[මෙය US ground invasion looms as Iran war escalates මැයෙන් 2026 මාර්තු 21දා පල කල ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනයයි.]
එක්සත් ජනපදය හා ඊශ්‍රායලය, ඉරානයට එරෙහි ව තම සාපරාධී යුද්ධය දියත් කිරීමෙන් සති තුනකටත් අඩු කාලයකට පසු, ලඟදී ම සිදු කිරීමට යන ඇමරිකානු භටයන්ගේ ගොඩබිම් ආක්රමනයක්, මෙම ගැටුම ගෝලීය වහ්නිජාලයක් බවට ඉහල නැංවීමේ මං සලසයි.
උභය ප්‍රහාරක කන්ඩායම් තුනක නාවික භටයන් 7,500ක් රැගත් නැව් ගනනාවක් කලාපයට ලඟා වීමට ඇත්තේ දවස් කිහිපයක් පමනි. USS ට්‍රිපොලි කන්ඩායම ආසියා-පැසිෆික් කලාපයේ සිට යලි දිගේලි කර ඇති අතර, කැලිෆෝනියාවේ පිහිටි USS Boxer Amphibious Ready Group හි නැව් තුනට අනුයුක්ත කර ඇති භට පිරිස් මැද පෙරදිග බලා පිටත් කරනුවස් ඔවුන්ගේ නිවාඩු කෙටිකොට ඇත. එම ප්‍රමානයේ ම තුන්වන නාවික ඒකකයක් ද කලාපය කරා ගමන් කරමින් සිටී.
ගොඩබිම් ආක්රමනයක ව්‍යසනකාරී ප්‍රතිවිපාක ගලා එන්නේ, ඉරානයට එරෙහි එක්සත් ජනපද/ඊශ්‍රායල යුද්ධයේ සාපරාධී ස්වභාවයෙනි. සාකච්ඡාවල තෙවන වටය සඳහා ජිනීවාහි දී එක්සත් ජනපද හා ඉරානියානු රාජ්‍ය-තාන්ත්‍රිකයන් මුනගැසීමෙන් දවස් දෙකක් වත් ගතවීමට පෙර, පෙබරවාරි 28දා මධ්‍යම රාත්‍රියේ, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුද්ධය දියත් කිරීම නිවේදනය කලේ ය. අවස්ථාවන් ගනනාවක දී ම, ට්‍රම්ප් හා ඔහුගේ ෆැසිස්ට්වාදී යුද ලේකම් පීට් හෙග්සෙත් පුනරුච්ඡාරනය කල පරිදි, ඉරාන සමාජය විනාශ කිරීම එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රකාශිත ඉලක්කය යි. උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඇතුලු ප්‍රධාන මිලිටරි හා දේශපාලන චරිත මුලිනුපුටා දැමීම ඉලක්ක කරගෙන, ඇමරිකානු හා ඊශ්‍රායල හමුදා විසින් ක්රියාවේ යොදවන ලද ඉලක්කගත ඝාතන වැඩසටහන ට්‍රම්ප් යලි වතාවක් ප්‍රීතියෙන් මතකයට නැගුවේ, “ඔවුන් සියලු දෙනා අහවරයි ... අපිට ඔවුන්ට කතා කිරීම අවශ්‍ය වුවත්, කතා කරන්න කිසි කෙනෙක් නැහැ. අපි එයට කැමතියි” යැයි ප්‍රකාශ කරමිනි.
