(මෙය Sri Lanka: Pseudo left academic preaches phony “alternative” to IMF austerity මැයෙන් 2023 මැයි 24දා පල කල ලිපියේ පරිවර්තනය යි.)
“මහ ජනතාව හා මහජන දේපොල විකුනන රනිල්-රාජපක්ෂ ජුන්ටාව සමගින් අයිඑම්එෆ් බූවල්ලා පන්නමු” යන මාතෘකාව යටතේ, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය (අවිශිබම) අප්‍රේල් 6දා කොලඹ ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේ දී ප්‍රසිද්ධ දේශනයක් පැවැත් වූයේය.
දේශකයා වුයේ, මාක්ස්වාදී දේශපාලන අර්ථ-ශාස්ත්‍රය වෙනුවෙන් පෙනී සිටින්නෙකු ලෙස ව්‍යාජ ව තමන් පින්තාරු කර ගන්නා, පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අංශයේ කථිකාචාර්ය කල්ප රාජපක්ෂ යි. ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) සමග සමීප ලෙස සම්බන්ධ ඔහු, වසර ගනනක් තිස්සේ පෙසප පාලනය යටතේ පවතින අවිශිබම පුම්බා තැබීමට ක්‍රියා කල අයෙකි. අවිශිබම කැඳවුම්කාර වසන්ත මුදලිගේ ද මෙම රැස්වීමේ දී කතා කලේ ය.
ශ්‍රී ලංකාව මුහුන දෙන පෙර නුවූ විරූ දේශපාලන හා ආර්ථික අර්බුදය මධ්‍යයේ, කථිකාචාර්යවරයා වර්තමාන ආන්ඩුව සහ එය විසින් ක්‍රියාවට දමන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු විධානයන් හෙලාදැක්කේ ය. එහෙත්, ඔහුගේ විකල්පය වූයේ ධනවාදයේ රාමුව ඇතුලත මනඃකල්පිත ප්‍රතිකර්ම මාලාවක් ක්‍රියාවට දැමීමයි; අන් සියල්ලටමත් වඩා, ඔහුගේ විකල්පය කම්කරුවන් හා තරුනයන් සමාජවාදය සඳහා අරගලය කිරීම වැලැක්වීම ඉලක්ක කර ගත් එකක් විය.
තමන්ට මුහුන දීමට සිදුවූ මහත් සමාජ ව්‍යසනයට විරුද්ධ ව පසුගිය වසරේ අප්‍රේල්-ජූලි මාසවල මිලියන ගනන් කම්කරුවන්ගේ හා දුගීන්ගේ මහජන නැගිටීමකින් ලංකාව කැලඹී ගියේය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පලාගොස් ඉල්ලා අස්වීමට බල කෙරුනු දැවැන්ත මහජන ව්‍යාපාරය සමස්ත දේශපාලන සංස්ථාපිතය ම භීතියට පත් කලේය.
වැඩ වර්ජන ක්‍රියා හිතාමතා ම සීමා කල වෘත්තීය සමිති සහ පෙසප වැනි ව්‍යාජ-වාම කන්ඩායම්, ජාමූඅ විධානයන් පිලිගැනීම හැර වෙනත් විකල්පයක් නැතැයි දේශනා කරන, ධනපති විරුද්ධ පක්ෂවල අත යටට විරෝධතා ව්‍යාපාරය මෙහෙයවූ හ.
එහෙත්, සමාජවාදී විකල්පයක් නො තිබුනු තතු තුල, ජාමූඅ වෙතට බඩගෑම යෝජනා කරන්නෙකු හා පලල් ලෙස අපකීර්තියට පත්වූවෙකු වන රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍ර-විරෝධී පාර්ලිමේන්තු ඡන්දයක් හරහා ජනාධිපති ධූරයේ පිහිටුවීමට පාලක පන්තියට හැකි විය.
