[මෙය Sri Lankan president uses war commemoration to declare “economic war” on working people පලවූ ලිපියේ පරිවර්තනයයි.]
ශ්‍රී ලංකා ආන්ඩුව, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි ව මිලිටරි ජයග්‍රහනය ප්‍රකාශයට පත් කිරීමෙන් වසර 17 ක් සනිටුහන් කරමින් මැයි 19දා පැවති 17 වන “ජාතික විජයග්රහන දින සැමරුම” අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක “ආර්ථික යුද්ධය” ජයග්‍රහනය කිරීමේ අවශ්‍යතාව අවධාරනය කලේය.
මෙම රාජ්‍ය උත්සවය පවත්වන ලද්දේ, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ අන දෙන නිලධාරීන් සහ යුද්ධයෙන් ආබාධිත වූ සොල්දාදුවන් ඉදිරියේ වාර්ගික යුද්ධයට ඔජ වැඩීම සඳහා ය.
ඔහුගේ කතාවේ ප්‍රධාන අවධානය යොමු වූයේ සන්නද්ධ හමුදා “සාධාරනත්වය සහ නීතියේ ආධිපත්‍යය මත පදනම් වූ” සහ “ලෝකයේ සාර්ථක වීමට හැකියාව ඇති” “සංවර්ධිත ජාතියක්” ගොඩනැගීම සඳහා තම ජීවිත පූජා කල බවයි. ඉන්පසු ඔහු තවදුරටත් මෙසේ පැවසී ය: “අපි දශක ගනනාවක් පුරා ආර්ථික යුද්ධයක ගිලී සිටිනවා. අපි ඒ යුද්ධය ජය ගත යුතුයි. අපි දශක ගනනාවක සිට විරැකියාවේ යුද්ධයක ගිලී සිටිනවා. අපි ඒ යුද්ධය ජයගත යුතුයි. තරුන පරපුර නිදහස් නිවහල් රටක් ප්‍රාර්ථනා කරනවා. අපි එය ජයගත යුතුයි.”
දිසානායක තම ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජනතා බල රජය (ජේවීපී/ජාජබ) හරියට ම කුමක් කිරීමට යන්නේ ද යන්න පැහැදිලි නොකල ද, ආර්ථික යුද්ධය ජය ගැනීම පිලිබඳ ඔහුගේ අවධාරනයේ අරුත නොරහසකි. එය, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආරම්භ කරන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයිඑම්එෆ්) විසින් නියම කරන ලද කුරිරු කප්පාදු වැඩසටහන අඛන්ඩ ව ක්‍රියාත්මක කිරීම සහ සම්පූර්න කිරීම හැර අන් කිසිවක් නොවේ. ගෝලීය ආර්ථික අස්ථාවරත්වය සහ ඉරානයට එරෙහි එක්සත් ජනපද යුද්ධයේ ප්‍රතිවිපාක සමග සම්මිශ්රිත කප්පාදු පිලිවෙත් ජාත්‍යන්තර වසයෙන් ආර්ථික අර්බුදය වඩාත් නරක අතට ඇද දමා තිබේ.
වර්ගවාදී යුද්ධය සැමරීමෙන් දිනකට පසු, බදාදා, යුද්ධයෙන් විනාශ වූ නැගෙනහිර ප්‍රධාන නගරයක් වන මඩකලපුවේ පැවති ප්‍රසිද්ධ රැස්වීමක් ඇමතූ දිසානායක, කම්කරු පන්තියට සහ ගම්බද ජනයාට එරෙහි ව ආර්ථික ආර්ථික යුද්ධය ඉදිරියට ගෙන යන්නේ කවරාකාරයෙන් යන්න ගෙනහැර පෑවේ ය.
