අයිඑම්එෆ් කප්පාදු සමාජ අර්බුදය ගැඹුරු කරද්දී එහි ප්‍රධානියා ලංකාවේ “සාර්ථකත්වයේ කතාව” උත්කර්ෂයට නංවයි

[මෙය IMF chief hails Sri Lanka “success story” as its austerity agenda deepens social crisis මැයෙන් 2026 පෙබරවාරි 25දා පල කල ලිපියේ පරිවර්තනයයි.]

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) විස්තීර්න අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ, ශ්‍රී ලංකාව “සාර්ථකත්වයේ කතාවක්” ලෙස යලි යලිත් උත්කර්ෂයට නැංවූ අයිඑම්එෆ් කලමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීවාගේ තුන් දින සංචාරය, ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුවේ පන්ති ස්වභාවය යලි වතාවක් හෙලිදරව් කර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක, අයිඑම්එෆ් කලමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීවා හමු වෙයි [Photo: X/Anura Kumara Dissanayake]

මාධ්‍ය වාර්තාවන්ට අනුව, අයිඑම්එෆ් සංචාරයේ අරමුන වූයේ, පසුගිය දෙසැම්බරයේ දී පුද්ගලයන් මිලියන 2.3කට අධික ප්‍රමානයකට බලපාමින්, පුද්ගලයන් 1,000ක් පමන ඝාතනය කර, නිවාස හා තීරනාත්මක යටිතල පහසුකම් විනාශ කල, දිත්වා සුලි කුනාටුව මගින් ජනනය කරන ලද විනාශය “තක්සේරු කිරීමයි.”

එම ව්‍යසනයෙන් ආසන්න වසයෙන් මාස තුනකට පසු ව, පවුල් දහස් ගනනක පොඩි පට්ටම් වුනු ජීවිත යලි ගොඩනැගීමට හෝ විනාශභාග වුනු යටිතල පහසුකම් ප්‍රතිස්ථාපනය කිරීමට, ජවිපෙ/ජාජබ ආන්ඩුව වේවා, ප්‍රධාන ජාත්‍යන්තර බලයන් වේවා, අවශ්‍ය කරන සම්පත් සම්පාදය කිරීමට කිසිවක් කර නැත. සුලි කුනාටුවෙන් ජනනය කරන ලද ගංවතුර හා නායයාම් හේතුවෙන්, සියල්ල අහිමි වූ පවුල්වලට ස්ථීර නිවාස ඇතුලු ප්‍රමානවත් සහන ලබා දීමට ආන්ඩුව අසමත් වීම, වැඩ කරන ජනයා හා ගම්බද දුගීන් අතර කෝපය පැන නංවමින් තිබේ.

දිත්වා සුලි කුනාටුවෙන් නිර්මානය කෙරුනු විනාශය හේතුවෙන්, රුදුරු අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙලින් අපගමනය වීමක් සාධාරනීකරනය කල නො හැකි බව ජෝර්ජීවා පැහැදිලි කලා ය. “තත්ත්වයන් වෙනස් වන විට නම්‍යශීලී වන පරිදි අයිඑම්එෆ් වැඩසටහන් සැලසුම් කරනවා” යි ඇය කීවා ය. එහෙත්, මෙම “නම්‍යශීලීත්වය” මෙහෙයැවෙන්නේ, මුලුමනින් ම නය ගෙවීමේ තිරසර භාවයේ හා නය දෙන්නන්ගේ විශ්වාසයේ සීමාවන් ඇතුලත ය. මූල්‍ය ඉලක්කවලට බල නො පාන පරිදි ආපදා සහන පරිපාලනය කල යුතු ය. සුලි කුනාටුව පහර දීමට පෙර සූදානම් කරන ලද ආන්ඩුවේ 2026 අයවැය එලෙස ම පවතිනු ඇත. කිසිදු පිලිවෙත් වෙනසක් සිදු නො වේ.

