62වන බර්ලින් ජාත්‍යන්තර සිනමා උලෙල

සර්ජි අයිසන්ස්ටීන්ගේ ඔක්තෝබර්:දැවැන්ත අනුස්මරන කෘතියක්

2012 බර්ලින් ජාත්‍යන්තර සිනමා උලෙලේ දී තිරගත කෙරුනු, කලාත්මක සිනමාවේ පුරෝගාමියෙකු වූ විශිශ්ට සෝවියට් සිනමාකරු සර්ගෙයි අයිසන්ස්ටීන්ගේ (1898-1948) October හෙවත්  Ten Days That Shook The World (ලොව හෙල්ලූ දස දවස නමැති නිහඬ චිත්‍රපටය පිලිබඳව  Sergei Eisenstein’s October: a monumental work මැයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලකල විචාරයෙහි සිංහල පරිවර්තනය යි. 

ඔක්තෝබර්

මෙවර බර්ලින් සිනමා උලෙලේ සුවිශේශ අංගයක් ලෙස සර්ජි අයිසන්ස්ටීන්ගේ ඔක්තෝබර් නමැති සම්භාව්‍ය විප්ලවීය චිත‍්‍රපටයෙහි නව අනුවාදයක් තිරගත කෙරිනි. 1928 දී තැනුනු මුල් කෘතියෙහි වඩා පරිපූර්න ප‍්‍රතිසංස්කරනය මෙය වන අතර චිත‍්‍රපටයෙහි ජර්මානු මංගල දර්ශනය වෙනුවෙන් එඩ්මන්ඩ් මීසල් සංගීතය සංරචනය කල ප‍්‍රථම අවස්ථාව ද මෙය යි. අයිසන්ස්ටීන්ගේ Battleship Potemkin (පොටෙම්කින් නෞකාවේ සටන, 1925) චිත‍්‍රපටයෙහි ජර්මානු මංගල දර්ශනය සඳහා සංගීතය සංරචනය කෙරුනේ ද මොහු අතිනි. 

ෆ‍්‍රෑන්ක් ස්ට්‍රොබෙල්ගේ අධ්‍යක්ශනය යටතේ බර්ලින් රේඩියෝ සංධ්වනි වාද්‍ය වෘන්දය විසින් පරිවාර සංගීතය සැපයිනි. මීසල්ගේ ප‍්‍රබල රිද්මයානුකූල සංගීතය සමඟ සම්මිශ‍්‍රිත අයිසන්ස්ටීන්ගේ පරිකල්පනරූප නරඹන්නා සැඩ සුලියකට මැදි කර ගනී. වාද්‍ය වෘන්දය විටෙක තනිකර ම තාල භාන්ඩයක් ලෙස ක‍්‍රියා කරනුයේ මායාවෙහි සංගීතමය සෞන්දර්ය ලෝකයක් පිලිබඳ කිනම් ධාරනාවක් වුව පහ කරමිනි. මේ චිත‍්‍රපටය තුල දැක්වෙන ප‍්‍රයානය විප්ලවය විනා ඊට අඩු යමක් නොවේ. 

අයිසන්ස්ටීන්ගේ පූර්ව සිනමා කෘති සමඟ සසඳන විට, ඔක්තෝබරයෙහි ආනුභාව මඳක් දුර්වල ය. Strike (වර්ජනය) චිත‍්‍රපටයෙහි පටන් ඔහු සමූහ දර්ශන රූගත කලේ සැම විට ම එකම රටාවක් අනුගමනය කරමිනි. ඔක්තෝබරයෙහි එන පාලම අබියස සිත්කලු දසුන පවා ඔහුගේ පූර්ව කෘති සිහිගන්වන මාතිකා (motifs) ගැබ් කර ගනී. 1926 දී, ඔක්තෝබර් විප්ලවයෙහි දස වැනි සංවත්සරය වෙනුවෙන් චිත‍්‍රපටයක් නිපදවන්නැයි ආන්ඩුව අයිසන්ස්ටීන් හට පවරන විට ඔහු The General Line (පොදු මාවත) නොහොත් Old and New (පැරැන්න හා නවීන දෙය, 1929) නමැති ගම්බද වර්ධනයන් පිලිබඳ නව අත්හදාබැලීමකින් අඩක් නිමවා සිටියේ ය.

