හමුදාව විසින් අත්පත් කරගෙන සිටින උතුරු සහ නැගෙනහිර සියලු ඉඩම් ආපසු ලබාදීම ආන්ඩුව ප්‍රතික්ෂේප කරයි

දශක ගනනාවක් පුරා පැවති සිවිල් යුද්ධයේ දී හමුදාව විසින් අත්පත් කර ගත් තම ඉඩම් ආපසු ලබා දෙන ලෙස උතුරු සහ නැගෙනහිර දෙමල ජනතාවගෙන් එක දිගට ම ඉදිරිපත්වන ඉල්ලීම් ඉවත දමමින්, ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුව සිවිල් වැසියන්ට අයත් අක්කර දහස් ගනනක් හමුදා පාලනය යටතේ ම තබා ගන්නා බව ප්‍රකාශ කර ඇත.

බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි ව ගෙන ගිය කුරිරු වසර 26ක යුද්ධය අවසන් වී දශක එක හමාරකට වැඩි කාලයක් ගත වී ඇතත්, උතුරු සහ නැගෙනහිර පලාත්වල ජීවත් වන දෙමල ජනතාවගේ පාරම්පරික ඉඩම් අයිතිවාසිකම් සඳහා වූ අරගලය දිග්ගැස්සෙමින් පවතී. දෙමල ජනතාවගේ ජීවනෝපායන් සමඟ අතිශයින් සමීප ව බැඳී ඇති අක්කර දහස් ගනනක් තවමත් ආරක්ෂක හමුදා විසින් අත්පත් කරගෙන කටු කම්බි වැටවල් පිටුපස රඳවා ගෙන සිටියි.

මෙම ඉඩම් නිදහස් නොකිරීමේ ආන්ඩුවේ ස්ථාවරය, මිලිටරිකරනය වූ රාජ්‍ය යාන්ත්‍රනය සහ ධනේශ්වර පාලනයේ වාර්ගික පදනම් ආරක්ෂා කිරීමට ජවිපෙ/ජාජබ දක්වන කැපවීම හෙලිදරව් කරයි. එ මගින් අනාවරනය කෙරෙන්නේ,  අනුප්‍රාප්තික ආන්ඩුවල ප්‍රතිපත්තිවලින් බිඳී වෙන් වූ බවට එය කරන ප්‍රකාශවල ව්‍යාජයයි. 

අගෝස්තු 4 දා පාර්ලිමේන්තුවේ කතා කරමින්, ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙකු වන නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුන ජයසේකර, මාසයක් ඇතුලත දෙවන වරටත්, “ජාතික ආරක්ෂාව සඳහා අතිශය වැදගත් සහ උපායමාර්ගික වැදගත්කමක්” ඇති “අධි ආරක්ෂක කලාපවල ඉඩම්” ආපසු ලබා නොදෙන බව අවධාරනය කලේ ය.

නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට අනුව, 2025 ජනවාරි මාසයේ සිට ජවිපෙ/ජාජබ ආන්ඩුව උතුරු සහ නැගෙනහිර හමුදා පාලනයෙන් ඉඩම් අක්කර 1,109ක් නිදහස් කර ඇති අතර, යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව සහ පොලීසිය ඇතුලු හමුදා විසින් “භාවිතා කරනු ලබන” ඉඩම් අක්කර 12,225ක් තවමත් පවතී.

මේවා හුදෙක් මුඩු ඉඩම් නොවේ. පරම්පරා ගනනාවක් තිස්සේ ජනතාවගේ ආර්ථික ජීවිතය පෝෂනය කල කෘෂිකාර්මික ඉඩම්, පශු සම්පත් පෝෂනයට යොදා ගත් තන බිම්, ධීවර නැංගුරම් ස්ථාන මෙන්ම පාසල්, ආගමික ස්ථාන සහ රෝහල් වැනි යටිතල පහසුකම්වල මූලික මධ්‍යස්ථාන ද මේ අතර වේ. මිලිටරිය මෙයාකාරයෙන් ඒවා අල්ලා ගෙන සිටීම ආර්ථිකමය අවහිරයක් ලෙස ද  ක්‍රියා කරයි.

