[මෙය Socialist Equality Party (US) holds 9th National Congress amid world war, dictatorship and political radicalization යන මැයෙන් 2026 අගෝස්තු 10 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියයි.]
සමාජවාදී සමානතා පක්ෂය (ඇමරිකා එක්සත් ජනපදය) 2026 අගෝස්තු 2 සිට 7 දා දක්වා තම නව වන ජාතික සම්මේලනය පැවැත්වීය. නියෝජිතයෝ, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන, ඇමරිකානු ප්රජාතන්ත්රවාදයේ බිඳ වැටීම, සංක්රමනිකයින් ආරක්ෂා කිරීම, පන්ති අරගලයේ උත්සන්න වීම සහ කම්කරු ක්‍රියාකාරී කමිටු වල ජාත්‍යන්තර සන්ධානය (IWA-RFC) ගොඩනැගීම, ඒඅයි තාක්ෂනය කෙරෙහි සමාජවාදීන්ගේ ආකල්පය සහ ඇමරිකානු විප්ලව දෙකෙහි උරුමය ආරක්ෂා කිරීම පිලිබඳ යෝජනා සාකච්ඡා කර සම්මත කර ගත්හ.
2008 දී තම ආරම්භක සම්මේලනයේ පටන් සසප සෑම වසර දෙකකට වරක් ම ජාතික සම්මේලනයක් පවත්වා ඇත. නව වන සම්මේලනය යෝජනා හයක් ඒකමතික ව සම්මත කලේ ය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවලින් සහ සහයෝගී කන්ඩායම්වලින් පැමිනි සුබ පැතුම් සහ වාර්තා ද සම්මේලනයේ දී ඉදිරිපත් විය.
සසප ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් ඉදිරිපත් කරන ලද ආරම්භක වාර්තාව, පලමු යෝජනාව හඳුන්වා දෙමින්, සමස්තයක් ලෙස සම්මේලනයේ පෙලගැස්ම සකස් කලේ ය. “සමාජවාදී සමානතා පක්ෂයේ නව වන සම්මේලනය රැස් වෙන්නේ, එක්සත් ජනපද සහ ලෝක දේශපාලන ඉතිහාසයේ තීරනාත්මක සන්ධිස්ථානයක—එනම්, යුද්ධය සහ ආර්ථික අර්බුදය වේගයෙන් වර්ධනය වන සමාජ රැඩිකලීකරනයක් සමග අන්තර්ඡේදනය වන ස්ථානයක සිට ය,” නෝර්ත් පැවසී ය. ඉරානයට එරෙහි යුද්ධය හෙලා දකිමින් ඔහු තවදුරටත් මෙසේ පැවසී ය: “‘හදිසි ප්‍රහාරක’ බෝම්බ හෙලීමේ කුරිරු උපාය මාර්ගය මත දශක තුන හමාරක් පුරා ගොඩනැගුනු ඇමරිකානු අනභිභවනීයත්වයේ ප්‍රභාව බිඳ වැටී ඇත.”
තුන්වන ලෝක යුද්ධයක් දැනටමත් සිදු වෙමින් පවතින බවත්, එය “ඔඩු දුවන ක්‍රියාවලියක් ලෙස වර්ධනය වෙමින් පවතින බවත්: එනම්, ගෝලීය වශයෙන් නිදන්ගත හා ප්රසාරනය වන තත්වයක් ලෙස පැතිර යමින්, නව කලාප යටත් විජිතකරනය කරමින්, කලින් වෙන් වෙන්ව පැවති ගැටුම් ඒකාබද්ධ කරමින්, ලෝක ආර්ථිකය සහ සෑම ජාතික රාජ්‍යයක් ම ක්‍රමයෙන් පරිවර්තනය කරමින් පොදු වහ්නිජාලාවක් දෙසට ගමන් කරමින් පවතින බවත්” නෝර්ත් පැහැදිලි කලේ ය.
