ඉදිරිදර්ශන

ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයේ 82 වන සංවත්සරය පිලිබඳව

[මෙය On the 82nd anniversary of the assassination of Leon Trotsky මැයෙන් 2022 අගෝස්තු 19 පල වූ ඉදිරිදර්ශනයේ පරිවර්තනයයි.]

අදට වසර අසූ දෙකකට පෙර දිනෙක, 1940 අගෝස්තු 20 වන දින, දේශපාලන පිටුවහලෙකු ලෙස සිය ජීවිතයේ අවසාන තෙ වසර ගත කල ලියොන් ට්‍රොට්ස්කි, මෙක්සිකෝවේ කොයෝවාකාන්හි සිය නිවාසයේ දී ස්ටැලින්වාදී ජීපීයූ රහස් පොලිසියේ ඒජන්තයෙකු විසින් ඝාතනය කරනු ලැබී ය. ඝාතක රේමන් මර්කේඩර් විසින් සිදු කරන ලද තුවාලවලින් ට්‍රොට්ස්කි ඊලඟ දිනයේ මරනයට පත් විය.

මෙම සංවත්සරය, විධිගත චාරිත්‍රයක් ලෙස ඓතිහාසික සිද්ධීන් අනුස්මරනය කිරීමේ දී ඒවාට සුවිශේෂී වැදගත්කමක් ලබා දෙන වසර පහෙන් පහට හෝ දහයෙන් දහයට උදා වන අනුස්මරන අවස්ථාවක් නොවේ. කෙසේ වෙතත්, ට්‍රොට්ස්කිගේ මරනය සැමරීමෙහි ලා සංකේතාත්මක සාධාරනීකරනයක් අවශ්‍ය නොවේ. ට්‍රොට්ස්කිගේ මරනයෙහි 82 වන සංවත්සරයේ වැදගත්කම ගලා එන්නේ, මාක්ස්වාදී න්‍යායාචාර්යවරයෙකු, මූලෝපායඥයෙකු හා ලෝක සමාජවාදී විප්ලවයේ නායකයා ලෙස ඔහුගේ ජීවිතයෙහි වූ අදාලත්වයෙනි.

ලියොන් ට්‍රොට්ස්කි (1879-1940)

1940 අගෝස්තුවේ පැවැති දේශපාලන කොන්දේසි අද දවසේ පවත්නා තතු සමඟ අසාමාන්‍ය මට්ටමකින් සම වෙයි. සිය ජීවිතයේ අවසාන වසරේ ට්‍රොට්ස්කිගේ කටයුතු ඒකාග්‍ර කෙරුනේ 2 වන ලෝක යුද්ධයේ පැතිර යාම සහ, ජාත්‍යන්තර කම්කරු පන්තියත්, ලෝක සමාජවාදී ව්‍යාපාරයත්, මානව වර්ගයේ ඉරනමත් කෙරෙහි එහි ගම්‍යමානයන් පිලිබඳව ය. සිය යුගයේ වඩාත්ම යථාර්ථ නිරූපිත දේශපාලන චින්තකයා වූ ට්‍රොට්ස්කි, ලෝක තත්ත්වය ප්‍රීතිමත් රෝස පැහැයෙන් වර්න ගැන්වීමට යොමු වූයේ නැත. කම්කරු පන්තිය මත කඩා පාත්වී තිබූ දැවැන්ත ව්‍යසනය, සෝවියට් සංගමයේ බලය ඉසිලූ ස්ටැලින්වාදී නිලධරය විසින් ඔක්තෝබර් විප්ලවය පාවා දෙනු ලැබීමේ හා ධනේශ්වරයට පක්ෂපාතී සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ නායකත්වයෙන් යුත් කම්කරු සංවිධානවල කොන්ද පන නැති කමේ ප්‍රතිවිපාකයක් ‍යැයි සඳහන් කරමින් ඔහු සාහසික අවංක භාවයකින් යුතු ව ඊට මුහුන දුන්නේ ය.

සෝවියට් සංගමයේ හා සමස්ත යුරෝපයේ ඉරනම තුල යුක්‍රේනයට හිමි ස්ථානය සම්බන්ධයෙන් ට්‍රොට්ස්කි අප්‍රමාන අවධානයක් යෙදවූයේය යන්න හුදෙක් ඔහුගේ විස්මයජනක දූරදර්ශීභාවයේ පමනක් නො ව, 1940 පැවැති හා අද දින පවතින කොන්දේසි අතර සාම්‍යයේ ද මිනුමක් වේ. දෙවැනි ලෝක යුද්ධය ඇවිලී යාමට යන්තම් මාස හතරකට පෙර ට්‍රොට්ස්කි මෙසේ අනතුරු හැඟවීය:

යුක්‍රේන ප්‍රශ්නය ආසන්න අනාගතයේ දී යුරෝපයේ ජීවිතයෙහි දැවැන්ත කාර්යභාරයක් ඉටු කිරීමට නියමිතය. හිට්ලර් ඒ සා ඝෝෂාකාරී ලෙස “වඩාත් ශ්‍රේෂ්ඨ යුක්‍රේනයක්” නිර්මානය කිරීම සම්බන්ධ ප්‍රශ්නය මතු කලේ නිකම්ම නොවේ. එමෙන්ම ඒ සා ගුප්ත සැහැල්ලුවකින් ඔහු මෙම ප්‍රශ්නය අතහැර දැම්මේ ද නිකම්ම නොවේ.'[1]

යුක්‍රේන ජනයා ජාතික ස්වයංනිර්නය අයිතිය සඳහා දරන බලවත් පරිශ්‍රමයේ නීත්‍යානුකූලභාවය ට්‍රොට්ස්කි පිලිගත්තේය. 1922 දී, තවමත් ලෙනින් හා ට්‍රොට්ස්කි ප්‍රමුඛයන් ලෙස සිටිය දී, බෝල්ෂෙවික් ආන්ඩුව එක්සත් සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමය පිහිටුවීමේ දී සංගමයේ ස්වේච්ඡා ස්වභාවය පිලිබඳව අවධාරනය කෙරුනු අතර, සංගමයේ යුක්‍රේන සංරචකය මහ රුසියානු ජාත්‍යෝන්මාදවාදයේ පීඩනයට යටත් කිරීමට වූ සියලු ප්‍රවනතාවලට විරුද්ධත්වය දැක්වින. 1922 දෙසැම්බර් 30 වන දින සංගමය ප්‍රකාශයට පත් කිරීමේ නිවේදනය හා සංගම් ගිවිසුම එක්සත් සෝවියට් සමාජවාදී සමූහාන්ඩුව අර්ථ කථනය කලේ, එහි ගොඩ නැඟීම “සියලු රටවල කම්කරුවන් ලෝක සමාජවාදී සෝවියට් සමූහාන්ඩුවක් තුල එක්සත් කිරීමේ දිශාවට තැබූ ඒකාන්ත පියවරක්” බවට සනාථ වීමට නියමිත, “සමාන ජනයාගේ ස්වේච්ඡා සංගමයක්” ලෙසයි. [2]

1930 ගනන්වල පසුභාගය වන විට, වසර පහලොවක් පුරා උත්සන්න වූ සමාජවාදී ජාත්‍යන්තරවාදය උල්ලංඝනය කිරීම්, නිලධාරිවාදී භීෂනය හා හිතුමතයේ ක්‍රියාකිරීම විසින් සෝවියට් සංගමය කෙරේ යුක්‍රේන මහජනයා තුල ගැඹුරු සතුරුකමක් ජනනය කරනු ලැබ තුබූ අතර, වඩාත්ම ප්‍රතිගාමී දේශපාලන ප්‍රවනතාවල පුනරුත්ථානය සඳහා අනුග්‍රාහකත්වයක් නිර්මානය කර තිබින. ට්‍රොට්ස්කි මෙසේ ලිවීය:

බටහිර යුක්‍රේන මහජනයා තුල ක්‍රෙම්ලිනය කෙරේ ඉහත පැවැති විශ්වාසය හා සහායයෙහි අංශුමාත්‍රයක් හෝ දැන් ඉතිරි ව නැත. යුක්‍රේනයේ සිදු වූ නවතම මිනීමරු “විමෝචනයෙන්” පසුව බටහිර කිසිවෙක් යුක්‍රේන සෝවියටය යන නම තවමත් දරා සිටින ක්‍රෙම්ලිනයේ ප්‍රාදේශීය ආන්ඩුවේ කොටස්කරුවෝ වීමට නොකැමැත්තාහ. බටහිර යුක්‍රේනයේ, බුකොවීනාහි, කාර්පතෝ-යුක්‍රේනයේ වෙසෙන කම්කරු හා ගොවි ජනයා වියවුල් සහගත තත්ත්වයක සිටිති: කොයි අතට හැරිය යුතු ද? කුමක් ඉල්ලා සිටිය යුතු ද? මිත්‍යා කල්පිත නිදහසක් පිලිබඳ ප්‍රතිඥාවක හිලව්වට යුක්‍රේන ජනයා එක් අධිරාජ්‍යවාදයක් හෝ අනෙකට විකුනා දැමීමට මං සෙවීම මඟින් සිය “ජාතිකවාදය” ප්‍රකාශයට පත් කරන වඩාත්ම ප්‍රතිගාමී යුක්‍රේන කල්ලි කරා මෙම තතු විසින් ස්වභාවිකව ම නායකත්වය මාරු කෙරෙනු ඇත. හිට්ලර් යුක්‍රේන ප්‍රශ්නය පිලිබඳ තම පිලිවෙත පදනම් කරන්නේ මේ ඛේදජනක වියවුල මත ය. එක් කලෙක අපි මෙසේ කීවෙමු: ස්ටැලින් නොවන්නට (එනම්, ජර්මනිය තුල කොමින්ටර්නය අනුගමනය කල මරනීය පිලිවෙත නොවන්නට) හිට්ලර් කෙනෙකු ඇති නොවනු ඇත. මෙයට පහත දැක්වෙන එකතු කිරීම කල හැකිය: සෝවියට් යුක්‍රේනය ස්ටැලින්වාදී නිලධරය විසින් කෙලෙසනු නොලබන්නට හිට්ලර්වාදී යුක්‍රේන පිලිවෙතක් ඇති නොවනු ඇත. [3]