හිටපු හමුදා ජෙනරාල්වරයා, මෙම ඉඩම් “මිලිටරිමය අත්පත් කර ගැනීම්” ලෙස හැඳින්වීම සාවද්‍ය යැයි සඳහන් කලේ ය.  ඒ වෙනුවට, “හදිසි අවස්ථාවන් සහ ජාතික ආරක්ෂක අවශ්‍යතා” සඳහා ඉඩම් පාවිච්චි කිරීම ලෙස එය නම් කොට මිලිටරිය ඉඩම් අල්ලා සිටීම සාධාරනීකරනය කලේ ය. මත්ද්‍රව්‍ය, ආයුධ සහ තහනම් භාන්ඩ ජාවාරම වැලැක්වීම, ශ්‍රී ලංකා-ඉන්දීය මුහුදු සීමාව හරහා මිනිස් ජාවාරම මැඬ පැවැත්වීම සහ ශ්‍රී ලංකා භෞමික මුහුදු සීමාව තුල ඉන්දීය යාත්‍රා විසින් සිදු කරන නීතිවිරෝධී මසුන් ඇල්ලීම වැලැක්වීම, හමුදා පාලනය දිගට ම පවත්වා ගෙන යාමට හේතු ලෙස ඔහු ඉදිරිපත් කලේ ය.

මීට පෙර, ජූලි 9 වැනි දා පාර්ලිමේන්තුවේ දී කතා කල නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා, යාපනයේ පලාලි හමුදා රෝහල පිහිටි ඉඩම් හමුදා පාලනයෙන් නිදහස් කල නොහැකි බව ප්‍රකාශ කලේ ය. පලාලි ප්‍රදේශය “අධි ආරක්ෂක කලාපයක්” ලෙස හඳුනාගනිමින්, එම කලාපය තුල අක්කර 1,662ක් හමුදා කටයුතු සඳහා නීතිය යටතේ අත්පත් කරගෙන ඉඩම් හිමියන්ට වන්දි ගෙවීමට පියවර ගනිමින් සිටින බව ඔහු පැවසී ය.

පලාලි ගුවන් තොටුපොල ඉදිකර ඇත්තේ අක්කර 775 පමන භූමි ප්‍රමානයක වපසරියක ය. අනාගත ගුවන්තොටුපොල සංවර්ධන ව්‍යාපෘති සඳහා අමතර ඉඩම් අවශ්‍ය වන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය ගුවන් හමුදාව හරහා ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

අනාගතයේදී ද ආන්ඩුවේ මෙම පිලිවෙතෙහි සැලකිය යුතු  වෙනසක් සිදු නොවන බවට ඉඟි කරමින් ජයසේකර පාර්ලිමේන්තුවට පැවසුවේ, “ ඉදිරි සති සහ මාස කිහිපය තුල [ජනතාවට] නිදහස් කිරීම සඳහා අක්කර 353ක ඉඩම් කිහිපයක් හඳුනා ගෙන” ඇති බවයි.

2015 පමන සිට උතුරු සහ නැගෙනහිර ඉඩම් ආපසු ලබාගැනීම සහ අතුරුදන් වූවන්ට යුක්තිය ඉල්ලා පැවති විරෝධතා දිගුකාලීන සහ සමහර අවස්ථාවල අඛන්ඩ අරගල බවට පත් ව ඇත. හියුමන් රයිට්ස් වොච් සංවිධානය මුල්ලිකුලම්, ඉරනතිව්, කෙප්පාපිලව්, පුදුකුඩිඉරිප්පු සහ පානම යන ප්‍රදේශවල පැවතී උද්ඝෝෂන ව්‍යාපාර ලේඛනගත කර ඇති අතර, ඒවායින් සමහරක් වසරකට වැඩි කාලයක් පැවතී තිබේ. 