වාර්තාව, යුද්ධයේ වෙනස් පෙරමුනු වල යාවීම පරීක්ෂා කලේය. යුක්රේනය තුල වක්‍ර යුද්ධයක් ලෙස ආරම්භ වූ දෙය, “නිසැක ව ම, රුසියාවට එරෙහි ව නේටෝ බලවතුන් විසින් කෙරෙන, අප්රකාශිත, එහෙත් සැබෑ යුද්ධයක් බවට” පරිනාමය වී ඇති අතර, දැන් ඇමරිකානු සහ ප්‍රංශ බුද්ධි අංශ විසින්, යුරෝපීය රුසියාවේ දිගු-දුර ඉලක්ක වලට එලිපිට ම යොමු කරන ලද ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කරයි. “නැටෝව විසින් රුසියාවට ප්‍රහාර එල්ල කිරීමේ මෙහෙයුමේ විනාශකාරී ඇඟවුම් පැහැදිලි ය,” නෝර්ත් පැවසී ය. “නැටෝ රටවලට රුසියාවෙන් එල්ල වන ප්‍රති-ප්රහාරයක සම්භාවිතාව දිනෙන් දින ඉහල යමින් පවතී.”
ඉරානයට පහර දී මාස පහක් ගත වී ඇතත්, එහි ප්‍රතිඵලය ලෙස සිදු ව ඇත්තේ “ප්‍රධාන උපායමාර්ගික පසුබෑමක්” බව වාර්තාව තවදුරටත් පැවසී ය. ඉරානය යටත් වී නැත; හෝමූස් සමුද්‍ර සන්ධිය තවමත් තරඟකාරී යුද කලාපයක් ලෙස පවතී; ඇමරිකානු යුධෝපකරන තොග ක්ෂය වී ඇත; වොෂින්ටනයේ ම උපායමාර්ගික විශ්ලේෂකයින් පිලිගන්නා ආකාරයට, එක්සත් ජනපදය “උපායමාර්ගික ආවෘත අන්තයකට” පැමින ඇත. මෙය පසුබැසීමක් නොව, ආක්රමනයක විභවය ද ගැබ් කරගනිමින් තවදුරටත් තීව්ර වීමක් සිදු කරනු ඇති අතර එය “ව්‍යසනයේ පරිමානය විශාල කරනු ඇත.”
යුද්ධයේ ගමන් මග, “සමස්ත ඇමරිකානු සහ ජාත්‍යන්තර දේශපාලන හා මූල්‍ය පද්ධතිය තුල කම්පන මාලාවක් විහිදුවනු ඇති” බව නෝර්ත් ප්‍රකාශ කලේ ය. එය “ධනවාදය මත පදනම් වූ පවතින සමාජ ක්රමයේ—එනම්, එහි ද්වි-පක්ෂ ක්රමයේ, සංගත-පාලිත මාධ්‍යවල, දූෂිත ශාස්ත්‍රාලවල, නිලධාරිවාදී කම්කරු සංවිධානවල, පුද්ගලවාදයෙන් උමතු වූ ධනවත් ව්‍යාජ-වමේ සහ බුද්ධිමය වශයෙන් පිරිහුනු සංස්කෘතියේ—කුනුවීම” හෙලිදරව් කරයි.
යුද්ධය, අසමානතාවය සහ ඒකාධිපතිත්වය කරා හැරීමට හේතු වන එම ප්රතිවිරෝධතා ම, ගෝලීය ප්‍රතිරෝධයේ බලවේගයක් ලෙස කම්කරු පන්තියේ මතු වීමට හේතු වී තිබේ. එය වාර්තාවේ, ප්‍රංශ විශ්‍රාම වැටුප් අරගල සහ දකුනු යුරෝපයේ සහ දකුනු ආසියාව පුරා මහා වැඩවර්ජන හරහා, මිලියන 30 කට අධික ජීවිත බිලිගත් වසංගතයක් මගින් අවුලුවන ලද වැඩ වර්ජන රලවල සිට ඇමරිකානු ඉතිහාසයේ විශාලත ම තනි දින විරෝධතා වන “රජවරු එපා” විරෝධතා තුන දක්වා දිවෙන “තනි ආරෝහන වක්‍රයක්” ඇඳ පෙන්වයි.