කාලයේ ගමන් මඟ ගනන් ගනිමින් හා වෙනස් විය යුතු දේ වෙනස් කරමින් සැලැකිල්ලට ගත් කල, ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනය වර්තමාන යුද්ධය පිලිබඳ වටහා ගැනීමේ දී අත්හල නොහැකි ඓතිහාසික පදනමක් ලෙස තවමත් පවතියි. සෝවියට් සංගමය විසුරුවා හැරීම හා රුසියාව තුල ධනේශ්වර තන්ත්‍රයක් නිර්මානය කිරීම මඟින් බටහිර යුක්‍රේනයේ ජනයා එයට ආකර්ෂනය කර ගත හැකි නොවේ. ධනේශ්වර ක්‍රමය ප්‍රතිස්ථාපනය කිරීම විසින් නිර්මිත දිරිසුන් වාතාවරනය තුල යුක්‍රේනයේ දේශපාලන තත්ත්වය, ට්‍රොට්ස්කිගේ වචනවලින් කිවහොත්, “මිත්‍යා කල්පිත නිදහසක් පිලිබඳ ප්‍රතිඥාවක හිලව්වට යුක්‍රේන ජනයා එක් අධිරාජ්‍යවාදයක් හෝ අනෙකට විකුනා දැමීමට මං සෙවීම මඟින් සිය “ජාතිකවාදය” ප්‍රකාශයට පත් කරන වඩාත්ම ප්‍රතිගාමී යුක්‍රේන කල්ලි (එනම්, පොරොෂෙන්කෝ, සෙලෙන්ස්කි සහ නව නාසිවාදී මිලීෂියාවන්) කරා ස්වභාවිකව ම නායකත්වය මාරු කෙරෙනු ඇත.” තව ද, එක්සත් ජනපදය හා එහි නැටෝ අනුචරයන් සිය යුක්‍රේන පිලිවෙත් වර්ධනය කරන්නේ පුටින්ගේ බංකොලොත් හා ප්‍රතිගාමී පිලිවෙත්වල පදනම මතය.

ට්‍රොට්ස්කි ස්වාධීන සමාජවාදී යුක්‍රේනයකට පක්ෂව පෙනී සිටියේය. යුක්‍රේනයට කවර හෝ දේශපාලනිකව ප්‍රගතිශීලී අර්ථයකින් නිදහස ලබා ගැනීමට ධනේශ්වර පදනමක් මත හැකිය යන කියාපෑම ඔහු අවඥාවෙන් යුතුව බැහැර කලේ ය.

යුක්‍රේනය, ජාතික විමුක්තිය සඳහා අරගලයේ ව්‍යාජ මංපෙත්වලින් විශේෂයෙන්ම බහුල හා ඒ සම්බන්ධ අත්දැකීම් ලත් රටකි. සෑම දෙයම මෙහි දී අත්හදා බලා ඇත: සුලු ධනපති රාඩාව, සහ ස්කොරපැඩ්ස්කි, සහ පෙට්රුලා, සහ හොයෙන්සොලර්න් සමඟ “සන්ධානය', සහ ගිවිසුම්වල විවිධ සංයෝජන. මේ සියලු පරීක්ෂනවලින් පසුව, විමුක්තිය සඳහා වන ජාතික අරගලයේ නායකයා ලෙස යුක්‍රේන ධනේශ්වරයේ භින්න කොටස්වලින් එකක් මත බලාපොරොත්තු තැබිය හැක්කේ දේශපාලන මෘත කලේබරවලට පමනෙකි. එහි සාරයෙන්ම විප්ලවවාදී වන්නා වූ මෙකී කර්තව්‍යය විසඳීමේ පමනක් නොව, එය විසඳීම සඳහා ආරම්භකත්වයක් ගැනීමේ ධාරිතාවය ද ඇත්තේ යුක්‍රේන නිර්ධන පන්තියට පමනෙකි. තමන් වටා ගොවි ජනයා හා සැබෑ විප්ලවවාදී ජාතික බුද්ධිමතුන් එක්‍ රැස් කර ගත හැක්කේ නිර්ධන පන්තියට ය; නිර්ධන පන්තියට පමනක් ම ය. [4]

