ඉදිරිදර්ශන

කම්කරු පන්තියට හා තරුනයින්ට කැඳවුමක්: ගාසා තීරයේ අධිරාජ්‍යවාදී-සියොන්වාදී ජන සංහාරය නවත්වනු!

[මෙය A call to the working class and youth: Stop the imperialist-Zionist genocide in Gaza!යන මැයෙන් 2023 ඔක්තෝබර් 27 පල කෙරුනු ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලය ප්‍රකාශයේ පරිවර්තනයයි.]

ඊස්රායලය විසින් ගාසා තීරයේ සිදු කෙරෙන ජන සංහාරයට එරෙහිව දහස් ගනනක් සහභාගි වූ ලන්ඩනයේ ඩව්නිං වීදියේ පෙලපාලි ය.

එක්සත් ජනපද-නේටෝ අක්ෂය තුල වන සියලුම අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහාය ඇතිව ඊස්රායලය ගාසා තීරයේ ජන සංහාරයක් සිදු කරමින් සිටී.

පලස්තීන ජනතාවට එරෙහිව සිදුකරන යුද අපරාධවලට ප්‍රතිචාර වශයෙන් සැබෑ මහජන ව්‍යාපාරයක් වර්ධනය වෙමින් පවතී. සිකුරාදා බටහිර ඉවුරේ ද, තුර්කිය, ජෝර්දානය, ටියුනීසියාව සහ අනෙකුත් රටවල ද ස්වයංසිද්ධ විරෝධතා පුපුරා ගියේය.

නිව් යෝර්ක් නගරයේ, 'සාමය සඳහා වූ යුදෙව් හඬ' සාමාජිකයින් සිය ගනනක් ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් දුම්රිය ස්ථානය වසා දැමූහ. මෙය සිදුවූයේ පසුගිය සතිය පුරා මිලියන ගනනක් සම්බන්ධවූ විරෝධතා වලින් පසුව වන අතර, මෙම සති අන්තයේ ලොව පුරා පෙලපාලි පැවැත්වේ.

මෙම ව්‍යාපාරය වර්ධනය කර පුලුල් කල යුතුය. ලෝක සමාජවාදී වෙබ් අඩවිය සෑම රටකම සෑම නගරයකම සහ සෑම විද්‍යාල මන්ඩපයකම හදිසි සහයෝගීතා විරෝධතා සංවිධානය කරන ලෙස ඉල්ලා සිටී. අපි විශේෂයෙන්ම ඉල්ලා සිටින්නේ ඊස්රායලය තුලම විරෝධතා සහ පෙලපාලි වර්ධනය කරන ලෙසයි.

මෙම විරෝධතා ජන සංහාරයට සම්බන්ධ රාජ්‍යයන්ගේ දේශපාලන උපාමාරුවලට යටත් නොවිය යුතුය. ජාත්‍යන්තරවාදී හා සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත, සියලුම ධනේශ්වර ආන්ඩු වෙත යොමු කෙරෙන දේශපාලන මහා වැඩවර්ජනයක් වර්ධනය කිරීම තුලින්, ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල ඊස්රායලයේ අපරාධවලට විරුද්ධත්වය මුල් බැස ගත යුතුය.

ගාසා තීරයේ හදිසි තත්වයක් පවතී:

• සති තුනකට පෙර ප්‍රහාරය ආරම්භ වූ දා සිට ඇති වූ දරුනුතම ගුවන් බෝම්බ ප්‍රහාරය මධ්‍යයේ සිකුරාදා, ඊස්රායලය විසින් සියලු සන්නිවේදන විසන්ධි කරන ලදී. යුද ටැංකි කඩාවැදීම සහ භූමි ආක්‍රමනයක ආරම්භය පිලිබඳ වාර්තා සහිතව පලස්තීනුවන්ගේ සමූල ඝාතනයක් පෙන්නුම් කෙරෙන තොරතුරු පිටතටයාම වැලැක්වීම පැහැදිලිවම මෙහි අරමුනයි.

