දිලිඳු ජනයා සඳහා ලබා දෙන සීමිත සුභසාධන වැඩසටහනක් වන අස්වැසුම හි ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) / ජාතික ජන බලවේග (ජාජබ) ආන්ඩුව යටතේ දැවැන්ත ලෙස කප්පාදු කර තිබේ.
සැප්තැම්බර් 11දා, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල වාර්තාවකට අනුව, 2023 වසරේ දී අස්වැසුම වැඩසටහන ආරම්භ කරන විට සිටි 1,773,445 ප්‍රතිලාභීන් සංඛ්‍යාව, 2026 අගෝස්තු වන විට එය 521,923කින් අඩු වී 1,251,522ක් බවට පත් ව තිබේ. 2025 වසරේ සිටි ප්‍රතිලාභීන්ගේ ඉහල ම අගය වන 2,439,917 සමඟ සැසඳීමේ දී, මෙම සංඛ්‍යාව නියෝජන කරන්නේ ප්‍රතිලාභීන් සංඛ්‍යාව සියයට 48.7කින් කප්පාදු කර ඇති ආකාරයයි.
දිලිඳු ජනයා සඳහා යැයි නම් කරමින් පූර්වයෙන් පැවැති සීමිත සමෘද්ධි සහනාධාරය අහෝසි කරමින් 2023දී රනිල් වික්‍රමසිංහ ආන්ඩුව විසින් ගෙන ආ “අස්වැසුම වැඩසටහන”, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයිඑම්එෆ්) සමග අත්සන් කල නය ගිවිසුමේ කොටසක් වූ අතර, රාජ්‍ය වියදම් සීමා කිරීම, සුබසාධන වියදම් ඉලක්කගත කිරීම සහ අයවැය හිඟය අඩු කිරීම වැනි එහි කොන්දේසිවලට යටත් වූවකි.
මැතිවරනයට පෙරාතුව අයිඑම්එෆ් වැඩපිලිවෙල යලි සාකච්ඡා කරන බවට දුන් පොරොන්දු ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආන්ඩුව බලයට පත් ව එක රැයින් පසෙකට විසි කර, වික්‍රමසිංහ යටතේ ගෙන ගිය එම වැඩපිලිවෙල වඩාත් රුදුරු ම ආකාරයෙන් ඉදිරියට ගෙන ගියේ ය. ආන්ඩුවේ පලමු වසර දෙකේ වාර්තාව සමන්විත වන්නේ මෙම ප්රහාරවලිනි.
අස්වැසුම වැඩපිලිවෙල ආරම්භයේ දී ප්‍රතිලාභීන් “අන්ත දුප්පත්”, “දුප්පත්”, “අවදානමට ලක් වූ” සහ “සංක්‍රාන්තික” යන කාන්ඩ හතරකට බෙදා තිබුනි. ජවිපෙ/ජාජබ ආන්ඩුව 2025 අප්‍රේල් 30 දා “සංක්‍රාන්තික” කාන්ඩයේ සහනාධාර අවසන් කලේ ය. එම කාන්ඩය සඳහා රුපියල් 5000 ක් හිමි වූ අතර ප්රතිලාභ ලැබූ පිරිස 188, 694 කි. “අවදානමට ලක් වූ” කාන්ඩයේ සහනාධාර 2025 දෙසැම්බර් 31 දා අවසන් කිරීමට මුලින් සැලසුම් කර තිබුන ද දිට්වා සුලිකුනාටුවේ බලපෑම හේතුවෙන් එම කප්පාදුව 2026 ජූනි දක්වා දීර්ඝ කලේ ය. ජුනි මාසයෙන් පසු එම කාන්ඩයේ ගෙවීම් ද නතර කර ඇත.
“අන්ත දුප්පත්” කාන්ඩයේ පවුලකට මාසකට රුපියල් 17,500 ක් හා “දුප්පත්” කාන්ඩයේ පවුලකට 10,000ක් ද නියම කර තිබේ. පවුලේ සාමාජිකයන් සංඛ්‍යාව 2 ක් හෝ ඊට අඩු නම් හිමි වන්නේ එම මුදලින් භාගයකි. මේ වන විට ප්රතිලාභ හිමි වන්නේ මෙම කාන්ඩ දෙක යටතේ පමනි. ආන්ඩුවේ සංඛ්‍යා ලේඛන සඳහන් කරන්නේ, මෙම සංඛ්‍යාව පවුල් මිලියනයක් පමන වන බවයි.
