ඉදිරිදර්ශන

යුක්‍රේනියානු “ප්‍රති-ප්‍රහාරය”: රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධයේ නව අවදියක්

(මෙය The Ukrainian “counter-offensive”: A new stage in the US-NATO war against Russia මැයෙන් 2023 ජුනි 6දා පල කල ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනය යි.)

2023 මැයි 23දා යුක්‍රේනයෙහි ඩොනෙට්ස්ක් කලාපයේ බක්මුත් නගරය අසල සිටින යුක්‍රේනියානු සොල්දාදුවෝ (ඒපී ඡායාරූප: එෆ්‍රම් ලුකැට්ස්කි) [AP Photo/Efrem Lukatsky]


සඳුදා පලල් පෙරමුනක් මත සටන් අර්ථභාරී ලෙස වැඩිවීමක් සහ සුවිශාල මරන සංඛ්‍යාවක් වාර්තා වෙද්දී, යුක්‍රේනය අරබයා රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය, මේ සතියේ දී නව අවදියකට ඇතුල් වෙමින් තිබේ.

දැනට රුසියානු පාලනය යටතේ පවතින දකුනු ඩොනෙට්ස්ක්හි රෙමෙව්කා නමැති මුරපොලට එල්ල වූ යුක්‍රේනියානු ප්‍රහාරයකට රුසියානු හමුදා මුහුන දුන් බව, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ටෙලිග්‍රෑම් නැමැති සිය නිල නාලිකාවේ වාර්තා කලේ. යුක්‍රේනියානු සොල්දාදුවන් 1,500ට අධික පිරිසක් මරා දමා ජර්මනියේ නිශ්පාදනය කල ලෙපර්ඩ් ටැංකි අටක් ඇතුලු යුද ටැංකි 28ක් රුසියාව විසින් අල්ලාගත් බව එය සඳහන් කලේ ය.

2014 පටන් රුසියාව හෝ රුසියානු-ගැති හමුදා විසින් අල්ලාගෙන සිටින ක්‍රිමියාව හා ඩොන්බාස් ප්‍රදේශ සම්බන්ධ කරන ඇසොව් මුහුදු වෙරල භූමි භාගයට එරෙහි ව, දකුනු දෙසින් යුක්‍රේනියානු භටයන් එල්ල කල ප්‍රහාරයක් ගැන ද රුසියාව වාර්තා කලේ ය. සැපොරිශ්ශියා නගරයේ රුසියාව පත් කර ඇති නිලධාරියෙක් දකුනු ප්‍රදේශයේ බ්‍රිතාන්‍ය-ප්‍රන්ස ස්ටෝම් ශැඩෝ මිසයිල යොදාගනිමින් යුක්‍රේනය එල්ල කරන විස්තීර්න ශෙල් ප්‍රහාර සහ පහර දීම් සිදු වූ බව කීවේ ය.

සඳුදා දියත් කරන ලද මෙහෙයුම්, දීර්ඝ කාලයක් තිස්සේ අපේක්ෂා කල “ගිම්හාන ප්‍රති-ප්‍රහාරයෙහි” ආරම්භය සලකුනු කරන බව පැහැදිලි ය. තවමත් පවතින්නේ සීමිත තොරතුරු වුව ද එක් දෙයක් නිශ්චිත ව පැවසිය හැක: එනම්, යුක්‍රේනියානු හා රුසියානු යන දෙපාර්ශවයේ ම මරන ගනන විශාල ලෙස සටන් විසින් ඉහල දමනු ඇති බව යි.

“සොල්දාදුවන් විශාල ගනනක් මිය යාමට නියමිත” නමුත් “අප එය කරනවා” යැයි, ඉරිදා වෝල් ස්ට්‍රීට් ජර්නලය සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී යුක්‍රේනියානු ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පිලිගත්තේ ය. විශ්වාසවන්ත තක්සේරු කිරීම් පෙන්වා දෙන පරිදි, යුද්ධය තුල මේ දක්වා යුක්‍රේනියානු මරන සංඛ්‍යාව 300,000කි.

