ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ)/ජාතික ජන බලවේගය (ජාජබ) ආන්ඩුවේ කෘෂිකර්ම, පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත මෑතකදී ප්‍රසිද්ධ උත්සවයක දී පැවසුවේ, පාලක පක්ෂය දින නියමයක් නොමැතිව බලය අල්ලා ගෙන සිටීමට අදහස් කරන බවයි.
ඔහුගේ ප්‍රකාශය සිදු කෙරුනේ, හදිසි අවස්ථා බලතල, අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත මත නැවත නැවතත් රැඳී සිටිමින්, තම රැකියා, වැටුප් සහ ජීවන තත්වයන් ආරක්ෂා කර ගැනීමට යත්න දරන කම්කරුවන්, ගොවීන් සහ රාජ්‍ය අංශයේ සේවකයින්ට තර්ජනය කරමින් රට පාලනය කෙරුනු වසර දෙකකට පසුවයි.
ලාල් කාන්ත යනු ජවිපෙ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන අතර ජනාධිපති දිසානායකගේ සමීප සහචරයෙකි. ඔහු ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ දිගුකාලීන නායකයා ද වන අතර, එය රාජ්‍ය සහ පෞද්ගලික අංශ දෙකෙහිම ජවිපෙට අනුබද්ධ සියලු ම වෘත්තීය සමිති පාලනය කරයි.
ජූලි 15 වන දින මහනුවර දී මාධ්‍ය අමතමින් ලාල් කාන්ත මෙසේ ප්‍රකාශ කලේ ය: “අපි මෙතනට ආවෙ යන්න නෙවෙයි; අපි කොහේවත් යන්නේ නෑ, සදහටම [බලයේ] ඉන්නේ අපි තමයි.”
දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයෙන් (එජාප) බිඳුනු කන්ඩායමක් වන විපක්ෂ සමගි ජන බලවේගය (සජබ) සහ එහි නායක සජිත් ප්‍රේමදාස විවේචනය කල අමාත්‍යවරයා, ජවිපෙ/ජාජබ ආන්ඩුවට විකල්පයක් නොමැති බව ප්‍රකාශ කලේ ය.
“කලු ලෝගු වලින්, ජාතික ඇඳුමෙන් හෝ කහ චීවරයෙන්” පෙනී සිටීම නොතකා, ආන්ඩුවට බාධා කරන ඕනෑ ම කෙනෙකුගෙන් පලි ගන්නා බවට, මීට පෙර, ජනවාරි මාසයේ කොලඹ පැවති එන්ටීයූසී රැස්වීමක දී ලාල් කාන්ත සපථ කලේ ය. ආන්ඩුව බලයේ සිටිය ද, “අපට [ආන්ඩුවට] තවමත් රාජ්‍ය බලය නැත. අපි ඉක්මනින් විප්ලවයක් කර රාජ්‍ය බලය ද අල්ලා ගන්නෙමු” යනුවෙන් ඔහු ප්‍රකාශ කලේ ය.
'අපි ලෙනින් කියවමු” යන සටන් පාඨය යටතේ මෙම රැස්වීම පැවැත්විනි. ලාල් කාන්ත හෝ ජවිපෙ කිසිදා මාක්ස්වාදයට හෝ මාක්ස්වාදය තවදුරටත් වර්ධනය කල ලෙනින්වාදයට හෝ පක්ෂපාතී වී නැත. ලෙනින්, ලියොන් ට්‍රොට්ස්කි සමඟ එක් ව රුසියාවේ ඔක්තෝබර් සමාජවාදී විප්ලවයට නායකත්වය දුන් අතර, වැඩවසම් රාජාන්ඩුවේ පාලනය සහ ධනේශ්වර පාලනය පෙරලා දමා ධනේශ්වර රාජ්‍යය කුඩුපට්ටම් කර සෝවියට් සභා මත පදනම් වූ කම්කරු රාජ්‍යයක් නිර්මානය කලේ ය.
ජවිපෙ අතීතයේ මාක්ස්වාදය, ලෙනින්වාදය සහ සමාජවාදය යන නම් භාවිතා කලේ කම්කරුවන් සහ තරුනයින් රැවටීමට පමනි. පක්ෂය 1960 ගනන්වල මැද භාගයේ දී මතු වූයේ මාක්ස්වාදයට මූලික වශයෙන් විරුද්ධ සංකල්ප මත ය - එය මාඕවාදයේ, කැස්ත්‍රෝවාදයේ සහ ප්රතිගාමී සිංහල ජනතාවාදයේ විෂ සහිත මිශ්‍රනයක් විය.
