ඊස්රායලය ගෙනියන ජනසංහාරයට එරෙහි ව ලොව පුරා කම්කරුවන් හා තරුනයන් බලමුලු ගන්වනු!

[මෙම ලිපිය Mobilize workers and youth throughout the world against Israel’s genocide! මැයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඔක්තෝබර් 14දා පලකල කතෘ මන්ඩල ප්‍රකාශයේ පරිවර්තනය යි.]

2023 ඔක්තෝබර් සෙ 14නසුරාදා, ගාසා තීරයේ රෆාහි ඊස්රායල් ප්‍රහාරයකින් විනාශ වූ ගොඩනැගිල්ල අසල පලස්තීනුවන් සිටගෙන සිටිති. [AP Photo/Hatem Ali] [AP Photo/Hatem Ali]

නාසීන් විසින් සිදු කරන ලද අපරාධයන්ට සමාන, දැවැන්ත පරිමාන අපරාධයක් දැන් ලෝකයේ ඇස් හමුවේ දිග හැරෙමින් තිබේ. ගාසා තීරයේ මිලියන දෙකකට අධික ජනතාවක් මහා ජනසංහාරයක තර්ජනයට ලක් ව සිටිති. ඊස්රායල් ආන්ඩුව අත්‍යාසන්න ගොඩබිම් ආක‍්‍රමනයකට පූර්වයෙන්, ගාසා තීරයේ වෙසෙන ජනතාව ක‍්‍රමානුකූල ව ආහාර හා ජල හිඟයකට පාත‍්‍ර කරමින් සිටියි.

පලස්තීන ජනතාව මත මුදා හරිමින් සිටින භීෂනයෙන් මුලු ලොව පුරා කම්කරුවෝ සහ තරුනයෝ කම්පනයට පත් ව කැරලි ගසමින් සිටිති. පසුගිය සතියේ ලොව පුරා මිලියනයක අධික ජනතාවක් විරෝධතා දැක්වී ය. දැන් ඉමහත් අවදානම් තත්වයක සිටින මිලියන ගනන් පලස්තීනුවන්ගේ ඉරනම හමුවේ, මෙම විරෝධය කම්කරු පන්තියේ කාර්මික විරෝධතා ක‍්‍රියාමාර්ග හරහා පලල් කිරීම ඉතා හදිසි කර්තව්‍යයක් බවට පත් ව තිබේ.

ඊස්රායලයේ නෙතන්යාහු රාජ්‍ය තන්ත‍්‍රයේ අභිප‍්‍රාය වන්නේ ගාසා තීරය මිහිතලයෙන් අතු ගා දැමීම යි. උතුරු ගාසා තීරයේ වෙසෙන මිලියන 1.1 ක ජනතාවට ඉන් ඉවත් ව යාමට ඊස්රායල් හමුදාව ඔක්තෝබර් 12 වෙනි බ‍්‍රහස්පතින්දා දුන් අවසන් කාල සීමාව දැන් ඉකුත් ව ගොස් ය. ලක්ෂ ගනන් මිනිසුන් සිය ජීවිත ගලවා ගෙන දකුනට යාමට හිස ගිනි ගත්තවුන් සේ උත්සාහ කරමින් සිටින අතර තවත් ලක්ෂ ගනනක් ගාසා නගරයේ රැඳී සිටිති.

මේ සිදු වෙමින් පවතින්නේ ගාසා තීරයේ සමස්ත ජනතාව මත එල්ල කෙරුනු යුධ අපරාධයකි. ඔක්තෝබර් 9 දා සිට ගාසා තීරයට ආහාර, ජලය සහ තෙල් යැවීම අහුරා දැමුනි; එය ම ජාත්‍යන්තර නීතිය යටතේ යුද අපරාධයක් වේ. පලස්තීන සරනාගතයින් උදෙසා වන එක්සත් ජාතීන්ගේ සහන කටයුතු ඒජන්සියේ ප‍්‍රධානියා වන ෆිලිප් ලාසාරීනී මෙසේ පැවසී ය: ”දිග හැරෙමින් පවතින මානුෂික අර්බුදයේ පරිමානයත් වේගයත් ඇඟ හිරි වට්ටනසුලු ය. ගාසා තීරය වේගයෙන් නරකාදියක් වෙමින් පවතින අතර එය බිඳ වැටීමේ අද්දර පවතී.”

මිනිසුන් 650 000කගේ පන රැක ගැනීම සඳහා වඩාත් මූලික අවශ්‍යතාව වන පානීය ජලයේ උග‍්‍ර හිඟයක් පවතින බව ලාසාරීනී සඳහන් කලේ ය. ආරක්ෂිත පානීය ජලය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ඉන්ධන ඉක්මනින් නොලැබෙන්නේ නම් ”කුඩා ලමයින්, වැඩිහිටියන් හා ස්ත‍්‍රීන් ඇතුලූ මිනිසුන් දරුනු විජලනයෙන් පීඩිත ව මරනයට පාත‍්‍ර වනු ඇත. ජීවිත ආරක්ෂාවට දැන් ඉතිරි ව ඇති අවසන් එක ම මඟ වතුර පමනි” යනුවෙන් ඔහු ප‍්‍රකාශ කලේ ය.

ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙමින් පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානය (ලෝසෞසං) ඉරිදා ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ”උතුරු ගාසා තීරයේ, නේවාසික රෝගීන් 2000කට අධික සංඛ්‍යාවකට ප‍්‍රතිකාර කරමින් සිටින රෝහල් 22ක් ඉවත් කරන ලෙස ඊස්රායලය යලි යලිත් දුන් නියෝගය සිය සංවිධානය දැඩි ලෙස හෙලා දකින බවත් රෝගීන් හා සෞඛ්‍ය සේවකයන් බලහත්කාරී ලෙස ඉවත් කිරීමෙන් දැන් පවතින මානුෂීය හා පොදු සෞඛ්‍ය ව්‍යාසනය තව තවත් නරක අතට හැරෙනු ඇති බවත්” ය.

“එසේ ඉවත් කිරීමේ දී ඔවුනගේ ජීවිතාරක්ෂක වෛද්‍ය අවධානය කපා දැමෙන්නේ නම්, දැඩි සත්කාර ඒකකවල සිටින නැතහොත් ජීවිතාරක්ෂක උපකරන මත ජීවත් වන රෝගීන්, හිමොග්ලෝබීන් කාන්දු පෙරනයට ලක් ව ඇති රෝගීන්, උනුහුම්කරන කුටිවල සිටින අලූත උපන් දරුවන්, සංකූලතා සහිත ගර්භනී මව්වරුන් ඇතුලූ බරපතල ලෙස රෝගී ව අවදානම් තත්වයේ සිටින බොහෝ ජීවිත හා අන් සියල්ලන්ගේ ම ජීවිත ක්ෂනික ව එක්කෝ මරනයට නැත් නම් බරපතල නරක තත්වයන්ට මුහුන දෙනු ඇතැ” යි ලෝසෞසං ප‍්‍රකාශයේ දැක්වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කළේ උතුරු ගාසා තීරයේ රෝහල් ඉවත් කල යුතු බවට ඊස්රායලය දුන් නියෝගය ”මරන දඬුවමක්” දීම බව යි.

දින හතක ඊස්රායල ගුවන් ප‍්‍රහාරවලින් නිල වශයෙන් මිය ගිය ගනන 2215 කි. එයින් 500කට වැඩි සංඛ්‍යාවක් දරුවන් ය. තව ද 8700කට වැඩි සංඛ්‍යාවක් එම ප‍්‍රහාරවලින් තුවාල ලබා තිබේ. මෙම නිරනුකම්පික බෝම්බ ප‍්‍රහාරයේ අරමුන ඍජු ආක‍්‍රමනයකට මඟ පාදා ගැනීම ය. සෙනසුරාදා ඊස්රායල් හමුදා ප‍්‍රකාශ කලේ ගාසා තීර සීමාවේ සිටින ලක්ෂ සංඛ්‍යාත හමුදා ඛන්ඩ ”සැලකිය යුතු ගොඩබිම් ක‍්‍රියාන්විතයකට” හා ”ඒ හා ඒකාග‍්‍රිත හා සම්බන්ධීකෘත ගුවන්, මුහුදු හා ගොඩබිම් ප‍්‍රහාරයකට” සූදානම් වෙමින් සිටින බව යි.

මේ දිග හැරෙමින් පවතින ජනසංහාරයට ඇමරිකානු සහ යුරෝපීය ආන්ඩු මුලූමනින් ම සහාය වේ. ඒ සියල්ලන් ම ඊස්රායලයේ මිනීමරු ක‍්‍රියාදාමයට සම්පූර්න පිටුබලය ලබා දෙමින් ප‍්‍රකාශ නිකුත් කර තිබේ.

ඊස්රායලය ”කෝපයෙන් පලිගන්නේ ද” යන ප‍්‍රශ්නය ගිය සිකුරාදා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්ගෙන් විමසූ විට ඔහු පිලිතුරු දුන්නේ ” ඊස්රායලය කරමින් සිටින දෙය පලිගැනීමක් නො වේ. ඊස්රායලය කරමින් සිටින දෙය වන්නේ ඔවුන්ගේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම යි....ඊස්රායලය අත් විඳි ආකාරයේ දෙයක් අත් විඳි ඕනෑ ම රටක් මේ දෙය ම කරනු ඇතැ යි මම සිතමි.” යනුවෙනි. ඊස්රායලයට පන්නා යා නොහැකි ”රතු ඉරි” කිසිවක් තිබේ දැයි පෙර දිනයේ ඔහුගෙන් විමසූ කල බ්ලින්කන් සරල ව ම ”අපි ඔවුනට සහාය දැක්වීමට අධිෂ්ඨානවත් ව සිටිමු” යි පිලිතුරු දුන්නේ ය.

