ශාස්ත්‍රාලික සුමිත් චාමින්ද ගේ ප්‍රති-මාක්ස්වාදී දෙඩවිලි සහ සමාජවාදය සඳහා සමාජවාදී සමානතා පක්ෂයේ අරගලය

පලමු කොටස

මේ කොටස් දෙකකින් පලවන ලිපියක පලමු කොටසයි. දෙ වැන්න 25 වැනි දා පල කෙරෙනු ඇත.
***

කොලඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍යවරයකු වන සුමිත් චාමින්ද, මෑතක දී පැවැත් වූ යූටියුබ් සාකච්ඡාවක දී සමාජවාදී සමානතා පක්ෂය (සසප) “මාක්ස්වාදී න්‍යායධර” වීම සම්බන්ධයෙන් විවේචනයක් එල්ල කර තිබේ. එමගින්, මාක්ස් ජීවත් වූ කාලයෙන් පසු ව ධනේශ්වර පද්ධතිය තුල සිදු වී ඇති වෙනස්කම් සැලකිල්ලට නොගෙන “නව ආකාරයක මනෝරාජිකවාදයක්” අනුගමනය කරන සංවිධාන අතර සසප සිටින බව ද ඔහු කියා සිටියේ ය.

මෙම වාචාල ප්‍රකාශවලට ප්‍රතිවිරුද්ධ ව, සසපයේ විශිෂ්ටත ම ශක්තිය වන්නේ, එය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව ලෙස, සම්භාව්‍ය මාක්ස්වාදය, එනම් අද දින ට්‍රොට්ස්කිවාදය, මත පදනම් වූ සංවිධානයක් වීමයි.

සුමිත් චාමින්ද සහ විදර්ශන කන්නන්ගර යූටියුබ් සාකච්ඡාව අතරතුර

මෙම යුටියුබ් සාකච්ඡාව මෙහෙයවූයේ චාමින්ද ගේ සමීපතමයෙකු වන විදර්ශන කන්නන්ගර ය. චාමින්ද සහ කන්නන්ගර යන දෙදෙනා ම උද්දාමයෙන් කියා සිටින්නේ තමන් “පශ්චාත්-මාක්ස්වාදීන්” බවයි. පශ්චාත්-මාක්ස්වාදයට, මාක්ස්වාදය සමඟ ඇත්තේ ප්‍රතිවාදී සම්බන්ධයකි. 1960 ගනන්වල අගභාගයේ දී ගෝලීය වශයෙන් පොහොසත් සුලු-ධනේශ්වර සමාජ ස්තරයක් තුල මතු වූ මෙම ප්‍රවනතාව, තවදුරටත් තමන් “වාම” යැයි කියා සිටිය ද, එය ඉතිහාසය පිලිබඳ භෞතිකවාදී සංකල්පය සහ කම්කරු පන්තියේ විප්ලවීය භූමිකාව පැහැදිලි ව ම ප්‍රතික්ෂේප කලේ ය.

ජුනි 1 දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) සිංහල අංශය “ශාස්ත්‍රාලික සුමිත් චාමින්ද ‘බහුධ්‍රැවීය ලෝකයක්’ පිලිබඳ මිත්‍යාවන් වගා දිගා කරයි” යන මැයෙන් ලිපියක් පල කලේ ය. එම ලිපිය චාමින්දගේ පශ්චාත්-මාක්ස්වාදී, ධනේශ්වර-ගැති දේශපාලන පිලිවෙත හෙලිදරවු කල අතර, “බහු-ධ්‍රැවීය ලෝකයක්” යටතේ ගෝලීය ධනේශ්වර පද්ධතිය තුල “සාමය” සෙවීම සහ අධිරාජ්‍ය-ගැති ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුවට ඔහු දක්වන සහයෝගය ද පෙන්වා දී තිබුනි.

ඔහු ඉහත සඳහන් ලෝසවෙඅ ලිපිය තම ෆේස්බුක් පිටුවේ පල කලේ, අපගේ විවේචනය ඔහුගේ දේශපාලන පිලිවෙත සඳහා සහතිකයක් සපයන්නාක් මෙනි. යූටියුබ් සාකච්ඡාවේ දී චාමින්ද ඔහුගේ ස්ථාවරයන් සම්බන්ධයෙන් අප ඉදිරිපත් කල කිසිදු විවේචනයකට පිලිතුරු දුන්නේ නැත. මාක්ස්වාදයට එල්ල කරන ප්‍රහාර මගින් කම්කරුවන්, තරුනයන් සහ ප්‍රගතිශීලී බුද්ධිමතුන් ව්‍යාකූල කල හැකි යැයි ඔහු සිතයි.

