ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක දරුනු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ජුනි 2 වන දින යාපනය පොලිසියේ අපරාධ වැලැක්වීමේ අංශය විසින් අත්අඩංගුවට ගන්නා ලද කිලිනොච්චියේ රැප් ගායකයෙකු වන “හිපොප් සංගී” ලෙස ජනප්‍රිය සංගීත්සන් ගනේෂ්කුමාර්, ජුනි 12 වන දින චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරනය විසින් බරපතල ඇප කොන්දේසි මත නිදහස් කර ඇත.
නීතිපතිවරයාගේ උපදෙස් මත, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ චෝදනා ඉදිරියට ගෙන නොයෑමට පොලිසිය තීරනය කලේ ය. ඒ වෙනුවට, ශ්‍රී ලංකාවේ දන්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය යටතේ නඩුවක් ගොනු කිරීමට පොලිසිය සූදානම් වෙයි.
ඔහු අත්අඩංගුවට ගැනීම, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ/ජාජබ) ආන්ඩුව විසින් ප්‍රකාශනයේ සහ කලාවේ නිදහසට එල්ල කරන පුලුල් ප්‍රහාරයක කොටසක් ලෙස, පෘථුල ව හෙලා දැකීමට ලක්විය. ශ්‍රී ලංකාව පුරා දෙමල සහ සිංහල කම්කරුවන්, තරුනයින්, බුද්ධිමතුන් සහ දේශපාලන සංවිධාන අතර විරෝධතා පැන නැගුනි.
සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) අත්අඩංගුවට ගැනීම හෙලා දුටු අතර සංගීත්සන් වහා ම, කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේ ය.
උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල අත්අඩංගුවට ගැනීම සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට එරෙහි ව නිරන්තර ව නැගෙන විරෝධය මධ්‍යයේ, මෙම සිද්ධිය එම ප්‍රදේශ වල ජවිපෙ/ජාජබ ආන්ඩුවට ඇති තුනී සහයෝගය ද නැත්තට ම නැති වීමේ තවත් අවස්ථාවක් ලෙස ආන්ඩුවේ කොටස් අතර කනස්සල්ලට හේතු විය. අඩියක් පස්සට ගෙන වෙනත් චෝදනා ඉදිරිපත් කිරීමට පොලිසිය ක්‍රියාකර ඇත්තේ මේ තත්වය තුල ය.
කොන්දේසි තුනකට යටත් ව සංගීත්සන්ට ඇප ලබා දෙන ලදී: ඇපකරුවන් කිලිනොච්චි අධිකරන බල ප්‍රදේශය තුල පදිංචි වී සිටිය යුතු ය; රුපියල් 100,000 බැගින් වූ ඇපකරුවන් දෙදෙනෙකු ලබා දිය යුතු ය; සහ එක් ඇපකරුවෙක් සමීප ඥාතියෙකු විය යුතු ය. සන්ගීත්සන් ප්‍රදේශයේ පොලිසියේ සෑම මසකට වරක් ම පෙනී සිටිය යුතු ය.
මෙම කොන්දේසි යටතේ, බලධාරීයෝ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත පිලිබඳ චෝදනා යොදා ගැනීම නතර කොට ඒ වෙනුවට නීතිපතිවරයාගේ උපදෙස් මත දන්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය යටතේ ක්‍රියාත්මක වීමට තීන්දු කලහ.
සමහර ජවිපෙ/ජාජබ දේශපාලනඥයින් සහ මාධ්‍ය අංශ විසින් සංගීත්සන් සම්පූර්නයෙන් ම නිදහස් කර ඇති බවට කරන ප්‍රකාශ අසත්‍යයන් ය. දන්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය යටතේ වරදකරු වුව හොත්, ඔහුට වසර දෙකක සිර දඬුවමකට මුහුන දීමට සිදු වේ.