අඩයාලම් ප්‍රතිපත්ති පර්යේෂන මධ්‍යස්ථානය වාර්තා කලේ, අතුරුදන් වූවන්ගේ පවුල් 2017දී කිලිනොච්චියේ විරෝධතා ආරම්භ කල අතර, එම ව්‍යාපාරය උතුරු සහ නැගෙනහිර පලාත්වල සෑම දිස්ත්‍රික්කයකට ම පැතිර ගොස් අවම වශයෙන් 2022 පෙබරවාරි දක්වා පැවති බවයි. ජවිපෙ/ජාජබ පාලනය යටතේ ද මෙම විරෝධතා දිගට ම පවත්වා ගෙන යන අතර, මයිලඩ්ඩි සහ පලාලි ව්‍යාපාර පමනක් සතිපතා ක්‍රියාමාර්ග 20කට ආසන්න සංඛ්‍යාවක් ගෙන ඇති අතර, කෙප්පාපිලව් ව්‍යාපාරයේ දෙවන අදියර අඛන්ඩ දින 25කට වැඩි කාලයක් පැවති විරෝධතා ඇතුලු සිවිල් ඉඩම් හමුදා අත්පත් කරගැනීමට එරෙහි අනෙකුත් උද්ඝෝෂනද සිදු විය.

හමුදාව වාඩිලා ගත් තම ඉඩම් ඉල්ලා උද්ඝෝෂනය කරන මයිලඩ්ඩි ඉඩම් හිමියෝ

ජනාධිපති දිසානායකගේ ආන්ඩුව බලයට ආවේ, සිවිල් වැසියන්ට අයත් සියලු ඉඩම් නිදහස් කරන බවට පොරොන්දු වෙමිනි. එහෙත් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු කතාව පැහැදිලිව පෙන්නුම් කරන්නේ, යුද්ධය අවසන් වී වසර 17ක් ගත වී තිබිය දී ත්, ආන්ඩුව උතුරු-නැගෙනහිර හමුදා පැවැත්ම යලි ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි.

ජූලි 9 වැනි දා කොලඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුලුව අමතමින් ජනාධිපති දිසානායක, හමුදා කඳවුරු විසින් අත්පත් කරගෙන ඇති ඉඩම් නිදහස් කරන බවට තම හිස් පොරොන්දු නැවතත් පුනරුච්චාරනය කලේ ය. ඒ සමඟ ම, විශාල ඉඩම් ප්‍රමානයක් ආයෝජකයන්ට ලබා දීමේ වැදගත්කම ඔහු අවධාරනය කලේ ය. මෙය ආන්ඩුවේ සැබෑ න්‍යාය පත්‍රය හෙලි කරයි. උපායමාර්ගික වැදගත්කමක් ඇති ඉඩම් මත හමුදාවේ ග්‍රහනය තද කරමින් ආන්ඩුව මිලිටරිකරනය ශක්තිමත් කරමින් ආයෝජකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන්, යුද්ධයෙන් බැටකා සිටින ගොවීන්  ඉඩම්වලින් ඉවත් කිරීමට කැසපොට ගසයි.

ඉලංගෙයි තමිල් ඇරසු කච්චි (අයිටීඒකේ) පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් පසුගිය මාසයේ පාර්ලිමේන්තුවට පැවසුවේ, කිලිනොච්චි දිස්ත්‍රික්කය දකුනේ ගොවීන්ගේ පොල් වගාව සඳහා වැදගත් ප්‍රදේශයක් බවට පත් ව ඇති බවයි.

කිරාන්චි කොට්ඨාසයේ අක්කර 2,000ක් පුරා සුලං බල ව්‍යාපෘතියක් ස්ථාපිත කිරීමට ආන්ඩුව උත්සාහ කරමින් සිටින බවත්, එමගින් පොල් වගා සිය ගනනක් විනාශ වීමේ තර්ජනයක් පවතින බවත් ඔහු පැවසී ය. ප්‍රදේශවාසීන් එම ව්‍යාපෘතියට විරුද්ධ වී ඇති අතර, එය වෙනත් ප්‍රදේශයකට ගෙන යන ලෙස ආන්ඩුවෙන් ඉල්ලා ඇති බව ශ්‍රීධරන් සඳහන් කලේ ය.

