ඉදිරිදර්ශන

ඊශ්‍රායලයේ සහ ගාසා තීරයේ ප්‍රචන්ඩත්වයට වගකිව යුත්තේ කවුද?

[මෙය Who is responsible for the violence in Israel and Gaza? යන මැයෙන් 2023 ඔක්තෝබර් 10 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

2023 ඔක්තෝබර් 9 සඳුදා, ගාසා තීරයේ ජෙබාලියා සරනාගත කඳවුරට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පසු, පලස්තීනුවන්, ගොඩනැගිල්ලක සුන්බුන් අතරින් මල සිරුරක් ඉවත් කරමින්. [AP Photo/Rahmez Mahmoud]

ඊශ්‍රායලය විසින් ගාසා තීරය වාඩිලාගැනීමට එරෙහිව පවත්නා මහජන නැගිටීම පිලිබඳ මහජන මතයට විෂ කැවීමට සහ ඊශ්‍රායලයේ අන්ත දක්ෂිනාංශික තන්ත්‍රය විසින් පලස්තීනුවන්ගෙන් විනාශකාරී ලෙස පලිගැනීම යුක්ති සහගත කිරීමට, සියලු අධිරාජ්‍යවාදී රටවල ආන්ඩු සහ මාධ්‍ය දැවැන්ත ප්‍රචාරක මෙහෙයුමක් බලමුලු ගන්වා ඇත.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ සෙනසුරාදා කරන ලද දුරකතන සාකච්ඡාවකින් පසුව, “ගාසාවේ සිට හමාස් ත්‍රස්තවාදීන් විසින් ඊශ්‍රායලයට එරෙහිව එල්ල කරන ලද බිහිසුනු ප්‍රහාරය” හෙලා දකිමින්, “ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහා තම සහය දැඩි සහ නොසැලෙන” බවට ප්‍රකාශ කල එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් මෙහි තානය සකස් කරන ලදී. “ඊශ්‍රායලයට එල්ල කල ප්‍රහාරය” සහ එය එල්ල කල “ත්‍රස්තවාදීන්” හෙලා දකිමින්, ඇමරිකානු දේශපාලන සංස්ථාපිතයේ සමස්ත චරිත සමූහය එකා පසු පස එකා යන ආකාරයෙන්, ප්‍රකාශ නිකුත් කිරීමෙන් පසු ව මෙය සිදු විය; ඔවුහු ඊශ්‍රායල සිවිල් වැසියන්ගේ මරන වාර්තා ගැන ඔවුන්ගේ “භීතිය” සහ “කෝපය” ප්‍රකාශ කලහ.

ඊශ්‍රායලයේ ජාතික ධජය පොදු ස්මාරක මත එසවීමත් සමඟ සියලු ම අධිරාජ්‍යවාදී අගනගරවල ද එය ම සිදුවිය. මෙම පෙලගැස්මට එරෙහි ඕනෑම අස්ථාවරත්වයක් හෝ වැනෙනසුලු බවක්, ඉක්මනින් ම “යුදෙව්-විරෝධවාදය” හෝ “ත්‍රස්තවාදයට සහාය දැක්වීම” ලෙස ලේබල් කරන ලදී.

විශේෂයෙන්ම ගාසා තීරයේ නැගිටීම ආරම්භ වී මුල් පැය කිහිපය තුල ඊශ්‍රායල සිවිල් වැසියන් අතර සැලකිය යුතු ජීවිත හානි සිදුවී ඇති බව ප්‍රතික්ෂේප කල නොහැකිය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පලස්තීනුවන් මත වන පීඩනය සම්බන්ධයෙන් කිසිදු පුද්ගල වගකීමක් නොදැරූ බවට සැකයක් නැත. එවැනි බොහෝ මිනිසුන්ගේ ඉරනම තුල, වැරදි වේලාවක, වැරදි තැනකට පැමින සිටීම නම් වූ ඛේදවාචකයේ මූලාවයවයක් පවතී. ඊශ්‍රායල ආක්‍රමනය යටතේ ජීවිත කාලය පුරා ම සිදු වූ කුරිරු ක්‍රියාවන්ගෙන් දැඩි වූ, තමන් පනපිටින් ගාසා වෙත ආපසු නොඑන බව දන්නා ගාසාවේ සටන්කාමීන්, වද කඳවුරකට සමාන තැනකට ආසන්න ප්‍රදේශයක නර්තන සාදයක් පැවැත්වූ අය ද ඇතුලු ව, ඔවුන්ට හමු වූ පලමු ඊශ්‍රායල ජාතිකයන්ගෙන් පලිගැනීම් සිදු කලහ.

