[මෙය Sri Lanka: Families of 12 sentenced to death over killing of MP appeal for financial aid මැයෙන් 2027 ජූලි 23 පල වූ ලිපියේ පරිවර්තනයයි.]
ශ්‍රී ලංකාවේ මහජන නැගිටීම මධ්‍යයේ, 2022 මැයි මාසයේ දී, පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ පොලිස් ආරක්ෂකයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෙබරවාරි මාසයේ දී මරන දඬුවම නියම වූ 12 දෙනාගේ පවුල්වල සාමාජිකයින් ඔවුන්ගේ නීතිමය අභියාචනා සඳහා අරමුදල් රැස් කිරීම සඳහා නිට්ටඹුව ජනතා සාමූහිකය පිහිටුවා ඇත.
පෙබරවාරි 11 වන දින, ඔවුන් වරදකරුවන් බවට තීරනය කරමින් මරන දඬුවම් නියම කල විට සමාජවාදී සමානතා පක්ෂය (සසප) එම තීන්දුවට විරුද්ධ විය. අපි තීන්දුව හෙලා දුටුවේ මෙසේ පවසමිනි: “දුර්වල සාක්ෂි සහ දෝෂ සහිත නීතිමය තර්ක මත පදනම් ව, අධිකරනය, අතුකෝරල ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් 12 දෙනෙකුට මරන දඬුවම නියම කර ඇත. මෙය වත්මන් ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහි ව නැගී එන විරෝධය බිය ගැන්වීම සඳහා කරන ලද පන්ති පලිගැනීමේ ක්‍රියාවකට සමාන වේ.”
ජූරි සභාවක් නොමැති ව ත්‍රිපුද්ගල මහාධිකරන විනිශ්චය මන්ඩලයක් විසින් ලබා දුන් තීන්දුව 2:1 ලෙස බෙදී ගියේ ය. විනිසුරු මඬුල්ලේ සභාපති සහන් මාපා බන්ඩාර චූදිතයන් වරදකරුවන් කිරීමට විරුද්ධ වෙමින්, පැමිනිල්ල සාධාරන සැකයෙන් තොර ව නඩුව ඔප්පු කිරීමට අපොහොසත් වී ඇති බවත්, සියලු ම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කල යුතු බවත් ප්‍රකාශ කලේ ය. එහෙත් බහුතරය, අවස්ථාමය සාක්ෂි සහ චූදිතයා අපරාධයට “යම් දායකත්වයක්” ලබා දී ඇත්නම් “වරද” තහවුරු කල හැකි බවට නොපැහැදිලි ලෙස අර්ථ දක්වා ඇති නීතිමය සොයාගැනීමක් මත පදනම් ව මරන දඬුවම නියම කලහ.
මිලියන සංඛ්‍යාත කම්කරුවන්, තරුනයන් සහ ගම්බද දුගීන් සහභාගි වූ 2022 අප්‍රේල්-ජූලි නැගිටීම අතරතුර, අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂකයා ඝාතනය කෙරුනි. ශ්‍රී ලංකාව විදේශ නය ගෙවීම පැහැර හැරීමත් සමග, මිල ගනන් අහස උසට නැග, ආහාර, ඉන්ධන සහ ඖෂධ ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයක් නිර්මානය වී, දිගුකාලීන විදුලි කප්පාදු ඇති වීමෙන් අනතුරු ව මහජන ව්‍යාපාරය පුපුරා ගියේ ය. දැවැන්ත අර්බුදයකට මුහුන දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව වැඩ කරන ජනතාව මත සම්පූර්න බර පැටවී ය.
