“විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ සංවිධානාත්මක ක්‍රියාකාරකම් අධීක්ෂනය -02/2026” මැයෙන්, පෙබරවාරි 6දා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (යූජීසීය) නිකුත් කල මර්දනකාරී චක්‍රලේඛයට, සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) දැඩි ලෙස විරුද්ධවන අතර ම එය හකුලා ගත යුතු යැයි කියා සිටී.
“නවක වදය” මැඬීමට මුවාවී, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ප්රජාතන්ත්රීය අයිතීන්ට වැටබඳින මෙම චක්‍රලේඛය, අවසාන වශයෙන්, විශ්වවිද්‍යාල තුල දේශපාලන ක්‍රියාකාරම් සහ ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට එරෙහි විරෝධය මැඩීම සඳහා ඉලක්ක කෙරී ඇති බවට අපි අනතුරු අඟවන්නෙමු. එමෙන්ම, මෙම චක්‍රලේඛය, 'නවක වදය' මැඩීමේ මුවාවෙන් පෙරපැවති ආන්ඩු විසින් ගනුලැබූ ප්රජාතන්ත්ර-විරෝධී පියවරයන් අභිබවා යන නව මර්දනීය අදියරක් බව අපි අවධාරනය කරන්නෙමු.
චක්‍රලේඛය මගින්, “නැවත දැනුම් දෙන තුරු” විශ්වවිද්‍යාල තුල සියලුම ශිෂ්‍ය ක්‍රියාකාරකම් “වගකිව යුතු විශ්වවිද්‍යාල නිලධාරියෙකුගේ” “අධීක්ෂනය” යටතට පත් කර ඇත. මේ අනුව, ශිෂ්‍ය ක්‍රියාකාරකමක් සූදානම් කිරීම, පෙරහුරු කිරීමේ සිට අවසානයේ සියලු සිසුන් විසිර යන තුරුම එම ක්‍රියාකාරකමේ සියලු අවධීන්, විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු හෝ වෙනත් බලධාරියෙකු ඉදිරියේ සිදු විය යුතුය; මෙම අවශ්‍යතාව සපුරන්නේ නැති ඕනෑම ක්‍රියාකාරකමක් නීතිවිරෝධී බවට පත් කර ඇත.
“ශිෂ්‍ය ක්‍රියාකාරකම්” යනු මොනවාදැයි නිශ්චිතව අර්ථ නොදක්වන චක්‍රලේඛය, එය බලාත්මක වන වපසරිය විවෘතව තබා ගනී. ඒ මගින්, සිසුන් කීප දෙනෙකු එකතු වී සිදු කරන අධ්‍යයන, ක්‍රීඩා සහ සංස්කෘතික කටයුතු වල සිට දේශපාලන ක්‍රියාකාරකම් දක්වා වන සෑම කටයුත්තක් ම අධීක්ෂනයට, සීමා කිරීමට සහ අවශ්‍ය නම් තහනම් කිරීමේ අසීමාන්තික බලයක් විශ්වවිද්‍යාල පරිපාලනයට පවරයි. මෙනයින් විශ්වවිද්‍යාල තුල දේශපාලන සහ සංවිධානාත්මක ජීවිතය මුලුමනින් ම පරිපාලනයේ නිරීක්ෂනය යටතට පත් කෙරී ඇත.
මෙම චක්‍රලේඛයට එරෙහිව පුලුල් විරෝධයක් සිසුන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතරින් පැන නැගී ඇත. කෙසේ නමුත්, මෙම චක්‍රලේඛය ආපසු හැරවීමටත් දැනටමත් සැලකිය යුතු ලෙස විනාශ කෙරී ඇති විශ්වවිද්‍යාල තුල බුද්ධිමය සහ දේශපාලන නිදහස යලි තහවුරු කිරීමටත් මේ ප්‍රහාරවල මූලය හඳුනා ගත යුතුව ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) විධානයන් මත තමා විසින් අකුරටම ක්‍රියාත්මක කරන කප්පාදු පිලිවෙත් වලට එරෙහිව පැන නගින කවර හෝ විරෝධයක් රුදුරු ලෙස තලා දැමීමට අදිටන් කරගෙන සිටී.
