ජනවාරි 24 වැනි දා, ටෙක්සාස්හි ඩිලීහි පිහිටි දකුනු ටෙක්සාස් පවුල් නේවාසික මධ්‍යස්ථානය තුල සිරගත කර සිටින සංක්රමනික පවුල්, තමන් නියමිත කාල සීමාවකින් තොරව රඳවා තබා ගැනීම හෙලා දකිමින් සහ තම දරුවන්ට නිදහස ඉල්ලා විරෝධතාවක් පැවැත්වූහ.
“අපිව එලියට දානු!” සහ “ලමයින්ට නිදහස!” යන ඔවුන්ගේ ඝෝෂා, කටු කම්බිවලින් කොටු කල සංකීර්නය පුරා දෝංකාර දුන් අතර, ආගමන නීතිඥ එරික් ලී විසින් ඒවා වීඩියෝ ගත කර ගත්තේ ය.
ජනවාරි 24 වැනි දා, සෙනසුරාදා ඩිලී සිර අංගන තුල දුසිම් ගනනක් මව්වරුන්, පියවරුන් සහ දරුවන් රැස්ව සිටි බවත්, බොහෝ දෙනා අධි ශීත කාලගුනය නිසා ජැකට් ඇඳගෙන සිටි බවත් අතින් ලියූ පුවරු අල්ලා ගෙන සිටි බවත් ලී වාර්තා කලේ ය.මෙම ස්ථානයේ රැඳවියන්ගෙන් සියයට 80ක් පමන විරෝධතා ක්‍රියාමාර්ගයට එක් වූහ. මෙම අංගනය තුල රැඳවියන් 1,200ක් රඳවා තබා ඇති අතර, ඉන් තුනෙන් එකක් දරුවන් ය.
ගුවන් ඡායාරූපවලින් පෙන්නුම් වූයේ අභ්‍යන්තර වැට සීමාවට එරෙහිව ලමයින් තද කර සිටින ආකාරයත්, සමහරු “Libertad para los niños” (“ලමයින්ට නිදහස”) යනුවෙන් කියවෙන පෝස්ටර් ඔසවා සිටින බවත් ය. අනෙක් ලමෝ තම දෙමාපියන් සමඟ “Libertad!” සහ “Let us go!” යන ඝෝෂා හඬ නැඟූහ. එම හඬ සංකීර්නයෙන් පිටතට පැහැදිලි ව ඇසෙන්නට විය.

ලී X හි පල කල වීඩියෝවල, රැඳවියන්ගේ හඬවල් එකාවන් ව ඝෝෂා නගනුත් අත්පුඩි ගසනුත් ඇසෙයි; ඩිලී පවුල් රැඳවියන්ගේ “ප්‍රධාන විරෝධතාවක්” ලෙස ඔහු හැඳින්වූ දේ පටිගත කිරීම හා ලේඛනගත කිරීම නවත්වන ලෙස කාර්ය මන්ඩල සාමාජිකයෙක් ලීට බල කරයි.
ලී එක් වීඩියෝවක මෙසේ පවසයි: “අප සියලු දෙනාට පිටව යන ලෙස බල කෙරුනා. ඉදිරියෙන් ඩ්‍රෝන යානයක් පියාසර කරනවා. මෙය අතිශය අසාමාන්‍ය තත්වයක්. ‘අපිව එලියට දාන්න! අපිව එලියට දාන්න!’ යන ඝෝෂා හඬ ඔබට පැහැදිලිව ඇසෙනවා. මට පෙනෙන පැල්ම හරහා බැලූ විට, පුද්ගලයන් සිය ගනනක් සිටින බවක් පෙනෙනවා.”
තවත් සටහනක, ලී එම විරෝධතාවය “රටට සහ ලෝක ජනතාවට ඔවුන්ගේ සහය සඳහා පැමින, මෙම ස්ථානයෙන් ඔවුන් සියල්ලන්ම නිදහස් කරන ලෙස කරන ආයාචනයක්” ලෙස විස්තර කරයි.
කෙටි වීඩියෝ ක්ලිප් සහ ලිඛිත යාවත්කාලීන කිරීම් පැය කිහිපයක් ඇතුලත දහස් වාර ගනනක් බෙදාගෙන නැවත පල කරනු ලැබූ අතර, එමඟින් ඩිලී විරෝධතාව ට්‍රම්ප් පරිපාලනය විසින් සංක්රමනිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට එරෙහිව පවත්වා ගත් ත්‍රස්තවාදී තන්ත්රයට විරුද්ධ ප්‍රතිරෝධය පිලිබඳ පුලුල් ලෙස වාර්තා වූ උදාහරනයක් බවට පත් විය.