අයිඑම්එෆ්, එහි “ක්ෂනික මුල්‍යකරන මෙවලම (Rapid Financing Instrument)” යටතේ, එක්සත් ජනපද ඩොලර් මිලියන 205 ක නයක් ඉක්මනින් ම වෙන් කල අතර, ලංකාව ප්‍රවේසම් සහගත මූල්‍ය කලමනාකරනයක් අඛන්ඩ ව පවත්වා ගනිමින්, සංචිත සමුච්ඡය කරගත යුතු බව හා අනවරත ව නය බර අඩු කර ගත යුතු බව, වෙනත් අයුරකින් කිවහොත් රුදුරු කප්පාදු වැඩසටහන අකුරට ම ක්‍රියාවට දැමිය යුතු බව, ජෝර්ජීවා අවධාරනය කලා ය.

ජෝර්ජීවා, ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැතිනි හරිනි අමරසූරිය හා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමු වූවා ය. “ශ්‍රී ලංකාව සෑහෙන දුරක් පෙරට ඇවිත් තිබෙනවා. ආන්ඩුවේ ප්‍රතිසංස්කරන වැඩසටහන රටට හා එහි ජනතාවට ආධාර කරනවා. මෙම මාවතේ රැඳී සිටීමේ වැදගත් කම මම අවධාරනය කරනවා“ යි අයිඑම්එෆ් ප්‍රධානියා ඇයගේ සංචාරයෙන් පසු X සමාජ මාධ්‍යයේ සටහන් කලා ය.

2024 දී සියයට 5ක් පමන වූ වර්ධන රේට්ටුව, 2025 දී තවත් විස්තාරනය වීම, 2022 දී සියයට 70ක් වූ උද්ධමනය ආසන්න වසයෙන් සියයට 2 දක්වා පහල යාම, වැඩිදියුනු බදු ආදායම් සහ විදෙස් හුවමාරු සංචිත යලි ගොඩනැගීම, අයිඑම්එෆ් පියවරයන් නිසි පරිදි ක්‍රියාත්මක වන බවට සාක්ෂියක් ලෙස ඇය පෙන්වා දුන්නා ය. “ප්‍රථම වතාවට මහජනයා විශ්වාස කරන ආන්ඩුවක් තිබෙන බව මම හිතනවා” යි කියමින් ඇය ආන්ඩුව උත්කර්ෂයට නැංවූවා ය. 

ශ්‍රී ලංකාව “සෑහෙන දුරක් පැමින තිබෙනවා” යනුවෙන් අයිඑම්එෆ් ප්‍රධානියා කල ප්‍රකාශය, මිලියන ගනනක් ජනයා සහභාගි වූ ආන්ඩු-විරෝධී නැගිටීමකට තුඩු දුන් 2022 ආර්ථික අර්බුදයෙන් පසු ව පනවන ලද ම්ලේච්ඡ කප්පාදු පැකේජය තහවුරු කිරීමකි. සාර්ව-ආර්ථික ස්ථාවරත්වය පුනස්ථාපනය කිරීමට, මූල්‍ය තදකිරීම, විනිමය සීරුමාරු කිරීම සහ 400ට අධික රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගත කිරීම “ක්‍රියාත්මක වී” ඇති බවටත්, අයිඑම්එෆ් බෙහෙත් අඛන්ඩ ව සැපයිය යුතු බවටත්, ජාත්‍යන්තර ආයෝජකයන්ට, කොටස් හිමියන්ට හා නය දෙන ආන්ඩුවලට නිකුත් කල පැහැදිලි පනිවුඩයක් ලෙස මෙය පවතී.

කම්කරුවන්ගේ හා දුගීන්ගේ සමාජ දුෂ්කරතාවන් ගැඹුරු කරන අතර, මහ ව්‍යාපාරිකයේ ලාභ ආරක්ෂා කරන පියවරයන් වන, නය ආපසු ගෙවීමට ප්‍රමුඛත්වය දීම, වෙලඳපොල-ධාවිත හුවමාරු අනුපාත අනුගමනය කිරීම සහ මිල-පිරිවැය ප්‍රකෘති තත්වයට පත් කිරීම ලංකාව විසින් අඛන්ඩ ව කෙරෙන බව තහවුරු කරගැනීම ජෝර්ජීවාගේ සංචාරයේ ඉලක්කය විය.

