බෞද්ධ සංස්ථාපිතයේ පීඩනය මධ්‍යයේ ජවිපෙ/ජාජබ ආන්ඩුව සිරගත කෙරෙන භික්ෂූන්ට සහන ප්‍රදානය කරයි

2026 ඔක්තෝබර් 8දා, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සංඝයන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන, ජනාධිපති අනුර කුමාර දිසානායක [Photo: pmd.gov.lk]

අධිකරන අමාත්‍ය හර්ෂන නානායක්කාරගේ අනුමැතිය ඇති ව, බන්ධනාගාර කොමසාරිස්වරයා, සිරගත කර සිටින භික්ෂූන් සම්බන්ධ බන්ධනාගාර ආඥා පනතට සංශෝධන දෙකක් එක් කරමින් ඔක්තෝබර් 20 දින අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කලේ ය.

බන්ධනාගාර නිලධාරීන් විසින්, සිරගත කර සිටි භික්ෂුවකගේ සිවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් බෞද්ධ සංඝ නායකයන් ඇතුලු භික්ෂූන් විරෝධය පල කල අවස්ථාවේ, ඔවුන්ට හිස නැමූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මූලිකත්වයෙන් මෙම සංශෝධන කඩිමුඩියේ සකස් කෙරුනි.

ශ්‍රී ලංකාවේ වරදකරුවන් වන සිරකරුවන් සම්බන්ධ සියලු කටයුතු බන්ධනාගාර ආඥා පනත යටතේ පාලනය වන අතර, ඔවුන්ගේ සිර ඇඳුම් තීරනය කරන්නේ බන්ධනාගාර පාලනාධිකාරියයි. ගැසට් කල එක් සංශෝධනයකට අනුව, බෞද්ධ භික්ෂුවක් සිරගත කල විට ඔහුගේ සිවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන්, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, අදාල නිකායෙන් හෝ පාර්ශ්වයෙන් විමසිය යුතු ය. දින දහයක් ඇතුලත අදාල පාර්ශ්වයෙන් තීරනයක් දැනුම් නොදුනහොත්, බන්ධනාගාර නිලධාරීන් තම නීතිරීති අනුව කටයුතු කරනු ඇත.

අනෙක් රෙගුලාසියෙන් සැලකෙන්නේ සිරගෙයින් පිටතට ගෙන යන භික්ෂු සිරකරුවන්ගේ ඇඳුම් පිලිබඳ ව ය. සිර ගත කල අවස්ථාවේ භික්ෂුව ඇඳ සිටි සිවුර ඇඳීමට එමගින් අවසර ලැබේ. කෙසේ වෙතත්, ඒ සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හරහා අදාල නිකායේ හෝ පාර්ශ්වයේ අවසරය ලබා ගත යුතු ය. එම අනුමැතිය සතියක් ඇතුලත බන්ධනාගාර බලධාරීන්ට ලබා දිය යුතු වේ.

මෙම සංශෝධන දෙක වෙනත් ආගම්වල පූජකවරුන්ටත් අදාල වන බව සඳහන් කරමින්, “ඉහත විධිවිධාන, අවශ්‍ය වෙනස්කම් සහිත ව, වෙනත් ඕනෑ ම ආගමක පූජකවරයෙකු බන්ධනාගාරයෙන් පිටතට ගෙන යාම සඳහා ද අදාල වේ” යැයි එහි දක්වා ඇත.

ඔක්තෝබර් 5දා සිරගත කල ගලගොඩඅත්තේ ඥානසාර වැලිකඩ බන්ධනාගාරයට ගෙන ආ පසු, ඔහුගේ සිවුරු ඉවත් කර බන්ධනාගාර ඇඳුම් ඇන්දවූ අවස්ථාවේ මෙම ප්‍රශ්නය ඉස්මතු විය.

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ව සිටිය දී, ඔහුගේ දේශපාලන අනුග්‍රහය යටතේ, අන්තවාදී භික්ෂූන් සහ සිංහල ස්වෝත්තමවාදී බලවේග සමඟ එක් ව බොදු බල සේනාව (බොබසේ) සංවිධානය කිරීමෙන් පසු ව, 2013 දී පමන ඥානසාර කුප්‍රකට විය. ඔහු සහ බොදු බල සේනා සංවිධානය මුස්ලිම් විරෝධී ප්‍රකෝප කිරීම් සහ ප්‍රහාර මාලාවකට සම්බන්ධ වූ අතර, ක්‍රිස්තියානි ආගමික සුලුතරයට එරෙහි ප්‍රහාරවල ද ඔවුහු නිරත වූ හ.