“ඩිමොක්රටික් සෝෂලිස්ට් ඔෆ් ඇමරිකා සංවිධානය විසින් ඩිමොක්රටික් පක්ෂය දෙසට යොමු කෙරුනු විකෘති ආකාරවලින් වුව ද, අවුරුදු 80ක් අශෝභන දෙයක් ලෙස හෙලාදැකීමකින් පසු, කිසිදු මෙවලමකට සදහට ම සිර කර තැබිය නොහැකි විඥානයේ සිදු වූ වෙනසක් ප්‍රකාශ කරමින්, එක්සත් ජනපදය තුල ම සමාජවාදය නැවත මතු වෙමින් තිබේ,” නෝර්ත් පැවසී ය.
මෙම ව්‍යාපාරය සහ එහි දේශපාලන ප්රකාශනය අතර පවතින්නේ විප්ලවවාදී නායකත්වයේ අර්බුදයක් බව වාර්තාව පැහැදිලි කලේ ය—එ මෙන් ම එම අර්බුදයට, හජාජාක විසින් කිසි විටෙකත් “ස්වයංක්‍රීය විසඳුම්” නොසොයන බව නෝර්ත් අවධාරනය කලේ ය. ඔහු සම්මේලනයේ වැදගත්කම නිර්වචනය කලේ මෙම යෙදුම්වලිනි. “ඉදිරිදර්ශනයක් යනු අරගලයේ මෙවලමකි,” ඔහු පැවසී ය. “එහි ප්රකාශනය, එහි සත්‍යාපනය සහ එය ආරක්ෂා කිරීම යනු නායකත්වයේ අර්බුදය විසඳීමේ ක්ෂනයන් වන අතර, එය විසඳනු ලබන්නේ වෛෂයික ක්‍රියාවලීන් මගින් පමනක් නොව, ඒවා තුල සවිඥානික ව විප්ලවවාදී පක්ෂය ගොඩනැගීම ද මගිනි.”
මෙම සටන එහි ඓතිහාසික පදනම්, එනම් ජාත්‍යන්තර කමිටුව විසින් මූර්තිමත් කරන ට්‍රොට්ස්කිවාදය සඳහා අරගලය මත තබමින් නෝර්ත් තම වාර්තාව අවසන් කලේ ය: “2028 දී පැවැත්වෙන සසපයේ මීලඟ සම්මේලනය, ජේම්ස් පී. කැනන් ඉතා තීරනාත්මක කාර්යභාරයක් ඉටු කල, 1928 දී ජාත්‍යන්තර වාම විපාර්ශවය ආරම්භ කිරීමේ ශත සංවත්සරය සමග සමපාත වනු ඇත,” ඔහු පැවසීය. “එම ඓතිහාසික සංවත්සරය සඳහා සූදානම් වීමේ දී, මේ ඉතිහාසය පිලිබඳව නව පරම්පරාවක අධ්‍යාපනය සම්බන්ධයෙන් අවධානය යොමු කල යුතු ය. විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීම සඳහා අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසිය එයයි.”
