"නිදහස් අධ්‍යාපනය වගේම නිදහස් සෞඛ්‍යයත් පුද්ගලීකරනය දිසාවටයි තල්ලු කෙරෙන්නේ”: රජයේ වෛද්‍යවරයෙක්

ඉල්ලීම් කිහිපයක් මත ජනවාරි 23 වෙනිදා ආරම්භ කෙරුන රජයේ වෛද්‍යවරුන්ගේ විරෝධතා උද්ඝෝෂනය දෙසතියක් ඉක්මවා ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (ජීඑම්ඕඒ) විසින් කැඳවා ඇති මෙම විරෝධතා උද්ඝෝෂනය ට එහි සාමාජිකයෝ 20,000 ක් පමන සහභාගී වී සිටිති. පෙබරවාරි 11 සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් සහ අතිරේක වෛද්‍ය නිලධාරින් සමග පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර කරන බව ජීඑම්ඕඒ නිවේදනය කර තිබේ.

2025 පෙබරවාරි 27 වැනි දින අයවැය කප්පාදූන්ට එරෙහි ව මහනුවර ශික්ෂන රෝහලේ විරෝධතාවයේ යෙදෙන හෙදියෝ

සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනය සහ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඇතුලු සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය (සවෘසස) ද වෛද්‍යවරුන්ගේ අරගලයට සහාය දැක්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගවලට එලඹෙන බව සඳහන් කර තිබේ. ජීඑම්ඕඒ සහ සවෘසස නායකයන්ගේ තර්ජන කෙසේවෙතත්, ඔවුන්ගේ සැබෑ අරමුන නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා කිරීමේ වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය සේවකයන්ගේ අව්‍යාජ අරගලයක් වර්ධනයවීම වලකාලීමයි.

ආන්ඩුව වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් එකහෙලාම ප්‍රත්කිෂේප කර ඇත. ජනවාරි 5 දා අමාත්‍ය මන්ඩල තීරන දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස වෛද්‍යවරුන්ගේ දීමනා පිලිබඳ ඉල්ලීම් ලබාදිය නොහැකි බව ප්‍රකාශ කල අතර ජනාධිපති අනුර කුමාර දිසානායක පෙබරවාරි 6 මහනුවර පැවති රැස්වීමක දී, 2027 වනතුරු රාජ්‍ය අංශයේ සේවකයන් ට කිසිදු වැටුප් වැඩිවීමක් කල නොකලහැකි බව අවධාරනය කලේය.

ඔහු එහි දී මෙසේ සඳහන් කලේය. :

“සමහර වෘත්තීය සමිති සැලකිය යුතු වැටුප් වැඩිවීමක් ලබා දී තිබියදීත්, දීමනා කිහිපයක් වැඩි කරන ලෙස ඉල්ලා සිටිනවා. එය සිදු වෙන්නේ නැහැ. වැටුප් වැඩිවීමේ තුන්වන වාරිකය ලබා දීමෙන් සහ අයවැයට එම වැටුප් වැඩිවීමේ බලපෑම තක්සේරු කිරීමෙන් පසුව පමනක් අපි වෙනත් දීමනා ගැන සලකා බලන්නෙමු. 2027 ජනවාරි මාසයේදී වැටුප් වැඩිවීමක් නියමිතව තිබිය දී දීමනා සඳහා අරගල කිරීම සාධාරන නො වේ”.

රාජ්‍ය අංශයේ වැටුප් ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම, ජනතා විමුක්ති පෙරමුන/ ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) නියමයන් මත ක්‍රියාවට දමන කප්පාදු වැඩපිලිවෙල යටතේ කම්කරු පන්තියේ රැකියා, වැටුප් සහ සේවා කොන්දේසිවලට එල්ල කෙරෙන ප්‍රහාරයේ කොටසකි. එහෙයින් ආන්ඩුවට පීඩනය යෙදීමෙන් හෝ ආයාචනය කිරීමෙන් වෛද්‍යවරුන්ට හෝ රාජ්‍ය අංශයේ කවර කම්කරු කොටසකට තම වැටුප් ඉල්ලීම් දිනාගත නොහැකිය.