2018 දී අධිකරනයට අපහාස කිරීම සම්බන්ධයෙන්, ඥානසාරට වසර හයක සිර දඬුවමක් නියම කල නමුත්, 2019 දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහුට ජනාධිපති සමාවක් ලබා දුන්නේ ය. එම සමාව අභියෝගයට ලක් කෙරුනු අතර, 2026 සැප්තැම්බර් 10දා එය නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරනය තීන්දු කලේ ය. ඉන් අනතුරු ව ඔහු යලි සිරගත කිරීමට අභියාචනාධිකරනය තීරනය කලේ ය.

භික්ෂූන් කියා සිටියේ, තම සාමාජිකයකුගේ සිවුරු ඉවත් කල හැක්කේ ඔහුගේ පාර්ශ්වයේ ප්‍රධාන භික්ෂුවට පමනක් බවත්, වෙනත් අයෙකු එසේ කිරීම බුද්ධාගමට කරන අගෞරවයක් බවත් ය. එසේ කියා ගනිමින් බෞද්ධ සහ සිංහල ස්වෝත්තමවාදී කන්ඩායම්, මහනුවර සිට කොලඹ දක්වා පා ගමනක් සංවිධානය කල අතර, නිකාය හතරේ මහනායකලා, භික්ෂුවගේ සිවුරු ඉවත් කිරීමට විරුද්ධ ව ප්‍රකාශයක් නිකුත් කලහ. මෙම තත්ත්වය ගැන කලබල වූ ජනාධිපති දිසානායක එම භික්ෂූන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා සාකච්ඡා කල අතර, පවතින බන්ධනාගාර රෙගුලාසි ඔවුන්ට පැහැදිලි කලේ ය. බෞද්ධ භික්ෂූන්ගේ ඉල්ලීම්වලට පක්ෂ ව එම රෙගුලාසි වහා ම වෙනස් කරන බවට පොරොන්දු වූ ඔහු, සති දෙකක් ඇතුලත සංශෝධන හඳුන්වා දෙන ලෙස අධිකරන අමාත්‍යවරයාට සහ රාජ්‍ය නීති නිලධාරීන්ට නියෝග කලේ ය.

මෙම නව රෙගුලාසි හරහා, දිසානායක සහ ඔහුගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, බන්ධනාගාර නීති හෙමින් සීරුවේ සංශෝධනය කර, සිරගත භික්ෂූන්ට විශේෂ වරප්‍රසාද ලබා දෙමින් ඔවුන් සාමාන්‍ය නීතියට ඉහලින් තබයි.

ජනාධිපති දිසානායක හා අනෙකුත් ජවිපෙ/ජාජබ නායකයෝ, ජනවාර්ගික හා ආගමික සහජීවනය වෙනුවෙන් පෙනී සිටින බවත්, සියලු දෙනාට සමාන ව සලකන බවත් පෙන්වීමට උත්සාහ කරති. ඔක්තෝබර් 18දා බදුල්ලේ පැවති කාන්තා සමුලුවක් ඇමතූ දිසානායක, රට තුල “ආගමික හා වාර්ගික ආතතීන් යලි ඇවිලීමට” තම ආන්ඩුව ඉඩ නොදෙන බව ප්‍රකාශ කලේ ය. “නීතියේ ආධිපත්‍යය පවතින” බවටත්, අවසාන තීරනය අධිකරනය සතු බවටත්, ඔහු ගුගුලේ ය. ඔහු මෙසේ ප්‍රකාශ කලේ රැස් ව සිටි පිරිස සතුටු කිරීමට ය.

එහෙත්, ඔක්තෝබර් 20දා ඔහුගේ නියෝග යටතේ ක්‍රියා කල නිලධාරීහු, බෞද්ධ සංස්ථාපිතයට සහන සලසන රෙගුලාසි සකස් කර ගැසට් නිවේදනය නිකුත් කලහ.

බදුල්ලේ කල කතාවේ දී දිසානායක මෙසේ පැවසී ය: “අපට ජාතික සමගියක් ඇති රටක් අවශ්‍යයි. සිංහල, දෙමල සහ මුස්ලිම් දරුවන් සහයෝගයෙන් ජීවත් වන රටක් අපට අවශ්‍යයි.”

ඔහු දොඩවන පූච්චානම් කුමක් වුවත්, දිසානායක හා ඔහුගේ ආන්ඩුව සිංහල ස්වෝත්තමවාදීන්ට හා බෞද්ධ සංස්ථාපිතයට පක්ෂ ව කටයුතු කරන්නේ, දෙමල හා මුස්ලිම් ජනතාව ඇතුලු අනෙකුත් ජනවාර්ගික ප්‍රජාවන්ට වෙනස්කම් කිරීම, තව දුරටත් තහවුරු කරමිනි.