ජාමූඅ හි කප්පාදු වලට එරෙහිව, පසුගිය මාස කීපය පුරා, සෞඛ්‍ය, විදුලිබල, දුම්රිය, වරාය සහ අනෙකුත් ක්ෂේත්රයන්හි පැන නැගුනු වැඩවර්ජන සහ විරෝධතාවන්ට ජවිපෙ/ජාජබ ආන්ඩුව ප්‍රතිචාර දැක්වූයේ, වැඩවර්ජන නීති විරෝධී කරන අත්‍යවශ්‍ය සේවා නියෝග බලාත්මක කරමිනි. එම සේවාවන් සඳහා මිලිටරිය යොදවමිනි.
පසුගිය නොවැම්බර් මාසයේදී දිට්වා සුලිකුනාටුව කඩතුරාවක් ලෙස යොදා ගනිමින් ජනාධිපති දිසානායක “හදිසි නීතිය” ප්‍රකාශයට පත් කලේය. රුදුරු “ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත” අහෝසි කිරීමේ මුවාවෙන් එම පනතටත් වඩා විෂඝෝර “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත” නමින් නව නීතියක් ගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර ඇත.
යූජීසීයේ නව චක්‍රලේඛය, කම්කරු පංතියේ සහ අනෙකුත් පීඩිත මහජනතාවන්ගේ ප්රජාතන්ත්රීය අයිතීන්ට ජවිපෙ/ජාජබ ආන්ඩුව එල්ල කරන මෙම සමස්ත ප්‍රහාරයේ අත්‍යන්ත කොටසකි.
අනුප්‍රාප්තික ආන්ඩු විසින් අඛන්ඩව ගෙනගිය කප්පාදු හේතුවෙන් විශ්වවිද්‍යාල තුල වර්ධනය වූ භෞතික සහ මානව සමිපත් වල දැඩි ඌනතාව ජවිපෙ/ජාජබ ආන්ඩුවේ කප්පාදු යටතේ වඩාත් ගැඹුරු වෙමින් පවතී. අනෙක් අතින්, නේවාසික ගාස්තු, ආහාරපාන සහ ලිපි ද්‍රව්‍ය සඳහා දැරියයුතු වියදම් දරාගත නොහැකි තත්වයකට සහ අනාගතය පිලිබඳ දැඩි අවිනිශ්චිතභාවයකට විශ්වවිද්‍යාල ශිෂ්‍ය-ශිෂ්‍යාවෝ පත්ව සිටිති. මෙම තතු තුල, දැනටමත් වැඩෙමින් පවත්නා සිසු විරෝධතාවන් හි දැවැන්ත පුපුරා යාමක් සම්බන්ධයෙන් ආන්ඩුව බියපත්ව සිටී.
යූජීසී චක්‍රලේඛයේ අරමුන ආන්ඩුවට එරෙහිව වැඩෙන මෙම සිසු විරෝධතාවන් ලොප් කර දැමීම මිස 'නවක වදය' මැඩීම නොවේ. 1998 දී බලාත්මක කෙරුනු 'විශ්වවිද්‍යාල තුල නවක වදය වැලැක්වීමේ පනතේ' සිට ක්‍රියාත්මක කෙරුනු, සිසුන් අතරට පොලිස් ඔත්තුකරුවන් යෙදවීම, සිසු ක්‍රියාකාරනම් නිරීක්ෂනය කිරීමට සීසීටීවී කැමරා යෙදීම, ශිෂ්‍යයන් හමුදා කඳවුරුවල “නායකත්වය පුහුනවට යැවීම” සහ පැමිනිලි කිරීමේ ඇප් දක්වා විවිධ පියවරයන් ක්රමානුකූල ව යොදා ගැනුනේ විශ්වවිද්‍යාල තුල මර්දන යාන්ත්රනයන් සවිමත් කර, පෞද්ගලීකරනයට සහ කප්පාදුවට එරෙහි ශිෂ්‍ය ක්රියාකාරීත්වයේ ගෙල සිර කිරීමටයි.