සමස්ත සාකච්ඡාව ම මාක්ස්වාද විරෝධී ආස්ථානයන් ප්‍රවර්ධනය කිරීම සහ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුව “මධ්‍ය-වාම ජනතාවාදී ආන්ඩුවක්” ලෙස හඳුන්වමින්, එයට විරුද්ධ නොවිය යුතු හා විවේචනය නොකල යුතු බවත්, ඒ වෙනුවට දක්ෂිනාංශයෙන් එය ආරක්ෂා කල යුතු බවත් අවධාරනය කිරීම කේන්ද්‍ර කර ගත්තේ ය.

සසප සහ මාක්ස්වාදය වක්‍රාකාරයෙන් ඉලක්ක කරමින් ගෙන ගිය මෙම සාකච්ඡාවේ දී, ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයට (පෙසප), සසපට සමාන මාක්ස්වාදී ස්ථාවරයන් අනුගමනය කිරීමට බල කරමින් “ජනතාවාදී ප්‍රතිපත්ති” ප්‍රවර්ධනය කිරීමට බාධා කිරීම සම්බන්ධයෙන් චාමින්ද, ව්‍යාජ වම්මුන් දෙදෙනෙකු වන සුමනසිරි ලියනගේ සහ කල්ප රාජපක්ෂ විවේචනය කලේ ය.

මෙම ප්‍රකාශය හාස්‍යජනක ය. ලියනගේ සහ රාජපක්ෂ මාක්ස්වාදයට පක්ෂ බවක් අඟවන නමුත් ඔවුන්ට එය සමඟ කිසිදු සම්බන්ධයක් නැත. ලියනගේ යනු පැබ්ලෝවාදී අවස්ථාවාදී දේශපාලන රස්තියාදුවක නිරත අයෙකි. ඔහු සිය දේශපාලන කටයුතු ආරම්භ කලේ, 1964න් පසු ලංකා සමසමාජ පක්ෂයට (ලසසප) එක්වීමෙනි. ඉන්පසු 1970 ගනන්වල අගභාගයේ දී, ලසසප දේශපාලනය ම ඉදිරියට ගෙන ගිය නව සමසමාජ පක්ෂයට (නසසප) ඔහු එකතු විය. ලියනගේ නසසපයෙන් බිඳී තවත් කන්ඩායම් කිහිපයක් අතර සැරිසරා නැවත ලසසපයට එක් විය. ඔහු දැන් සිය නව ත ම නවාතැන ලෙස තෝරාගෙන ඇත්තේ සමාජවාදී ජනතා සංසදය (සජස) වන අතර, රාජපක්ෂ එම සංසදයේ නායකයෙකි. සජස යනු, ලසසපයේ සභාග දේශපාලනය ප්‍රවර්ධනය කල ජාත්‍යන්තර පැබ්ලෝවාදී ව්‍යාපාරයට සම්බන්ධ ව ලංකාවේ පිහිටුවා ඇති සංවිධානයයි.

අප පැබ්ලෝවාදීන් ලෙස හඳුන්වන්නේ, 1950 ගනන් මුල ට්‍රොට්ස්කිවාදයෙන් බිඳී, දෙවන ලෝක යුද්ධයෙන් පසු අධිරාජ්‍යවාදී බලවතුන් ඇතිකර ගත් ගෝලීය සමථයටත් සෝවියට් ස්ටැලින්වාදී නිලධරයටත්, පසුගාමී රටවල ධනේශ්වර සහ සුලු-ධනේශ්වර පක්ෂවලටත් අනුගත ව , කම්කරු පන්තියේ විප්ලවීය භූමිකාව ප්‍රතික්ෂේප කල හා ස්වාධින ට්‍රොට්ස්කිවාදී පක්ෂ ගොඩනැගිය යුතු නැතැයි ප්‍රකාශකල මයිකල් පැබ්ලෝ සහ අර්නෙස්ට් මැන්ඩෙල් නායකත්වය දුන් කන්ඩායමයි. 1964 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ධනේශ්වර ආන්ඩුවට එක්වීම හරහා ලසසප කල මහා පාවා දීමට ඔවුහු සෘජු ව ම සහාය වූහ. එතැන් සිට පැබ්ලෝවාදීහු අධිරාජ්‍යවාදී ගැති කන්ඩායමක් ලෙස තවදුරටත් දකුනට ගමන් කර ඇත.