රැස්වීම අමතමින් සිටිය දී පවා, රුපියල අවප්රමානය වෙමින් ය පැවතුනේ. ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා ආනයන බිල්පත ගෙවීම සඳහා විදේශ සංචිත ක්ෂය වෙමින් පැවතුනි. දරාගත නොහැකි ජීවන තත්වයන්ට එරෙහි ව මහජන නැගිටීමකට තුඩු දුන් ගෝලීය අර්බුදයේ බලපෑමෙන් අවුලුවන ලද 2022 ආර්ථික විනාශයට--එය අවසන් වූයේ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කිරීමෙනි--නැවත ඉඩ නොතබන බවට ජනාධිපතිවරයා සපථ කලේ ය.
නරක අතට හැරෙන ඩොලර් හිඟය ගැන අනතුරු අඟවමින්, අයිඑම්එෆ් සමඟ සමීප සම්බන්ධීකරනයෙන් “දැඩි පියවර” ගන්නා බව ඔහු පැවසී ය. ඉන්ධන සහ විදුලි සහනාධාර වලින් සිදුවන පාඩු තවදුරටත් රජයට දරාගත ගත නොහැකි බව ඔහු අවධාරනය කලේය - ඩීසල් සැපයුම සඳහා ලීටරයකට රුපියල් 720 ක් වන අතර, පාරිභෝගිකයින් ගෙවන්නේ රුපියල් 392 ක් පමනි. එමෙන්ම, “ඩොලරය සඳහා කෙටිකාලයක් තිබෙන තෙරපුම පාලනය කරගත යුතුයි“ කීවේ ය. අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ගනන් අහස උසට නැගීමේ රැල්ලකට තුඩු දෙමින් බලශක්ති මිල දෙගුනයක් වීමට නියමිත ව තිබේ.
මෙම නව පියවරයන් පැමිනෙනු ඇත්තේ, දැනටමත් කෙරී ඇති මිල වැඩිකිරීම්වලට අමතර වසයෙනි: පෙබරවාරි මාසයේ සිට ඉන්ධන මිල ආසන්න වශයෙන් සියයට 40 කින්, ගෑස් මිල සියයට 31 කින් සහ විදුලි ගාස්තු සියයට 32 කින් ඉහල ගොස් ඇති අතර එමඟින් ආර්ථිකය පුරා පුලුල් ජීවන වියදමේ වැඩිවීමක් සිදු ව තිබේ.
“ආර්ථික යුද්ධයේ” භාෂාව හුදෙක් දිසානායක විසින් නිර්මානය කරන ලද්දක් නොවේ. 2009 මැයි 19දා එල්ටීටීඊයේ මිලිටරි පරාජයෙන් අනතුරු ව ජයග්‍රහනය ප්‍රකාශ කිරීමෙන් පසුදින ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැවසුවේ, දැන් අභියෝගය යුද්ධයේ සිට “මව්බිම ගොඩනැගීම” කරා මාරු වී ඇති බවත්, මෙම නව කාර්යයට සමාජය අනුගත වන ලෙස ඉල්ලා සිටින බවත් ය.
යුද්ධයේ නාමයෙන් කැපකිරීම් උකහා ගැනීමෙන් පසු, ආන්ඩුව තවදුරටත් කප්පාදු පැනවීම සඳහා “ජාතිය ගොඩනැගීම“ යොදාගන්නා බව ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඒ අවස්ථාවේ පෙන්වා දුන්නේ ය. එය අනතුරු අඟවා සිටියේ, තම ජීවන තත්වයන්ට එල්ල කරන ප්‍රහාරවලට විරුද්ධ වන කම්කරුවන් “ජාතියට ද්‍රෝහීවූවන්” ලෙස ආන්ඩුව විසින් හෙලාදකිනු ඇති බවයි .
එම විශ්ලේෂනය බලගතු ලෙස සනාථ කෙරුනි. සමෘද්ධිය උදාකිරීම කුනුකූඩයට දැමුනි. ඒ වෙනුවට, අයිඑම්එෆ් කප්පාදු, වැටුප් කැටිකිරීම් සහ රාජ්‍ය මර්දනයේ කුරිරු පැනවීම් - යනාදී කම්කරු පන්තියට සහ ග්‍රාමීය දුප්පතුන්ට එරෙහි ව සෘජු ව ම යොමු කරන ලද පියවර - රාජපක්ෂගේ “ජාතිය ගොඩනැගීමේ”උද්ඝෝෂනය තුලින් ආවරනය කෙරුනි.
