[මෙය Sri Lankan government assures IMF it will present 2027 austerity budget යන මැයෙන් 2026 ඔක්තෝබර් 16 දින ඉංග්රීසි බසින් පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
2023 මාර්තු මාසයේ දී එකඟතාවට පැමිනි, ඩොලර් බිලියන 3 ක මූල්ය ආධාර වැඩසටහනට අදාල හත්වන සමාලෝචනය සම්බන්ධයෙන්, ශ්රී ලංකා ආන්ඩුව තමන් සමග කාර්ය මන්ඩල මට්ටමේ එකඟතාවකට පැමිනි බව, ජාත්යන්තර මූල්ය අරමුදල (ජාමූඅ) ඔක්තෝබර් 5 වන දා නිවේදනය කලේ ය.
මෙම එකඟතාව ජාමූඅ හි විධායක මන්ඩලයේ අනුමැතියට යටත් වන අතර, එය කොලඹ ආන්ඩුව 2027 සඳහා ජාත්යන්තර මූල්ය අරමුදලේ වැඩසටහනට අනුකූල වන අයවැයක් ඉදිරිපත් කිරීමත්, මූල්ය සහතික පිලිබඳ සමාලෝචනයක් සම්පූර්න කිරීම සහ නය ප්රතිව්යුහගත කිරීමේ ප්රගතියත් මත රඳා පවතී.
ඊලඟ දිනයේ දී (06) මුදල් නියෝජ්ය අමාත්ය අනිල් ජයන්ත ප්රනාන්දු තහවුරු කලේ, අයවැය ජාමූඅ අවශ්යතාවලට අනුකූල වනු ඇති බවයි.
මින් අදහස් වන්නේ, 2023 වසරේ සිට ඉදිරිපත් වූ පූර්ව අයවැය ලේඛන මෙන් ම, ආන්ඩුවේ 2027 අයවැය ද, ජාත්යන්තර මූල්ය ප්රාග්ධනය නියෝජනය කරන ජාත්යන්තර ආයතනයක නියෝග මත සකස් කෙරෙමින් පවතින බවයි. ගෝලීය කොවිඩ්-19 වසංගතයත්, යුක්රේනය තුල රුසියාවට එරෙහි ව නැටෝ සංවිධානය ගෙන යන යුද්ධයත් හේතුවෙන් තව දුරටත් උග්ර වූ ආර්ථික බිඳ වැටීමක් මධ්යයේ, 2022 වසරේ දී ශ්රී ලංකා ආන්ඩුව විසින් ගෙවීම් පැහැර හරින ලද විදේශ නය ආපසු ගෙවීම සහතික කිරීම මෙහි ප්රධාන අරමුනයි.
මුදල් අමාත්යවරයා ද වන ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ලබන වසරේ අයවැය නොවැම්බර් 12 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.
ජනාධිපතිවරයා සහ ඔහුගේ අමාත්යවරුන් තම පාලන කාලය තුල “ආර්ථික ප්රකෘතියක්” සිදු වී ඇති බවට නිතර නිතර පුරසාරම් දෙඩුව ද, ආන්ඩුව පවතින්නේ ඉතා අස්ථාවර තත්වයක බව එය හොඳින් දනී. ආන්ඩුව සිටින්නේ, ඩොලර් මිලියන 345 ක වටිනාකමකින් යුත් ජාමූඅ නය වාරිකයේ හත්වැන්න ලබා ගැනීමේ දැඩි උත්සුකයක ය. මෙය ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වෙතින් තවත් ඩොලර් බිලියනයක පමන අතිරේක ආධාරයක්—වඩාත් නිවැරදි ව කිව හොත්, නය මුදලක්—ලබා ගැනීමට මග පාදනු ඇත.
ජාමූඅ විසින් නියම කරන ලද අයවැයේ, කම්කරුවන්ට සහ දුප්පතුන්ට අදාලත්වය කුමක් ද? ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව විසින් කප්පාදු ක්රියාමාර්ග තව දුරටත් තීව්ර කරනු ඇත. එ මගින්, ජීවන වියදම තව දුරටත් ඉහල දැමීම, සුබසාධන සහනාධාර කපා හැරීම සහ රාජ්ය ව්යවසායන් පෞද්ගලීකරනය කිරීම හෝ වානිජකරනය කිරීම වේගවත් කිරීම සිදුවනු ඇති අතර, රැකියා කප්පාදුව සහ සේවා කොන්දේසිවලට එරෙහි ප්රහාර තව දුරටත් උත්සන්න වනු ඇත.