පසුගිය වසරේ පෙබරවාරියේදී, පේරාදෙනිය විශ්වවිද්‍යාලය තුල “ජාමූඅ හිවැඩපිලිවෙලට එරෙහිව සටන් වදින්නේ කෙසේද” යනුවෙන් සසජාතශි විසින් ආමන්ත්රනය කරනු ලැබීමට නියමිතවූ රැස්වීමක් අවසාන මොහොතේ ජවිපෙ ආන්ඩුවේ මැදිහත් වීමෙන් විශ්වවිද්‍යාල පරිපාලනය විසින් තහනම් කිරීම, මෙබඳු රෙගුලාසි, කප්පාදු පිලිවෙලට එරෙහි දේශපාලනය මර්දනයට කෙසේ යොදා ගනු ඇතිද සම්බන්ධයෙන් උදාහරනයකි.
එම රැස්වීම නිවේදනය කරමින්, 2024 දෙසැම්බර් 21 දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලකල ලිපිය තුල අපි මෙසේ සඳහන් කලෙමු:
'සසජාතශි ආරම්භ කරනුයේ කම්කරුවන් හා තරුනයන් මුහුන දෙන දැවැන්ත ප්‍රශ්න කිසිවක් ධනේශ්වර ක්‍රමය තුල විසඳිය නොහැකි ය යන මූලික කාරනයෙනි. ධනවාදයේ ගෝලීය අර්බුදයේ බර වැඩකරන ජනතාව දැරිය යුතු බවට ලොව පුරා පාලක පන්තීන් සහ ඔවුන්ගේ දේශපාලන හෙන්චයියන් අවධාරනය කරති. එකම විකල්පය වන්නේ සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේ දේශපාලන සටනයි.'
'අපි මෙසේ කියා සිටිමු: සියලුම විදේශ නය ප්‍රතික්ෂේප කරනු; විශාල සමාගම්, වතු සහ බැංකු කම්කරුවන්ගේ පාලනය යටතේ ජනසතු කරනු; ධනපතියන් සමුච්ඡය කර ගත් ධනය අත්පත්කර ගනු; මහජනතාවගේ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා මෙම සම්පත් යොදා ගනු.'
කෙසේ නමුත්, විශ්වවිද්‍යාල ශිෂ්‍ය අරගලවල සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගල ඉස්මත්තට පැන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයන් (අවිශිබම) සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (ෆූටා) සිදු කරන්නේ මෙම මූලික දේශපාලන සටනට එරෙහිව, ධනපති ආන්ඩුවලට පීඩනය යොදා මෙම ප්‍රහාර පරාජය කලහැකි යන මිත්‍යාව වපුරමින් සිසුන් සහ ආචාර්යවරුන් මංමුලාකොට ඔවුන් එම ප්රහාරයන්ට යටත් කිරීමකි.
ජවිපෙ විසින් මෙහෙයවෙන, සසිඳු පෙරේරාගේ නායකත්වයෙන් යුතු අවිශිබමය පෙබරවාරි 17දා යූජීසීයට ගොස් එහි නිලධාරීන් සමග මෙම චක්‍රලේඛය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත් වීය. සාකච්ඡාවෙන් අනතුරුව, මාධ්‍ය වෙත අදහස් දැක්වූ පෙරේරා යූජීසීයේ නිලධාරීන් අස්සන් තැබූ පත්‍රිකාවක් පෙන්වමින් කියා සිටියේ “නවකවදය වැලැක්වීම සඳහා තම සංවිධානය හවුල් කර ගන්නා වැඩපිලිවෙලකට” කොමිසම එකඟවූ බවයි.
පෙරේරාට අනුව මෙය, “විශ්වවිද්‍යාලයක් යනු කුමක්දැයි නොදන්නා” නිලධාරීන් පිරිසක් විසින් ගනු ලැබූ පරිපාලනමය වැරදි තීන්දුවකි. චක්‍රලේඛය ආන්ඩුවේ සමාජ ප්රතිවිප්ලවවාදී වැඩපිලිවෙලේ අංගයක්ය යන්න ඔහු වසන් කරයි.
