ඉදිරිදර්ශන

කෘතිම බුද්ධිය පිලිබඳ “මානව-හිතවාදී සමුලුව”: සැන්ඩර්ස් සහ වෘත්තීය සමිති නිලධරය ෆැසිස්ට්වාදී දක්ෂිනාංශය සමඟ අත්වැල් බැඳ ගනී

[මෙය The “Pro-Human Assembly” on AI: Sanders and the trade union bureaucracy join hands with the fascist right යන මැයෙන් 2026 සැප්තැම්බර් 16 දින ඉංග්‍රීසි බසින් පල විය.]

සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් (I-Vermont) සහ ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනයේ හවුල්කරුවෙකු වන ස්ටීව් බැනන්, 2026 සැප්තැම්බර් 15 වන දින වොෂින්ටන් ඩී.සී. හි පැවැත්වුනු "මානව-හිතවාදී සමුලුව" (Pro-Human Assembly) උත්සවයේ ප්‍රධාන කථිකයන් ලෙස සහභාගී වෙමින්. [ඡායාරූපය: USA Today] [Photo: USA Today]

අඟහරුවාදා (15), වොෂිංටනයේ පැවැත්වුනු, කෘතිම බුද්ධිය පිලිබඳ “මානව-හිතවාදී සමුලුව” නම් වූ උත්සවයක දී, සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස්, AFL-CIO සභාපති ලිස් ෂූලර් සහ ඇමරිකානු ගුරුවරුන්ගේ සම්මේලනයේ සභාපති රැන්ඩි වෙයින්ගාර්ටන්, ෆැසිස්ට් මතවාදියෙකු සහ ට්‍රම්ප්ගේ හිටපු උපදේශකයෙකු වූ ස්ටීව් බැනන්, ජනවාරි 6 කුමන්ත්‍රනයේ සහායකයෙකු වූ ඒමි ක්‍රියර් සහ අනෙකුත් අන්ත-දක්ෂිනාංශික නියෝජිතයෝ එක ම වේදිකාවක සිට කතා කලහ.

ට්‍රම්ප් සහ සමස්ත දේශපාලන සංස්ථාපිතය කෙරෙහි සමාජ කෝපය සහ විරෝධය වර්ධනය වෙමින් පවතින පසුබිමක් තුල, ඩිමොක්‍රටික් පක්ෂයේ “වාමාංශික” යැයි කියැවෙන පාර්ශ්වය නියෝජනය කරන සැන්ඩර්ස් සහ වෘත්තීය සමිති නිලධරය, ෆැසිස්ට්වාදී දක්ෂිනාංශය සමඟ පොදු වේදිකාවක් ගොඩනඟමින් ද, ඔවුන්ට දේශපාලනමය වලංගුභාවයක් ලබා දෙමින් ද සිටිති. මෙහි අරමුන නම්, එම විරෝධය අපසරනය කර අඩපන කිරීමත්, එය වඩාත් ප්‍රතිගාමී දිශාවන් වෙත යොමු කිරීමත්‍ ය.

මෙම උත්සවය සංවිධානය කිරීමේ අරමුන වූයේ, කෘත්‍රිම බුද්ධියේ (AI) අනාගතය පිලිබඳ පොදු වේදිකාවක් ගොඩනැගීම සඳහා “විවිධ දේශපාලන මතවාද” එක් තැනකට එකතු කිරීමයි. ආරාධිතයන්ට පමනක් සීමා වූ මෙම උත්සවය ධවල ​​මන්දිරයේ සිට නිවාස පේලි කිහිපයකට එපිටින් පිහිටි ‘මැරියට් මාර්ක්විස්’ (Marriott Marquis) හෝටලයේ දී පැවැත්වුනු අතර C-SPAN නාලිකාව ඔස්සේ එය සජීවී ව විකාශය විය. සැන්ඩර්ස්, ෂුලර් සහ වයින්ගාර්ටන් යන අය සමඟ, අයර්ලන්තයේ SAG-AFTRA හි ඩන්කන් ක්‍රැබ්ට්‍, ඩිමොක්‍රටික් සෙනෙට් සභික රිචඩ් බ්ලූමෙන්තාල් සහ ඩිමොක්‍රටික් නියෝජිත මන්ත්‍රී ග්‍රෙග් කසාර් ද මෙම වේදිකාවට එක් ව සිටියහ.

