[මෙය On the 86th anniversary of the assassination of Leon Trotsky යන මැයෙන් 2026 අගෝස්තු 20 දින ඉංග්‍රීසි බසින් පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]
1940 අගෝස්තු 20 වන දින දහවල්, ස්ටැලින්වාදී රහස් පොලිසියේ (ජීපීයූ) නියෝජිතයෙකු වූ රේමොන් මර්කාඩර්, මෙක්සිකෝවේ කොයෝකාන්හි තම ලියන මේසයේ සිටි ලියොන් ට්‍රොට්ස්කිට ප්‍රහාරයක් එල්ල කලේ ය. ට්‍රොට්ස්කි ඊට පසු දින, එනම් අගෝස්තු 21 වන දා මෙක්සිකෝ නගරයේ රෝහලක දී මිය ගියේ ය.
කෙර්සන් පලාතේ, යැනොව්කා නම් යුක්‍රේන ගම්මානයේ උපත ලද ට්‍රොට්ස්කි, 1917 ඔක්තෝබර් විප්ලවයේ ව්ලැඩිමීර් ලෙනින් සමඟ සම නායකයා වූ අතර, රතු හමුදාවේ අන දෙන නිලධාරියා සහ හතරවන ජාත්‍යන්තරයේ නිර්මාතෘවරයා ද විය.
ට්‍රොට්ස්කි ඝාතනය, බොල්ෂෙවික් විප්ලවයේ කේඩරයටත්, නායකත්වයටත් එල්ල කරන ලද ප්‍රචන්ඩ ප්‍රති-විප්ලවවාදී ප්‍රහාරයක අවසානය සනිටුහන් කලේ ය. මෙම වසරේ එහි සංවත්සරය, මහා භීෂනය සමග 1936 අගෝස්තු 19 වන දින ආරම්භ වූ පලමු මොස්කව් නඩු විභාගයේ 90 වන සංවත්සරය සමග සමපාත වේ.
පලමු නඩු විභාගයේ චෝදනා ගොනු කෙරුනු ලැබූ අය අතර ඔක්තෝබර් විප්ලවයේ මධ්‍ය නායකත්වය සහ සෝවියට් රාජ්‍යය පිහිට වනු ලැබූවෝ වූහ.
ග්‍රිගොරි සිනොවියෙව් 1908 සිට පිටුවහලේ සිටි වසරවල දී ලෙනින්ගේ සමීප ත ම හවුල්කරුවා ද, 1917 දෙසැම්බරයේ සිට පෙට්‍රොග්‍රෑඩ් සෝවියට් සභාවේ සභාපති ද, 1919 මාර්තු සිට කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ විධායක කමිටුවේ සභාපති ද විය. ලෙව් කමනෙව් 1918 සිට මොස්කව් සෝවියට් සභාවේ මූලාසනය ද, මහජන කොමිසාර්වරුන්ගේ කවුන්සිලයේ නියෝජ්‍ය සභාපති ධූරය ද ලෙනින් ගේ අවසන් රෝගාතුර සමයේ දී සෝවියට් ආන්ඩුවේ රාජ්‍ය නායකත්වය ද දැරුවේ ය.
1937 ජනවාරි සහ 1938 මාර්තු හොර නඩු විභාගවල දී චෝදනා එල්ල කෙරුනු අය අතර ලෙනින් තම අවසන් කැමත්තේ දී පක්ෂයේ තරුන පරම්පරාව තුල වඩා ත් ම කැපී පෙනෙන අය ලෙස බුඛාරින් සමග තැබූ යූරි ප්යාටකොව්, ලෙනින් එම ලේඛනයේ දී ම පක්ෂයේ සිටින වඩා ත් ම වටිනා සහ ප්‍රධාන න්‍යායඥයා ලෙස හැඳින් වූත්, ප්‍රව්ඩා පුවත්පත දශකයකට ආසන්න කාලයක් සංස්කරනය කර තිබුනාවූත් බුඛාරින්මත්, ලෙනින්ගෙන් පසු සෝවියට් ආන්ඩුවේ නායකත්වයට පත් ඇලෙක්සි රයිකොව් යන අය ද වූහ.