“ප්‍රති-ප්‍රහාරය” ඇතුලු යුද්ධයෙහි සෑම අංශයක් ම මෙහෙයවනු ලබමින් සිටින්නේ බයිඩන් පරිපාලනය, පෙන්ටගනය සහ නැටෝව විසිනි. එම යුද්ධයට නායකත්වය දෙන්නේ එක්සත් රාජධානිය විසින් සපයනු ලබන රික්ත යුරේනියම් ෂෙල් වෙඩි ඇතුලු නැටෝ ආයුධවලින් සන්නද්ධ නැටෝ පුහුනුව ලද බලකායන් ය. මෙහෙයුම් මට්ටමේ දී, එය වොෂින්ටනය හා පෙන්ටගනය විසින් සංවිධානය කරනු ලබයි. යුක්‍රේනියානු මහජනයා වෙඩි උන්ඩ ලෙස යොදාගනු ලැබෙමින් පවතී. සටනට තල්ලු කරනු ලබන පලමු කන්ඩායම් අතර සිටින බොහෝ දෙනා, සුලු පහේ පුහුනුවක් සහිත හෝ පුහුනුව රහිත අලුත් භටයන් ය.

මොස්කෝවෙහි වීදිවල නැටෝ භටයන් මිලිටරි පෙලපාලි යාම ගැන සිහින දකිමින් රුසියානු පරාජයක් ඇති කිරීමට එක්සත් ජනපදය සහ නැටෝ බලයන් අධිෂ්ටානවත් ය. “රුසියානු මිලිටරි හැකියාවන් පිලිබඳ ව වඩ වඩා සංශයවාදී ලෙස පෙනෙන ජ්‍යෙෂ්ඨ බටහිර නිලධාරීන් අතර තානයේ සැලකිය යුතු වෙනසක් පැවතී ඇත. රුසියාවේ මිලිටරිය ‘යුක්‍රේනය තුල සිටින ශක්තිමත් ම දෙවන බලකාය’ ලෙස හෙලා දකිමින්, පසුගිය සතියේ දී කතාවක් කල එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන්, (වර්තමානයේ රුසියානු පාලනය යටතේ පවතින සියලු භූමි භාග යලි අත්පත් කරගනිමින්) ‘භෞමික අඛන්ඩතාව’ මත පදනම් වන කුදුමහත් යුක්‍රේනියානු ජයග්‍රහනයක් ගැන පැහැදිලි සිද්ධියක් ඉදිරිපත් කලේ ය” යි ෆයිනෑන්ෂල් ටයිම්ස් පත්‍රය සඳුදා ලීවේ ය.

ප්‍රහාරයෙහි කොටසක් ලෙස යුක්‍රේනයට ක්‍රිමියාව යලි අත්පත් කරගැනීමේ හැකියාව ඇති බවට, එක්සත් රාජධානියේ ආරක්ෂක ලේකම් බෙන් වොලස් දැක්වූ අදහස් ද ෆයිනෑන්ෂල් ටයිම්ස් තුල උපුටා දැක්විනි. “ඔබ වැරදි තැන දී රුසියානු හමුදාවන්ට මුෂ්ටි පහර දෙන්නේ නම්, සත්‍ය වසයෙන් ම ඔවුන් බිඳ වැටෙනු ඇති බව අපි සටන් බිමේ දී දැක තිබෙනවා.”

එවන් ප්‍රකාශ ප්‍රචාරනය සමගින් ස්වයං-මායාව ඒකාබද්ධ කරයි. ගෙවී ගිය මාස 15 පුරා, යුක්‍රේනියානු මිලිටරිය ධවල පැහැදිලි පැහැයට හැරී ඇත. හුදෙක් පුහුනුව හා ආයුධ සම්පාදනය අතින් පමනක් නො ව, යුද්ධය තීව්‍ර කිරීම සඳහා අවශ්‍ය මිනිස් බලය සැපයීම අතින් ද යුක්‍රේනියානු මිලිටරිය වඩ වඩා එක්සත් ජනපදය හා නැටෝව මත රැඳී සිටී.

යුක්‍රේනය තුල මෙහෙයුම්, තීව්‍රතාව හා භූගෝලීය පරිමානය අතින් ප්‍රසාරනය වෙමින් පවතින, නැටෝව හා රුසියාව අතර අප්‍රකාශිත හා විවෘත ව සඟවනු ලබන යුද්ධයෙහි එක් අංශයක් පමනි.

