගෞරවයක් ලෙස නො ව, මගේ පක්ෂයට කරන ලද ප්‍රනාමයක් ලෙස හැඟුන හෙයිනි. එහෙයින් හතරවන ජාත්‍යන්තරයේ ශාඛාව වන, ඉන්දියානු බොල්ශෙවික් ලෙනින්වාදී පක්ෂයේ නියෝජිතයෙකු හැටියට, මේ අවස්ථාවේ ඔබ අමතා කතා කිරීමට ලැබීම ගැන, බෙහෙවින් ප්‍රීති වන බව කීමට අවසර දෙනු මැනවි.

ගාන්ධි ඝාතනය

මා මෙහි ආවේ, ලංකාවේ ඊනියා “නිදහස“ සමරා දින දහයකට පසුව ය. එහෙයින් මා මේ කෙටි හැඳින්වීමෙන් පසු, කෙලින් ම බැසිය යුතු ව තිබුනේ, බ්‍රිතාන්‍යය ඇගේ විජිතයන් වූ ඉන්දියාවට, බුරුමයට හා ලංකාවට දෙන්නේ යයි කියන “නිදහස“ පිලිබඳ ප්‍රශ්නයට යි. නමුත් ඉතිහාසය අන දී ඇත්තේ වෙනත් අන්දමකට ය. ඊනියා නිදහස පිලිබඳ ප්‍රශ්නයට බැසීමට පෙර, ගාන්ධි ඝාතනය, ඔහුගේ ජීවිතය හා මරනය සම්බන්ධ ප්‍රශ්න ගැන කතා කිරීමේ අවශ්‍යතාව මතු කර තිබේ. එහෙයින් මේ ප්‍රශ්නවලින් පටන් ගනිමු.

ප්‍රථම ප්‍රශ්නය වන්නේ ඔහු ඝාතනය කිරීම පිලිබඳ අපේ ආකල්පය කුමක් ද යන්න යි. ගාන්ධි මලේ සාමාන්‍ය මිනී මරුවෙකු අතින් නො ව දේශපාලන මිනී මරුවෙකු අතිනි. නතුරාම් විනායක් ගොඩ්සේ දේශපාලනික ලෙස ක්‍රියා කලේ ය; එනම්, දේශපාලන කල්පනයන්ගෙන් හා දේශපාලන පරම අරමුනකින් ක්‍රියා කලේ ය. ඔහු භගත් සිං හා සමාන වන්නේ මේ කරුන නිසා ම පමනකි. නමුත්, භගත් සිං ගැන අපේ ආකල්පය ගොඩ්සේ ගැන ආකල්පයට වඩා වෙනස් ය. ඒ ඇයි?

උත්තරය ඇත්තේ ඝාතනය සඳහා යොදාගත් උපක්‍රමයේ නො ව, අපේක්ෂිත පරමාර්ථයෙහි ය. පීඩකයන් කෙරෙහි පීඩිතයන්ගේ ඇති මනමෝහනය වත් ගොඩ්සේගේ දාමරික ක්‍රියාවේ නැත. එය සම්පූර්නයෙන් ම ගර්හා කටයුතු තිරිසන් ක්‍රියාවකි. ගොඩ්සේ කූප්පවනු ලැබුවේ භගත් සිං තුල දැවෙමින් තිබුනාක් වැනි සූරාකනු ලබන්නන්ගේ කෝපයෙන් නො ව ආගමික-වාර්ගික ද්වේෂයෙන් දැල්වෙන අන්ධකාර ආදිකල්පික ද්වේෂයකිනි. 

ඔහු ව කූප්පවනු ලැබූ “වරද“ වූයේ, මිනිසා මිනිසා විසින් හෝ පන්තියක් තවත් පන්තියක් විසින් හෝ සූරා කෑම නො වේ; එක ම රාජ්‍යයක් තුල විවිධ වාර්ගිකයන්ට වෙනස්කම් නො කල යුතු ය යන ඉල්ලීම යි. ඔහු භයානක ම වර්ගවාදියෙකි; බහුතර ජාතික වර්ගවාදියෙකි. ඔහුගේ ක්‍රියාව ආරක්ෂා කිරීමට නොහැකියාව දෙගුනයක් වන්නේ, පාවිච්චි කල ක්‍රමයේ වරද නිසා පමනක් නො ව, එහි පරමාර්ථය දහස් ගුනයක් වැරදි වීම නිසා ය. 

ගාන්ධිගේ අවශ්‍යයෙන් ම ධනවාදී වූ දේශපාලනයට එරෙහි ව, දිවි මුලුල්ලේ ම සටන් කල ඉන්දියාවේ කම්කරු විප්ලවවාදීන්ට ගාන්ධි ඝාතන විරෝධතාවලට සහයෝගය දීමට, කිසිදු අපහසුවක් නො තිබුනේ එහෙයිනි. අපි මේ ඝාතනය ඕනෑ ම කෙනෙකු කරන තරම් අවංක වත් බොහෝ දෙනාට වඩා නිවැරදි ලෙසත් හෙලා දකිමු. 

මෙතරම් කී පසුවත් තවත් කරුනු කිව යුතු ව තිබේ. ගාන්ධි ඝාතනය වර්ගවාදය ගැනත්, පුද්ගල ත්‍රස්තවාදය ගැනත් පාඩමකි. එය අවිහිංසාවාදය ගැන පාඩමක් නො වේ.

මින් මා අදහස් කරන්නේ කුමක් ද? එය වර්ගවාදය පිලිබඳ පාඩමක් බව නම් ඕනෑ ම කෙනෙකුට පෙනේ. දුබල සිරුරින් යුතු වූ ද දෙපැත්තේ ම වර්ගවාදීන් අතර දැවැන්ත බලපෑමක් ඇති කලා වූ ද මේ මිනිසා මරා දැමීම, පකිස්තානය හා ඉන්දියානු සංගමය තුල කෙරීගෙන යන දේවලට මහත් ආලෝකයක් විහිදු වී ය.

විදුලි වේගයක් වැනි මේ සිද්ධියෙන් පසු, මිනිස්සු තමන් මත පාත්වෙන පාතාලය දුටුවෝ ය. කවදා හෝ එයින් ගැලවිය යුතු නම්, වහා ම එසේ කල යුතු බව ඔවුහු මෙයින් තේරුම් ගත් හ. 

ගොඩ්සේ ලබා ගත් ඵලය මෙය යි. නමුත් ඔහු බලාපොරොත්තු වූ ප්‍රතිඵලයට වඩා එය හාත්පසින් වෙනස් වූවකි. එයින් ඔහු පුද්ගල ත්‍රස්තවාදයේ ඇති නිසරු බව නැවත වරක් මහජනයාට මතක් කර දුන්නේ ය. කිසියම් පුද්ගලයෙකු විනාශ කර දැමීමෙන්, පද්ධතියක් විනාශ කල නො හැක. කොතරම් ධෛර්යයමත් වූවත්, ශ්‍රේෂ්ඨ වූවත් තනි පුද්ගලයෙකුගේ ප්‍රයත්නයන් සමාජ බලවේගවල ඉදිරි ගමනට ආදේශ කරන්ට බැරි ය.