• 60,000ක් පමන වූ අවමංගත සරනාගතයින් යැපෙන, උතුරු ගාසා තීරයේ ඉතිරිව ඇති අවසාන රෝහල වන අල්-ෂිෆා රෝහලෙන් ඔවුන් ඉවත් කරන ලෙස ඊස්රායල ආරක්ෂක හමුදාව (අයිඩීඑෆ්) ඉල්ලා ඇත. හමාස් සංවිධානය විසින් රෝහල භාවිතා කරන බවට, අයිඩීඑෆ් සිකුරාදා පච ප්‍රකාශයක් නිකුත් කලේය. මෙය, 500ක් මරාදමමින් ඔක්තෝබර් 17දා අල්-අහ්ලි අරාබි බැප්ටිස්ට් රෝහල ඉලක්ක කර ගත් ආකාරයටම, අල්-ෆිෂා රෝහලට බෝම්බ හෙලීම යුක්ති සහගත කිරීම සඳහා වන විනිවිද පෙනෙන ප්‍රයත්නයකි.

• උතුරු ගාසා තීරයේ ජීවත් වූ මිලියනයකට අධික ජනතාවක් ඉවත් කිරීමට හෝ මරා දැමීමට බල කෙරෙමින් පවතින අතර, මිලියන 1.4 ක ජනතාවක් දැන් අභ්‍යන්තරව අවතැන්ව සිටිති. රෆා හි පිහිටි ඊජිප්තුව සමඟ දේශසීමා හරස් මාරුව ඇතුලුව ඊස්රායලය දකුනු ගාසා තීරයේ ඉලක්ක වෙත ද බෝම්බ ප්‍රහාර එල්ල කර තිබේ. බටහිර ඉවුරේ වැටලීම්වලින් පලස්තීනුවන් 100 කට වැඩි පිරිසක් ද මිය ගොස් ඇත.

• ලක්ෂ සංඛ්‍යාත පිරිසක් කුසගින්න, විජලනය සහ රෝගවලට මුහුන දෙති. එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සිකුරාදා ප්‍රකාශයක් නිකුත් කරමින් ව්‍යසනයේ පරිමානය පිලිගත්තේ, “ගාසාවේ මානුෂීය ආධාර පද්ධතිය මිලියන 2කට වැඩි සිවිල් වැසියන්ට සිතාගත නොහැකි ප්‍රතිවිපාක ඇතිව සම්පූර්න බිඳවැටීමකට මුහුන දී සිටින” බවට අනතුරු අඟවමිනි.

ජර්මනිය, ප්‍රංශය, එක්සත් රාජධානිය, ඉතාලිය සහ කැනඩාව ඇතුලුව එක්සත් ජනපදය සහ එහි නේටෝ බලවතුන්ගේ අක්ෂය මෙම ජන සංහාරයේ පූර්න සහායකයන් සහ හවුල්කරුවන් වේ.

බදාදා, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, 'පලස්තීනුවන් කී දෙනෙක් මරා දැමෙන්නේද යන්න ගැන සත්‍යය පවසන බවට තමාට කිසිදු අදහසක් නොමැති' බව පවසමින්, ම්ලේච්ඡත්වයේ පරිමානය අවම කිරීමට උත්සාහ කලේය.

බයිඩන් බොරු කියමින් සිටී. ඔහුගේ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් පලස්තීන බලධාරීන් මේ වන විට මරා දැමූ පුද්ගලයන් 7,000කගේ නම් ප්‍රකාශයට පත් කිරීමටත් පෙර, දැවැන්ත මරන සංඛ්‍යාව ඔහු දනී. ඇමරිකානු අධිරාජ්‍යවාදයට, දරුවන් සහ කාන්තාවන් දහස් ගනනක් ඇතුලු පලස්තීනුවන් ඝාතනය කිරීම, බයිඩන් විසින්ම ප්‍රකාශ කරන ලද පරිදි, “යුද්ධයක් දියත් කිරීමේ මිල” වේ.

බ්‍රහස්පතින්දා, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මන්ඩලය 412-10 ඡන්දයකින්, “හමාස් සහ අනෙකුත් ත්‍රස්තවාදීන් විසින් දියත් කරන ලද ම්ලේච්ඡ යුද්ධයට එරෙහිව ඊස්රායලය ආරක්ෂා කරන අතරම ඊස්රායලය සමඟ සිටින” බව ප්‍රකාශ කරන යෝජනාවක් සම්මත කලේය.