ජනාධිපති දිසානායක සහ ලාල් කාන්ත ඇතුලු ජවිපෙ නායකයින් නැවත නැවතත් සහයෝගයෙන් කටයුතු කල සාම්ප්‍රදායික ධනේශ්වර පක්ෂ කෙරෙහි මහජන සතුරුකම ගසාකමින් ජනාධිපති සහ පාර්ලිමේන්තු මැතිවරනවල දී බලයට පත්වීමට ජවිපෙ/ජාජබට හැකි විය. ඇත්ත වශයෙන්ම, ලාල් කාන්ත කතා කරනුයේ ප්‍රති-විප්ලවවාදී පියවර ගැන ය.
කම්කරු පන්තිය සමඟ ගැඹුරු ගැටුම් සඳහා සූදානම් වීමේ දී, පාර්ලිමේන්තුව සහ විධායකය පාලනය කිරීම පමනක් ප්‍රමානවත් නොවන බැවින්, සමස්ත රාජ්‍ය යන්ත්‍රය මත පාලනය තහවුරු කර ගැනීමට ආන්ඩුව උත්සාහ කරන බව ලාල් කාන්ත ගේ ප්රකාශයන්ගෙන් පැහැදිලි වේ.
ජවිපෙ/ජාජබට වඩ වඩාත් ආඥාදායක ක්‍රම අවශ්‍ය වන්නේ ඇයි? ආන්ඩුව විසින් අනුගමනය කරන සෑම ප්‍රධාන ප්‍රතිපත්තියක් ම එය කම්කරු පන්තිය සමඟ සෘජු ගැටුමකට යොමු කරන බැවිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදුව, පෞද්ගලීකරනය, වැටුප් මත ප්‍රහාර, සමාජ වියදම් කපා හැරීම, රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම සහ විදේශ ආයෝජන ආකර්ෂනය කර ගැනීමේ ධාවනය ප්රජාතන්ත්රවාදී ව ක්‍රියාත්මක කල නොහැක.
ජවිපෙ නායකයින් විසින් එම ආඥාදායක දැක්ම ප්‍රවර්ධනය කරනු ලැබේ. 2025 අගෝස්තු මාසයේ දී චීනයේ කල සංචාරයකින් පසු, ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඒක පක්ෂ පාලනයේ වාසි පැසසුමට ලක් කරමින් යූ ටියුබ් නාලිකාවකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන්නේ ය.
ජවිපෙ/ජාජබ අපේක්ෂා කල වෙනස්කම් සාක්ෂාත් කර ගැනීම සඳහා පක්ෂය අවම වශයෙන් අවුරුදු 15 සිට 20 දක්වා බලයේ සිටිය යුතු බව සිල්වා ප්‍රකාශ කලේ ය. “චීනයේ, බලයේ සිටින්නේ එක් පක්ෂයක්, එහි වාසි ඇත. ... සැබෑ වෙනසක් අත්කර ගැනීමට, තනි දැක්මක් ක්‍රියාත්මක කිරීම සඳහා අපට අවම වශයෙන් අවුරුදු 15 සිට 20 දක්වා - සමහර විට අඛන්ඩ ව මැතිවරන ජයග්රහන හතරක් පවා - අවශ්‍ය වේ.” කියුබාව සහ වියට්නාමය දශක ගනනාවක් තිස්සේ එක් පක්ෂයක් විසින් පාලනය කරන ලද බව ඔහු තවදුරටත් පැවසී ය.
චීනයේ ඒක-පක්ෂ ක්‍රමය සම්බන්ධයෙන් ටිල්වින් සිල්වාගේ ප්‍රශංසාව අහම්බෙන් සිදුවන්නක් නොවේ. එය ජවිපෙ/ජාජබ නායකත්වයේ දේශපාලන දැක්ම ප්‍රකාශ කරයි. ආන්ඩුව වැඩි වැඩියෙන් ඒකාධිපති ධනේශ්වර පාලන තන්ත්රයන් දේශපාලන ආකෘති ලෙස සලකයි.
