[මෙය Charles III in Washington: Monarchy, oligarchy and the repudiation of 1776 යන මැයෙන් 2026 අප්‍රේල් 28 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]
ඇමරිකානු නිදහසේ 250 වන සංවත්සරය ආසන්නයේ, පසුගිය අඟහරුවාදා (28), බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයා වන III වන චාල්ස්, එක්සත් ජනපද කොංග්‍රසයේ ඒකාබද්ධ සැසියක් ඇමතීය. ඇමරිකානු විප්ලවයේ සතුරු පාර්ශවයේ නායකයා වූ ජෝර්ජ් රජුගේ මී-මුනුපුරෙකු වන III වන චාල්ස් රජු, පාලක පන්තිය සහ එහි දේශපාලන පක්ෂ දෙක විසින් පූර්න උත්සවාකාරී ගෞරව බහුමානයෙන් යුතු ව පිලිගනු ලැබීය.
ට්‍රම්ප්ගේ ආකල්ප සහ අභිලාෂයන් සාරාංශ කරමින්, ධවල මන්දිරය, සෙනසුරාදා (25) දහවල්, ට්‍රම්ප් සහ චාල්ස් එකට සිටින ඡායාරූපයක්, “රජවරු දෙදෙනෙක්” යන ශීර්ෂ පාඨය යටතේ පල කලේ ය.

අඟහරුවාදා (28) උදෑසන ධවල මන්දිරයේ දී ආරම්භ වූ මෙම සංදර්ශනයේ දී චාල්ස්ට වෙඩි මුර 21 ක ආචාරයක් පිරිනමන ලද අතර, සංචාරය කරන රාජ්‍ය නායකයෙකුට ලැබෙන ඉහලම රාජ්‍ය තාන්ත්‍රික ගෞරවය වන “හමුදා විමර්ශනයකට” ට්‍රම්ප් සමඟ සහභාගී විය. පෞද්ගලික ඕවල් කාර්යාල රැස්වීමකින් පසු, චාල්ස්, කැපිටල් හිල් වෙත ගිය අතර, කොංග්‍රසයේ ඒකාබද්ධ සැසියක් ඇමතූ දෙවන බ්‍රිතාන්‍ය රජතුමා බවට පත්විය.
සවස් වරුවේ, ධවල මන්දිරයේ රාජ්‍ය භෝජනාගාරයේ පැවති ඉහල පෙලේ භෝජන සංග්‍රහයක් මගින්, රජුට සහ කැමිලා රැජිනට ගෞරවය පුද කරන ලද අතර, ට්‍රම්ප් විසින් පෞද්ගලිකව සකස් කරන ලද, ඡායා රාජාන්ඩුවක් හා සමාන ඇමරිකාවේ ධනය හා බලය ඇති කතිපයාධිකාරීන්ගෙන් පිරීගිය අමුත්තන්ගේ ලැයිස්තුවක් ද විය. සහභාගී වූවන් අතර පැරාමවුන්ට් ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් එලිසන්, ඇමසන් හි ජෙෆ් බෙසෝස්, ඇපල් හි ටිම් කුක් සහ එන්වීඩියා හි ජෙන්සන් හුවාං ද වූහ. ට්‍රම්ප්ගේ ෆැසිස්ට් කැබිනට් සාමාජිකයින් සහ දක්ෂිනාංශික මාධ්‍ය දැවැන්තයින් සහ ධනවාදී ව්‍යාපාරිකයින් රැසක් සමඟ ඔවුහු රාජකීය රසමසවුළු අනුභව කලහ.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ දෘෂ්ටි කෝනයෙන් බලන කල, මෙම සංචාරයේ අරමුන වූයේ, ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය අතර තරමක් පලුදුව ඇති “සුවිශේෂී සම්බන්ධතාවය” යලි ශක්තිමත් කර ගැනීමයි. චාල්ස්ගේ කොංග්‍රස් දේශනය තුල, “ක්‍රිස්තියානි ඇදහිල්ල” තුල නැංගුරම් ලා තිබෙන “සාමය” සහ “මිත්‍රත්වය” පිලිබඳ අරුත් සුන් ධර්මෝපදේශයන්, සුපුරුදු රාජකීය රූඩි තුල දවටා තිබුනි; 77 හැවිරිදි රජතුමා හරහා සම්ප්‍රේෂනය වූ, යුද්ධය පිලිබඳ සැබෑ කනස්සල්ලයි.