යුද්ධය අතරතුර දැවැන්ත ලෙස ප්රසාරනය කෙරුනු මිලිටරියට 2021 දී පමනක් රුපියල් බිලියන 440 ක අයවැය ප්‍රතිපාදන වෙන් කරන ලදි. එය විසුරුවා හරිනු වෙනුවට, අනාගත සමාජ කැලඹීම්වලට එරෙහි ව දැඩි තර්ජනයක් ලෙස යොදාගැනීමට තවදුරටත් ශක්තිමත් කෙරුනි.
දිවයින පුරා සිටින කම්කරුවන් සම්බන්ධයෙන් ගත්විට, “සාමයේ ප්රතිලාභ” යන්න හුදු මායාවක් බව ඔප්පු විය. ආන්ඩුව, 2009 දී ඩොලර් බිලියන 2.6 ක අයිඑම්එෆ් නයක් ලබා ගෙන තිබූ අතර, එහි කොන්දේසි: 2011 වන විට අයවැය හිඟය සියයට 5 දක්වා අඩකින් අඩු කිරීම, රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම සහ දුම්රිය, විදුලිබල මන්ඩලය සහ තැපැල් සේවය පුද්ගලීකරනය කිරීම සඳහා අඩිතාලම දැමීම යනාදි කොන්දේසි ගොරතර විය.
2009 අවසානය වන විට රාජ්‍ය නය, දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 86.2 දක්වා දෙගුන විය. මහ බැංකුව පශ්චාත් යුධ සමයේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල විවෘත වූ “අවස්ථාවන්” - එනම් විදේශීය ආයෝජකයින් ආකර්ෂනය කර ගැනීම සඳහා ලාභ ශ්‍රමය පවතින බව- ප්‍රකාශයට පත් කලේ ය. මේ අතර, උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල අන්ත දරිද්‍රතාවේ ගිලී ජීවන සටනේ නිරත ව සිටි දෙමල යුද වැන්දඹුවන් සංඛ්‍යාව 90,000ක් තරම් බව වාර්තා කෙරුනි.
දරිද්‍රතාවයට සහ ඌන සංවර්ධනයට එරෙහි රාජපක්ෂගේ ඊනියා “ආර්ථික යුද්ධය” යථාර්ථයේ දී, ධනේශ්වර අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා කම්කරු පන්තියට සහ පීඩිතයින්ට එරෙහි යුද්ධයක් විය. 2011 දී, ඔහුගේ ආන්ඩුව අයිඑම්එෆ් ඇන වූ විශ්‍රාම වැටුප් ක්‍රමයකට විරෝධය පල කරමින් උද්ඝෝෂනයට ආ කටුනායක නිදහස් වෙලඳ කලාපයේ සේවකයින් 40,000 කට එරෙහි ව පොලිස් සහ හමුදා බලකායන් දිගේලි කරමින්, 21 හැවිරිදි රොෂේන් චානක ඝාතනය කර සිය ගනනකට තුවාල සිදු කලේ ය.
2012 දී, ඔවුන්ගේ ජීවනෝපායන්ට වින කටිමින්, අයිඑම්එෆ් නියෝග කල විනාශකාරී ඉන්ධන මිල ඉහල දැමීමට හලාවත ධීවරයින් විරුද්ධ වූ අවස්ථාවේ, පොලිසිය වෙඩි තබා දෙදරු පියෙකු වන ඇන්ටනි වර්නකුලසූරිය ඝාතනය කලේ ය.