චීනය කෙරෙහි සිල්වාගේ පැහැදීම පැන නගින්නේ මාඕ සේතුංගේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය දෙසට හැරීම, ඩෙං ෂියාඕපින් විසින් ආරම්භ කරන ලද සහ වත්මන් ජනාධිපති ෂී ජින්පින් යටතේ ගැඹුරු වූ පූර්න පරිමාන ධනේශ්වර ප්රතිසංස්කරනයෙනි. මූල්‍ය ප්රාග්ධනයේ දේශපාලන උපකරන වන මෙම පාලන තන්ත්රයන්, වෙලඳපොලට පක්ෂපාතී ප්‍රතිව්‍යුහගත කිරීම්, කප්පාදු පියවර සහ කම්කරු පන්තියේ විරුද්ධත්වය අනුකම්පා විරහිත ව මර්දනය කිරීමට භාවිතා කෙරේ.
අද, ෂී නායකත්වය දෙනු ලබන්නේ, සමාජ අසමානතාවය පෙර නොවූ විරූ මට්ටමකට ඉහල නගිද්දී, විදේශ ප්රාග්ධනය ගලා ඒමෙන් සහ කම්කරු පන්තිය කුරිරු ලෙස සූරාකෑමෙන් සමෘද්ධිමත් වූ බිලියනපති කතිපයාධිකාරියක පාලනයකටයි. මෙම වර්ධනයන් මාඕවාදයේ තාර්කික ප්‍රතිඵලය වන අතර, ස්ටැලින්වාදයේ ජාතිකවාදී ප්‍රභේදයක් නියෝජනය කල එය මූලික වශයෙන් ම සමාජවාදී ජාත්‍යන්තරවාදයේ වැඩපිලිවෙලට පටහැනි විය.
වියට්නාමයේ නිලධාරිවාදී තන්ත්රය සමාන පදනම් මත රඳා පවතී. කියුබාවේ ජාතිකවාදී තන්ත්රය රාජ්‍ය ව්‍යවසායන් වඩ වඩාත් විසුරුවා හැර, පෞද්ගලික ප්රාග්ධනය සඳහා විෂය පථය පුලුල් කර, අධිරාජ්‍යවාදය සමඟ සහයෝගීතාවයක් සොයමින් විදේශ ආයෝජන සඳහා රට විවෘත කර ඇත.
මහාචාර්ය ජයදේව උයන්ගොඩ වැනි සමහර ශාස්ත්රාලිකයන්, ශ්‍රී ලංකාවේ ආන්ඩුවක් තම පාලනය දීර්ඝ කිරීමට උත්සාහ කල පලමු අවස්ථාව මෙය නොවන බව තර්ක කරමින්, දින නියමයක් නොමැතිව බලයේ රැඳී සිටීමට ජවිපෙ/ජාජබ නායකත්වය තරන ඉල්ලීම් සාධාරනීකරනය කිරීමට උත්සාහ කර ඇත. 1970-1977 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) නායකත්වයෙන් යුත් ආන්ඩුව තම පාර්ලිමේන්තු කාලය වසර දෙකකින් දීර්ඝ කිරීම, 1977 සිට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ (එජාප) පාලනය ඒ හා සමානව එහි ධුර කාලය දීර්ඝ කිරීම, ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ තම ව්‍යවස්ථාපිත කාල සීමාවන් ඉක්මවා ධුරයේ රැඳී සිටීමට දැරූ අසාර්ථක උත්සාහයන් ඔවුහු පෙන්වා දෙති.
මෙම ශාස්ත්රාලිකයෝ අත්‍යවශ්‍ය දේශපාලන ගැටලුව නරුම ලෙස සඟවති: ශ්‍රී ලංකාවේ ධනේශ්වර ආන්ඩු තම ආයු කාලය දීර්ඝ කිරීමට ගන්නා සෑම උත්සාහයක් ම, ඒකාධිපති පාලන ක්‍රම වෙත හැරීම, ප්රජාතන්ත්රවාදී අයිතීන් වලට පහර දීම සහ කම්කරු පන්තියේ සහ දුප්පතුන්ගේ සමාජ හා ජීවන තත්වයන්ට එල්ල කරන ප්‍රහාර තීව්ර කිරීම සමඟ බැඳී ඇත.