නමුත් මේ ප්‍රශ්නය මතු කල යුතු ය: ඔවුන්ගේ මරනවල අවසාන වගකීම දරන්නේ කවුද? මෙම ඛේදවාචක සඳහා දොස් පැවරිය යුත්තේ එය හිමි අයවලුන්ට ය: පලමුවෙන් ම, පලස්තීනුවන් පලවා හැරීමෙන් සහ ඔවුන් නිරන්තරයෙන් කුඩා වන එලිමහන් සිර කඳවුරු හා ජනාකීර්න දුගී ජනාවාස වලට කොටු කරමින් සුවිශේෂී යුදෙව් රාජ්‍යයක් පිහිටු වීමේ සමස්ත ප‍්‍රතිගාමී සියොන්වාදී ව්‍යාපෘතිය සමග එක් ව සිටින සාපරාධී ඊශ්‍රායල වර්ගභේදවාදී (ජන වර්ගය අනුව වෙනස්කම් කරන) පාලන තන්ත‍්‍රයට සහ එහි එක්සත් ජනපද ආධාරකරුවන්ට ය.

අධිරාජ්‍යවාදී බලවතුන්ගේ “ත්‍රස්තවාදය” සහ “ප්‍රචන්ඩත්වය” පිලිබඳ ඒකමතික හෙලාදැකීම් අන්තයට ම කුහක ය. ප්‍රචන්ඩත්වයට හා භීෂනයට ගොදුරු වූ [ඊශ්‍රායල් ජාතිකයින් සංඛ්‍යාවට වඩා බෙහෙවින් වැඩි] පලස්තීනුවන් වෙනුවෙන් “භීෂනය” සහ “කෲරත්වය” යන නිල ප්‍රකාශන කිසිවිටෙකත් සිදු කර නොමැත.

බයිඩන්ගේ කතා රචකයන්, ඔහුගේ සෙනසුරාදා “යාච්ඤාව', “මෙම ප්‍රචන්ඩත්වයෙන් තුවාල වූ සියලුම පවුල්” වෙනුවෙන් පිරිනමන බව පැවසූ මුත්, බයිඩන් යුද අපරාධකරුවෙකි; එමෙන්ම, ප්‍රචන්ඩත්වයට ආගන්තුකයෙකු නොවේ. 2003 දී ඔහු සෙනෙට් සභාවේ දී, ඉරාකය නීතිවිරෝධී ලෙස ආක්‍රමනය සහ අත්පත් කර ගැනීම වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කල අතර එහි ප්‍රතිඵලයක් ලෙස මිලියනයකට අධික මරන සිදු විය.

පලස්තීනුවන් ආක්‍රමනිකයන් ලෙසට ද, ඊශ්‍රායලය එයට ගොදුරු වූ රාජ්‍යය ලෙසට ද, චිත්‍රනය කරමින් සිද්ධිය උඩුයටිකුරු කිරීමට පටහැනි ව, අධිරාජ්‍යවාදය විසින් පලස්තීන මහජනතාව පීඩාවට පත් කිරීම මුලුමනින්ම ඒකපාර්ශ්වික ගැටුමකි; අධිරාජ්‍යවාදී බලයන් විසින් හිසේ සිට දෙපතුල දක්වා ආයුධ සන්නද්ධ කල ඊශ්‍රායල ආන්ඩුව, සියවසකින් කාර්තු තුනක්ම පලස්තීන ජනතාවගේ සියලු ප්‍රතිරෝධයන් කුරිරු ලෙස යටපත් කර ඇත. නිදසුනක් වශයෙන්, මිනිසුන් සිය ගනනක් මරා දමමින් 2008 දී ගාසා තීරයට එල්ල කල සති තුනක ගුවන් බෝම්බ ප්‍රහාරයෙන් සිදුවූ පලස්තීන හා ඊශ්‍රායල මරන සංඛ්‍යාව අතර අනුපාතය 100 ට 1 කි.