මේ වකවානුවෙහි, සෝවියට් සංගමය අතිමූලික දේශපාලන විපර්යාසයකට හසු වෙමින් තිබිනි. 1920 ගනන්වල ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරයෙහි පරාජයන් විසින් සෝවියට් කොමියුනිස්ට් පක්ශය තුල ද කොමියුනිස්ට් ජාත්‍යන්තරය තුල ද නිලධාරිවාදී බලවේග ශක්තිමත් කෙරින. වාදවිවාද කුලුගැන්වුනේ පක්ශයෙන් නෙරපා හැරීමෙන් සහ දේශපාලන විරුද්ධවාදීන් පලවා හැරීමෙනි. 1927 දී පක්ශයෙන් දොට්ට දැමුනු ලියොන් ට්‍රොට්ස්කි 1929 දී සෝවියට් සංගමයෙන් පිටුවහල් විය.

ඔක්තෝබර්

ඔක්සානා බුල්ගකෝවාගේ අයිසන්ස්ටීන් චරිතාපදානයට අනුව, අධ්‍යක්ශවරයා ”ට්‍රොට්ස්කිගේ මෙහෙයවීම යටතේ රතු හමුදාව අත් කර ගත් සියලූ ජයග‍්‍රහන විදහා දැක්වෙන” ඉතා විස්තීර්න චිත‍්‍රපටයක් මුල දී සැලසුම් කොට තිබිනි. එනම්, එය සිවිල් යුද්ධයේ හා යුද කොමියුනිස්ට්වාදයේ කාලපරිච්ඡේදය අලලා ගත් නිර්මානයක් විය යුතුව තිබිනි. එම සැලැස්ම ප‍්‍රතික්ශේප කෙරුනු අතර හුදෙක් 1917 පීතර්බර්ග් සිද්ධීන්වලට සීමා වන ලෙස ඔහුට උපදෙස් ලැබිනි1. අයිසන්ස්ටීන් සහ ඔහුගේ සහායක ග‍්‍රිගෝරි ඇලෙක්සැන්ඩ්‍රොව් විසින් බාර දෙන ලද සංකල්පනාව යලි වතාවක් වෙනස් කිරීමට සිදු විය. තිර නාටකයෙහි කතුවරයා කවරෙකුදැයි වරක් අමෙරිකානු මාධ්‍යවේදියෙකු නැඟූ ප‍්‍රශ්නයට අයිසන්ස්ටීන්  ඕලාරිකව පිලිතුරු දුන්නේ ”පක්ශය” යනුවෙනි.

වැඩ අවසන් නොවූ චිත‍්‍රපටය 1927 නොවැම්බර් 07 දා සවස මොස්කව්හි බොල්ශොයි රඟහලේ දී මුල්වරට තිරගතවීමට නියමිතව තිබිනි. එදින ම, හදිසියේ පැමිනි නියාමන නිලධාරියෙක් චිත‍්‍රපටයෙන් ට්‍රොට්ස්කි ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේ ය. ඊට හේතුව ලෙස ඉදිරිපත් කෙරුනේ, ට්‍රොට්ස්කිවාදී වාම විපාර්ශ්වය එදින උදෑසන මොස්කව් හා ලෙනින්ග‍්‍රාද් යන නගරයන්හි උද්ඝෝශන රැලි පැවැත්වීම යි. සිය මතක සටහන් තුල ඇලෙක්සැන්ඩ්‍රොව් සිහිපත් කරන පරිදි, චිත‍්‍රපටයෙහි ට්‍රොට්ස්කි නිරූපිත දර්ශන නරඹනු වස් අයිසන්ස්ටීන්ගේ සංස්කරන කුටියට අපරභාගයෙහි ජෝශප් ස්ටාලින් ම කඩා වැදුනි. 

