ඉරානය ඉලක්ක කල ඇමරිකානු-ඊශ්‍රායල යුද්ධයට එරෙහි  රැස්වීම සමාජවාදී ක්‍රියාමාර්ගය කෙරෙහි වැඩෙන උනන්දුව පෙන්නුම් කරයි

[මෙය SEP/IYSSE Sri Lanka meeting against US-Israeli war on Iran reveals growing interest in socialist program යන මැයෙන් 2026 මාර්තු 19දා පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනය යි.]

රැස්වීමේ කොටසක්

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය මාර්තු 17දා කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී “ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල සාපරාධී යුද්ධය නවත්වනු” මැයෙන්, මනා සහභාගීත්වයක් සහිත ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වී ය.

මැද පෙරදිග උත්සන්න වන යුද්ධයත් සමග පැන නැගී ඇති ඉන්ධන හිඟය හේතුවෙන් ඇති වූ ගමන් බාධා මධ්‍යයේ පවා—පක්ෂ සාමාජිකයෝ, ආධාරකරුවෝ, කම්කරුවෝ, තරුනයෝ සහ ශාස්ත්‍රාලිකයෝ ඇතුලු—75 දෙනෙක් පමන මෙම අවස්ථාවට සහභාගී වූහ.

සූම් තාක්ෂනය ඔස්සේ ද සජීවී ව විකාශය කෙරුනු රැස්වීමට යාපනය සහ වතුකර දිස්ත්‍රික්ක වැනි ප්‍රදේශවල කන්ඩායම් ද ඇතුලු තවත් පිරිස් සම්බන්ධ වූහ. එය සසප ෆේස්බුක් පිටුවේ ද විකාශනය කරන ලද අතර, එය නැරඹුම් වාර 2,000 කට වඩා ලබා ගෙන ඇත; මෙය ලියන මොහොත වන විට 100 වතාවකට වඩා බෙදා ගෙන ඇත.

රැස්වීමේ මුලසුන දැරුවේ සසප සහකාර ලේකම් සමන් ගුනදාස ය. එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය, නීති විරෝධී ලෙස යුද්ධය ගාසා සංහාරයේ සිට ඉරානයට එරෙහි යුද්ධයක් දක්වා ව්‍යාප්ත කරමින්, මැද පෙරදිග තුල ඔවුන්ගේ මිලිටරි ප්‍රහාරය තීව්‍ර කර ඇති බවට ඔහු අනතුරු ඇඟවී ය. මිලියන 93 ක ජනගහනයක් සිටින ලෝකයේ පැරනිත ම ශිෂ්ටාචාරවලින් එකක් වන ඉරානයට එල්ල වූ ප්‍රහාරය තුල “ෆැසිස්ට් ස්වභාවයක්” පවතින බව ඔහු පැවසී ය. එහි දී කාන්තාවන් සහ ලමුන් ඇතුලු ව දැනටමත් 1,500 කට අධික පිරිසක් ඝාතනය ඇත; ගොඩනැගිලි 50,000 කට වැඩි ප්‍රමානයක් විනාශ වී තිබේ; අවතැන් වූ ජනයා මිලියන 3 ක් තරම් ය.

සමන් ගුනදාස

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තීන් සහ නීති සම්මතයන් “කුනු කූඩයට විසි කර දමමින්,” ජාත්‍යන්තර නීතියේ සිදු ව ඇති බිඳවැටීම යුද්ධය මගින් අවධාරනය කෙරෙන බව ගුනදාස ප්‍රකාශ කලේ ය.

ඔහු තව දුරටත් කියා සිටියේ, එහි කේන්ද්‍රීය අරමුනු—එනම්, තෙල්, වෙලඳ මාර්ග සහ යටත් විජිත ආධිපත්‍යයේ අලුත් ආකාර පාලනය කිරීම—තීව්‍ර වන පන්ති අරගල සමඟ ගෝලීය විරෝධය අවුලුවාලමින් සිටින බවයි. එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය නැවැත්විය හැකිවන්නේ,  සමාජවාදී වැඩපිලිවෙලකින් සන්නද්ධ ජාත්‍යන්තර කම්කරු පන්තියේ ස්වාධීන මැදිහත්වීමකින් පමනක් බව ගුනදාස අවධාරනය කලේ ය.