රිපබ්ලිකන් දක්ෂිනාංශයෙන් පැමිනි ටෙනසි ​​සෙනෙට් සභික මාර්ෂා බ්ලැක්බර්න්, “ගුවන් යානා, දුම්රිය හෝ අභ්‍යාවකාශ යානා” භාවිතා කර හෝ සංක්‍රමනිකයන් පිටුවහල් කරන බවට ප්‍රතිඥා දී ඇති තැනැත්තියකි. හවුස් ෆ්‍රීඩම් කෝකස් හි නායකයෙකු වන නියෝජිත චිප් රෝයි, “දෙවියන් වහන්සේ අපට මේ ග්‍රහලෝකය කෙරෙහි ආධිපත්‍යය ලබා දී ඇති” බව ප්‍රේක්ෂකයින්ට පැවසී ය. සැන්ඩර්ස් තම දේශපාලන ආශිර්වාදය ලබා දෙන “මානව-හිතවාදී” පෙරමුන එයයි.

උත්සවයේ සංවිධායකවරයා වූයේ MIT භෞතික විද්‍යාඥ මැක්ස් ටෙග්මාර්ක්ගේ ප්‍රධානත්වයෙන් යුත්, ජීවිතයේ අනාගතය (Future of Life Institute) නම් වූ ආයතනයයි. FLI යනු, එහි කථිකයන් විසින් “කතිපයාධිකාරීන්” ලෙස හෙලා දකිනු ලබන, නමුත් එම බිලියනපතියන් විසින් ම අරමුදල් සපයන සංවිධානගත කන්ඩායමකි (lobby). 2015 දී ඊලොන් මස්ක්ගේ ඩොලර් මිලියන 10ක් සමග දියත් කරන ලද එහි අධ්‍යක්ෂ මන්ඩලයේ මස්ක් අසුන් ගත්තේ ය. එතෙරියම් නිර්මාතෘ විටලික් බුටරින් 2021 දී එයට ඩොලර් මිලියන 665 ක පමන ක්‍රිප්ටො-අරමුදල් (cryptocurrency) ලබා දුන්නේ ය. 2022 දී, යුදෙව් විරෝධී කුමන්ත්‍රන න්‍යායන් ප්‍රවර්ධනය කරන ස්වීඩන් ප්‍රකාශනයක් වන නියා ඩැග්බ්ලැඩෙට් විසින් පිහිටුවන ලද පදනමකට FLI ඩොලර් 100,000ක් පිරිනැමී ය.

ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සැසිවාර ඉලක්ක කරගනිමින්, සංවිධාන 50 කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් යුත්, මානව-හිතකාමී කෘතිම බුද්ධි සන්ධානය නම් සමුලුවක් ද, ඔක්තෝබර් 20 වන දින ගනු ලබන ජාතික මට්ටමේ විරෝධතා ක්‍රියාමාර්ගයක් සහිත “කෘතිම බුද්ධි තාක්ෂනය තාවකාලික ව අත්හිටුවීමේ” ව්‍යාපාරයක් ද මෙම කන්ඩායම විසින් දියත් කර තිබේ. 2021 ජනවාරි 6 වන දින එලිප්ස් හි පැවති රැලිය සංවිධානය කල වුමන් ෆෝ ඇමරිකා ෆස්ට් (Women for America First) සංවිධානයේ පූර්වගාමියා වන ක්‍රෙමර්ගේ හියුමන්ස් ෆස්ට් (Humans First) සංවිධානය විසින්, නැවතුම් ස්ථාන 35 ක් ආවරනය කෙරෙන දත්ත මධ්‍යස්ථාන කැරැල්ල (Data Center Revolt) නම් බස් රථ සංචාරයක් ක්‍රියාත්මක කරමින් තිබේ.