චාමින්දගේ සාකච්ඡාව ඉදිරියට ගියේ, මාක්ස්වාදී යැයි පෙනී නොසිට, වාම-ජනතාවාදී ව්‍යාපාරයක් ලෙස තමන් ගොඩනගා ගන්නා ලෙස පෙසපට උපදෙස් දෙමිනි. සසපයට එරෙහි චාමින්දගේ තර්කවල මූලික කරුනු වූයේ, සසප මතවාදී මාක්ස්වාදයක්—සමහර අවස්ථාවල ඔහු එය “අන්තවාදී මාක්ස්වාදය” ලෙස ද හැඳින් වුයේ ය —අනුගමනය කරන බවත්, එය අද “වෛෂයික යථාර්ථය” සමඟ නොගැලපෙන අතර යම් ආකාරයක “මනෝරාජිකවාදයක්” නියෝජනය කරන බවත් ය.

චාමින්දගේ සාකච්ඡාව අවසාන වූයේ, “දක්ෂිනාංශයෙන්” ආන්ඩුව බේරා ගත යුතු ය යන නිගමනයක් ඉදිරිපත් කිරීමෙනි. ඊට හේතුව කුමක්දැයි පැහැදිලි කරනවා වෙනුවට ඔහුගේ සාකච්ඡාව ඉලක්ක කලේ, සාධාර්මික මාක්ස්වාදය මත පදනම් වූ අරගලය වත්මනේ අවලංගු වී ඇති බවට තර්ක ගෙතීමට ය. ආන්ඩුවේ මෙන් ම එහි ආරක්ෂකයන් වී සිටින පශ්චාත් මාක්ස්වාදී කල්ලියේ සැබෑ භීතිය යටින් ඇත්තේ, ජවිපෙ/ජාජබ පාලනය ක්‍රියාවට දමන සමාජ ප්‍රතිවිප්ලවවාදී වැඩපිලිවෙලට එරෙහි ව කම්කරුවන්, ග්‍රාමීය දුගීන් සහ තරුනයන් අතර වැඩෙන විරුධත්වයෙන් ආන්ඩුව බේරා ගැනීමේ ප්‍රතිගාමී උවමනාවයි. එය පැහැදිලි කිරීමට පෙර, චාමින්ද විසින් පුනරුච්චාරනය කෙරෙන, මාක්ස්වාදය අවලංගු වී ඇතැයි 1890 ගනන්වල ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ එඩ්වර්ඩ් බර්න්ස්ටයින් කුතර්ක ඉදීරිපත් කල තැන පටන් විටින් විට ඉදිරපත් කෙරුනු හම්පඩ ගැසුනු තර්ක ගැන කතා කරමු.

මාක්ස්වාදයට එරෙහි පශ්චාත්-මාක්ස්වාදී කුතර්ක

චාමින්ද මෙසේ පැවසී ය: “මාක්ස්වාදීන් සාමාන්‍යයෙන් තමන් භෞතිකවාදීන් ලෙස ඉදිරිපත් කරන්නේ, මාක්ස්වාදය ඉතිහාසය වටහා ගන්නේ ඓතිහාසික භෞතිකවාදය අනුව නිසා ය ... මාක්ස්වාදීන් අතර කාලාන්තරයක් තිස්සේ තමන් විද්‍යාත්මකයි කීමේ පුරුද්දක් තිබුනා…” ඉතිහාසය පිලිබඳ විද්‍යාව නියෝජනය කරන නිසා මාක්ස්වාදීන් තමන් විද්‍යාත්මක යැයි පැවසීමේ ප්‍රවනතාවක් තිබෙන බව කී චාමින්ද, එමෙන්ම සමාජවාදය පිලිබඳ වෙනත් පුද්ගලයන්ගේ අදහස් මනෝරාජික යයි මොවුන් කියන බව ද සඳහන් කලේ ය.