බටහිර ඉවුරේ පලස්තීනුවන්, තවත් ඊශ්‍රායල හමුදා මුරපොලවල් සිය ගනනකින් වට වූ වෙන් වෙන් යුදෙව් ජනාවාස සිය ගනනක ජීවත් වන තත්වයට පත් කර ඇති අතර ගාසා තීරයම එක් යෝධ එලිමහන් සිරකඳවුරක් බවට පරිවර්තනය වී ඇත: යන්තම් සැතපුම් කිහිපයක් පලල ගාසා තීරයේ දිග සැතපුම් 25 කි. සෑම අවශ්‍යතාවයක් සඳහාම ඊශ්‍රායල රජයේ අනුකම්පාව මත, මිලියන 2 කට අධික පලස්තීනුවන් මෙම එලිමහන් සිරකඳවුරේ පෘථිවියේ වඩාත්ම ජනාකීර්න සහ මංමුලා සහගත තත්වයන් තුල සිර කර ඇත. මෙම සන්දර්භය තුල, සති අන්තයේ ඇති වූ ගාසා තීරයේ නැගිටීම “ප්‍රහාරයකට” වඩා සිරගෙය බිඳීමක් හා සමාන වන අතර එය දිගු ආඛ්‍යානයක නවතම පරිච්ඡේදය පමනි.

අධිරාජ්‍යවාදී ප්‍රාග්ධනයේ “ප්‍රචන්ඩත්වය” සහ “ත්‍රස්තවාදය” පිලිබඳ කුහක හෙලාදැකීම් දෝංකාර දෙද්දී, ගාසා තීරයේ ජනගහනය ත්‍රස්ත කිරීම සඳහා පලිගැනීමේ ප්‍රහාරයක් දැනටමත් දිග හැරෙමින් තිබේ.

ඊශ්‍රායලයේ ආරක්ෂක අමාත්‍ය යෝවාව් ගැලන්ට්, ඔහුගේ පාලන තන්ත්‍රයේ ස්වභාවය සහ එහි යටින් පවතින මතවාදය මුලුමනින්ම හෙලිදරව් කරන භාෂාවක් භාවිතා කරමින් “ගාසා තීරය සම්පූර්නයෙන් වටලෑමක්” ප්‍රකාශ කර ඇත. “විදුලිය නැත, ආහාර නැත, ජලය නැත, ඉන්ධන නැත, සියල්ල වසා දමනු ඇත,” ගැලන්ට් පැවසීය. “අපි මිනිස් තිරිසනුන් සමඟයි සටන් කරන්නේ; අපි ඒ අනුව ක්‍රියා කරනවා.'

ජනාධිපතිවරනයට රිපබ්ලිකන් පක්ෂයෙන් මූලික නාමයෝජනා සඳහා අපේක්ෂකත්වය ලද, එක්සත් ජාතීන්ගේ හිටපු එක්සත් ජනපද තානාපතිනි නිකී හේලි ප්‍රකාශ කලේ, නැගිටීම “හුදෙක් ඊශ්‍රායලයට ප්‍රහාරයක්” පමනක් නොව, “ඇමරිකාවට ද එරෙහි ප්‍රහාරයක්” බවත්, නෙතන්යාහු “එය අවසන් කර දමන” ලෙස සෘජු ව ම ඉල්ලා සිටි බවත්‍ ය. නෙතන්යාහු, ඔහුගේ පැත්තෙන්, ඊයේ අනතුරු හඟවන ස්වරයෙන් ප්‍රකාශ කලේ, “ඉදිරි දින කිහිපය තුල අපි අපේ සතුරන්ට කරන දේ පරම්පරා ගනනාවක් දෝංකාර දෙනු ඇති,” බව යි.