ඔක්තෝබර් මාසයේ සිට ඇගේ නව හැවිරිදි දියනිය සමඟ ඩිලීහි සිරගත කර සිටිනු ලබන, 31 හැවිරිදි මාරියා ඇලෙයන්ඩ්රා මොන්ටෝයා සැන්චෙස් නම් මවක්, විරෝධතාවයේ නිරත වූවන්ගේ හැඟීම් සාරාංශ කරමින් මෙසේ පැවසුවාය: “අපි දරුවන් සමඟ සිටින සංක්‍රමනිකයෝ මිස අපරාධකරුවන් නොවේ.” ඇය ඇතුලත සිට දුරකථන මාර්ගයෙන් ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තාකරුවෙකුට මෙසේ පැවසුවා ය: “අප විසින් යැවීමට අවශ්‍ය පනිවිඩය නම්, ඔවුන් අපට ගෞරවයෙන් හා නීතියට අනුව සැලකිය යුතු බවයි.”
මූලික ව්‍යවස්ථාමය සහ ජාත්‍යන්තර ආරක්ෂනයන් උල්ලංඝනය කරමින් නියමිත කාල සීමාවකින් තොර ව රඳවා තබා ඇති අය අතරට අයත් හයාම් එල්-ගමාල් සහ ඇගේ දරුවන් පස් දෙනා නියෝජනය කරමින් ලී ඩිලීහි පෙනී සිටියේ ය. එම පවුල මාස හතක් තිස්සේ එහි රඳවා තබා ඇත.
ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රාන ඇපකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා කොලරාඩෝහි පැවති විරෝධතාවයකට ගිනි බෝම්බ [පුපුරා යනු වෙනුවට ගින්නක් ඇති කරවන බෝම්බ - සංස්.] එල්ල කිරීමේ චෝදනාවට ලක් වූ මොහොමඩ් සොලිමන් සමඟ ඔවුන්ගේ සම්බන්ධතාවය හේතුවෙන්, එල්-ගමාල් සහ ඇගේ දරුවන් ට්‍රම්ප් පරිපාලනය විසින් දඬුවම් සඳහා ඉලක්ක කරනු ලැබ ඇත.
සොලිමන් අපරාධ නඩුවකට මුහුන දෙන අතර, කිසිදු අපරාධයක් සිදු කර නැති ඔහුගේ බිරිඳ එල්-ගමාල් සහ දරුවන් ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව (DHS) විසින් අල්ලාගෙන ආගමන රැඳවුම් භාරයේ සිර කර ඇත. ලී සහ අනෙකුත් අය මෙය සාමූහික දඬුවමක් ලෙසත්, ප්‍රහාරයක් සිදු කල බවට චෝදනා ලබන පුද්ගලයෙකු සමඟ පවුල් සම්බන්ධතාවය පමනක් “වරද” කරගෙන මවක් සහ දරුවන් නීති විරෝධී ලෙස දිගටම රඳවා තබා ගැනීමක් ලෙසත් හෙලා දකිති.
2025 ජුනි 3 වන දින, නීති බලධාරීන් ඔවුන්ගේ නිවස සෝදිසි කිරීමෙන් අනතුරුව, ICE නියෝජිතයන් එල්-ගමාල්ට, ඇය සහ දරුවන් තාවකාලික ව නවාතැන් ගෙන සිටි හෝටලය “අනාරක්ෂිත” බවත්, එම ස්ථානයෙන් පිට ව යා යුතු බවත් පැවසූහ. එයින් පසු, ඔවුන් අත්තඩංගුවට ගෙන පලමුව කොලරාඩෝ ප්‍රාන්තයේ ෆ්ලෝරන්ස් හි ආගමන රැඳවුම් මධ්‍යස්ථානයකට ප්‍රවාහනය කෙරුනු අතර, එදින සවස ඔවුහු සැන් ඇන්ටෝනියෝ වෙත ගුවන් මඟින් රැගෙන යනු ලැබ, පසුව ඩිලී වෙත ගෙන එන ලදහ.
