පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) මෑතක දී “ලංකාවේ ජාතික ප්රශ්නය: ව්යසනයක් නොව විසඳුමක් කරා” (ජාතික ප්රශ්නය) නමැති කෘතියක් ප්රකාශයට පත් කලේ ය. ලංකාවේ ජාතික ප්රශ්නය විසඳීම සඳහා යෝජනා ඉදිරිපත් කරන බව පෙසප ප්රකාශ කල ද, මෙම ලියවිල්ලෙන් ඉදිරිපත් කරන්නේ සිංහල, දෙමල, මුස්ලිම් සහ “මලෛයහ” (වතු කම්කරුවන්) යන ප්රජාවන් මත පදනම් වූ පරිපාලන එකක පිහිටුවීම මගින් අනන්යතා දේශපාලනය ප්රවර්ධනය කිරීමේත්, එමගින් කම්කරු පන්තිය තුල බෙදීම් ගැඹුරු කිරීමේත් සැලැස්මකි. එය විසඳුමක් නොව ව්යසනයකට මඟ පාදන වැඩපිලිවෙලකි.
මෙම ලියවිල්ල මාර්තු මාසයේ පැවති පෙසප සම්මේලනයේ දී සම්මත කර ගන්නා ලද්දකි. එහි දෙමල පරිවර්තනය දියත් කිරීමේ රැස්වීමක් ඔක්තෝබර් 18 දින යාපනයේ දී පැවැත්වුනි.
ජාතික ප්රශ්නය පිලිබඳ පෙසප කෘතිය තුල, ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) හිටපු නායක රෝහන විජේවීර විසින් රචිත “දෙමල ඊලාම් අරගලයට විසඳුම කුමක්ද?” නමැති කෘතියේ කරුනු බොහෝ දුරට සංක්ෂිප්ත ව ඉදිරිපත් වී ඇත. 1985 දී ජවිපෙ මධ්යම කාරක සභාවට ඉදිරිපත් කරන ලද, සිංහල ස්වෝත්තමවාදයෙන් විසකැවුනු කතාවක් විජේවීරගේ එම කෘතියට ඇතුලත් වේ. එය 1988–1990 කාලයේ ජවිපෙ විසින් දියත් කරන ලද ඉන්දියානු විරෝධී සහ දෙමල විරෝධී ෆැසිස්ට් ව්යාපාරයට පූර්විකාවක් විය.
ශ්රී ලංකාව තුල ගැඹුරු වෙමින් පවතින ආර්ථික, දේශපාලනික හා සමාජ අර්බුදය මධ්යයේ පෙසප “ජාතික ප්රශ්නය පිලිබඳ නව වැඩපිලිවෙල” එම පක්ෂය තීව්ර කර ඇති දේශපාලන උද්ඝෝෂනයේ කොටසකි. බලයට පත් වී වසර දෙකක් සම්පූර්න කරමින් සිටින ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) නායකත්වය දෙන ජාතික ජන බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුව ජාත්යන්තර මූල්ය අරමුදලේ කප්පාදු පිලිවෙත් තීව්ර කිරීමට එරෙහි ව කම්කරුවන්ගෙන්, ග්රාමීය ජනතාවගෙන් සහ තරුනයන්ගෙන් වැඩෙන විරෝධයකට එය මුහුන දී සිටී. අධිරාජ්යවාදී යුද්ධවල බලපෑමෙන් අඛන්ඩ ව ගැඹුරු වන ගෝලීය ආර්ථික අර්බුදය තුල මෙම ප්රහාර තව දුරටත් උග්ර කෙරෙමින් පවතී.
පෙසප මාන බලන්නේ, මෙම වැඩෙන මහජන විරෝධය පීලි පන්නවා ආන්ඩුවට හා ධනපති ක්රමයට එරෙහි ව කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලු ගැන්වීම අවහිර කිරීමටයි. ආන්ඩුවට බලපෑම් කිරීමෙන් ප්රතිසංස්කරන සහ සහන දිනාගත හැකි බව පවසමින් එය විරෝධතා සහ උද්ඝෝෂන මාලාවක් කැඳවමින් සිටී.
2024 දී ජවිපෙ/ජාජබ ආන්ඩුව පිහිටුවීම ශ්රී ලංකාවේ දේශපාලන තත්ත්වය තුල “ගුනාත්මක වෙනසක්” ලෙස හඳුන්වන පෙසප කියා සිටින්නේ, “දක්ෂිනාංශික පරාජිත බලවේගවලින්” ආන්ඩුව ආරක්ෂා කිරීමට කම්කරුවන් විවිධ සහන දෙන ලෙස ආන්ඩුවට බලපෑම් කිරීමේ ව්යාපාරයක් තුල ගොනු විය යුතු බවයි.
සිය ජාතික ප්රශ්නය පිලිබඳ කෘතියේ විශ්ලේෂනය, මාක්ස්-ලෙනින්වාදී ප්රවේශයක් මත පදනම් වන බව පෙසප කියා සිටී. මෙය අසත්යයකි. එම පක්ෂයට මාක්ස්වාදය හෝ ලෙනින්වාදය සමඟ කිසි ලෙසකින් හෝ පොදු වන දේශපාලනයක් නැත. ශ්රී ලංකාවේ, ඉන්දියාවේ සහ තවත් රටවල් කිහිපයක මාඕවාදී කොටස් ද ඇතුලත් ස්ටැලින්වාදී කන්ඩායම් සමඟ එය සමීප සබඳතා පවත්වාගෙන යයි. මෙම කන්ඩායම් තම ධනපති ගැති ප්රතිපත්ති වසන් කිරීම සඳහා “මාක්ස්වාදී-ලෙනින්වාදී” යන ලේබලයක් තම නමට ඈඳා ගෙන ඇත.
ස්ටැලින්වාදය 1920 ගනන්වල මැද භාගයේ සිට සෝවියට් සංගමය තුල මතු වූයේ, ලෝක විප්ලවය පිලිබඳ මාක්ස්වාදී ඉදිරිදර්ශනය ප්රතික්ෂේප කරමින්, සෝවියට් සංගමය තුල “තනි රටේ සමාජවාදය” ගොඩනැගීම නමැති ප්රතිගාමී න්යාය ප්රවර්ධනය කරමින් සහ යටත්විජිත සහ අර්ධ-යටත්විජිත රටවල ධනපති පන්තිය සමඟ පන්ති සහයෝගීතාව යෝජනා කල අවධි දෙකේ විප්ලවය පිලිබඳ න්යාය ඉදිරිපත් කරමිනි.
ස්ටැලින්වාදය තුල ප්රකාශයට පත්වූයේ, අනෙකුත් රටවල විප්ලව පරාජය වීම නිසා හුදෙකලා වූ සෝවියට් සංගමය තුල නැඟී එමින් පැවති වරප්රසාදිත නිලධරයේ අවශ්යතා විය. 1917 රුසියානු විප්ලවයේ ලෙනින් සමඟ සම නායකයා වූ ලියොන් ට්රොට්ස්කි, ස්ටැලින්වාදී නිලධරයේ ප්රති මාක්ස්වාදී තනි රටේ සමාජවාදය පිලිබඳ න්යායට එරෙහි ව මාක්ස්වාදය සහ ලෙනින්වාදය ආරක්ෂා කිරීමේ අරගලයට නායකත්වය දුන්නේ ය. මෙම අරගලය වත්මනේ මූර්තිමත් ව ඇත්තේ හතර වන ජාත්යන්තරයේ ජාත්යන්තර කමිටුව තුලයි.
පෙසප කෘතිය තුල, 1979 දී සෝවියට් ස්ටැලින්වාදී ශාස්ත්රාලිකයන් විසින් රචනා කර,1982 දී ඉංග්රීසි භාෂාවෙන් ප්රකාශයට පත් කරන ලද Fundamentals of Marxist-Leninist Philosophy (මාක්ස්-ලෙනින්වාදී දර්ශනයේ මූලිකාංග) නමැති කෘතියේ දක්නට ලැබෙන ප්රකාශ අඩංගු වේ. මෙම ශාස්ත්රාලිකයෝ “මාක්ස්වාදී-ලෙනින්වාදී දර්ශනය” යන මුවාවෙන් ස්ටැලින්වාදී දෘෂ්ටිවාදය ප්රචාරය කල අතර, එවකට සෝවියට් ජනාධිපති වූ ලියොනිඩ් බ්රෙෂ්නෙව් උත්කර්ෂයට නැංවූහ. ස්ටැලින් නායකත්වය දුන් පාලනය සමයේ ඇරඹුනු මෙම ක්රියාවලීන් අවසානයේ දී 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැර ධනවාදය යලි ස්ථාපිත කිරීම වේගවත් කිරීමට දායක විය.
ජාතික ප්රශ්නය සහ ශ්රී ලංකාවේ ජාතික ප්රශ්නය පිලිබඳ පෙසප ස්ථාවරය
තමන් කලින් ඉදිරිපත් කල වැඩපිලිවෙලකින් වර්තමානයේ “ලංකාවේ ජාතික ප්රශ්නය විසඳීම සඳහා...මේ මොහොතේ ගතහැකි සංයුක්ත වැඩපිලිවෙලක් ඉදිරිපත් කර නැති” නිසා “ධනවාදය ප්රමුඛ කොටගත් අධිරාජ්යවාදී නවලිබරල් වැඩපිලිවෙලට එරෙහි ව විවිධ ජාතික ජන කොටස් එක්සත් කරන” එවැනි වැඩපිලිවෙලක් ඉදිරිපත් කිරීම තම අභියෝගය බව පෙසප කෘතිය කියා සිටී (පි. 12). එය, “සිංහල, දෙමල, මුස්ලිම් සහ මලෛයහ ජනතාවන්ගේ සාමුහික අරගලයකින් ජයග්රහනය කිරීම අභියෝගයක්” බව ද අනෙකුත් සියලු සංවිධානවල විසඳුම් යෝජනා කේන්ද්රගත වී ඇත්තේ පලාත් සභා ස්ථාපිත කල ආන්ඩුක්රම ව්යවස්ථාවේ 13 වැනි සංශෝධනය වටා බව ද කෘතියේ සඳහන් කර ඇත (පි. 14).