සසජාතශි වෙනුවෙන් කතා කල සකුන්ත හිරිමුතුගොඩ, මැද පෙරදිග වර්ධනය වන ව්‍යසනය පෙන්වා දෙමින් යුද්ධයේ සැබෑ ස්වභාවය විස්තර කලේ ය. ඇමරිකානු යුද ලේකම් පීට් හෙග්සෙත් වැනි අධිරාජ්‍යවාදී නායකයින් තමන්ගේ අරමුනු පැහැදිලි ව පෙන්වා ඇති බවත්, ඔවුන් ජාත්‍යන්තර නීතිය පිලි නොගන්නා බවත්, වඩාත් ම ප්‍රචන්ඩකාරී මිලිටරි ක්‍රමවලින් ඉරානයට පහර දෙනු ඇති බවත් ප්‍රකාශ කර ඇති ආකාරය කථිකයා පැහැදිලි කලේ ය. 

එක්සත් ජනපද සහ ඊශ්‍රායල හමුදා හිතාමතා ම පාසල්, අසල්වැසි ප්‍රදේශ, ප්‍රධාන නගර සහ සුලු නගර, සන්නිවේදන පද්ධති සහ ආරක්ෂක යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ම, මෙය පලමු දිනයේ සිට ම පැහැදිලි වූ බව හිරිමුතුගොඩ පැහැදිලි කලේ ය. ඉරානයේ සංස්කෘතික හා ඓතිහාසික උරුමයන් ද ක්‍රමානුකූල ව විනාශභාග් කරමින් පවතී.

සකුන්ත හිරිමුතුගොඩ

මෙම සංහාරය පලමු ලෝක යුද්ධයේ විනාශය සමග සංසන්දනය කල කථිකයා, 1915 දී රෝසා ලක්සම්බර්ග් විසින් ලියන ලද ජූනියස් පත්‍රිකාවෙන් උපුටා දැක්වී ය. යුද්ධය නගර නටබුන් බවට පත් කරන ආකාරයත්, සාගත, රෝග සහ ව්‍යාකූලත්වය පතුරුවන ආකාරයත් සහ ලොව පුරා සමාජයන් දුක්ඛිතභාවයට, බලාපොරොත්තු සුන්වීමට සහ බිඳවැටීමට ඇද දමන ආකාරයත් ලක්සම්බර්ග් එහි දී පැහැදිලි කරයි. හිරිමුතුගොඩ අවසන් කලේ, “යුද්ධය දියත් කල අධිරාජ්‍යවාදී බලවතුන්ට පීඩනය යෙදීමෙන් සංහාරය නැවැත්විය නොහැකි” බවට අනතුරු අඟවමිනි. සිසුන් සහ තරුනයින් කම්කරු පන්තිය වෙත හැරී ගෙන සමාජවාදය වෙනුවෙන් සටන් කල යුතු බව ඔහු පැවසී ය.

අවසාන කථිකයා වූයේ සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර ය. ඉරානයට එරෙහි ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය ගෝලීය වහ්නි ජාලාවක් දක්වා වේගයෙන් උත්සන්න වෙමින් පවතින බවටත් “මානව සමාජයේ සමස්ත පැවැත්මට ම” තර්ජනයක් එල්ල කරන බවටත් ඔහු අනතුරු ඇඟවී ය.

ශ්‍රී ලංකාව ආසන්නයේ ඉන්දියානු සාගරයේ දී නාවිකයින් 100 කට වැඩි පිරිසක් මරා දමමින්, අයිරිස් ඩෙනා නමැති ඉරාන නාවික යාත්‍රාවක් පහර දී ගිල්වා දැමීම සහ ඇමරිකාව සහ ඊශ්‍රායලය හිතාමතා ම රෝහල්, පාසල් සහ අනෙකුත් සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කිරීමත් සමඟ, ඉරානයට එල්ල කරන ප්‍රහාරය “සමූලඝාතන යුද්ධයක සහ හිතාමතා කරන විනාශක” ස්වභාවය පෙන්නුම් කරන බව ජයසේකර පැවසී ය.  “අපි මුහුන දෙන ප්‍රශ්නය පැහැදිලි යි -- කම්කරු පන්තිය මේ අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වය නතර කරන්න ක්‍රියාත්මක වෙනවා ද? නැතිනම්, ධනවාදය මේ ලෝකය තුන් වන ලෝක යුද්ධයක ව්‍යසනය කරා ඇද ගෙන යනවා ද?”