අයිසන්ස්ටීන්ගේ චිත‍්‍රපටය එදින සන්ධ්‍යාවෙහි බොල්ශොයි රඟහල තුල නොව අත්හදාබැලීම් සඳහා වෙන් වුනු යාබද රඟහලෙහි, සිතා ගත හැකි පරිදි,  කුඩා පේ‍්‍රක්ශාගාරයක් තුල පෙන්වන්ට යෙදුනි. දැක ගැනුමට අවසර ලැබී තිබුනේ ජවනිකා තුනක් පමනි. තවදුරටත් වෙනස්කම් අපේක්ශා කෙරින: කොටස් දෙකක් එක පතට සිඳු වීමට සිදු විය. බොල්ශොයි මංගල මහජන දර්ශනය 1928 මාර්තු 14 දින දක්වා කල් ගිය අතර පේ‍්‍රක්ශක සහභාගිත්වය අතින් එය අසාර්ථක විය. බර්ලිනයෙහි දී ද ඔක්තෝබරයට ලැබුනේ අයහපත් මහජන පිලිගැනීමකි. 

පොදුවේ අපේක්ශිත දෙයට පටහැනිව, අයිසන්ස්ටීන් Battleship Potemkin චිත‍්‍රපටයෙහි අතිනාටකීය දෙවැනි ප‍්‍රයත්නයක් තැනුවේ නැත. ඔක්තෝබරය හාස්‍යයෙන් හා උත්ප‍්‍රාසයෙන් අනූන වූවකි. බොහෝ සහෘදයන් ඇවිස්සුනේ, අදාල සිද්ධීන් පිලිබඳව විටෙක උත්ප‍්‍රාසාත්මකව කථා කරන බවක් පෙනෙන, සිසිර මාලිගයෙහි බැරොක් ප‍්‍රතිමා සැලකුම් ලද ආකාරයෙන් පමනක් ම නොවේ. චිත‍්‍රපටය විටෙක අශ්ලීල වූ සහ සංකේතමය වසයෙන් පමන ඉක්මවාලූ එකකැයි හෙලිදරව් කෙරිනි. සෞන්දර්යවාදය මෙන් ම උපකල්පිත දුරවබෝධය කරන කොටගෙන ද එය හෙලා දකින ලදී. පක්ශ නිලතල දැරූවන්ගෙන් මතු නොව කලාකරුවන් කෙරෙන් ද විවේචන එල්ල විය. කලාවේ වාම පෙරමුනේ2  (LEF) සඟරාව කොතරම් ප‍්‍රකුපිත වී ද යත් අයිසන්ස්ටීන් එකී පෙරටුගාමී කලාකරු ගුරුකුලයෙන් බිඳී ගති.

ඔක්තෝබර්

චිත‍්‍රපටයෙහි නව්‍ය හා ඇවිස්සෙනසුලු පැතිකඩ කෙරෙහි නිශ්චිතව ම බලපාන ලද්දේ පශ්චාත් විප්ලවීය සෝවියට් සමාජයේ සැබෑ, බොහෝ විට විරූපී ප‍්‍රතිවිරෝධතා ය. අවාසනාවකට, ඔක්තෝබරය සත්‍ය වසයෙන් ම සම්පූර්නයෙන් නිම කෙරුනේ නැත. සිනමා ඉතිහාසඥ ඇනා බෝන් පවසන පරිදි, මංගල අනුවාදය, ඵ් වන විට ද සිදු කෙරී තිබුනු කප්පාදු සහිතව වුව, වත්මන් රුසියානු චිත‍්‍රපටයට වඩා මිනිත්තු 40ක් දීර්ඝ වූවකි. එහෙයින්, අයිසන්ස්ටීන්ගේ නියම අභිප‍්‍රායයන් ප‍්‍රතිසංස්කරනය කිරීම දුශ්කර කර්තව්‍යයකි.