ධනවාදය “උත්තරාරෝපනය” කරන ලද බැවින් ලංකාවේ “ජාතික ව්යාපාරය දුර්වල” වූ බවට තර්ක කරන කෘතිය, ඇඟවුම් කරන්නේ ලංකාවේ ජාතික ප්රශ්නය නොවිසඳී පැවතීමට එය හේතුවක් වූ බවයි. 1948 සිට සියලු දේශපාලන පක්ෂ ජාතික ප්රශ්නය සමඟ “පන්දු කෙලියේ” යෙදුනු නමුත් “ලංකාව නමැති ජාතික ජන කොටස් සමගි කිරීම වෙනුවට ධනේශ්වර පක්ෂවල දේශපාලන ක්රීඩාවේ ප්රතිඵලය වුයේ එකිනෙකා අතර සැකය හා අවිශ්වාසය වර්ධනය වීමයි”(පි. 43).
මෙම විස්තරය සාරාංශ කරමින් පෙසප නිගමනය කරන්නේ, “ලංකාවේ ජාතික ගැටලුව යනු ... පුලුල් සමාජ විද්යාත්මක අරුතින් ලාංකේය ජාතියක් නිර්මානය නොවීමේ ගැටලුවයි” යනුවෙනි (පි. 50).
පෙසපට අනුව මෙම කාර්යය ඉටු කල හැකි ව තිබුනේ කවුරුන් විසින් ද? ධනපති පන්තිය විසින් නායකත්වය දෙන ජාතික ව්යාපාරයක් මගින් ජාතික ප්රශ්නය විසඳිය යුතු ව තිබූ නමුත්, “ලංකාවේ ධනවාදය උත්තරාරෝපනය කිරීම” නිසා එම කාර්යය ඉටු කිරීමට “ලංකාවේ ජාතික ව්යාපාරය සමත් නොවීය” (පි.43).
මෙම ඊනියා විශ්ලේෂනය මගින් ශ්රී ලංකාවේ ජාතික ප්රශ්නයේ ඓතිහාසික විකාශය, සුලු ධනේශ්වර කන්ඩායමේ දේශපාලන දිශානතියට ගැලපෙන පරිදි කපා කොටා මුලුමනින් ම විකෘත කෙරී ඇති අතර ලංකාවේ පාලක ප්රභූවේ ධනපති පන්ති ප්රතිපත්තිය වසන් කර දැමෙයි.
පෙසප ක්ෂමාලාපකයන් කියා සිටින පරිදි ලංකාවේ ජාතික ප්රශ්නය පවතින්නේ, ධනපති පන්තියේ “ජාතික ව්යාපාරය” දුර්වල ව පැවතීමේ ප්රතිඵලයක් නිසා නොවේ. මෙරට නැඟී එමින් පැවති ධනේශ්වරය විසින් මෙහෙයවන ලද “ජාතික ව්යාපාරයක්” පැවතියේ නැත. බ්රිතාන්ය යටත්විජිත පාලකයන්ගේ කකුල් ලෙවකමින් හිස එසවූ ධනේශ්වරය, තමන්ට කලින් ම කරලියට පිවිස සිටි කම්කරු පන්තියට ආරම්භයේ සිට ම බිය විය. එයට කිසි විටෙකත් බ්රිතාන්ය විජිත පාලනයට එරෙහි අරගලයකට නායකත්වය දීමේ ඉතිහාසයක් නැත.
ඒ වෙනුවට, 1900 ගනන්වල මුල් භාගයේ සිට ප්රමුඛත්වයට පැමිනි වර්ගවාදී දේශපාලනයට, නැඟී එමින් සිටි ධනේශ්වරය සහාය දැක්වීය. මුස්ලිම් විරෝධී ව්යාපාර, අනගාරික ධර්මපාල විසින් නායකත්වය දෙන ලද සිංහල-බෞද්ධ ආධිපත්යවාදී ව්යාපාරය සහ දෙමල විරෝධී වර්ගවාදය ඊට ඇතුලත් විය.
මෙම කෘතියේ දී හා වෙනත් කෘති වල දී, ඉන්දියාවේ “ශක්තිමත් ජාතික ව්යාපාරයක්' පැවතීම ගැන ප්රකාශ කරන පෙසප, එරට ජාතික ප්රශ්නය විසඳාගත් බවක් අඟවා සිටියි. එම ප්රකාශ, ඉන්දියාවේ ජාතික ව්යාපාරයට නායකත්වය දුන් ධනේශ්වරයේ හැටි ස්වාභාවය ආවරනය කිරීමකි.
1939 ජූලි 25 දින ඉන්දීය කම්කරුවන්ට ලියන ලද විවෘත ලිපිය තුලින් ලියොන් ට්රොට්ස්කි ඉන්දීය ජාතික ව්යාපාරයේ ස්වභාවය පැහැදිලි කලේ මෙසේ ය:
“විප්ලවවාදී අරගලයකට නායකත්වය දීමට ඉන්දීය ධනේශ්වරය අසමත් ය. එය බ්රිතාන්ය ධනවාදය සමඟ සමීප ව බැඳී සිටිමින්, එය මත රඳා පවතී. තම දේපල සම්බන්ධයෙන් ඔවුහු බියෙන් වෙව්ලති. ජනතාවට ඔවුහු බිය වෙති. කුමන මිලක් ගෙවීමට සිදු වුව ද බ්රිතාන්ය අධිරාජ්යවාදය සමඟ සම්මුතීන් සොයති. ඉහලින් ලබා දෙන ප්රතිසංස්කරන පිලිබඳ බලාපොරොත්තුවලින් ඉන්දීය ජනතාව සනසාලීමට ඔවුහු උත්සාහ කරති. මෙම ධනේශ්වරයේ නායකයා සහ අනාගතවක්තෘ ගාන්ධිය. ව්යාජ නායකයෙක් සහ ව්යාජ අනාගතවක්තෘවරයෙක්! ...”
ට්රොට්ස්කි තව දුරටත් මෙසේ පැවසී ය:
“නිර්භීත විප්ලවවාදී ගොවිජන වැඩපිලිවෙලක් ඉදිරිපත් කිරීමටත්, කෝටි සංඛ්යාත ගොවීන් අවදි කර ඔවුන් ඒකරාශී කර ගැනීමටත්, ස්වදේශීය පීඩකයන්ට සහ බ්රිතාන්ය අධිරාජ්යවාදයට එරෙහි අරගලයට ඔවුන් මෙහෙයවීමටත් හැකියාව ඇත්තේ නිර්ධන පන්තියට පමනි. ඉන්දීය විප්ලවයේ අවසාන ජයග්රහනය සහතික කල හැකි එක ම අවංක සහ විශ්වාසදායක සන්ධානය වන්නේ කම්කරුවන්ගේ සහ දුප්පත් ගොවීන්ගේ සන්ධානයයි.”
මෙම වැඩපිලිවෙල පදනම් වූයේ රුසියාවේ ඔක්තෝබර් විප්ලවයට සාර්ථක මඟපෙන්වීමක් සැපයූ නොනවතින විප්ලව න්යාය සහ වැඩපිලිවෙල මතය.
ඉන්දියාවේ ජාතික කොංග්රසය යටතේ ජනවාර්ගික හා ආගමික ලෙස බෙදීම් පැවති ජනතාව එක්සත් කල “ජාතික ව්යාපාරයක්” පැවති බව සත්යයකි. එහෙත් ට්රොට්ස්කිගේ විශ්ලේෂනය සනාථ කරමින්, කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ නැඟී එන මහා ව්යාපාරයට මුහුන දුන් ඉන්දීය ජාතික කොංග්රසයේ ධනේශ්වර නායකත්වය, මුස්ලිම් ලීගයේ නායකයන් සමඟ හවුල් වී, 1947 දී බ්රිතාන්ය පාලකයන් සමඟ කුමන්ත්රනයකට එලඹුනි. එහි ප්රතිඵලය වූයේ ඉන්දීය උපමහාද්වීපයේ ජීවමාන දේහය ආගමික රේඛා ඔස්සේ හින්දු ඉන්දියාව සහ මුස්ලිම් පාකිස්තානය ලෙස බෙදා දැමීමයි. එම බෙදීම ආසන්න වශයෙන් මිලියන සංඛ්යාත මරනවලට සහ සරනාගතයන් බිහිවීමට හේතු වූ අතර, රටවල් දෙක අතර මෙන් ම ඉන්දියාව සහ පාකිස්තානය තුල ද දිගුකාලීන ගැටුම්කාරී තත්වයන්ට කොන්දේසි නිර්මානය කලේ ය.
ශ්රී ලංකාවේ ජාතික ප්රශ්නයේ විකාශය, ඉන්දීය උපමහාද්වීපයේ ට්රොට්ස්කිවාදී ව්යාපාරයේ අරගලයේ වර්ධනයෙන් වෙන් කර තේරුම් ගත නොහැක. කම්කරු පන්ති අරගලයේ ඓතිහාසික මූලෝපායික පාඩම්වලට කිසිදු උරුමයක් නැති පෙසප, එම ඉතිහාසය අකා මකා දමා තම වැඩපිලිවෙලට අනුව ඉතිහාසයක් නිර්මානය කරගෙන ඇත. කම්කරුවන්ට තරුනයන්ට සැබෑ ඉතිහාසයේ පාඩම් වලට හැරීමෙන් තොර ව ධනවාදයට එරෙහි ව තම අරගලය වර්ධනය කල නොහැකි ය.
ට්රොට්ස්කිවාදය වෙතට හැරෙමින් සිටි ලංකා සමසමාජ පක්ෂය (ලසසප) යටත්විජිත පාලකයන් විසින් 1940 දී තහනම් කරන ලදී. ශ්රී ලංකාවේ සහ ඉන්දියාවේ ට්රොට්ස්කිවාදීහු 1942 දී හතරවන ජාත්යන්තරයේ ශාඛාව ලෙස බොල්ෂෙවික්-ලෙනින්වාදී පක්ෂය (බිඑල්පීඅයි) පිහිට වූහ. පක්ෂ තහනම යුද්ධය අවසන් වූ 1945 දක්වා පැවතුනි.