සිකුරාදා, ඊස්රායලය සිය හමුදාවේ පූර්න බලයෙන් ගාසා තීරයට බෝම්බ හෙලද්දී, ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක ප්‍රකාශක ජෝන් කිර්බි ප්‍රකාශ කලේ බයිඩන් පරිපාලනය “ඊස්රායලයට සීමා පනවන්නේ නැත” යනුවෙනි. වෙනත් වචන වලින් කිවහොත්, නෙතන්යාහු පාලනයට සමූහ ඝාතන සඳහා හිස් චෙක්පතක් ලබා දී ඇත.

නිර්දය ප්‍රචාරනයන් නොතකා, ලොව පුරා පුලුල් කම්කරුවන්ගේ හා තරුනයන්ගේ හැඟීම් පලස්තීනුවන්ගේ පැත්තේ ය. පාලක පන්තිය ඊස්රායලයේ ජන සංහාරයට එරෙහි විරෝධය මැඩපවත්වන තර්ජන සහ ප්‍රයත්නයන්ගෙන් ප්‍රතිචාර දක්වයි.

ජර්මනියේ, ඊස්රායලයේ ජන සංහාරයට එරෙහි බොහෝ පෙලපාලි තහනම් කර ඇත. ජනතාව තවමත් උද්ඝෝෂන සඳහා රැස්ව සිටියහොත් බොහෝ විට ඔවුන්ට පොලිසියෙන් අමානුෂික ලෙස පහර දෙනු ලැබේ. සංක්‍රමනිකයන් බහුල දිස්ත්‍රික්ක වටලනු ලැබ ඇත. දැඩි ලෙස සන්නද්ධ පොලිසිය වීදිවල මුර සංචාරයේ යෙදෙන අතර පලස්තීන සාටකයක් හෝ කොඩියක් පැලඳ සිටින ඕනෑම අයෙකු අත්අඩංගුවට ගනු ලැබේ.

ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ නායක ෆ්‍රෙඩ්‍රික් මර්ස් කියා සිටින්නේ ඊස්රායලයේ ආරක්ෂාවට තම සහය ප්‍රකාශ කරන අයට පමනක් ජර්මානු පුරවැසියන් විය හැකි බවයි.

ප්‍රංශයේ, විරෝධතා තහනම් කිරීමට මැක්‍රොන් ආන්ඩුවේ බලය සහ දිරිගැන්වීම පොලිසියට ලබා දී ඇත. පැරිස් පොලිස් ප්‍රධානියා සිකුරාදා ප්‍රකාශ කලේ ඉරිදා සැලසුම් කර ඇති විරෝධතාවක් තහනම් කිරීමට උත්සාහ කරන බවයි. පලස්තීන ධජ අතැතිව සිටි විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ත්‍රස්තවාදයට ක්ෂමාලාපීවීම සම්බන්ධයෙන් ඔවුනට චෝදනා එල්ල කෙරී පවතී.

එක්සත් රාජධානියේ, විරෝධතා තහනම් කිරීම සඳහා රාජ්‍යය තුලින්ම ඉල්ලීම් වැඩි වෙමින් පවතී. රැස්වීම් තහනම් කල විශ්වවිද්‍යාල බලධාරීන් පෙලපාලිවලට සහභාගී වූ සිසුන්ගේ පන්ති තහනම් කර ඇත.

එක්සත් ජනපදයේ, සෙනෙට් සභාව බ්‍රහස්පතින්දා, සෑම සෙනෙට් සභිකයෙකුගේම, ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකානුවන්ගේ සහය ඇතිව, “ත්‍රස්තවාදීන් සමඟ සහයෝගීතාවය ප්‍රකාශ කිරීම” සහ “යුදෙව් විරෝධීවාදය” ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන්, සිසුන්ට මඩ ගැසීමේ යෝජනාවක් ඒකච්ඡන්දයෙන් සම්මත කලේය. ෆැසිස්ට් පන්නයේ රිපබ්ලිකානුවෙකු වන සෙනෙට් සභික ජොෂ් හෝලි ගෙන ආ මෙම යෝජනාවෙන්, හාවඩ් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම්, නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ නීති ශිෂ්‍ය සංගමයේ සභාපති සහ පලස්තීනය තුල සාධාරනත්වය උදෙසා ශිෂ්‍යයෝ හි ශාඛාවන් විශේෂයෙන්ම නම් කෙරුනි.