යුද්ධය මෙහෙයවනු ලබන්නේ මිලිටරිවාදය සහ ගෝලීය ආධිපත්‍යය හරහා තම දිගුකාලීන ආර්ථික පරිහානිය ආපසු හැරවීමට උත්සාහ කරන ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගැඹුරු අර්බුදය විසින් බව ජයසේකර පැහැදිලි කලේ ය.

දීපාල් ජයසේකර

“ලෝක සමාජවාදී වෙබ් අඩවිය පැහැදිලි කරලා තියෙනවා, මේ යුද්ධය ට්‍රම්ප් කියන තනි දුෂ්ට පුද්ගලයකුගේ ක්‍රියාවක ප්‍රතිඵලයක් නොවේ කියලා. ඔහු මේ යුද්ධය ගෙන යන්නේ තමන් නියෝජනය කරන එක්සත් ජනපදයේ මූල්‍ය කතිපයාධිපත්‍ය වෙනුවෙන්. එය, එම කතිපයාධිපත්‍යයේ මූලෝපායික පිලිවෙතක කොටසක්.” 

ඉරානය කේන්ද්‍රීය ඉලක්කයක් ලෙස තබා ගෙන, මැද පෙරදිග පාලනය කිරීම හරහා රුසියාව සහ චීනය යටත් කර ගැනීම වොෂින්ටනයේ අරමුන බව කථිකයා පැවසී ය.

ජයසේකර, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය භාවිතා කරන “ඝාතන සහ සිවිල් වැසියන්ට පහරදීම් ඇතුලු සාපරාධී විධික්‍රම” හෙලා දුටුවේ, ඒවා 20 වන සියවසේ මහා යුද්ධ නිර්මානය කරපු “බලය සියල්ල නිවැරදි කරයි” යන පිලිවෙත කරා යලි පැමිනීමක් බව පවසමිනි. ඩේවිඩ් නෝර්ත් උපුටා දක්වමින් ඔහු තවදුරටත් මෙසේ පැවසී ය:  “මේ යුද්ධයේ මූලෝපාය 20 වන සියවස අහෝසි කිරීමයි. එනම් ශ්‍රේෂ්ඨ විමුක්ති අරගලවල සියලු සලකුනු මුලුමනින්ම තුරන් කර දැමීම යි.”

යුද්ධයේ පන්ති ස්වභාවය සහ එහි සමාජ බලපෑම ඉස්මතු කරමින්, කථිකයා, ආන්ඩු සමාජ වියදම් කපා හරිමින් සහ ඩොලර් බිලියන ගනන් යුද්ධයට පොම්ප කරමින් සිටින බවත්, ජීවන තත්වයන් පහත වැටීම සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ඛාදනය වීම හේතුවෙන් මෙහි බර උසුලන්නට සිදු ව ඇත්තේ කම්කරුවන්ට සහ තරුනයින්ට බවත් සඳහන් කලේ ය.

ජයසේකර, කලාපීය ආන්ඩුවල දෙබිඩි භූමිකාවන් විවේචනය කලේ ය.  ජනාධිපති අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකාව සහ ඇමරිකානු අධිරාජ්‍යවාදය අතර දැඩි සබඳතා අධීක්ෂනය කරන අතරේ, ව්‍යාජ මධ්‍යස්ථභාවයක් මවා පෙන්වා ඇත.

කම්කරු පන්තියේ ඕනෑ ම ස්වාධීන බලමුලු ගැන්වීමකට විරුද්ධ වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි “ව්‍යාජ-වාම” සංවිධාන ද ඔහු හෙලා දුටුවේය. “ලෝක ධනවාදී පද්ධතිය තුල “විසඳුම්” හෝ ප්‍රතිසංස්කරන සෙවීම මත පදනම් වන මෙවන් කන්ඩායම් වල දේශපාලනය යොමු වී ඇත්තේ, අධිරාජ්‍යවාදී බලයන්ට බලපෑම් කිරීම සඳහා කම්කරු පන්තිය නිෂ්ඵල විරෝධතාවලට ගැට ගසමින්, එය දේශපාලනික ව නිරායුධ කිරීමටයි” යැයි ජයසේකර සඳහන් කලේ ය. 