සාම්ප්‍රදායික දෙමල ධනේශ්වර පක්ෂයක් වන අයිටීඒකේ, වත්මන් ජවිපෙ/ජාජබ ආන්ඩුව ඇතුලු අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු විසින් ක්‍රියාත්මක කල දෙමල විරෝධී ප්‍රතිපත්ති පිලිබඳ මෙවැනි සැර බාල විවේචන ඉදිරිපත් කල ද, දෙමල ජනතාවගේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ගැන උනන්දුවක් මෙම පක්ෂයට ඇත්තේ නැත.  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) නියම කල රුදුරු කප්පාදු වැඩපිලිවෙල දිසානායක ආන්ඩුව විසින් අඛන්ඩ ව ගෙන යාමට සම්පූර්නයෙන් සහාය දක්වන එය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මත ආන්ඩුව එල්ල කරන ප්‍රහාර පිලිබඳ මුඛ පූට්ටු කරගෙන සිටී.

හමුදාව දිගට ම ඉඩම් අත්පත් කරගෙන සිටීම පිලිබඳ දෙමල දේශපාලනඥයන්ගේ ප්‍රතිචාරය ඔවුන්ගේ දේශපාලනයේ පන්ති සහ වාර්ගික ස්වභාවය හෙලි කරයි. අගෝස්තු 4 වැනි දා පාර්ලිමේන්තුවේ දී නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුන ජයසේකර කල ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් අයිටීඒකේ මන්ත්‍රී ශානක්කියන් රසාමානික්කම්, “මිලිටරිමය අත්පත් කර ගැනීම” යන යෙදුම ආන්ඩුව ප්‍රතික්ෂේප කිරීම විවේචනය කලේ ය. මත්ද්‍රව්‍ය ජාවාරම වැලැක්වීම සහ ආපදා කලමනාකරනය වැනි කාර්යයන් උතුරේ මෙතරම් විශාල හමුදා පැවැත්මක් සාධාරනීකරනය කරන්නේ නම්, එ වැනි ම වගකීම් දකුනු සහ බටහිර වෙරල තීරවල ද හමුදාවට පැවරිය යුතු බව ඔහු තර්ක කලේ ය.

මෙම ප්‍රකාශයෙන් සිදුකර ඇත්තේ, සිවිල් ඉඩම් හමුදා අත්පත් කරගැනීමටම විරුද්ධ වීම වෙනුවට, හමුදාකරනය රටපුරා “සමාන” ලෙස බෙදා හැරීමේ ඉල්ලීමක් දක්වා ප්‍රශ්නය සිඳවීම යි. ඇත්ත වශයෙන් ම, මෙහි දී අයිටීඒකේ මන්ත්‍රීවරයා, ජවිපෙ/ජාජබ ආන්ඩුව දකුනේ ද දැනටමත් ක්‍රියාත්මක කරමින් සිටින සමාන හමුදා මර්දනය ගැන තම ඇස් කන් වසා ගනී. මෙයින් පැහැදිලි වන්නේ, සිංහල සහ දෙමල කම්කරුවන්ගේ මෙන්ම අනෙකුත් පීඩිත ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතිවාසිකම් නොසලකා හරිමින්, සාධාරන දුක්ගැනවිලි වාර්ගික මාර්ග ඔස්සේ යොමු කිරීමට උත්සාහ කරන අයිටීඒකේ වැනි දෙමල ධනේශ්වර පක්ෂවල වාර්ගික දේශපාලනය යි.

දෙමල සිවිල් වැසියන්ට අත්පත් කරගත් ඉඩම් ආපසු ලබා දීම සඳහා මූලික පූර්ව කොන්දේසියක් වන උතුරු සහ නැගෙනහිර පලාත්වලින් හමුදාව සම්පූර්නයෙන් ඉවත් කරනු යැයි අයිටීඒකේ හෝ වෙනත් කිසිදු දෙමල දේශපාලන පක්ෂයක් ඉල්ලන්නේ නැත. මෙම දෙමල ධනේශ්වර පක්ෂ එවැනි ඉල්ලීමකට විරුද්ධ වන අතර, අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහ ඉන්දියාවේ සහාය ඇති ව, සිංහල වාර්ගිකවාදය මත ගොඩනැගුනු රාජ්‍ය යාන්ත්‍රනය නොවෙනස් ව තබා ගෙන බලය බෙදා ගැනීමේ විධිවිධාන සම්බන්ධයෙන් කොලඹ ආන්ඩුව සමඟ කේවල් කිරීමට උත්සාහ කරයි.