මෙම සමූල ඝාතක යුද්ධය ඇමරිකානු හා ලෝක අධිරාජ්‍යවාදය වේගවත් අර්බුදයකට ඇද දමා ඇති බව, මාෆියා පන්නයේ මෙම ව්‍යාජ චන්ඩියාට සැඟවිය නො හැක. ටෙහ්රානයේ ධනේශ්වර-පූජක පාලන තන්ත්රයේ හිස ගසා දමමින්, ගුවනින් “තන්ත්ර මාරුවක්” සිදු කිරීමේ ට්‍රම්ප්ගේ සැලසුම නාටකාකාර ලෙස අසාර්ථක වී ඇත. ගල්ෆ් කලාපය පුරා එක්සත් ජනපද කඳවුරුවලට හා බලශක්ති පහසුකම්වලට ප්‍රති-ප්‍රහාර එල්ල කරමින් හා හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය අල්ල ගනිමින් ඉරානය ප්‍රතිචාර දක්වා ඇත. උතුරු ඇමරිකාවේ හා යුරෝපයේ අධිරාජ්‍යවාදී කේන්ද්‍රයන් තුල සමාජීය හා ආර්ථික කැලඹීමකට තර්ජනය කරමින්, තෙල් හා ස්වාභාවික ගෑස් මිල අහස උසට නැගී ඇත්තේ, ආන්තික උද්ධමනය කම්කරුවන් මිලියන ගනනක් දුගී භාවයට ඇද දමමිනි.
මෙයට ධවල මන්දිරයේ සිටින මැරයාට පවතින එක ම පිලිතුර වන්නේ, යුද්ධය වඩා ආක්රමනකාරී ලෙස දියත් කිරීම යි. ගොඩබිම් භටයන් දිගේලි කිරීම ගැන “බැරෑරුම් ලෙස සලකා බලන්නේ“ යයි, ධවල මන්දිරයේ මූලාශ්‍ර තුනක් කියා සිටි බව, සිකුරාදා ඇක්සියෝස් පුවත් සේවය වාර්තා කලේ ය. ඉරානයේ තෙල් අපනයනවලින් සියයට 90ක් පමන සැකසුම් කරන කාග් දිවයින අල්ලා ගැනීම, සිදු කිරීමට වඩාත් ම ඉඩ ඇති උත්සාහයන්ගෙන් එකකි. තමන් “භටයන් කොහේට වත් යොමු නො කරන” බව බ්‍රහස්පතින්දා ට්‍රම්ප් වාර්තාකරුවන්ට කීවේ, “මම එසේ කලත්, එයට මම ඔබට නිශ්චිත ව කියන්නේ නැහැ” යැයි ආඥාදායකයෙකුගේ ස්වරූපයෙන් කීමට පෙර ය.
ඔහුට කලින් හිට්ලර් කලාක් මෙන්, තමන්ට තනියෙන් යුද්ධයේ ගමන් මාවත තීරනය කල හැකි බවට, ට්‍රම්ප් තමන්ට ම ඒත්තු ගන්වා ගෙන තිබීමට ඉඩ ඇත. කලාපයට එවන් විශාල සංඛ්‍යාවන්ගෙන් යුද භටයන් යැවීම මගින් හුදෙක් පෙන්නුම් කෙරෙනුයේ යථාර්ථයේ දී ඔවුන් දිගේලි කිරීම අනිවාර්ය කාරනයක් බවට පැමින ඇති බවයි. විකල්පය වනු ඇත්තේ වොෂින්ටනය විසින් නින්දා සහගත ලෙස භටයන් ඉවත් කර ගැනීම යි. අමු ද්‍රව්‍ය, ලාභ ශ්‍රමය, භූ-මූලෝපායික ආනුභාවය සහ වෙලඳ මාවත් මත පාලනය තහවුරු කර ගැනීම සඳහා ප්‍රධාන බලයන් අතර පවතින තීව්ර වන අරගලයක කොන්දේසි යටතේ, එවන් පසුබෑමක් දේශපාලනික ව දරා ගැනීම ට්‍රම්ප්ගෙන් අපේක්ෂා කල නොහැක.