ෆ්ලො රිඩා හි ෆැසිස්ට් ආන්ඩුකාර රොන් ඩිසැන්ටිස් විසින් ප්‍රාන්ත විශ්වවිද්‍යාල පද්ධතියේ “පලස්තීනය තුල සාධාරනත්වය උදෙසා ශිෂ්‍යයෝ” හි සියලුම ශිෂ්‍ය සමාජයන් විසුරුවා හරින ලෙස නියෝග කිරීමෙන් දින දෙකකට පසුව මෙම යෝජනාව සම්මත විය.

ඊස්රායලයේ ක්‍රියාවන්ට එරෙහි විරෝධතා යුදෙවු-විරෝධී බව ප්‍රකාශ කිරීම පිලිකුල් සහගත අපහාසයකි. එය පැමිනෙන්නේ ෆැසිස්ට්වාදීන් සහ යුදෙව් විරෝධීන් වගා කර ප්‍රවර්ධනය කර ඇති ආන්ඩු වලිනි. ජර්මනියේ, යුදෙව් විරෝධී හා ෆැසිස්ට් පක්ෂයක් වන ජර්මනිය සඳහා විකල්පය (ඒඑෆ්ඩී) පාර්ලිමේන්තුවේ බලවත්ම පක්ෂයකි.

එක්සත් ජනපදයේ, රිපබ්ලිකන් පක්ෂය මෙහෙයවනු ලබන්නේ ට්‍රම්ප්ගේ ජනවාරි 6 කුමන්ත්‍රනයේ ප්‍රධාන සම-කුමන්ත්‍රනකරුවන්ගෙන් කෙනෙකු වන හෝලි ද ඇතුලු ෆැසිස්ට්වාදී කල්ලියක් විසිනි. ඊස්රායලයේ ජන සංහාරයට විරුද්ධ සිසුන් හෙලාදැකීමට ඩිමොක්‍රටිකයින් අත්වැල් බැඳගත් බලවේග මේවාය.

යුක්‍රේනය සම්බන්ධයෙන් රුසියාවට එරෙහි එහි යුද්ධයේදී, එක්සත් ජනපද-නේටෝ අක්ෂය යුක්‍රේන රාජ්‍යයේ ෆැසිස්ට්වාදීන් සන්නද්ධ කර ප්‍රවර්ධනය කර ඇත, එය ජාතික වීරයෙකු ලෙස ඔසවා තබන, දෙවන ලෝක යුද්ධ සමයේ යුදෙව්වන් ඝාතනයට පුද්ගලිකව සම්බන්ධ වූ අන්ත දක්ෂිනාංශික යුක්‍රේන ජාතිකවාදියෙකු වන ස්ටෙපාන් බන්ඩෙරාය. නාසි ජර්මනියේ මෙහෙයවීම යටතේ යුදෙව්වන් සංහාරයට වගකිව යුතු යුක්‍රේන වොෆෙන්-එස්එස් හි ප්‍රවීනයෙකු වූ යාරොස්ලාව් හුන්කාට ප්‍රශංසා කිරීමට පසුගිය මාසයේ, සමස්ත කැනේඩියානු පාර්ලිමේන්තුව සමඟින්, සියලුම G7 රටවල නායකයෝ නැඟී සිටියහ.

එපමනක් නොව, නෙතන්යාහු ආන්ඩුවේ අපරාධ සමග සමස්තයක් ලෙස යුදෙව් ජනතාව සම්බන්ධ කිරීමේ උත්සාහය පිලිබඳව කෝපයට පත් වූ යුදෙව් කම්කරුවන්, බුද්ධිමතුන් සහ තරුනයන්ගෙන් සැලකිය යුතු පිරිසක් මහජන පෙලපාලිවලට සම්බන්ධ වී ඇත.

ගාසා තීරයේ ඊස්රායලය ජන සංහාරයට එරෙහි විරෝධතා ප්‍රසාරනයකොට පලල් කල යුතුය. ලෝකය ගාසා තීරය තුල දකින්නේ අධිරාජ්‍යවාදී සහ ධනේශ්වර ම්ලේච්ඡත්වය එහි වඩාත් රුදුරුම ස්වරූපයෙන් බවට වන අවබෝධයෙන් මෙම විරෝධතා සජීවිකරනය කල යුතුය.