කුතුහලය දනවන තවත් කරුනක් නම්, ගොඩ්සේට වැරදුනේත්, ගාන්ධිට වැරදුනේත් එක ම ලෙස බව යි. ඔහුත් තනි පුද්ගලයෙකුගේ උත්සාහයෙන් සමාජ බලවේගවලට පවුරු බැඳ ඒවා ආපසු හැරවීමට තැත් කලේ ය. ඔහුගේ උත්සාහයේ තීව්‍රතාව, ඔහුගේ අසාර්ථක භාවය මැනෙන මිම්ම ද විය. තම සිතැඟිවල හා පැතුමේ බලයෙන්, තමන් ම උදාහරනයක් ලෙස පෙන්වා දෙමින් වර්ගවාදය, විශේෂයෙන් හින්දු වර්ගවාදය අවසන් කල හැකි මිනිසෙක් වී නම් හේ ගාන්ධි ම ය. ඔහුගේ අසාර්ථකත්වය යලිත් පෙන්නුම් කලේ, කොතරම් දැවැන්තයෙකු වුවත්, තනි පුද්ගලයෙකුට පද්ධතියක් වෙනුවට ආදේශ විය නො හැකි බව ය. 

ගාන්ධි කෙනෙකුට ඉන්දියාවේ වර්ගවාදය මකා දැමිය නො හැකි වූවාක් මෙන් ම ගොඩ්සේ කෙනෙකුට එය ජයග්‍රහනය කරා ගෙන යාමට ද නො හැකි ය. මෙම ගැටුම විසඳිය යුත්තේ, වෙනත් බලවේග හා වෙනත් ක්‍රම ය. ඒවා නිසැකයෙන් ම මැදිහත් වනු ඇත.

මේ බලවේග මොනවා ද? මම කෙටි වූ ද ක්ෂනික වූ ද සරල වූ ද පිලිතුරක් දෙමි; ඒවා පන්ති අරගලයේ බලවේගයන් ම ය.

අපි මතක් කර ගනිමු; වර්ගවාදය වැරදි ය. මක්නිසා ද යත් එය සූරාකන්නන්ට හා පීඩකයන්ට රහසේ සේවය කරයි. එසේ වන්නේ, වර්ගවාදය සූරා කනු ලබන්නවුන් හා පීඩිතයින්, නියම අරගලයෙන් හා නියම පරමාර්ථයෙන් පිට පන්නවා, වැරදි අරගලයක හා වැරදි පරමාර්ථයක යොදවන බැවිනි. එය සූරා කනු ලබන්නවුන්ගේ මනස, සූරා කෑමේ ක්‍රමය පෙරලා දැමීමේ අවශ්‍යතාවෙන් වෙනත් දිසාවකට යොමු කරයි. එය ඔවුන් අන්‍යොන්‍ය නාශක ගැටුමකට ඇදලයි. එම ගැටුම, ඔවුන් තම පොදු සූරා කන්නන් හා පීඩකයන් අබියස දන ගස්වයි. 

බෙංගාලය පිලිබඳ ව මේ පාඩම අවධාරනය කල යුතු ද? දේශ සීමාවන් පැනවීම නිසා, නැගෙනහිර බෙංගාලයේ මුස්ලිම් ගොවීන් තුල, තම හින්දු ඉඩම් හිමියන් කෙරෙහි තිබුනු අතෘප්තිය පිලිබඳ මතකය මකා දැමීමට නො හැකි විය. පන්ති අභිමතාර්ථවලින් ඔවුන් හැරවුනේ, වර්ගවාදී අභිමතාර්ථවලට ය. ඉන්පසු එයින් ම ඔවුහු අතරමං වූවෝ ය.

මුස්ලිම් ලීගයේ ප්‍රචාරය මෙන් ම, හින්දු මහා සභාවේ ප්‍රතිවිරුද්ධ ප්‍රචාරය ද බෙංගාලයට අමතක වී නැත. 1945 අග භාගයේ නැගී ආ වැඩ වර්ජන තත්ත්වය, කල්කටාවේ වර්ගවාදී ගැටුම් මගින් දිය කර හැරිය අන්දම බෙංගාලයට ලේසියෙන් අමතක වී නැත. 

ප්‍රතිගාමී වර්ගවාදය දිය කර හැරීමේ එක ම මග, සමාජවාදය සඳහා කරනු ලබන ප්‍රගතිශීලී පන්ති අරගලය ම බව අවධාරනය කිරීම දැන් අවශ්‍ය ද? තම ඉඩම් හිමි-ධනපතියන්ට එරෙහි ගොවි කම්කරුවන්ගේ පන්ති අරගලය ඉහලට නගිත් ම, ඉන්දියාවේ සෑම පෙදෙසක ම වර්ගවාදී අරගලය වඩ වඩාත් පසෙකට අතුගා දැමෙනු ඇත. පන්ති අරගලයේ රල වේගය අඩුවන්නා හා ම සූරා කන්නන් හට වර්ගවාදී ආයුධය ලබා ගැනීම වඩාත් පහසු වේ. මේ ප්‍රශ්නය ගැනත් ඊට අදාල ව අපේ නීර්නය ගැනත් නිර්වචනය මෙය යි. 

පන්ති අරගලය වර්ගවාදී අරගලයට වඩා කිසිසේත් අවිහිංසාවාදී නැත. අප දැක ඇති ආකාරයට, පන්ති අරගලය වර්ගවාදී අරගලය දිය කර හැරීමේ සත්‍ය වූ ද ස්ථීර වූ ද මග වේ. හිංසාවාදය හා අහිංසාවාදය පිලිබඳ වචනවලින් වර්ගවාදය පිලිබඳ ප්‍රශ්නය ඉදිරිපත් කිරීම ව්‍යාජ මෙන් වංචාකාරී ද වේ. ගාන්ධි ඝාතනය, වර්ගවාදය ගැනත් පුද්ගල ත්‍රස්තවාදය ගැනත් පාඩමක් බවත්, අවිහිංසාවාදයේ පාඩමක් නො වන බවත්, මා මුලින් කීවේ එබැවිනි.

ගාන්ධිගේ මරනයේ සෙවනැල්ල යට දී ම, ඉහත කී ප්‍රස්තුතය දැන් දැන් ම අද අද ම අවධාරනය කිරීම අවශ්‍ය වේ. මරනය සිදු වූ තත්ත්වයත්, ඊට ගොදුරු වූ තැනැත්තාට ඇති මහජන ප්‍රනාමයත්, දැනුවත් ව ම නොමට සියුම් අයුරිනුත් යොදා ඇත්තේ, කිසිම අන්දමකින් අපක්ෂපාතී පරීක්ෂනයකට ගෝචර නො වන න්‍යායකට මුක්කු ගැසීමට ය. ගාන්ධිගේ මරනය අවිහිංසාවාදී න්‍යායයට නම් කිසිදු ඔප්පු කිරීමක් එකතු නො කරයි. මාක්ස්වාදීන් වන අපි, බොහෝ කලකට පෙර, මේ න්‍යායය පන්ති අරගලයේ ආලෝකයෙන් විශ්ලේෂනය කර ඇතිවාක් මෙන් ම, එහි පන්ති අර්ථය ද පෙන්වා දී ඇත්තෙමු. දැන් යලිත් මේ අවස්ථාවේ දී මේ විශ්ලේෂනයට බැසීම අවශ්‍ය නැත. සමාජ පරමාර්ථ පිලිබඳ ප්‍රශ්නයක දී නම්, සූරා කෑම පවත්නා සමාජයක් තුල කිසි කලෙකත් අවිහිංසාවාදයක් තිබිය නො හැකි ය. තිබිය හැකි එක ම අවිහිංසාවාදී සමාජය නම්, පන්ති විරහිත සමාජයක් පමනි.