2022 මහජන නැගිටීමේ දී පුපුරා ගිය අඛන්ඩ ආර්ථික හා දේශපාලන අර්බුදය මධ්‍යයේ, ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහාය ඇති ව පාලක පන්තියේ සැලකිය යුතු කොටසක්, සාම්ප්‍රදායික ධනේශ්වර පක්ෂවලට මහජන සහයෝගය අහිමි වූ තත්වයන් යටතේ ධනවාදය ආරක්ෂා කිරීම සඳහා වඩාත්ම ශක්‍ය මෙවලම ලෙස ජවිපෙ/ජාජබ වෙත හැරුනි.
2022 මහජන ව්‍යාපාරය පුරාම, ජවිපෙ/ජාජබ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීමට විරුද්ධ වූ අතර, වර්ධනය වන අරගල “අරාජිකත්වයේ” මූලාශ්‍රයක් ලෙස හෙලා දුටුවේ ය. 2022 අප්‍රේල් 7 වන දින පාර්ලිමේන්තුවේ දී කතා කරමින් දිසානායක, කම්කරුවන්ගේ සහ දුප්පතුන්ගේ වර්ධනය වන ව්‍යාපාරය අවහිර කිරීම සඳහා එක්සත් වී අන්තර්කාලීන පරිපාලනයක් පිහිටුවන ලෙස සියලු අපකීර්තිමත් ධනේශ්වර පක්ෂවලින් ඉල්ලා සිටියේ ය.
ඒක-පක්ෂ පාලනයක් ප්‍රවර්ධනය කරමින් ලාල් කාන්ත සහ ටිල්වින් සිල්වා කතා කරනුයේ ජවිපෙ/ජාජබ නායකත්වය වෙනුවෙනි. ලෝක ධනේශ්වර ක්‍රමය ගැඹුරු වන අර්බුදයක ගිලී ඇත. ඊට ප්‍රතිචාර වශයෙන්, ලොව පුරා පාලක පන්ති වැඩි වැඩියෙන් ඒකාධිපති පාලන ක්‍රම දෙසට හැරෙමින් සිටින අතර, එක්සත් ජනපදය සහ අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන් ලෝකය විනාශකාරී ගෝලීය යුද්ධයක් කරා ගෙන යමින් සිටියි. පසුගිය වසර දෙක තුල දිසානායක ආන්ඩුවේ වාර්තාව මෙම ජාත්‍යන්තර වර්ධනයන් සමඟ සමපාත වේ.
ශ්‍රී ලංකාවේ පාලක පන්තිය සහ දිසානායක ආන්ඩුව, උත්සන්න කරන තම කප්පාදු පියවර තවත් සමාජ පිපිරීමක් ඇති කරනු ඇතැයි බිය වෙයි. කම්කරු පන්තියේ සහ පීඩිත ජනතාවගේ අතිමහත් සමාජ බලය පෙන්නුම් කල 2022 මහජන නැගිටීම ඔවුන් අතර තවමත් හොල්මන් කරයි.
දිගුකාලීන ජවිපෙ වෘත්තීය සමිති නිලධාරියෙකු වන ලාල් කාන්ත, 2024 ජූලි මාසයේ දී ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය භාවිතා කරමින්, වැඩ වර්ජන පක්ෂයේ මැතිවරන ව්‍යාපාරයට වල කපන බව පවසමින් කාර්මික ක්‍රියාමාර්ග නතර කරන ලෙස සියලු ම අනුබද්ධ වෘත්තීය සමිතිවලට උපදෙස් දුන්නේ ය. මෙම තහනම එතැන් සිට දිගට ම ක්‍රියාත්මක වේ. ජවිපෙ පාලනය කරන වෘත්තීය සමිති නිලධරයන් ආන්ඩුවේ කප්පාදු න්‍යාය පත්‍රයට නිරන්තරයෙන් සහාය දී ඇති අතර කම්කරු අරගල මර්දනය කිරීමට කටයුතු කර ඇත.
පසුගිය මාසයේ දී, වී සඳහා ඉහල සහතික මිලක්, පොහොර සහනාධාර සහ වගාව සඳහා අනෙකුත් ආධාර ඉල්ලා සිටි ගොවීන්ට ලාල් කාන්ත තර්ජනය කලේ ය. ඔහු ඔවුන්ගේ ඉල්ලීම් සම්පූර්නයෙන් ම ප්‍රතික්ෂේප කල අතර, ආන්ඩුව තමන් සහතික කල අඩු මිල දිගට ම පවත්වා ගන්නා බව අවධාරනය කලේ ය.