බ්රිතාන්ය යටත්විජිත පාලනයෙන් නිදහස ලබාගැනීමේ අරගලයට බිඑල්පීඅයි දේශපාලනික ව මැදිහත් විය. ඒ සඳහා, කම්කරු පන්තියේ ස්වාධීන ව්යාපාරයක් ගොඩනැඟීම සඳහා එය කැඳවුම් කලේ ය. සියලු ප්රජාවන්ගේ එකමුතුව සහ සමානාත්මතාව මත පදනම් ව මිලියන ගනන් ග්රාමීය දුප්පතුන් සහ පීඩිත ජාතික ජනයා ඒකරාශී කරගනිමින්, බ්රිතාන්ය අධිරාජ්යවාදය, ස්වදේශීය ධනේශ්වරය සහ ඉඩම් හිමි ප්රභූව පෙරලා දැමීම සඳහා එය සටන් කලේය. ලංකාවේ සමාජවාදී විප්ලවය ඉන්දීය විප්ලවය සමඟ බැඳී පවතින ආකාරය ද එය පැහැදිලි කලේ ය.
1947 දී ඉන්දියාව ආගමික පදනමක් මත හින්දු ඉන්දියාව සහ මුස්ලිම් පාකිස්තානය ලෙස රටවල් දෙකකට බෙදා ලබා දුන් “නිදහසේ” සැබෑ ස්වභාවය හෙලිදරව් කලේ ට්රොට්ස්කිවාදී පක්ෂය පමනි. 1948 දී ශ්රී ලංකාවට ලබා දුන් “නිදහසේ” ව්යාජ ස්වභාවය පැහැදිලි කරමින් එය ඊට විරුද්ධ විය. නිදහසින් පසු වසර කිහිපය තුල ශ්රී ලංකාවේ සිදුවීම් මගින් මෙම විශ්ලේෂනය සනාථ විය. දෙමල විරෝධී වෙනස්කම්වලට එරෙහි අරගලය කම්කරු පන්තියේ අරගල සමඟ සම්බන්ධ විය.
නිදහසින් පසු, 1948 දී එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුවේ මුල් ම ක්රියාවලින් එකක් වූයේ ඉන්දියානු සම්භවයක් සහිත දෙමල වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිය අහෝසි කිරීමයි. පෙසප තම කෘතිය තුල දෙමල වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිය අහෝසි කිරීම රටක් නැති තත්වයට ඔවුන් ඇද දැමීමේ ක්රියාවක් ලෙස හෑල්ලුවට ලක් කර තිබේ. නැත. එය කම්කරු පන්තිය බෙදා වෙන් කිරීම සඳහා එජාප ආන්ඩුව අනුගමනය කල වාර්ගික බෙදීමේ සැබෑ පන්ති ප්රතිපත්තිය ප්රකාශයට පත් කල මුල් ම ක්රියාවකි.
බිඑල්පීඅයි නායක කොල්වින් ආර්. ද සිල්වා පුරවැසි පනත් කෙටුම්පත තුල වාර්ගික මූලධර්මයක් යොදා ගැනීම හෙලා දකිමින් කල කතාවක දී මෙසේ පැවසී ය:
“මෙම ආන්ඩුව මෙම ප්රශ්නයට ප්රවේශ වන්නේ ධනපති පන්තියේ දෘෂ්ටිකෝනයෙන් නම්, අපගේ පක්ෂය වන හතරවන ජාත්යන්තරයේ අපි මෙම ප්රශ්නයට ප්රවේශ වන්නේ නිර්ධන පන්තියේ, එනම් කම්කරු පන්තියේ දෘෂ්ටිකෝනයෙනි ... මේ රටේ ශ්රමික ජනතාව අතර, ඔවුන්ගේ වාර්ගික සම්භවය පදනම් කරගෙන එක් මිනිසෙකු තවත් මිනිසෙකුගෙන් වෙන්කර සැලකීමට අපි සූදානම් නැත. අප කියා සිටින්නේ, කම්කරුවෙකු පලමුවෙන් ම සහ ප්රධාන වශයෙන් කම්කරුවෙකු බවයි.” (Colvin R de Silva, Selected Speeches and Writings, පි. 115.)
ධනපති පන්තියේ මෙම වර්ගවාදී මූලධර්මය වෙනත් ජන කන්ඩායම්වලට එරෙහි ව යොදා ගැනීම “එතරම් ම කෙටි සහ පහසු පියවරක් පමනක්” වන බවට ඔහු ආන්ඩුවේ පනතට පක්ෂපාති වූ දෙමල ධනපති පන්තියට අනතුරු ඇඟවූයේ ය. ඊලඟ දශක කිහිපය තුල ලංකාවේ සිදු වූ දේශපාලන වර්ධනයන්ගෙන් මෙම පුරෝකථන සනාථ කෙරී ඇත.
1953 අගෝස්තු හර්තාලයේ දී ධනපති පාලනයට එරෙහි අරගලය තුල කම්කරු පන්තියේ එකමුතුව ප්රදර්ශනය විය. ඊට ප්රතිචාර වශයෙන්, 1956 දී ශ්රීලනිපය විසින් “සිංහල පමනයි” ව්යාපාරය උසිගන්වමින් පාලක ප්රභූවේ වර්ගවාදී අවිය තව දුරටත් මුවහත් කලේ ය.
ට්රොට්ස්කිවාදී ලෙස පෙනීසිටි ලසසප, “සිංහල පමනයි” ප්රතිපත්තියට විරුද්ධ වූ අතර, සිංහල සහ දෙමල භාෂාවලට සමාන තත්වයක් ඉල්ලා සිටියේ ය. එය, සිංහල ස්වෝත්තමවාදී මැරයන්ගේ තර්ජනයට ලක් වූ කොලඹ දෙමල වැසියන් ආරක්ෂා කිරීමට තම පක්ෂ කේඩර් මෙහෙය වුයේ ය. එහෙත් ධනපති පාලනය ආරක්ෂා කිරීම සඳහා, ලසසප කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සහ ජාත්යන්තර සමාජවාදය පිලිබඳ මූලධර්ම අත්හැර දමා, 1964 දී ශ්රීලනිප ආන්ඩුවට එක්වීමෙන් දේශපාලන තත්වය අතිමූලික ලෙස වෙනස් විය.
ලසසප පාවා දීම, ලසසපයේ සහ ස්ටැලින්වාදීන්ගේ සහාය ඇති ව, කම්කරු පන්තිය බෙදා වෙන් කිරීම සඳහා පාලක ප්රභූවට දෙමල විරෝධී ප්රකෝප කිරීම් තව දුරටත් තීව්ර කිරීමට මඟ පෑදුවේ ය. ධනපති අර්බුදය වර්ධනය වන තතු තුල, යූඇන්පී ආන්ඩුව1983 දී වසර 26ක් තිස්සේ ගෙන ගිය ලේ වැකි වර්ගවාදී යුද්ධය ඇවිලවීමට පියවර ගත්තේ ය.
ලසසප පාවා දීමත් සමඟ ග්රාමීය ජනතාවට සහ දෙමල ජනතාව ඇතුලු පීඩිත ප්රජාවන්ට, ධනපති ආන්ඩුවේ ප්රහාරයට එරෙහි ව නැගී සිටීමට කම්කරු පන්තියේ නායකත්වය ලබා ගැනීමට පැවති බලාපොරොත්තු සුන් විය. 1960 ගනන්වල මැද භාගයේ දී මෙම පාවා දීම ගසා කමින් සිංහල ග්රාමීය තරුනයන් අතර ජවිපෙ මතු වූ අතර, 1970 ගනන් මුල, බෙදුම්වාදය දේශනා කරමින් එල්ටීටීඊය පෙරමුනට පැමිනියේ ය.
ජත්යන්තර කමිටුව ප්රකාශ කල පරිදි,
“ස්වාධීන දෙමල ජාතියක් සඳහා වූ ඉල්ලීම වනාහි දෙමල ජනයාට වෙන්වීම හා ස්වයංනිර්නය සඳහා තිබුනු යම් සදාකාලික උවමනාවක් තුලින් පැන නැගුනක් නොවේ. එය වනාහි ශ්රී ලංකාවට සහ අනෙකුත් බොහෝ රටවලට රූපික ස්වාධීනත්වය ප්රදානය කල අධිරාජ්යවාදී සමථයේ ද, අතිශය තීරනාත්මක ව කම්කරු පන්තියේ නායකත්වය මෙම සමථයට අනුගත වීමේ ද නිෂ්පාදිතයකි.” (ගෝලීයකරනය සහ ජාත්යන්තර කම්කරු පන්තිය—මාක්ස්වාදී තක්සේරුවක්, ජාතන්තර කමිටුවේ ප්රකාශය, පි. 121.)
1968 දී පිහිටුවන ලද විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස), ලසසප පාවා දීමට සහ ඊට අනුබල දුන්, ට්රොට්ස්කිවාදයෙන් බිඳී ගත් පැබ්ලෝවාදී කන්ඩායමේ දේශපාලනයට එරෙහි ව ජාත්යන්තර කමිටුව ගෙන ගිය අරගලය මත පදනම් වෙමින්, ශ්රී ලංකාවේ ට්රොට්ස්කිවාදී ව්යාපාරයේ අරගලය ඉදිරියට ගෙන ගියේ ය. සමාජවාදී සමානතා පක්ෂය (සසප) යනු විකොස අනුප්රාප්තික පක්ෂයයි. ට්රොට්ස්කිගේ නොනවතින විප්ලව න්යාය සහ වැඩපිලිවෙල මත පදනම් ව, විකොස/සසප ශ්රී ලංකා-ඊලාම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහාත්, ජාත්යන්තර සමාජවාදී විප්ලවයේ කොටසක් ලෙස දකුනු ආසියාවේ සමාජවාදී සමූහාන්ඩුවල සංගමයක් සඳහාත් සටන් කිරීමේ වැඩපිලිවෙල ඉදිරිපත් කලේ ය.
“ජාතික ප්රශ්නය වාස්තවික ව සහ ඓතිහාසික ව” විශ්ලේෂනය කරන බව කියා සිටින පෙසප, මාක්ස්වාදී ව්යාපාරයේ අරගලයේ මෙම අත්යවශ්ය ඉතිහාසය කෙරෙහි සතුරු ආකල්පයක් දරයි. තම පක්ෂයේ ධනපති ගැති ප්රතිපත්තිය ප්රවර්ධනය කිරීම සඳහා එය මෙම සැබෑ ඉතිහාසය තම කෘතිය කියවන පාඨකයන්ගෙන් වසන් කර ඇත.