මේවාට ප්‍රතිවිරුද්ධ ව, සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ එහි පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස), වසර 30ක සිවිල් යුද්ධය පුරා ම උතුරු සහ නැගෙනහිරින් හමුදාව ඉවත් කිරීම, දෙමල හා මුස්ලිම් ජනයාට අයත් ඉඩම් ඔවුන්ට ආපසු ලබා දීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඇතුලු මර්දනකාරී නීති අහෝසි කිරීම සඳහා අඛන්ඩව සටන් කලේ ය. 

දෙමල සහ මුස්ලිම් සුලුජන කොටස් වලට එරෙහි වාර්ගික වෙනස්කම් කිරීමේ සිංහල ස්වොත්තමවාදී විසකුරු ප්‍රතිපත්ති මගින් කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදා දුර්වල කොට ධනපති පන්ති පාලනය ආරක්ෂා කර ගැනීමට 1948 පටන් ම ක්‍රියාකල ධනපති ආන්ඩු,  1983දී බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය ඇරඹුවේ ය. 

එම ප්‍රජාතන්ත්‍ර විරෝධී, වර්ගවාදී පාගා දැමීමේ කොටසක් වුයේ උතුරු-නැගෙනහිර පලාත් දෙක මිලිටරි වාඩි ලා  ගැනීමට ලක් කිරීමයි. විකොස/සසප,  සිංහල ස්වොත්තමවාදී ප්‍රතිපත්තිවලට එක හෙලා ම විරුද්ධ විය. සසප එක දිගට ම මෙම පිලිවෙත ගෙන යයි. 

දෙමල හා මුස්ලිම් ධනපති පන්ති පක්ෂ කොලඹ ආන්ඩු, නව දිල්ලිය සහ අධිරාජ්‍යවාදී බලයන් පිටුපසින් බඩගාන්නේ ප්‍රභූ වරප්‍රසාද අත්කර ගෙන එකාබද්ධ ව සූරා කෑමේ වැඩපිලිවෙලක් තහවුරු කරගැනීමට මිස , දෙමල -මුස්ලිම් කම්කරුවන්ගේ හා දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනා දීමට නොවේ. අනෙක් අතට,  එල්ටීටීඊ බෙදුම්වාදී වැඩපිලිවෙලේ ඉලක්කය වුයේ ද එයයි.

දෙමල ධනේශ්වර පක්ෂවල අධිරාජ්‍යවාදී ගැති වැඩපිලිවෙලට එරෙහි ව, සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් අධිරාජ්‍යවාදයට සහ කොලඹ පාලක ප්‍රභූවට එරෙහි ව එක්සත් විය යුතු ය. කම්කරු පන්තිය පහත ඉල්ලීම් ඉදිරිපත් කල යුතු ය:

• උතුරු සහ නැගෙනහිරින් හමුදාව කොන්දේසි විරහිත ව ඉවත් කරනු!

• සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු!

• ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ අනෙකුත් සියලු ම මර්දනකාරී නීති වහා ම අහෝසි කරනු! 

දිසානායක ආන්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පනවා ඇති කප්පාදු පියවරවලට එරෙහි ව කම්කරුවන්ගේ වැඩි වෙමින් පවතින ප්‍රතිරෝධය මර්දනය කිරීම සඳහා රාජ්‍ය යාන්ත්‍රනය පුලුල් වශයෙන් ශක්තිමත් කිරීමේ කොටසක් ලෙස, උතුරු සහ නැගෙනහිර හමුදා යාන්ත්‍රනය තව දුරටත් ශක්තිමත් කරමින් සිටී.

උතුරු සහ නැගෙනහිර දෙමල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරක්ෂිත කල හැක්කේ ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය මත පදනම් වූ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීම මගින් පමනි. සිංහල සහ දෙමල කම්කරුවන්ගේ පන්ති වාර්ගික රේඛා කපා දමමින්,  වර්ගවාදී ධනේශ්වර පාලනය පෙරලා දමා, දකුනු ආසියාවේ සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස කම්කරු ගොවි ආන්ඩුවක් සහ ශ්‍රී ලංකා සහ ඊලාම් සමාජවාදී සමූහාන්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා එක්සත් විය යුතු ය.

Loading