2025 සැප්තැම්බර් 17 වන දින, ජනාධිපති දිසානායක ප්‍රසිද්ධ රැස්වීමක දී ලංකා විදුලිබල මන්ඩලයේ (ලංවිම) සේවකයින්ට අනතුරු ඇඟවූයේ රජයේ “ප්රගතිශීලී ආර්ථික පරිවර්තනයට” - එනම්, අවසානයේ පෞද්ගලීකරනය සඳහා ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුලුව ජාමූඅ හි කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීම - බාධා කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවයි.
මේ වසරේ පෙබරවාරි 6 වන දින දිසානායක ප්‍රකාශ කලේ, “වීදි විරෝධතා හෝ වැඩවර්ජන කොපමන සිදු වුවත්, කිසිදු දීමනාවක් හෝ වැටුප් වැඩි කිරීමක් සිදු නොකරන” බවයි. තර්ජනය එල්ල වූයේ එවකට විරෝධතා දැක් වූ වෛද්‍යවරුන්ට පමනක් නොව සමස්ත රාජ්‍ය අංශයේ ශ්‍රම බලකායටයි. ඔහුගේ ආන්ඩුව නැවත නැවතත් ප්‍රධාන රාජ්‍ය ආයතන කුරිරු අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි යටතේ තබා ඇති අතර, වැඩවර්ජන ඇතුලු කාර්මික ක්‍රියාවන් තහනම් කර ඇත.
මෙම තර්ජන සහ මර්දනකාරී පියවර දිසානායක ආන්ඩුව වර්ධනය කරන ඒකාධිපති පාලනයට අත්‍යවශ්‍ය වේ. කම්කරු පන්තිය සහ තරුනයින් මෙම අනතුරු ඇඟවීම් බැරෑරුම් ලෙස සැලකිය යුතුය. ප්රජාතන්ත්රවාදී අයිතීන් මෙන් ම කම්කරුවන්ගේ සමාජීය සහ ජීවන තත්වයන් ද ධනවාදයේ හෝ පාර්ලිමේන්තු ක්රමයේ රාමුව තුල ආරක්ෂා කල නොහැක. සෑම රටක ම ආඥාදායකත්වය දෙසට වැඩෙන හැරීමෙන් ඔවුන් අවශ්‍ය පාඩම් උකහා ගත යුතු ය.
ආඥාදායක පාලනයක් කරා ගමන් කිරීමට එරෙහි අරගලය ධනවාදයට එරෙහි අරගලයෙන් වෙන් කල නොහැක. කම්කරු බලය සහ සමාජවාදය සඳහා වන ජාත්‍යන්තර සටනේ කොටසක් ලෙස, ගම්බද දුගීන් සමඟ සන්ධානගත වූ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීමක් ඒ සඳහා අවශ්‍ය වේ. සමාජවාදී සමානතා පක්ෂය සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද වැඩපිලිවෙල මෙයයි.
වැඩිදුර කියවන්න
- ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක යනු කවුද?
- කම්කරු අරගල මැඩීම සඳහා පැකිලෙන්නේ නැති බවට සෞඛ්‍ය ඇමතිගෙන් තර්ජනාත්මක ප්‍රකාශයක්
- ජවිපෙ තම වෘත්තීය සමිති “ආන්ඩු කරන වෘත්තීය සමිති ව්‍යාපාරයක් බවට” පත්කිරීමට යයි
- වැඩවර්ජනවල නොයෙදෙන ලෙස ජවිපෙ/ජාජබ කම්කරුවන්ට කර ඇති නිර්දේශයට විරුද්ධ වනු!
- ශ්‍රී ලංකාවට තවත් අයිඑම්එෆ් නය වාරික ලැබෙයි; කප්පාදු දැඩි කරන ලෙස බලපෑම්
- වියට්නාම් ජනාධිපතිගේ සංචාරයේ දී දිසානායක ආන්ඩුව ආයෝජකයන් පිනවන “වියට්නාම් මොඩලය” වගවර්නනා කරයි