ජවිපෙ ආරම්භයේ සිට ම දෙමල විරෝධී යුද්ධයට දැක්වූ සහාය පෙසප මෙම කෘතියේ කිසි තැනක දී හෙලා දැක නැත. එහි ප්රමුඛ සාමාජිකයන් ජවිපෙ ඉදිරිපෙල ක්රියාකාරීන් ලෙස සිටිය දී වර්ගවාදී යුද්ධයට එක පයින් සහාය දුන් අතර, යුද ජයග්රහනයේ “ගෞරවයෙන්” කොටසක් තමන්ට හිමි විය යුතු බවට නින්දිත හිමිකම් පෑමක් ඉදිරිපත් කලහ.
2009 දී, එවකට ජවිපෙ ලැයිස්තුවෙන් බස්නාහිර පලාත් සභා මැතිවරනයට ඉදිරිපත් වූ, අද පෙසපේ ප්රමුඛ නායකයෙකු වන දුමින්ද නාගමුව, මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආන්ඩුව එල්ටීටීඊයට එරෙහි යුද ජයග්රහනය තනි ව ම බුදින බවට චෝදනා කලේ ය. 2009 අප්රේල් 5 දින සන්ඩේ ටයිම්ස් පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී ඔහු මෙසේ ද පවසා තිබුනි:
“ජනතාව යුද්ධය ගැන පමනක් සිතන්නේ නම්, ඔවුන් ඡන්දය දිය යුත්තේ ජවිපෙටයි. මන්ද, එල්ටීටීඊය පරාජය කල හැකි දිශාව ආන්ඩුවට පෙන්වා දුන්නේ ජවිපෙයි. ආන්ඩුවට එරෙහි ව එය අඛන්ඩ ව පැවැත් වූ විරෝධතා සහ එල්ල කල පීඩනය මගින් එය එම දිශාව [ආන්ඩුවට] පෙන්වා දුන්නේ ය.”
පෙසප නායකයෝ තමන්ගේ මේ අපකීර්තිමත් වර්ගවාදී ඉතිහාසය සඟවා ගෙන සිටිති.
ජාතික ස්වයංනිර්න අයිතිය
ජාතික ප්රශ්නය කෘතියේ එක් පරිච්ඡේදයක් තුල ජාතික ස්වයංනිර්නය සඳහා වූ ප්රජාතන්ත්රවාදී අයිතිය පිලිබඳ ලෙනින්ගේ මාක්ස්වාදී ස්ථාවරයන් උපුටා දැක්වීම් කිහිපයක් අඩංගු වේ. ඒවා ඉදිරිපත් කර ඇත්තේ පෙසප අර්ථකථන සමඟයි. ලෙනින්ගේ සුප්රකට අප්රේල් ප්රවාදවලින් ද එය උපුටා දක්වා තිබේ. ජාතික ප්රශ්නයට අදාල මාක්ස් සහ එංගල්ස් පලකල අදහස් කිහිපයක් ඇතුලත් පරිච්ඡේදයක් ද කෘතියේ ඇත. මෙම ව්යායාමයේ අරමුන වන්නේ පෙසපට මාක්ස්වාදය සහ ලෙනින්වාදය සමඟ කිසි යම් හෝ සම්බන්ධයක් ඇති බව මවා පෑමයි.
එහෙත් මෙම ව්යායාමය නිෂ්ඵල එකකි. ස්වයංනිර්න අයිතිය ශ්රී ලංකාවේ තත්වයට අදාල කරමින් පෙසප මෙසේ කියා සිටී:
“මෙම සියලු කරුනු සැලකිල්ලට ගැනීමේ දී පෙනී යන්නේ ස්වයංනිර්න අයිතිය මත පදනම් ව ලංකාවේ ජාතික ගැටලුව සඳහා දේශපාලන වැඩපිලිවෙලක් ඉදිරිපත් කිරීම සිදු කල නොහැකි බවයි.” (පි. 132). එය තව දුරටත් මෙසේ කියයි: “ස්වයංනිර්නය සඳහා ජාතින් සතු අයිතිය ප්රතික්ෂේප කිරීමට හෝ අත්හැර දැමීමට දේශපාලන හේතුවක් නැති අතර” එය ලෝකයේ වෙන ඕනෑ ම තැනක සුදුසු ලෙස යොදාගත හැකි ය (එම පිටුව). එනම්, ශ්රී ලංකාවේ හැර වෙනත් තැන්වල එය යොදාගත හැක.
ඉහත සඳහන් කල විජේවීරගේ කෘතියේ දී ද සිදු කර ඇත්තේ මෙයයි. ලෙනින්ගෙන් පිටු පුරා උපුටා දැක්වීම් කරමින්, නමුත් ශ්රී ලංකාවේ ස්වයංනිර්න අයිතියට ඉඩක් නැති බව ඔහු කියා සිටියේ ය. දෙමල බෙදුම්වාදී ව්යාපාරය චෝල ව්යාපෘතියක් ලෙස හංවඩු ගසා ඇති විජේවීර, විජයබාහු රජු කටයුතු කල ආකාරයට එය මර්දනය කල යුතු බව කියා සිටියේ ය.
පෙසපට අනුව ශ්රී ලංකාවට අනෙකුත් රටවලට වඩා වෙනස් වූ “විශේෂතා රැසක්” පවතින අතර, ස්වයංනිර්න අයිතිය ප්රතික්ෂේප කිරීමට ප්රධාන හේතුව එයයි. ලංකාවේ “බලහත්කාරයෙන් ඈඳාගත් යටත්විජිත හෝ අර්ධ-යටත්විජිත තත්වයක්” නොමැති බව ඔවුහු කියති. ඇත්තේ “දෙමල, මුස්ලිම් සහ මලෛයහ තමිල් ජනතාවගේ දේශපාලන ප්රජාතන්ත්රවාදය සම්බන්ධ අයිතීන් ප්රජාතන්ත්රීය ලෙස මධ්යගත නොවීමේ ගටලුව” පමනක් බව ඔවුහු කියා සිටිති. එම ප්රජාවන් “අත්තනෝමතික ලෙස මධ්යගතකරනයට” ගොදුරු කර ඇත. මෙම ප්රජාවන් සංඛ්යාත්මක ව කුඩා බැවින්, තම දේශපාලන බලය පවත්වා ගැනීම සඳහා ධනේශ්වර පක්ෂ විසින් යොදාගනු ලබන සිංහල-බෞද්ධ ආධිපත්යවාදී දෘෂ්ටිවාදයේ ගොදුරු බවට පත්වීමේ ඉතිහාසයක් ඔවුන්ට පවතින බව ද ලියවිල්ලේ සඳහන් වේ. (සියලු උපුටා දැක්වීම් 126 වැනි පිටුවෙනි.)
ශ්රී ලංකාවේ “ජාතික රාජ්යය වසර 200කට පෙර පිහිටුවන ලද” බවත්, විවිධ ප්රජාවන් විසිරී ජීවත් වන බවත්, පුලුල් ජාතික ව්යාපාරයක් නොමැති බවත්, විශාල භූමි ප්රදේශ හෝ සම්පත් නොමැති බැවින් වෙන ම රාජ්යයන්ට ආර්ථික සංවර්ධනය සඳහා පදනමක් නොමැති බවත් පෙසප තව දුරටත් ප්රකාශ කරයි.
මෙම තක්සේරුව සම්පුර්නයෙන් ගත් කල, එය විප්ලවවාදී සමාජවාදියෙකු ජාතික පීඩනයට එරෙහි ව ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරගලයට පිවිසීමේ ප්රවේශයක් නොව, ඒ ඒ වාර්ගික කන්ඩායම්වල ධනපතියන්ට තම වුවමනාකම් සපුරා ගැනීමට ඉඩ ඇත්දැයි සලකා බලන ධනපතියෙකු ගේ ප්රවේශයකි.
ශ්රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල ඊට “ඈඳා ගැනීමක් හෝ යටත්විජිත හෝ අර්ධ-යටත්විජිත තත්ත්වයක් පිලිබඳ ප්රශ්නයක් නැති” බවත්, දෙමල, මුස්ලිම් සහ මලෛයහ ජනතාවගේ අයිතිවාසිකම් “ප්රජාතන්ත්රවාදී ලෙස කේන්ද්රගත නොවීම” සහ ඔවුන් “අත්තනෝමතික ලෙස කේන්ද්රගත කිරීම” පිලිබඳ ගැටලුවක් පමනක් ඇති බවත් පෙසප කරන ප්රකාශය, “ජාතික පීඩනයක්” ලංකාව තුල නොපවතින බව කියා සිටීමට සමාන ය.
දෙමල සහ අනෙකුත් ප්රජාවන්ගේ පීඩනය, අත්තනෝමතික ලෙස මධ්යගතකරනයක් පිලිබඳ ගැටලුවකට ලඝු කල හොත්, 1983 සංහාර, වසර 26ක යුද්ධය, කොලඹ ආන්ඩු අනුගමනය කල ක්රමානුකූල දෙමල විරෝධී වෙනස්කම් සහ වතුකරයේ දෙමල ජනතාවගේ පුරවැසි හා ඡන්ද අයිතිවාසිකම් අහිමි කිරීම යන සියල්ල ගනන් ගත යුතු නොවන තැනකට පත් කෙරෙයි. ඉතිරි වන්නේ රාජ්යය “ප්රජාතන්ත්රවාදී ලෙස මධ්යගත කරන ලෙස” ඉල්ලීමක් පමනි. පෙසප විසින් මෙ ලෙස ජාතික පීඩනයක් පැවතීම ප්රතික්ෂේප කිරීම යනු ජවිපෙ සිංහල ස්වෝත්තමවාදී උරුමය නව ඇසුරුමක බහා නැවත ඉදිරිපත් කිරීමකි.
ලංකාවේ ජාතික රාජ්යය පැවැත්මට ආවේ අවුරුදු 200කට පෙර බවට පෙසප කරන ප්රකාශය යටත් විජිත පාලකයන් වෙනුවෙන් ඉදිරිපත් කරන ක්ෂමාලාපයකි. ශ්රී ලංකාවේ බ්රිතාන්ය යටත්විජිත පාලනය යටතේ, 1815 දී සිදු වූයේ උඩරට රාජධානිය අල්ලා ගෙන, ලංකාව මුලුමනින් තම අනසකට යටත් කර ගැනීමයි. බ්රිතාන්යයන් ලංකාව ආර්ථික හා පරිපාලන මධ්යගතකරනයට ලක් කලේ වුවත් එය පෙසප ව්යාජ ව සඳහන් කරන පරිදි “ජාතික රාජ්යයක්” පිහිටුවීමක් නොවේ.