ගාසා තීරයේ හෝ වෙනත් ඕනෑ ම තැනක මේ සියලු රුදුරු අධිරාජ්‍යවාදී කුහකකම පිටුපස ඇත්තේ, පීඩිතයන්ගේ ඕනෑ ම ප්‍රතිරෝධයකට පීඩකයන්ගේ මූලික පන්ති ආකල්පයයි. “පීඩකයන් වන අපට, එය අපගේ අවශ්‍යතාවලට සේවය කරන බව අප තීරනය කරන ඕනෑ ම අවස්ථාවක බලය භාවිතා කිරීමට නිදහස ඇත,” යනුවෙන් ඔවුහු පවසති. “අපිට ඔබට වගවිභාගයක් නැති ව බෝම්බ දැමිය හැකි ය, අපට ඔබ වටලා බඩගින්නේ තැබිය හැකි ය, අපට ඔබ කොල්ලකා සිරගත කල හැකි ය, ඔබේ බෙල්ලෙන් අල්ලා දන ගැස්විය හැකි ය. නමුත් බලය යනු අපගේ ඒකාධිකාරය සහ අපගේ ම පමනක් වන වරප්‍රසාදයයි. පීඩිතයන් වන ඔබට, ප්‍රතිචාර වශයෙන් බලය යෙදවීමට මොන ම තත්වයක් යටතේවත් අවසර නැත.” වාඩි ලා ගැනීමට එරෙහි ව ආයුධ අතට ගන්නා ඕනෑ ම අයෙකු විස්තර කිරීමට “ත්‍රස්තවාදියා” යන වචනය පුන පුනා භාවිතා කිරීම, මෙම පන්ති ආකල්පය සජීවීකරනය කරයි.

ඒ හා සම්බන්ධ කුහකකමේ තරම අවධාරනය කරමින්, “සතුරු මායිම් පිටුපස, යුක්‍රේනියානුවන් රුසියානුවන්ට 'ඔබ කොහෙත්ම ආරක්ෂිත නැත,’” යන මැයෙන්, පසුගිය වසරේ අගෝස්තු මාසයේ නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට ලිපියක් ලියූ වාර්තාකරු ඇන්ඩෲ ක්‍රේමර්, රුසියානු මායිම් පිටුපස කාර් බෝම්බවලින් ඝාතන සිදු කරන යුක්‍රේන ත්‍රස්ත කල්ලිවල වැඩ වර්නනා කලේ ය: “ඔවුහු පුපුරන ද්‍රව්‍ය තැබීමට අඳුරු මංතීරුවලට රිංගා යති. යුක්‍රේන කාලතුවක්කු සහ එක්සත් ජනපදය විසින් සපයනු ලබන දිගු දුර රොකට් සඳහා රුසියානු ඉලක්ක හඳුනා ගනිති. දුම්රිය මාර්ග පුපුරුවා හරින අතර රුසියාවේ උදවුකරුවන් ලෙස සලකන නිලධාරීන් ඝාතනය කරති.” එවැනි විධික්‍රම ක්‍රියාත්මක කිරීමට, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ කුලී හේවායන්ට මිස ඔවුන්ට එරෙහිවන්නන්ට අවසර නැත.

1831 දී වර්ජිනියාවේ සදම්ප්ටන් ප්‍රාන්තයේ, නැට් ටර්නර්ගේ නායකත්වයෙන් වහල් නැගිටීමක් සිදු විය. පැන ගිය වහලුන් පිහි, කෙටේරි සහ මුගුරු භාවිතා කර සුදු මිනිසුන්, කාන්තාවන් සහ ලමයින් දුසිම් ගනනක් කෲර ලෙස මරා දැමූහ. කැරැල්ල ඊටත් වඩා දරුනු ම්ලේච්ඡත්වයකින් යටපත් කරන ලද අතර, සැරිසරන මිලීෂියා හමුදා සහ මැර කල්ලි, කැරැල්ලට සම්බන්ධ දැයි නොතකා කලු ජාතිකයන් දුටු පමනින් ඝාතනය කලහ. ටර්නර්ගේ සිරුර හමගසා ඔහුගේ සමින් සිහිවටන පසුම්බි (purses) සාදා ගත්හ.

අපරදෘෂ්ටියේ (ආපසු හැරී බැලීමේ) වාසිය ලද ඕනෑම වෛෂයික ඉතිහාසඥයෙක්, එවැනි නැගිටීම්වල බිහිසුනු ප්‍රචන්ඩත්වයේ වරද වහලුන් මත නොව, වහල් ක්‍රමය මත, එහි සියලු දැවැන්ත අමානුෂිකත්වය මත ම පටවනු ඇත. ටර්නර් නැගිටීම “ප්‍රචන්ඩත්වය” යන පදනම මත හෙලාදැකීම, කුහක සහ ඓතිහාසික ඉදිරිදර්ශනයකින් හෝ සන්දර්භයකින් තොර, වහල්භාවය සඳහා වක්‍ර ක්ෂමාලාපයකට සමාන වනු ඇත.