එල්-ගමාල්ගේ නීතිඥයින් පවුල ඩිලී වෙත ලඟා වීමට මිනිත්තු 45කට පමන පෙර මාරු කිරීම නවත්වන ලෙස හදිසි පෙත්සමක් ගොනු කල බව ෆෙඩරල් විනිසුරුවරයෙකු පසුව පිලිගෙන සඳහන් කලේ ය. එහෙත්, එම පෙත්සම අධිකරනයට ලඟා වන විටත් ඔවුන් දැනටමත් ප්‍රාන්ත සීමාවන් ඉක්මවා ගොස් තිබූ බැවින්, නඩුව ටෙක්සාස් ප්‍රාන්තයේ විභාග කල යුතු බවට ඔහු තීන්දු කලේ ය.නඩුවක් සහ ප්‍රසිද්ධ ප්‍රකාශයක් හරහා, එල්-ගමාල් සහ එරික් ලී තර්ක කරන්නේ පස්වන සංශෝධනය උල්ලංඝනය කරමින් ඇය සහ ඇගේ දරුවන් දඬුවම් කරමින් සිටින බවයි. හයාම් එල්-ගමාල්ගේ දරුවන් පස් දෙනාගේ වයස් අවුරුදු 18, 15, 7 වන අතර අවුරුදු 5 නිවුන් දරුවන් දෙ දෙනෙකි.
ට්‍රම්ප් පරිපාලනය, දඬුවම් කිරීමට සහ හුදකලා කිරීමට ඉලක්ක කරගත් පවුල් රඳවා තබා ගැනීම සඳහා ඩිලී හි බන්ධනාගාර කඳවුර දේශපාලන සිරගාලක් ලෙස භාවිතා කරන බව, ලීගේ පුලුල් ලෙස පැතිර ගිය සටහන් හෙලි කරයි.සංක්රමනිකයින්ට සහ පලස්තීන හිතවාදී විරෝධතාකරුවන්ට එරෙහි පුලුල් මර්දන රැල්ලක් සමඟ මෙම විරෝධතාවය සම්බන්ධ කරමින්, සමහර රැඳවියන් තමන්ගේ රඳවා තබා ගැනීම විරෝධතාකරුවන් සහ අභයභූමි නගර ඉලක්ක කරගත් එකම ජාතික මර්දන ව්‍යාපාරයේ කොටසක් ලෙස දකින්නේ යැයි ලී පැවසීය.
ජනවාරි 24 වැනි දා පැවති විරෝධතාවය, සතිය මුලදී මිනියාපොලිස් ප්‍රදේශයේ ඔවුන්ගේ නිවසින් පිටතදී ෆෙඩරල් නියෝජිතයන් විසින් අල්ලා ගන්නා ලද පස් හැවිරිදි ලියම් කොනෙජෝ රාමෝස් සහ ඔහුගේ පියා ඒඩ්‍රියන් ඇලෙක්සැන්ඩර් කොනෙජෝ ඇරියස් ඩිලී වෙත මාරු කිරීමත් සමඟ එම දිනයේම සිදු විය.
ගෙමිදුල් පිවිසුමේ දී ICE නියෝජිතයන් ඒඩ්‍රියන්ව රඳවා ගත් අවස්ථාවේ, නිවසින් පිටත සිටි තවත් පවුලේ වැඩිහිටි සාමාජිකයෙකු දරුවා රැගෙන නොයන ලෙස නිලධාරීන්ගෙන් අයැද සිටියද එය ප්‍රතික්ෂේප කල ආකාරය පාසල් නිලධාරීහු සහ පවුලේ නීතිඥවරයා විස්තර කලහ.
කොලොම්බියා හයිට්ස් පොදු පාසල් අධිකාරිනී සීනා ස්ටෙන්වික් පවසන පරිදි, පසුව ICE නියෝජිතයෙකු තවමත් ධාවනය වෙමින් තිබූ වාහනයෙන් ලියම්ව ඉවත් කර, ඔහුව නිවසේ ඉදිරිපස දොර වෙත ගෙන ගොස්, ඇතුලත කිසිවෙකු සිටීදැයි නිලධාරීන්ට දැකගැනීමට තට්ටු කරන ලෙස උපදෙස් දුන්නේය. මෙය ප්‍රායෝගිකව අවුරුදු 5ක දරුවෙකු ඇමක් ලෙස භාවිතා කිරීමකි. ඉන් අනතුරුව, පිරිමි ලමයා ඔහුගේ පියා සමඟ ඔහුගේ මවගෙන් සැතපුම් සිය ගනනක් දුරින් පිහිටි ටෙක්සාස් වෙත ගුවන් මඟින් රැගෙන යන ලදී.