1936 විභාග කිරීමට පටන් ගැනුනු නඩු විභාගයේ දී එල්ල කෙරුනු බොරු චෝදනාව වූයේ, 1934 දෙසැම්බරයේ දී සර්ජි කිරොව් ඝාතනයටත් ස්ටැලින් ඇතුලු සෙසු පක්ෂ නායකත්වය මරා දැමීමටත්, චූදිතයන් පිටුවහලේ සිටින ට්‍රොට්ස්කිගේ මග පෙන්වීම යටතේ “ට්‍රොට්ස්කිවාදී-සිනොවියෙව්වාදී ත්‍රස්ත මධ්‍යස්ථානයක්” ගොඩනගා ඇති බවයි. ට්‍රොට්ස්කි නිවැරදි ව මෙම නඩු විභාගය ලෝකයේ එතෙක් මෙතෙක් ලොකු ම හොර නඩුව ලෙස නිවැරදි ව නම් කලේ ය. නිලධරයේ තනි රටක සමාජවාදය ක්‍රියාමාර්ගය, බලාත්කාරී සමූහකරනය සහ ජාතික ආදායමෙන් වැඩි පංගුවක් වරප්‍රසාදිත නිලධාරි කුලයක භුක්තියට ගැනීම ආදී කාරනා නිසා 1936 වන විට සෝවියට් සමාජය තුල ප්‍රතිඝතිතතා කඳු ගැසෙමින් තිබුනි. 1936 අගෝස්තු 25 වැනි දා, විත්තිකරුවෝ 16 දෙනෙක් වෙඩි තබා මරා දමන ලදහ. පසු ව සිදු කෙරුනු නඩු විභාග දෙකේ දී තවත් 31 දෙනෙක්ට මරන දඬුවම ලබා දෙන ලදි.
ස්ටැලින්වාදය සහ ට්‍රොට්ස්කිවාදය අතර ගැටුම මූලධර්මාත්මක ව ප්‍රතිවිරුද්ධ දේශපාලන ඉදිරිදර්ශන දෙකක් අතර ගැටුමකි. වසර 13කට පෙර, 1923 දී, ට්‍රොට්ස්කි සහ වාම විපාර්ශ්වය, වසරකට පෙර පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරයට පත් ව සිටි ජෝසප් ස්ටැලින්ගෙන් පුද්ගල ප්‍රකාශනය අත් කර ගත් රුසියානු කොමියුනිස්ට් පක්ෂයේත් සෝවියට් රාජ්‍යයේත් නිලධාරීවාදී පරිහානියට එරෙහි ව සටන ආරම්භ කලහ.
මතු වෙමින් තිබුනු ස්ටැලින්වාදී ප්‍රතිගාමීත්වයේ ක්‍රියාමාර්ගික පදනම වූයේ 1924 දී ප්‍රථම වරට ඉදිරිපත් කෙරුනු “තනි රටක සමාජවාදය” නම් න්‍යායයි. සමාජවාදී විප්ලවය ජාතික පදනම්වලින් පටන් ගෙන ලෝක මට්ටමින් පරිපූර්නත්වයට පත් වන බවට පෙන්වා දුන්, 1917 ඔක්තෝබරයේ දී සනාථ වුනු ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායට එරෙහි ව මෙය ඉදිරිපත් කෙරුනි.
ට්‍රොට්ස්කි 1927 දී පක්ෂයෙන් නෙරපනු ලැබ 1929 දී සෝවියට් සංගමයෙන් පිටුවහල් කරනු ලැබුනි. ස්ටැලින් “විප්ලවයේ මිනී වල කනින්නා” ලෙස ක්‍රියා කරන බව ද ස්ටැලින්වාදය ලෝක අධිරාජ්‍යවාදයේ ඒජන්සියක් බව ද ට්‍රොට්ස්කි පෙන්වා දී තිබුනි. ඔහු 1936 දී පාවා දුන් විප්ලවය කෘතිය තුල, ඉහල ස්ථරයක වාසියට බෙදා හැරීමේ ධනේශ්වර විධික්‍රම ක්‍රියාවට දැමීමෙන් “දැනුවත් දේශපාලන බලවේගයක් ලෙස නිලධරය විප්ලවය පාවා දී තිබුනි” යැයි ලිවී ය. එය “ධනේශ්වර ප්‍රතිස්ථාපනයකට සූදානම් කිරීමක්” බව ඔහු ලිවී ය. නිලධරය ඔක්තෝබර් විප්ලවයට නායකත්වය දුන් අය දැක ගත්තේ දේශපාලනික ව විනාශ කල යුතු බාධකයක් වශයෙනි.