සීතල යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍ය මිලිටරි වියදම් “අඛන්ඩ ලෙස විශාල පරිමානයෙන් වැඩි වීම” ගැන චාල්ස් පුරසාරම් දෙඩූ අතර යුක්‍රේනය තුල රුසියාවට එරෙහි ගැටුමට එක්සත් ජනපදයේ නිරන්තර කැපවීම දිරිමත් කරන බවට අවධාරනය කලේ ය. ට්විටර් පනිවුඩ මගින් “රජුන් එපා” ව්‍යාපාරය සඳහා තම අවංක සහයෝගය පලකල එම ප්‍රජාතන්ත්‍රවාදීන්ම, සැබෑ රජ කෙනෙකු යුද්ධය ගැන කතා කල මොහොතේ ඔහුට ප්‍රශංසා කිරීමට නැගී සිටියහ. ප්‍රහාරක ජෙට් යානා, සබ්මැරීන සහ අනෙකුත් විනාශකාරී උපකරන නිෂ්පාදනය කරන ප්‍රධාන රටවල් දෙකේ “සමීපතම බැඳීම” ගැන සඳහන් කිරීමට, චාල්ස් යම් කාලයක් කැප කලේ ය.
බ්‍රිතාන්‍ය ධනේශ්වරයේ “පෞරානික රාජකීයයන්ගේ හා වංශාධිපතීන්ගේ බලකොටුව ව්‍යාපාරික සමාගම්වල අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි” අනුවර්තනය වී ඇති ආකාරය, වරක් ට්‍රොට්ස්කි නිරීක්ෂනය කලේ ය—එය, අද දක්වාමත් එහි සියලු වලංගුභාවය රඳවා ගෙන සිටින පැහැදිලි කිරීමකි. රාජකීය පවුල දූෂනයේ හා අපකීර්තියේ ගිලී සිටිය දී පවා, රාජාන්ඩුව, බ්‍රිතාන්‍ය ධනවාදයේ දෘෂ්ටිවාදාත්මක හා අත්‍යවශ්‍ය දේශපාලන මුක්කුව ලෙස ක්‍රියා කරයි.
චාල්ස්ගේ සහෝදරයා සහ ට්‍රම්ප්ගේ මිතුරා වන ඇන්ඩෲ කුමරු එප්ස්ටීන් ලිංගික අපයෝජන ජාලයට සෘජු ව ම සම්බන්ධ වී සිටි බැවින් පොදු රාජකාරිවලින් ඉවත් කර ඇති අතර, එප්ස්ටීන් සිද්ධිය අලලා කෙරෙුනු හෙලිදරව් කිරීම් මගින් රාජාන්ඩුව, මූල්‍ය, බුද්ධි අංශ සහ ගෝලීය පාලක ප්‍රභූව සම්බන්ධ කරන ජාත්‍යන්තර ධනය සහ අපරාධ ජාලය හෙලිදරව් කර ඇත. ඩිමොක්‍රටික් නියෝජිත රෝ ඛන්නා විසින් සංවිධානය කරන ලද, එප්ස්ටීන් සිද්ධියට සම්බන්ධ අය සමඟ පැවති රැස්වීමකට සහභාගී වීම චාල්ස් ප්‍රතික්ෂේප කල නමුත්, එය, රජුට උපහාර දැක්වීම සඳහා ඛන්නා ඔහුගේ සෙසු ඩිමොක්‍රටික් පාක්ෂිකයන් වන බර්නි සැන්ඩර්ස් සහ ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටෙස් සම්බන්ධ කිරීම වලක්වාලූයේ නැත.