නවක වදය මැඬීමට තම සංවිධානය යොදා ගන්නා ලෙස පෙරේරා කරන ඉල්ලීම බරපතල ලෙස ගත යුතු ය. ජවිපෙ/ජාජබ ආන්ඩුවේ පිල්ලියක් ලෙස වැඩ කරන මේ ව්‍යාපාරය ඉදිරියේ දී ආන්ඩුවේ ප්‍රතිපත්තීන්ට එරෙහි ව සටන් කරන සිසුන්ට එරෙහි අත්ගෙඩියක් ලෙස එලිපිට ම වැඩට බැස ගනු ඇත.
ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) අන්ඩක් වන අනෙක් අවිශිබමයේ කැඳවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත් පෙබරවාරි 14 වැනි දා මෙම චක්‍රලේඛය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවීය. “අපි හිතුවේ නෑ අවුරුදු එක හමාරකට පසු ආන්ඩුව මේ වගේ මර්දනීය හස්තයක් දියත් කරයි කියලා. ආන්ඩුවේ සැබෑ ස්වරූපය එලිදරවු වීමත් එක්ක මර්දනය අතට ගන්න වෙලා තියෙනවා” යැයි එහිදී ඔහු කීවේය.
සැබැවින්ම, ආන්ඩුවේ සැබෑ ස්වරූපය සිසුන් ඇතුලු මහජනතාවගෙන් වසං කිරීමෙහිලා අවිශිබමය සහ පෙසප විශාල වැඩ කොටසක් පසුගිය වසර එක හමාර තුල සිදු කලේය. පෙසප නායකත්වය ජවිපෙ/ජාජබ ආන්ඩුව හුවා දැක්වූයේ “ජනතා අභිලාෂයන් ඉටු වීමක්” සහ “නිර්ප්‍රභූ ප්රගතිශීලි” ආන්ඩුවක් වශයෙනි.
පසුගිය වසරේ අයවැයෙන් ආන්ඩුව අධ්‍යාපන වියදම් කප්පාදු කර අධ්‍යාපනයට සියයට 6ක් වෙන් කිරීමේ ඉල්ලීම කුනු බක්කියට විසි කල විට ශිෂ්‍ය විරෝධය සමනය කිරීමට චන්ද්‍රජිත් කලේ වහා ම අධ්‍යාපනයට සියයට 6ක් වෙන් කිරීමේ ඉල්ලීම “ආන්ඩුවට හැකි දවසක එසේ කරන තුරු දැනට සියයට 3ක්” වෙන් කරන ලෙස ඉල්ලීම කප්පාදු කර ගැනීමයි.
අවිශිබම කරන්නාක් මෙන් ධනපති අර්බුදයෙන් ජනිත කෙරෙන ප්‍රහාර පිලිගනිමින් තම ඉල්ලීම් කප්පාදු කර ගැනීම වෙනුවට, ශිෂ්‍යයන් එම කප්පාදු පරාජය කිරීමට සටන්කල යුතුය. අනිවාර්යයෙන්ම එය ධනපති ක්‍රමයට එරෙහි සටනකි. එම සටන සඳහා ශක්‍යතාව සහිත සහ නායකත්වය දියහැකි එකම සමාජ බලවේගය වනුයේ, සමස්ත සමාජ ධනය නිර්මානය කරන ජාත්‍යන්තර කම්කරු පංතිය යි.
විදේශ නය ආපසු ගෙවීම ප්‍රතික්ෂේප කරමින්, විශාල සමාගම්, වතු සහ බැංකු තම පාලනය යටතේ ජනසතු කරමින් සහ ධනපතියන් සූරාකෑමෙන් සමුච්ඡය කර ගත් ධනය අත්පත්කර ගනිමින් මහජනතාවගේ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා එම සම්පත් යොදා ගත හැක්කේ කම්කරු පංතියට යි. ශිෂ්‍යයන් කම්කරු පංතිය දෙසට හැරී, ධනපති ආන්ඩුවටත්, සමස්ත ධනපති ක්රමයටත් එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත සටන් වදින කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට සටන් වැදිය යුත්තේ එබැවිනි.
