[මෙය Sri Lankan president declares “harder times are inevitable” යන මැයෙන් 2022 ඔක්තෝබර් 27 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
ඔක්තෝබර් 19 දා ජාතිය අමතමින් ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කලේ, තම ආන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු වැඩපිලිවෙල මුලුමනින්ම ක්‍රියාත්මක කරන බවයි.
“අපි මෙම වැඩසටහනෙන් ඉවත් වුවහොත්, අපට ජාමූඅ වෙතින් ආධාර නොලැබෙනු ඇත” යනුවෙන් ඔහු පැවසී ය. එපමනක් නොව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහතිකය නොමැතිව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතනවලින් සහ විවිධ රටවලින් ආන්ඩුවට තවදුරටත් ආධාර ලබා ගැනීමට නොහැකි වනු ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
“එය සිදු වුවහොත් රට නැවතත් පෝලිම් යුගයකට යනු ඇත” යනුවෙන් ඔහු අනතුරු ඇඟවූයේ පසුගිය මාස කිහිපය තුල අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ, ඉන්ධන සහ ගෑස් හි උග්‍ර හිඟය පෙන්වා දෙමිනි. එම හුස්මට ම ජනාධිපතිවරයා අවධාරනය කලේ, “අසීරු කාලයන් නොවැලැක්විය හැකි” බවයි.
ඔක්තෝබර් 22 දා පැවති සම්මුඛ සාකච්ඡාවක දී ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ම ප්‍රතිරාවය කරමින් මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කලේ, ඔහුට පෙනෙන පරිදි, ආර්ථික ප්‍රකෘතිය සාක්ෂාත් කර ගැනීම සඳහා “එකම මාර්ගය” ජාමූඅ බව ය.
වික්‍රමසිංහගේ කථාව සහ වීරසිංහගේ ප්‍රකාශයන් පැමිනියේ, ඔක්තෝබර් මස මුලදී ප්‍රකාශයට පත් කරන ලද ආන්ඩුවේ නව බදු වැඩි කිරීම් පිලිබඳ ව මහා ව්‍යාපාරික කන්ඩායම් වල ඝෝෂාව මධ්‍යයේ ය.
දැවැන්ත බදු වැඩිකිරීම් හරහා 2026 වන විට දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 14.5 ත් 15 ත් අතර ප්‍රමානයක් දක්වා රාජ්‍ය ආදායම් එකතුව ඉහල දැමීමේ ජාමූඅ ඉලක්කයට ආන්ඩුව එකඟ විය. 2022 දී ආදායම දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9 ක් පමන වනු ඇතැයි ගනන් බලා ඇත.
වික්‍රමසිංහ උත්සාහ කලේ පසුගිය ආන්ඩුව විසින් ලබා දුන් සියයට 50 ක් දක්වා වූ දැවැන්ත බදු සහන ගැන සඳහන් කරමින් මහා ව්‍යාපාරිකයන් සැනසීමටය. පසුගිය වසර දෙක තුල ශ්‍රී ලංකා සංගත පෙර නොවූ විරූ වාර්තාගත ලාභයක් ලබා ඇත.
සංගත බදු අනුපාත රේට්ටුව සියයට 30 දක්වා වැඩි කිරීමට ආන්ඩුව යෝජනා කර ඇති මුත්, එය තවමත් සමහර දකුනු ආසියානු සංගත බදු අනුපාතවලට වඩා අඩු මට්ටමක පවතී. බොහෝ මහා ව්‍යාපාරික ආයෝජකයින් දශක ගනනාවක් බදු නැවැත්වීම (tax holidays) හෝ සහන භුක්ති විඳිති.