“කපටිකමෙන් හා ප්‍රචන්ඩත්වයෙන් වහලෙකු දම්වැල්වලින් විලංගු දමන වහල් හිමිකරුවෙකු, සහ කපටිකමෙන් හෝ ප්‍රචන්ඩත්වයෙන් එම දම්වැල් කඩන වහලෙකු, සදාචාර අධිකරනයක් ඉදිරියේ සමාන නොවේ!” යැයි ලියොන් ට්‍රොට්ස්කි 1938 දී ලීවේ ය.

ලින්කන් තමාගේ පැත්තෙන්, සිවිල් යුද්ධය මධ්‍යයේ ඔහුගේ දෙවන සමාරම්භක දේශනයේ දී, රට පීඩාවට පත් කල දැවැන්ත ප්‍රචන්ඩත්වය වහල්භාවයේ ආයතනය පිලිබඳ නොවැලැක්විය හැකි ඓතිහාසික ගනන් බැලීමක් ය යන අදහස ප්‍රකාශ කල අතර, ඒ සඳහා “කසයෙන් ගලා ආ සෑම ලේ බිඳුවකටම, කඩුවෙන් ගලා එන ලේ වලින් වන්දි ගෙවීමට සිදුවනු ඇත,” යි පැවසී ය.

එම අර්ථයෙන් ගත් කල, දැන් ගාසා තීරයේ ජනගහනයට එරෙහි ව ඊශ්‍රායල ආන්ඩුව විසින් ගෙන යන මර්දනය, බ්‍රිතාන්‍යය විසින් කෙන්යාවේ මාවු මාවු කැරැල්ලට එරෙහි ව, ඇල්ජීරියානු නිදහස් සටනේදී, ප්‍රංශය විසින්, වර්නභේදවාදී පාලන තන්ත්‍රයට විරුද්ධ ව අරගල කරන දකුනු අප්‍රිකානුවන්ට එරෙහි ව හෝ එක්සත් ජනපද මිලිටරිය විසින් ඉරාකය ආක්‍රමනය කිරීමට විරුද්ධව පැන නැගි මහජන ප්‍රතිරෝධයට එරෙහි ව යොදාගත් මර්දනයට වඩා මූලික වශයෙන් වෙනස් නොවේ. සෑම විටම මෙන්, පීඩකයන් අතර සිටින දේශපාලන ප්‍රභූන් සන්නද්ධ ප්‍රතිරෝධය ත්‍රස්තවාදයක් ලෙස හෙලා දකින අතර, ඊට වඩා දහස් ගුනයක් විනාශකාරී අනුකම්පා විරහිත පලිගැනීම් සිදු කිරීම දක්වා ඉදිරියට යයි.

ප්‍රචාරක මහෝඝයෙන් එක් විරල අපගමනයක දී, 'පලස්තීන ජාතික ආරම්භකත්වය' පක්ෂයේ නායක මුස්තාෆා බර්ගූටි ඊයේ සීඑන්එන් හි ෆරීඩ් සකාරියා විසින් සම්මුඛ සාකච්ඡාවකට ලක් කරන ලදී; සන්නද්ධ ප්‍රතිරෝධය යනු, පලස්තීනුවන්ගේ වෙනත් ඕනෑම ආකාරයක විරුද්ධත්වයක නීත්‍යානුකූලභාවය නොපිලිගන්නා ඊශ්‍රායල ආන්ඩුව ප්‍රතික්ෂේප කිරීමේ නොවැලැක්විය හැකි ප්‍රතිඵලය බව පෙන්වා දීමට එහි දී ඔහුට ඉඩකඩ ලැබුනි: “අපි මිලිටරි ස්වරූපයෙන් අරගල කරන්නේ නම්, අපි ත්‍රස්තවාදීන්. අපි ප්‍රචන්ඩත්වයෙන් තොරව අරගල කරන්නේ නම්, අපව ප්‍රචන්ඩකාරීන්. අපි වචනයෙන් පවා විරුද්ධ වෙනවා නම්, අපිව ප්‍රකෝපකාරීන් ලෙස විස්තර කරනවා.”