ජීවන කොන්දේසි හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මතට වික්‍රමසිංහ පාලනය එල්ල කරන ප්‍රහාරයන්ට විරුද්ධ ව, කම්කරුවන්ගේ නව අරගල රැල්ලක් වර්ධනය වෙමින් පවතී. විවිධාකාර සියලු රැඩිකල්ලු හා රාජපක්ෂ හා පෙසප ඇතුලු ව්‍යාජ-වාම කන්ඩායම් වැඩකරන ජනයා මුහුන දෙන යෝධ සමාජ අර්බුදය, ධනවාදය පෙරලා නො දමා විසඳනු ලැබිය හැකිය යන මාරාන්තික මිථ්‍යාව තොරොම්බල් කරමින් සිටිති.
ජාමූඅ ක්‍රියා මාර්ගයට විකල්පයක් නැතැයි කියාපාමින්, වික්‍රමසිංහ පාලනය ගෙන යන “බුද්ධිමය මෙහෙයුමට” විරුද්ධ ව, “අපි විකල්ප බුද්ධිමය මෙහෙයුමක් දියත් කල යුතුව” ඇතැයි කථිකාචාර්යවරයා ප්‍රකාශ කලේ ය.
තමන් ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට විකල්පයක් සම්පාදනය කරන බව, රාජපක්ෂ කීවේ ය. එහෙත්, ඔහු විකල්පය ලෙස ඉදිරිපත් කලේ, සමාජවාදය නො ව, ලංකාවේ ධනපති ආර්ථිකය නැවත නියාමනය කිරීම කරා යාමේ පිලිවෙතය.
ඒ මගින් ඔහු, පසුගිය වසර 40 පුරා ගෝලීය ධනවාදය තුල ඇති වී තිබෙන අතිමූලික වෙනස්කම් නොතකා හැර ඇතුවා පමනක් නොවේ. වර්තමානයේ ලංකාවේ ප්‍රකාශයට පත්ව තිබෙන්නේ හුදෙක් මෙරටට සීමාවූ අර්බුදයක් නොව, 1930 ගනන්වල මහා අවපාතයෙන් මෙපිට දී ජාත්‍යන්තර ධනවාදය මුහුන දෙන ගැඹුරුතම අර්බුදය ය යන්න ද ඔහු නොතකා හැර ඇත.
ඔහුගේ දේශනය පාදක වූයේ, රජයට අයත් ටෙලිකොම්හි කම්කරුවන්ගේ වෘත්තීය සමිති නායකයෙකු වන ජගත් ගුරුසිංහ සහ තවත් ව්‍යාජ-වාම මහාචාර්යවරයෙකු වන සුමනසිරි ලියනගේ සමග රාජපක්ෂ ඒකාබද්ධ ව රචනා කල, “ආර්ථික අර්බුදයට ජනතා විසඳුමක්” නමැති පොත් පිංචක් මත ය.
එම පොත ඍජු ව ම මෙසේ සඳහන් කරයි: “තරමක රැඩිකල් තීරන කිහිපයකින්, ජාතික ආර්ථික සැලසුමක් අනුව ආර්ථිකය හැසිරවීමෙන් මේ අතිශයෝක්තිකරනයට ලක්කර ඇති ආර්ථික අර්බුදය විසඳිය හැකිවා පමනක් නො ව රට සංවර්ධනයේ මාවතට සේන්දු කලහැකියි.”
1977න් පසුව, ලංකාව තුල ක්‍රියාත්මක කරන නව-ලිබරල් “විවෘත වෙලඳපොල ආර්ථික ප්‍රතිපත්තියට” දෝෂාරෝපනය කරන ලියවිල්ල, මෙම 'මූලෝපාය කනපිට ගැසීම” මගින් රටෙහි වත්මන් අර්බුදය විසඳිය හැකි බව යෝජනා කරයි.
මෙම තර්කය අරටුවට ම සාවද්‍ය එකකි.