මෙම කප්පාදුව සිදුවන්නේ ලෝක බැංකුවේ නව ත ම තක්සේරු කිරීම්වලට අනුව රටේ ජනගහනයෙන් සියයට 15.8 ක් (3,437,448 ක්) දරිද්‍රතාවයේ පසුවන හා තවත් සියයට 10 ක් ඊට ආසන්නයේ පසුවන තත්වයක් තුලයි. දිනකට ඇමරිකානු ඩොලර් 4.2 ට පහල ආදායමක් (රුපියල් 1400 පමන) දරිද්‍රතා රේඛාව ලෙස සඳහන් වේ. 2026 වසරේ ජනවාරි මාසයේ ලංකාවේ පැවති සමස්ත උද්ධමනය සියයට 2.3 හා ආහාර උද්ධමනය සියයට 3.3 ක් වූ අතර එය ඔක්තෝබර් මාසය වන විට පිලිවෙලින් 8.3 ක් හා 8.8 දක්වා ඉහල නැග තිබේ.
අස්වැසුම ප්‍රතිලාභීන්ගේ කප්පාදුව අයිඑම්එෆ් සමඟ ඇති එකඟතාවේ කොටසක් බව ආන්ඩුවේ ම නියෝජ්‍ය අමාත්‍යවරයෙකු පිලිගෙන තිබේ. 2026 ජූලි 1 දා ද මෝනිං පුවත්පතේ පල වූ වාර්තාවකට අනුව, සමාජ ආරක්ෂන හා සවිබලගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස පැවසුවේ අස්වැසුමෙන් ඉවත් වීමට නියමිත පවුල්වලට සහනාධාර ලබා දීම තව දුරටත් දීර්ඝ කල නොහැකි බවයි. කෙසේ වෙතත්, ඉන් මාස දෙකකට පසු ව (සැප්තැම්බර් 29), පියතිස්ස මෝනිං පුවත්පතට කීවේ, එලැඹෙන වසර තුල ඔවුන් ඉවත් නොකරන නමුත් “ඔවුන්ගේ ආදායම් තත්වය වැඩිදියුනු කිරීම සමග පමනක්” එය සිදු කල හැකි බවයි. “අපි මේ පිලිබඳ ව සමාලෝචනයක් සිදු කරමින් සිටිනවා,” යැයි පියතිස්ස පැවසී ය. මෙම ප්‍රකාශයේ අරමුන පුපුරා යා හැකි මහජන වෛරය තාවකාලික ව යටපත් කිරීම මිස අනෙකක් නෙවේ.
2026 මාර්තු මාසයේ ප්‍රකාශයට පත් කල අයිඑම්එෆ් පස් වන සහ හය වන සමාලෝචන වාර්තාවලට අනුව, ශ්‍රී ලංකාව 2026 වසරේ සමාජ ආරක්ෂන වියදම් සඳහා රුපියල් බිලියන 238ක අවම වියදම් ඉලක්කයකට එකඟ වී තිබේ. එය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.7කි. එම වාර්තාව අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සුදුසුකම් නැවත සමාලෝචනය කිරීම පිලිබඳ ව අවධාරනය කරයි. ඒ අනුව, සුදුසුකම් නොලබන බව තීරනය කෙරෙන පැරනි ප්‍රතිලාභීන් 2026 අවසානය වන විට වැඩසටහනෙන් ඉවත් කිරීමට ද ආන්ඩුව එකඟ වී තිබේ.