සසප ජාතික ලේකම් ජෝසෙෆ් කිෂෝර්, එක්සත් ජනපදයේ දේශපාලන තත්ත්වය පිලිබඳ දෙවන යෝජනාව ඉදිරිපත් කලේ ය. ඔහු, මෑතක දී ප්‍රකාශයට පත් කරන ලද කතිපයාධිකාරය: ට්‍රම්ප් සහ ඇමරිකානු ප්රජාතන්ත්රවාදයේ බිඳවැටීම කෘතියෙහි අඩංගු ට්‍රම්ප්ගේ ආරම්භය සහ නැගීම පිලිබඳව සසප සහ ලෝසවෙඅ විසින් කරන ලද විශ්ලේෂනය සමාලෝචනය කලේය. මේ වෙලුම, “මෙම සම්මේලනය ඉදිරියේ තබන ලද යෝජනාව රඳා පවතින විශ්ලේෂනයේ ලිඛිත වාර්තාවයි” යනුවෙන් කිෂෝර් පැවසී ය. පක්ෂයේ සෑම සාමාජිකයෙකු ම එය අධ්‍යයනය කල යුතු යැයි ඔහු කියා සිටියේ ය.
වාර්තාව ඉන් පසු ව එක්සත් ජනපදය තුල දැන් වර්ධනය වෙමින් පවතින රැඩිකලීකරනය දෙසට හැරුනි. “දැරිය නොහැකි ජීවන වියදම, නිමක් නැති යුද්ධ, අයිසීඊ මිනීමැරුම් සහ එලිපිට ම ඒකාධිපතිත්වය ගොඩනැගීමේ ප්‍රහාර යටතේ, මිලියන ගනනක් දෙනා දේශපාලන ජීවිතයට සහ වමට තල්ලු වෙමින් සිටිති; ඩිමොක්රටික් පක්ෂය මෙම ව්‍යාපාරයේ ගෙල සිර කර පාලනය කිරීමට උත්සාහ කරයි.”
මෙම ව්‍යාපාරයේ ආරම්භක ප්‍රතිලාභියා වන ඩිමොක්රටික් සෝෂලිස්ට් ඔෆ් ඇමරිකා සංවිධානය යනු, 1940 දී මැක්ස් ෂැට්මන් ට්‍රොට්ස්කිවාදයෙන් බිඳී යාමේ සිට, මයිකල් හැරින්ටන්ගේ ඩිමොක්රටික් පක්ෂය තුල “නැවත පෙලගැස්වීමේ” වැඩසටහන හරහා, 1982 දී ඩීඑස්ඒ ආරම්භ කල ඒකාබද්ධ කිරීම දක්වා වූ එහි සෑම අදියරකින් ම, මාක්ස්වාදයෙන් සහ කම්කරු පන්තියෙන් බිඳී යාමක් මගින් අර්ථ දැක්වුනු, වසර 90 කට ආසන්න දේශපාලන පරම්පරාවක් මත පදනම් වූ, වසර 44 ක් පැරනි සංවිධානයකි.” “ඩීඑස්ඒ යනු කම්කරු පන්ති සංවිධානයක් නොවේ,” කිෂෝර් ප්‍රකාශ කලේ ය. “එය සුලු ධනේශ්වර ප්රවනතා දෙකකින් පැන නැගුනි, එය අද වෘත්තීය මධ්‍යම පන්තියේ ධනවත් ස්ථර මත රඳා පවතින අතර, දේශපාලන ක්‍රමය තුල එහි කාර්යභාරය වන්නේ, කම්කරුවන් නියෝජනය කිරීම නොව ඩිමොක්රටික් පක්ෂය වෙනුවෙන් ඔවුන් කලමනාකරනය කිරීමයි.”
පක්ෂයේ කර්තව්‍යය වන්නේ, සමාජවාදය දෙසට ගමන් කරන කම්කරුවන් සහ තරුනයින් සැබවින් ම විප්ලවවාදී ඉදිරිදර්ශනයකට දිනා ගැනීම බව පවසමින් කිෂෝර් තම වාර්තාව අවසන් කලේ ය.