නමුත් චාල්ස්ගේ සංචාරයේ වඩාත් මූලික වැදගත්කම පවතින්නේ ඇමරිකානු සන්දර්භය තුල ය. මෙම විකාරරූපී දර්ශනය, ඇමරිකානු පාලක පන්තියත්, දිගු කලක් තිස්සේ ප්‍රතික්ෂේප කර ඇත්තා වූ විප්ලවවාදී සම්ප්‍රදායනුත් අතර පවතින සම්බන්ධතාවය හෙලිදරව් කරයි.
ඇමරිකානු විප්ලවය ලොව ප්‍රථම ප්‍රධාන ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී සමූහාන්ඩුව ස්ථාපිත කලේ බුද්ධි-ප්‍රබෝධයේ මූලධර්ම මත ය. I වගන්තියේ, 9 සහ 10 කොටස්වල අඩංගු වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වංශවතුන්ගේ හිමිකම් තහනම් කිරීම, ජන්ම අයිතිය සහ රාජවංශික බලය ඉදිරියේ ජනතාව හිස නැමිය යුතු බවට වන සමාජ මූලධර්මය දැනුවත්ව ප්‍රතික්ෂේප කිරීමකි.
ඇමරිකානු විප්ලවයට දේශපාලන ස්වරූපයක් ලබා දීමට උපකාරී වූ, තෝමස් පේන්ගේ සාමාන්‍ය බුද්ධිය (Common Sense) කෘතිය, පාරම්පරික රාජාන්ඩුව අවඥාවට ලක් කලේය. “රජුන්ගේ පාරම්පරික අයිතියේ මෝඩකම පිලිබඳ ප්‍රබලම ස්වභාවික සාක්ෂියක් නම්, සොබාදහම විසින් එය අනුමත නොකිරීම යි; එසේ නොවූයේ නම්, ඇය සිංහයෙකු අවශ්‍ය තැන බූරුවෙකු ලබා දීමෙන් මනුෂ්‍ය වර්ගයා නිතර නිතර සමච්චලයට ලක් කරනු ඇත”—එය ඊයේ සිදුවීම්වල ආරාධිතයා සහ සත්කාරකයා යන දෙදෙනාටම ගැලපෙන අනාගත සමරු පාඨයකි.
බ්‍රිතාන්‍ය රාජාන්ඩුවේ නියෝජිතයාගේ මෙම සංචාරය සිදුවන්නේ 1776 ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වචනයෙන් සහ ක්‍රියාවෙන් ප්‍රතික්ෂේප කර තිබෙන පරිපාලනයක් යටතේ ය. අයිතිවාසිකම් පනත් කෙටුම්පත පාගා දමා ඇති අතර, III වන ජෝර්ජ් රජුට එරෙහි නිදහස් ප්‍රකාශනයේ ලැයිස්තුගත කර ඇති දුක්ගැනවිලි, ධවල මන්දිරයේ වත්මන් පදිංචිකරුට එරෙහි ඓතිහාසික අපරාධ ලේඛනයක් ලෙස කියවිය හැක.