ගොඩබිම් භටයන් දිගේලි කිරීම, යුද්ධයට වඩාත් සුවිසල් ව ඉහල නැගීමේ ගතිකයක් ලබා දෙනු ඇත. මේ දක්වා වාර්තා වන එක්සත් ජනපද මිලිටරි මරන සංඛ්‍යාව වන 13 වේගයෙන් ගුනනය වනු ඇත්තේ, තව තවත් භටයන් යැවීමට බල කරමිනි. වෙරලේ සිට යන්තම් සැතපුම් 15ක් දුරින් පිහිටි කාග් දිවයිනේ හෝ ප්‍රධාන භූමියේ වෙරලබඩ කලාපයේ සිට මෙහෙයුම් දියත් කලහොත් එක්සත් ජනපද කඳවුරු ඉලක්ක කිරීමට ඉරානයට හැකි වනු ඇත. මිලියන 90ක පුද්ගලයන්ගෙන් සමන්විත ඉරාන ජනගහනයේ ආරක්ෂිත ස්ථාන ශක්තිමත් කිරීමට ඉරානයට හැකියාව තිබෙනු ඇත. එක් ඕස්ට්‍රේලියානු චින්තන පර්ෂදයක්, පලමුවන ලෝක යුද්ධය සමයේ බ්‍රිතාන්‍යය සහ එහි සගයන් විසින් ගැලිපෝලි අර්ධද්වීපය අල්ලා ගැනීමට 1915 දී දියත් කරන ලද සහ 250,000ට අධික මරන සංඛ්‍යාවක් ඇති කරමින් අසාර්ථක ව අවසන් වූ මෙහෙයුම සමග මෙය සන්සන්දනය කර ඇත.
වර්තමාන ගැටුම සහ පලමු වන ලෝක යුද්ධය අතර යමෙකුට කල හැකි එක ම සන්සන්දනය මෙය නොවේ. තවත් සන්සන්දනාත්මක දෙයක් වන්නේ, සියලු ප්‍රධාන අධිරාජ්‍යවාදී බලයන් යුද්ධයට ඇද ගැනෙන වේගයයි. සතිය ආරම්භයේ, බ්රසල්ස්හි පැවති විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමක දී, යුරෝපීය අධිරාජ්‍යවාදීහු ඒ වන විටත් ප්‍රකාශ කරමින් සිටියේ, මෙය “අපේ යුද්ධය” නොවන බව යි. හෝමුස් සමුද්‍ර සන්ධිය මුදා ගැනීම සඳහා සහභාගි වන බවට පොරොන්දු වෙමින්, බ්‍රිතාන්‍යය, කැනඩාව, ප්රන්සය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය සහ ජපානය බ්‍රහස්පතින්දා වන විට, ප්‍රකාශ නිකුත් කලහ. ලෝකයේ තෙල්වලින් සියයට 20ක් සඳහා ප්‍රවාහන මාර්ගයක් ලෙස සේවය කරන මුහුදු මාර්ගය පසු කර නෞකා ගමනාගමනය වැලැක්වීමට යොදා ගැනෙමින් තිබෙන ඉරාන ඉලක්කවලට පහර දීම සඳහා තම කඳවුරු භාවිතා කිරීමට එක්සත් ජනපදයට ඉඩ දෙන බව, සිකුරාදා බ්‍රිතාන්‍යය නිවේදනය කලේ ය. යුද්ධය ක්ෂනික අවසානයකට ගෙන ඒමට යුරෝපීයයන් දරන මංමුලා සහගත උත්සාහය තීව්ර කෙරෙන ප්‍රධාන භීතීන් ගනනාවකි; ඉහල බලශක්ති මිල ගනන් හරහා ඒවායේ ආර්ථිකයන් හැකිලීම, රුසියාවට එරෙහි යුද්ධය අඛන්ඩ ව කර ගෙන යාම සඳහා යුක්රේනයට සැපයෙන එක්සත් ජනපදයේ නිශ්පාදිත ආයුධ අහිමි කිරීම සහ වඩා හොඳ තෙල් හා ස්වාභාවික ගෑස් ආදායම් හේතුවෙන් ක්‍රෙම්ලිනය මූල්‍යමය වසයෙන් ශක්තිමත් වීම ඒ අතර වේ.