හෆින්ටන් පෝස්ට් මඟින් ලබා ගන්නා ලද එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පනිවුඩ රාජ්‍ය තාන්ත‍්‍රිකයන්ට උපදෙස් දුන්නේ “තීව‍්‍රතාව අඩු කිරීම/සටන් විරාමය”, “ප‍්‍රචන්ඩත්වයේ/ලේ වැගිරීමේ අවසානය” හා “සන්සුන් භාවය යලි පිහිටු වීම” වැනි වදන් මුද්‍රිත ලේඛනවල භාවිත නොකරන ලෙස ය. ඊස්රායල ප‍්‍රහාරයේ ආරම්භක දිනවල සටන් විරාමයක් යෝජනා කරමින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කල ට්විටර් පනිවුඩය දැන් මකා දමා ඇත.

ඇමරිකාවේ බයිඩන් පාලනය මෙම ජනසංහාරය දිරිමත් කරමින් උසිගන්වයි. ගාසා තීරයේ ක‍්‍රියන්විතයන්හි සිය ඍජු හමුදා මැදිහත් වීමේ සංඥාවක් වශයෙන් පෙන්ටගනය සෙනසුරාදා නියෝග කලේ නැගෙනහිර මධ්‍යධරනී මුහුදට සිය දෙවන ගුවන් යානා ප‍්‍රවාහන නෞකාවක් යවන ලෙස ය.

ජන මාධ්‍යවල නිර්දය, බොරු ප‍්‍රචාරක ව්‍යාපාරය තිබිය දී ම ඒවා නො තකා, අතිමහත් බහුතර ලෝක ජනතාවකගේ අනුකම්පාව දශක ගනනාවක් මුලූල්ලේ පීඩාවටත් වදහිංසාවලටත් ගොදුරු වූ පලස්තීන ජනතාව කෙරෙහි යොමු ව තිබේ.

ගාසා තීරයේ වෙසෙන මිලියන දෙකකටත් අධික පලස්තීන ජනතාවට එරෙහි ව වර්ධනය කෙරෙන ජනසංහාරයත් එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ යුරෝපය පුරා අධිරාජ්‍යවාදී ආන්ඩු ඊට සපයන පිටුබලයත් නවතා දමනු පිනිස සෑම රටක ම කම්කරු පන්තියේ ශක්තිය බලමුලූ ගැන්විය යුතු ය. ලෝකය පුරා නගරවලත් අධ්‍යයන ආයතන හා විශ්වවිද්‍යාලවලත් මහා පෙලපාලි සහ විරෝධතා කැඳවුම් කල යුතු ය.

ඊස්රායලය මෙම යුද්ධයේදී යොදාගනු ඇති සියලුම මූලාශ්‍රයන් අත්හිටුවීමට කම්කරුවන් කාර්මික ක්‍රියාවන්ට යා යුතුය. ඊස්රායලයට යැවෙන මොනම ආයුධයක්වත් ප්‍රවාහනය කරවා දීම සඳහා පහසුකම් සැපයීමට ලෝකය පුරා වරාය, ගුවන්යානා සහ ප්‍රවාහන කම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කල යුතුය.

ගාසා තීරයට එල්ලකරන ප්‍රහාර නැවත්වීම සඳහා ගොඩනගන මෙම ගෝලීය ව්‍යාපාරයේ කොටසක් ලෙස කම්කරුවන් පහත ඉල්ලීම් ඉදිරිපත් කල යුතු ය:

1) ඇමරිකානු සහ යුරෝපීය ආන්ඩු ගාසාවේ ජන සංහාරය සඳහා දක්වන සහයෝගය සහ එයට හවුල්වීම නවත්වන ලෙස බල කරනු ලැබිය යුතු ය!‍

2) ආහාර, ජලය, විදුලි බලය, සෞඛ්‍ය සේවා සහ සෙසු සියලු අවශ්‍යතාවන් වහා ම සම්පාදනය කල යුතු ය!

3) ගාසා තීරය වටලා සිටීම වහාම ඉවත් කරනු!

4) ඊස්රායල් ආරක්ෂක බලකායන් විසින් ගෙනියන සියලු මිලිටරි ප්‍රහාර නතර කලයුතුය!

5) සියලුම ඊස්රායල් මිලිටරි බලකායන් එකවරම විසුරුවා හරින ලෙසත්, එහි සියලුම බලකායන් ගාසා දේශසීමාවෙන් ඉවත් කරගන්නා ලෙසත් බලකල යුතු ය!

Loading