සමාජවාදී සමානතා පක්ෂයේ සහ සෞඛ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයෝ පසුගිය දින කිහිපය තුල වර්ජිත වෛද්‍යවරුන් අතර මැදිහත් වෙමින් ආන්ඩුව ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම්, නිදහස් සෞඛ්‍ය සේවය විනාශ කිරීමේ සැලසුම් සහ වෘත්තීය සමිති නායකයන් ගේ ප්‍රතිගාමී ක්‍රියාකලාපය ගැනත් සමිති නිලධරයෙන් සහ ධනපති පක්ෂවලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු ගොඩ නගා ගනිමින් අරගලය සංවිධානය කිරීමේ වගකීම කම්කරුවන් විසින් තමන් අතට ගැනීමේ අවශ්‍යතාවය ගැන සාකච්ඡා කලහ.

උතුරු පලාතේ ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයක සේවය කරන වෛද්‍යවරයෙකු සෞඛ්‍ය සේවයේ පරිහානිය සහ තමන් මුහුන දෙන සේවා කොන්දේසි ගැන මෙලෙස පැහැදිලි කලේ ය:

“මම මෙහෙට එනකොට මේ සත්කාරක ඒකකය සම්පූර්නයෙන් ම පරිහානියට පත්වෙලා තිබුනේ. නාම පුවරුවක්වත් තිබ්බේ නැහැ. පුන්‍යායතන කීපයක ආධාරයෙන් අවශ්‍ය නඩත්තු කටයුතු කරල මේ තත්වෙට ගෙනාවේ. ලෙඩුන් බලන කාමරය වැස්සට තෙමෙනවා. වහින කොට වතුර උඩ ඉඳගෙන ලෙඩ්ඩු බලන්නේ. මෙ වැනි වෛද්‍ය මධ්‍යස්ථානයකට වෛද්‍යවරු දෙදෙනෙක් හෙදියක් සුලු සේවකයෙක් සහ ඩිස්පෙන්සර් කෙනෙක් අවශ්‍යයි. පොදුවේ හැම වෛද්‍ය සත්කාරක ඒකකයක ම ඉන්නේ එක වෛද්‍යවරයයි. හෙදියක් නැහැ. එක් සුලු සේවිකාවක් විතරයි ඉන්නේ. පිරිමි රෝගීන් බලා ගැනීමට පිරිමි සුලු සේවකයෙක් සිටිය යුතුයි. නමුත් නැහැ. හෙදියක් විසින් කල යුතු වැඩ කොටසත් වෛද්‍යවරයාට සහ සුලු සේවිකාවට ආවරනය කරන්න වෙනවා. වෛද්‍ය මධ්‍යස්ථානවල වාට්ටු නැති නිසා අතිකාල දීමනා ගෙවීමත් අඩුයි.”

බෝ නොවන රෝග සඳහා සායනය ට සහ බාහිර රෝගී අංශයට දිනපතා රෝගීන් 150කට ආසන්න පිරිසක් මෙම වෛද්‍ය මධ්‍යස්ථානයට එන බැවින් නිවාඩු ගැනීම අතිශය දුෂ්කර බවත් වෙනත් රෝහලකින් වෛද්‍යවරයෙකු නො පැමිනිය හොත් මධ්‍යස්ථානය වසා දමා නිවාඩු ගැනීමට සිදු වන බව ද ඔහු සඳහන් කලේ ය.

“හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් හෝ ඔවුන් වෙනත් රෝහලක ට යැවීමට ඇම්බියුලන්ස් එකක් හෝ කාර්ය මන්ඩලය නැහැ. මම වෛද්‍යවරුන්ගෙ වෘත්තීය ක්‍රියාමාර්ගයකින් බලාපොරොත්තු වෙන්නේ ගොඩනැගිලි, කාර්ය මන්ඩල සහ ඖෂධ හිඟයකින් තොරව අවශ්‍ය පහසුකම් ලබා ගැනීමයි. නමුත් ජීඑම්ඕඒ ඒ සඳහා අරගලයක් කරන්නේ නැහැ. අඩුම තරමින් රැස්වීම්වල දී මේ සම්බන්ධයෙන් අපෙන් අහන්නෙවත් නැහැ. මම මුහුන දෙන තත්වේ ගැන වෘත්තීය සමිති සහ පරිපාලන ආයතන ඇතුලු හැම එකකට ම කිව්වා. ප්‍රතිචාරයක් නැහැ. මේ අරගලය තුල ජීඑම්ඕඒ ඉදිරිපත් කරල තියෙන ඉල්ලීම් මේ ප්‍රශ්න විසඳා ගැනීමට ප්‍රමානවත් නැහැ” යැයි ඔහු සඳහන් කලේ ය.

මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන රෝහලක නිර්වින්දන අංශයේ වෛද්‍යවරයෙකු පැවසුවේ, ඔහු වර්ජනයට සහභාගි වූ නමුත්, ඒ ගැන කිසිම පැහැදිලි කිරීමක් ජීඑම්ඕඒ නොකල බවයි.

“ඉල්ලීම් අපි යෝජනා කරපුවා නෙවෙයි. සංගමයේ නිලධාරීන් විසින් සාමාජිකයින් මත පටවපුවා. ඒ ගැන කිසිම සාකච්ඡාවක් කලේ නැහැ. ඉතාම දියාරු ගතියක් වර්ජනය තුල තියෙන්නේ” යැයි ඔහු කිවේය.

“ඔබ පැහැදිලි කල විදිහට අයිඑම්එෆ් එන පඩි වැඩිවීමකට ඉඩ දෙන එකකුත් නැහැ. සෞඛ්‍යයට වෙන්කල මුදල සොච්චමක් බවත් මම පිලිගන්නවා. අධ්‍යාපනය වගේම සෞඛ්‍යයත් ක්‍රමයෙන් පෞද්ගලීකරනය කරා යනවා කියලයි හිතෙන්නේ”.

රෝගීන් මෙන්ම වෛද්‍යවරුන් ද රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ලබා ගැනීමේදී ප්‍රශ්න වලට මුහුනදෙන බව පැවසුවේ උදාහරන ද සපයමිනි. “මට එම්ආර්අයි (MRI) එකක් කරගන්න සිද්ධ වුනා. ඉතා අපහසුවෙන් දින අරගෙන තමයි කරගත්තේ. සාමාන්‍ය මහජනයා මුහුන දෙන තත්වය ගැන කුමන කතා ද?”

2022 මහජන නැගිටීම ගැන ඔහු මෙසේ පැවසීය: “2022 කම්කරුවන්ට බලය ගන්න තිබුන බව ඉතා පැහැදිලියි. නමුත් ඒ සඳහා නායකත්වයක් තිබුනේ නැහැ. ඒ නිසා ඔබ කියන ආකාරයට කම්කරු පන්තිය දේශපාලනිකව දැනුවත් කිරීමෙන් තොරව බලය ලබාගන්න පුලුවන්කමක් නැහැ. ඒ සඳහා සෝෂලිස්ම් ඒඅයි ශක්තියක් වෙයි කියලා විශ්වාස කරනවා.”

වෛද්‍යවරුන්ට වෙනම සේවා ප්‍රවර්ගයක් ලෙස ස්ථාපිත කිරීමේ ඉල්ලීමට තමන් මුලින් පක්ෂ ව සිටි බවත් සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටු සාමාජිකයන් ගේ පැහැදිලි කිරීමෙන් පසු එය වෛද්‍යවරුන් සහ සෙසු සෞඛ්‍ය සේවකයන් අතර භේද නිර්මානය කිරීමට තුඩුදෙන කට්ටිවාදී ඉල්ලීමක් බවත්, එම රෝහලේ මානසික වෛද්‍ය ක්ෂේත්‍රය ට සම්බන්ධ වෛද්‍යවරයෙකු සඳහන් කලේ ය.