ජවිපෙ/ජාජබ ආන්ඩුව “මහජනයා විශ්වාස කරන” බවට අයිඑම්එෆ් ප්‍රධානියා කියන විට, එය කම්කරුවන් හා පීඩිතයන් පිලිබඳ සැඳහුමක් නොව, දිසානායක පරිපාලනය විසින් උද්යෝගීමත් ලෙස ආරක්ෂා කරන අවශ්‍යතා සහිත මහ ව්‍යාපාරිකය හා මූල්‍ය ප්‍රාග්ධනය පිලිබඳ සැඳහුමක් වේ.

“මෙහෙයුම සාර්ථක වී ඇතැයි ප්‍රකාශ කිරීමට තවමත් කල් වැඩි බවට” ප්‍රවේසම් වන අතර, ආර්ථික ප්‍රකෘතිය නිවැරදි මාවතේ පවතින බව කියා සිටි ජෝර්ජීවා “එම මාවතේ දිගට ම රැඳී සිටින” ලෙස ආන්ඩුව උනන්දු කලා ය. “ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරන ආරම්භ කොට අඛන්ඩ ව පවත්වාගත” හොත් සියයට 7-8ක ඉහල වර්ධනයක් අපේක්ෂා කල හැකි බව ඇය කීවා ය. ශ්‍රී ලංකාවට “අපේ සහයෝගය මත විශ්වාසය තැබිය” හැකි බවට ඇය සපථ කලා ය.

නය ආපසු ගෙවීම් 2028 සිට සම්පූර්නයෙන් ආරම්භ කරන බවත්, අයිඑම්එෆ් කප්පාදුවෙන් අපසරනය වීමක් නොවන බවත් බැඳුම්කර හිමියන්ට, බහු-පාර්ශවික නය දෙන්නන්ට හා ගෝලීය ආයෝජකයන්ට යලිත් වරක් සපථ කරමින්, කොලඹ මූල්‍ය මාධ්‍ය හා සංගත ප්‍රභූව “ස්ථාවරත්වයේ” හා “නව්‍යකරනයේ” ප්‍රබන්ධය ප්‍රතිරාවය කරමින් සිටියි.

උද්ධමන අනුපාතයේ වර්තමාන පහල යාමෙන් මහජනයාගේ ජීවන තත්ත්වය වඩා යහපත් වීමක් සිදු ව නැත. බදු ඉහල දැමීම්, උපයෝගී භාන්ඩයන්ගේ (විදුලිය, ජලය සහ ගෑස්) මිල ඉහල දැමීම් සහ වැටුප් ඉල්ලීම් මර්දනය කිරීම අඛන්ඩ ව විශාල බලපෑමක් ඇති කරයි. ආනයන පාලනයන් හා මුදල් සැපයීම සීමා කරනු වස් ඉහල පොලී අනුපාත පැනවීම් හරහා සංචිත යලි ගොඩගැසීම, කුඩා ව්‍යවසායයන් හා ස්වයං-රැකියා නියුක්තිකයන් විනාශ කර දමා නය බරින් පෙලෙන කුටුම්බයන් මත පීඩනය ඉහල දමා ඇත. 

ඉහල වක්‍ර බදු පැනවීම හරහා ආන්ඩුවේ ආදායම ඉහල දමා ගෙන ඇත්තේ, කම්කරුවන්ට හා පීඩිතයන්ට බරපතල බලපෑමක් ඇති කරමිනි. 2022 මුල දී එකතු කල අගය මත බද්ද (වැට්) සියයට 8ක් විය. දැන් එය සියයට 18ක් වන්නේ, ඉන්ධන, ගෑස් හා විදුලි සංදේශ සේවා ඇතුලු කලින් වැට් බද්දට යටත් නො වූ දෑ මත එම බදු පනවා ඇති තතු යටතේ ය.

2026-27 සමයේ වාර්ෂික බාහිර නය සේවාකරනය දල වසයෙන් ඩොලර් බිලියන 2.5 සිට 2.7 දක්වා ද 2028 දී ඩොලර් බිලියන 3.2 සිට 3.5 දක්වා ද ඉහල යනු ඇතැයි නිල ප්‍රක්ෂේපනයන් පෙන්වා දෙයි. අයිඑම්එෆ් ප්‍රධානියා හමුවීමෙන් පසුව, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ කියා සිටියේ “විනය” පවත්වාගත හොත් මෙය කලමනාකරනය කර ගත හැකි බව යි.