කෙසේ වෙතත්, නව බදුවලින් දැඩි ලෙස පීඩාවට පත්වන්නේ මහා ව්‍යාපාරිකයන් නොව, කම්කරුවන්, වෘත්තිකයන්, ස්වයං රැකියා කරන්නන් සහ කුඩා හා ක්ෂුද්‍ර ව්‍යාපාර ය. ආන්ඩුව බදු අය කෙරෙන මාසික ආදායම් සීමාව 300,000 (එක්සත් ජනපද ඩොලර් 820) සිට රුපියල් 100,000 දක්වා පහත දමා ඇත. සමහර කම්කරුවෝ රුපියල් ලක්ෂයක මාසික වැටුප් හා දීමනා ලබා ගනිමින් සිටිති.
අප්‍රේල් මාසයේ සිට මාස ගනනාවක් මහා වැඩ වර්ජන හා විරෝධතා වලට තුඩු දුන්, වැඩකරන ජනතාව මත බර ලිහිල් කල බවට වික්‍රමසිංහ කරන ප්‍රකාශය බොරුවකි. ආන්ඩුව විසින් යම් යම් භාන්ඩ සැපයීම සීමාසහිත ලෙස වැඩි කර ඇතත් අත්‍යාවශ්‍ය සියලු ද්‍රව්‍යවල මිල දෙගුන තෙගුන වීම නිසා සාමාන්‍ය ජනතාවට එම වියදම දරාගත නොහැකි තත්ත්වයකට පත්ව ඇත.
කම්කරුවන් සහ දුප්පතුන් අධි උද්ධමනය නිසා බැට කන විට නව බදු බර පැමිනියේ ය. ආන්ඩුවේ සංඛ්‍යාලේඛනවලට අනුව, වාර්ෂික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසයේ දී ජාතික වශයෙන් සියයට 70 දක්වා ඉහල ගිය අතර ආහාර උද්ධමනය සියයට 80 කට වඩා වැඩි විය. ආහාර උද්ධමනය 2020 සිට සියයට 102 දක්වා ඉහල ගොස් ඇති අතර එයින් අදහස් කරන්නේ වැටුප්වල සැබෑ වටිනාකම සියයට 50 කින් පමන පහත වැටී ඇති බවයි.
උග්‍ර විදේශ විනිමය හිඟයක් හේතුවෙන් ශ්‍රී ලංකාව අප්‍රේල් මාසයේ දී විදේශ නය තාවකාලිකව පැහැර හැරීමක් නිවේදනය කලේ ය. ආපසු ගෙවීම සහතික කිරීම සඳහා පැහැර හරින ලද නය ප්‍රතිව්‍යුහගත කිරීමට නයහිමියන් සමඟ සාකච්ඡා කිරීමට ජාමූඅ ඉල්ලා සිටී. මෙම අවශ්‍යතාවය සපුරාලමින් ආන්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ මෝරුන්ට ආපසු ගෙවීම සඳහා, ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමටත් කම්කරුවන් හා දුප්පතුන් මිරිකා දැමීමටත් සිදුවේ.
සෘජු මිල වැඩිකිරීම් සහ බදු වැඩිකිරීම් හැරුනු විට, ආන්ඩුව සතු සංස්ථා පෞද්ගලීකරනයට හෝ වානිජකරනයට ලක් කිරීමටත්, රාජ්‍ය අංශයේ රැකියා ලක්ෂ ගනනින් කප්පාදු කිරීමටත්, සුබසාධන සහනාධාර තවදුරටත් අඩු කිරීමටත් ආන්ඩුවට සිදුවේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික කැලඹීම යනු, කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් ලොව පුරා ආන්ඩුවල “[වසංගතය]පැතිරීමට ඉඩ හරිනු” ප්‍රතිපත්තිය සහ යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය මගින් උග්‍ර වෙමින් වඩ වඩාත් නරක අතට හැරෙන ගෝලීය ආර්ථික අර්බුදයේ තියුනුම ප්‍රකාශනයයි.