ඇත්ත වශයෙන්ම, 1948-49 සහ 1967 යුද්ධවල දී පලස්තීනුවන්, පලවා හරින ලද නිවෙස් වෙත ආපසු යාමට අයිතිය ඉල්ලා, 2018-2019 දී, ආපසු පැමිනීමේ මහා පාගමන (Great March of Return) යටතේ ගාසා තීරයේ මහජන විරෝධතා පැවතුනි. ඊශ්‍රායල හමුදාව මෙම විරෝධතාවලට ප්‍රතිචාර දැක්වූයේ, පලස්තීන විරෝධතාකරුවන් ගාසා තීරයේ තාප්ප හා වැටවල් වෙත ලඟා වූ විට වෙඩි තැබීමෙනි. අවම වශයෙන් පලස්තීනුවන් 223 ක් මිය ගිය අතර, 9,200 කට වැඩි පිරිසක් තුවාල ලැබීය; දැන් පලස්තීනුවන්ට සදාචාරය දේශනා කරන එම පුද්ගලයින්ගෙන් කිසිවෙකු ඇහැක් ඇර බැලුවේ නැත.

මෙම නව ලේවැකි ප‍්‍රචන්ඩත්වයේ ප‍්‍රධාන උසිගැන්වීම ලෙස සලකනු ලබන සාපරාධී නෙතන්යාහු තන්ත‍්‍රය කෙරෙහි, ඇත්ත වශයෙන්ම, ඊශ්‍රායලය තුලම කම්කරු පන්තිය තුල ගැඹුරු විරෝධයක් පවතී. තමන්ට අභියෝග කල නොහැකි සහ නීත්‍යානුකූල ව විවේචනය කල නොහැකි බලතල ලබා ගැනීමට පාලන තන්ත‍්‍රය දරන ප‍්‍රයත්නයන්ට එරෙහි ව, මෙම වසර මුල දී මහජන විරෝධතා සහ මහා වැඩ වර්ජනයක් තුල මෙම විරුද්ධත්වය දැනටමත් ප‍්‍රකාශ වී ඇත.

එහෙත් ගාසා තීරයේ නැගිටීම ගෙන ඇති ප්‍රචන්ඩ ස්වරූපය, ඊශ්‍රායලය තුලමත් අව්‍යාජ සහ සප්‍රතිපත්තික වාමාංශික හා සමාජවාදී නායකත්වයක් නොමැති වීම සමග අසම්බන්ධ නොවේ. මෙම වසර මුලදී පැවති මහජන විරෝධතා වලදී, ස්වයං-ප්‍රකාශිත නායකයින් සියොන්වාදී රාජ්‍යයේ ආරක්ෂකයින් ලෙස පැවතීගත් අතර, සහජ මිතුරන් වීමට ඉඩ ඇති පලස්තීන මහජනතාවගේ අරගල දෙසට සිදුවිය හැකි මොනයම් හෝ හැරීමක් ඉතා සූක්ෂම ලෙස වලකාලීය.

නිල පිලිවෙත පිලිගැනීමට ජනතාවට බලපෑම් කිරීම සඳහා දැන් දියත් කෙරෙන දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරය පිලිබිඹු කරන්නේ, එක්සත් ජනපදය හා ඊශ්‍රායලය තුල ම ද ඇතුලු ව, ලොව පුරා මිලියන ගනනක් ජනයා එය පිලිගැනීමට නැඹුරු නොවනු ඇතැයි යන බියයි. පලස්තීන නැගිටීමට සහාය දක්වන ස්වයංසිද්ධ විරෝධතා දැනටමත් ලොව පුරා සිදු වේ.

මෙම මූලෝපාය ක්‍රියාවට නැංවීමට අභියෝග සහ බාධක කෙතරම් විශාල වුවත්, සාමකාමී අනාගතයක් උදාකර ගැනීමටත්, සියොන්වාදී පාලනය සමඟ ගනුදෙනු බේරා ගැනීමටත් එකම මාර්ගය නම්, ගාසා තීරයට එරෙහි ලේවැකි ප්‍රහාරයට එක්ව විරුද්ධ වන, නෙතන්යාහුගේ පාලනය බිඳ දමා ඒකාබද්ධ සමාජවාදී සමාජයක් සඳහා වූ අරගලයට එක්වන ඊශ්‍රායල හා පලස්තීන කම්කරුවන්ගේ එකමුතුවයි.

Loading