මෙම වැඩසටහනේ දී, පිලිවෙලින්, එකෙකුට පසු ව අනෙකා ලෙස සැන්ඩර්ස් සහ බැනන් වේදිකාවට කැඳවනු ලැබූ අතර, නිවේදකයා ලෙස කටයුතු කල ටෙග්මාර්ක් ඔවුන් දෙදෙනා ම හඳුන්වා දුන්නේ බොහෝ දුරට සමාන වචන භාවිතා කරමිනි. “විශාල වන්දියක් ගෙවීමට සිදු වන අවස්ථාවක දී පවා, බලවතුන් හමුවේ සත්‍යය පැවසීමට තරම් ධෛර්යයක් ඇති අයෙකු” ලෙස ඔහු සැන්ඩර්ස් හඳුන්වා දුන්නේ ය. ඉන් මිනිත්තු කිහිපයකට පසු ඔහු බැනන් වේදිකාවට කැඳවූයේ, “බලවතුන් ඊට කිසිසේත් කැමති නොවූව ද, ඔවුන් හමුවේ සත්‍යය පැවසීමට බිය නොවන අයෙකු” ලෙස හඳුන්වා දෙමිනි.

“විවිධ දේශපාලන දෘෂ්ටිකෝනයන් ඇති පුද්ගලයින් එක් තැනකට ගෙන ඒම වෙනුවෙන්” ටෙග්මාර්ක්ට ස්තූති කරමින් සැන්ඩර්ස් තම කතාව ආරම්භ කලේ ය. තම ආවේනික හරසුන් වාචාලකම සමඟ, මස්ක්, සකර්බර්ග්, බෙසෝස්, තියෙල්, එලිසන් සහ බ්‍රින් ඇතුලු “අතලොස්සක් කතිපයාධිකාරීන්” හෙලා දුටු ඔහු, “මේ රටේ ජනතාව කෘතිම බුද්ධිය පිලිබඳ තීරන ගත යුතු” බව ප්‍රකාශ කලේ ය. ඔහු තම ඩිමොක්‍රටික් සගයා වන කැසාර් සමඟ “සුපිරි කෘතිම බුද්ධිය” තහනම් කිරීම සහ දියුනු කෘතිම බුද්ධියේ සංවර්ධනය තාවකාලික ව නවතා දැමීම වෙනුවෙන් පනතක් ප්‍රකාශයට පත් කල අතර “දේශපාලන අපේක්ෂකයින්ට අරමුදල් සපයන සුපිරි ක්‍රියාකාරී කමිටුවලට ඩොලර් මිලියන සිය ගනනක් පොම්ප කිරීම නවත්වන ලෙස” කෘතිම බුද්ධි සමාගම්වලින් ඉල්ලීමක් ද කලේ ය.

ට්‍රම්ප් සම්බන්ධයෙන් සැන්ඩර්ස් පැවසුවේ, “මෙම ගැටලුව පිලිබඳ ජනාධිපතිවරයාගේ නොදැනුවත්කම සැබවින් ම ලැජ්ජා සහගත” බව පමනි. තමන්ගෙන් පසු ව වේදිකාවට ඒමට සූදානමින් සිටි පුද්ගලයාගෙන් දුරස්ථ වීමට සැන්ඩර්ස් එකදු වචනයක් හෝ ප්‍රකාශ කලේ නැත. ඊට හාත්පසින් ම විරුද්ධ ලස, “විවිධ දේශපාලන මතවාද” එක් තැනකට ගෙන ඒම සම්බන්ධයෙන් සංවිධායකයින්ට ස්තූතිය පල කල ඔහු, ඔවුන්ගෙන් එකෙකු ලෙස ෆැසිස්ට්වාදියෙකුට වේදිකාව භාර දුන්නේ ය.

සංගීත ක්ෂේත්‍රයේ බස් වහරින් කියන්නේ නම්, සැන්ඩර්ස් ඉටු කලේ, ප්‍රධාන රංගනයට පෙර වේදිකාවට පැමින ප්‍රේක්ෂකයන් ඊට සූදානම් කරවන ආරම්භක රංගන ශිල්පියාගේ භූමිකාවයි. ඒ අනුව, සැන්ඩර්ස්ගේම වාං මාලාව භාවිත කල බැනන්, සිය පලමු වාක්‍යයෙන් ම මෙසේ ප්‍රකාශ කලේ ය: “ඇමරිකානු පුරවැසියන් තවදුරටත් කතිපයාධිකාරීන් ඉදිරියේ යටහත් පහත් ආයාචකයින් බවට පත් නොවනු ඇත.”