නමුත් අද “ගතානුගතික මාක්ස්වාදය” නියෝජනය කරන අය නව ආකාරයක මනෝරාජිකවාදයක් නිර්මානය කර ඇති බව තමන්ට ඔප්පු කල හැකි යැයි ආචාර්යවරයා පුරසාරම් දෙඩවී ය.

ඒ කෙසේ ද යන්න ඔහු විස්තර කලේ මෙසේ ය: මාක්ස් සහ එංගල්ස් ධනවාදය එහි මුල් අවධියේ දී විශ්ලේෂනය කර, “එවකට පැවති කම්කරු පන්තිය සඳහා දේශපාලන දැක්මක්” ඉදිරිපත් කලහ. එතැන් සිට ලෝකය තුල බොහෝ පරිවර්තනයන් සිදු වී ඇත. විසිවන සියවස සුබසාධක රාජ්‍යයේ සියවස ලෙස හඳුන්වන බව ඔහු තවදුරටත් කියයි. සමාජ-ලිබරල් ප්‍රවනතා මතු වූ අතර, රුසියාව සහ සෝවියට් සංගමය සමඟ වාම ව්‍යාපාර වර්ධනය විය. දෙවන ලෝක යුද්ධයෙන් පසු සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ ලිබරල්වාදය අතර සම්මුතියක් වර්ධනය වූ අතර, කේන්සියානු ආර්ථික ප්‍රතිපත්ති ඉදිරිපත් කෙරිනි. 1970 ගනන්වල අගභාගයේ සිට නවලිබරල්වාදය යටතේ තවත් පරිවර්තනයන් ගනනාවක් සිදු විය. එහෙත් සසප අද දින එම ඓතිහාසික තත්වයන් සැලකිල්ලට නොගෙන, ඒ වෙනුවට මාක්ස්ගේ යුගයේ තත්වය වර්තමානයට අදාල කරයි.”

මේ අනුව, චාමින්ද මාක්ස් සහ එංගල්ස්ගේ විශ්ලේෂනයන් දහ නව වන සියවසේ මුල ධනවාදයට සීමා වූ මතුපිට සංසිද්ධි—කර්මාන්තශාලා, මුඩුක්කු, ලමා ශ්‍රමය සහ පන්ති අරගලය—පිලිබඳ විස්තරයන් ලෙස පමනක් සලකයි. ඔවුන් ලබා ගත් නිගමන එම නිශ්චිත කාල පරිච්ඡේදයට පමනක් අදාල වූවාක් ලෙස ඔහු සලකයි. මෙම දෘෂ්ටිය අනුව ධනවාදය එතැන් සිට “වෙනස් වී” ඇති අතර, එබැවින් මාක්ස් යල්පැන ගොස් ඇත.

කාල් මාක්ස් සහ ෆ්‍රෙඩ්‍රික් එංගල්ස්

මාක්ස් සහ එංගල්ස් තමන් ජීවත් වූ යුගයේ ධනවාදය විශ්ලේෂනය කිරීමට සීමා වූ බවට කථිකාචාර්යවරයා කරන ප්‍රකාශය අති මූලික විකෘති කිරීමකි. ඔවුහු කිසි විටෙක ධනවාදය මිනිස් සමාජය තුල ස්වභාවික සහ සදාකාලික ස්වරූපයක් අත් කර ගෙන ඇති දෙයක් ලෙස නොගත්හ. ඔවුහු මෙසේ ප්‍රශ්න කලහ: මෙම නිෂ්පාදන ක්‍රමය බිහි වූයේ කෙසේ ද? එය නිර්මානය කෙරුනු ඓතිහාසික කොන්දේසි මොනවා ද? එහි චලනයේ නියාමයන් මොනවා ද? එහි නිරුද්ධියට තුඩු දෙන පරස්පර විරෝධතා මොනවා ද?

මෙම විශ්ලේෂනය පදනම් වූයේ මාක්ස් විසින් වර්ධනය කරන ලද ඓතිහාසික භෞතිකවාදී සංකල්පය මත වන අතර, එය විදාරනය කෙරුනේ දයලෙක්තික-භෞතිකවාදී විධික්‍රමය සමාජයේ ඓතිහාසික වර්ධනය වටහා ගැනිමට යොදා ගැනීමෙනි.