සේවා ස්ථාන සහ නිවහන් ප්‍රදේශවල, ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය හරහා ජාත්‍යන්තර ව සම්බන්ධීකරනය කරන ලද, ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට ඉල්ලා සිටිමින් කථිකයා තම කතාව අවසන් කලේ ය. ඔහු අවධාරනය කලේ, යුද්ධයට එරෙහි සටන ධනේශ්වර ක්‍රමය අහෝසි කිරීම අරමුනු කරගත් ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයක් ලෙස වර්ධනය කල යුතු බවයි.

දේශනවලින් පසු ව සජීවී ප්‍රශ්නෝත්තර සැසියක් පැවැත්විනි. බීජිනය සමඟ ගැටුමක් සඳහා එක්සත් ජනපද සූදානම සමඟ යුද්ධය සම්බන්ධ නම්, ඉරානයට එරෙහි යුද්ධය අනුමත කරන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලයේ (යූඑන්එස්සී) යෝජනාවක් චීනය නිෂේධ බලය යොදා ප්‍රතික්ෂේප නොකලේ මන්දැයි රැස්වීමට සහභාගීවූ අයෙක් විමසී ය.

චීනයට එරෙහි එක්සත් ජනපදයේ භූ මූලෝපායික සහ මිලිටරි පියවරයන් එහි සම්පූර්න යටත් කිරීම අරමුනු කරගත් එකක් වුව ද, චීනයේ ධනේශ්වර තන්ත්‍රය ඇමරිකානු අධිරාජ්‍යවාදය සමඟ සම්මුතියකට එලඹීමට උත්සාහ කරන බව ජයසේකර පැහැදිලි කලේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩල යෝජනාව අවහිර නොකිරීමට චීනය ගත් තීරනය, මෙම උපාමාරු පිලිබිඹු කරයි. චීන ආන්ඩුවේ බංකොලොත් උපාමාරු, එයට එරෙහි එක්සත් ජනපද යුද ධාවනය කිසිදු ආකාරයකින් මන්දගාමී නොකරන බව ඔහු පැවසී ය.

කම්කරුවන් සහ තරුනයින් මෙම වර්ධනයන්ගෙන් දේශපාලන පාඩම් උකහා ගත යුතු බව ජයසේකර පැවසී ය. “මොස්කව්, බීජිං, හවානා හෝ කැරකස් ඇතුලු කිසිදු ධනේශ්වර පාලන තන්ත්‍රයකට අධිරාජ්‍යවාදය පරාජය කිරීමේ කාර්යය පැවරීමේ හැකියාවක් ඇත්තේ නෑ. ඒවා මෙම භූමිකාව ඉටු කිරීමට සම්පූර්නයෙන් ම අසමත්. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලය තුල චීනයේ ක්‍රියාමාර්ගයෙන් උගත යුතු පාඩම වෙන්නේ, ජාත්‍යන්තර කම්කරු පන්තිය ජාත්‍යන්තර සමාජවාදී වැඩසටහනක පදනම මත අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය භාර ගත යුතු බවයි,” යැයි ඔහු පැවසී ය.

රැස්වීම අවසන් වූයේ, සසප උද්ඝෝෂනය තීව්‍ර කිරීම උදෙසා දියත් කල රුපියල් මිලියනයක විශේෂ අරමුදලට දායක වන ලෙස  සහභාගීවූවන්ගෙන් කරන ලද ඉල්ලීමකිනි. මෙය සපුරාලීමේ කාලය මාස තුනකි. ඊට ප්‍රතිචාර ලෙස රුපියල් 10,000 ඉක්මවන දායකත්වයන් රැස්වීමෙදී පලවුනි. පක්ෂයේ සමාජවාදී වැඩපිලිවෙල කෙරෙහි වැඩෙන උනන්දුව පිලිබිඹු කරමින්, එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය පිලිබඳ අලුතින් ප්‍රකාශයට පත් කරන ලද පොත් පිංචක සියලුම පිටපත් ඇතුලුව රුපියල් 14,000 කට වඩා  සාහිත්‍යය කෘති සහභාගී වූවන් විසින් මිලදී ගන්නා ලදී.

වැඩිදුර කියවන්න

Loading