ඉන් පසු බැනන් චීනයට එරෙහි ව වර්ගවාදී ප්‍රකෝපකාරී ප්‍රකාශ මාලාවක් සිදු කලේය. “අප සියලුම චීන ජාතිකයින් විද්‍යාගාරවලින් ඉවත් කර නැවත චීනය වෙත යැවිය යුතුයි,” යනුවෙන් බැනන් ප්‍රකාශ කලේ ය. ව්‍යවස්ථාදායක ක්‍රියාමාර්ග මගින් නොව, “විධායක ක්‍රියාමාර්ග” මගින් “පැය 72 ක් ඇතුලත එය වසා දැමිය හැකි” යැයි ඔහු පැවසී ය. මෙය ජනාධිපති නියෝගයක් මගින් සියලුම චීන සංක්‍රමනිකයන් සමූහ වශයෙන් රටින් පිටුවහල් කිරීම සඳහා කරන ලද ඉල්ලීමකි. ඒ වන විට වේදිකාවෙන් බැස ගොස් සිටි සැන්ඩර්ස්, ඒ අවස්ථාවේ දී මේ පිලිබඳව කිසිවක් නොකී අතර ඉන් පසු ව ද කිසිවක් පවසා නැත.

බැනන්, සැන්ඩර්ස්ට පැහැදිලි ව ම ප්‍රශංසා කරමින් මෙසේ පැවසී ය, “මම හිතන්නේ සෙනෙට් සභික සැන්ඩර්ස් අවදානම සාරාංශ කිරීම ඉතා හොඳින් කලා කියලා ... මම හිතන්නේ නෑ, වමේ බර්නි සැන්ඩර්ස් හෝ දකුනේ ස්ටීව් බැනන් තරම් දැඩි පාක්ෂිකයින් දෙදෙනෙකු ඔබට සොයාගත හැකි වේ යැයි කියලා... අපි ඒ මත සිට ඉහලට නැඟිය යුතුයි.” සති දෙකකට පෙර සැන්ඩර්ස් වෝල් ස්ට්‍රීට් ජර්නලයට මෙසේ පවසා තිබුනි: “දේශපාලනය යනු සෑම විට ම අමුතු ආකාරවල සන්ධාන ඇති කර ගන්නා තත්වයකි... බොහෝ දක්ෂිනාංශික පුද්ගලයින්ට ඇත්තේ මා හා සමාන උත්සුකයන් ය.”

මොහු තම වෝ රූම් පොඩ්කාස්ට් (War Room podcast) වැඩසටහන හරහා ජනවාරි 6 දින සිදු වූ කුමන්ත්‍රනය සංවිධානය කල, ආන්ඩුවේ විද්‍යාඥයින්ගේ හිස් “ලී කනුවල ගසා ප්‍රදර්ශනය කල යුතු” බවට ප්‍රකාශ කල, සහ ඔහුගේ හිටපු බිරිඳ පවසන පරිදි, තම දියනියන් “මැසිවිලි නගන යුදෙව්වන් සමඟ පාසල් යැවීමට” අකමැති බව පැවසූ පුද්ගලයා ය. එහෙත්, මිතුරන් සහ දේශපාලන හිතවතුන් සම්බන්ධයෙන් ගත් කල සුලු වර්ගවාදයක්, යුදෙව් විරෝධයක් හෝ ෆැසිස්ට්වාදයක් එතරම් ගැටලුවක් ද?

මෙම ප්‍රතිගාමී උත්සවයේ දී “කම්කරු” පාර්ශ්වය නියෝජනය කරන ලද්දේ වෘත්තීය සමිති නිලධාරීන් විසිනි. “කම්කරු ව්‍යාපාරය ඔබ සැම සමඟ එක් ව කටයුතු කිරීමට සූදානමින් සිටී” යැයි AFL-CIO හි සභාපතිනි ෂුලර් රැස් ව සිටි පිරිස අමතමින් පැවසුවා ය. අතරමැදි මැතිවරනයෙන් පසු ව, “රිපබ්ලිකන්, ඩිමොක්‍රටික් සහ ස්වාධීන යන සියලු පාර්ශ්වයන්” එක් ව “නිසි ක්‍රියාමාර්ගයකට එලැඹිය යුතු” බව AFT හි සභාපතිනි වෙයින්ගාර්ටන් ප්‍රකාශ කලා ය. ට්‍රම්ප් වෙනුවෙන් කාන්තාවෝ (Women for Trump) සංවිධානයේ නිර්මාතෘ ක්‍රේමර් දවසේ කටයුතු අවසන් කරමින් මෙසේ පැවසුවා ය: “මෙය හුදු වාමාංශික සහ දක්ෂිනාංශික පාර්ශ්ව අතර ගැටුමක් නොවේ.”