එහෙත්, එක් දෙයක් පැහැදිලි ය. විප්ලවයෙහි නායකයන් දෙදෙනෙකු –ලෙනින් හා ට්‍රොට්ස්කි –නිරූපනය කිරීම චිත‍්‍රපටයෙහි අරමුන වූ බව යි. එසේවතුදු, අවසානයේ දී එලිමහනට ආ චිත‍්‍රපටයෙහි ට්‍රොට්ස්කි නොසිටීම ඓතිහාසික වාර්තාවට පැහැදිලිව ම පටහැනි වන අතර යමෙකුට එලඹිය හැකි එක ම නිගමනය වනුයේ කලාකෘතිය දැඩි ලෙස වාරනයට ලක්ව ඇති බව යි. ට්‍රොට්ස්කි 1917 සැප්තැම්බර් 25 දා සිට පීතර්බර්ග් සෝවියට් සභාවේ සභාපති ලෙස කටයුතු කලේ ය. තතු එසේ වුව, චිත‍්‍රපටයෙහි දිස් වනුයේ ට්‍රොට්ස්කි නොව ප‍්‍රබෝධකර දෙසුමකින් සෙබලුන් දිරිගන්වන පීතර්බර්ග් සෝවියට් සභාවේ තවත් නායකයෙකු වූ යාකොව් ස්වෙර්ඩ්ලොව් ය. චිත‍්‍රපටයෙහි එක් වැදගත් ජවනිකාවක් වනුයේ සෝවියට් සභාවන්හි දෙවැනි සමස්ත රුසියානු සමුලුව යි. සැබවින් ම, සිදු වෙමින් පැවති වාදවිවාද අරබයා මෙය අති මහත් වැදගත්කමකින් යුතු විය. චිත‍්‍රපටයෙහි මෙතැනින් ඔබ්බට ට්‍රොට්ස්කි අන්තර්ධාන වී ඇත. ඔක්තෝබරය වෙනුවෙන් ලියැවුනු වැඩසටහනින් අනාවරනය වනුයේ, ”වචනය ක‍්‍රියාවට නැංවිය යුතු ය” යන ඔහුගේ ඓතිහාසික කියමන වෙනත් දේශපාලන සගයෙකුගේ මුවට නංවා ඇති බවකි.

ධනේශ්වර තාවකාලික ආන්ඩුවේ ප‍්‍රධානී ඇලෙක්සැන්ඩර් කෙරෙන්ස්කි පිලිබඳ සිය ගුනාංගීකරනය ඔස්සේ අයිසන්ස්ටීන් සමාජමය හා පෞද්ගලික ජීවිතයෙහි විශමතා චිත‍්‍රනය කරනුව සමෝධානය (montage)3 උපයෝගී කර ගැනුමෙහිලා සිය හැකියාව විදහා දක්වයි. තමා කුලීන පෙලැන්තියෙහි අංගයකැයි නෛසර්ගිකව හඟින තැනැත්තෙකු වන කෙරෙන්ස්කි ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකු’ ලෙස අධ්‍යක්ශවරයා කදිමට නිරූපනය කරයි. චිත‍්‍රපටයෙහි එක් ප‍්‍රකට ජවනිකාවක, සාර්ගේ රාජාසනය සහිත කාමරයෙහි දොර ඇරී කෙරෙන්ස්කි එහි ඇතුලු වෙයි. ඔහු පිවිසෙනුයේ යාන්ත‍්‍රික මොනරෙකුගේ අධෝමුඛය තුලට ය! ප‍්‍රති-විප්ලවයට නායකත්වය දුන් සාර්වාදී නිලධාරියා වූ ජනරාල් ලැව්රේ කොර්නිලොව් කෙරෙහි කෙරෙන්ස්කිගේ අභ්‍යන්තර අධ්‍යාත්මික ඥාතිත්වය ගවේශනය කෙරෙනුයේ ද එබඳු ම හාස්‍යොත්පාදක අයුරකිනි: නැපෝලියන්ගේ ප‍්‍රතිමා කීපයක් උපයෝගී කර ගනිමිනි. 