ඉක්වදෝරයෙන් පැමිනි මෙම පවුල, 2024 දෙසැම්බර් මාසයේදී සරනාගතභාවය පතා එක්සත් ජනපදයට ඇතුලු වූ අතර, අනතුරෙන් පලා යන අය සඳහා නියමිත නීතිමය ක්‍රියා පටිපාටිය අනුගමනය කලහ. ඔවුන්ගේ නීතිඥ මාර්ක් ප්රොකොෂ් අවධාරනය කලේ, “ඔවුන් කල යුතු සියල්ල නිවැරදිව කර ඇත” යනුවෙනි. “පවුල සරනාගතභාවය පතමින් සිටින අතර, එය නීත්‍යානුකූලය,” යනුවෙන් පවුලේ නීතිඥයා අවධාරනය කලේය. පස් හැවිරිදි දරුවෙකු ඔහුගේ නිවසින් ඉවත් කිරීම සාධාරනීකරනය කිරීමට උත්සාහ කරන DHS නිලධාරීන්, පිරිමි ලමයා රැගෙන ගියේ ඔහුගේ පියා ඔහු සමඟ රැඳී සිටීමට ඉල්ලා සිටීමෙන් පසුව පමනක් බවත්, මව භාරකාරත්වය භාර ගැනීමට ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කල බවත් කියා සිටියහ. එහෙත්, මෙම ප්‍රකාශ සියල්ල පවුල දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇත.
සංක්රමනික ප්‍රජාවන්ට සහ ICE විරෝධී විරෝධතාකරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වන වැටලීම් සහ රඳවා තබා ගැනීම්වල පුලුල් රටාවට විරුද්ධව, ලියම් සමඟ සහයෝගීතාවයෙන් පවුල් එක් රැස් වීමත් සමඟ මෙම විරෝධතාව ආරම්භ වූ බව තම සේවාදායකයින් තමන්ට පැවසූ බව ලී සඳහන් කලේය.
තරුන නීති පිලිබඳ ජාතික මධ්‍යස්ථානයේ නේහා දේසායි, මෙම සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් මෙසේ පැවසුවාය: “ඩිලී හි වත්මන් තත්වය කුඩා දරුවන්ට තබා , කිසිවෙකුටම මූලික වශයෙන් අනාරක්ෂිතය… ලදරුවන් සහ කුඩා දරුවන් ඇතුලු පවුල් සිය ගනනක් ප්‍රමිතියෙන් තොර වෛද්‍ය ප්‍රතිකාරවලට, පහත් හා දරුනු සැලකිලිවලට, සහ අතිශයින් දිගු කාලයක් රඳවා තබා ගැනීම්වලට ලක් කර ඇත.”
ඩිලී නම් කුඩා නගරය අසල පිහිටා ඇති, පෞද්ගලික බන්ධනාගාර සංස්ථාවක් විසින් ෆෙඩරල් කොන්ත්‍රාත්තුවක් යටතේ ක්‍රියාත්මක කරනු ලබන දකුනු ටෙක්සාස් පවුල් නේවාසික මධ්‍යස්ථානය, එක්සත් ජනපදයේ විශාලතම පවුල් රැඳවුම් මධ්‍යස්ථානය වේ.වසරකට ඩොලර් මිලියන 260ක ඇස්තමේන්තුගත වියදමක් යටතේ අක්කර 50ක භූමි භාගයක ඉදිකරන ලද මෙය, මධ්‍යම ඇමරිකාවේ ප්රචන්ඩත්වයෙන් පලා ගොස් එක්සත් ජනපදයේ සරනාගතභාවය පතා පැමිනි කාන්තාවන් සහ ලමුන් සඳහා “නේවාසික” විකල්පයක් ලෙස මුලින් ප්‍රවර්ධනය කරනු ලැබීය.