අවිහිංසාව මහජනතාව සඳහා ඇදහිල්ලක් බවටත්, සූරා කන්නන් සඳහා පන්ති අවශ්‍යතාවක් බවටත් පරිවර්තනය කිරීමට පතන උදවියට අපි මෙසේ මතක් කර දෙමු; පන්ති අරගලයේ අරමුන පන්ති අහෝසි කර දැමීම යි. එමතු නො ව, පන්ති අහෝසි කිරීමේ එක ම ක්‍රමය පන්ති අරගලය වර්ධනය කිරීම යි.

එහෙයින්, අවිහිංසාවාදය සාක්ෂාත් කර ගැනීමට සැබැවින් ම පතන්නන්, සූරා කනු ලබන්නන්ගේ හා පීඩිතයන්ගේ පැත්තේ පන්ති අරගලයට ආ යුතු ය; එම අරගලයට ගර්හා නො කල යුතු ය. සමාජ අරමුනක් හැටියට අවිහිංසාවාදය එපමනකි. දේශපාලන ආයුධයක් හැටියට එහි කාර්යය කුමක් ද? මෙහි දී අපට පරමාර්ථ හා මාර්ග පිලිබඳ සුප්‍රසිද්ධ ගැටලුව මුන ගැසේ. මම එයට අත ගසන්නේ නැත. ඒ වෙනුවට මම මේ ප්‍රශ්නය එහි නිල ප්‍රකාශකයන්ගේ කටයුතු මගින් පරීක්ෂනයට භාජනය කරවමි. දැනට පවත්නා ඉන්දියානු ආන්ඩුව, අවිහිංසාවාදයට කැප වී සිටින බව ප්‍රකාශ කරයි; නමුත් එය මේ මොහොතේ කාශ්මීරය තුල පකිස්තානයට විරුද්ධ ව අප්‍රකාශිත යුද්ධයක යෙදී සිටියි!

ජීවත් ව සිටින කාලයේ දී ගාන්ධි මේ යුද්ධයට විරුද්ධ වූයේ නැත. එහෙයින්, ඔහු ම මේ සංකල්පයේ සීමාවන් පිලිගත් බව පැහැදිලි ය. නමුත් එය බාහිර සම්බන්ධතාවල දී නො යෙදෙන සේ ය. 

එසේ නම්, එය අභ්‍යන්තර සබඳතාවලට යෙදෙන්නේ ද? පිලිතුර ඔව් හා නැත යන දෙක ම වේ. එනම්, පාලකයන්ගේ පැත්තෙන් “නැත,“ පාලිතයන්ගේ පැත්තෙන් “ඔව්.“ පාලක පන්තියේ සංවිහිත හිංසාව වූ රාජ්‍යයට, පාලිතයන් අවිහිංසාවෙන් මුහුන පෑ යුතු ය! දේශපාලන සංකල්පයක් වසයෙන්, අහිංසාවේ නිර්ව්‍යාජ (එනම් පන්ති) අන්තර්ගතය එය යි. 

අහිංසාවාදය දෙපැත්තට ම වාහන ගමන් කරන මාවතක් බව කීමට අපට අයිතිය ඇත. එනමුත් අද එය එක් පැත්තකට පමනක් ගමන් කල හැකි මාවතකි. සන්නද්ධ සූරා කන්නන් ඉදිරියේ සූරා කනු ලබන්නන් නිරායුධ කරන න්‍යායයක්, සූරා කන්නන් ආරක්ෂා කරන සූරා කෑම දිගට ම පවත්වන න්‍යායයකි. සූරා කන්නන්ට ආස්වාදයක් වන දෙය, සූරා කනු ලබන්නන්ට ද ආස්වාදයක් විය යුතු යයි ඉල්ලීමට අපට අයිතිය ඇත. 

ඉන්දියාව බෙදීම

ගාන්ධි ඝාතනයෙන් මතු වන ප්‍රශ්න ගැන එපමනි. ඉක්බිති ව අපි වර්තමාන දේශපාලන තත්ත්වය දෙසට යොමු වෙමු:

ඉන්දියාවේ වර්තමාන දේශපාලන තත්ත්වය පාලනය කරනු ලබන්නේ ප්‍රධාන කරුනු දෙකකිනි. මේවා නම්, ඉන්දියාව බෙදා කොටස් කිරීමත්, ඉන්දියානු ධනපති පන්තිය හා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යාවදය අතර නව සබඳතා ඇති කිරීමත් ය. ප්‍රාන්ත රාජ්‍ය පිලිබඳ ප්‍රශ්නයත්, අලුත් පාලනය හා ගොවි කම්කරුවන් අතර සබඳතාවනුත්, මේ ප්‍රශ්නවලට ම සම්බන්ධ වෙයි. දේශපාලන තත්ත්වයේ වර්ධනය රඳා පවත්නේ, මේ සාධකවල අන්තර් ක්‍රියා මත ය.

මුස්ලිම් ලීගයට පමනක් එතරම් ලේසියෙන් පවරනු ලබන, ඉන්දියාව බෙදා වෙන් කිරීමට මූලික වසයෙන් වගකිව යුත්තේ, ලීග් දේශපාලනය නො ව කොංග්‍රස් දේශපාලනය යි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට සම්බන්ධ ව, කොංග්‍රසයේ දේශපාලනය අරගල දේශපාලනයක් නො ව සම්මුතියේ දේශපාලනයක් විය. සම්මුති දේශපාලනය ආරම්භකත්වය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට දුන්නාක් මෙන් ම, බෙදා වෙන් කිරීමේ දේශපාලනයට උදවු කලේ ය.

ඉන්දියානු ධනපතියන්, නැගී එන මහජන කැමැත්තට එරෙහි ව, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට යටත් වී, විසඳුම් ලබා ගැනීමේ ප්‍රතිඵලය වූයේ ඉන්දියාව කොටස්වලට කැඩී යාම යි. පකිස්තානය, ධනපතියන් විසින් මහජන ව්‍යාපාරය ගබ්සා කර දැමීමේ ප්‍රතිඵලයකි. 