ඔක්තෝබර් 12 දින නිකුත් කරන ලද ශ්‍රී ලංකාව පිලිබඳ ලෝක බැංකු වාර්තාව මෙසේ සඳහන් කලේ ය: “වත්මන් අර්බුදය 2021 සහ 2022 අතර දරිද්‍රතා අනුපාතය සියයට 13.1 සිට 25.6 දක්වා (2017 දී ඒක පුද්ගල ආදායම ඩොලර් 3.65 කි) දෙගුන කර ඇති අතර, දුප්පත් මිනිසුන් සංඛ්‍යාව මිලියන 2.7 කින් වැඩි කරනු ලැබ තිබේ.'
එම කාලය තුල නාගරික ප්‍රදේශවල දරිද්‍රතා අනුපාතය සියයට 5 සිට 15 දක්වා තුන් ගුනයකින් වැඩි වී ඇත. “වතු ප්‍රදේශවල ජනගහනයෙන් අඩක් දැන් ජීවත් වන්නේ දරිද්‍රතා රේඛාවට පහලිනි. දිස්ත්‍රික්ක පුරා, මුලතිව් දිලිඳුතම දිස්ත්‍රික්කය ලෙස (2022 දී දරිද්‍රතාවය සියයට 57) දිගටම පවතී, ඊට පසුව ඇත්තේ කිලිනොච්චිය සහ නුවරඑලිය යි,” වාර්තාව පවසයි.
කෙසේ වෙතත්, පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මෑතක දී කරන ලද සමීක්ෂනයකට අනුව දරිද්‍රතා රේඛාවට පහලින් සිටින සංඛ්‍යාව මිලියන 9.6 ක් හෙවත් ජනගහනයෙන් සියයට 45 කි.
ලෝක බැංකුවට අනුව, මෙම වසර සඳහා දදේනි හි වර්ධන වේගය සියයට 9.2 ක සෘන අගයක් ගනු ඇති අතර පහත වැටීම ලබන වසරේ ද පවතිනු ඇත. කර්මාන්ත හා සේවා අංශ සියයට 11 කින් සහ සියයට 8 කින් පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර එමඟින් රැකියා මිලියන භාගයක් විනාශ වනු ඇත.
එපමනක් නොව, වික්‍රමසිංහ සහ මහ බැංකු ප්‍රධානියා ප්‍රකාශ කල පරිදි ආර්ථික ප්‍රකෘතියක් නැත. එක්සත් ජනපද ෆෙඩරල් සංචිතය සහ අනෙකුත් මහ බැංකු පොලී අනුපාත ඉහල දැමීමත් සමග ජාත්‍යන්තරව වර්ධනය වන අවපාත තත්වයන් වඩාත් නරක අතට හැරෙනු ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට රටේ සියලුම විරුද්ධ පක්ෂවල සහාය ලැබේ. ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයේ (සජබ) ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ඉරාන් වික්‍රමරත්න පැවසුවේ, “ජාමූඅ විසින් ලබා දී ඇති ඉලක්ක සාධාරන සහ සාක්ෂාත් කරගත හැකි විය යුතු” බවයි.
රට බංකොලොත් බව ප්‍රකාශ කිරීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම නොවැලැක්විය හැකි බව, ජනතා විමුක්ති පෙරමුනේ නායකයෙක් පසුගිය සතියේ හිරු රූපවාහිනී වැඩසටහනකට පැවසී ය. මෙම න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා මහ මැතිවරනයකින් ආන්ඩුවක් පිහිටුවීමට ජනතා විමුක්ති පෙරමුන සූදානම් වූ බව පවසමින් ජනතාවට වසර කිහිපයක් දුෂ්කරතා විඳීමට සිදු වනු ඇති බව ද ඔහු සඳහන් කලේ ය.