“පහුගිය දිනවල මම සෞඛ්‍ය කඳවුරු වලට ගියා. ඒවා සංවිධානය කෙරුනේ දිට්වා සුලිකුනාටුවෙන් විපතට පත් මාධ්‍යම කඳුකර ජනතාවගේ මානසික ගැටලු විසඳන්න. ඒක බොරු වැඩක්. ආහාර සහ නිවාස ඇතුලු මූලික පහසුකම් සම්පාදනය කිරීමෙන් තොරව ඔවුන්ගේ මානසික සෞඛ්‍ය කිසිවිටෙකත් නඟා සිටුවිය නොහැකියි”.

“ඔබ ප්‍රකාශ කල විදිහට අයිඑම්එෆ් කප්පාදු යටතේ සෞඛ්‍ය සේවය ඇතුලු සුභසාධනයට ආන්ඩුවෙන් වෙන්කරන මුදල දිනෙන් දිනම කප්පාදු කරනවා. මෙම ප්‍රශ්නවල මූලය පවතින්නේ, නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය සහ ලාභය මත පාදක වූ ධනේශ්වර ක්‍රමය තුල බව පැහැදිලියි. සෞඛ්‍ය සේවයේ තියෙන බරපතල අඩු-පාඩු එහි ප්‍රතිඵලයක් කියන කාරනාවට මා එකඟයි.”

රෝගීන් ප්‍රශ්න වලට මුහුන දෙනවා සේම ඔවුන් ට ප්‍රතිකාර කිරීමේ දී වෛද්‍යවරුන් ඇතුලු රෝහල් කාර්ය මන්ඩල මත ඉමහත් පීඩනයක් යෙදෙන බව පවසමින් ඔහු මෙසේ කීවේය. “ඔබ කිව්වා වගේ බලයට පත්වෙන කිසිම ධනපති ආන්ඩුවක් මේ ප්‍රශ්න විසඳන්නේ නැහැ. ඒ නිසා විකල්ප පාලන ක්‍රමයක් අවශ්‍යයි. ඒ සඳහා ඔබ යෝජනා කරන කම්කරු පන්තියේ සමාජවාදී දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගන්න ඔබත් සමග සම්බන්ධ වීමටත් ඒ සඳහා මුදලින් ආධාර කිරීමටත් මම බලාපොරොත්තු වෙනවා. නමුත් මට තව පැහැදිලි කර ගත යුතු ප්‍රශ්න තියෙනවා. ඒවා නිරාකරනය කර ගැනීම සඳහා මා උත්සහ කරනව. ඒ සඳහා සෝෂලිසම් ඒඅයි මා අනිවාර්යෙන්ම භාවිතා කරනවා”.

මහනුවර වෙනත් රෝහලක වෛද්‍යවරියක් මෙසේ පැවසුවාය:

“අපේ වැඩ වර්ජනය සම්බන්ධයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල වූ ලිපිය මම කියෙව්වා. ඒක මට අලුත්. වෙනම කෝනයකින් මේ ප්‍රශ්නය දෙස බැලීමක්. අපි මේ ප්‍රශ්න දිහා මේ විදිහට පලල් ආකාරයකට බලල නැහැ. ඇත්තටම වෛද්‍යවරු ඔවුන්ගේ ඉල්ලීම් ගැන විතරක් හිතලා බැහැ. අනෙක් අයගේ ප්‍රශ්න දිහාත් බලලා හැමෝම එකට එකතුවෙලා සටන් කිරීම අවශ්‍ය යි. ඔබ කියනවා වගේ වෘත්තීය සමිති පෙරමුනු හැදුවට සැබෑ අරගලයක් කරන්න බැහැ. කම්කරු පන්තිය එකතු විය යුතුයි. ආන්ඩුව ඉල්ලීම් නො දෙන්න ප්‍රධානම හේතුව අයිඑම්එෆ් නියෝග කියන එකට මා එකඟයි. ආන්ඩුවට දැන් ඊට පිටින් මූල්‍ය තීන්දු ගන්න බැහැ”.