එවක බීඑල්පීඅයි සඳහන් කල ආකාරයට, මෙම යටත් විජිතය “බොහෝ කලක් ප්රමාද වී ඇති ඉන්දීය විප්ලවයට එරෙහි අධිරාජ්යයේ බලකොටුවක්” විය. 1948 දී ලංකාවට ලබාදුන් “නිදහස” ද ව්යාජයකි. බීඑල්පීඅයි ප්රකාශ කල පරිදි, අධිරාජ්යවාදය “ලංකාවේ බ්රිතාන්ය අධිරාජ්යවාදයේ අවශ්යතා පරිපාලනය කිරීමේ කාර්යය බොහෝ දුරට සම්පූර්නයෙන් ම ස්වදේශීය ධනේශ්වරයට භාර දුන්නේ ය.” ශ්රී ලංකාව ජාත්යන්තර මූල්ය ප්රාග්ධනයේ ආධිපත්යයට යටත්, ඓතිහාසික ව පීඩනයට ලක් වූ රටක් ලෙස තව දුරටත් පවතී. එම සත්යය සඳහන් කිරීම ලංකාවේ ධනපති පන්තියට හා එහි විධායකයන් වන ආන්ඩුවලට--ජවිපෙ/ජාජබ ද ඇතුලුව- දෙන දේශපාලන සහනයක් නොවේ. ඔවුහු ජාත්යන්තර මූල්ය ප්රාග්ධනයේ ද ඓතිහාසික පීඩනයේ ද ඒජන්තයෝ ය.
විකොස/සසප ඓතිහාසික ව දෙමල විරෝධී වෙනස්කම්වලට විරුද්ධ වූ අතර දෙමල ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කලේ ය. විකොස “දෙමල ජාතියේ ස්වයංනිර්න අයිතිය” පිලිගනිමින් 1972 ජූනි මාසයේ ප්රකාශයකින් අවධාරනය කලේ, “සමාජවාදී ප්රතිපත්ති මත පදනම් වූත්, මෙම අයිතිය පිලිගන්නා වූත් කම්කරු-ගොවි ආන්ඩුවක් පිහිටුවීම සඳහා සිංහල සහ දෙමල කම්කරුවන් බලමුලු ගැන්වීමෙන් පමනක් මෙම අයිතිය දිනාගත හැකි” බවයි. විකොස ස්වයංනිර්න අයිතිය ආරක්ෂා කල නමුත් වෙන ම රාජ්යයක් වෙනුවෙන් පෙනී සිටියේ නැත.
නිෂ්පාදනය ගෝලීයකරනය වීමෙන් සහ පැරනි ධනේශ්වර ජාතිකවාදී ව්යාපාර විසිරී යාමෙන් ඇති වූ දැවැන්ත පරිවර්තනයන් සැලකිල්ලට ගනිමින්, ස්වයංනිර්න සටන් පාඨය පිලිබඳ විවේචනාත්මක නැවත විමර්ශනයකින් පසු ව, 1990 ගනන්වල මුල් භාගයේ දී ජාත්යන්තර කමිටුව විසින් තීරනාත්මක වෙනසක් සිදු කරන ලදී.
මෙම නැවත විමර්ශනයෙන් පසු ව, වර්තමාන තත්ත්වයන් යටතේ ස්වයංනිර්න සටන් පාඨය ඉදිරිපත් නොකිරීමට ජාත්යන්තර කමිටුව සහ විකොස/සසප තීරනය කලේය. ඊට හේතුව, එම සටන් පාඨය වෛෂයික ව එල්ටීටීඊය වැනි බෙදුම්වාදී කන්ඩායම්වලට සේවය කරනු ඇති බැවිනි.
එහෙත් තීරනාත්මක කරුන වන්නේ මෙය ජාතික පීඩනයට එරෙහි අරගලයෙන් පසුබැසීමක් නොවන බවයි. ඊට ප්රතිවිරුද්ධ ව, ස්වයංනිර්න අයිතියේ අත්යවශ්ය ප්රගතිශීලී අන්තර්ගතය වන ජාතික පීඩනය මුලිනුපුටා දැමීම සාක්ෂාත් කල හැක්කේ සමාජවාදී විප්ලවය හරහා පමනක් බව තහවුරු කිරීමයි. ලංකාවේ දේශපාලන තත්වය පිලිබඳව ජාත්යන්තර කමිටුව 1987 නොවැම්බර් මාසයේ නිකුත් කල ප්රකාශයේ මෙසේ සඳහන් කලේ ය: “ජාතික ස්වයං නිර්නය අයිතිය තහවුරු කෙරෙනවා ඇත්තේ, සිය ඒකාධිපතිත්වය පිහිටුවා ගෙන සියලු ම පීඩිත ජනයාට තම යුක්ති යුක්ත ප්රජාතන්ත්ර අයිතීන් සහතික කරන්නා වූ කම්කරු පන්තිය විසින් නායකත්වය දෙනු ලබන සමාජවාදී විප්ලවයේ අතුරු ප්රතිඵලයක් ලෙස ය.” 1987 සිට විකොස/සසප ඉදිරිපත් කල ශ්රී ලංකා-ඊලාම් සමාජවාදී සමුහාන්ඩුවක් සඳහා වූ වැඩපිලිවෙලේ අන්තර්ගතය මෙයයි.
පෙසප අවධි දෙකේ න්යාය
තම ව්යාජ විශ්ලේෂනයෙන් පසු ව, ධනේශ්වර විප්ලවයේ “නිම නොකල කාර්යයන්” තව දුරටත් ඉතිරි ව ඇති බවත්, එම කාර්යයන් ඉටු කිරීම “සමාජවාදී විප්ලවයට පැවරී ඇති බවත්” පෙසප කියා සිටී.
එය තව දුරටත් කම්කරුවන්ට පවසන්නේ, සමාජවාදී විප්ලවයට නිකම් ම යාමට නොහැකි බවයි. ඊට පෙර ධනවාදය තුල කෙටිකාලීන සහ මධ්යකාලීන විසඳුම් මගින් සම්පූර්න කල යුතු අදියරක් ඇති බවයි: “ජාතික ගැටලුව විසඳීම සඳහා සමාජවාදය උදාවන තෙක් බලා නොසිට, සියලු ජාතික ජන කොටස් ඒකාබද්ධ කර ගනිමින් කෙටි කාලීනවත් මධ්ය කාලීනවත් ප්රතිසංස්කරන දිනා ගනිමින් අවසන් විසඳුමකට යන අඛන්ඩ අරගලයක අප නිරත විය යුතු ය.” (පි. 73–74, අවධාරනය අපගේ ය.)
ඔවුන් ප්රචාරය කරන උපක්රමය වන්නේ “සමාජවාදය” කරා යන ගමනේ දී “සංක්රමනික” වැඩපිලිවෙලක් ඇති බව ප්රකාශ කිරීමයි. සමාජවාදී විප්ලවය සඳහා වන අරගලය වැලැක්වීමටත්, ධනේශ්වර ක්රමය ආරක්ෂා කිරීමටත් ස්ටැලින්වාදීන්, ප්රතිසංස්කරනවාදීන් සහ රැඩිකල්වාදීන් දශක ගනනාවක් තිස්සේ පුනරුච්චාරනය කර ඇති පැරනි මන්තරය ම පෙසප යලි ජප කරයි.
පෙසපේ ඊනියා සංක්රමනික අවධිය යනු රුසියාවේ සමාජවාදී විප්ලවයට විරුද්ධ වූ මෙන්ෂෙවික්වාදීන් ඉදිරිපත් කල පිලිවෙත ඔස්සේ ස්ටැලින්වාදය විසින් නිර්මානය කරන ලද අවධි දෙකේ විප්ලව න්යාය ම වෙනත් නමකින් ඉදිරිපත් කිරීමකි. ස්ටැලින්වාදී න්යායට අනුව, පසුගාමී රටවල පලමු අදියර වන්නේ ධනේශ්වර-ප්රජාතන්ත්රවාදී විප්ලවයයි. එම අදියර සම්පූර්න කිරීමට ධනේශ්වරයේ “ප්රගතිශීලී කොටස්” සමඟ පෙලගැසීමෙන් පසු ව පමනක් ඊලඟ අදියර ගැන සිතිය හැකි ය. මේ අනුව, සමාජවාදී විප්ලවය සඳහා වන අරගලය අවිනිශ්චිත, අවසානයක් නොමැති අනාගතයකට කල් දමනු ලැබේ.
මෙම අවධි දෙකේ න්යායට අනුව, පෙසප ධනපති සමගි ජන බලවේගය (සජබ) හා දෙමල සහ මුස්ලිම් පක්ෂ සමඟත් නැවත නැවතත් සන්ධාන ගොඩනැඟීමට උත්සාහ කර තිබේ. වර්තමානයේ දී, ජවිපෙ නායකත්වය දෙන ආන්ඩුවට ප්රතිසංස්කරන ක්රියාත්මක කරන ලෙස බලපෑම් කරන ලෙස පෙසප ජනතාවගෙන් ඉල්ලා සිටී.
ස්ටැලින් සහ ස්ටැලින්වාදී නිලධාරිවාදය මෙම අවධි දෙකේ න්යාය සකස් කලේ 1920 ගනන්වල මැද භාගයේ දී, ට්රොට්ස්කි 1906 දී ඉදිරිපත් කල සහ 1917 රුසියානු ඔක්තෝබර් විප්ලවයට මඟපෙන්වූ නොනවතින විප්ලව න්යායට විරුද්ධ ව ය. 1917 දී බොල්ෂෙවික් පක්ෂයේ (ස්ටැලින් ඇතුලු) සම්මුතිවාදී කන්ඩායමට එරෙහි ව ලෙනින් සිය අප්රේල් ප්රවාද මගින් මෙම නොනවතින විප්ලවයේ පිලිවෙත අනුගමනය කලේ ය.