1970 ගනන් අග හා 1980 ගනන් මුල නව-ලිබරල් වාදය කරා හැරීම, සරල ව තනි තනි ආන්ඩු අනුගමනය කල පිලිවෙතක් නො වේ, ඉන් පිලිබිඹු වූයේ, දෙවන ලෝක යුද්ධා වසානයේ පැනනැගුනු උත්පාතය අවසානවීමත් සමග ගෝලීය ධනවාදය තුල ඇති කෙරුනු මූලික වෙනස්කම් ය. ධනවාදයේ ගැඹුරු ජාත්‍යන්තර අර්බුදයක් සහ ලොව පුරා පැනනැගි දේශපාලන නැගිටීම් රැල්ලක් මධ්‍යයේ, විශේෂයෙන් ම ආසියාවේ ලාභ ශ්‍රමයේ වාසිය ගනුවස්, නිෂ්පාදනය ගෝලීයකරනය කිරීමට ජාත්‍යන්තර ව උත්සාහ දැරූ ධනපති පන්ති, ජාතික ආර්ථික නියාමනය විසින් ඉදිරිපත් කල බාධකයන් බිඳදැමීමට අනකර සිටියහ.
ජාතික නියාමනයේ හා ආනයන ආදේශනයේ පැරනි ක්‍රියාමාර්ගය හැරපියා, වෙලඳ බාධක බිඳදැමීම, පුද්ගලීකරනය සහ අත්‍යවශ්‍ය සමාජ සේවාවන්ට කපාහැරීම යනාදී විවෘත වෙලඳපොල පිලිවෙත් වැලඳගත් පලමු රටවලින් එකක් වූයේ ශ්‍රී ලංකාව යි. නව-ලිබරල් වාදය කරා වේගයෙන් හැරීම, ජේ. ආර්. ජයවර්ධනගේ ආන්ඩුවේ දක්ෂිනාංශික ස්වභාවය පමනක් නො ව, කුඩා අනාරක්ෂිත ලංකාවේ ආර්ථිකයේ ආවේනික දුර්වලත්වය ද පිලිබිඹු කලේ ය.
එක්සත් ජනපද ජනාධිපති රොනල්ඩ් රීගන්ගේ හා බ්‍රිතාන්‍ය අගමැතිනි මාග්‍රට් තැචර්ගේ කොන්සර්වැටිව් ආන්ඩු වේවා, ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ හා විවිධාකාර යුරෝපීය රටවල ලේබර් හා සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී ආන්ඩු වේවා, ලොව පුරා ආන්ඩු ඒ හා සමාන පියවරයන් අනුගමනය කල හ. සෝවියට් සංගමය බිඳ විසිරවීම, නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී පාලන තන්ත්‍රවල ඇද වැටීම සහ චීනය ධනවාදය පුනස්ථාපනය කරා හැරීම තුල සුවිශද ව ප්‍රකාශයට පත් වූ පරිදි, වඩ වඩා භූගෝලකෘත ස්වරූපයක් ගත් නිෂ්පාදනය විසින් ජාතික ආර්ථික නියාමනය මත පදනම් වූ සියලු ආර්ථිකයන්, ආයතන හා පක්ෂවලට වලකපනු ලැබී ය.
නිෂ්පාදනයේ ගෝලීයකරනය, ධනවාදයේ පරස්පර-විරෝධයන් විසඳීම වෙනුවට, ඒවා තීව්‍ර කර ඇති අතරම එක් අර්බුදයකට පසු තවෙකක් අවුලුවමින්, එක් අතකින් භූ-දේශපාලනික ආතතීන්ට හා ගැටුම්වලටත්, අනෙක් අතින් කම්කරු පන්තියට එරෙහි යුද්ධයකටත් තුඩු දී ඇත. ලංකාවේ ධනවාදයේ වත්මන් අර්බුදය රාජපක්ෂ ඇතුලු කන්ඩායම කියා ඇති පරිදි “අතිශයෝක්තියට” නගා තිබෙනවා නොව- කෝවිඩ්-19 වසංගතය විසින් ප්‍රේරනය කරන ලද හා යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය විසින් ගැඹුරු කරන ලද ගෝලීය ධනවාදයෙහි ප්‍රගාඪ බිඳවැටීමක ප්‍රකාශනය යි. අහස උසට නගින මිල ගනන්, එකතැන පල්වන වැටුප්, විරැකියාව සහ සමාජ සේවා කප්පාදුව, රටක් රටක් පාසා පන්ති අරගලය අවුලුවාලීමට තුඩුදී තිබේ.