ආදායම් රැස් කිරීම ඉහල නැංවීම, බදු කාර්යක්ෂමතාව වැඩි දියුනු කිරීම, බලශක්ති පිරිවැය ආවරනය වන මිලකරන ක්රමවේදය අඛන්ඩ ව පවත්වා ගෙන යාම සහ විනිමය අනුපාතය සම්බන්ධයෙන් වඩාත් නම්යශීලී ප්රතිපත්තියක් අනුගමනය කිරීම යනාදිය ජාමූඅ විසින් ඉල්ලා සිටියි.
ජාමුඅ විසින් “බදු පදනම පුලුල් කිරීම” යන්නෙන් අදහස් කරන්නේ, භාන්ඩ, සේවා සහ ආර්ථික ක්රියාකාරකම්වල පුලුල් පරාසයක් මත බදු පැනවීමයි. “බදු අනුකූලතාව ශක්තිමත් කිරීම” යන්නෙන් අදහස් වන්නේ, වඩාත් ආක්රමනශීලී ලෙස බදු අය කර ගැනීමයි. “පිරිවැය ආවරනය වන පරිදි මිල නියම කිරීම” යන්නෙන් අදහස් වන්නේ, නිෂ්පාදන හා සැපයුම් පිරිවැයේ සිදුවන ඉහල යාම් ද ඇතුලු ව, විදුලිය සහ ඉන්ධන සඳහා වන සම්පූර්න පිරිවැය පාරිභෝගිකයින් විසින් ගෙවිය යුතු වීමයි.
ජාත්යන්තර වෙලඳපොල චලනයන්ට අනුකූල ව “විනිමය අනුපාත නම්යශීලීභාවය” පවත්වා ගැනීම කෙරෙහි ජාමූඅ අවධාරනය, රුපියල අවප්රමානය වීමට ද, එමඟින් ආනයනික භාන්ඩවල මිල තව දුරටත් ඉහල යාමට ද ඉඩ සලසයි.
ඉරානයට එරෙහි එක්සත් ජනපද යුද්ධය, අනෙකුත් රටවල මෙන් ශ්රී ලංකාවේ ද, බලශක්ති සැපයුම්, ජාත්යන්තර නාවික කටයුතු සහ හෝමූස් සමුද්ර සන්ධිය හරහා වෙලඳාමට ඇති අවදානම වැඩි කර ඇත. රට ආනයනික ඉන්ධන සහ අනෙකුත් අත්යවශ්ය භාන්ඩ මත දැඩි ලෙස රඳා පවතින බැවින්, මෙම වර්ධනයන් ආනයන පිරිවැය වැඩි කරන අතර එහි බාහිර මූල්ය කටයුතු මත පීඩනය තීව්ර කරයි.
මැදපෙරදිග පවතින ගැටුම, 2022 වසරේ ඇති වූ ආර්ථික අර්බුදයෙන් පසු ශ්රී ලංකාව මුහුන දුන් වඩාත් ම අර්ථභාරී බාහිර කම්පනය ලෙස ජාමූඅ විස්තර කර තිබේ.
ජාමූඅ අනුව, 2026 පෙබරවාරි මාසයෙන් පසු ශ්රී ලංකාව ඉන්ධන මිල හතර වතාවක් ඉහල නංවා ඇති අතර, විවිධ ඉන්ධන වර්ග සඳහා සිදු කල සමස්ත මිල වැඩිවීම දල වශයෙන් සියයට 38 ත් 46 ත් අතර අගයක් ගනී. මෙම මිල වැඩිවීම් හේතුවෙන් ප්රවාහනය, ධීවර කර්මාන්තය, කෘෂිකර්මාන්තය, විදුලි උත්පාදනය සහ භාන්ඩ බෙදා හැරීම යන ක්ෂේත්රවල පිරිවැය ඉහල ගොස් තිබේ.