බෙදීමේ ශෝකාන්තය එහි නිර්මාතෘවරුන්ගේ ප්‍රකාශිත අරමුනුවලින් ම ගලා ආවේ ය. එක් අතකින්, ඉන්දියාව නමැති ජීවමාන ශරීරය කුරිරු ලෙස කපා වෙන් කිරීමත්, අනෙක් අතින් ජීවමාන “ජාති“ දෙකක් (පන්ජාබ් හා බෙංගාලි ජාති) කපා වෙන් කිරීමත්  ඉදිරිපත් කරන ලද්දේ, එක් පැත්තකින් වර්ගවාදී ගැටලුවට විසඳුමක් ද තවත් පැත්තකින් නිදහසට මග විවර කිරීමක් ද වසයෙනි. දෙක ම බොරු බව දැන් ඔප්පු වී ඇත.

බෙදීම එක අංශයකින් මහජනතාව අධිරාජ්‍යවාදය විසින් වහල් භාවයට ගැනීමට යෑම අලුතින් වාත්තු කිරීමේ මාර්ගයක් බව ඔප්පු වී ඇත. අනෙක් අංශයෙන් එය රාජ්‍ය දෙකක් උනුන් යුද වැදීමේ අදහසට එලඹීමට රැවටීමේ මගක් බව ඔප්පු වී ඇත. එසේ කරන ලද්දේ අභ්‍යන්තර වර්ගවාදී හැඟීම් සිවිල් කම්පනයන්ගෙන් වෙනත් අතකට හැරවීමට ය. යුද්ධය (දැනට මත් කාශ්මීරයේ හා ජුනාගාද්හි ඇවිත් නැත් නම්) එන්ට පුලුවන. එහෙත් ඒ අතර සිවිල් කම්පන විනාශකාරී ආකාරයකින් ඇවිත් ඇත.

ඉන්දියාව බෙදීම වඩාත් උග්‍ර වර්ගවාදයකට ඉඩ හැරියේ ය. ඉන්දියාව බෙදීමෙන් තොර ව, එය දිය කිරීමට පුලුවන් කම තිබුනි. වර්ගවාදය වෙන ම රාජ්‍ය බවට ඔසවා තැබීමේ තැත රාජ්‍ය දෙකේ ම වර්ගවාදය උග්‍ර කලේ ය. වර්ගවාදී බෙදන්නන්ගේ උමතු තර්කයට අනුව, ඒක වාර්ගික රාජ්‍යය ජාතික අභිප්‍රායය වන්නේ ය.

බෙදීමෙන් පසු, හින්දු මහා සභාවට ඉහල සහයෝගයක් ලැබීම අහඹුවක් නො වේ. ඔවුහු නවීන නො වී නම් තර්කානුකූල වූ හ. ඔවුන් ප්‍රාකෘතික වුවත් තේරුම් ගත හැකි ය. ඔවුහු නේරු මෙන් රැවටුනාහු හෝ පටෙල් මෙන් රවටන්නෝ නො වූ හ. ඔවුහු ඔවුන් ම වූ හ. මුස්ලිම්වරුන්ට හා අනිකුත් ජාතීන්ට විරුද්ධ ව හින්දූන් වූ හ.

කොංග්‍රසයට ද තමාගේ වඩාත් සැඟවුන වර්ගවාදය සහිත ව ඔවුන්ට විරුද්ධ ව තරඟ කිරීමට නො හැකි වූ අතර, ඔවුන්ගේ පීඩනයට යටත් වීමට සිදු විය. පසුගිය දෙසැම්බරයේ දී, වල්ලහායි පටෙල් විසින් කල්කටාවෙහි පවත්වන ලද කථා එහෙයිනි; ඒවා ගාන්ධිගේ ම පවා අප්‍රසාදයට ලක් වූ බව ප්‍රසිද්ධ ය.

මිත්‍රවරුනි, ඉන්දියාව බෙදීම ගාන්ධි මරා දැමුවේ, එය ලක්ෂ ගනන් අප්‍රසිද්ධ ද අහිංසක ද වූ පන්ජාබ්වරුන් මරා දැමූ අයුරින් ම ය. ඔහුගේ මරනයට නේරු-පටෙල් ආන්ඩුව වගකිව යුත්තේ, ප්‍රමානවත් ආරක්ෂාව සංවිධානය නො කිරීම නිසා නො වූ වඩාත් ගැඹුරු අයුරින් ව්‍යාජ වූ ප්‍රතිපත්තිය නිසා ය. ඔවුන් මෙය හඳුනාගෙන නො පිලිගත හොත්, ඔවුන් සලන කඳුලු ඔවුන්ගේ ප්‍රතිපත්ති මාරක වන්නාක් මෙන් ම නිෂ්ඵල වන්නේ ය.

හොඳ වචනවලින් වත් හදිසි වැඩවලින් වත් වර්ගවාදය මැරිය හැකි නො වේ. හින්දු මහා සභාව හෝ වෙනත් එවැනි සැබෑ වර්ගවාදී සංවිධාන තහනම් කිරීමෙන් වර්ගවාදය නො මැරෙයි. එයින් සිදු වන්නේ වමට ගසන ප්‍රතිගාමී ප්‍රහාරයකට ඉඩ සැලසීම පමනි. 

දකුනට විරුද්ධ ව ක්‍රියා කිරීමට විශේෂ බලතල ලබා ගන්නා ආන්ඩු අන්තිමට නවතින්නේ, ඒවා තදින් වමට විරුද්ධ ව පාවිච්චි කිරීමෙනි. එහෙයින් මෙම ආන්ඩු, හිංසාකාරී ලෙස අහිංසාව ආරක්ෂා කිරීම සඳහා, ‘වර්ගවාදය‘ ම ‘කොමියුනිස්ට්වාදය‘ ලෙස ලියන්නේ දැයි, අපි සුපරීක්ෂාකාරී විය යුතු යි.

බෙංගාලය බෙදීම

බෙදීමෙන් ඉන්දියාවට ලැබෙන විපාක බෙංගාලයේ වෙසෙන ඔබට පෙන්වා දීම අනවශ්‍ය ය. ඉන්දියාවේ අනෙක් කෙලවරේ ඇති පන්ජාබය මෙන් ම, ඔබේ ප්‍රදේශයේත් මහජනයාට උඩින් සහ ඔවුන්ට විරුද්ධ ව, රාජ්-කොංග්‍රස් ලීගයට ඉඩ සැලසීම සඳහා ජීවමාන ජනතාව කතා වෙන් කොට ඇත. 

පන්ජාබය වෙන් කිරීමට පසු සිදු වූ ඛේදවාචකයන් ඔබට සිදු නො වූවා නම්, ඒ ප්‍රධාන වසයෙන් කරුනු දෙකක් නිසා ය. ප්‍රධාන ම වූ ද වැදගත් ම වූ ද කරුන නම්, ඔබ නොවාකාලි සහ මහා කල්කටා මිනී මැරීම්වලින් නිසි වේලාවට පාඩම් ඉගෙන ගැනීම යි. දෙවැන්න නම්, නැගෙනහිර බෙංගාලය පකිස්තානය ජනාකීර්න ම ප්‍රදේශය වීම නො තකා, පකිස්තානයේ ඈත තනි වූ පෙදෙසක් වීම යි. එහෙයින් බටහිර ඉන්දියාවේ මිනීමැරුම්වලට සරිලන ලෙස මේ අවස්ථාවේ නැගෙනහිර ඉවසීම පවතී. ප්‍රශ්නය මෙය යි: එය කොතෙක් කල් පවතී ද?