එහෙත්, 1977ට පෙරාතු සමයේ ජාතික ආර්ථික නියාමනය, ආනයන පාලනය සහ ජාතික ප්‍රමුඛතා මත පදනම් වන පොලී අනුපාත කරා ආපස්සට ගමන් කරමින් සහ ලංකාව ලෝක ආර්ථිකයෙන් කපාහැර, වැඩකරන ජනයා මුහුන දෙන යෝධ සමාජීය ගැටලු සියල්ල විසඳනු ලැබිය හැකිය යන ප්‍රතිගාමී මායාව ඉදිරියට දැමීමට, රාජපක්ෂ හා පෙසප ක්‍රියා කරති. මෙම ඉදිරි දර්ශනය හුදෙක් ක්‍රියාත්මක කල නො හැක්කක් පමනක් නො ව, සමාජ අර්බුදය සහ එක්සත් ජනපද නායකත්වයෙන් කෙරෙන යුද ධාවනය අවසන් කිරීමට හැකි එක ම සක්‍ය වැඩපිලිවෙල වන, ලංකාවේ හා ජාත්‍යන්තර ව සමාජවාදය සඳහා විප්ලවවාදී අරගලය වෙතට කම්කරු පන්තිය හා තරුනයන් හැරීම වැලැක්වීම ද ඉලක්ක කරගත් එකකි.
සමාජවාදී සමානතා පක්ෂය, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සහෝදර පක්ෂ සමගින් සටන් වදින ක්‍රියා මාර්ගය මෙය යි.
රාජපක්ෂ සිය දේශනය තුල ඉදිරිපත් කල පිලිවෙත් මොනවා ද?
* “ආර්ථිකය අභ්‍යන්තර ව ශක්තිමත් කිරීම සඳහා ලංකාව වසර 3-5ක නය සහන කාලයකට යමින්, ඉන් පසුව (විදේශ නය) ගෙවීම ආරම්භ කල යුතු ය.” නය සහන කාලයක් ලබා ගැනීමෙන් “අභ්‍යන්තර ආර්ථික කොන්දේසි ශක්තිමත්” කරමින්, ජාත්‍යන්තර මිනීමෝරුන්ට “නය ආපසු ගෙවීම ආරම්භ කිරීමේ” හැකියාව ලබා දෙනු ඇතැයි ඔහු ප්‍රකාශ කරයි.
නය සහන කාලයක් සඳහා රාජපක්ෂගේ ඉල්ලීම පැහැදිලිවම ප්‍රදර්ශනය කරන්නේ, ජාමූඅ හරහා සිය විධානයන් පනවා ඇති ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය කෙරෙහි ඔහුගේ නිහීන දාසභාවයයි. කල යුතුව ඇත්තේ, නය සහන කාලයක් සඳහා යැදීම නොව, සසප විසින් යෝජනා කරන පරිදි, විදේශ නය මුලුමනින් ප්‍රතික්ෂේප කිරීමක් සඳහා කම්කරුවන් හා තරුනයන් සටන් කිරීම යි. අනුප්‍රාප්තික පාලන තන්ත්‍ර විසින් ගත් දැවැන්ත විදේශ නයට කම්කරුවන් හා දුගීන් වගකිව යුතු නැත.