ආර්ථිකය ගෝලීයකරනය වී තිබිය දී ලෝකය ජාතික රාජ්‍යයන් ලෙස බෙදී පැවතීම සහ නිශ්පාදනය සාමාජීයකරනය වී තිබියදී කුඩා මූල්‍ය කතිපයාධිකාරයක හස්තයේ නිශ්පාදන බලවේග සංකේන්ද්‍රනය වී පැවතීම යන සමහන් කල නො හැකි පරස්පර-විරෝධයන් මගින් ප්‍රකාශයට පත් වන, අර්බුද-ග්රස්ත ධනවාදය තුල යුද්ධයේ ප්රසාරනය මුල් බැස තිබේ. ඉරානයේ බලශක්ති මූලාශ්‍ර අත් පත් කරගෙන මැද පෙරදිගින් රුසියාව හා චීනය පසෙකට කර තැබීම මගින්, එක්සත් ජනපදයේ දිග්ගැස්සුනු ආර්ථික ඛාදනය ජය ගත හැකි යයි, ට්‍රම්ප් නියෝජනය කරන කතිපයාධිකාරය අපේක්ෂා කරයි.
20වැනි ශතවර්ෂයේ විප්ලවවාදී හා විජිත-විරෝධී අරගල හරහා කම්කරු පන්තිය දිනාගත් සමාජීය හා දේශපාලනික ජයග්රහන අහෝසි කිරීම මගින් එම ශතවර්ෂය අකාමකා දැමීමත්, බ්‍රිතාන්‍යය වෙනුවට එක්සත් ජනපදය අනභියෝගී ආධිපත්යධාරියා වන පරිදි, 1800 ගනන්වල පසුභාගයේ පැවති අධිරාජ්‍යවාදයේ හිමිදිරිය විලක්ෂනය කල නග්න යටත්-විජිත පීඩනය කරා ලෝකය ආපසු ගෙන යාමත්, වොෂින්ටනයේ අරමුනයි. විදෙස් රටවල් තුල මිලිටරි යුද්ධයට අමතර ව, රට තුල පන්ති යුද්ධය තීව්ර කිරීම, මෙම මූලෝපාය හඹා යාමේ දී පාලක පන්තියට අවශ්‍ය කරයි. එක්සත් ජනපදය තුල ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමේ ට්‍රම්ප්ගේ මෙහෙයුමට පාලක පන්තිය ඇතුලතින් අව්‍යාජ විරුද්ධයක් නොමැත්තේ ද, යුරෝපීය පාලක ප්‍රභූන් සංස්ථාපිත දේශපාලනය තුලට අන්ත-දක්ෂිනාංශික පක්ෂ ඒකාග්ර කරමින් සිටින්නේ ද මේ නිසා ය.
මෙම යුද්ධය ආරම්භයේ පටන් ම, එහි සාපරාධී ස්වභාවයටත්, තීව්ර ව පැතිරී යාමට එයට පවතින විභවයටත් ලෝක සමාජවාදී වෙබ් අඩවිය අවධානය කැඳවී ය. යුද්ධයෙහි පලමු දවසේ, ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් මෙසේ ලීවේ ය:
ඇමරිකානු සමාජයෙහි අභ්‍යන්තර සමාජීය අර්බුදය නො විසඳන මෙම යුද්ධය, එක්සත් ජනපද ධනවාදයේ ගෝලීය ස්ථානයෙහි දිග් ගැස්සුනු ඛාදනය ආපසු හරවන්නේ නැත.
දේශීය හා ජාත්‍යන්තර යන දෙවර්ගයේ ම පරස්පර-විරෝධයන් තීව්ර කෙරෙනු ඇත. යුද්ධය ම අනිවාර්යයෙන් තීව්ර වී සමස්ත ග්‍රහලෝකය වෙලාගනු ඇත.