සමාජ යථාර්ථයට පරිවර්තනය කල විට, විනය යන්නෙහි අර්ථය වන්නේ, ඉහල යන වක්‍ර බදු, විදුලි බලය හා අනෙකුත් උපයෝගීතාවන් සඳහා ඉහල මිල ගනන්, රාජ්‍ය වියදම් කප්පාදු හා ඉහල වැටුප් ඉල්ලා සිටින කම්කරු අරගලය අනුකම්පා විරහිත ලෙස මර්දනය කිරීම යි.

ශ්‍රී ලංකාවේ සංගත ප්‍රභූව අත්දකිමින් සිටින්නේ කප්පාදුවක් නො ව ඉහල යන ලාභයන් ය. මහා සංගත, විදුලි සංදේශ ආයතන හා බැංකු ක්ෂේත්‍රවල බලගතු ආදායම් ව්‍යාපාරික මාධ්‍ය වාර්තා කරන්නේ, විශේෂයෙන් ම ඉහල පොලී අනුපාත හා නය ප්‍රතිව්‍යුහකරනයෙන් මූල්‍ය අංශය ප්‍රතිලාභ ලබද්දී ය. සම්පත් බැංකුව මේ සතියේ දී තම ඉතිහාසයේ ශක්තිමත් ම කාර්ය සාධනය නිවේදනය කලේ, 2025 වසරේ දී දල ලාභය සියයට 13කින්, එනම් රුපියල් බිලියන 32 (එක්සත් ජනපද ඩොලර් මිලියන 103) දක්වා ඉහල යාම වාර්තා කරමිනි. සංගත මන්ඩල කාමර තුල “ප්‍රකෘතිමත්“ වීම ලෙස සමරනු ලබන දෑ උකහා ගනු ලබන්නේ වැඩ කරන ජනයාගෙනි.

ජවිපෙ/ජාජබ ආන්ඩුව විවෘතවම ක්‍රියාත්මක කරමින් සිටින්නේ මහ-ව්‍යාපාරික ගැති න්‍යාය පත්‍රයකි. ප්‍රධාන ආයෝජකයන්ට ත්‍යාගශීලී බදු සහන ප්‍රදානය කරනුවස්, “මූලෝපායික සංවර්ධන ව්‍යාපෘති” රෙගුලාසි මේ මාසයේ දී සංශෝධනය කරනු ලැබී ය. ඩොලර් මිලියන 50 ඉක්මවා යන ව්‍යාපෘති දැන් වසර 10ක් දක්වා ආදායම් බදු විරාමයන් සඳහා සුදුසුකම් ලබන්නේ, වැට්, රේගු බදු හා අනෙකුත් බදුවලින් නිදහස ලබමිනි. නිශ්පාදන, යටිතල පහසුකම්, සංචාරක කර්මාන්තය හා තාක්ෂනය යන අංශ ක්‍රියාශීලී ව දිරිමත් කෙරෙමින් පවතී. 

ආයෝජන ආකර්ශනය කර ගැනීමට හා තරඟකාරීත්වය ඉහල දැමීමට අවශ්‍ය “නව්‍යකරනය” හා නම්‍යශීලීත්වය වෙනුවෙන් වෙනස්කම් අවශ්‍ය බව කියමින්, පවත්නා කම්කරු නීති 12ක් 4ක් දක්වා සම්පින්ඩනය කිරීමට කම්කරු අමාත්‍යාංශය ක්‍රියා කරමින් සිටී. භාවිතයේ දී මෙම ප්‍රතිසංස්කරනවල ඉලක්කය වන්නේ, ශ්‍රම බලකාය වඩාත් බලගතු ලෙස සූරාකෑම සඳහා පහසුකම් සැලසීම යි.

මෙම පූච්චානම් සහගත බොරු පිටුපස තිබෙන්නේ, ශ්‍රම පිරිවැය අඩු කෙරෙන හා රැකියා සුරක්ෂිතතාව ඛාදනය කෙරෙන, ශ්‍රම වෙලඳපොල නම්‍යශීලීත්වය සඳහා දීර්ඝ කාලයක් තිස්සේ අයිඑම්එෆ් දෙමින් සිටින තල්ලුවයි. කම්කරු පන්තිය තුල කෝපය වැඩෙද්දී, ඉහල යමින් තිබෙන විරුද්ධත්වය සීමා කිරීමටත්, ආන්ඩුවේ කප්පාදු රාමුවට කම්කරුවන් බැඳ තැබීමටත්, වෘත්තීය සමිති නායකයෝ මංමුලා සහගත ලෙස වැඩට බැසගෙන සිටිති.