2024 මැතිවරනයට පෙර,  සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය කල ඉල්ලීමකට අනුව, දිසානායක තම නියෝජිතයෙකු වන වත්මන් විදේශ අමාත්‍ය විජිත හේරත් එහි යැවුවේ, 1948 දී නාමික නිදහස ලැබූ දා සිට දෙමල ජනතාවට වෙනස්කම් කර ඇති “ඒකීය ව්‍යවස්ථාව” හා එම ව්‍යවස්ථාවෙන් ඔහුගේ ආන්ඩුව බුද්ධාගමට  සහතික කර ඇති “ප්‍රමුඛස්ථානය” දිවි හිමියෙන් ආරක්ෂා කරන බවට සහතික වීමට ය.

2024 දී බලයට පත් වූ දා සිට, ජවිපෙ/ජාජබ ආන්ඩුව, දෙමල හා මුස්ලිම් ජනතාව ජීවත් වන ප්‍රදේශවල තම බලපෑම තහවුරු කිරීමට උත්සාහ කරන බෞද්ධ භික්ෂූන්ගේ ඉල්ලීම්වලට, යලි යලිත් ඉඩහසර ලබා දී ඇත. 2025 නොවැම්බරයේ දී, අවශ්‍ය අනුමැතිය නොමැති ව නැගෙනහිර පලාතේ ත්‍රිකුනාමලයේ ආරක්ෂිත වෙරලබඩ ඉඩමක භික්ෂූන් බුද්ධ ප්‍රතිමාවක් පිහිටුවීමෙන් පසු, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මුලින් එය ඉවත් කිරීමට නියෝග කල ද භික්ෂූන් විරෝධය පල කල විට ඔහු වහා ම එම තීරනය ආපසු හැරවී ය. යුද්ධයෙන් විනාශ වූ උතුරෙන් ද ඒ හා සමාන සිදුවීම් වාර්තා වී ඇත.

මැයි මාසයේ වෙසක් බෞද්ධ උත්සවය අතරතුර ජනාධිපති දිසානායක ප්‍රකාශ කලේ, රටේ නීති යටතේ භික්ෂූන් අත්අඩංගුවට ගැනීම හෝ අපරාධ චෝදනා එල්ල කිරීම සිදු කිරීමට පෙර, අභ්‍යන්තර සංඝාධිකරන මගින් සිවුරු ඉවත් කිරීම අනිවාර්ය කරන නීති සංශෝධන හඳුන්වා දීමට තම ආන්ඩුව කටයුතු කරන බව යි.

අත්අඩංගුවට ගත් බෞද්ධ භික්ෂූන් සිවුරු පිටින් අධිකරනයට ඉදිරිපත් නොකරන ලෙස, ප්‍රධාන බෞද්ධ භික්ෂු නායකයන් ඔහුගෙන් ඉල්ලා ලිපි යැවීමෙන් පසු ව ඔහු මෙම අදහස් පල කලේ ය. 

තම ගමන් මලුවල ව්‍යාජ පතුලවල සඟවා අබිං ප්‍රවාහනය කල බවට වූ චෝදනා යටතේ විදේශයක සිට ආපසු පැමිනි භික්ෂූන් 22 දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු එම ඉල්ලීම ඉදිරිපත් විය. බෞද්ධ සංස්ථාපිතය දැඩි අපහසුතාවකට පත් කල මෙම සිදුවීමෙන් පසු එහි අපකීර්තිය වැඩි දියුනු විය.

බෞද්ධ ආගමික විනය යටතේ, භික්ෂූන්ට එරෙහි චෝදනා මුලින් විභාග කිරීම සඳහා, ඔවුන්ගේ ම භික්ෂු අධිකරනයක් හෙවත් සංඝාධිකරනයක් තිබෙන බව දිසානායක පැවසී ය. වැරදිකරුවන් බව තීරනය වුවහොත්, එම භික්ෂු අධිකරනය මගින් ඔවුන්ගේ සිවුරු ඉවත් කරනු ඇති අතර, එවිට ඔවුන්ට සාමාන්‍ය නීතිය යටතේ නඩු පැවරිය හැකි ය.

මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති පියවර පිලිබඳ තොරතුරු නැත. කෙසේ වෙතත්, බෞද්ධ භික්ෂූන් රටේ නීතියට ඉහලින් තැබීමට ජනාධිපතිවරයා කරන  යෝජනාවෙන් පෙන්නුම් කරන්නේ, ඔහුගේ ආන්ඩුව රඳා පවතින්නේ බෞද්ධ සංස්ථාපිතය මත බවයි.