රාජාන්ඩු මූලධර්මය මත පදනම් වූ බල ආයතන නැවත නිර්මානය කිරීමේ කාර්යයට ට්‍රම්ප් අපරාධකාරී පාතාලයේ සංස්කෘතික සූක්ෂමතාවන් යොදා ගනී. ඔහු ධවල මන්දිරයේ නැගෙනහිර කොටස කඩා දමා ඇත්තේ, පුද්ගලික ආඥාදායකත්වය පිලිබඳ ස්මාරකයක් ලෙස, වර්ග අඩි 90,000 ක වර්සයිල්ස් පන්නයේ බෝල්රූම් රංග ශාලාවක් නිර්මානය කිරීමට යි. ඔහු ඩොලර් මුදල් නෝට්ටුවේ තම අත්සන මුද්‍රා තැබීමට, රන් කාසියක ස්ව-ආලේඛය තැබීමට, එක්සත් ජනපද විදේශ ගමන් බලපත්‍රවල තම ප්‍රතිරූපය තැබීමට, කෙනඩි මධ්‍යස්ථානය නැවත නම් කිරීමට සහ රාජ්‍යයේ සෑම ආයතනයක්ම පුද්ගලිකත්වය උත්කර්ෂයට නැංවීමේ මෙවලමක් බවට පරිවර්තනය කිරීමට යොදාගෙන ඇත.
කෙසේ වෙතත්, ට්‍රම්ප් කතා කරන්නේ සහ ක්‍රියා කරන්නේ තමා වෙනුවෙන් පමනක් නොව, ව්‍යවස්ථාමය සීමා කිරීම් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තම ධනය ආරක්ෂා කර ගැනීමට දරාගත නොහැකි බාධක ලෙස සලකන කතිපයාධිකාරයක නියෝජිතයෙකු ලෙස ය.
චාල්ස්ගේ සංචාරයට ඔහුගේ නිල ප්‍රතිචාරයෙන් මෙය පැහැදිලි වේ. මාධ්‍ය, රජතුමා කෙරෙහි යටහත්කම් පාන අතර, ඔහුගේ හිස් වදන් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයේ ගැඹුරු ප්‍රකාශයක් ලෙස සැලකීය. ඩිමොක්‍රටික් පක්ෂය සහ ලිබරල් මාධ්‍ය, වසර ගනනාවක් ගත කරමින්, නිව් යෝර්ක් ටයිම්ස් හි 1619 ව්‍යාපෘතිය සහ ඒ ආශ්‍රිත උත්සාහයන් හරහා ජෙෆර්සන්, වොෂින්ටන් සහ ලින්කන් වාර්ගික දුෂ්ටයන් ලෙස හෙලා දැක්කේ ය. එහෙත් ඔවුහු දැන් පාරම්පරික වරප්‍රසාදයේ ජීවමාන ප්‍රතිමූර්තිය ඉදිරියේ හිස නමති. ඔවුන්ගේ ගැටලුව කිසි විටෙකත් පීඩනය පිලබඳව නොවේ; වර්තමාන සමාජ පර්යායට විරෝධය ඇවිලවිය හැකි විප්ලවවාදී සම්ප්‍රදායන්ට එරෙහි ව ය.
ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන් වන නිව්යෝර්ක් නගරාධිපති මම්දානි ද, ඔහුට පවරා ඇති කාර්යභාරය ඉටු කරමින්, අද චාල්ස් සමඟ සැප්තැම්බර් 11 ප්‍රහාරයන් සැමරීමේ උත්සවයකට පෙනී සිටියි.
ඩිමොක්‍රටික් පක්ෂය ඒකාධිපතිත්වයට විරුද්ධ නොවන්නේ, ඔවුන් ආරක්ෂා කරන්නේ ද, ඒකාධිපතිවාදය දෙසට හැරීමට හේතු වන පන්ති අවශ්‍යතා ම බැවිනි.
ඉතිහාසඥ ආර්නෝ මේයර්, ඔහුගේ “පැරනි පාලනයේ අවිච්ඡින්නතාව (The Persistence of the Old Regime)” නම් කෘතියේ, 1914 ට පෙර යුරෝපීය සමාජය ධනේශ්වරයේ ධනය, රාජාන්ඩු, වංශාධිපතීන් සහ පූජක තන්ත්‍රය සමඟ ඒකාබද්ධ කල ආකාරය විස්තර කර තිබේ. ධනේශ්වරය, එය යටින් පැවති ආර්ථික පදනම් පරිවර්තනය කල ද, පැරනි පාලන තන්ත්‍රයට අනුවර්තනය විය. මෙම සන්ධානය බිඳී ගියේ පලමු ලෝක යුද්ධය, රුසියානු විප්ලවය සහ ඉන් පසුව ඇති වූ විප්ලවවාදී නැගිටීම් මගින් පමනි.