ජපාන අගමැති සානායේ තකායිචි සමග බ්‍රහස්පතින්දා ධවල මන්දිරයේ පැවති රැස්වීමක දී, ඉරානයට කරන එක්සත් ජනපද/ඊශ්‍රායල බෝම්බ හෙලීම 1941 දී පර්ල් හාබර් වරායට ජපානය එල්ල කල ප්‍රහාරය සමග සන්සන්දනය කල විට, ට්‍රම්ප් අඩු හෝ වැඩි වසයෙන් ඔහු දියත් කර ඇති යුද්ධයෙහි මානයන් පිලිගත්තේ ය. “පුදුමයට පත්කිරීමක් අපට අවශ්‍ය කල නිසා එය පිලිබඳ ව අපි කිසි කෙනෙකුට කීවේ නැහැ. ජපානයට වැඩිය වඩා හොඳින් පුදුමයන් ගැන දන්නේ කවුද? ඔබ මට පර්ල් හාබර් ගැන නො කීවේ ඇයි, ඔක්කොම හරි? හරි ද?“ යි ජපානය හා එක්සත් ජනපදයේ අනෙකුත් මිතුරන්ට යුද්ධය ගැන කල්තබා දැනුම් දීමක් නො කලේ මන්දැයි වාර්තාකරුවෙක් විමසූ විට ට්‍රම්ප් සඳහන් කලේ ය.
1941 දෙසැම්බරයේ පර්ල් හාබර් වරායට ජපානය එල්ල කල ප්‍රහාරය, එක්සත් ජනපදය දෙවන ලෝක යුද්ධය තුලට කැඳවී ය. 1945 සංහාරයෙහි අවසානය වන විට, පුද්ගලයින් මිලියන 80ට අධික ගනනකගේ ජීවිත බිලිගෙන තිබුනු යුද්ධය, යුරෝපීය යුදෙව්වන්ගේ නාසි සමූලෝත්පාඨනයට හා ජපාන නගර මතට ඇමරිකාව පරමානු බෝම්බ දෙකක් හෙලීමට සාක්ෂි දැරුවේ ය. ලෝකය අලුතින් යලි බෙදා ගැනීමේ දී, කොල්ලයේ තම කොටස සුරක්ෂිත කර ගැනීමට, අද දින ද ඊට වඩා අනුකම්පා විරහිත භාවයෙන් නොඅඩු විධික්රම යොදා ගැනීමට, වොෂින්ටනය හා එහි අධිරාජ්‍යවාදී ප්රතිමල්ලවයන් සූදානම් ය.
අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයෙහි යලි නැගිටීම නැවැත්වීමට, සමාජය සමාජවාදී ලෙස ප්‍රති-සංවිධානය කිරීම සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලුගැන්වීම අවශ්‍ය කරයි. මිලිටරියට අරමුදල් සපයනු වස්, තියුනු මිල උද්ධමනය, රැකියා කප්පාදු සහ සමාජ වැඩසටහන් මුලිනුපුටා දැමීම හරහා, පාලක ප්රභූන්ගේ කොල්ලකාරී යුද්ධවලට ලහිලහියේ මුදල් ගෙවීමට, අධිරාජ්‍යවාදී රටවල කම්කරුවන්ට අවශ්‍යතාවක් නැත. ඇමරිකානු හා යුරෝපීය අධිරාජ්‍යවාදය මත පරාජයක් පතිත කිරීමේ අරගලයේ දී, තම ස්වාභාවික මිතුරන් වන ඉරානයේ හා සමස්ත මැද පෙරදිග කම්කරුවන් සමග එක් ව, දේශපාලන බලය කම්කරු පන්තියේ හා සමාජවාදයේ හස්තයට මාරු කිරීමේ ගෝලීය අරගලයේ දී තමන්ගේ තැන ගැනීම මගින්, අධිරාජ්‍යවාදී කොල්ලය පරාජය කල හැකිය. ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ඉදිරිපත් කරන ක්‍රියාමාර්ගය මෙය යි.