රජයට අයත් ව්‍යවසායයන් (එස්ඕඊ) ප්‍රතිව්‍යූහකරනය, රාජ්‍ය-පුද්ගලික හවුල්කාරීත්වයන් විස්තාරනය කිරීම සහ උපයෝගීතාවන්ගේ (විදුලිය,ජලය, ගෑස් ආදියේ) පිරිවැය ආවරනය කරගන්නා මිල ගනන් ක්‍රියාත්මක කිරීමට කරගෙන යන ප්‍රයත්නයන් සමග ඉහත කම්කරු නීති සංශෝධනය අනුපූරක වෙයි.

ලංකා විදුලිබල මන්ඩලයේ (ලංවිම) පාඩු වැලැක්වීම සඳහා පූර්න පිරිවැය ආවරනය වන පරිදි විදුලිබල ගාස්තු සකස් කල යුතු බව අයිඑම්එෆ් යලි යලිත් අවධාරනය කර ඇත. දැනට කුඩා සමාගම් හතරකට කඩා දමමින් තිබෙන ලංවිම, පුද්ගලීකරනය ක්‍රියාදාමයට නතු කෙරී පවතී. මූල්‍ය ඉලක්කයන් සාක්ෂාත් වන පරිදි පාරිභෝගිකයන් මත ඉහල විදුලි බිල් පැටවීම සහ එමගින් නය හිමියන්ට යලි සහතික වීම අපේක්ෂා කරන අතරේ ලංවිම කම්කරුවන්ගේ රැකියා විනාශ කෙරෙමින් පවතී.  

වැඩ කරන ජනතාව සඳහා මෙහි ආර්ථික විපාක ව්‍යසනකාරී වෙමින් පවතී. මාධ්‍ය සිරස්තලවල උද්ධමනය පහල ගොස් තිබුන ද අත්‍යවශ්‍ය භාන්ඩ හා සේවාවන්වල මිල ගනන් පවතින්නේ අර්බුදයට පෙර (එනම් 2022ට පෙර) මිල ගනන්වලට වඩා බොහෝ ඉහලිනි. වැට් බදු ඉහල දැමීම් හා අනෙකුත් වක්‍ර බදු කුටුම්බ ආදායමින් විශාල කොටසක් ගිල දමමින් පවතී. විදුලි බලය, ජලය, ඉන්ධන හා මුලුතැන් ගෙයි ගෑස් මිල අයිඑම්එෆ්ට අවශ්‍ය සකස් කිරීම් යටතේ පසුගිය වසර දෙක පුරා තියුනු ලෙස ඉහල දමා ඇත. මූර්ත වැටුප් ඒවායේ 2022ට පෙර මට්ටම් කරා ප්‍රකෘතිමත් වී නැති අතර, ආන්ඩුව රාජ්‍ය අංශයේ කම්කරුවන්ට වැටුප් ඉහල දැමීම් සිදු නොකරන බව පවසා ඇත. 

රාජ්‍ය රෝහල්, අත්‍යවශ්‍ය ඖෂධ, උපකරන, රසායනික ද්‍රව්‍ය හා කාර්ය මන්ඩලවල දැවැන්ත හිඟයන් අඛන්ඩ ව වාර්තා කරයි. විශේෂයෙන් ම ගම්බද ප්‍රදේශවල පාසල් දැරිය නොහැකි ශිෂ්‍ය ප්‍රමානයන්, අප්‍රමානවත් සම්පත් හා ගුරු කාර්ය මන්ඩලයන් සමග අරගලයේ යෙදෙයි. වසර ගනනාවක ඉහල පොලී අනුපාතවලින් පසුව බොහෝ පවුල් නය බරින් මිරිකී සිටිති. පසුගිය වසරේ අවසාන භාගයේ සිදු කල ලෝක බැංකු සමීක්ෂනයකට අනුව, ජනගහනයෙන් ආසන්න වසයෙන් තුනෙන් එකක් පමන (එනම් සියයට 32.4ක්) දෛනික ආදායම ඩොලර් 2 වන දරිද්‍රතා රේඛාවට පහලින් හෝ එයට යන්තම් ඉහලින් ජීවත් වෙති. 