1937 සිට 1938 දක්වා පමනක් 681 692ක් මරන දඬුවම් සෝවියට් ලේඛනාගාර වාර්තා පෙන්වා දෙයි. 1956 දී සෝවියට් නායක නිකිතා කෘෂෙව් පිලිගත් ආකාරයට 1934 දී මධ්‍යම කාරක සභාවට තෝරා පත් කර ගනු ලැබුනු සාමාජික සහ අපේක්ෂක සාමාජික 139 දෙනාගෙන් 98 දෙනෙක් ම අත්තඩංගුවට ගනු ලැබ වෙඩි තබා මරා දමන ලදහ.
ට්‍රොට්ස්කි 1937 දී, තම “ස්ටැලින්වාදය සහ බොල්ෂෙවික්වාදය” යන රචනයේ දී “වත්මන් පක්ෂ විශුද්ධිකරනය බොල්ෂෙවික්වාදය සහ ස්ටැලින්වාදය හුදු රුධිර රේඛාවකින් නොව සමස්ත රුධිර ගංගාවකින් වෙන් කරයි” යනුවෙන් ලිවී ය.
ඉතිහාසඥ වඩිම් රොගොවින් ලේඛනගත කරන ආකාරයට බොල්ෂෙවික් පක්ෂ නායකත්වයෙන් පිටතට ද ත්‍රස්ත කිරීම් ව්‍යාප්ත විය: විද්‍යාඥයෝ, ගුරුවරු සහ සාහිත්‍යවේදීහු තොග පිටින් මරා දැමුනාහ. 1938 දී, අතරමැදි සිර කඳවුරක දී ඔසිප් මැන්ඩෙල්ස්ටම් කවියා මිය ගියේ ය. 1940 දී ලේඛක අයිසාක් බාබෙල් වෙඩි තබා මරා දැමුනි. වේදිකා නාට්‍යකරු ව්සෙවොලොද් මේයර්හෝල්ඩ්ට ද එම ඉරනම ම අත් විය. ප්‍රවේනි විද්‍යාඥයෙකු වූ නිකොලායි වැවිලොව් සරාටොව් බන්ධනාගාරයේ දී හාමත් වෙන්නට අත හැරුනි. ඔහු එහි දී 1943 දී මිය ගියේ ය.
ඝාතන සෝවියට් දේශසීමාවෙන් නතර වූයේ ද නැත. 1937 දී, බාර්සිලෝනාවේ දී, ස්පාඤ්ඤ පොලිසිය පූමයේ නායකයා වූ ආන්ද්රෙස් නින් අල්ලා ගෙන ජීපීයූවට භාර දුන්නේ ය. ජීපීයූව ඔහුට වද දී මරා දැම්මේ ය. එම වසරේ ජූලියේ දී, නෝර්වේ හි දී ට්‍රොට්ස්කිගේ ලේකම් ලෙස කටයුතු කල අර්වින් වුල්ෆ් පැහැර ගනු ලැබුනි. ඊට පසු ඔහු දක්නට ලැබුනේ නැත. ප්‍රසිද්ධියේ ස්ටැලින්ගෙන් බිඳී හතර වැනි ජාත්‍යන්තරයට පක්ෂපාතීත්වය පල කල ජීපීයූ නිලධාරියෙකු වූ ඉග්නේස් රීස් එම වසරේ සැප්තැම්බරයේ දී, ලුසැන්නේ නගරයට පිටත වීදියක දී වෙඩි තබා මරා දමන ලදි. 1938 දී, ජීපීයූව හතර වැනි ජාත්‍යන්තරයේ ලේකම් වූ රුඩොල්ෆ් ක්ලෙමන්ට් පැරිසියේ දී පැහැර ගත්තේ ය. අගෝස්තු අග දී, ඔහුගේ කපා කොටා ඝාතනය කරන ලද සිරුර සේන් නදියෙන් සොයා ගනු ලැබුනි.
මෙය දේශපාලන සමූල ඝාතනයක් විය; සමස්ත දේශපාලන පරම්පරාවක් ඉලක්ක කොට සංහාරය කිරීමක් විය. මෙම භීෂනය 1939 අගෝස්තු 23 වැනි දින එලඹුනු ස්ටැලින් හිට්ලර් ගිවිසුමට අවකාශ සකසා දුන්නේ ය. එම ගිවිසුම නාසි ජර්මනියට දෙ වැනි ලෝක යුද්ධය ආරම්භ කිරීමට නිදහස් පරිසරයක් නිර්මානය කලේ ය.