ජීඑම්ඕඒ ඉල්ලීම් දෙකක් වන පිටින් බෙහෙත් ගැනීම ට තුන්ඩු ලිවීම ප්‍රතික්ෂේප කිරීම සහ බාහිර පරීක්ෂන නිර්දේශ නොකිරීම ගැන සඳහන් කරමින් ඇය පැවසුවේ කල යුතුව තිබෙන්නේ ඒ පහසුකම් රෝහල්වල ට ලබා දිය යුතුයැයි ඉල්ලා අනෙක් සෞඛ්‍ය සේවකයන් සමග එක්ව සටන් කල යුතු බවයි.

“එහෙම කලානම් අනෙකුත් කම්කරුවනුත් මේ වර්ජනයට සහය දෙයි. වැටුප් වැඩිවීම හැමෝට ම විය යුතුයි. උද්ධමනයත් එක්ක ජීවන වියදම් වැඩිවෙලා තියෙන්නේ. හැමෝටම ජීවත් වෙන්න පුලුවන් වැටුපක් ලැබෙන්න ඕන. ඔබ කියනව වගේ සෑම කම්කරුවෙකුට ම සීලාචාර විදිහට ජීවත් වෙන්න පුලුවන් වැටුපක් ලැබිය යුතුයි. කිසිම දේශපාලන පක්ෂයක් වෘත්තීය සමිතියක් එහෙම ඉල්ලීමක් කරලා නැහැ”.

විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කල යුතුයි යන සෞඛ්‍ය ක්‍රියාකාරී කමිටුවේ ඉල්ලීම ගැන මෙසේ ප්‍රශ්න කලාය:

“ගත්ත නය නොගෙවා ඉන්න පුලුවන් ද? එහෙම කලොත් අපි බංකොලොත් රටක් ලෙස නම් කරයි නේද? එතකොට ආනයන නවතියි නේද? ඒ නිසා අපිට වාරික ගෙවීම පමා කරලා හරි පස්සේ නය ගෙවන්න වෙයි නේද”.

සෞඛ්‍ය ක්‍රියාකාරී කමිටු සාමාජිකයෝ, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 නොවැම්බර් 21 දින පල වූ

ලංකාවේ කම්කරුවන් සියලු විදේශ නය ආපසු ගෙවීම ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිටිය යුත්තේ ඇයි?” යන ලිපියේ එන පහත ඡේදය ආශ්‍රයෙන් එය පැහැදිලි කලේය:

“අධිරාජ්‍යවාදී බලවතුන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ඔවුන්ගේ ඒජන්සි, මූල්‍යමය සම්බාධක සහ වෙනත් පලිගැනීම් ඇතුලුව, (විදේශ නය ප්‍රතික්ෂේප කරන) ලංකාවේ එවැනි ආන්ඩුවක ගෙල සිර කිරීමට උත්සාහ නොකරන්නේද? ඇත්ත වශයෙන්ම ඔවුන් එසේ කරනු ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් අනිවාර්යයෙන් ම ආයාචනා කරනු ලබන, මෙම අධිරාජ්‍යවාදී බලයන්ටත් වඩා බලගතු සමාජ බලවේගයක් ඇත—එනම්, ජාත්‍යන්තර කම්කරු පන්තිය යි.”

ජාත්‍යන්තර කම්කරු පන්තියේ ශක්තිය මත විදේශ නය ආපසු ගෙවීම ප්‍රතික්ෂේප කලහැකි බව පිලිගනිමින් ඇය මෙසේ කීවාය:

“ඇත්තටම මේ දේවල් ගැන බහුතරයක් දන්නේ නැහැ. කම්කරුවෝ ඒ කාරනාව තේරුම් ගත්තොත් එය පොදු ඉල්ලීමක් වේවි. නය නොගෙවන එක ලංකාවේ කම්කරුවන්ට තනියම කරන්න බැහැ ඒ සඳහා කම්කරුවන්ගෙ, ගොවියන්ගෙ ආන්ඩුවක් පිහිටුවිය යුතු බවත්, ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහය අත්‍යවශ්‍ය බවත් මට වැටහුනා. ඔබ කල පැහැදිලි කිරීම් වලින් මම බොහෝ දේවල් තේරුම් ගත්තා. මම තවදුරටත් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලිපි කියවලා බලන්නම්.”

Loading