අදටත්, තරමක් වෙනස් ආකාරයකින්, ඒ හා සමාන ගතිකයන් පවතී. ඇමරිකානු කතිපයාධිකාරය මානව ඉතිහාසයේ පෙර නොවූ විරූ පරිමානයකින් ධනය රැස් කරගෙන තිබේ. එහි කේන්ද්‍රීය දේශපාලනික අවධානය යොමු වී ඇත්තේ, ස්වකීය ධන-සමුච්චය මගින් ජනනය කරන සමාජ විරෝධයන්ට එරෙහි ව—නීත්‍යානුකූල, දෘෂ්ටිවාදාත්මක සහ භෞතික ආකාරයෙන්—මෙම ධනය ආරක්ෂා කර ගන්නේ කෙසේ ද යන්නයි.
එහි ප්‍රතිඵලය වන්නේ වංශාධිපති ස්වරූප නැවත බිහි වීමයි. කතිපයාධිකාරීන්ට ගෞරවය අවශ්‍ය ය. ඔවුන්ට මුක්තිය අවශ්‍ය ය. ඔවුන්ට අවශ්‍ය වන්නේ, තමා සිටින ස්ථානය ජනතාව දැන ගැනීමත්, ඉහල තරාතිරම්වල අය ඉදිරියේ යටහත්කම් පෑමත් ය. ඇත්ත වශයෙන්ම, ධන උරුමය සහ රාජවංශික වරප්‍රසාද පමනක් නොව, සමාජ භාවිතය සහ දේශපාලන සංස්කෘතිය තුල පිලිගැනීමට ලක්වීමට ද ඔවුන්ට අවශ්‍ය ය. වංශවත් පදවි සඳහා වන ව්‍යවස්ථාමය තහනම, තවමත් ලිඛිතව නොවූවද, ප්‍රායෝගිකව ප්‍රතික්ෂේප කිරීමට සූදානමක් පවතී.
ට්‍රම්ප් “රජවරුන් දෙදෙනෙක්” පෝස්ටුව පල කරන විට, එය අතිශයින්ම බැරෑරුම් ක්‍රියාවකි. එය රාජ්‍යයේ පැරාමිලිටරි පොලිස් ආයතන සහ ෆැසිස්ට් කල්ලි බලමුලු ගැන්වීම හරහා බලාත්මක කරන, පාරම්පරික පාලනයේ සහ නිර්බාධිත විධායක බලයේ මූලධර්ම ස්ථාපිත කිරීමට උත්සාහ කරන ජනාධිපතිවරයෙකුගේ සහ ඔහු පිටුපස සිටින සමාජ බලවේගයන්ගේ අභිප්‍රායේ ප්‍රකාශනයකි.
ට්‍රම්ප් පිටුපස සිටින්නේ ඊලොන් මස්ක්, ලැරී එලිසන්, ජෙෆ් බෙසෝස්, මාර්ක් සකර්බර්ග්, වෝල් වීදියේ මූල්‍යකරුවන්, තාක්ෂනික ඒකාධිකාරීන් සහ ඕනෑ ම ඓතිහාසික රජ කෙනෙකුගේ වත්කමට නොඅඩු ධනයක් ඇති පුද්ගලික කොටස් වංශාධිපතියන් ය. ඔවුන්ගේ ධනය මනිනු ලබන්නේ මාලිගා, වතු සහ ඔටුනු ආභරනවලින් නොව, සන්නිවේදන පද්ධති පාලනය, හමුදා කොන්ත්‍රාත්තු, කෘතිම බුද්ධිය, සැපයුම්, මූල්‍ය සහ සමාජ ජීවිතය පාලනය කරන ඩොලර් බිලියන සිය ගනනක දැවැන්ත සංගත අධිරාජ්‍යයන්ගෙනි.