එරික් ලන්ඩන්, සංක්රමනිකයින්ගේ ආරක්ෂාව පිලිබඳ තුන්වන යෝජනාව ඉදිරිපත් කලේ ය. ඔහුගේ වාර්තාව “සමස්ත ජනගහනයේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් බිඳ දැමීමට මෙවලමක් ලෙස සංක්‍රමනය භාවිතා කරමින් ඒකාධිපති පාලනයක් ස්ථාපිත කිරීමට අඛන්ඩ ව උත්සාහ කර ඇති” පරිපාලනය පිලිබඳව අන්තර්ගත කර ගත්තේ ය.
“ඇමරිකානු ‘ප්රජාතන්ත්රවාදයේ’ ඉතිරි ව ඇති සෑම ඉතිරි පහදු දෙයක් ම වහ වහා බිඳ වැටෙමින් තිබේ,” ලන්ඩන් ප්‍රකාශ කලේ ය. “දේශපාලන සංස්ථාපිතයේ කිසිදු ආයතනයක් ට්‍රම්ප්ව නවත්වන්නේ නැත.” දශක තුනකට වැඩි කාලයක් තිස්සේ, පක්ෂ දෙක ම, දැන් ජනතාවට එරෙහි ව හැරෙමින් පවතින මෙම මෙවලම ගොඩනඟා ගත් බව ඔහු පැහැදිලි කලේ ය. පරිපාලනය, “ඓතිහාසික පරිමානයේ අති දැවැන්ත සමාජ ගැටුමක් සූදානම් කරමින් සිටින අතර, ඒ සඳහා පක්ෂය සහ කම්කරු පන්තිය දේශපාලනික ව සූදානම් විය යුතු ය,” වාර්තාව නිගමනය කලේ ය.
සෑම මහාද්වීපයක ම කම්කරු අරගලවල වර්ධනය ලේඛනගත කරන සිව්වන යෝජනාව, ටොම් හෝල් විසින් ඉදිරිපත් කරන ලදී. මෙම යෝජනාව මගින්, වැඩ වර්ජන විරෝධී සංගත පොලිස් බලකායක් ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිති නිලධරයන්ට එරෙහි ව, “පවත්නා වෘත්තීය සමිති නිලධරයන්ට බලපෑම් කිරීමට නොව, ඒවාට එරෙහි ව කම්කරු නැගිටීමක් සංවිධානය කිරීම” අරමුනු කර ගත්, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (IWA-RFC) ගොඩනැගීම ඉදිරියට ගෙන යයි.
“සවිඥානික සාධකය තීරනාත්මක වනු ඇත. වෛෂයික අර්බුදය ඉබේ ම විසඳෙනු ඇතැයි හෝ සිදුවීම් නිරීක්ෂනය කිරීමට සහ සිදු වූ පසු ඒවා පිලිබඳව අදහස් දැක්වීමට අපගේ කාර්යභාරය සීමා වී ඇතැයි උපකල්පනය කිරීම බරපතල දේශපාලන වරදකි” යනුවෙන් හෝල් නිගමනය කලේ ය.
කෘතිම බුද්ධිය (AI) කෙරෙහි පක්ෂයේ ආකල්පය පිලිබඳ පස් වන යෝජනාව එවන් බ්ලේක් විසින් ඉදිරිපත් කරන ලදී. වාර්තාව එහි විශ්ලේෂනය, තාක්ෂනය සඳහා මාක්ස්වාදී ප්‍රවේශය තුල ස්ථානගත කල අතර, කෘතිම බුද්ධිය පිලිබඳ ඕනෑම ප්රතිගාමී භාවිතයක් “ගලා එන්නේ තාක්ෂනය තුලින් නොවන බවත්, එය වර්ධනය වී ඇති සමාජ සම්බන්ධතා—එනම්, පුද්ගලික අයිතිය, ලාභ පද්ධතිය සහ ලෝකය ප්‍රතිවාදී ජාතික රාජ්‍යයන් ලෙස බෙදීම—තුලින් බවත්” පැහැදිලි කලේ ය.