වෘත්තීය සමිති ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිලිවෙල පිලිගනී. සෙනසුරාදා, සාමාජිකයින් 500,000 කට හිමිකම් කියන ශ්‍රී ලංකා රජයේ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සංගමයේ ජාතික සංවිධායක ප්‍රදීප් බස්නායක මොර්නිං නිවුස් වෙත පැවසුවේ: “ආන්ඩුවට තම සේවකයන්ගේ වැටුප් වැඩි කල නොහැකි නම්, ආර්ථිකය යථා තත්ත්වයට පත් වන තුරු ඔවුන්ට අතුරු දීමනාවක් ලබා දිය යුතු ය.” යනුවෙනි.
සියලුම වෘත්තීය සමිතිවල ස්ථාවරය මෙයයි. කම්කරු පන්තිය බර දරාගත යුතු අතර සීමිත සහන සඳහා ආන්ඩුවට ආයාචනා කල යුතු බවට ඔවුහු ධනේශ්වර පන්තිය සමග එකඟ වෙති. පැන නැගී ඇති මහා මහජන විරෝධය පීලි පැන්නවීමට, බෙදීමට සහ යටපත් කිරීමට වෘත්තීය සමිති මූලික වී ඇත. මෙම සියලු වෘත්තීය සමිති, ජාමූඅ වැඩපිලිවෙලට සහය දක්වන දේශපාලන පක්ෂ—ආන්ඩුව සහ විපක්ෂය—විසින් එක්කෝ පාලනය කරනු ලබයි, නැතිනම් පිටුබලය සපයනු ලබයි.
සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරු පන්තියෙන් හා ගම්බද ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රයට විරුද්ධ වන ලෙසත් ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව සටන් කිරීමට එහි ස්වාධීන ශක්තිය බලමුලු ගන්වන ලෙසත් ය.
පලමු පියවර ලෙස සසප ඉල්ලා සිටින්නේ රට පුරා වැඩපලවල, වතුකරයේ සහ අසල්වැසි ප්‍රදේශවල, වෘත්තීය සමිති හා ධනේශ්වර පක්ෂ වලින් ස්වාධීනව ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කරගත් කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස ය. කම්කරු පන්තියේ හා ගම්බද දුගීන්ගේ එවන් සටන් සංවිධාන ගොඩනැගීමට සසප සිය දේශපාලන සහාය දීමට සූදානම් ය.
කම්කරු පන්තිය තම පන්ති අවශ්‍යතා මත පදනම්ව ආර්ථික අර්බුදයට තමන්ගේම විසඳුම ඉදිරියට ගෙන යා යුතුය. බැංකු, මහා සංගත හා වතු ජනසතු කරන ලෙසත්, නිෂ්පාදනය හා බෙදා හැරීම කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට ගෙන එන ලෙසත් සසප ඉල්ලා සිටී. ජාත්‍යන්තර මුල්‍ය ප‍්‍රාග්ධනයේ ගිජු ලිහිනියන්ට තවත් රුපියලක්වත් නොදෙනු, සියලූ විදේශ නය ප‍්‍රතික්ෂේප කරනු!
මෙම වැඩපිලිවෙලට සටන් කිරීම සඳහා, ධනවතුන්ගේ ලාභ නොව, බහුතරයේ අවශ්‍යතා සපුරාලීම සඳහා සමාජවාදී වැඩපිලිවෙලක් සාකච්ඡා කිරීමට ක්‍රියාකාරී කමිටු නියෝජිතයින් මත පදනම්ව කම්කරු හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමට සසප කැඳවුම් කර සිටී. එවන් සම්මේලනයක්, සමාජය සමාජවාදී මාවත් වල ඉහල සිට පහලට ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට මග පාදනු ඇත.
ගෝලීය වශයෙන් වඩ වඩාත් නරක අතට හැරෙන සමාජ ව්‍යසනයට සහ වැඩෙන ලෝක යුද්ධයේ තර්ජනවලට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලාංකික කම්කරුවන් ඔවුන්ගේ ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන්ගෙන් සහය ඉල්ලා ආයාචනා කල යුතු අතර, ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය ගොඩනැගීමට ඔවුන් සමඟ එක්විය යුතුය.