භීෂනයේ හරි මැද ට්‍රොට්ස්කි ඝාතන කුමන්ත්‍රනය පැවති අතර, පිටුවහල් ව සිටිය දී පවා ඔහු ස්ටැලින්ගේ වඩා ත් ම භයානක සතුරා විය. සෝවියට් සංගමය තුල මිලියන ගනනක් දෙනා ඔක්තෝබර් විප්ලවයේ සහ සිවිල් යුද්ධය තුල ඔහුගේ භූමිකාව සිහිපත් කල අතර ඔහුට එරෙහි ව්‍යාපාරය බොරු මත ගොඩ නගා තිබූ බව දැන සිටියහ. මෙහෙයුම මෙහෙය වූ රහස් පොලිස් නිලධාරි පාවෙල් සුඩොප්ලැටොව්, 1994 දී ලියා තැබූ ඔහුගේ සුවිශේෂී කාර්යභාරයන් පිලිබඳ මතක සටහන් තුල, ස්ටැලින් 1939 මාර්තු මාසයේ දී නිකුත් කල නියෝගයක් පිලිබඳව සිහිපත් කලේය: “තර්ජනය තුරන් වනු ඇත්තේ ට්‍රොට්ස්කි අවසන් කර දැමුව හොත් පමනි.”
දැවැන්ත දේශපාලන මෙහෙයුමක් වූ මෙම ඝාතන කුමන්ත්‍රනයේ කේන්ද්‍රීය කාරනය වූයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විනිවිදීමයි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව තම විමර්ශනය වන ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය තුල තහවුරු කර ඇති ආකාරයට, ස්ටැලින් තම නියෝගය ලබා දීමට වසර ගනනාවකට පෙර සිට ම—පැරිස්, නිව්යෝර්ක් සහ කොයෝකාන්හි—ජීපීයූ ඒජන්තයින් ක්‍රියාත්මක ව සිට ඇත.
පැරිසියේ සිටි ට්‍රොට්ස්කිගේ පුත් ලියොන් සෙඩොව් අසල ගැවසුනු ජීපීයූ ඒජන්ත මාර්ක් ස්බොරොව්ස්කි, රීස්ගේ සහ සෙඩොව්ගේ ඝාතන සැලසුම් කලේ ය. 1938 පෙබරවාරි මාසයේ දී ස්බොරොව්ස්කි විසින් තෝරා ගන්නා ලද සායනයක දී ඔහුට මිය යාමට සිදු විය. සමාජවාදී කම්කරු පක්ෂ නායක ජේම්ස් පී. කැනන්ගේ පුද්ගලික ලේකම් ලෙස සේවය කල සිල්වියා කැලන්, තමා ජීපීයූ ඒජන්තවරියක බව, 1958 දී ෆෙඩරල් මහා ජූරි සභාවක් ඉදිරියේ පිලිගත්තා ය; කොයෝකාන් නිවසේ ට්‍රොට්ස්කිගේ ලේකම්වරයෙකු ව සිටි ජෝසප් හැන්සන් ජීපීයූව වෙනුවෙන් වැඩ කල අයෙකි. මර්කාඩර්ට නිවසට ඇතුලු වීමට ඉඩ දුන් සිල්වියා ඇගෙලොෆ්, “ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයේ තීරනාත්මක කාර්යභාරයක් ඉටු කල ජීපීයූ ඒජන්තවරියක” බවට “නිසැක ලෙස නිගමනය කිරීමට” සාක්ෂි පවතින බව, 2021 දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත් කරන ලද විමර්ශනයක අවසන් නිගමනය විය.
ට්‍රොට්ස්කි ඝාතනය 20 වන සියවසේ වඩාත් ම විපාකදායක දේශපාලන ඝාතනය විය—එය සමාජවාදී ව්‍යාපාරයේ දේශපාලනික හිස ගසා දැමීමකි.
උත්සන්න වන ත්‍රස්ත ව්‍යාපාරය, ස්පාඤ්ඤ විප්ලවය පාවා දීම, හිට්ලර් සමඟ ස්ටැලින්ගේ සන්ධානයේ ප්‍රවේශය යන මේ සියලු සිදුවීම් මධ්‍යයේ, ට්‍රොට්ස්කි, 1938 සැප්තැම්බර් 3 වන දින පැරිසියෙන් පිටත රහසිගත ව තම ආරම්භක සම්මේලනය පවත්වමින්, හතරවන ජාත්‍යන්තරය ස්ථාපිත කලේ ය.