මෙය බැනන් සමඟ වෙයින්ගාර්ටන්ගේ පලමු හමුවීම නොවේ. 2017 අප්‍රේල් මාසයේ දී, ඔහු තවමත් ධවල මන්දිරයේ ට්‍රම්ප්ගේ ප්‍රධාන උපායමාර්ගිකයා ලෙස සිටිය දී, ඇය ඔහු ධවල මන්දිරය අසල හිස් අවන්හලක දී රහසිගත ව මුනගැසුනේ, වෙනත් දේ අතර, ට්‍රම්ප්ගේ යටිතල පහසුකම් වැඩසටහනේ AFT විශ්‍රාම වැටුප් අරමුදල් ආයෝජනය කිරීම පිලිබඳව සාකච්ඡා කිරීමට ය. ඒ අවස්ථාවේ ඇය නිගමනය කලේ බැනන් “අපූරු හාදයෙක්” බවයි. වසංගතය අතරතුර, ඇය තවත් ඉදිරියට ගොස්, 2021 දී නගර සභා ශාලාවක, ඇමරිකා එක්සත් ජනපදයේ අන්ත දක්ෂිනාංශික ඕපන් ස්කූල්ස් යූඑස්ඒ සහ දැන් ට්‍රම්ප්ගේ ජාතික සෞඛ්‍ය ආයතන අධ්‍යක්ෂ ජේ භට්ටාචාර්ය සමඟ සම-සත්කාරකත්වය දරමින්, ඇගේම සාමාජිකයින්ගේ විරෝධයකට එරෙහි ව පාසල් නැවත විවෘත කිරීමේ “පොදු ඉලක්කයක්” ප්‍රවර්ධනය කිරීමට කටයුතු කලා ය.

ඉහල වැටුප් ලබන මෙම නිලධාරිවාදීන් නියෝජනය කරන්නේ, සංගත සහ රාජ්‍යය සමඟ දැඩි ලෙස ඒකාබද්ධ, එ සේ ම, කම්කරු පන්තිය කෙරෙහි දැඩි සතුරුකමක් දක්වන යාන්ත්‍රනයකි. ජාතිකවාදී සහ යුද-ගැති ස්වභාවයක් දරන මෙම යාන්ත්‍රනයට, මුසෝලිනිගේ පාලන සමයේ පිහිටුවා තිබූ සංගතවාදී වෘත්තීය සමිති සමඟ බොහෝ සමානකම් ඇත. ෆැසිස්ට්වාදී දක්ෂිනාංශික කන්ඩායම් සමඟ එක ම වේදිකාවක පෙනී සිටීමට සිදුවීම, එය වර්තමානයේ පත් ව ඇති තත්වයේ තාර්කික ප්‍රකාශනයයි.

මෙම සිදුවීමේ දේශපාලන වැදගත්කම දෙ අංශයකින් සාරාංශගත කල හැකි ය.

පලමු ව, කෘතිම බුද්ධිය සම්බන්ධයෙන් ගත් කල, පුද්ගලික සමාගම් සහ මූල්‍ය කතිපයාධිකාරීන් අත පවතින කෘතිම බුද්ධියේ අන්තරායන් පිලිබඳ පුලුල් කනස්සල්ල අවමංගත කිරීමටත්, එය චීනයට එරෙහි ජාතිකවාදී ව්‍යාපාරයක් දෙසට යොමු කිරීමටත් ක්‍රමානුකූල ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙමින් පවතී.