1917 ඔක්තෝබර් විප්ලවයේ සිව්වැනි සංවත්සරය වෙනුවෙන් 1921 ඔක්තෝබර් 18 දින පල කල ලිපියකින් ලෙනින් සමාජවාදී විප්ලවයේ මෙම මාවත පැහැදිලි කලේ ය:
“ප්රතිසංස්කරන යනු විප්ලවවාදී පන්ති අරගලයේ අතුරු ඵලයක් බව අපි සැමවිට ම කියා ඇත්තෙමු. ධනේශ්වර-ප්රජාතන්ත්රවාදී ප්රතිසංස්කරන යනු නිර්ධන පන්ති විප්ලවයේ, එනම් සමාජවාදී විප්ලවයේ අතුරු ඵලයක් බව කියා සිටි අපි එය ක්රියාවෙන් ඔප්පු කලෙමු. ධනේශ්වර-ප්රජාතන්ත්රවාදී විප්ලවය සහ නිර්ධන පන්ති-සමාජවාදී විප්ලවය අතර පවතින මෙම සම්බන්ධය තේරුම් ගැනීමට කෞට්ස්කිලා, හිල්ෆර්ඩිංලා, මාර්ටොව්ලා, චෙර්නොව්ලා, හිල්ක්විට්ලා, ලොන්ග්වේලා, මැක්ඩොනල්ඩ්ලා, ටුරාටිලා සහ අනෙකුත් ‘දෙකහමාරේ’ මාක්ස්වාදයේ වීරයෝ අසමත් වූහ. පලමුවැන්න දෙවැන්න බවට වර්ධනය වේ. දෙවැන්න, එම ක්රියාවලියේ දී ම, පලමුවැන්නෙහි ගැටලු විසඳයි. දෙවැන්න පලමුවැන්නෙහි කාර්යය තහවුරු කරයි. අරගලය, අරගලය පමනක් ම, දෙවැන්න පලමුවැන්න ඉක්මවා වර්ධනය වීමට සමත් වන්නේ කොතෙක් දුරට ද යන්න තීරනය කරයි.” (ලෙනින්, එකතු කල කෘති. වෙලුම 33, පි. 51.)
පෙසප හි ඊනියා සංක්රමනික වැඩපිලිවෙල සහ මාක්ස්වාදීන් ඉදිරිපත් කරන සංක්රමනීය වැඩපිලිවෙල අතර කිසිදු පොදු බවක් නැත. හතරවන ජාත්යන්තරයේ ආරම්භක වැඩපිලිවෙල තුල ට්රොට්ස්කි අවධාරනය කල පරිදි, සංක්රමනික වැඩපිලිවෙලේ කාර්යය වන්නේ “වෛෂයික විප්ලවවාදී තත්වයන්ගේ පරිනතභාවය සහ නිර්ධන පන්තියේත් එහි පෙරටු බලඇනියේත් නොමේරූභාවය අතර පවතින පරස්පරතාව ජය ගැනීමයි ...” එනම්, සමාජවාදී විප්ලවය සාක්ෂාත් කර ගැනීම සඳහා කම්කරු පන්තියේ විඥානය ඉහල නැංවීමට පාලමක් සම්පාදනය කිරීමයි.
ලෙනින් සහ ට්රොට්ස්කි පැහැදිලි කල සමාජවාදී විප්ලවයේ මාවත අඩපන කිරීම සඳහා, “ජාතික ප්රජාතන්ත්රවාදී කාර්යයන් සම්පූර්න කිරීම” පිලිබඳ ව පෙසප කතා කරයි. ධනේශ්වර රාමුව තුල වැඩ කරන ජනතාව සිර කර තැබීම සඳහා “කෙටිකාලීන සහ මධ්යකාලීන” ප්රතිසංස්කරන වැඩපිලිවෙලක් සිය ඊනියා “සංක්රමනික වැඩපිලිවෙල” ලෙස ප්රවර්ධනය කරයි.
පෙසප “උපායමාර්ගික වැඩපිලිවෙල”
පෙසප ලියවිල්ලේ 10 වැනි පරිච්ඡේදය වන “උපායමාර්ගික වැඩපිලිවෙල” තුල, එහි “සංක්රමනික” අදියරේ දී කල යුත්තේ කුමක් ද යන්න පැහැදිලි කරයි. ශ්රී ලංකාවේ “පශ්චාත් යුද සමයේදී” (එනම්, 2009 දී වර්ගවාදී යුද්ධය අවසන් වීමෙන් පසු) ජාතික ප්රශ්නයට ලැබුනු අවධානය අඩු වූ බව එය කියා සිටී. එබැවින් දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, විශේෂ මිලිටරිකරනය වැලැක්වීම, ඉඩම් අයිතිවාසිකම් සහ අතුරුදන් වූවන්ට යුක්තිය ඉටු කිරීම වැනි ප්රතිසංස්කරන දිනා ගැනීමේ ව්යාපාරවලට පක්ෂයේ ක්රියාකාරකම් සීමා කල බව එය කියයි. එනම්, මහජනයා එම සීමා තුල කොටු කිරීමට තමන් ක්රියා කල බව එය පිලිගනී.
අවුරුදු 17ක් තිස්සේ ගෙනගිය වැඩපිලිවෙල “එම සීමාව අතික්රමනය කරමින්” නව උපායමාර්ගික වැඩපිලිවෙලක් ඉදිරිපත් කිරීමට පෙසප තීරනය කර ඇත. මෙහි තේරුම් සරල ය. පෙසප වැඩපිලිවෙල සකස් කර ගන්නේ, ඒ ඒ අවස්ථාවල, ධනපති රාමුව තුල කම්කරුවන් හා පීඩිතයන් කොටු කිරීමට අවශ්යවන්නේ කුමන උපාමාරු දැමීමක් සිදු කල යුතු ද යන්න මත ය.
දැන් එහි නව උපාය මාර්ගික වැඩපිලිවෙලේ පදනම වන්නේ, දෙමල, මුස්ලිම් සහ මලෛයහ ප්රජාවන් “විශේෂිත ජාතික පීඩනයකට” මුහුන දෙන බව පිලිගනිමින්, “ආර්ථික, දේශපාලනික, සංස්කෘතික සහ මනෝවිද්යාත්මක වැඩපිලිවෙලක්” දියත් කරන බවට පෙසප 134 වැනි පිටුවේ කරන ප්රකාශයයි. මෙය එම ප්රජාවන්ගේ වෙන ම සංස්කෘතික සහ අනෙකුත් අනන්යතාවන් තව දුරටත් ගැඹුරු කිරීම සඳහා ගෙන යන දේශපාලන මෙහෙයුමකි.
මෙම උපායමාර්ගික වැඩපිලිවෙල යටතේ, ජනවාර්ගික සහ සංස්කෘතික අනන්යතාවන් ආරක්ෂා කර සහතික කිරීම සඳහා ද්විමන්ඩල පාර්ලිමේන්තුවක් යෝජනා කර ඇත. එනම්, පාර්ලිමේන්තුවට අමතර ව සුලුතර ප්රජාවන් නියෝජනය කිරීම සඳහා තවත් මන්ඩලයක් තෝරා පත් කර ගැනීමයි.
දෙමල, මුස්ලිම් සහ මලෛයහ ප්රජාවන් නියෝජනය කිරීම සඳහා ඔවුන්ගේ පරිපාලන කටයුතු සහතික කරනු පිනිස “ස්වයං පාලන ප්රදේශ සහ ස්වයං පාලන ඒකක” පිහිටුවීමට ද පෙසප යෝජනා කරයි. ජනතාවගේ අදහස් විමසීමෙන් සහ සීමා නිර්නය කිරීමේ කොමිෂන් සභා මගින් එවැනි ප්රදේශ පිහිටුවීම එය යෝජනා කරයි. ජන වාර්ගික රේඛා ඔස්සේ ඉදිරිපත් කරන මෙම වැඩපිලිවෙල, කම්කරු පන්තිය බෙදා වෙන් කිරීම අරමුනු කරගත් තත්ය අනන්යතා දේශපාලනය මත පදනම් වේ.
උතුරෙන් සහ නැගෙනහිරෙන් හමුදාව ඉවත් කිරීම, සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, යුද අපරාධකරුවන්ට නඩු පැවරීම සහ බලහත්කාරයෙන් අතුරුදන් කල පුද්ගලයන් පිලිබඳ සත්යය හෙලි කිරීම ආදී ඉල්ලීම් සඳහා ජනවාර්ගික බෙදීම් ඉක්මවා කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලු ගැන්විය යුතු බවට සසප කල කැඳවුමට පෙසප විරුද්ධ විය. සිංහල-බෞද්ධ ආධිපත්යය තහවුරු කරන ඒකීය රාජ්යය සහ එහි ආන්ඩුක්රම ව්යවස්ථාව අහෝසි කිරීමේ අරගලයෙන් මෙම ඉල්ලීම් වෙන් කල නොහැක. සසප මෙම ඉල්ලීම් ඉදිරිපත් කලේ ජාත්යන්තර සමාජවාදී ප්රතිපත්ති සඳහා වූ පුලුල් අරගලයේ කොටසක් ලෙස ය.
මීට පෙර ජාතික පීඩනය ප්රතික්ෂේප කිරීමේ තැනක සිට ප්රකාශ දුන් පෙසප, හදිසියේ ම “ජාතික පීඩනයක්” ගැන ප්රකාශ දෙමින් සිංහල, දෙමල, මුස්ලිම් සහ “මලෛයහ” ප්රජාවන් සඳහා සුවිශේෂ වූ වැඩපිලිවෙලක් ඉදිරිපත් කර ඇත්තේ ඇයි? පිලිතුර වන්නේ, කොලඹ ආන්ඩුවල සමාජ සහ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම්වලට එල්ල කරන ප්රහාරවලට එරෙහි අරගල තුල ජනවාර්ගික බෙදීම් ඉක්මවා වර්ධනය වන කම්කරු පන්තියේ එකමුතුව කඩාකප්පල් කිරීමට ඔවුන් උත්සාහ කරන බවයි.
ආර්ථික බිඳ වැටීමේ විනාශකාරී ප්රතිවිපාකවලට සහ එහි බර වැඩ කරන ජනතාව මත පැටවීමට එරෙහි ව මිලියන ගනනක් ජනතාව වීදි බැසගත් 2022 මහජන නැගිටීම තුල මෙම කම්කරු පන්තික එකමුතුව ප්රදර්ශනය විය. 2022 අප්රේල් 28 සහ මැයි 6 දිනවල රට පුරා මිලියන ගනනක් කම්කරුවෝ එක්දින මහා වැඩවර්ජනවලට සහභාගි වූහ.