නමුත්, කම්කරු පංතියේ මෙම ඓතිහාසික සමාජ බලය ප්‍රතික්ෂේප කරන අවිශිබම කන්ඩායම්, ඊට එරෙහිව ඊනියා ශිෂ්‍ය දේශපාලනය සහ 'ශිෂ්‍ය බලය' ප්‍රවර්ධනය කරති. මෙහි කොටසක් ලෙස, “සාමාන්‍ය ජනතාවට වඩා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ පෙරට එනවා ප්‍රතිචාර දක්වන්න” යැයි ඉහත මාධ්‍ය හමුවේදී චන්ද්‍රජිත් සඳහන් කලේය.
ෆූටා මෙයට විරුද්ධ වන්නේ විශ්වවිද්‍යාල තුල භාෂනයේ සහ සංවිධානයේ නිදහස රැක ගැනීමට ආන්ඩුවේ මර්දනයට එරෙහි වන මූලධර්මාත්මක ආස්ථානයකින් නොවේ; ආන්ඩුව වෙනුවෙන් පොලිස්කාරකම් කරන්නට ගොස් අතපසුවීමක් වූවොත් එහි වගවීමට දඬුවම් විඳීමට වන්නේය යන උත්සුකයෙනි.
ෆූටා ප්‍රධාන ලේකම් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ පෙබරවාරි 15 වැනි දා, ද සන්ඩේ මෝර්නිං වෙත ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක දී තම විරෝධයේ පදනම මෙ ලෙස පැහැදිලි කලේ ය: “මේක නීතියක් බවට පත් කලා ම යම් දෙයක් සිදු වුනොත් එහි සමස්ත වගකීමක තනි පුද්ගලයෙකු මත පැටවෙනවා. මේක බරපතල තත්ත්වයක්. මේ අපි භාරගන්න සූදානම් භූමිකාව නෙවෙයි.”
අවිශිබම සහ ෆූටා වැනි සංවිධානවල දුර්නායකත්වයන්ට එරෙහිව පහත සඳහන් ඉල්ලීම් වටා අරගලයක් සංවිධානය කල යුතු යැයි සසජාතශි කියා සිටී.
- නව යූජීසී චක්‍රලේඛය ඇතුලු විශ්වවිද්‍යාල තුල පනවා ඇති භාෂනයේ සහ රැස්විමේ නිදහසට වැට බඳින මර්දනකාරී නීති හකුලා ගනු! විශ්වවිද්‍යාල තුල යොදවා සිටින ඔත්තුකරුවන් ජාලය එලිදරවු කර විසුරුවා හරිනු!
- විශ්වවිද්‍යාල තුල පූර්න භාෂනයේ රැස්වීමේ සහ දේශපාලනික ව සංවිධානය වීමේ අයිතිය තහවුරු කරනු!
- අයිඑම්එෆ් කප්පාදුව එපා!
- විදේශ නය ප්‍රතික්ෂේප කරනු!
- නේවාසිකාගාර, ශිෂ්‍යාධාර, ශිෂ්‍යත්ව, ආචාර්යවරුන්ගේ වැටුප් සහ දීමනා සාධනය කල හැකි වන අයුරින් බිලියන සංඛ්‍යාත මුදල් අධ්‍යාපනයට වෙන් කරනු!
මේ ඉල්ලීම් සාර්ථක කර ගත හැකි වනු ඇත්තේ සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමෙනි. ඒ සඳහා සටන් වැදීමට සසජාතශි හා එක් වන මෙන් අපි ඔබෙන් ඉල්ලා සිටිමු.
ඊමේල් හෝ WhatsApp ( 0773562327) හරහා අප හා සම්බන්ධ වන්න.
ඊමේල්: iysseslb@gmail.com