ජාත්යන්තර මිල ගනන් ඉහල යාම, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂ ව රුපියලේ අගය පහත වැටීමත් සමඟ තව දුරටත් උග්ර වී තිබේ.
ඉන්ධන සහ වෙනත් ආනයන පිරිවැය ඉහල යාම, දේශීය උද්ධමනය වේගවත් වීමට දායක වී තිබේ. ශ්රී ලංකා මහ බැංකුවට අනුව, කොලඹ පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලබන සමස්ත උද්ධමනය, 2026 මැයි මාසයේ දී පැවති සියයට 5.5 ක අගයේ සිට අගෝස්තු මාසය වන විට සියයට 8 දක්වා ඉහල ගිය අතර, සැප්තැම්බර් මාසයේ දී ද එම මට්ටමේ ම පැවතුනි. සැප්තැම්බර් මාසයේ දී ආහාර උද්ධමනය සියයට 8.7 ක මට්ටමකට ලඟා විය.
යුද්ධය, ශ්රී ලංකාවට ලැබෙන වැදගත් ම විදේශ විනිමය ප්රභවයන් දෙක වන සංචාරක කර්මාන්තයටත්, විදේශගත ශ්රමිකයන්ගේ ප්රේෂනවලටත් තර්ජන එල්ල කරයි.
ආන්ඩුව සහ ජාමූඅ විසින් 2026 වසරේ දෙවන කාර්තුවේ දී දල දේශීය නිෂ්පාදිතයේ (GDP) සියයට 4.2 ක වර්ධනයක් සහ කාර්තු 11 ක් පුරා පැවති අඛන්ඩ ආර්ථික ප්රසාරනයක් පෙන්වා දෙයි. එහෙත්, මෙම සංඛ්යාලේඛන, කම්කරුවන්ගේ හෝ දුප්පතුන්ගේ ජීවන තත්වයන් පිලිබඳ ව හෙලි කරන්නේ යන්තමිනි.
ශ්රී ලංකාව පිලිබඳ සිය නව ත ම යාවත්කාලීන කිරීම්වල දී, මෙරට සිදුවන “ප්රතිසාධනයේ” විසම ස්වභාවය ලෝක බැංකුව විසින් ම පිලිගනු ලබයි. දරිද්රතාව තවමත් 2019 වසරේ පැවති මට්ටමට වඩා ඉහලින් පවතින අතර, මූර්ත වැටුප් එම වසරේ පැවති මට්ටමට වඩා දල වශයෙන් සියයට 12 කින් පහල ගොස් ඇත.
ලෝක බැංකුවේ නව ත ම පුරෝකථනයට අනුව, 2019 වසරේ දී සියයට 11.5 ක් ව පැවති දරිද්රතා මට්ටම, 2026 වසරේ සියයට 15.8 ක් දක්වා ඉහල යනු ඇතැයි අපේක්ෂා කෙරේ. නිවැසියන්ගෙන් 39 ක් පමන ප්රමානවත් පෝෂනයක් නොලබන අතර, වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් තුනෙන් එකකට ආසන්න සංඛ්යාවක් මන්දපෝෂනයෙන් පෙලෙති. 2022 වසරේ සිට රාජ්ය අංශයේ වැටුප් සියයට 33 කින් පහත වැටී ඇත.
මේ අතර, තරුනයින් දැඩි රැකියා අර්බුදයකට මුහුන දී සිටිති. සැප්තැම්බර් මාසයේ දී උපුටා දක්වන ලද ජාමූඅ දත්ත වලට අනුව, ද්විතීයික අධ්යාපනයෙන් පසු, වයස අවුරුදු 15-24 අතර ශ්රී ලාංකිකයන් අතර විරැකියාව සියයට 43 කි. ඉන්දියාව සහ බංග්ලාදේශය සම්බන්ධයෙන් අනුරූප සංඛ්යාලේඛන ද ඉහල මට්ටමක පවතින අතර එය පිලිවෙලින් සියයට 42 ක් සහ සියයට 36 කි.