එම මහජන ව්යාපාරය සියලු පාර්ලිමේන්තු පක්ෂවල මන්ත්රීන් ගෙන් සමන්විත අන්තර්වාර ආන්ඩුවක ඉල්ලීමට ලඝු කොට කොටු කිරීමට ජවිප/ජාජබ සහ සජබ, වෘත්තීය සමිති නිලධරයේ හා පෙසප ව්යාජ වම්මුන්ගේ සහාය ලබා ගත්තේ ය. පෙසප, අන්තර්වාර ආන්ඩුවක් පිලිබඳ ව සජබ හා දෙමල-මුස්ලිම් පක්ෂ සමග සාකච්ඡා කරමින් ද්රෝහී මැදිහත්වීමක මුලිකත්වය ගත්තේ ය. එහි ප්රතිඵලය වුයේ පාර්ලිමේන්තු පක්ෂවලට, රනිල් වික්රමසිංහ බලයට ගෙන ඒමට හැකිවීමයි. වික්රමසිංහ මහජන අරගලය මැඬලූ නමුත්, ඔහුගේ ජාමූඅ කප්පාදුවට හා ප්රජාතන්ත්රවාදී අයිතීන් මැඬීමේ වැඩපිලිවෙලට එරෙහි ව කම්කරු අරගල වැඩෙන තතු තුල, ලංකාවේ පාලක ප්රභුවේ සැලකිය කොටසක් ජවිපෙ/ජාජබ බලයට ගෙන ඒමට පෙල ගැසුනි.
අනුර කුමාර දිසානායකගේ ආන්ඩුව ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල අඛන්ඩ ව ක්රියාත්මක කලේ ය. ඒ අතර ම, පෙරමුනු කිහිපයක ම අධිරාජ්යවාදී යුද්ධයන් උත්සන්න වෙද්දී එහි බර ජාත්යන්තර ව වැඩ කරන ජනතාව මත පටවමින් පවතී. ශ්රී ලංකාවේ කම්කරු පන්තිය ජනවාර්ගික බෙදීම් ඉක්මවා එක්සත් කිරීමත්, එය ජාත්යන්තර කම්කරුවන්ගේ අරගල සමඟ සම්බන්ධ කිරීමත් ලෝක යුද්ධයට එරෙහි ව සමාජවාදය මත පදනම් වූ කම්කරු පන්තියේ ව්යාපාරයක් ගොඩනැගීමත් එකිනෙකට බැඳුනු කර්තව්යයන් වේ.
වෙන වෙන ම සංස්කෘතික සහ අනෙකුත් අනන්යතා ප්රවර්ධනය කිරීම සඳහා ප්රජාවන් මත පදනම් වූ වෙන් වූ පරිපාලන විධිවිධාන වෙනුවෙන් පෙසප සිය ව්යාපාරය තීව්ර කර ඇත්තේ මෙම පසුබිම තුලයි. කම්කරු පන්තියේ එකමුතුවට විරුද්ධ මෙම උපාය මාර්ගය, ජනවාර්ගික බෙදීම් සංස්ථාපිත කිරීමේත් එමගින් කම්කරු පන්තිය තව දුරටත් කැබලි කිරීමේත් උත්සාහයකි . මෙය ධනපති පන්තියේ දැනුවත් කන්ඩායම්, ව්යාජ වම්මුන් ද පොදි බැඳගෙන ගෙන යන ජාත්යන්තර මෙහෙයුමක කොටසකි.
දෙමල භාෂාව කතා කරන වතු කම්කරුවන් “මලෛයහ” යන නාමය යටතේ වෙන ම “සුවිශේෂී ප්රජාවක්” ලෙස හඳුන්වන පෙසප වැඩපිලිවෙල තුල මෙම අනන්යතා දේශපාලනය විශේෂයෙන් පැහැදිලි වේ.
ශ්රී ලංකාවේ ඉන්දියානු වතු කම්කරුවන්ගේ ආරම්භය සහ වර්ධනය, ශ්රී ලංකාවේ කම්කරු පන්තියේ ආරම්භය සහ වර්ධනය සමඟ බැඳී පවතී. සිංහල ස්වෝත්තමවාදී බලවේගවල සහාය ලැබූ අනුප්රාප්තික කොලඹ ආන්ඩු, ජනවාර්ගික රේඛා ඔස්සේ කම්කරුවන් බෙදා වෙන් කිරීමට ගත් උත්සාහයන්ට එරෙහි ව ට්රොට්ස්කිවාදී ව්යාපාරය සටන් කලේ ය.
ධනේශ්වර ගෝලීයකරනය හඳුන්වා දීමෙන් පසු ගත වූ දශක කිහිපය තුල වතු ආර්ථිකයේ සිදු වූ වෙනස්කම් සහ වෘත්තීය සමිති නායකත්වයන්ගේ දේශපාලන අවශ්යතා, ප්රජාමය වශයෙන් වෙන් වූ ඉල්ලීම් ප්රවර්ධනය කිරීම සඳහා නව කොන්දේසි බවට බවට පරිවර්තනය කර ගෙන තිබේ. වෘත්තීය සමිති නිලධරය, බොහෝ ව්යාපාරිකයෝ සහ වතු දිස්ත්රික්කවල නැගී එන වෘත්තීයවේදීයෝ, වතුකරයේ දෙමල කම්කරු පන්තිය සඳහා වෙන ම පරිපාලන දිස්ත්රික්ක පිහිටුවීම තම දේශපාලන සහ ද්රව්යමය අවශ්යතා ඉදිරියට ගෙන යාමේ මාධ්යයක් ලෙස සලකති.
2015 දී ඩිමොක්රටික් පීපල්ස් ෆ්රන්ට් (ප්රජාතන්ත්රවාදී මහජන පෙරමුන), ජාතික කම්කරු සංගමය සහ කදුරට ජනතා පෙරමුන එක් ව දෙමල ප්රගතිශීලී සන්ධානය පිහිට වූහ. 1990 ගනන්වල දී කඳුරට ජනතා පෙරමුන විසින් මුලින් ප්රවර්ධනය කරන ලද, වෙන ම “මලෛයහ” අනන්යතාවක් පිලිගැනීමේ ඉල්ලීම එම සන්ධානය විසින් ඉදිරියට ගෙන යන ලදී. මෙම ව්යාපාරය 2023 සිට තීව්ර කෙරුනි. ජවිපෙ/ජාජබ 2024 මැතිවරන ව්යාපාරයේ දී ඡන්ද කඩා ගැනීම එම ඉල්ලීමට සහාය දැක්වූ අතර, පෙසප ද එය ප්රවර්ධනය කිරීමට වහා එක් විය.
ධනපති කොටස්වලට, වෘත්තීයවේදීන්ට සහ වෘත්තීය සමිති නිලධාරිවාදයට තමන්ගේ අවශ්යතා ඉදිරියට ගෙන යා හැකි පරිපාලනමය වශයෙන් වෙන් කල ප්රදේශ නිර්මානය කිරීමේ අරමුනින්, පෙසප දැන් මෙම ව්යාපාරය ශ්රී ලංකාවේ ජාතික ප්රශ්නයට තමන් යෝජනා කරන විසඳුමට ඇතුලත් කර තිබේ. එවැනි “භූමි ප්රදේශ” අනිවාර්යෙන් ම එක් ප්රජාවක කම්කරුවන් තවත් ප්රජාවක කම්කරුවන්ට එරෙහි ව පිහිටුවීම සඳහා ඒ ඒ කොටසේ වැඩෙන ධනපති හා සුලු ධනපති බලවේග විසින් යොදාගනු ඇත.
ලෝක සමාජවාදී වෙබ් අඩවිය, එක්සත් ජනපදයේ නිව් යෝක් ටයිම්ස් පුවත්පත සත් වසරකට පෙර දියත්කල “1619 ව්යාපෘතිය” නම් වූ අනන්යතා ව්යාපාරයක් ගැන පැහැදිලි කරමින් මෙසේ ලීවේ ය:
“එක්සත් ජනපදයේ ‘සැබෑ’ පදනම යලි ස්ථාපිත කිරීමේ මුවාවෙන් ඉදිරිපත් කෙරුන ද, 1619 ව්යාපෘතිය යනු දේශපාලන අරමුනු මත මෙහෙයවනු ලබන ඉතිහාසය විකෘති කිරීමකි. එහි අරමුන වන්නේ පුද්ගලයන්ගේ “අනන්යතාවයන්ට”—එනම්, ස්ත්රී-පුරුෂභාවය, ලිංගික නැඹුරුව, ජනවාර්ගිකත්වය සහ අන් සියල්ලටමත් ඉහලින් වාර්ගිකත්වයට —ප්රමුඛත්වය ලබා දීම මත පදනම් වූ ඡන්දදායක සන්ධානයක් ගොඩනැගීමට ඩිමොක්රටික් පක්ෂය දරන ප්රයත්නයට සාධාරනත්වයක් ලබා දෙන ඓතිහාසික ආඛ්යානයක් නිර්මානය කිරීමයි” (wsws.org, The New York Times’s 1619 Project: A racialist falsification of American and world history, සැප්තැම්බර් 6, 2019).
පසු ගිය දශක පහ තුල ලොව පුරා ශාස්ත්රීය කවයන් හා ව්යාජ-වාම ප්රවනතා විසින් ප්රවර්ධනය කර ඇති මෙ වැනි අනන්යතා සංකල්ප, කම්කරු පන්තිය ජාත්යන්තර සමාජ බලවේගයක් ලෙස සලකන මාක්ස්වාදී අවබෝධයට විරුද්ධ වේ. පාලක පන්තිය විසින් පනවනු ලබන බෙදීම්වලට සවිඥානික ව එරෙහි වීමත්, කම්කරු පන්තිය තුල පවතින පසුගාමී අගතීන් ජයගැනීමත් කම්කරු ව්යාපාරයේ ඓතිහාසික කාර්යය වී තිබේ. ධනවාදයට එරෙහි පොදු අරගලයක දී ජන වාර්ගික, ආගමික සහ වෙනත් බෙදීම් ඉක්මවා කම්කරුවන් එක්සත් කිරීමට සමාජවාදීහු සටන් කරති. පෙසප යෝජනා කම්කරු පන්ති ජාත්යන්තරවාදයේ මෙම මූලික මූලධර්මයට මුලුමනින් ම සතුරු ව පිහිටා ඇත.