අඟහරුවාදා (15) ඉදිරිපත් කරන ලද “අත්හිටුවීමේ” සිට “සුපිරි බුද්ධි” තහනම දක්වාත්, දත්ත මධ්‍යස්ථාන තාවකාලික ව වසා දැමීම දක්වාත් වූ යෝජනා කිසිවක්, මූලික ගැටලුවට, එනම් කතිපයාධිකාරය විසින් මෙම තාක්ෂනයන් පාලනය කිරීම පිලිබඳ කාරනයට අදාල නොවේ. සැන්ඩර්ස්ගේ ම “ස්වෛරී ධන අරමුදල්” (sovereign wealth fund) යෝජනාවට අනුව, රාජ්‍ය-පුද්ගලික හවුල්කාරිත්වයකින්, තාක්ෂනික දැවැන්තයින්ට ඇප ලබා දීම සඳහා කෘතිම බුද්ධි සමාගම්වල සියයට 50 ක කොටස් රජයට පවරා ගැනීමට සිදුවනු ඇත. තාක්ෂනික කතිපයාධිකාරී සෑම් ඇල්ට්මන් එය ප්‍රවර්ධනය කිරීම සඳහා උදව් කිරීමට ඉදිරිපත් විය.

කෘතිම බුද්ධිය පාලනය කල යුත්තේ කවුරුන්ද යන ගැටලුව විසඳිය හැක්කේ, කම්කරු පන්තිය විසින් එම තාක්ෂනය මත ජාත්‍යන්තර පරිමානයෙන් සමාජීය හිමිකාරිත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ස්ථාපිත කිරීම තුලින් පමනි.

දෙවනු ව, පුලුල් දේශපාලන පෙලගැස්ම පිලිබඳව සලකා බලමු. සැන්ඩර්ස් යනු මොනයම් හෝ ප්‍රතිපත්තියක් ඇති පුද්ගලයෙකු නොවේ. 2016 නොවැම්බර් මාසයේ දී, “බැනන් මහතා වැනි වර්ගවාදී පුද්ගලයෙකුගේ” පත්වීම අවලංගු කරන ලෙස සැන්ඩර්ස්, ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටියේ ය. නමුත් දැන්, වසර දහයකට පසු, ඔහු එම පුද්ගලයා වෙනුවෙන් වේදිකාව සකසමින් සිටී.

කෙසේ වෙතත්, මේවා හුදෙක් යම් පුද්ගලයෙකුගේ වංචනික ක්‍රියාකාරකම්වලට ලඝු කල නොහැක; මේ තුල ක්‍රියාත්මක වන සමාජීය හා දේශපාලනික තර්කනයක් ද පවතී. වෘත්තීය සමිති නිලධරය, ඩිමොක්‍රටික් පක්ෂය තුල සිටින සැන්ඩර්ස් සහ ඔකෑසියෝ-කෝර්ටෙස් පාර්ශ්වය සහ ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන්ගේ සංවිධානයේ කොටස්, ෆැසිස්ට්වාදී දක්ෂිනාංශය සමඟ ගොඩනැගෙමින් පවතින සන්ධානය තුලින් නව ඇමරිකානු “ජාතික සමාජවාදයක” (නාසිවාදය) ස්වරූපය මතු වෙමින් පවතී.

“කෘතිම බුද්ධිය සම්බන්ධ තීරන ගත යුත්තේ මේ රටේ ජනතාව විසින්” යැයි සැන්ඩර්ස් සභාව හමුවේ පැවසී ය. කෙසේ වෙතත්, මෙම කාර්යය සඳහා ඔහු ගොඩනඟමින් සිටින සන්ධානය සමන්විත වන්නේ “ජනතාවගෙන්” නොව, වෘත්තීය සමිති යාන්ත්‍රනයේ ඉහල නිලධාරීන්, ෆැසිස්ට් කුමන්ත්‍රනකරුවන්, විවිධ දේශපාලන නියෝජිතයන් සහ එක්තරා වයස්ගත අවස්ථාවාදී සෙනෙට් සභිකයෙකුගෙනි.

යුද්ධය සහ ඒකාධිපතිවාදය සම්බන්ධයෙන් මෙන් ම කෘතිම බුද්ධිය පිලිබඳව ද තීරන ගත යුත්තේ සහ ගනු ඇත්තේ එක්සත් ජනපදයේ ද, ජාත්‍යන්තර ව ද කම්කරු පන්තිය විසිනි—ඒ, කතිපයාධිකාරියට, එහි පක්ෂවලට සහ වොෂින්ටනයේ ඒකරාශී වී තිබෙන දේශපාලන කුනුකන්දල්වලට එරෙහි අශමනීය විරුද්ධත්වය හරහා ය.

Loading