මහජන විරෝධය බිය ගැන්වීමේ උත්සාහයක් ලෙස, අගමැති මහින්ද රාජපක්ෂ මැයි 9 වන දින කොලඹ පිහිටි තම නිල නිවස වන අරලියගහ මන්දිරයට පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලපොපෙ) ආධාරකරුවන් කැඳවී ය. අගමැති සහ අනෙකුත් පක්ෂ නායකයින් විසින් කරන ලද ප්රකෝපකාරී කතාවලින් පසුව, මැර පිරිසක් ප්‍රචන්ඩකාරී ලෙස හැසිරුනු අතර, පලමු ව අරලියගහ මන්දිරයෙන් පිටත විරෝධතාකරුවන්ට සහ අසල ගාලු මුවදොර පිටිය වාඩි ලා ගෙන සිටි අයට පහර දුන්හ. නිරායුධ විරෝධතාකරුවන්ට මැරයන් විසින් ප්රචන්ඩ ලෙස පහර දෙන අතරතුර පොලිසිය සහ හමුදාව අනෙක් පැත්ත බලා සිටියේ ය. මැරයන් ආන්ඩුවේ අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් මෙහෙයවනු දක්නට ලැබුනි.
ආන්ඩුව විසින් උසිගන්වන ලද ප්‍රහාරයෙන් විරෝධතාකරුවන් 150 ක් පමන තුවාල ලැබූ අතර, සමහරුන්ට බරපතල තුවාල සිදු වූ අතර, මහජන කෝපයක් පුපුරා ගියේ ය. දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතාවලට තවත් කම්කරුවෝ, තරුනයෝ සහ ග්‍රාමීය වැඩ කරන ජනතාව එක් වූහ. තැපැල් හා සෞඛ්‍ය සේවකයින් දහස් ගනනක් පා ගමනක් පැවැත්වූහ. වහා ම දහස් ගනනක් වීදි බැස්සාහ.
බොහෝ විරෝධතා අතරින් එකක් ලෙස, මැයි 9 වන දින සවස කොලඹ සිට කිලෝමීටර් 40 ක් දුරින් පිහිටි නිට්ටඹුව නගරයේ සිය ගනනක් රැස් වූහ. එහි දී අමරකීර්තිගේ වාහනය නතර කෙරුනි. ඔහුගේ ආරක්ෂකයා විරෝධතාකරුවන්ට වෙඩි තැබූ බව වාර්තා වන අතර, එක් අයෙකු මිය ගොස් තවත් අයෙකුට තුවාල සිදු විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මන්ත්‍රීවරයා සහ ඔහුගේ ආරක්ෂකයා පලා ගොස් අසල ගොඩනැගිල්ලක රැකවරනය ලබා ගත් අතර, පසු ව ඔවුන්ගේ මල සිරුරු සොයා ගන්නා ලදී. ගොඩනැගිල්ලේ සිදු වූ දේ පිලිබඳ සෘජු සාක්ෂි නොමැත.
නිට්ටඹුව ජනතා සාමූහිකයේ නියෝජිතයෙක් ජූලි 10 වන දින මාධ්‍ය හමුවක දී මෙසේ පැවසී ය: “අපේ පවුල්වල සාමාජිකයන් නිදොස් බව අපි තරයේ විශ්වාස කරනවා. අපි ඔවුන් වෙනුවෙන් කල හැකි සෑම දෙයක් ම කරනවා. අපි දැනටමත් අභියාචනයක් ගොනු කර තිබෙනවා. මෙම නීතිමය කටයුතු කරගෙන යාමට, අපට සැබවින් ම මහජනතාවගේ සහාය අවශ්‍යයි.”
පවුල්වල දුෂ්කරතා විශ්මයජනක ය. “පසුගිය වසර හතර තුල අපි විශාල වශයෙන් දුක් වින්දා. මෙම නීතිමය කටයුතු කරගෙන යාම සඳහා අපගෙන් බොහෝ දෙනෙකුට නිවාස, ඉඩම් සහ අනෙකුත් දේපල විකිනීමට සිදු වුනා. දැන් අපට වියදම් කිරීමට මුදල් ඉතිරි ව නෑ. අපි දැඩි පීඩනයකට ලක් ව සිටිනවා” නියෝජිතයා පැහැදිලි කලේ ය.
ගම්පහ මහාධිකරනය දැනට අභියාචනය සඳහා නඩු වාර්තා සකස් කරමින් සිටී. එක් විත්තිකරුවෙකු සඳහා වන වාර්තාව පිටු 17,000 ක් පමන වේ. මෙම ලේඛන ඡායා පිටපත් කිරීමට පමනක් දැවැන්ත මූල්‍ය බරක් දැරීමට සිදුවේ. නීතිඥ ගාස්තු රුපියල් මිලියන 18 ක් පමන වන බව ඇස්තමේන්තු කර ඇත. ඒ අනුව, එක් පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් මිලියන 1.5 ක් පමන වැයවේ.