එහි ආරම්භකත්වය සඳහා කේන්ද්‍රීය කාරනය වූයේ ලෝක සමාජවාදී විප්ලවයේ වැඩපිලිවලේ සහ විප්ලවවාදී නායකත්වයේ අර්බුදයයි. කම්කරු පන්තිය විසින් ස්ටැලින්වාදී නිලධරය පෙරලා නොදැමුවහොත්, එය සෝවියට් සංගමය තුල ධනවාදය පුනස්ථාපනය කරන බව ට්‍රොට්ස්කි අවධාරනය කලේ ය. ඔහු කැඳවුම් කර සිටි දේශපාලන විප්ලවය ලෝක සමාජවාදී විප්ලවයේ වැඩපිලිවලේ අංගයක් විය.
සම්මේලනය සඳහා ට්‍රොට්ස්කි විසින් කෙටුම්පත් කරන ලද වැඩපිලිවල කෙලින් ම මෙසේ පැවසී ය: “නිලධරය, කම්කරු රාජ්‍යය ලෝක ධනේශ්වරයේ අවයවයක් බවට පත්කරමින්, නව දේපල ආකෘති පෙරලා දමා, නැවත රට ධනවාදයට ඇද දමනු ඇත; නැතහොත්, කම්කරු පන්තිය නිලධරය පොඩිපට්ටම් කර දමා සමාජවාදයට මාවත හෙලිපෙහෙලි කරනු ඇත.”
ට්‍රොට්ස්කිගේ පුරෝකථනය නිවැරදි බව ඔප්පු වී හමාර ය. වසර තිස් පහකට පෙර මෙවන් සතියක, 1991 අගෝස්තු 19-21 දිනවල සිදු වූ අසාර්ථක කුමන්ත්‍රනය, සෝවියට් සංගමය විසුරුවා හැරීමේ අවසන් ක්‍රියාවලිය ආරම්භ කලේ ය.
මරා දැමූවන්ගේ තනතුරුවල පුරප්පාඩු පුරවමින් තවත් අය තම වෘත්තීය ජීවිත ආරම්භ කලහ; රොගොවින් වාර්තා කල පරිදි, ඔවුහු “1937 දී අලුතින් තෝරාගත් අය” ලෙස ප්‍රසිද්ධ වූහ. ඊලඟ අඩ සියවස පුරා සෝවියට් සංගමය පාලනය කරමින්, එය බිඳවැටීමේ අද්දරට ගෙන ආවේ ඔවුන් විසිනි. 1985 මාර්තු මාසයේ සිට ප්‍රධාන ලේකම් තනතුර දැරූ මිහායිල් ගොර්බචෙව් විසුරුවා හැරීම පිලිබඳ අවසන් තීරනය ගන්නා ලදී. 1991 දෙසැම්බර් 26 වන දින සෝවියට් සංගමය නිල වශයෙන් තම පැවත්ම අවසන් කලේ ය.
විසුරුවා හැරීම සෝවියට් සංගමය දුසිමකට වඩා වැඩි ධනේශ්වර රාජ්‍යයන් ගනනකට කඩා දැමී ය. ඒ සෑම එකක් තුල ම, රාජ්‍ය දේපල කොල්ල කෑම හරහා නව පාලක පන්තියක් ස්ථාපිත විය. යුක්‍රේනය තුල, මෙම ක්‍රියාවලිය වොෂින්ටනයට සහ බර්ලිනයට බැඳුනු කතිපයාධිකාරීත්වයක් නිර්මානය කර තිබේ; රුසියාව තුල, මහා රුසියානු ජාතිකවාදය මත පදනම් වූ පාලන තන්ත්‍රයක් බිහි කර ඇත. දැන් පස්වන වසරට එලඹ ඇති යුද්ධය 1991 හි සෘජු නිෂ්පාදනයකි. නැටෝව විසින් උසිගන්වන ලද එය රුසියාව පැත්තෙන් මෙහෙයවනු ලැබුනේ, ජනතාවගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම උදෙසා නොව, ප්‍රතිසංස්කරනයෙන් මතු වූ ධනේශ්වර පන්තියේ අවශ්‍යතා සඳහා සටන් කරන පාලන තන්ත්‍රයක් විසිනි.