සංක්ෂිප්ත ව ගත හොත් මාක්ස් ඓතිහාසික භෞතිකවාදී සංකල්පය පැහැදිලි කලේ මෙසේ ය: ද්‍රව්‍යමය ජීවිතය නිෂ්පාදන විධිය විසින් සමාජ, දේශපාලනික සහ බුද්ධිමය ජීවිතයේ සාමාන්‍ය ක්‍රියාවලිය නිර්නය කෙරෙයි. සමාජ පැවැත්ම තීරනය කෙරෙන්නේ විඥානය විසින් නොව, විඥානය නිර්නය කෙරෙන්නේ සමාජ පැවැත්ම විසිනි. සංවර්ධයේ යම් නිශ්චිත අවධියක දී ද්‍රව්‍යමය නිෂ්පාදන බලවේග පවතින නිෂ්පාදන සම්බන්ධතාවන් සමඟ ගැටුමකට පැමිනෙන අතර, එවිට සමාජ විප්ලවයේ යුගයක් ආරම්භ වේ.

එංගල්ස් සිය “සමාජවාදය: මනෝරාජ්‍යයෙන් විද්‍යාවට” කෘතියේ දී මෙසේ පැවසී ය:

“ඉතිහාසය පිලිබඳ ද්‍රව්‍යවාදී සංකල්පය හා අතිරික්ත වටිනාකම මගින් ධනපති ක්‍රමයේ නිෂ්පාදනයේ රහස හෙලිදරවු කිරීම යන සොයාගැනීම් දෙක අප හමුවේ තැබුවේ මාක්ස් ය. මෙම සොයාගැනීම් සමඟ ම සමාජවාදය විද්‍යාවක් බවට පත් විය...” [සමාජවාදය: මනෝරාජ්‍යයෙන් විද්‍යාවට, එංගල්ස්, සිංහල පරිවර්තනය ප්‍රගති ප්‍රකාශකයෝ, පි. 61]

ධනවාදයේ සීමාවෙන් ඔබ්බට දැකීමට නොහැකි ධනවාදී ආර්ථික විද්‍යාඥයෝ සහ දේශපාලන විද්‍යාඥයෝ—ඔවුන් අතර සමහර පශ්චාත්-මාක්ස්වාදීයෝ ද සිටිති— තමන්ගේ ම කාලයට සීමා වී සිටිති. ඔවුහු වෙලඳ භාන්ඩය, මුදල්, වැටුප් ශ්‍රමය සහ ලාභය වැනි ධනවාදයේ ප්‍රවර්ග ඓතිහාසික ව නිර්මානය වූ දේවල් ලෙස නොව, ස්වභාවික දේවල් ලෙස වරදවා වටහා ගනිති. වර්තමානය තුල සිර වී සිටින ඔවුහු, දැන් පවතින දෙය බිහි වූ ආකාරයත් අවසානයේ එය වෙනස් වන ආකාරයත් ගැන සිතා ගැනීමට වත් අසමත් වෙති.

මාක්ස් ධනේශ්වර දේශපාලන ආර්ථිකයේ සහ ධනේශ්වර සමාජ විශ්ලේෂනයේ දී කාලයට සීමා බන්ධනය වූ චින්තනයෙන් මිදුනේ ය. ඔහු තමන් ජීවත් වූ තත්වය එහි ඓතිහාසික සන්දර්භය තුල ස්ථානගත කලේ ය. කැපිටාල් කෘතිය විද්‍යාත්මක කෘතියක් වුයේ ඓතිහාසික භෞතිකවාදය මත කෙරුනු විශ්ලේෂනයක් වූ හෙයිනි. ධනවාදයේ චලන නියාමයන් පිලිබඳ එහි විශ්ලේෂනය යල්පැන ගිය දහනව වන සියවසේ පිටපතක් නොවේ; ධනේශ්වර නිෂ්පාදන ක්‍රමයේ මූලික නියාමයන් සහ පරස්පර විරෝධතා පිලිබඳ විද්‍යාත්මක විශ්ලේෂනයක් ලෙස එය අදටත් වලංගු ය.