මෙම දැවැන්ත වියදම් පෙන්නුම් කරන්නේ අධිකරන පද්ධතිය දුප්පතුන්ට සහ වැඩ කරන ජනතාවට එරෙහි ව පිහිටුවා ඇති ආකාරයයි. මෙම අධික ගාස්තු ගෙවීමට මගක් නොමැති අයට තමන් ආරක්ෂා කර ගැනීමේ අයිතිය ප්‍රතික්ෂේප කෙරෙනු ලැබේ. වරදකරුවන් වූ 12 දෙනා බලගතු නීති කන්ඩායම් වෙත ප්‍රවේශය ඇති ධනවත් පුද්ගලයින් නොවේ. ඔවුන් 2022 මැයි 9 වන දින කැලඹිලි සහිත සිදුවීම්වලට හසු වූ සාමාන්‍ය වැඩ කරන ජනතාවයි.
ගාලු මුවදොර පිටියේ විරෝධතාකරුවන්ට එරෙහි ව ප්රචන්ඩ ප්‍රහාරයක් දියත් කල සහ ක්‍රියාත්මක කල කිසිවෙකුට, සියල්ලටත් වඩා රාජපක්ෂ සහෝදරයන්ට, නඩු පවරා හෝ දඬුවම් දී නොමැත. මෙය ධනවාදය යටතේ “නීතිය ඉදිරියේ සමානාත්මතාවය” පිලිබඳ වංචාව හෙලිදරව් කරන අතර, එහි දී පාලක පන්තිය වගකීමෙන් ආරක්ෂා කර ඇත.
2022 මැයි 9 වන දින ගාලු මුවදොර පිටියේ දී නිරායුධ විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය මහජන නැගිටීමේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කලේ ය. දිවයින පුරා කම්කරුවන් දහස් ගනනක් ස්වයංසිද්ධ ව කල වැඩ වර්ජනයන් නිසා මැයි 11 වන දින අඛන්ඩ මහා වැඩ වර්ජනයක් කැඳවීමට වෘත්තීය සමිතිවලට සිදු විය. එය තම පාලනයෙන් මිදෙනු ඇතැයි බිය වූ වෘත්තීය සමිති නිලධරයන් - ඉන් බොහෝ දෙනෙක් ජනතා විමුක්ති පෙරමුන සමඟ පෙලගැසී සිටියහ - පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ වාම කන්ඩායම්වල සහාය ඇති ව වැඩ වර්ජනය ආරම්භ කිරීමට පෙර එය නතර කලහ. කෙසේ වෙතත්, මහජන විරෝධතා දිගට ම පැවතුන අතර, ජනාධිපති රාජපක්ෂට 2022 ජූලි 9 වන දින රටින් පලා ගොස් දින හතරකට පසු ඉල්ලා අස්වීමට සිදු විය.
ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) සහ පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය (සජබ), පෙසප සහ වෘත්තීය සමිති නිලධරයේ සහාය ඇති ව, මහජන අරගලය, පාර්ලිමේන්තුවේ දේශපාලනික ආවෘත අන්තයකට යටත් කිරීමට මංමුලා සහගත ලෙස උත්සාහ කලහ. ඔවුන් “පාර්ලිමේන්තු පක්ෂවල අන්තර්කාලීන පරිපාලනයක්” ඉල්ලා සිටි අතර, ඒ සියල්ල කම්කරු පන්තිය විසින් පිලිකුල් කරන ලදී.
මෙම උපාමාරු මගින් දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේ අපකීර්තිමත් නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස ප්රජාතන්ත්ර විරෝධී ලෙස පත් කිරීමට මග පෑදී ය. ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලු මුවදොර පිටිය අත්පත් කරගෙන සිටි අයව ප්රචන්ඩ ලෙස ඉවත් කරන ලෙස ඔහු ආරක්ෂක හමුදාවන්ට නියෝග කල අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉල්ලා සිටි කුරිරු කප්පාදු පියවර පැනවීමට පියවර ගත්තේ ය.