මේ ප්‍රශ්නයට පිලිතුරු පවතින්නේ, බෙංගාලයේ තිබෙනවාටත් වඩා පුලුල් බලවේග හා වර්ධනයන් මත ය. නැගෙනහිර බෙංගාලි ජාතිකයන් හා බටහිර බෙංගාලි ජාතිකයන් අතර සබඳතාවල තත්ත්වයට වඩා ඉන්දියානු සංගමය හා පකිස්තානය අතර සබඳතාවල තත්ත්වය බටහිර හා නැගෙනහිර බෙංගාලය අතර සබඳකම් පාලනය කරනු ඇත. 

එහෙත් බෙංගාලයට එක්සත් වීමේ අවශ්‍යතාව මුල් බැස ගත්තා වූ ද ඓතිහාසික වසයෙන් පැරනි වූ ද දෙයකි. එය අවසානයේ දී, මල් ඵල නො ගැන්වෙතැයි සිතීමට නො හැකි ය. එක් වරක් ශත වර්ෂය මුල දී, බෙදීමට විරුද්ධ ව සටන් කල මිනිසුන්, ශත වර්ෂය මැද දී හුදු වර්ගවාදයේ ආශාවන් මත තවත් බෙදීමකට ඉඩ දෙතැයි සිතිය නො හැකි හෙයිනි. එනිසා, අවසානයේ දී, “ජාතික සමගිය“ වර්තමාන බෙදීම පැරදවීමට නියමිත ය.

සැබෑ කර්තව්‍යය වන්නේ, බෙදීම පරාජය කිරීම සඳහා වූ, ‘ජාතික‘ ව්‍යාපාරය දිනීම මගින්, පකිස්තානය ඉන්දියානු සංගමය තුලට යලි ඇද ගැනීමත්, (එහි අනෙක් පැත්තක්) සඳහා වූ ජාතයෝත්තමවාදී ව්‍යාපාරයට උදව් දීමෙන් වලක්වාලීම ය. එහෙයින් බෙදුම් සීමාවේ දෙපැත්තේ ම සිටින අවංක වූ, එනම් විප්ලවවාදී නැවත එක්සත් වීම සඳහා කටයුතු කරන අය, එම කාර්යය ඉදිරියට ගෙන යාමට ඉන්දියානු සංගමයත් පකිස්තානයත් අතර අර්බුදයක් හට නො ගන්නා මගක් සෙවිය යුතු ය.

මෙය කරන්නේ කෙසේ ද? පැහැදිලි ව ම සීමාවේ දෙපැත්තේ ම සිටින ප්‍රතිගාමී දේශව්‍යාප්තිවාදීන් සමග එක් වීමෙන් නො වේ. ඔවුන්ට විරුද්ධ ව නො බා සටන් වැදිය යුතු ය. කර්තව්‍යය වන්නේ, ඉන්දියානු සංගමය හෝ පකිස්තානය තුල බෙංගාලය බලාත්කාරයෙන් යලි එක්සත් කිරීම නො ව, ස්වයං-නීර්න අයිතිය මත බෙංගාලි “ජාතිය“ ස්වෙච්ඡාවෙන් යලි එක්සත් වීම හෙයිනි.

ජාතිකවාදයේ ලීවරය ප්‍රතිගාමීත්වයේ අවියක් වීම වලක්වා, සමාජ ප්‍රගතිය සඳහා වන උපකරනයක් කිරීමට නම්, මේ කරුනු වටහාගෙන, මේ ඉදිරි දර්ශනය මත ක්‍රියා කල යුතු වේ.

මේ සඳහා තවත් වැඩිදුර කරුනක් වටහා ගැනීම අවශ්‍ය වේ. බෙංගාලි ජාතිය එහි ස්වයං-නීර්න අයිතිය මත යලි එක්සත් කිරීම කල හැකි වන්නේ, ඉන්දියානු සංගමය තුල හා පකිස්තානයේ සමාජ විප්ලවයෙන් පමනි. වෙනත් තත්වයක් යටතේ, තමාගේ අයිතිය නිදහසේ ක්‍රියාත්මක කිරීමට, බෙංගාලි ජාතියට හැකි වන්නේ නැත.

නමුත්, ඉන්දියානු සංගමයේත් පකිස්තානයේත් සමාජ විප්ලවය යන්නේ අදහස් කෙරෙන්නේ, සමාජවාදී පදනමක් මත නැවත එක්සත් වූ ඉන්දියාවක් පමනි. එබැවින් ඉදිරි දර්ශනය මෙය යි. සෝවියට් ඉන්දියාවක් තුල සෝවියට් බෙංගාලයක්. මෙලෙස කම්කරු විප්ලවවාදී වැඩපිලිවෙල පමනක්, ප්‍රගතිශීලී පදනමක් මත එක්සත් ඉන්දියාවක් තුල එක්සත් බෙංගාලයක් (හා පන්ජාබයක්) සඳහා ද වූ අභිප්‍රායය සපුරාලයි. ධනපති පන්තිය ප්‍රතිගාමී ලෙස කීතු කර දැමූ අය, කම්කරු පන්තියට පමනක් ප්‍රගතිශීලී ලෙස එක්සත් කල හැකි ය. මේ යුගයේ අපෝහකය එබඳු ය.

මේ නිදහස 

වර්තමාන ඉන්දියාව තුල තදින් ග්‍රහනය කල යුතු වෙනත් කරුනකට මම දැන් යොමුවෙමි. “මහජන නියෝජිත මන්ඩල“ හා “නිදහස“ යනා දී සියලු අලංකාර නො තකා, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය තවමත් ඉන්දියාව තුල සිටී යන්න ඒ කරුන යි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය ඉන්දියාවෙන් පලවා හැරීම තවමත් සම්පූර්න කර නැත. එය නිශ්චිත ලෙස පෙරලා දැමීම තව දුරටත් කල යුත්තක් ව තිබේ.

ඉහත ප්‍රකාශයේ ඍජු හා නිශ්චිත ස්වභාවය ගැන පුදුම වන බොහෝ දෙනෙක් ඔබ අතර සිටිය හැකි ය. නේරුලාත් පටෙල්ලාත් සමග ගාන්ධිමත් නිදහස ප්‍රකාශ නො කලෝ ද? ඇට්ලි සමග බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පරපුර ම රාජ්‍ය පාලනයෙන් ඉවත් වීම ප්‍රකාශ කලේ නැද්ද? එසේ නම් අප නිදහස් අතර ම, තව දුරටත් යදමින් බැඳී සිටින්නේ කොහොම ද?

මෙම ප්‍රශ්නය පරිස්සමින් තේරුම් කල යුතු වූ ද පරිස්සමින් තේරුම් ගත යුතු වූ ද එකකි. මීට උත්තරයක් දීමට නො හැකි තැනැත්තා, අසරන ට්‍රොට්ස්කිවාදියෙකි. මම මේ පිලිතුර කෙටියෙන් පැහැදිලි කරමි.