2025 ජුනි සහ ඔක්තෝබර් සහ 2026 මාර්තු මාසවල පැවති “රජුන් එපා” විරෝධතා—අවසන් වරට පැවැත්වුනු විරෝධතාවට මිලියන 8 ක් පමන සහභාගී වූහ—රාජාන්ඩු සහ ඒකාධිපති ආකෘති නැවත ඇති කිරීමට එරෙහි ව මහජන විරෝධයේ නව උද්‍යෝගයක් ප්‍රකාශ කල නමුත්, ඒ අසංවිධිත සහ ප්‍රාථමික ආකාරයෙනි. නමුත් මෙම බලමුලු ගැන්වීම්, මහජන කෝපය ධනේශ්වර දේශපාලනයේ රාමුවට නැවත සිර කිරීමට උත්සාහ කරන ඩිමොක්‍රටික් පක්ෂය අතට පත්කල නොහැක. අනතුර වන්නේ, ට්‍රම්ප් නම් වන හුදු පුද්ගලයෙකු නොවේ. ඔහුව බිහි කලේ කතිපයාධිකාරී පටිපාටියයි.
චාල්ස් සිය දේශනයේ දී ප්‍රකාශ කලේ, ඇන්ග්ලෝ-ඇමරිකානු සම්බන්ධතාවය “ආරවුලක් තුලින් උපන් හවුල්කාරිත්වයක්” බවයි. මේ ආකාරයෙන් ඔහු උත්සාහ කලේ, රාජාන්ඩුවට එරෙහි විප්ලවවාදී අරගලයක් යනු, ප්‍රතිගාමීත්වයේ පොදු ජයග්‍රහනයේ සුලු සිදුවීමක් බවට ලඝු කිරීමට ය. නමුත් එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තර ව බොහෝ ජනතාව මෙම ඉතිහාසයෙන් ලබා ගනු ඇත්තේ, මීට බෙහෙවින් වෙනස් නිගමන සහ ආශ්වාදයන් ය.
1776 දී ප්‍රකාශ කරන ලද ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කිරීම, අද දින සමාජවාදය සඳහා වන සටනෙන් පිටත කල නොහැක්කකි. 18 වන සියවසේ දී, රාජාන්ඩුවට එරෙහි අරගලය, ධනේශ්වරයේ නැගීම හා ප්‍රජාතන්ත්‍රවාදී සමූහාන්ඩුවක් නිර්මානය කිරීම සමඟ බැඳී තිබුනි. 21 වන සියවසේ දී, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සහ ව්‍යාප්ත කිරීම සඳහා මූල්‍ය කතිපයාධිකාරය අත්පත් කර ගැනීමත්, පුද්ගලික ලාභය නොව, මානව අවශ්‍යතා මත සමාජය සමාජවාදී ලෙස ප්‍රතිසංවිධානය කිරීමත් අවශ්‍ය වේ.
1776 විප්ලවවාදී-ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කල හැක්කේ ඒවා ධනේශ්වර සමාජයේ සීමාවන් ඉක්මවා ගෙන යාමෙන් පමනි. අද දින, III වන චාල්ස් කැපිටල් හි අභිනන්දනයට ලක් වේ. වසර දෙසිය පනස් එකකට පෙර, ලෙක්සිංටන් සහ කොන්කෝඩ් හිදී, ඔහු මූර්තිමත් කරන මූලධර්මයට එරෙහිව සාමාන්‍ය ජනතාව අවි අතට ගත්හ. එදා සටන් කල මූලධර්ම නිවී ගොස් නැත. ඒවා ජීවත් වන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ වර්ධනය වන අරගල තුල වන අතර, එය දැන් සමාජවාදය සඳහා වන සටනේ දී සවිඥානික දේශපාලන ස්වරූපයක් අත්කර ගත යුතු ව තිබේ.