පෙසප “ධනේශ්වර ප්රතිසංස්කරන වැඩපිලිවෙලට” එරෙහි ව සමාජවාදය සඳහා සසප අරගලය
පෙසප උපායමාර්ගික වැඩපිලිවෙල යනු කම්කරු පන්තිය ධනේශ්වර ක්රමය තුල ම බැඳ තැබීමේ එහි පුලුල් වැඩපිලිවෙලක කොටසකි. ජාමූඅ හි කුරිරු කප්පාදු වැඩපිලිවෙලට එරෙහි ව වැටුප්, රැකියා, සේවා කොන්දේසි සහ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ මාර්ගය වන්නේ ආන්ඩුවට සහ මහා ව්යාපාරිකයන්ට බලපෑම් කර “ප්රතිසංස්කරන” ඉල්ලා විරෝධතා සංවිධානය කිරීමේ ව්යාපාරයක් ගොඩනැගීම බව මෙම පක්ෂය අවධාරනය කරයි.
වික්රමසිංහ ආන්ඩුවට විරුද්ධ ව කම්කරු අරගල වර්ධනය වෙමින් පැවති තත්ත්වය තුල, 2023 මැයි දිනයේ දී පෙසප, විපක්ෂයේ දේශපාලන පක්ෂ වෙත “ද්විත්ව බලය පිලිබඳ යෝජනාවක්” ලෙස ලේබල් ගැසූ යෝජනාවක් ඉදිරිපත් කලේය. මෙය වංචාවකි. මාක්ස්වාදය තුල ද්විත්ව බලය යන්නෙන් අදහස් වන්නේ ධනේශ්වර පක්ෂ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම නොව, ධනපති පන්ති පාලනය ට එරෙහි ව, 1917 රුසියාවේ පැන නැගුනා වූ සෝවියට් සභා වැනි කම්කරු පන්තියේ ස්වාධීන බල ආයතන සංවිධානය කර ගැනීමයි. මෙම සංවිධාන නිර්ධන පන්තිය අතට බලය අල්ලා ගැනීමේ සංවිධාන වේ.
පෙසප තමන් අන්තර් වාර යෝජනා ඉදිරිපත් කරමින් කල ඊනියා ද්විත්ව බල යෝජනාව ඉදිරිපත් කලේ කුමක් සඳහා දැයි පසු ව මෙසේ පැහැදිලි කලේ ය:
“... එය පැහැදිලි ව ම රැඩිකල් ධනේශ්වර ප්රතිසංස්කරන යෝජනාවකි. එ මගින් යෝජනා කලේ, පැවති රනිල්-රාජපක්ෂ පාලනය තව දුරටත් මෙ ලෙස පැවතීමට ඉඩ නොදී හදිසි වෙනසකට ලක් කිරීම හා ධනේශ්වර ප්රජාතන්ත්රවාදී රාමුව තුල යා හැකි උපරිම දුරකට මහජන බලය ආදේශ කරමින් එම වෙනස වෙත අවතීර්න වීමයි” (ජනතා බලයක් කරා, පි. 245; මාර්තු සම්මේලනයේ දී එලිදක්වන ලද පෙසප තවත් කෘතියකි). ධනපති පන්තියේ කනින් රිංගා ප්රතිසංස්කරන දිනා ගැනීමේ සුලු ධනපති බයාදු මෙහෙයුමක් ලෙස ඉදිරිපත්කල මෙම යෝජනාව සැබවින් ම නම් කම්කරු පන්තිය ධනපති පන්තියට ගැට ගැසීමේ යෝජනාවක් විය.
“ධනේශ්වර ප්රතිසංස්කරන” දිනා ගැනීමට යයි සජබ සහ ශ්රීලනිප සමඟ සන්ධානයක් ගොඩනැඟීමට හා ඒකාබද්ධ විරෝධතා පැවැත්වීමට පෙසප උත්සාහ කරමින් සිටි පසුබිමක මෙම යෝජනාව ඉදිරිපත් කෙරිනි. දැන්, පෙසප ජාතික ප්රශ්නය සහ ජනතා බලයක් කරා කෘති මගින් තම ධනපති ප්රතිසංස්කරන වැඩපිලිවෙල ඉදිරිපත් කර තිබේ.
යුද්ධයට, සමාජ අසමානතාවට සහ ආඥාදායකත්වයන්ට එරෙහි ව සමාජවාදී වැඩපිලිවෙලක් ඉදිරිපත් කරමින් එම ප්රහාර නතර කිරීමට මාවතක් සැපයිය හැකි එක ම බලවේගය වන කම්කරු පන්තිය දේශපාලනික ව නිරායුධ කිරීමේ මෙ බඳු මෙහෙයුම් ව්යාජ-වාම කන්ඩායම් සෑම රටක ම තීව්ර කර ඇත. වාග් හරඹයන්ගෙන් සරසා විවිධ උගුල් ඇටවීමට පෙසප ඉටු කරන දුෂ්ට භූමිකාව ද මෙහි කොටසකි. ජවිපෙ නායකත්වය දෙන තම මව් පක්ෂයේ ආන්ඩුව “ගුනාත්මක වෙනසක්” ලෙස සලකමින් එය වටා භ්රමනය වෙමින් සිටින පෙසප, කම්කරුවන් සහ තරුනයන් ධනපති හා පාර්ලිමේන්තු රාමුව තුල සිරකර තැබීමට සෑම උත්සාහයක් ම දරයි.
ධනපති පන්තියේ දැනුවත් කොටස් පෙසප මෙහෙයුමේ අර්ථභාරය වටහා ගෙන ඇත. එය ප්රකාශයට පත් ව තිබෙන්නේ ධනපති පක්ෂ සමග සාකච්ඡාවලට ඔවුන්ට දොරහැර තිබීමෙන් හා ජන මාධ්යවල පලල් කොටසක් මසුරුකමකින් තොර ව ම තම වෙබ් අඩවි හා මුද්රිත පුවත්පත් තුල පිටු හා චැනල විවෘත කරදීම තුලිනි. රැඩිකල් කන්ඩායම්, සිවිල් සංවිධාන පමනක් නොව දකුනට පදිමින් තම සේවය පුජා වට්ටියක තබා ඉදිරිපත් කල ජවිපෙ සමග ගනුදෙනු කිරීමේ අත්දැකීම් ධනපති පන්තියට තිබේ.
පෙසප හි ම දුෂ්ට දේශපාලන මෙහෙයුම ප්රතික්ෂේප කරමින් කම්කරුවන් සහ තරුනයන් හැරිය යුත්තේ වර්තමාන මාක්ස්වාදය වන ට්රොට්ස්කිවාදය මත පදනම් වූ අව්යාජ සමාජවාදී අරගලය වෙතටයි. මෙම ව්යාජ-වාම කන්ඩායමට සහ එ වැනි සංවිධානවලට විරුද්ධ ව, සසප පදනම් ව සිටින්නේ ධනේශ්වර ක්රමය පෙරලා දැමීමට නායකත්වය දිය හැකි විප්ලවවාදී බලවේගය වන ජාත්යන්තර කම්කරු පන්තිය මත ය.
පෙසප පන්ති සහයෝගීතාවාදී “මහජන සභා” නොව, සියලු ධනේශ්වර පක්ෂවලින් සහ වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව සෑම වැඩපොලක ම සහ නිවහන් ප්රදේශයක ම තමන්ගේ ම ක්රියාකාරී කමිටු ගොඩනඟන ලෙස සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. ග්රාමීය ජනතාව ද තමන්ගේ ම ක්රියාකාරී කමිටු පිහිටුවා ගෙන, ශ්රී ලංකාවේ සහ ජාත්යන්තර ව කම්කරුවන් සමඟ සම්බන්ධ විය යුතු ය. මෙම කමිටු ගොඩනැගීම සිදුවිය යුත්තේ, ආන්ඩුවෙන් හා මහා ව්යාපාරිකයන්ගෙන් සහන ඉල්ලා පීඩනය යෙදීමට නොව, කම්කරුවන්ගේ සහ ග්රාමීය ජනතාවගේ දැවෙන සමාජ අවශ්යතා සපුරාලන ඉල්ලීම් සඳහා සටන් කරන සංවිධාන ලෙසයි.
සසප පන්ති සහයෝගීතාවාදයේ සියලු ආකාරයන් ප්රතික්ෂේප කරයි. පෙසප “ජනතා ආන්ඩුවක්” සඳහා වූ කැඳවුම යනු ධනේශ්වර පක්ෂ සමඟ සන්ධානගත ආන්ඩුවක්, එනම් ධනේශ්වර ආන්ඩුවක් සඳහා වූ කැඳවුමකි. කම්කරු පන්තිය ග්රාමීය ජනතාවට නායකත්වය දෙමින් දේශපාලන බලය අත්පත් කර ගෙන සමාජවාදී ප්රතිපත්ති ක්රියාත්මක කරන කම්කරු-ගොවි ආන්ඩුවක් පිහිටුවීමේ මූලෝපාය සසප ඉදිරිපත් කරයි.
2022 ජූලි 20 දින සසප නිකුත් කල “කම්කරුවන්ගේ සහ ග්රාමීය ජනතාවගේ ප්රජාතන්ත්රවාදී සහ සමාජවාදී සම්මේලනයක්” සඳහා වූ කැඳවුම, කම්කරු පන්තියේ බලවේග ඒකාබද්ධ කිරීමටත්, ග්රාමීය ජනතාවගේ සක්රීය සහාය දිනාගැනීමටත්, සමාජවාදී පිලිවෙත් මත සමාජය ප්රතිසංවිධානය කිරීමට කැප වූ කම්කරු-ගොවි ආන්ඩුවක් හරහා තමන්ගේ ම පාලනය ස්ථාපිත කිරීමටත් අවශ්ය මූලෝපායක් සම්පාදනය කරයි. සසප යෝජනා කර ඇත්තේ, මෙම අරගලය දකුනු ආසියාව පුරා සහ ජාත්යන්තර ව සමාජවාදය සඳහා ගෙන යන පුලුල් අරගලයේ කොටසක් ලෙස දියත් විය යුතු බවයි.
කම්කරුවන් සහ තරුනයන් මෙම අරගලය දෙසට හැරී සසප සහ සමාජ සමානාත්මතාව සඳහා වූ ජාත්යන්තර තරුනයෝ හා ශිෂ්යයෝ ගොඩනැඟීමට එක් විය යුතු ය.