2013 දී, රටේ ධනවත් ම පුද්ගලයාට අයත් යෝධ රබර් අත්වැසුම් කර්මාන්ත ශාලාවක් මගින් විෂ සහිත භූගත ජලය දූෂනය කිරීමට එරෙහි වෙමින් ද පිරිසිදු පානීය ජලය ඉල්ලා සිටිමින් ද විරෝධාතාවේ නියැලුනු රතුපස්වල ගම්මුන්ට එරෙහි ව රාජපක්ෂ හමුදාව යෙදවී ය. එයින්, පාසල් සිසුන් දෙදෙනෙක් සහ තරුන කම්කරුවෙක් මරනයට පත් වූහ. මෙම සිදුවීම්, “ජාතිය ගොඩනැගීමේ” සැබෑ අර්ථය වනාහී IMF විසින් පනවන ලද කප්පාදු ක්‍රියාත්මක කිරීම, දේශපාලන විරුද්ධත්වය මර්දනය කිරීම සහ කම්කරුවන්ට සහ ග්‍රාමීය දුප්පතුන්ට එරෙහි ව රාජ්‍ය ප්රචන්ඩත්වය භාවිතා කිරීම බව හෙලිදරව් කලේ ය.
අඟහරුවාදා දිසානායක කල ප්‍රකාශ, මෙම ප්‍රහාරය තවත් ගැඹුරු කිරීමට තර්ජනයකි. ඔහු අවධාරනය කලේ: “දශක ගනනාවක් තිස්සේ අපි ආර්ථික යුද්ධයක සිර වී සිටිමු, අපි එම යුද්ධය ජය ගත යුතු ය.” මෙයින් අදහස් කරන්නේ පෙර පාලන තන්ත්ර සියලු කප්පාදු පියවරයන් සම්පූර්නයෙන් ම ක්‍රියාත්මක කිරීමට නොහැකි ව “සිර වී” සිටිය ද, ඔහුගේ ආන්ඩුව ඒවා ක්‍රියාත්මක කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින බවයි.
අයිඑම්එෆ් විසින් පනවන ලද කොන්දේසි අතරට, රජය සතු ව්‍යවසායන් 400ක් පමන පුද්ගලීකරනය කිරීම, නිදහස් රාජ්‍ය අධ්‍යාපනය සහ මහජන සෞඛ්‍යය අංශවල යමක් තාමත් ඉතිරි ව ඇති නම් ඒවා කපා හැරීම, සියලු සහනාධාර අවසන් කිරීම සහ “නම්‍යශීලී කම්කරු නීති” හඳුන්වා දීම ඇතුලත් වේ. මේ අනුව, 2022 ආර්ථික අර්බුදය තුල පැහැර හරින ලද සියලුම විදේශ නය ආපසු ගෙවීමට සහ විදේශීය හා දේශීය ආයෝජන වැඩි කිරීමට කොලඹ පාලනය කොන්දේසි නිර්මානය කල යුතු ය.
පෙර පාලන තන්ත්රයන්ට මෙම න්‍යාය පත්‍රය සම්පූර්නයෙන්ම ක්‍රියාත්මක කිරීමට නොහැකි ව “සිර වී” සිටියේ, ඔවුන්ට මර්දනකාරී පොලිස්-රාජ්‍ය පියවරයන් නොතිබූ නිසා නොව, පහලින් එල්ල වූ මහජන විරෝධය නිසා ය.
කම්කරු පන්තිය සහ ග්‍රාමීය ජනතාව කෲර ලෙස මර්දනය නොකර, අයිඑම්එෆ් කප්පාදුව සාමකාමී ව ක්‍රියාත්මක කල නොහැකි බව දිසානායක ආන්ඩුව හොඳින් දනී. ඔහුගේ සූදානම් කරමින් සිටින “යුද්ධය” මෙය යි.