120 වන වගන්තිය, “කතා කරනු ලැබූ හෝ කියවීමට අදහස් කරනු ලැබූ වචනයෙන් හෝ සංඥාවලින් හෝ දැකිය හැකි නිරූපනවලින්, ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිට හෝ ආන්ඩුවට විරුද්ධත්වය දැක්වීමේ හැඟීම් ඇවිස්සුවහොත් හෝ ඇවිස්සීමට තැත්කලහොත් හෝ නීතිය ක්‍රියාවෙහි යෙදවීමෙහි දී වෛරයක් හෝ අගෞරවයක් ඇති කරවතොත් හෝ ඇති කරවීමට තැත්කරතොත්” ….හෝ “වැසියන් අතර අසන්තෝෂය හෝ විරුද්ධත්වය ඇති කරවීමට හෝ වැසියන්ගේ වෙනස් පංති අතර සතුරු වූ ද අසමගිකාරී වූ ද හැගීම් වැඩි දියුනු කිරීමට තැත් කරතොත් ඔහුට අවුරුදු දෙක දක්වා කාලයක ලිහිල් බන්ධනාගාරගත කිරීමකින් දඩුවම් කල යුතු ය.”
ඉහත දක්වා ඇති දන්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය භාෂනයේ හා ප්‍රකාශනයේ නිදහස මුලුමනින් ම උල්ලංඝනය කරන, ධනපති පන්ති පාලනය ආරක්ෂා කිරීමට සකස් කල එකකි.
සංගීත්සන් වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් ඇතුලු නීතිඥයින් කිහිප දෙනෙකු පෙනී සිටියහ. කෙසේ වෙතත්, ඔහු ඇප මත නිදහස් වූ විට, ජවිපෙ/ජාජබ ට අනුබද්ධ නීතිඥවරුන් වන කයිලයිනාදන් සුබාකර් සහ ධර්මකුලසිංහම් අංජනන් ද එහි සිටියහ.
ජාජබ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඉලන්කුමාරන් මාධ්‍යවේදීන්ට කතා කරමින් සංගීත්සන් සමග බන්ධනාගාරයෙන් පිටව යන ආකාරය සමාජ මාධ්‍යවල සංසරනය වූ වීඩියෝවකින් පෙන්වන ලදී. 'නීතිඥයින් දේශපාලනය කිරීමට ගායකයින් භාවිතා කරයි. අද ඔවුන් සමාජ මාධ්‍ය නීතිඥයින් බවට පත්ව ඇත' යනුවෙන් ඉලන්කුමාරන් උපහාසාත්මක ව ප්‍රකාශ කලේය.
ජවිපෙ/ජාජබ ක්‍රියාකාරීහු, ඔවුන් සංගීත්සන්ගේ ආරක්ෂකයන් ලෙස සහ ප්‍රකාශන නිදහසේ ආරක්ෂකයන් ලෙස පෙනිසිටීමේ කුහක උත්සාහයක යෙදෙමින් සිටිති. රැප් ගායකයා කුරිරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුව ගැනීමට හේතුව ගැන හෝ බරපතල ඇප කොන්දේසි මත හා අලුත් චෝදනා ගොනුකිරීම ඉල්ලක්ක කරගෙන ඔහු නිදහස් කිරීම ගැන හෝ ඉලන්කුමාරන් නිහඬය.
සංගීත්සන්ගේ නිවසේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් තවත් ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රජීවන් ජයචන්ද්‍රමූර්ති මෙසේ කිවේය: 'ඔහු අත්අඩංගුවට ගැනීමේදී වරදක් සිදුවී තිබෙන බවක් පෙනේ. ඔහු කලාකරුවෙක්. ඔහුට කලාකරුවෙකු ලෙස ජීවත් වීමට ඉඩ දෙන්න. මෙම තරුනයා කිසිදු වරදක් කර නැත'. මෙම ප්‍රකාශ, අත්අඩංගුවට ගැනීම සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ අඛන්ඩ පැවැත්මට එරෙහිව වැඩෙන මහජන විරෝධය පාලනය කිරීම අරමුනු කරගත් මංමුලා සහගත් අභ්‍යාසයකි.
ඒ හුස්මට ම ජයචන්ද්‍රමූර්ති තවදුරටත් කියා සිටියේ ආන්ඩුව 'වාර්ගික, ආගමික සහ සමාජ සමගිය' සහිත පරිසරයක ක්‍රියාත්මක වන බවත්, මෙම වටිනාකම් ප්‍රවර්ධනය කරන ලෙස රැප් ගායකයාගෙන් ඉල්ලා සිටි බවත් ය. මෙය, කලාකරුවන් ආන්ඩුවේ දේශපාලන දැක්මට අනුකූල වුවහොත් පමනක් ඔවුන් ඉවසා සිටින බවට කල අනතුරු ඇඟවීමකි.