මෙම පශ්චාත්-මාක්ස්වාදියා මාක්ස්වාදයේ මෙම මූලික පදනම් පිලිබඳව සිය අඥානකම ප්‍රදර්ශනය කරයි. කෙසේ වෙතත්, ධනේශ්වර දෘෂ්ටිවාදයේ බලපෑමට එරෙහි ව කම්කරු පන්තිය අරගලයට මෙහෙය වීම සඳහා මාක්ස්වාදී ව්‍යාපාරය වෛෂයික තත්වයේ සිදුවන මුලික වෙනස්කම් අඛන්ඩ ව විශ්ලේෂනය කර ඇති බව ද ඔහුට නොපෙනේ. මාක්ස්වාදී විශ්ලේෂනය යනු අධ්‍යයන අභ්‍යාසයක් නොව “ක්‍රියාවට මඟ පෙන්වීමක්” විය, අදත් එය එ සේ ම ය.

ලෙනින් (වමේ) සහ ට්‍රොට්ස්කි

1905 දී ඉදිරිපත් කරන ලද ලියොන් ට්‍රොට්ස්කිගේ “නොනවතින විප්ලවය පිලිබඳ න්‍යාය” සහ 1916 දී පල කරන ලද ලෙනින්ගේ “අධිරාජ්‍යවාදය, ධනවාදයේ උච්ච ත ම අවධියයි” යන කෘතිය මෙම විප්ලවීය අරගලයේ ප්‍රධාන සන්ධිස්ථාන වේ.

දෙවන ලෝක යුද්ධයෙන් පසු කාල පරිච්ඡේදයේ සිදු වූ වෙනස්කම් සැලකිල්ලට ගනිමින් සිය විශ්ලේෂනය වර්ධනය කල හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් 1980 ගනන් අග නිෂ්පාදනයේ ගෝලියකරනය පිලිබඳව වර්ධනය කරන ලද ඉදිරි දර්ශනය මෙම අරගලයේ තවත් සන්ධිස්ථානයකි. එම ඉදිරි දර්ශනය ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර කමිටුව 1988 නිකුත් කල “ලෝක ධනවාදයේ අර්බුදය සහ හතර වන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ” යන ප්‍රකාශය මෙසේ සඳහන් කලේ ය:

“ධනවාදී වර්ධනයේ නව අංග ලක්ෂන අනුව පන්ති අරගලයේ රූපය පවා ජාත්‍යන්තර ස්වභාවයක් ගත යුතු වේ. කම්කරු පන්තියේ අති මුලික අරගලයන් පවා ඒවායේ කටයුතු ජාත්‍යන්තර පරිමාවකින් සම්බන්ධීකරනය කිරීමේ අවශ්‍යතාවය මතු කරයි.”  

චාමින්ද තමන් “ක්‍රියාවලීන් ඓතිහාසික ව” විශ්ලේෂනය කරන බව වංචනික ලෙස ප්‍රකාශ කරයි. ඔහු කිසිවක් ඓතිහාසික ව විශ්ලේෂනය කර නැත. ඒ වෙනුවට ඔහු නියෝජනය කරන්නේ 1960 ගනන්වල අගභාගයේ දේශපාලන වේදිකාවට පැමිනි පශ්චාත්-මාක්ස්වාදී ප්‍රවනතාවේ ප්‍රතිගාමී චින්තනයයි. චාමින්ද සහ ඔහුගේ කල්ලිය වැලඳ ගෙන ඇති සමස්ත පශ්චාත්-මාක්ස්වාදී ව්‍යාපෘතිය සමන්විත වන්නේ ධනවාදය තුල ඇති වූ තාවකාලික ස්ථාවර වීම්-ධනවාදය ම පසුව සිය අභ්‍යන්තර පරස්පර විරෝධතා හරහා විනාශ කල ස්ථාවරවීම්-මත පදනම් ව මාක්ස්වාදය යල්පැන ගිය බව ප්‍රකාශ කිරීමෙනි.

ලංකාව තුල මෙම පශ්චාත්-නූතනවාදීන්ගේ හා පශ්චාත්-මාක්ස්වාදීන්ගේ චින්තනය තව දුරටත් හැඩගැස්වූයේ 1964 ලසසප පාවා දීමේ ප්‍රතිවිපාක, 1980 රාජ්‍ය සේවකයන්ගේ මහා වැඩ වර්ජනය පරාජය වීම සහ 1980 ගනන්වල කොලඹ ආන්ඩු විසින් දියත් කෙරුනු වර්ගවාදී යුද්ධය මගිනි.