විප්ලවයෙහි ඇතැම් මුඛ්‍ය සිද්ධීන් යටින් පැවති මංමුලාවන් අනාවරනය කරනු පිනිස ද අයිසන්ස්ටීන් එබඳු ප‍්‍රහසනාත්මක රීතියක් හැඩගස්වා ගත්තේ නම් පක්ශ නායකත්වයෙහි ප‍්‍රමුඛයන් අපකීර්තියට ලක් වීමට ඉඩ තිබිනි. විජයග‍්‍රාහී නැගිටීම ඔවුන්ගේ ප‍්‍රයත්නයන්හි නිපැයුමක් නොව, සැබවින් ම, එහි ප‍්‍රතිපක්ශය යි. 

පිටුවහලේ සිටි ලෙනින් 1917 අපේ‍්‍රල් මස පෙරලා පැමිනෙන තෙක් ම ස්ටාලින් ද ඇතුලු පක්ශයේ බහුතරය කෙරෙන්ස්කිට විවේචනාත්මකව සහයෝගය දක්වන ප‍්‍රතිපත්තියකට අනුගතව සිටියහ. මෙය ප‍්‍රතික්ශෙප කල ලෙනින් කම්කරු පන්තිය අතට බලය ලබා ගැනුමෙහි පිලිවෙත කරා බොල්ශෙවිකයන් දිශාගත කරනුව සටන් වැදුනි. මේ ප‍්‍රතිපත්තියට ට්‍රොට්ස්කි දෘඩතරව තම සහාය පල කලේ ය. කෙලවර, 1917 අග දී ආයුධ සන්නද්ධ නැගිටීමකට ඔවුන් පොලඹවා ගැනුනි. සිනොවියෙව් හා කමනෙව් යන බොල්ශෙවික් නායකයන් එම තීරනයට කොතෙක් විරුද්ධ වී ද යත්, තම අදහස් පතුරුවා හැරීමට මෙන්ශෙවික් පුවත්පතක් යොදා ගැනුමට පවා යුහුසුලු වූහ. 

ඔක්තෝබර් 10 දා පැවති බොල්ශෙවික්වරුන්ගේ මධ්‍යම කාරක සභා රැස්වීම පිලිබඳ සිනමානුරූපී සටහන වඩාත් උපදේශාත්මක ය: ට්‍රොට්ස්කි කෙටියෙන් රැස්වීම අමතයි. සන්නද්ධ නැගිටීමක් වෙනුවෙන් ලෙනින් තේජමානව තර්ක කරන සැටි අපට පෙනේ. අත් ඉහලට එසැවෙන අතර ඔහු කාමරය විනිවිද යන, තියුනු බැල්මක් හෙලයි. සභිකයන් දෙදෙනෙකු – සිනොවියෙව් හා කමනෙව් – සන්නද්ධ නැගිටීමට විරුද්ධව ඡන්දය දෙන අයුරු අපට දැක ගැනුමට ඉඩ තබා නැත. එසේ ම, ට්‍රොට්ස්කි ඊට උද්වේගීව සහයෝගය පල කරන අයුරු ද අපගෙන් වසං කෙරී ඇත. චිත‍්‍රපටයෙහි පසුකාලීන අනුවාද ට්‍රොට්ස්කි පිලිබඳ මේ ‘හුදු’ උදාසීන විදහාපෑම නොඉවසනු ඇත. අනාගත ජර්මන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනරජය (GDR) හෙවත් නැගෙනහිර ජර්මනිය විසින් තනන   ස්ටාලින්වාදී මුසාකරන සම්ප‍්‍රදාය ම අචලව අනුයමින්, සන්නද්ධ නැගිටීම පමාකිරීමට වලිකෑ ‘අවස්ථාවාදී’ ට්‍රොට්ස්කි සහ ලෙනින් අතර ගැටුමක් පින්තාරු කිරීමට උත්සුකවනුයේ ට්‍රොට්ස්කිගේ කථාව අගට නැගිටීම කල් දැමීමට පක්ශපාත වන වැකියක් පවා එකතු කරමිනි. 