වෘත්තීය සමිති යන්ත්‍රය සහ පෙසප කම්කරු පන්තිය විසුරුවා දේශපාලනික ව නිරායුධ කිරීමෙන් පසු ව, පොලිසිය නිට්ටඹුවේ සිද්ධියේ “සැකකරුවන්” බොරු චෝදනා මත අත්අඩංගුවට ගත්තේ ය.
2022 නැගිටීමේ අභිලාෂයන් නියෝජනය කරන බව ව්‍යාජ ලෙස කියා සිටින ජවිපෙ/ජාජබ ආන්ඩුව, තීන්දුව අනුමත කර ඇත. අගමැතිනි හරිනි අමරසූරිය ප්‍රකාශ කලේ තීන්දුව “දේශපාලන තීරනයක් නොවන” බවයි.
මරන දන්ඩනයට නියම වූවන්ගේ පවුල් තමන්ට සිදු වූ අසාධාරනය පැහැදිලි කරමින් පෙබරවාරි 23 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක් භාර දුන්හ. ඔවුන්ට පිලිතුරක් නොලැබුනි. සියලු ම ධනේශ්වර පක්ෂ නිහඬ ව සිට ඇති අතර සමහර කොලඹ මාධ්‍ය, නඩු තීන්දුව අත්‍යවශ්‍ය “පාඩමක්” ලෙස වර්නනා කලේ ය.
නඩුව සම්බන්ධයෙන් පෙසපයේ ප්‍රතිචාරය, ජවිපෙ/ජාජබ ආන්ඩුවට සහාය දීමේ එහි පුලුල් දේශපාලන භූමිකාවට අනුකූල වේ. වරදකරුවන්ට එරෙහි ව බලමුලු ගැන්වෙන ලෙස කම්කරු පන්තියට කරන ඉල්ලීමට එය විරුද්ධ වේ.
මරන දඬුවම නියම වූ පුද්ගලයින් 12 දෙනාට එරෙහි සියලු චෝදනා ඉවත් කර කොන්දේසි විරහිත ව නිදහස් කිරීමට බල කරන ලෙස, සසප සහ සසජාතශි, ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර කම්කරුවන්ගෙන්, සිසුන්ගෙන් සහ තරුනයින්ගෙන් ඉල්ලා සිටී. පීඩිතයන් බිය ගැන්වීමට සහ මර්දනය කිරීමට භාවිතා කරන ම්ලේච්ඡ මෙවලමක් වන මරන දඬුවම අහෝසි කරන ලෙස ඔවුන් කියා සිටිය යුතු ය.
නඩු පැවරිය යුත්තේ, 2022 මැයි 9 වන දින නිරායුධ විරෝධතාකරුවන්ට ප්රචන්ඩ ප්‍රහාර සංවිධානය කල සැබෑ අපරාධකරුවන්ට ය.
විරෝධතාකරුවන් 12 දෙනෙකුට මරන දඬුවම නියම කිරීමට ගත් තීරනය, ජීවන තත්වයන්ට එල්ල වන ගැඹුරු වන ප්‍රහාරයට එරෙහි ව වැඩෙන විරෝධය මැඩපැවැත්වීම සඳහා පාලක පන්තිය කිසිවක් නතර නොකරන බවට අනතුරු ඇඟවීමකි. ආන්ඩුව දැනටමත් නම් කරන ලද කර්මාන්තවල වැඩ වර්ජන තහනමක් ඇතුලු ව පොලිස් රාජ්‍ය පියවරයන් වෙත යොමු වෙමින් සිටී.
ජූලි 26 වන ඉරිදා සවස 7:00 ට පැවැත්වෙන “2022 මහජන නැගිටීමේ පාඩම්” නම් සසප සහ සසජාතශි සූම් රැස්වීමට සහභාගී වන ලෙස අපි කම්කරුවන්, තරුනයින් සහ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු. සහභාගී වීමට මෙතනින් ලියාපදිංචි වන්න.