අයිඑම්එෆ් නියෝග පරිදි ආන්ඩුව මෙම කප්පාදුව යුක්ති සහගත කරන්නේ අස්වැසුම ප්රතිලාභ “සැබෑ ලෙස ම සුදුසුකම් ලබන පිරිසට” පමනක් ලබා දීම යන කඩතුරාව යටතේ ය. ප්‍රතිලාභීන් තෝරා ගැනීම ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද බහුමාන ලකුනු ලබා දීමේ ක්‍රමවේදයක් අනුව සිදු කරන බව සුබසාධක ප්රතිලාභ මන්ඩලය (සුප්රම) ප්‍රකාශ කර තිබේ. එහි ඇත්ත අරමුන වන්නේ දහස් ගනනක් වැඩසටහනෙන් ඉවත් කර දැමීම යි. “සැබෑ සුදුස්සන්” තෝරා ගැනීම යටතේ ප්රතිලාභ ලැබීමට අලුතින් සුදුසුකම් ලැබ ඇත්තේ සුලු පිරිසකි. ජූනි 26දා දිවයින පුවත්පතට අනුව, අස්වැසුම අහිමි කර ඇති පිරිස් අතර දිට්වා අපදාවට ලක් වූ හා අවධානමට ලක් වූ කාන්ඩ අතර ප්‍රතිලාභීන්ද වූ බව සඳහන් කරයි. ඊනියා “සුදුස්සන් තේරීමේ” ක්‍රමවේදය ගැන අදහසක් එයින් ලබා දෙයි. අස්වැසුම ප්‍රතිලාභී කාන්ඩ හතරෙන් ම පුද්ගලයන් 954,885 දෙනෙකු ඉවත් කර ඇති බව සුප්රම මේ මස මුල ප්‍රකාශ කලේ ය.
අස්වැසුමේ ප්‍රතිලාභි කප්පාදුව, ආන්ඩුව ක්‍රියාවට දමන පලල් ප්රහාරයක කොටසකි. 2028 වසරේ දී විදේශ නය ආපසු ගෙවීම ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා 2027 වසර වන විට දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) 2.3 ක ප්‍රාථමික අතිරික්තියක් පෙන්විය යුතු බව අයිඑම්එෆ් පවසයි.
මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහා ජවිපෙ/ජාජබ ආන්ඩුව අධ්‍යාපනය සෞඛ්‍ය ඇතුලු රාජ්‍ය වියදම් කප්පාදුව ඉහල දමා තිබේ. මෙවර අයවැය තුලින් අධ්‍යාපන වියදම් දදේනි ප්‍රතිශතයක් ලෙස 1.94 දක්වා කප්පාදු කර තිබේ.
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම ඉදිරියට ගෙන යන අතර, වැඩකරන ජනතාවගේ සැබෑ වැටුප් සහ ජීවන තත්ත්වය තව දුරටත් පිරිහෙමින් පවතී. බහුතරයක් රාජ්‍ය ආයතන අත්‍යවශ්‍ය කාර්ය මන්ඩල හිඟයෙන් දැඩි ලෙස ප්‍රහාරයට ලක් වී තිබුන ද ආන්ඩුවේ පිලිවෙත වන්නේ රාජ්‍ය අංශයේ රැකියා මිලියන භාගයකින් කප්පාදු කිරීමයි.
කම්කරු පන්තිය, ගම්බද දුගීන් හා තරුන ජනයා මත බදු බර පැටවීම, අධ්‍යාපන සෞඛ්‍ය ඇතුලු සුභසාධන වියදම් කප්පාදු ඉදිරියට ගෙන යමින් තිබිය දී ජවිපෙ/ජාජබ ආන්ඩුව යටතේ ලංකාවේ ඉහල පෙලේ සමාගම් හා බැංකු රුපියල් බිලයන ගනන් ශුද්ධ ලාභ උපයා ගෙන තිබේ. පසුගිය 12දා ප්‍රකාශයට පත් කල 2027 අය-වැය මෙම සමාජ අසමානතාවය තවත් වර්ධනය කරන අයිඑම්එෆ් නියෝග මත සැකසුවකි.
ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට පැමිනියේ දුප්පත්කම තුරන් කිරීම සහ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවන බවට බොරු පොරොන්දු රාශියක් සමගිනි. ඒවායේ අරමුන වූයේ බලය ඩැහැ ගැනීමට මහජනයා රැවටීම පමනක් බව මෙම ප්‍රහාර පෙන්නුම් කරයි. පීඩිත දිලිඳු ජනයාට තම අයිතීන් දිනා ගත හැකි වන්නේ, ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහි ව සටනට අවතීර්න වෙමින් සිටින කම්කරු පන්තිය හා තරුන ජනයා සමග ඒකාබද්ධ ව කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන වැඩපිලිවෙලක් සඳහා සටන් වැදීමෙන් පමනි.