පසුගිය සතියේ අවසාන භාගයේ දී, නෝර්වේහි ඔස්ලෝ නුවර පැවති නැටෝ විදේශ ඇමතිවරුන්ගේ රැස්වීමක් සමග සමපාත වන පරිදි, යුක්‍රේන යුද බිමේ වර්ධනයන්ගේ කාලගනනය කරනු ලැබ තිබේ. රුසියානු දේශ සීමාවේ සිට කෙටි කාලයක් ධාවනය කරමින් පැමිනිය හැකි දුරක පවතින, ලිතුවේනියාවේ විල්නියස් නුවර දී ලබන මාසයේ පැවැත්වෙන පූර්න නැටෝ යුද සමුලුවක් සඳහා සූදානම් වීමට මෙම රැස්වීම පවත්වන ලදී. වසන ලද දොරවල්වලින් පිටුපස, නැටෝ නායකයෝ යුද්ධය තීව්‍ර කිරීමේ ඊලඟ අවදිය සාකච්ඡා කරමින් හා ක්‍රියාවට දමමින් සිටිති.

දැනට මත් එක්සත් ජනපදයෙහි මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වන යුක්‍රේනය, මොස්කෝව ඉලක්ක කරන ඩ්‍රෝන් ප්‍රහාර දියත් කිරීම, රුසියානු නගරවලට ශෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීම ඇරඹීම සහ එක්සත් ජනපදය හා එහි නැටෝ සගයන් විසින් සම්පාදනය කරන වාහන හා උපකරන යොදාගනිමින් රුසියානු භූමිය තුලට කඩාවැදීම් සංවිධානය කිරීම කර ඇත. යුක්‍රේනයේ සිට රුසියාව තුලට සිදු කරන දේශසීමා හරහා කඩාවැදීම් තුලට, පෝලන්ත පුරවැසියන්ගේ ඊනියා “පෝලන්ත ස්වේච්ඡා භට” සාමාජිකයන් සහභාගි කරවමින්, පෝලන්තය ගැටුමට ඍජු ව සම්බන්ධ වී තිබේ.

(“නැටෝ භූමි භාගයේ ‘සෑම අඟලක් ම ආරක්ෂා කරනු? නව මූලෝපායක් සකස් කෙරෙමින් පවතී” යන මාතෘකාවෙන් යුතු ව) වොෂින්ටන් පෝස්ට් පත්‍රයෙහි සඳුදා පල කල ලිපියක්, රුසියාවට දේශසීමා වන සහ සාන්ත පීටර්ස්බර්ග් නුවර සිට යන්තම් කිලෝමීටර 150ක් ඔබ්බේ පවතින එස්තෝනියාව තුලට, ප්‍රන්ස පැරෂුට් භටයන් අත්හැර දමනු ලැබීමේ විස්තරයක් සමගින් ආරම්භ විය. එස්තෝනියාව තුල ප්‍රන්ස යුද අභ්‍යාස, එම රට තුල “(නැටෝ) සටන් කන්ඩායමක් ශක්තිමත් කිරීම යන දෙයෙහි වර්ධිත පෙරපුහුනුවක කොටසක්” බව පෝස්ට් පත්‍රය සටහන් කරයි.

යෝධ මිලිටරි බලමුලු ගැන්වීමක් ලෙස පමනක් විස්තර කරනු ලැබිය හැකි දෙයක් ගැන පුවත්පත මෙසේ ලියයි: “බල්ගේරියාව, හංගේරියාව, රුමේනියාව හා ස්ලොවැකියාව යන අතිරේක රටවල් හතරක් තුල සටන් කන්ඩායම් ස්ථාපිත කිරීම මගින්, නැටෝව එහි නැගෙනහිර පාර්ශවය ශක්තිමත් කර ඇත්තේ,” සටන් කන්ඩායම් අටක් හරහා භටයන් 10,000ක් යොදවමිනි. විශේෂයෙන් ම ලැට්වියාව, ලිතුවේනියාව හා එස්තෝනියාව යන බෝල්ටික් රටවල් ඇතුලු ව, රුසියාවට දේශසීමා වන රටවලට නැව් දුසිම් ගනනක් සහ යුද යානා සිය ගනනක් සමගින් භූමි-පාදිත ගුවන් ආරක්ෂාව යවනු ලැබ තිබේ.