“මූල්ය විනය” යන තේමාව යටතේ, 2026 වසරේ පලමු මාස අට තුල ආන්ඩුව බදු ආදායම සියයට 20 කින් ඉහල නංවා, රුපියල් ට්රිලියන 3.68 ක් දක්වා වැඩි කර ගත් අතර, ඊට වැට් (VAT) බදු ආදායමේ සියයට 22 ක වැඩිවීමක් ද ඇතුලත් විය. මේ අතර, ප්රාග්ධන වියදම් කිරීම් වාර්ෂික ව ඒ සඳහා වෙන් කල මුදලට වඩා බෙහෙවින් අඩු මට්ටමක පැවති අතර, පුනරාවර්තන වියදම්වලින් විශාල කොටසක් පොලී ගෙවීම් සඳහා වැය වී ඇත.
සමාජ අවශ්යතා සපුරාලීම සඳහා වන වියදම් සීමා කරන අතරතුර ආදායම මිරිකා ගනී. “මූල්ය විනයේ” සමස්ත තර්කනය එයයි.
නය ප්රතිව්යුහගත කිරීම “බොහෝ දුරට අවසන්” වී ඇති බව ආන්ඩුව මෙන් ම ජාමූඅ ද පාරම් බායි. එහෙත්, ප්රතිව්යුහගත කිරීම මගින් සිදුවන්නේ, නය ආපසු ගෙවීමේ කොන්දේසි සහ කාලසීමාවන් වෙනස් වීම පමනි.
2028 වසරේ දී විදේශ නය ආපසු ගෙවීම් පූර්න වශයෙන් නැවත ආරම්භ වීමට නියමිත අතර, එමගින් රටේ විදේශ මූල්ය අවශ්යතා තව දුරටත් ඉහල යනු ඇත. 2026 වසරේ දී විදේශ නය සේවාකරනය සඳහා පමනක් ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක මුදලක් වැය වනු ඇතැයි රජයේ මූල්ය ලේඛන පුරෝකථනය කරයි.
2025 වසරේ නය පොලී ගෙවීම් රුපියල් බිලියන 2,950 ක් හෙවත් දල දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 8.9 ක් දක්වා ඉහල ගොස් තිබේ—එය කෘෂිකර්ම අයවැය මෙන් 13 ගුනයක් ද, සෞඛ්ය හෝ අධ්යාපන අංශ සඳහා වෙන් කර ඇති මුදල මෙන් පස් ගුනයක් පමන ද වේ.
නය ආපසු ගෙවීම, සමස්ත ජාත්යන්තර මූල්ය අරමුදල් වැඩසටහනේ කේන්ද්රීය අංගයයි. 2027 වසර වන විට ආන්ඩුව දල දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 2.3 ක ප්රාථමික අතිරික්තයක් පෙන්විය යුතු බව ජාත්යන්තර මූල්ය අරමුදල පවසයි.
ජවිපෙ/ජාජබ ආන්ඩුව මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා සූදානම් වෙමින් සිටින්නේ, රාජ්ය වියදම් සහ සමාජ සේවාවන් තව දුරටත් දැඩි ලෙස කප්පාදු කිරීම තුලිනි.
ශ්රී ලංකාවේ ප්රධාන මහා ව්යාපාරික සංසදය වන ලංකා වානිජ මන්ඩලය විසින් ඔක්තෝබර් 12 වන දින සංවිධානය කරන ලද ආර්ථික සමුලුවේ දී අදහස් දක්වමින් ජනාධිපති දිසානායක හෙලිදරව් කලේ, ජ්යෙෂ්ඨ නිලධාරීන් සමඟ නව වැඩසටහනක් පිලිබඳව ආන්ඩුව සාකච්ඡා කරමින් සිටින බවයි.