සහන කාලයක් සඳහා ඔහුගේ ආයාචනය අසාර්ථක වන්නේ නම්, රාජපක්ෂ යෝජනා කරනු ඇත්තේ කුමක් ද? රාජපක්ෂ විසින් ග්‍රීසියේ ව්‍යාජ-වාම සිරිසා ආන්ඩුවේ මුදල් ඇමති යානිස් වරෆාකිස්, උත්කර්ෂයට නැංවීම තුලින් මෙයට පිලිතුර ලැබී තිබේ. වරෆාකිස් මුදල් ඇමතිකම දැරූ ග්‍රීසියේ සිරිසා ආන්ඩුව, ජාමූඅ, යුරෝපා මහා බැංකුව හා යුරෝපා කොමිසමේ විධානයන්ට විරුද්ධ වන බවට ප්‍රතිඥා දෙමින් 2015 දී බලයට පැමිනි නමුත්, ඒවාට නිහීන ලෙස යටත් වී ග්‍රීක කම්කරු පන්තිය මත විනාශකාරී කප්පාදු පියවරයන් පැටවූයේය.
* “ඉහල රාජ්‍ය ආයෝජන සම්පාදනය කරමින්, ඇදවැටුනු කුඩා හා මධ්‍ය පරිමාන කර්මාන්තයට සහයෝගය දිය” හැකි “උත්තේජනයන් සඳහා රාජ්‍ය වියදම දුරදර්ශි ලෙස හා සැලසුමකින් යුතු ව ප්‍රසාරනය කිරීම.”
ධනවාදය යටතේ, වියදම් ප්‍රසාරනය කරනුවස් රාජ්‍යයට පවතින හැකියාව, සියල්ලන්ටම ඉහලින් සිටගෙන තීන්දු කරනු ලබන්නේ බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය විසිනි. තමන් යෝධ නය බරින් දැනට මත් මැඩී සිටින තතු තුල, මොනම කොලඹ ධනපති ආන්ඩුවකට වත්, උවමනාවක් තිබුනත්, කිසිදු අධාරයක් සම්පාදනය කිරීම හැකියාවක් නැත.
ගොවීන්ට හා කුඩා ව්‍යාපාරවලට මූල්‍යමය හා කාර්මික සහයෝගය දෙන ලෙස සසප ද කැඳවුම් කරන නමුත්, එය කල හැක්කේ, බැංකු හා ප්‍රධාන සංගතවල පාලනය තම අතට ගනුවස්, කම්කරු පන්තිය කරන සටනක කොටසක් ලෙස පමනි. එය යථාවත් කිරීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා දේශපාලන අරගලය දියත් කිරීම අවශ්‍ය වේ.
*“පුද්ගලීකරනය කිරීම වෙනුවට, ඒවා පවත්වාගෙන යා හැකි කම්කරුවන්ට පවරනු ලැබිය යුතු ය.”
ධනවාදය යටතේ කම්කරුවන් විසින් කර්මාන්ත පවත්වාගෙන යාම සඳහා රාජපක්ෂ කරන යෝජනාව හා කම්කරුවන් බලය ගෙන පමනක් ක්‍රියාවට දැමිය හැකි කම්කරු පාලනය යටතේ ජනසතු කිරීම අතර මෙලෝ සම්බන්ධයක් නැත. ධනවාදය යටතේ, “කම්කරුවන් නඩත්තු කරන කර්මාන්ත” නාමයෙන් පවත්වාගෙන යන එවන් ව්‍යාපාරයක්, රාජ්‍යයට ලාභ උපයා දීම සඳහා දරුනු සූරාකෑමකට ලක්වීමට කම්කරුවන්ට බල කරනු ඇත.
මහජනතාව වෙත “වාමාංශික අදහස්” ගෙන යා හැකි “සක්‍රීය සමාජ බලවේගය” වන්නේ ශිෂ්‍යයන් බව, සිය දේශනයේ දී රාජපක්ෂ පුනපුනා ප්‍රකාශ කලේ ය. යථාර්ථයේ දී පෙසප හා අවිශිබමයේ “වාමාංශික අදහස්,” සමාජවාදය සඳහා සටනකට බාධකයක් වන අතර, අවිශිබම සෑමවිට ම ශිෂ්‍යයන් කම්කරු පන්තිය වෙතට හැරීම ද වලක්වා ඇත.