එක්සත් ජනපදයෙන් හා එහි සහකාරක රටවලින් සහභාගි වන භටයන් 26,000ක ද සහභාගීත්වයෙන් අප්‍රේල් 22දා ආරම්භ වූ “2023 යුරෝපා රැකවල” නමැති යෝධ අභ්‍යාසය ඇතුලු ව, වර්තමානයේ දී සමස්ත යුරෝපය පුරා යුද අභ්‍යාස පැවැත්වෙමින් තිබේ. මෙම මෙහෙයුම්වල අවසන් සංරචකය වන “සබේර් ගාඩියන් 23” නමැති අභ්‍යාසය පසුගිය සතියේ දී ආරම්භ වූ අතර, එය කේන්ද්‍රගත වන්නේ, යුක්‍රේනයෙන් දකුනට වන්නට පිහිටි කලු මුහුද මත ය. එයට ඇල්බේනියාව, බල්ගේරියාව, බෙල්ජියම, ප්‍රන්සය, ග්‍රීසිය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව, ස්ලොවීනියාව සහ එක්සත් ජනපදය යන රටවල් සොල්දාදුවන් හා නාවික භටයන් සහභාගි වේ.

තමන් රුසියාව මිලිටරිමය ලෙස පරාජය කිරීමට කැප වී ඇතැයි නායක එක්සත් ජනපද හා නැටෝ නිලධාරීන් ප්‍රකාශ නිකුත් කර ඇති තතු තුල, මේ සියලු ක්‍රියාවන් වනාහි රුසියානු භූමිය තුලට නැටෝ ආක්‍රමනයන් සඳහා භව්‍ය සූදානම්වීම් ලෙස අර්ථකථනය කිරීමට පුටින් ආන්ඩුවට බලකෙරෙනු ඇත. රුසියානු මිලිටරි අනදෙන නිලධාරීන් ව, මුලුමනින් යුක්‍රේනියානු පෙරමුන මත නාභිගත වීමෙන් වලක්වා, යුක්‍රේනියානු ප්‍රහාරයෙන් විකර්ශනය කිරීමට සහෝගය දෙමින් දේශසීමාවල අනෙකුත් කලාපයන් වෙතට හමුදා අපසරනය කිරීමට ඔවුන්ට බලකිරීම, මේ සියලු මෙහෙයුම්වල අභිප්‍රායය යි.

නැටෝ බලයන්ගේ අගනුවරවල් තුල, ඉව බව නැති උන්මාදනීය මනෝගතියක් රජ කරයි. බර්ලිනයෙන් පිටත තමන්ගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ හමුවක දී පෙනී සිටි විරෝධතාකරුවන්ට මුහුන දුන් ජර්මානු චන්සලර් ඔලැෆ් ශෝල්ස්, සති අන්තය පුරා රුසියාවට එරෙහි ව හිට්ලරියානු දෙඩවිලි මුදාහරිමින්, පුටින් යනු “මිනීමරුවෙක්” හා “යුද උන්මාදියෙක්” යනුවෙන් හෙලාදුටුවේ ය.

රුසියාව මුලුමනින් යටත් වීමක් සිදු නො කරන සාකච්ඡාමය විසඳුමක් හෝ සටන් විරාමයක් සඳහා වන කැඳවුම් ප්‍රතික්ෂේප කිරීමට ධවල මන්දිරය ක්‍රියා කර ඇත. සෑම තීව්‍ර කිරීමකට ම ප්‍රතිචාර දැක්වීමට රුසියාවේ අසමර්ථභාවය මගින් දිරිගැන්වෙන බයිඩන් පරිපාලනය, තමන්ට තරනය කල නො හැකි “රතු ඉරක්” නැතැයි නිගමනය කර තිබේ.

“බයිඩන් පරිපාලනය යුක්‍රේනය රුසියාව තුල සිදු කරන ප්‍රහාර නො තකා හරියි” යන හෙඩිම යටතේ ලිපියක් පල කල නිව් යෝක් ටයිම්ස් පත්‍රය, එක්සත් ජනපදය සම්පාදනය කරන ආයුධ යොදාගනිමින් රුසියාව තුලට ඍජු යුක්‍රේන ප්‍රහාර දිරිසුන් කිරීමේ කඩතුරාව ධවල මන්දිරය විසින් අත්හැර දමා ඇතැයි සඳුදා ලීවේ ය. “තිරයෙන් පිටුපස සිට, පරිපාලනයේ ජ්‍යෙෂ්ට නිලධාරීන් වඩා අඩුවෙන් කලබල වන බව පෙනෙන්නට තිබේ. ‘බලන්න, ඒක යුද්ධයක්’ යයි පෙන්ටගනයේ එක් ජ්‍යෙෂ්ට නිලධාරියෙක් ගිය බ්‍රහස්පතින්දා පැවසී ය. ‘යුද්ධයක දී සිද්ද වෙන්නෙ මේක තමයි’” යි ටයිම්ස් ලීවේ ය.