පලස්තීන ජනතාවට එරෙහි යුද්ධය වනාහි, යුක්‍රේනයේ රුසියාවට එරෙහි යුද්ධය ද ඇතුලු, එක්සත් ජනපද-නේටෝ අක්ෂය විසින් දියත් කෙරෙන පුලුල් වන ගෝලීය යුද්ධයක අඛන්ඩතාවයක් හා දිගුවකි. එක්සත් ජනපදය ඉරානයට එරෙහි යුද්ධයට සූදානම් වීම සඳහා ගුවන් යානා ප්‍රවාහන නෞකා දෙකක මූලිකත්වයෙන් මධ්‍යධරනී මුහුදේ දැවැන්ත මිලිටරි ප්‍රහාරක බලකායක් එක්රැස් කරමින් සිටී.

ධනේශ්වර පාලක ප‍්‍රභූව විසින් සිදු කරන කුරිරු මංකොල්ලය කෙරෙහි සියලු විරුද්ධත්වයන්ට එරෙහිව අධිරාජ්‍යවාදී ප‍්‍රචන්ඩත්වයේ පුපුරායාම වඩ වඩාත් එල්ල වන්නේ ලෝකයේ වැඩකරන ජනතාව වෙතය.

අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව බලමුලු ගැන්විය යුත්තේ කම්කරු පන්තියයි. මිලිටරි භාවිතයක් සඳහා අවශ්‍ය වියහැකි ඕනෑම භාන්ඩයක් ඊස්රායලයට නැව්ගත කිරීම නැවැත්වීමේ කම්කරු පන්ති ක්‍රියාමාර්ගයට ලෝසවෙඅ සහාය දක්වයි. ජාත්‍යන්තර කම්කරු පන්තියේ දැවැන්ත සමාජ බලය දේශපාලන මහා වැඩ වර්ජනයක් තුල බලමුලු ගැන්විය යුතුය.

ගාසා තීරයට ඊස්රායලය බෝම්බ හෙලීම සහ සියලුම ඊස්රායල හමුදා බලමුලු ගැන්වීම වහාම නතර කරන ලෙස සහ ගාසා තීරයේ දේශසීමාවෙන් ඔවුන් ඉවත් කරන ලෙස කම්කරුවන් ඉල්ලා සිටිය යුතුය. ගාසා තීරය වටලෑම අවසන් කල යුතු අතර ආහාර, ජලය, විදුලිය, වෛද්‍ය ප්‍රතිකාර සහ අනෙකුත් සියලුම අවශ්‍යතා වහාම ලබා දිය යුතුය. නෙතන්යාහු, ශොල්ස්, බයිඩන්, සුනක්, මෙලොනි, මැක්රෝන් සහ එක්සත් ජනපද-නේටෝ අක්ෂයේ සියලුම ප්‍රමුඛ පුද්ගලයින්ට, ජන සංහාරයට සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලට සම්බන්ධ වීම සම්බන්ධයෙන් නඩු පැවරිය යුතුය.

පාලක පන්තියේ සියලුම ධනේශ්වර ආන්ඩු හා දේශපාලන පක්ෂවලට එරෙහිව කම්කරුවන්ගේ මහජන ව්‍යාපාරයක් යොමු කල යුතුය. එපමනක් නොව මැද පෙරදිග කම්කරුවන් විසින් පලස්තීනුවන් ආරක්ෂා කිරීම, ඊස්රායලය සමග සබඳතා වගා කර පලස්තීනුවන් හුදකලා කර පාවා දුන් ඔවුන්ගේම ධනේශ්වර ආන්ඩුවල පාලනය යටතට ගැනීමට ඉඩ නොදිය යුතුය.

යුද විරෝධී ව්‍යාපාරය කම්කරු පන්ති ව්‍යාපාරයක් සහ සමාජවාදී ව්‍යාපාරයක් ලෙස වර්ධනය කල යුතුය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එයට අනුබද්ධ සමාජවාදී සමානතා පක්ෂ කම්කරු පන්තිය තුල සමාජවාදී හා විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීමට සටන් වදියි. පහත පෝරමය පුරවා මෙම නායකත්වය ගොඩනැගීමට අප සමග එක්වන ලෙස ගාසා තීරයේ ජන සංහාරය නැවැත්වීමට සටන් කරන සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිමු.

Loading