විප්ලවයට සහභාගි වූවන් 1926 වන විට මත් නව දේශපාලන වාතාවරනයට උචිත පරිදි සිය අනුස්මෘති අනුවර්තනය කර ගැනුමට පටන්ගෙන තිබිනැයි සිය රුසියානු විප්ලවයෙහි ඉතිහාසය කෘතියෙහි ට්‍රොට්ස්කි ලියයි. එහෙත්, සිද්ධීන් සැබවින් ම සිදු වූ අයුරු බොහෝ දෙනෙක් තව මත් මැනවින් දැන සිටියහ. සංවත්සරික සැමරුම් උත්සව වෙනුවෙන් පත් කෙරුනු සෝවියට් සංගමයේ මධ්‍යම විධායක සභා කොමිසමෙහි – එනම්, අයිසන්ස්ටීන්ගේ චිත‍්‍රපටය අධීක්ශනය කල මන්ඩලයෙහි අසුන්ගෙන සිටියෝ සන්නද්ධ නැගිටීම උදෙසා සක‍්‍රීයව සහභාගි වූවාහු ය. ඇතැමෙක් චිත‍්‍රපටය සඳහා සිය රංගනයෙන් මත් දායක වී සිටියහ. 

හිටපු අන දෙන නිලධාරීන් වූ නිකොලායි පොද්වොයිස්කි (කොමිසමෙහි ප‍්‍රධානී) හා ව්ලැදිමීර් ඇන්තනොව්-ඔව්සෙයෙන්කෝ යන දෙදෙනා ද මේ අතර වූහ. චිත‍්‍රපටය තුල ස්ටාලින් දර්ශනය නොවීම විවේචනයට ලක් නොවූයේ එය සත්‍ය කරුනුවලට අනුරූප වන හෙයිනි.4 පැරනි විප්ලවවාදීන් දඩයම් කෙරුනු ”මහා භීශනය”පැන නඟින තෙක් ම, ස්ටාලින් විප්ලවවාදී නායකයෙකු හැටියට හුවා දැක්වෙන මිහායිල් රොම්ගේ Lenin in October (1937) බඳු ක්ශමාලාපක චිත‍්‍රපට බිහි වූයේ නැත. 1917 දී කෙරෙන්ස්කි ආන්ඩුවේ අත්අඩංගුවට පත් ඇන්තනොව්-ඔව්සෙයෙන්කෝ 1938 දී මාරක තංරගයන්ට මැදි විය. 

“ලොව හෙල්ලූ දස දවසෙහි” ජීවය ඔක්තෝබරය තුල තව මත් සප‍්‍රානික ය. පුනස්ථාපිත අනුවාදය යෝධ සමස්ත කෘතියෙන් කොටසක් පමනක් වුවත් එය දැවැන්ත කොටසකි. ස්වකීය මුල් සැලසුම් යථාර්ථයක් බවට පත් කර ගැනුමට අයිසන්ස්ටීන් හට හැකි වී නම් කොතරම් අපූරු කෘතියක් නිර්මානය වීමට ඉඩ තිබුනි ද! 1917 මහා කුනාටුව හුදු හැඳින්වීම පමනක් සපයනු ඇත. 