මෙම ස්ථානයේ අවට වැටක් සහ කැමරා, ලෝහ අනාවරක හරහා පාලිත ප්‍රවේශය, සහ “නේවාසික අධීක්ෂකවරුන්” ලෙස හඳුන්වන ආරක්ෂක භටයින් සහිත අධි ආරක්ෂිත ගාල් කඳවුරක් ලෙස ක්‍රියා කරයි.පසුගිය දශකය පුරා නිකුත් වූ වාර්තාවල ජනාකීර්න තත්ත්වයන්, නිරන්තර හිස් ගනන් කිරීම් සහ ඇඳ පරීක්ෂාවන්, මෙන්ම භීතියෙන් පිරි වාතාවරනයක් ඇති අතර, එය ඩිලී බන්ධනාගාරයක් නොවන බවට DHS කරන ප්‍රකාශන සම්පූර්නයෙන්ම බොරු බව හෙලි කරයි.
මෙම ස්ථානයේ ආසන්න වශයෙන් පුද්ගලයින් 2,400ක් රඳවා තැබීමේ හැකියාව ඇත. එහි කේන්ද්‍රීය අරමුන වන්නේ ආගමන විභාග සඳහා බලා සිටින හෝ ඉවත් කිරීමේ නියෝගවලට එරෙහි ව අභියාචනා කරන පවුල් රඳවා තැබීමේ “ගබඩා කාමරයක්” ලෙස ක්‍රියා කිරීමයි. මෙම ක්‍රියාවලිය බොහෝ විට 1997 ෆ්ලෝරස් බේරුම්කරනය සෘජුවම උල්ලංඝනය කරයි. එම බේරුම්කරනයට අනුව, ආගමන භාරයේ සිටින දරුවන් අවම සීමා සහිත පසුබිමක තබා, ඥාතීන්ට හෝ බලපත්‍රලාභී වැඩසටහන් වෙත ‘අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව’ භාර දිය යුතු ය.
ට්‍රම්ප්ගේ පුනර්ජීවනය කරන ලද පවුල්-රැඳවුම් ප්‍රතිපත්තිය යටතේ, ඩිලී සරනාගතයින් සහ මිශ්‍ර-තත්ත්ව පවුල් රඳවා තැබීමට භාවිතා කරන කඳවුරු, බන්ධනාගාර සහ “නේවාසික මධ්‍යස්ථාන” ඇතුලත් රටපුරා පද්ධතියක ප්‍රධාන කොටසක් බවට පත්ව ඇත. ඒ සමඟම, ටෙක්සාස් රාජ්‍ය නිලධාරීන් ටෙක්සාස් මහජන ආරක්ෂාව පිලිබඳ දෙපාර්තමේන්තුව සහ ප්‍රාදේශීය ෂෙරිෆ්වරුන් ඇතුලුව ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව (DHS) සමඟ තම සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කර ඇති අතර, ඔවුහු ලේඛනගත නොකල සංක්රමනිකයන් දහස් ගනනක් අත්අඩංගුවට ගෙන ඔවුන් ICE සහ DHS භාරයට “පැවරීමට” ක්‍රියා කරති.
ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයට නැවත පැමිනීමෙන් පසු වසර තුල, ඩිලී විරෝධතාව මගින් DHS හි සාපරාධී ස්වභාවය විවෘතව හෙලිදරව් කෙරෙයි. දකුනු සීමාවේ “ආක්රමනයක්” සහ ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, ට්‍රම්ප් ඇමරිකානු ගෙස්ටාපෝවක් ලෙස ෆෙඩරල් ආගමන නියෝජිතයන් මුදා හැර, අලුයම නිවාස වැටලීම්, පාසල් සහ සේවා ස්ථානවල අත්අඩංගුවට ගැනීම්, දින නියමයක් නොමැතිව රඳවා තබා ගැනීම් සහ නීති විරෝධී පිටුවහල් කිරීම් සිදු කරමින් සිටී.
2025 වසර තුල අවම වශයෙන් පුද්ගලයින් 31 දෙනෙකු ICE අත්අඩංගුවේ මිය ගොස් ඇති අතර, එය දශක දෙකකට සමාන වශයෙන් වාර්ෂික ඉහලම සංඛ්‍යාවයි. 2026 මුල් දිනවල දී, ICE එහි ස්ථානවල අමතර මරන හතරක් වාර්තා කර ඇත. එම මරන සියල්ල ම වයස අවුරුදු 42 ත් 68 ත් අතර පිරිමින් වන අතර, මර්දන ක්‍රියාමාර්ග ආරම්භ වූ සිට දක්වා ICE අත්අඩංගුවේ දී එලිදරවු වූ මරන 34 ක් හෝ 35 ක් පමන වාර්තා වී ඇත.