'වාර්ගික, ආගමික සහ සමාජීය සමගිය' සහ 'සංහිඳියාව' ප්‍රවර්ධනය කරන බවට ආන්ඩුව කරන ප්‍රකාශ අමු බොරුය. දශක ගනනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ සිංහල බහුතර පාලක පන්තිය, විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුන, සිංහල වර්ගවාදය සහ ඒකීය රාජ්‍යය ආරක්ෂා කරන අතර ම මෙම හිස් වාක්‍ය ඛන්ඩ දොඩවති. ඔවුන්ට අනුව ජාතික “සමගිය” යනු ඒකීය රාජ්‍යය ආරක්ෂා කිරීමයි.
ඔවුන් සියල්ලෝම, 1956 දී සිංහල එකම රාජ්‍ය භාෂාව ලෙස ස්ථාපිත කලාවු ද, 1972 ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ බුද්ධාගමට “ප්‍රමුඛස්ථානය” ලබා දුන්නාවූ ද ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකීය ව්‍යවස්ථා රාමුව හා ඒ සියල්ලම සහිතව 1978 පනවන ලද ඒකාධිපති බලතලවලින් තවත් විස දල සවිකරන ලද විධායක ජනාධිපති ව්‍යවස්ථා ව ආරක්ෂා කරති.
මෙම ප්‍රතිගාමී රාමුව අඛන්ඩව සහ තරයේම ආරක්ෂා කරන ජවිපෙ, බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහි වාර්ගික යුද්ධයේ ප්‍රමුඛ සහායකයෙකු විය. 2024 ජනාධිපතිවරනයට දින පහකට පෙර, දිසානායක, සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ ප්‍රධානීන්ගේ කැඳවුමකට අනුව විජිත හේරත් ඔවුන් හමුවට යවා ජාජබ ආන්ඩුවක් ඒකීය රාජ්‍යය සහ එහි බුද්ධාගමට ප්‍රමුඛත්වය දීම දිවි හිමියෙන් ආරක්ෂා කරන බවට සහතික විය.
ඇප පිට නිදහස ලැබීමෙන් පසු ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කරමින් සංගීත්සන් මෙසේ පැවසීය: 'මම ඇතුලෙ හිටියෙ. පිටත මොකද වුනේ කියලා මම දන්නේ නැහැ. මගේ නිදහස් කිරීම සඳහා බොහෝ දෙනෙක් සටන් කල බව මම දන්නේ දැන්. මම හැමෝට ම ස්තූතිවන්ත වෙනවා.'
ලෝක සමාජවාදී වෙබ් අඩවිය ශ්‍රී ලංකාව පුරා ලේඛකයින්, සිනමාකරුවන්, කාටූන් ශිල්පීන් සහ අනෙකුත් බුද්ධිමතුන් සහභාගි කර ගනිමින්, සංගීත්සන්, ලේඛක දීපචෙල්වන් සහ මාධ්‍යවේදී ගනපතිපිල්ලෙයි කුමනන් ඇතුලු කලාකරුවන්ගේ හා මාධ්‍යවේදීන්ගේ ප්‍රකාශනයේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරන ප්‍රකාශ පලකරමින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකීමේ උද්ඝෝෂනයක නිරතුරුව යෙදී ගෙන සිටි.
වාර්ගික පදනමක් මත සංගීත්සන්ගේ ප්‍රකාශන නිදහසට එල්ල කරන ලද ප්‍රහාරය, දිසානායක ආන්ඩුව ඒකාධිපති පාලන ක්‍රම වෙත හැරීම වේගවත් කිරීමේ කොටසකි. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල කරන ප්‍රහාර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පියවර සහ ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධයෙන් ගැඹුරු වන ආර්ථික අර්බුදයේ බරට එරෙහිව කම්කරුවන් සහ තරුනයින් අතර විරෝධය වර්ධනය වන තතු තුල දේශපාලන විරුද්ධත්වයන් මැඩපැවැත්වීම සඳහා ආන්ඩුව වඩ වඩාත් මර්දනය උසිගන්වමින් සිටී.