නිදහස කුමක් ද යනු ආන්ඩු කරන්නේ කව්ද යන්න නො වේ. ප්‍රශ්නය වන්නේ පාලනය සිදු වන්නේ කාගේ, එනම්,   කොයි පන්තියේ අවශ්‍යතාවන් සඳහා ද යන්න යි. එසේ නො වුවහොත් දුඹුරු පාට නිලධාරී පැලැන්තියක්, සුදු පාට නිලධාරී පැලැන්තියක් විස්ථාපනය කර, නිදහස පිලිබඳ මායාවක් ඇති කිරීමට පමනක් නො ව, සැබවින් නිදහස තිබේ යන මායාව ද මවන්ට පුලුවන.

අපි උදාහරනයක් ගනිමු. බ්‍රිතාන්‍යය අද පාලනය කරන්නේ ලේබර් පක්ෂය මගිනි. නමුත් කිසිම මාක්ස්වාදියෙක් බ්‍රිතාන්‍යය සමාජවාදී වී ඇතැයි නො අඟවයි. එය ක්‍රියා කරන්නේ බ්‍රිතාන්‍ය ධනපති පන්තියේ අවශ්‍යතාවන් සඳහා ය. එහෙයින්, ලේබර් පක්ෂය බලයේ සිටියත්, බ්‍රිතාන්‍යය පවතින්නේ ධනපති අධිරාජ්‍යවාදී රාජ්‍යයක් ලෙසට ය. 

මේ අදහස ඉන්දියාවට ද යොදා බලන්න. ඉන්දීය ධනපති පන්තිය අධිරාජ්‍යවාදීන්ගේ රාජ්‍යය පරිපාලනය තම අතට ගත් බව සැබෑ ය. නමුත් මේ කරුන නිසා, ඔවුන් පරිපාලනය කරන රාජ්‍යයේ ස්වභාවය වෙනස් වී ඇද්ද?

මේ ප්‍රශ්නයට පිලිතුරු රඳා පවතින්නේ, නේරු-පටෙල් සහ සමාගමේ පුද්ගලික ආශාවන් මත නො ව, සමස්තයක් වසයෙන් පන්ති අතර පවත්නා වෛෂයික සම්බන්ධතාවන් උඩ ය. මෙහි දී අපි කරුනු දෙකකට මුහුන පාමු. පලමුවැන්න නම් බ්‍රිතාන්‍යය  ඉන්දියාවේ ආර්ථිකයේත්, ඉන්දියාව අවට ඇති සමුද්‍රවලත් ආධිපත්‍යය පවත්වාගෙන යන බව යි. වෙනත් විධියකින් කිවහොත්, බ්‍රිතාන්‍යයේ ආර්ථික හා නාවික බලය තවමත් ඉන්දියාවේ බොටුව තද කරගෙන සිටියි.

දෙවැනි කරුන නම්, ඉන්දියාවේ මහජනයාගෙන් ඇති වන බලපෑම්වලට විරුද්ධ ව, ඉන්දීය ධනපති පන්තිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් සමග කල්ලිගැසී සිටීම ය. ඒ අනුව, අද පවතින ඉන්දීය රාජ්‍යය, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේත් ඉන්දීය ධනපති පන්තියේත් ඒකාබද්ධ අවශ්‍යතාවල ආරක්ෂකයා ය. මේ දෙගොල්ල අතර තවමත් අධිපති කොටස් කාරයන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ය.

එහෙයින්, ඉන්දියාව තුල සිදු වී ඇත්තේ, නිදහස කරා සංක්‍රමනය වීමක් නො ව, ඉන්දීය ධනපති පන්තිය සමග සම්මුතිය යලි සැකසීමක් මගින්, අධිරාජ්‍යවාදී ඍජු පාලන රූපය වක්‍ර පාලන රූපයක් බවට පත් කිරීම පමනකි. ඉන්දියාව යටත් විජිත තත්ත්වයේ හිනි පෙලේ ඉහලට නැග්ගත්, ජාතික නිදහසේ හිනි පෙලට නම් පිම්ම ගසා නැත. 

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් රාජ්‍ය පාලනය අත හැර නැත. ඔවුන් කලේ ව්‍යාපාරය තම ඉන්දියානු හවුල්කරුවාට බාර දී, පසු බිමට වීමයි. ඔවුහු තම ආර්ථික, රාජ්‍ය-තාන්ත්‍රික හා මිලිටරි ආදී නොයෙක් ඍජු හා වක්‍ර පීඩනයන් යොදමින්, දියුනු වීමට කැමති තම හවුල්කරුවා ගිවිසුම පැවැත්වීම ගැන විශ්වාසය තබා සිටිති. මහජනයාට විරුද්ධ ව, ඔවුන්ගේ අවශ්‍යතාවන් අන්‍යොන්‍ය රඳා පැවැත්මෙන් යුතු හෙයින්, ඔවුහු තම හවුල්කරුවා ගිවිසුම රකිතැයි විශ්වාස කරති.

විදේශීය අධිරාජ්‍යවාදීන් හා ඉන්දියානු ධනපතීන් අතර මේ අලුත් ශ්‍රම විභජනයේ ප්‍රතිඵල මොනවා ද? මුල් ම ප්‍රතිඵලය නම්, ඉන්දියාව තුල ගරා වැටෙමින් පවත්නා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ බලය, අලුත් පදනමක් මත යලි පනගැන්වීම යි. රාජ්‍ය-කොංග්‍රස් විසඳුම මගින් නෛතික දේශපාලන රාමුව සකසා දී ඇති යලි සැකසුන අධිරාජ්‍යවාදී-ධනපති සන්ධානයේ මූලික අර්ථය වන්නේ මෙය යි.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය කල් යල් බලා දුන් වැදගත් සහන මගින්, ඉන්දීය ධනපති පන්තිය තම කීකරු හවුල්කරුවෙකු ලෙස තබාගෙන සිටී. වත්මන් ඉන්දියාවේ අපට දක්නට ලැබෙන්නේ, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය ඉන්දියාව තුල තම සමාජ පදනම රදලවරුන්ගෙන් දේශීය ධනපති පන්තියට හිතා මතා ම හා නිශ්චිත ව මාරු කිරීමේ ප්‍රතිඵල උපදින ආකාරය යි. 

ඉන්දියාවේ අලුත් තත්ත්වයේ දෙවැනි ප්‍රතිඵලය නම්, බ්‍රිතාන්‍ය බලය ඉන්දියාව පුරා පවතින බැවින්, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය “ප්‍රධාන සතුරා” වෙතත්, අප මුහුනට මුහුන සිටින සතුරා වන්නේ ඉන්දීය ධනපති පන්තිය යි. ඉන්දීය ධනපති පන්තිය දැන් ප්‍රධාන කොට යෙදී සිටින්නේ, මහජනයා මෙල්ල කර තබා ගැනීමේ කාර්යයේ බැවිනි. අන්තිම අවස්ථාවක විවෘත මැදිහත් වීම සඳහා සූදානම් ව, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය පසුබිමෙහි සැඟවී සිටී.