මොස්කව් නඩු විභාගවලින් වසර අනූවකට පසු, ධනේශ්වර අර්බුදයේ නව කාල පරිච්ඡේදයක, ලෝක ප්‍රතිගාමීත්වයේ ආයතන නැවතත් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය බලහත්කාරයෙන් මර්දනය කිරීමට උත්සාහ කරයි. 2026 අගෝස්තු 10 වන දින, නිකොලෙව් කලාපයේ පර්වොමයිස්ක් නගර දිස්ත්‍රික් උසාවිය—යුක්‍රේන සමාජවාදියෙකු සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සමඟ දේශපාලන සහයෝගීතාවයෙන් කටයුතු කරන තරුන ට්‍රොට්ස්කිවාදීන් පිරිසක් වන බොල්ෂෙවික්-ලෙනින්වාදීන්ගේ තරුන රැකවල සංවිධානයේ නායකයා වූ—බොග්ඩාන් සයිරොටියුක්ට, යුද නීතිය යටතේ බරපතල රාජද්‍රෝහී චෝදනාවක් එල්ල කරමින් දේපල රාජසන්තක කර, වසර 15 ක සිර දඬුවමක් නියම කලේ ය. සංවිධානයේ ක්‍රියාමාර්ගය සහ මුද්‍රිත ලේඛන විනාශ කිරීමට ද එය නියෝග කලේය.
බොග්ඩාන්ට එරෙහි ව නඩු පැවරීමේ දී, යුක්‍රේන රාජ්‍යය පැහැදිලි ව ම කියා සිටියේ, බොග්ඩාන් සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය '‘ට්‍රොට්ස්කිවාදී’ දේශපාලන ධාරාවේ” සම්ප්‍රදාය තුල “කොමියුනිස්ට්වාදී දෘෂ්ටිවාදය” ප්‍රවර්ධනය කරමින්, ලියොන් ට්‍රොට්ස්කිගේ අදහස් ප්‍රචාරය කිරීම වෙනුවෙන් දඬුවම් කල බවයි.
හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සමඟ බොග්ඩාන්ගේ සහයෝගීතාවය, අධිකරනය පැහැදිලි ව ම හෙලා දකී. එහි මෙසේ සඳහන් වේ: “හතරවන ජාත්‍යන්තරය යනු ස්ටැලින්වාදයට විකල්පයක් වන ජාත්‍යන්තර කොමියුනිස්ට් සංවිධානයකි. එය, ලියොන් ට්‍රොට්ස්කිගේ න්‍යායික උරුමය මත පදනම් ව ලෝක විප්ලවය වෙනුවෙන් වැඩ කරන අතර කම්කරු පන්තියේ ජයග්‍රහනයත්, සමාජවාදය ගොඩනැගීමත් තම කර්තව්‍යය ලෙස සකසයි.”
බොග්ඩාන්ට වසර 15 ක සිර දඬුවමක් නියම කර ඇත්තේ ට්‍රොට්ස්කිවාදී ඉදිරිදර්ශනය වෙනුවෙන් පෙනී සිටීම නිසා ය. ඔහුට එල්ල වන හිංසා පීඩා, ට්‍රොට්ස්කිවාදී ඉදිරිදර්ශනය පාලක පන්තීන් තුල ඇති කර තිබෙන භීතිය පිලිබඳ මිනුමකි.
ලොව පුරා කම්කරුවෝ සහ තරුනයෝ, යුද්ධය, අසමානතාවය සහ ආඥාදායකත්වය ගෙන එන සමාජ ක්‍රමයට එරෙහි ව අරගලයට පිවිසෙමින් සිටිති. මෙය—දශක ගනනාවක් තිස්සේ අරගලය හරහා හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් ආරක්ෂා කරන ලද උරුමය සහ අපගේ යුගයේ අව්‍යාජ මාක්ස්වාදය වන—ට්‍රොට්ස්කිවාදයේ දැවැන්ත වර්ධනයක් ඇති කරනු ඇත. ඔවුන් ඉදිරි මාවත සොයා ගත යුත්තේ සහ සොයා ගනු ඇත්තේ, ට්‍රොට්ස්කි ජීවත් වූ සහ මිය ගිය ඉදිරිදර්ශනය තුල ය; එනම්, ලෝක සමාජවාදී විප්ලවයේ වැඩපිලිවල තුල ය.