ආර්ථික ප්‍රකෘතිය “ආපසු හැරවිය නො හැකි” බව ජෝර්ජීවා ලාංකිකයන්ට කීවා ය. ජාත්‍යන්තර නය හිමියන් සම්බන්ධයෙන් ගත් කල,  ආපසු හැරවිය නො හැකි යන්නෙහි අර්ථය වන්නේ, 2028 පටන් ඉදිරියට නය ආපසු ගෙවීම සහතික කිරීම යි. කම්කරුවන් හා ගම්බද දුගීන් සඳහා එය සංඥා කරන්නේ, මූල්‍ය වෙලඳපොලවලට සමාජ පිලිවෙත් ස්ථීර ව යටත් කිරීම හෙවත්, තීව්‍රතර කප්පාදුවක් ද සමාජ කොන්දේසි හා රැකියා සුරක්ෂිතතාව එක දිගට විනාශ කිරීමක් ද වේ.

අයිඑම්එෆ්-නියෝග කරන කප්පාදු විධානයන් අනිවාර්යය බව ජවිපෙ/ජාජබ ආන්ඩුව කියන අතර, පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂ ඒවාට සම්පූර්නයෙන් පිටුබලය දෙති. ඇයගේ සංචාරයේ දී, ජෝර්ජීවා ආන්ඩුව පමනක් නො ව නිල විපක්ෂය ද පැසසුමට ලක්කලා ය.

ධනවතුන්ට බදු සහන දීම, යෝධ මිලිටරි වියදම්, දූෂිත මහා ව්‍යාපෘති සහ අස්ථාවර ගෝලීය ප්‍රාග්ධන වෙලඳපොලවලට ඒකාග්‍ර වීම සඳහා අරමුදල් සපයනු වස්, දශක ගනනාවක් තිස්සේ නය ගැනීමෙහි ප්‍රතිඵලය වන රටෙහි විදේශ නය කන්දරාවට, කම්කරු පන්තිය හා ගම්බද ජනතාව වගකිව යුතු නැත. 

ආර්ථික සාර්ථකත්වය පිලිබඳ ඊනියා කතන්දරය ගොඩනගනු ලබන්නේ වැඩ කරන ජනයාගේ කොඳු මතිනි. සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරි දර්ශනයක පදනම මත ඔවුන් ස්වාධීන ව බලමුලු ගැන්වීම පමනක් ම, වැඩ කරන ජනයාගේ අනාගතය ලෙස දැන් වට්ටෝරුගත කරමින් තිබෙන කප්පාදුවට අව්‍යාජ විකල්පයක් සම්පාදනය කරනු ඇත.

කම්කරුවන්ට හා ගම්බද ජනයාට අවශ්‍ය කරන්නේ, අයිඑම්එෆ් කප්පාදු ප්‍රතික්ෂේප කරමින්, ප්‍රභූන් ධනවත් කරමින් සමුච්ඡිත විදේශ නය ආපසු ගෙවීම ප්‍රතික්ෂේප කිරීම යි. බැංකු, මහා සමාගම් හා වතු කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කල යුතු ය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන්ගෙන් හා ගම්බද ප්‍රජාවන්ගෙන් ඉල්ලා සිටින්නේ, සෑම වැඩපොලක, වත්තක හා නිවහන් ප්‍රදේශයක ම ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගා, එම කමිටුවලින් තෝරා ගන්නා නියෝජිතයන්ගෙන් සමන්විත කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනගන ලෙසයි.

එක ම ඉදිරි මාවත වන්නේ, සමාජවාදය සඳහා පලල් ජාත්‍යන්තර අරගලයක කොටසක් ලෙස, සමාජවාදී පිලිවෙත් ක්‍රියාත්මක කිරීමට කැප වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා ඒකාබද්ධ අරගලයක් දියත් කිරීම බව සසප අවධාරනය කරයි.

Loading