මෙම පදනම මත, වාර්තාව, ව්‍යාජ-වම හරහා ප්‍රවර්ධනය කෙරෙන කෘතිම බුද්ධිය කෙරෙහි සතුරුභාවය ප්‍රතික්ෂේප කල අතර, “කෘතිම බුද්ධිය ප්‍රතික්ෂේප කිරීමේ නිශ්චිත ප්‍රායෝගික ප්‍රතිඵලය නම්, එවැනි ප්‍රතික්ෂේප කිරීමක් නොතකා එය පාවිච්චි කරන සමාගම් සහ රාජ්‍යය නිරායුධ කිරීම නොව, කම්කරු පන්තිය නිරායුධ කිරීම පමනක් ම” බව පැහැදිලි කලේ ය. කෘතිම බුද්ධිය කෙරෙහි ඇති මෙම සතුරුකම, “තාක්ෂනය කෙරෙහි සමස්ත මාක්ස්වාදී ආකල්පය රඳා පවතින වෙනස, එනම්, යන්ත්‍රය සහ එය ක්‍රියාත්මක කරන සමාජ ක්‍රමය අතර වෙනස මකා දමයි” යැයි බ්ලේක් පැවසී ය. යෝජනාව, තාක්ෂනික ඒකාධිකාරයන් අත්පත් කර ගැනීම සහ සැලසුම් කල ලෝක ආර්ථිකයක් තුල මානව අවශ්‍යතාවය දෙසට තාක්ෂනයේ නැඹුරුව ඉල්ලා සිටින අතර, කෘතිම බුද්ධිය මගින් ධාවනය වන ස්වයංක්‍රීයකරනයට එකදු රැකියාවක් හෝ අහිමි නොවිය යුතු බව අවධාරනය කරයි.
වාර්තාව සහ ඉන් පසුව පැවති සාකච්ඡාව, 2025 දෙසැම්බරයේ ජාත්‍යන්තර කමිටුව විසින් දියත් කරන ලද සෝෂලිස්ම් ඒඅයි හි වැදගත්කම ද අවධාරනය කලේය. බ්ලේක් සඳහන් කල පරිදි, මාක්ස්, එංගල්ස්, ලෙනින්, ට්‍රොට්ස්කි, ලක්සම්බර්ග් සහ ප්ලෙකනොව්ගේ කෘති සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ දශක තුනකට ආසන්න ලේඛනාගාරය “අරගලයට පිවිසෙන කම්කරුවන්ට සහ තරුනයින්ට, ඕනෑ ම තැනක සිට, එ සැනින්, ඕනෑ ම භාෂාවකින්, ඕනෑ ම වේලාවක පරිශීලනය කිරීමට” ඉඩකඩ ලබා දී තිබේ.
නිදහස් ප්රකාශනයේ 250 වන සංවත්සර වර්ෂයේ දී සම්මත කරගත් අවසන් යෝජනාව ටොම් මැකමන් විසින් ඉදිරිපත් කරන ලදී. ඔහු ප්‍රකාශ කලේ, ප්රකාශනයේ, රජුට එරෙහි අධිචෝදනාව, “ධවල මන්දිරයේ වත්මන් පදිංචිකරුට ද එක සේ ම අදාල වන” බවයි.
එක්සත් ජනපදය, ස්වාධීනතා ප්රකාශනයේ මූලධර්ම මත පදනම් වූ සමූහාන්ඩුවක් නොව, නාසි වාර්ගික-ජාතියක් (a völkisch race) ලෙසට නැවත වාත්තු කල උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් විසින් විවෘත ව ප්‍රතික්ෂේප කරන ලද ආකරයට, “ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රම සමඟ නොගැලපෙන” අයුරින් ධනය සංකේන්ද්‍රනය කර ගන්නා කතිපයාධිකාරීත්වයක්, “ඇමරිකානු සහ ලෝක ඉතිහාසයේ බලවත් ම සංකල්පය වන සමානාත්මතාවය පිලිබඳ අදහස විනාශ කරයි” යනුවෙන් මැකමන් පැහැදිලි කලේ ය.