මෙය අහම්බයක් නොවේ. ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව හා එහි ආන්ඩු සිංහල-බෞද්ධ දේහය මත දැඩි ලෙස රඳා පවතින අතර, එය ශ්‍රී ලංකාවේ ධනේශ්වර පාලනය ආරක්ෂා කරන ප්‍රධාන කුලුනකි. 1948 සිට, අනුප්‍රාප්තික ආන්ඩු දෙමල- විරෝධී වර්ගවාදය ක්‍රමානුකූල ව අවුලුවද්දී, එම ව්‍යාපාරවලට නායකත්වය දීමට බෞද්ධ භික්ෂූහු ද සහාය වූහ. 1956 දී සිංහල රාජ්‍ය භාෂාව බවට පත් කෙරුනු අතර, 1972 දී බුද්ධාගමට “ප්‍රමුඛස්ථානය” ලබා දෙන ලදී. 1978 දී පිහිටුවන ලද අත්තනෝමතික ජනාධිපති ව්‍යවස්ථාවේ ප්‍රධාන කුලුනු අතරින් එකක් වන්නේ එම ප්‍රමුඛස්ථානය යි. දෙමල සුලුතරයට එරෙහි මෙම ස්වෝත්තමවාදී ප්‍රකෝප කිරීම් 1983 දී වසර 26ක යුද්ධයක් ඇවිලවීම දක්වා වර්ධනය කෙරුනි.

ජවිපෙ 1960 ගනන්වල පිහිටුවන ලද්දේ මාඕවාදය, කැස්ත්‍රෝවාදය සහ සිංහල දේශප්‍රේමය යන ඒවායේ විෂකුරු මිශ්‍රනයක් සහිත, සුලු-ධනේශ්වර රැඩිකල් ගරිල්ලා ව්‍යාපාරයක් ලෙස ය. පක්ෂයේ ප්‍රධාන ‌කොටසක් වූත් යුද්ධයට සහාය දීමේ දී පෙරමුනේ සිටියා වූත් බෞද්ධ භික්ෂු අංශයක් එය වර්ධනය කලේ ය.

තියුනු දේශපාලන හා ආර්ථික අර්බුදයක් මධ්‍යයේ, ශ්‍රී ලංකාවේ ධනවාදය ආරක්ෂා කිරීම සඳහා දිසානායක ආන්ඩුව බලයට පැමිනියේ ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පිලිවෙත් කුරිරු ලෙස ක්‍රියාත්මක කිරීම සහ තීව්‍ර වන ගෝලීය අර්බුදයේ බලපෑම හේතුවෙන් කම්කරුවන් සහ දුගී ජනතාව අතර වැඩෙන විරෝධයට එය දැන් මුහුන දී සිටී. එහි මවා පෑම් කවරක් වුවත්, බෞද්ධ සංස්ථාපිතයට දිසානායක ආන්ඩුව හිස නැමීම හා එය සමඟ ඇති සමීප සබඳතා, කම්කරුවන් හා දුගීන් මර්දනය කරමින්, ආන්ඩුවත් ධනේශ්වර පාලනයත් ආරක්ෂා කර ගැනීම සඳහා එම බලවේග වෙත හැරීමට එය යොමු කරනු ඇත. කම්කරුවන්ට හා දුගීන්ට එරෙහි ව යොදා ගැනෙන “ත්‍රස්තවාදයෙන් සහ සංවිධානාත්මක අපරාධවලින් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත” වැනි මර්දනකාරී නීති කඩිනමින් හඳුන්වා දීමට ආන්ඩුව ප්‍රයත්න දරමින් සිටියි.

කම්කරුවන් හා තරුනයන් මෙම අභියෝගයට සූදානම් විය යුතු ය. ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතිවාසිකම් ආරක්ෂා කර ගත හැකි එක ම මාර්ගය වන්නේ, ජනවාර්ගික බෙදීම් නොතකා කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලු ගැන්වීමත්, ධනේශ්වර ක්‍රමය පෙරලා දමා සමාජවාදී ආර්ථික ක්‍රමයක් මත පදනම් වූ කම්කරු හා ගොවි ආන්ඩුවක් පිහිටුවීම සඳහා ගම්බද දුගී ජනතාව ඒ වටා රැලි කර ගැනීමත් ය. එය සමාජවාදය සඳහා වන ජාත්‍යන්තර අරගලයේ කොටසක් විය යුතු ය. සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදයටත් එය ප්‍රවර්ධනය කරන ධනේශ්වර බලවේගවලටත් එරෙහි සටන දියත් කල යුත්තේ මෙම පදනම මත ය.

 

Loading