ඔහු තව දුරටත් මෙසේ පැවසී ය: “පවතින ජාමූඅ වැඩසටහන හරහා අප සැලකිය යුතු ස්ථාවරත්වයක් අත්කර ගෙන තිබෙනවා. දැන් අපට අවශ්ය වන්නේ එම ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමටයි. ... ආර්ථික වර්ධනය ඉලක්ක කරගත් නව එකඟතාවක් වෙත යා හැකි නම් එය හොඳ තත්වයක් වනු ඇත.” “ගෝලීය තත්වයන්ගේ අවිනිශ්චිත ස්වභාවය” පිලිබඳ ව සඳහන් කල ඔහු, වාර්ෂික ඉන්ධන බිල ඩොලර් බිලියන 4 සිට ඩොලර් බිලියන 6 දක්වා ඉහල යනු ඇතැයි අපේක්ෂා කරන බව පෙන්වා දුන්නේ ය.
පාර්ලිමේන්තු විපක්ෂයේ ප්රතිචාරය මගින් හෙලිදරව් කෙරෙන්නේ සමස්ත ධනපති ක්රමයේ ම දේශපාලන බංකොලොත්භාවයයි. සමගි ජන බලවේගයේ (සජබ) නායක සජිත් ප්රේමදාස, පවතින ආකෘතිය ප්රතික්ෂේප කරනවා වෙනුවට, නව ජාමූඅ වැඩපිලිවලක් ක්රියාත්මක කරන ලෙස දැනටමත් ඉල්ලා තිබේ.
සමාජවාදී සමානතා පක්ෂය (සසප) මෑත දී පැවැත්වූ සිව්වන සම්මේලනයේ දී මේ පිලිබඳ අවශ්ය නිගමනවලට එලඹිනි. එය, ආන්ඩුවේ සමාජ ප්රතිවිප්ලවය බලාත්මක කිරීමට උපකාරී වන ධනේශ්වර පක්ෂවල සහ වෘත්තීය සමිති නිලධරයේ බලපෑමෙන් නිදහස් ව, තම තමන්ගේ සේවා ස්ථාන තුල ක්රියාකාරී කමිටු පිහිටුවීම හරහා කප්පාදුවට එරෙහි ව කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලු ගන්වන ලෙස ඉල්ලා සිටියේ ය.
ශ්රී ලංකාවේ ජාමූඅ කප්පාදුවට එරෙහි සටන, කප්පාදුවට, යුද්ධයට, පුද්ගලීකරනයට සහ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම්වලට එල්ල කරන ප්රහාරවලට එරෙහි ජාත්යන්තර කම්කරුවන්ගේ අරගල සමඟ සම්බන්ධ කල යුතු ය. විදේශ නය ආපසු ගෙවීම් ප්රතික්ෂේප කිරීම මෙම අරගලවල ප්රධාන යතුර වේ.
කම්කරු ක්රියාකාරී කමිටුවල ජාත්යන්තර සන්ධානය හරහා තම ක්රියාකාරී කමිටු සම්බන්ධීකරනය කරන ලෙසත්, එය ගෝලීය ප්රති-ප්රහාරයක සම්බන්ධීකරන මධ්යස්ථානය බවට පත්කර ගන්නා ලෙසත්, සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.
මෙම අරගලය මගින් මතු කෙරෙන්නේ, කම්කරු-ගොවි ආන්ඩුවක අවශ්යතාවයයි; එනම්, දේශපාලන බලය අත්පත් කරගෙන, ජාත්යන්තර මූල්ය ප්රාග්ධනයේ ඉල්ලීම් වෙනුවට, සමාජ අවශ්යතා සපුරාලීම සඳහා ආර්ථිකය ප්රතිසංවිධානය කිරීමට සමත් ආන්ඩුවක අවශ්යතාවයි.
“ජවිපෙ/ජාජබ පාලනයේ දෙ වසරක්: මහා ව්යාපාරිකයන්ගේ සහ ජාමූඅ කප්පාදුවේ පාලනයක්” යන මැයෙන් නොවැම්බර් 10 වන දින පැවැත්වෙන සසප රැස්වීමට සහභාගී වන ලෙස අපි කම්කරුවන්ගෙන් සහ තරුන තරුනියන්ගෙන් ඉල්ලා සිටිමු; කප්පාදු ක්රියාමාර්ගවලට එරෙහි ව සටන් කිරීම සඳහා අවශ්ය දේශපාලන උපායමාර්ගය පිලිබඳව එහි දී සාකච්ඡා කෙරෙනු ඇත.