ඔවුන්ගේ දේශපාලනික දිශානතිය වන්නේ, සහන පතා ධනපති ආන්ඩුවලට පීඩනය යෙදීම යි. සිය ශාස්ත්‍රාලික දැනමුත්තා සමග එකඟව අදහස් දක්වූ අවිශිබම කැඳවුම්කාර මුදලිගේ, පාර්ලිමේන්තුවෙන් පිටස්තර ව “මහජන බලයක්” ගොඩනැගීම මගින් ප්‍රතිසංස්කරන ජයග්‍රහනය කල හැකිය යන මෙම බංකොලොත් ක්‍රියා මාර්ගය තොරොම්බල් කලේ ය. “පලල් මහජන ව්‍යාපාරයක්” මගින් “වික්‍රමසිංහ ආන්ඩුවට පවා එවන් රැඩිකල් මැදිහත්වීමක් සිදු කල හැකි” යි යන අභූතය ඔහු යෝජනා කලේ ය.
ලංකාවේ ද ඇතුලු ව ලොව පුරා තරුන ජනයා අධ්‍යාපන අයිතිය සඳහා ද ගෝලීය ධනවාදයේ පෙර නුවූ විරූ අර්බුදය විසින් ඇතිකර තිබෙන නිසි අධ්‍යාපන පහසුකම් නැතිකමට, විරැකියාවට හා සමාජීය අවමානයට පාත්‍ර කිරීමට සහ මර්දනයට එරෙහිව ද සටනේ පෙරමුනට පැමින සිටිති.
සමාජීය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සඳහා වන සටනට එක ම මාවත ලෙස පවතින්නේ, ගෝලීය වසයෙන් ධනවාදය අවසන් කිරීමේ දේශපාලන ක්‍රියා මාර්ගයක් මත අරගලය කිරීමයි. එය කල හැකිවන්නේ, ධනවාදය පෙරලා දැමීමේ හා සමාජවාදය ක්‍රියාවට දැමීමේ හැකියාව ඇති එක ම ස්ථිරසාර විප්ලවවාදී සමාජ බලවේගය වන කම්කරු පන්තිය බලමුලු ගැන්වීමෙනි.
ධනපති ක්‍රමය ඇතුලත ප්‍රතිසංස්කරන සඳහා ආයාචනා කරන ජාතිකවාදී පිලිවෙත් සඳහා උද්ඝෝෂනයේ ඉත්තෙක් වීම ප්‍රතික්ෂේප කොට ශිෂ්‍යයෝ කම්කරු පන්තිය වෙතට හැරි එය ධනේශ්වරයේ සියලු පක්ෂවලින් සහ ධනේශ්වරයේ ඒජන්තයන් වන වෘත්තීය සමිති හා පෙසප වැනි ව්‍යාජ-වාම සංවිධානවලින් දේශපාලනව ස්වාධීන කර ගැනීම සඳහා සටනක් දියත් කල යුත්තා හ.
කම්කරු පන්තිය බෙදීමට පමනක් තුඩුදෙන සියලු ආකාරවල ජාතිකවාදයන් හා ස්වෝත්තමවාදයන්, සසප මුලුමනින් ම ප්‍රතික්ෂේප කරයි. ලංකාව තුල කම්කරුවන්ගේ අරගල, විශේෂයෙන් ප්‍රන්සය ඇතුලු යුරෝපය ද එක්සත් ජනපදය ද ඇතුලු ව ලොව පුරා වර්ධනය වෙමින් පවතින බලගතු පන්ති අරගලවල කොටසකි. සමාජවාදී ජාත්‍යන්තරවාදයේ පදනම මත, කම්කරුවන්ගේ එකමුතුව වෙනුවෙන්, සසප සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සහෝදර පක්ෂ සටන් කරති.
සිය විශ්වවිද්‍යාලවල සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) ශාඛා ගොඩනගන ලෙසත්, සසපට බැඳෙන ලෙසත්, කම්කරු පන්තිය වෙතට හැරෙන ලෙසත්, අපගේ විප්ලවවාදී ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයට සටන් කරන ලෙසත්, අපි ශිෂ්‍යයන්ට කැඳවුම් කරමු.