ජවිපෙට අනුබද්ධ වෘත්තීය සමිති නිලධරයන්, පක්ෂය බලයට පත් වූ දා සිට වැඩ වර්ජන සහ අනෙකුත් සියලුම කාර්මික ක්‍රියා තහනම් කර ඇත. කම්කරුවන් ප්‍රහාරවලට විරුද්ධ වූ විට, දිසානායක ආන්ඩුව යොමුවූයේ, පෙර පාලන තන්ත්රයන් විසින් භාවිතා කරන ලද එම මර්දනකාරී ක්රමවේදයන්ටම ය. 2025 දී, වැඩවර්ජිත තැපැල් සේවකයින්ට එරෙහි ව හමුදාව යොදවන ලද අතර, පෞද්ගලීකරනයට විරුද්ධ විදුලි සේවකයින්ට එරෙහි ව හදිසි නීති ක්‍රියාමාර්ග යොදාගන්නා ලදි.
පසුගිය සැප්තැම්බරයේ සිට, වැඩවර්ජන ඇතුලු කාර්මික ක්‍රියාමාර්ග සහ එම ක්‍රියාමාර්ග සඳහා උද්ඝෝෂනය තහනම් කරමින්, කුරිරු “අත්‍යවශ්‍ය සේවා” රෙගුලාසි බොහෝ අංශ වෙත ව්‍යාප්ත කර ඇත. 2025 නොවැම්බර් මාසයේ සිට, නැවත නැවතත් අලුත් කරන ලද හදිසි අවස්ථාව බලාත්මක ව පවතින අතර, හමුදාව යෙදවීමට, විරෝධතා මර්දනය කිරීමට, මාධ්‍ය වාරනය කිරීමට සහ නඩු විභාගයකින් තොර ව පුද්ගලයින් රඳවා තබා ගැනීමට එයින් පුලුල් බලතල ලබා දී ඇත.
වැඩ කරන ජනතාව තේරුම් ගත යුතු වන්නේ, දිසානායක ආන්ඩුව ඔවුන්ගේ ජීවන සහ සමාජ තත්වයන්ට සහ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම්වලට එරෙහි ව සෘජු ප්‍රහාරයක් සූදානම් කරමින් සිටින බවත්, ඒකාධිපති පාලනයක් දෙසට හැරෙමින් සිටින බවත් ය.
මෙම යුද්ධයට ඇති එක ම පිලිතුර වන්නේ, සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක පදනම මත, ගම්බද දුප්පතුන් සමඟ සන්ධානගත ව කම්කරු පන්තිය ස්වාධීන ව දේශපාලනික ව බලමුලු ගැන්වීමයි. මෙය කල හැකිවන්නේ, රැකියා, වැටුප්, සේවා කොන්දේසි සහ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සටන් කරන සංවිධාන ලෙස සෑම වැඩපොලකම සහ අසල්වැසි ප්‍රදේශයක ම කම්කරු ක්‍රියාකාරී කමිටු සංවිධානය කිරීමෙන් පමනි. මෙම කමිටු, එසේ ස්වාධීන කමිටු පිහිටුවන ලෙසත් අරගලය තුල ඒකාබද්ධ විය යුතු බවත් ග්‍රාමීය දුප්පතුන්ගෙන් ද ඉල්ලා සිටිය යුතුය.
අයිඑම්එෆ් විසින් නියම කරන ලද ජවිපෙ/ජාජබ කප්පාදු ප්‍රතිපත්තියට කම්කරු පන්තියේ පිලිතුර නම්: සියලු විදේශ නය සහ අයිඑම්එෆ් සමග ඇති බැඳීම් ප්‍රතික්ෂේප කිරීම; බැංකු සහ ප්‍රධාන ව්‍යවසායන් කම්කරුවන්ගේ ප්රජාතන්ත්රවාදී පාලනය යටතේ ජනසතු කිරීම; සහ ජාත්‍යන්තර මූල්‍ය ප්රාග්ධනයේ ලාභ ඉල්ලීම් නොව බහුතරයකගේ සමාජ අවශ්‍යතා සපුරාලීමට කැප වී සිටින කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමයි.
සමාජවාදී සමානතා පක්ෂය මෙම පිලිවෙත් ඉදිරිපත් කරයි. මෙම වැඩපිලිවෙල සඳහා සටනට එක්වන ලෙස කම්කරුවන්ගෙන් සහ තරුනයින්ගෙන් අපි ඉල්ලා සිටිමු.