තුන්වැනි වැදගත් ප්‍රතිඵලයක් ද සැලකිල්ලට ගත යුතු ය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ ඉන්දීය දේශපාලන බලය දැන් අවසාන විග්‍රහයේ දී රඳා පවතින්නේ, ඉන්දියාව තුල යුද්ධමය වසයෙන් මැදිහත් වීමකට ඇති හැකියාව මත ය. මීට හේතුව නම්, ඉන්දීය ධනපති පන්තියට දැන්, ලෝකයේ වෙනත් අධිරාජ්‍යවාදයන් අතරත්, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහි වත් උපාමාරු යෙදීමට වැඩි නිදහසක් තිබීම යි. 

එහෙත්, යුද්ධමය මැදිහත් වීමකට ඇති ශක්තිය හා අවශ්‍යතාව, යුද්ධමය මැදිහත් වීමකට ඇති ඉඩකඩක් යනු එකක් නො වේ. මෙය රඳා පවත්නේ, දෙන ලද කාල සීමාවක ඉන්දියාව හා බ්‍රිතාන්‍යය අතර පමනක් නො ව, ලෝක පරිමාන ව පවත්නා බලය පිලිබඳ සම්බන්ධතා මතය කෙසේ වෙතත්, යුද්ධමය මැදිහත් වීමක් යන්නෙන්, යුද්ධමය ලෙස නැවත යටත් කර ගැනීමේ අවශ්‍යතාව අදහස් විය හැකි ය. ඉන්දියාව එසේ කැමති අයුරින් එක එකාගේ සාක්කුවට දාගත හැකි අත් ලේන්සුවක් නො වේ.

වෙනත් අන්දමකට කිවහොත්, ඉන්දියාව තුල පාලන විධික්‍රම සකස් කිරීමේ ප්‍රයත්නය මගින්, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය තමාට ලේසියෙන් පාලනය කරන්ට බැරි වඩා බලවත් බලවේග මුදා හැර හා ජනනය කර තිබෙන බව ඉතිහාසය පෙන්වනු ඇත. අධිරාජ්‍යවාදී හා ලෝක දේශපාලනමය වසයෙන් ඉන්දියාවේ තත්ත්වය පිලිබඳ ගැටලුව, සිද්ධි නමැති කෝවෙහි ලා තීරනය කල යුතු වන්නේ ය. බ්‍රිතාන්‍යය ඉන්දියාවට දී ඇත්තේ නිදහසක් නො වන අතර, ඉන්දියානු ධනපති පන්තිය සමග එය ඇති කර ගත්තා වූ බේරුම ද අතිශයින් ප්‍රතිගාමී වූත් එහෙයින් ඉන්දීය ධනපති පන්තිය එය සාක්ෂාත් කර ගැනීමට බාධක ව සිටුනා නමුදු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය, තවමත් නිම කරන්ටත් (කරන්ටත්!) ඉතිරි වී ඇත. 

කොන්ග්‍රසය හා කොන්ග්‍රස් පරිපාලනය

‘බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය භංග වේවා‘ යන්නෙන්, දැන් වඩාත් පැහැදිලි ව අදහස් වන්නේ, “අධිරාජ්‍යවාදී-ධනපති ගිවිසුම භංග වේවා! කම්කරු ගොවි ආන්ඩුවක් කරා!“ යන්න වේ. එනම්, “පලමුව අධිරාජ්‍යවාදයට එරෙහි ව ධනපති පන්තිය සමග, ඊට පසු ධනපති පන්තියට එරෙහි ව කම්කරු පන්තිය සමග“ යන පැරනි වැරැද්ද දැන් වඩාත් පැහැදිලි ලෙස හෙලිදරව් වී ඇත. එය දැනුදු වැරැද්දකි; සෑම කල්හි ම වැරැද්දක් විය. අපේ කර්තව්‍යය වන්නේ, “පලමුව හා ඊලඟට“ නො ව සෑම කල්හි ම සූරා කන්නන්ට එරෙහි ව සූරා කනු ලබන්නන් සමග සිටීම ය.

අද ඉන්දියාවේ බලවේග අතර සම්බන්ධය ඉහත කී අයුරු පවතින අතර, ඉන්දියානු සංගමය තුල වර්තමාන දේශපාලනයේ දැවෙන ප්‍රශ්නය මෙය යි. කොන්ග්‍රසය හා කොන්ග්‍රස් පරිපාලනය පිලිබඳ නිවැරදි ආකල්පය කුමක් ද? ඒවාට අදාල ව අපේ කර්තව්‍යයන් කවරේ ද?

අද මා කතා කරන්නට බලාපොරොත්තු වූ ප්‍රධාන වූ ද හදිසි වූ ද ප්‍රශ්නය කෙරෙහි යොමුවීමට මේ ප්‍රශ්නවලින් මට පුලුවන් වේ. එනම්, කොන්ග්‍රසයේ ස්වභාවය සහ වර්තමාන දේශපාලනයේ එය දරන කාර්යභාරය කුමක් ද යන්න යි.

කොන්ග්‍රසය යනු ඉන්දියානු ධනපති පන්තියේ දේශපාලන පක්ෂය බව නිශ්චිත ලෙසත් එක පාරට මත් කීමට මට ඉඩ දෙන්න. ආරම්භයේ සිට ම එය එසේ ම විය. මෙතෙක් එම කරුන දැන ගැනීමට නො හැකි වූ බොහෝ දෙනෙකුට දැන් එය පැහැදිලි ව දැකීමට පුලුවන් වී තිබේ.

මහජන ආරක්ෂක පනත වැනි නීතීත්, වර්ජන මර්දනයත්, කම්කරු පන්ති සටන්කාමීන් ගොදුරට ගැනීමත්, බදු ප්‍රතිපත්ති හා එවැනි දේවලුත් මේ අතින් දැවැන්ත ලෙස අධ්‍යාපනය දෙයි. මහජනයා ඉදිරියේ, කොන්ග්‍රසය තම පන්ති ස්වභාවය කවදාවත් නො වූ විරූ තරම් ප්‍රකට ව පෙන්වයි. ධනපති පන්තියේ පක්ෂය ධනපති පන්තියේ පක්ෂය ලෙසට ම ක්‍රියාවේ දී පෙනී යයි.

එහෙත් ධනපති පන්තියේ පක්ෂය වූ කොන්ග්‍රසය, මහජනයා සම්බන්ධයෙන් තම පාලනයෙහි ප්‍ර බල වෙනස්කම් ඇති කරයි. අධිරාජ්‍යවාදයෙන් ඒකාධිකාරී නියෝජිත කම උරුම කර ගත් ධනපති පන්තියට, විශේෂයෙන් රාජ්‍ය පාලනයේ දී දැන් අවශ්‍ය වන්නේ, මහජන ව්‍යාපාරය බලමුලුගැන්වීමට වඩා මර්දනය කිරීමට අවශ්‍ය වන බලතල ය.