ඇලන් ගෙල්ෆාන්ඩ්ගේ මතකය වෙනුවෙන් (1949 ජූලි 28 – 2025 ඔක්තෝබර් 29) සහ ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය, ස්ටාලින්ගේ ජීපීයූව විසින් ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය කිරීම සහ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට රාජ්‍ය ඒජන්තයින් කාන්දු වීම පිලිබඳ ජාත්‍යන්තර කමිටුවේ විමර්ශනය සඳහා වෙන ම සන්ධ්‍යා සැසිවාරයක් කැප කරන ලදී. ගෙල්ෆාන්ඩ් ලොස් ඇන්ජලීස්හි තමන්ගේ ම නීතිඥයෙකු බඳවා ගැනීමට හැකියාවක් නොමැති විත්තිකරුවන් වෙනුවෙන් පරිපාලනය විසින් පත් කෙරෙන නීතිඥයෙකු විය. ඔහු සමාජවාදී කම්කරු පක්ෂයේ නායකත්වය තුල ආන්ඩුවේ ඒජන්තයින් සිටීම පිලිබඳව පරීක්ෂනයක් ඉල්ලා සිටීමෙන් පසු ව, 1979 දී එම පක්ෂයෙන් නෙරපා හරින ලදී. එතැන් සිට දශක හතරකට වැඩි කාලයක් තුල, රාජ්‍ය ඒජන්තයින් විසින් සකප (SWP) විනිවිදීම සම්බන්ධයෙන් ගෙල්ෆාන්ඩ් මතු කල සෑම චෝදනාවක් ම සනාථ වී ඇත.
සම්මේලනය නව ජාතික කමිටුවක් තෝරා පත් කර ගත් අතර ඩේවිඩ් නෝර්ත් ජාතික සභාපති ලෙස නැවත තේරී පත් විය. නව ජාතික කමිටුවේ සාමාජිකයින් ජෝසප් කිෂෝර් ජාතික ලේකම් ලෙසත්, කැත්ලීන් මාටින් සහකාර ජාතික ලේකම් ලෙසත්, බැරී ග්‍රේ සහ ඇන්ඩෘෘ ඩේමන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සම-ජාතික කර්තෘවරුන් ලෙසත් නැවත තෝරා පත් කලහ.
සම්මේලනය, එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජීවන සිදුවීමක් පමනක් නොවේ. එය ජාත්‍යන්තර ස්වභාවයක් ගනී. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සියලු ම ශාඛාවල සහ සහයෝගී කන්ඩායම්වල නියෝජිතයෝ ඊට සහභාගී වූහ.
එක්සත් රාජධානියේ සසප ජාතික ලේකම් ක්‍රිස් මාස්ඩන්; ප්‍රංශයේ පීඊඑස් හි ජාතික ලේකම් ඇලෙක්ස් ලැන්ටියර්; ශ්‍රී ලංකාවේ සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර; ඕස්ට්‍රේලියාවේ සසප ජාතික ලේකම් ෂෙරිල් ක්‍රිස්ප්; නවසීලන්තයේ සමාජවාදී සමානතා කන්ඩායමේ ප්රමුඛ සාමාජික ටොම් පීටර්ස්; තුර්කියේ සසප ජාතික සභාපති උලාස් අතේෂි; බ්‍රසීලයේ සමාජවාදී සමානතා කන්ඩායමේ ප්රමුඛ සාමාජික තෝමස් කැස්ටන්හයිරා; කැනඩාවේ සසප ජාතික ලේකම් කීත් ජෝන්ස්; සහ ජර්මනියේ එස්ජීපී සභාපති ක්‍රිස්ටෝෆ් වැන්ඩ්‍රියර් යන අය එයට දායකත්වයන් ලබා දෙන ලදී. පැරනි සෝවියට් සංගමයේ බොල්ෂෙවික්-ලෙනින්වාදීන්ගේ තරුන රැකවල සංවිධානයෙන් ද සම්මේලනයට සුබ පැතුම් ලැබුනි.