පාලක කව අරක්ගත් ඉවක් බවක් නැති කම ගැන ඉඟිකරමින්, ටයිම්ස් මෙසේ ඉදිරියට ගියේ ය:

“න්‍යෂ්ටික ගැටුමක් තීව්‍ර වීමේ තර්ජනය අහවර වී නැති අතර ම, යුක්‍රේන දේශසීමා හරහා සිදු කරන මෙහෙයුම්, න්‍යෂ්ටික අවියක් භාවිතා කිරීම ඇවිලවීම කල හැකි වර්ගයේ ක්‍රියාවක් නො වන එක්සත් ජනපදයේ නිලධාරීහු කියති. පුටින් මහතා බලය දැරීම තර්ජනයට ලක්වුව හොත්, යුක්‍රේනය තුල එහි මිලිටරිය මුලුමනින් ම ඇදවැටීම ආරම්භ වුව හොත් හෝ 2014 දී රුසියානු හමුදා විසින් අල්ලාගත් ක්‍රිමියාව අහිමි වීමට එය මුහුන දුන්න හොත් පමනක්, රුසියාව උපායික න්‍යෂ්ටික අවියක් භාවිතා කරනු ඇතැයි ඇමරිකානු ඔත්තු සේවා නිලධාරීහු කියා තිබේ.”

එහෙත්, මෙහි ලැයිස්තුගත කර ඇති සියලු කොන්දේසි -පුටින් නෙරපීම හෝ මරා දැමීම, රුසියාව මත විශාල පරාජයක් පැටවීම හා ක්‍රිමියාව යලි අත්පත් කරගැනීම- මෙම ගැටුම තුල එක්සත් ජනපද-නැටෝ යුද අරමුනුවල කොටස් ය. එක්සත් ජනපද මිලිටරි සැලසුම්කරුවන්ගේ ආස්ථානය වන්නේ, න්‍යෂ්ටික යුද්ධයක භව්‍යතාව ඇතුලු කිසිවකට, එක්සත් ජනපදයේ හා නැටෝවේ ක්‍රියාවන්ට “බාධා” කිරීමට ඉඩ දිය නො හැකි බව යි.

රුසියානු කතිපයාධිකාරයේ කොටසක් නියෝජනය කරන පුටින් ආන්ඩුව ගත් කල, යුක්‍රේනය තුල එහි “විශේෂ මිලිටරි මෙහෙයුම” පදනම් කරන ලද්දේ, සිය බලය විදහා දැක්වීමකින් රුසියාවේ අවශ්‍යතා හඳුනා ගන්නා සාකච්ඡාමය විසඳුමකට පදනම නිර්මානය කරනු ඇතැයි යන සංකල්පය මත යි. ධනවාදය පුනස්ථාපනය කිරීමෙහි නව කොන්දේසි යටතේ අලුතින් හැඩගන්වන ලද අධිරාජ්‍යවාදය සමග “සාමකාමී සහජීවනය” පිලිබඳ මෙම නව-ස්ටැලින්වාදී සංකල්පය, දේශපාලන ව්‍යසනයක් ප්‍රතිඵල කර ඇත.

රුසියාවේ, යුක්‍රේනයේ හා නැගෙනහිර යුරෝපයේ කම්කරු පන්තිය, සෝවියට් සංගමය ස්ටැලින්වාදය විසින් බිඳ විසිරවීමේ පූර්න විපාකවලට මුහුන දෙයි. වරෙක සෝවියට් සංගමයේ කොටසක් වූ භූමි භාගය මත රුසියානුවන් හා යුක්‍රේනියානුවන් භාතෘඝාතක යුද්ධයක යෙදී සිටිනවා පමනක් නො ව, තමන්ට විසඳුමක් නැති සදාකාලික ව ප්‍රසාරනය වන යුද්ධයක් තුල පුටින් පාලනය කොටු වී සිටී.

නැටෝවේ නො ඉවසිලිමත් යුද තීව්‍ර කිරීමට මුහුන දී සිටින පුටින්, වඩා විෂඝෝර ප්‍රතිචාරයක් සඳහා මිලිටරියේ කොටස්වලින් එන ඉහල යන පීඩනයට නතු වී සිටී. වර්තමාන ප්‍රති-ප්‍රහාරය පරාජය කිරීමට රුසියාව සමත් වුව ද මෙම ගැටුම අවසානයකට නො එනු ඇත.

රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය, වඩ වඩා ප්‍රචන්ඩකාරී, ලේවැකි හා ගෝලීය ස්වභාවයක් ගන්නා දිග්ගැස්සුනු අරගලයක් බවට පරිනාමය වෙමින් පවතී. අසීමිත විනාශයේ, ජීවිතය තඹයකට නො තැකීමේ හා මහජනයාගේ සියලු සමාජීය අවශ්‍යතා යටත් කරනු ලැබීමේ යුද්ධයක් හෙවත්, පූර්න පරිමාන යුද්ධයක ගුරුත්වාකර්ෂන ක්ෂේත්‍රය තුලට මෙම ගැටුම ඇතුල් වී තිබේ. එහි ප්‍රතිඵලය වන්නේ, සියලු රටවල කම්කරු පන්තියට ඍජු ප්‍රහාර එල්ල කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වනසා දැමීම යි.

සටන් භූමියේ වර්ධනයන් පිලිබඳ ප්‍රවෘත්ති වාර්තා, විශාල අවධානයක් ආකර්ශනය කරගැනීම අපේක්ෂා කල යුතු ය. එහෙත්, නැටෝවේ හා එහි යුක්‍රේනියානු කුලී හමුදාවේ ද රුසියානු පාලන තන්ත්‍රයේ ද මිලිටරි මෙහෙයුම් මත කුදුමහත් අවධානය යොමු කිරීම අත්වැරැද්දකි. යුද්ධයේ දිශාව සහ මානව වර්ගයාගේ ඉරනම නීර්නය කිරීමේ දී වඩා විශාල දේශපාලන අර්ථභාරයක් දරන්නේ, සවිඥානික විප්ලවීය සමාජවාදී මූලෝපායකින් සන්නද්ධ වන ජාත්‍යන්තර පන්ති අරගලයෙහි වර්ධනය යි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, එයට අනුබද්ධ සමාජවාදී සමානතා පක්ෂ හා කන්ඩායම්, කම්කරු පන්තියේ, ශිෂ්‍යයන්ගේ හා තරුනයන්ගේ මහජන යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමේ ගෝලීය උද්ඝෝෂනය ප්‍රසාරනය කරනු ඇත.

යුක්‍රේනය තුල “ප්‍රති-ප්‍රහාරයට” කම්කරු පන්තිය ප්‍රතිචාර දැක්විය යුත්තේ, රුසියාව, යුක්‍රේනය, යුරෝපය, එක්සත් ජනපදය හා ලෝකය පුරා යුද්ධයට එරෙහි තමන්ගේ ම ජාත්‍යන්තර ප්‍රහාරයක් සමගිනි. යුද්ධය නිෂ්පාදනය කරන එම ධනේශ්වර අර්බුදය ම, එවන් ව්‍යාපාරයක් සඳහා වෛෂයික පදනම නිර්මානය කරයි. ඉහල යන ජීවන වියදම හා ආන්තික සූරාකෑම විසින් අවුලුවනු ලබන කම්කරුවන් මිලියන ගනන් දෙනා සහභාගි වන මහා වැඩ වර්ජන සහ විරෝධතා මේ වසර තුල දැනට මත් දැකගෙන තිබේ.

මානව වර්ගයා න්‍යෂ්ටික යුද්ධයක පූර්න විනාශය දෙසට ඇදගෙන යමින් තිබෙන අධිරාජ්‍යවාදයට එරෙහි සටන සමග, කම්කරු පන්තියේ වර්ධනය වන ව්‍යාපාරය සම්බන්ධ කිරීම හදිසි අවශ්‍යතාව යි. මිලිටරිවාදයට හා යුද්ධයට එරෙහි විරෝධය, අසමානතාව, සූරාකෑම හා මානව වර්ගයා මුහුන දෙන සියලු අර්බුදයන්ගේ මූලික හේතුව වන ධනේශ්වර පද්ධතියට එරෙහි විරෝධය සමග ඒකාබද්ධ කිරීම අවශ්‍ය ය.

යුද්ධයට එරෙහි ව, සමාජවාදය සඳහා වන මෙම ව්‍යාපාරය ගොඩනැගීමේ ක්‍රියාකාරිකයෙක් වන ලෙස, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සියලු පාඨකයන්ගෙන් අපි ඉල්ලමු.