කොන්ග්‍රසය ඉන්දීය ධනපති පන්තියේ උත්තරීතර සංවිධානය යි. එහි කර්තව්‍යය අධිරාජ්‍යවාදයට එරෙහි ව ධනපති බලපෑම් ලෑමේ දේශපාලන වාසිය සඳහා මහජන ව්‍යාපාරය පාලනය කිරීම යි. දැන් මෙම කාර්යය, අතුරුදහන් වන තරමට පස්සට ගොස් ඇති හෙයින්, දැන් කොන්ග්‍රසයට ඡන්ද බිලී බෑම සඳහා, ධනපති පන්තිය නිර්මානය කරන වර්ගයේ නියම පක්ෂයක් වීමට සිදු වී ඇත. 

මහජන ව්‍යාපාරය පාලනය හා මර්දනය කිරීමේ කාර්යය වඩාත් හොඳට ද කාර්යක්ෂම ලෙස ද කල හැක්කේ රාජ්‍ය යන්ත්‍රනය මගිනි. කොන්ග්‍රසය ධනපති පන්තියේ පක්ෂය ලෙස පවතිනා අතර ම, මහජනතාව සම්බන්ධයෙන් එහි ක්‍රියා කලාපය වෙනස් ද පටු ද වී ඇත. එහි ව්‍යුහය වෙනස් කිරීම සඳහා යෝජනා කෙරුනේ එහෙයිනි.

මේ කරුනේ වැඩිදුර අංශයක් ද ඇත. රට පරිපාලනය කිරීමෙහි ලා අධිරාජ්‍යවාදය ඍජු කාර්ය භාරය අත හැරීමත් සමග, ඇතැම් දුරකට කොන්ග්‍රසය ද කොන්ග්‍රස පාලනයන් විශේෂයෙන් ම ද අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවන් රකින ප්‍රධාන මාර්ග වන්නේ ය. ඒවා මහජනයාට විරුද්ධ ව අධිරාජ්‍යවාදී-ධනපති සන්ධානයේ මූලික උපකරන වන්නේ ය.

අධිරාජ්‍යවාදී-ධනපති උවමනාවන් ඉතා ලඟින් එකිනෙක විනිවිද යාම මගින් තවත් ප්‍රතිඵල දෙකක් ඇති කෙරුනි. පලමුවැන්න නම් කොන්ග්‍රසය හෙලිදරව් වීම ඉක්මන් වීම ය. අවශ්‍ය මැදිහත් වීම්වලින් ගැලවීම් වස්, මහජන ව්‍යාපාරය කොන්ග්‍රසයට නිරතුරු ව ද කෙලින් ම ද විරුද්ධ වෙයි. ඔවුහු කොන්ග්‍රසය තුල තම සතුරා කෙලින් ම දකිත්. 

දෙවැනි ප්‍රතිඵලය එතරම් ප්‍රකට නැත ද වැදගත් කම අතින් ඉහල ය. කොන්ග්‍රසය ඉන්දියාව තුල සියලු ප්‍රතිගාමී බලවේගයන් එකතු වන ස්ථානය බවට පත්වෙමින් තිබේ යන්න දෙවැනි කරුන යි. කොන්ග්‍රසයට විරුද්ධ ව පෙර අධිරාජ්‍යවාදය රැඳුනු සියලු ම බලවේග දැන් කොන්ග්‍රසය තුලට ඇදී ඒමට පටන් ගත්තේ, අලුත් චුම්බකයකට යකඩ කුඩු ඇදෙන්නාක් මෙනි. වඩාත් වැදගත් ලෙස, කොන්ග්‍රසය මහජනයාට එරෙහි ව තවමත් බලවත් ජරපත් බලවේගවල දැනුවත් සංවිධායකා ද (ප්‍රතිසංවිධායකයා ද!) බවට පත් වී ඇත. 

මා අදහස් කරන දේ පැහැදිලි කිරීමට ඇති හොඳ ම උදාහරනය නම්, නේරු-පටෙල් ආන්ඩුව කුමාරවරුන් හා රාජ්‍යයන්හි මහජනයා පිලිබඳ ව ගෙන යන ප්‍රතිපත්තිය යි. මෙහි දී කොන්ග්‍රසය කුමාරවරුන් සමග ඇති ධනපති සම්බන්ධකම් නැවත අලුත් මුහුනුවරකින් පවත්වා ගැනීමේ ක්‍රියාවලියක් පටන් ගෙන තිබේ. මෙය අධිරාජ්‍යවාදීන් තමන් සමග සම්බන්ධකම් අලුත් මුහුනුවරකින් පටන් ගත්තාට වඩා කිසි වෙනසක් නැත.

නව තීව්‍රතාවකින් යුතු ව, මහජනයාගේ වෛරයට පාත්‍ර වූ, කුමාර ක්‍රමයේ ආයුෂ වැඩි කර තිබේ. එසේ කර තිබෙන්නේ, රාජ්‍යවල ජනයාගේ හා ඔවුන්ගේ අරගලයේ අභිලාෂයන් බිඳින්නා වූ නැවත කන්ඩායම් ගැසීමක් හා ප්‍රජාතන්ත්‍රවාදයට දෙන බොරු සහන මගින් ය. 

කතිවාරයේ හෝ කාශ්මීරයේ හෝ වේවා, හයිද්‍රාබාදයේ හෝ කොචින්හි වේවා, මෙම රාජ්‍යයන් ප්‍රතිසංවිධානය කිරීම හෝ ඉන්දීය ආන්ඩුව සමග ඒවායේ සම්බන්ධකම් ප්‍රතිසංවිධානය කිරීම යනු, කුමාරවරුන්ගේ බලය එලෙස ම පවත්වාගෙන යාම යි. වෙනත් වචනවලින් කිවහොත්, ප්‍රතිසංවිධානය කරන ලද අධිරාජ්‍යවාදී-ධනපති සන්ධානයට යලි සැකසූ ධනපති-වැඩවසම් සන්ධානයත් එකතු කර ඇත. දෙකේ ම ඓක්‍යය ප්‍රතිගාමී ය.

දැන් අපි, ආරම්භක ප්‍රශ්න දෙකට පිලිතුරු දීමට සුදුසු තත්ත්වයක සිටිමු. කොන්ග්‍රසය හා කොන්ග්‍රස පරිපාලන පිලිබඳ නිවැරදි ආකල්පය කුමක් ද? ඒවාට අදාල ව අපේ කර්තව්‍යයන් කවරේ ද? වාක්‍ය දෙකකින් පිලිතුරු දීමට හැකි ය. කොන්ග්‍රසයට හා කොන්ග්‍රස් පරිපාලනය කෙරේ නිවැරදි ආකල්පය නම් ක්ෂමා විරහිත දැඩි විරුද්ධත්වය යි. ඒවාට අදාල ව අපේ කාර්යයන් වන්නේ, පෙරලා දැමීම අරමුනු කොට ගෙන ඒවා ක්‍රමානුකූල ව හෙලිදරව් කිරීම යි. නිදහසට හා සමාජවාදයට වෙනත් මගක් නැත්තේ ම ය.          

Loading