හුදු නිරර්ථක චාරිත්රවිධි නොවූ මෙම සුබ පැතුම් සහ වාර්තා දේශපාලන දායකත්වයන් වූ අතර, සෑම මහාද්වීපයක ම කම්කරු පන්තියේ අත්දැකීම් පිලිබඳ විවරනයන් සාකච්ඡා තුලට ගෙන ආවේ ය.
සම්මත කරගත් යෝජනා, ඇමරිකානු තත්වයන්ගෙන් නොව, එක්සත් ජනපදයේ අර්බුදය එහි සුවිශේෂී හා සංකේන්ද්‍රිත ප්රකාශනයක් වන, ලෝක ආර්ථිකය සහ ලෝක දේශපාලනය පිලිබඳ විශ්ලේෂනයකින් ආරම්භ වේ. සසපයේ කාර්යභාරය සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩනැගීමේ තනි ජාත්‍යන්තර අරගලයක ජාතික සංරචකයකි.
මෙම සම්මේලනයේ ලේඛනවලින් පෙන්නුම් කෙරෙන්නේ, අව්‍යාජ මාක්ස්වාදී විශ්ලේෂනයක් සහ විප්ලවවාදී ඉදිරිදර්ශනයක් සමන්විත වන්නේ කුමකින් ද යන්නයි. උත්සන්න වන ලෝක යුද්ධය, එක්සත් ජනපදය විවෘත ව ම ආඥාදායකත්වයක් ගොඩනැගීම සහ පෙර නොවූ විරූ සමාජ අර්බුදය මධ්‍යයේ, වෙනත් කිසිදු පක්ෂයකට හෝ සංවිධානයකට වර්තමාන තත්වය බැරෑරුම් ලෙස විශ්ලේෂනය කිරීමට හෝ එයට පිලිතුරු දීම සඳහා වැඩපිලවලක් ඉදිරිපත් කිරීමට හැකියාවක් නැත. සම්මේලනය, ලෝක සමාජවාදී විප්ලවයේ වැඩපිලවල මත, පවතින ක්‍රමය තුල උපාමාරු දැමීමේ නොව, ජාත්‍යන්තර කම්කරු පන්තිය ඊට එරෙහි ව බලමුලු ගැන්වීමේ ඉදිරිදර්ශනයක් විස්තාරනය කලේ ය.
නව වන ජාතික සම්මේලනයේ සාකච්ඡාවට ඉදිරිපත් කරන ලද වාර්තා, යෝජනා සහ දායකත්වයන් ඉදිරි දිනවල දී ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. ඒවා, කම්කරුවන්ගේ සහ තරුනයින්ගේ දේශපාලන අධ්‍යාපනය සඳහා සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරනු ඇති අතර, දැන් විවෘත වන අරගලවල දී, කම්කරු පන්තිය සන්නද්ධ විය යුතු විශ්ලේෂනය සහ වැඩසටහන සමන්විත කරයි.
යුද්ධයට, ආඥාදායකත්වයට සහ ධනවාදයට එරෙහි සටන ගැන බැරෑරුම් ලෙස සිතන සෑම කෙනෙකු ම—එනම්, අව්‍යාජ සමාජවාදී ව්‍යාපාරයක් සොයන සෑම කෙනෙකු ම—මෙම ලේඛන අධ්‍යයනය කර, ඒවායින් ගලා එන නිගමනවලට එලඹිය යුතු අතර සමාජවාදී සමානතා පක්ෂයට බැඳීමට තීරනය කල යුතුය.