“ප්‍රායෝගිකත්වය”

චාමින්ද මෙසේ අපට උපදෙස් දෙයි: “ප්‍රායෝගික දේශපාලනයේ යෙදෙන විට, එක්තරා ආකාරයකින් අපට හෙජමොනික උපාය මාර්ගයක් අවශ්‍යයි,” එනම් “ඇත්ත වශයෙන් ම මිනිසුන් සංවිධානය කරන්නේ කෙසේ ද...” යන්නයි. දහනව වන සියවසේ පැවති තත්වය සඳහා එලෙස න්‍යායන් වර්ධනය කල හැකි වූ බව ඔහු තර්ක කරයි.

ඔහු මෙසේ කියා ගෙන යයි: “19 වන සියවසේ දී නිර්ධන පන්තිය ලෙස හඳුනාගත හැකි සමාජ ප්‍රවනතාවක් තිබුනා. අදත් කම්කරුවන් සිටිනවා. නමුත් ප්‍රශ්නය වන්නේ ‘කම්කරුවන් දේශපාලන බලවේගයක් ලෙස සංවිධානය කරන්නේ කෙසේ ද...’ යන්නයි. සෑම මාක්ස්වාදියකු ම, ලෙනින් පවා, තමන් කම්කරුවන්ට පමනක් සීමා කලේ නැහැ. ඔවුන් ගොවීන්, සොල්දාදුවන් සහ විවිධ කන්ඩායම් සංවිධානය කලා, ...ලෙනින්ට පවා පොතේ තිබුනු එකට එක නොවන ජනතාව සංවිධානය කරන වෙනත් තලයක් තිබුනා. ඒ නිසා තමයි ඒක [විප්ලවය] සාර්ථක වුනෙත්. ඔවුන් එසේ කලේ මෙම සංයුක්ත තත්ත්වය පිලිබඳ අවබෝධයක් ඔවුන්ට තිබූ නිසා…”

මාක්ස්ගේ කාලයේ තිබූ තත්වය වෙනස් වී ඇති බැවින්, සමාජවාදී විප්ලවයේ දී කම්කරු පන්තිය ඉටු කරන කේන්ද්‍රීය භූමිකාව අතහැර දමා “ප්‍රායෝගික වීම” සඳහා අලුත්, “සංයුක්ත තත්වයට” අනුගත විය යුතු බවට චමින්ද කරන ප්‍රකාශය සමකාලීන ධනේශ්වර සමාජයේ දෘශ්‍යමානයට අනුගත වන ලෙස ඉල්ලීමක් හැර අන් කිසිවක් නොවේ.

අපෝහක භෞතිකවාදීන් “සංයුක්ත තත්ත්වය” යන්නෙන් අදහස් කරන්නේ, මෙම ව්‍යාජ-වාම අනුභූතිවාදීන් කියන දෙයට සම්පූර්නයෙන් ම වෙනස් දෙයකි. සංයුක්තය යනු “බහුවිධත්වයේ එකමුතුවයි.” විශ්ලේෂනය ආරම්භ වන්නේ එතැනිනි. ජාත්‍යන්තර කමිටුව සම්බන්ධයෙන් ගත්විට “සංයුක්ත තත්ත්වය” යන්න ධනවාදයේ ඓතිහාසික වර්ධනයෙන්, ජාත්‍යන්තර පන්ති අරගලයෙන් සහ ලෝක සමාජවාදී විප්ලවයේ මූලෝපායික අරමුනෙන් වෙන් කල නොහැක.

ලෙනින් සිය “දර්ශනවාදී සටහන් පොත් (Philosophical Notebooks)” හි මෙසේ සටහන් කලේ එබැවිනි:

“...සෑම සංයුක්ත දෙයක් ම, සෑම සංයුක්ත යම් දෙයක් ම, අනෙක් සියල්ල සමඟ විවිධාකාර වූ සහ බොහෝ විට පරස්පර විරෝධී සම්බන්ධතාවල පවතී; එහෙයින් එය එය ම වන අතර වෙනත් යමක් ද වේ.” (Vol. 38, පි. 138)

හේගල් ගේ දර්ශනවාදයේ තර්කාන්විත සාරය උකහා ගැනීමට ලෙනින් කල මෙම විභාග කිරීම් අධිරාජ්‍යවාදී යුගයේ ස්වභාවය හා ඊට සම්බන්ධිත ව සමාජවාදී ජාත්‍යන්තරය තුල මතු වූ, පලමු වන ලෝක යුද්ධයට සහයෝගය දීමේ ප්‍රවනතාවල මූලයන් පෙන්වා දෙමින් තම අරගලය මුවහත් කිරීමට යොදා ගත්තේ ය.