අද දිනයේ යුක්‍රේනයේ අධිරාජ්‍යවාදීන් බලල් අත් යොදා ගෙන යනු ලබන යුද්ධය සාධාරනීකරනය කෙරෙන්නේ වඩාත්ම පහත් ආකාරයේ ප්‍රචාරයන්ගෙනි. ඉතිහාසය නොදත්, ධනේශ්වර මාධ්‍ය විසින් කුලියට ගෙන සිටින මාධ්‍යවේදීන් ක්‍රියා කරන්නේ තම ජාතික ඔත්තු සේවා ඒජන්සිවල රාජ්‍ය සේවයේ යෙදෙන අනුපිටපත් කරන්නන් ලෙස ය. ශාස්ත්‍රාලිකයන්ගේ අති බහුතරය, යුක්‍රේනයේ හා රුසියාවේ ඉතිහාසය හැදෑරූවෝ පවා, යුදවාදී හිස්ටීරියාව සමඟ එකට පෙල ගැසී සිටිති. මෙකී කයිවාරුකාර බුද්ධිජීවීහු තම චින්තනයේ හා විචාරාත්මක විනිශ්චයේ ස්වාධීනත්වය ප්‍රදර්ශනය කිරීමට අසමත් වෙති. යුක්‍රේනයේ අධිරාජ්‍යවාදී මෙහෙයුම් පමනක් නොව චීනයට එරෙහි යුද්ධය සඳහා එහි සූදානම පිලිබඳව ද නොමඟ යවන සුලු හා කුහක සාධාරනීකරනයන් ඉදිරිපත් කරන, තමන් සමාජවාදීන් හා මාක්ස්වාදීන් ලෙස පවා පෙනී සිටින ව්‍යාජ වාම සංවිධානවල ලැගුම් ගෙන සිටින්නන්ගේ මීට වඩා ඇති හොඳක් නොමැති අතර, බොහෝ විට ඔවුන්ගේ තතු ඊට ද වඩා නරක ය.

ට්‍රොට්ස්කි තමා විසූ කාලයේ, දේශපාලන ප්‍රතිගාමිත්වය ඉදිරියේ දන ගැසූ දිරිසුන් හා වංක මධ්‍යම පන්තික බුද්ධිමතුන් කෙරේ සිය පිලිකුල පල කිරීමෙන් කිසිසේත් වැලකී සිටියේ නැත. ඔහුගේ දේශපාලන අනම්‍යතාවය මුල් බැස තිබුනේ ඓතිහාසික ක්‍රියාවලීන් පිලිබඳ ප්‍රගාඪ ග්‍රහනය තුල සහ කම්කරු පන්තියේ විප්ලවවාදී විභවය පිලිබඳ විශ්වාසය තුලය. “ලෝක ප්‍රතිගාමීත්වය මේ දිනවල දී අවිවාදයෙන්ම අති භයංකර පරිමානයන් අත්පත් කර ගෙන ඇතැ'යි දෙ වන ලෝක යුද්ධය අද්දර දී ඔහු ලිවී ය. “එහෙත් එමඟින් එය දැවැන්ත ම විප්ලවවාදී අර්බුදයට පස සකස් කොට ඇත.”

මෙම වචන අපේ ම කාලයේ දී ප්‍රතිරාව නැංවේ. පසුගිය ශත වර්ෂයේ ඉතිහාසයෙහි දැවැන්තයෙකු වූ ට්‍රොට්ස්කි, සිය ඝාතනයෙන් වසර අසූ දෙකකට පසුව ද, තවමත් 21 වන සියවසේ විප්ලවවාදී අරගල තුල අප්‍රමාන බුද්ධිමතෙක් හා දේශපාලන රූපාකාරයක් ව හිඳී.

***

[1] Trotsky, Leon. “Problem of the Ukraine.” April 22, 1939. https://www.marxists.org/archive/trotsky/1939/04/ukraine.html.

[2] Wade, Rex A. Documents of Soviet History. Gulf Breeze, FL: Academic International Press, 1993. p. 445

[3] Trotsky, Leon. “Problem of the Ukraine.” April 22, 1939. https://www.marxists.org/archive/trotsky/1939/04/ukraine.html.

[4] ibid

Loading