ස්වයං-සේවාවෙහි නිරත නිලධාරි තන්ත‍්‍රයට අයිසන්ස්ටීන්ගේ ගරුසරු නැති දීප්තිමත් පරිකල්පනයෙන් හා ඔහුගේ නවතම අදහස්වලින් කම් කිම? විප්ලවය පිලිබඳව – නිසැකව ම, චිත‍්‍රපටය අග දී පතුරුවා හැරෙන ලෝක විප්ලවය පිලිබඳ කාරනාව කෙරෙහි තැකීමක් ඔවුන්ට නැත. චීනය තුල සමාජවාදී විප්ලවය මේ දැන් (1927) කුඩුපට්ටම් වූවා පමනි; ස්ටාලින්වාදීන් විසින් එය විනාශභංගකෙරුනි.  

බොල්ශොයි මංගල දර්ශනයෙන් දිනකටපසුව ”චිත‍්‍රපටයෙන් පැන නැගෙන ගැටලු” පිලිබඳව සාකච්ඡා කරනුව පක්ශ සම්මේලනයක් කැඳවන ලදී. ආකෘතිවාදයට (formalism) එරෙහි ඊනියා ව්‍යාපාරයෙහි ආරම්භය එමගින් සලකුනු විය. අනතුරුව එලඹුනු ආසන්න සතලිස් වසරපුරා ඔක්තෝබරය තහනම් කෙරී පැවතිනි. මේ කාලය අතරතුර, විප්ලවයට සැබවින් ම සහභාගි වූවන් කී දෙනෙකු චිත‍්‍රපටයෙන් කපා ඉවත් කරනු ලැබී ද යන්න යමෙක් මවිතයට පත් කරයි.

අයිසන්ස්ටීන් විසින් වීරාඛ්‍යානමය විලාසයෙන් රඟ දැක්වුනු, සිසිර මාලිගයට කඩා වැදීමෙහි අවස්ථාව නිරූපනය වන නිශ්චල ඡායාරූප සෝවියට් සංගමයේ විප්ලවය පිලිබඳ කෞතුකාගාරයන්හි බිත්ති මත ඉතා නරුම ලෙස එල්ලනු ලැබ තිබෙනුයේ, හරියට, ඒවා සැබෑ ”ඓතිහාසික ඡායාරූප” මෙනි!

පරිවර්තනය: දර්ශන මේදිස්

(අක්ශර වින්‍යාසය පරිවර්තකගේ අභිමතය පරිදි ය)

පරිවර්තකගේ සටහන්:

1.මේ චිත‍්‍රපටය ලොව හෙල්ලූ දස දවස යනුවෙන් යලි නම් කෙරුනේ ඵබැවිනි. අමෙරිකානු මාධ්‍යවේදී ජෝන් රීඩ්ගේ මෙනමින් යුත් ග‍්‍රන්ථය (1919) ඔක්තෝබර් විප්ලව සමය පිලිබඳව ලියැවුනු එක ම ඇසින් දුටු සාක්ශිය ද වෙයි. 

2. Left Front of the Arts: ව්ලැදිමීර් මායාකොව්ස්කි, ඇලෙක්සැන්ඩර් රොඩ්චෙන්කෝ, වර්වරා ස්තෙපානෝවා, ඔසිෆ් බි‍්‍රක් (සංස්කාරක), ලියුබොව් පොපෝවා, සිඟා වර්ටොව්,ඉසාක් බාබෙල්,ඇලෙක්සැන්ඩර් වෙස්නින් ආදීහු මේ කලා කවයෙහි ප‍්‍රමුඛ නියෝජිතයෝ වූහ.

3. සිනමාකරුවන් විසින් බහුලව යොදා ගැනෙන සංස්කරන ශෛලියකි (අපෝහකමය සමෝධාන විධික‍්‍රමයෙහි පීතෘ හැටියට සැලකෙනුයේ අයිසන්ස්ටීන් ය).

4. ජෝන් රීඩ්ගේ පෙර කී ඓතිහාසික වාර්තාවෙහි ද කොතැනකවත් ස්ටාලින් ගැන සඳහනක් නැත.

Loading