ඇත්ත වශයෙන් ම වෙනස් වී ඇත්තේ කම්කරු පන්තියේ පැවැත්ම නොව, එහි දෘශ්‍යමාන ස්වරූපයයි. නිර්ධන පන්තිය යන්නේ නිර්වචනාත්මක ලක්ෂනය කිසි විටෙකත් නිශ්චිත රැකියාවන්, කාර්මික වෘත්තීන් හෝ කර්මාන්තශාලාවන් අනුව තීන්දු කෙරුනේ නැත; එය නිෂ්පාදන මාධ්‍යයන්ගේ අයිතියක් නොමැති සමාජ තත්වයක් වන අතර, ජීවත් වීම සඳහා වැටුපක් ලබා ගැනීම සඳහා තම ශ්‍රම ශක්තිය විකිනීමට බල කෙරෙන තත්වයකි. පසුගිය අඩ සියවසක ධනේශ්වර වර්ධනය තුල එම සම්බන්ධතාවය දුර්වල කර නැත—එය දැවැන්ත ලෙස පුලුල් කර තිබේ.

අද ලෝක නිර්ධන පන්තිය මාක්ස් සහ ලෙනින් ජීවත් වූ කාලයට වඩා අති විශාල ය. චීනය, ඉන්දියාව ඇතුලු කලින් යටත් විජිතයන් වූ රටවල මිලියන සිය ගනනක් ජනයා වැටුප් ශ්‍රමිකයන් බවට පරිවර්තනය වී ඇත. වත්මනේ කම්කරු පන්තිය වෛෂයික ව ගත්කල පෙර නොවූ විරූ ලෙස ජාත්‍යන්තර ව ඒකාග්‍ර වූ බලවේගයකි.

ලෙනින්ගේ අරගලය ඔහුගේ පොත්වල තිබූ දෙයට හරියට ම අනුරූප නොවූ බවට චාමින්ද කරන නරුම ප්‍රකාශයෙන් කියැවෙන්නේ ලෙනින් එක් දෙයක් දේශනා කරන අතර වෙනත් දෙයක් ක්‍රියාවට නැංවූ පුද්ගලයෙක් බවයි. මෙය ලෙනින්ට කර ඇති අපහාසයකි. ඔක්තෝබර් විප්ලවය සාර්ථක වූයේ, නිර්ධන පන්ති නායකත්වය යටතේ ගොවීන් සහ සොල්දාදුවන් තම පැත්තට දිනා ගත් නිර්ධන පන්ති විප්ලවයක් වූ නිසා ය. පක්ෂය ඔවුන්ගේ ගැටලු ආමන්ත්‍රනය කල වැඩපිලිවෙලක් මත පදනම් විය.

වෛෂයික යථාර්ථය පිලිබඳ විද්‍යාත්මක අවබෝධයක් මත බොල්ෂෙවික් පක්ෂයේ වැඩපිලිවෙල සහ භාවිතයත්, කම්කරු පන්තිය තුල දේශපාලන භාවිතයත් ඒකාග්‍ර කිරීමට ලෙනින් සෑම විට ම සටන් කලේ ය. ඔහුගේ කෘති කිහිපයක් පමනක් සඳහන් කලහොත්, 1894 දී ලියන ලද “‘ජනතාවගේ මිතුරෝ’ කවුරුහු ද ඔවුහු සමාජ ප්‍රජාතන්ත්‍රවාදින්ට එරහිව සටන් කරන්නේ කෙසේ ද”, 1902 දී ලියන ලද කල යුත්තේ කුමක් ද සහ ඔක්තෝබර් විප්ලවයට ආසන්න ව, එය සූදානම් කිරීම සඳහා 1917 දී ප්‍රකාශ කෙරුනු “රජය සහ විප්ලවය” යන කෘති ඔහුගේ න්‍යාය හා භාවිතයේ ඒකත්වයේ ප්‍රතිභාව පෙන්නුම් කරයි.

මතු සම්බන්ධයි.

Loading