ඉදිරිදර්ශන

පෞද්ගලීකරනයට එරෙහි ලංවිම කම්කරුවන්ගේ අරගලය සඳහා ඉදිරි මාවත

ලංකා විදුලි බල මන්ඩල (ලංවිම) කම්කරුවන්, ආන්ඩුවේ හා කලමනාකාරීත්වයේ තර්ජන නොතකා, ජනවාරි 3 දා සිට දින තුනක් පුරා ගෙන ගිය අසනීප නිවාඩු උද්ඝෝෂනය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආන්ඩුවේ පෞද්ගලීකරන වැඩපිලිවෙලට එරෙහිව සටන් කිරීමේ ඔවුන්ගේ සටන්කාමීත්වය සහ අධිෂ්ඨානය පෙන්නුම් කලේ ය.

පෞද්ගලීකරණයට එරෙහිව ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් 2024 ජනවාරි 4 වැනි දින කොළඹදී විරෝධතාවයක නිරත වේ.

26,000 ක් පමන ලංවිම කම්කරුවෝ විරෝධතා උද්ඝෝෂනයට සහභාගි වූහ. මෙම ක්‍රියාව අතරතුර දී ලංවිම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දිනපතා පැවැත්වූ විරෝධතා උද්ඝෝෂනවලට සහභාගිවීම සඳහා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් කම්කරුවන් 10,000 ක් පමන කොලඹට පැමිනියහ.

විදුලි සේවක අරගලයේ පාඩම් අනෙකුත් සියලුම කම්කරුවන්ට තීරනාත්මකව වැදගත් වේ.

රාජ්‍ය මර්දනයේ තර්ජන වලට අභියෝග කරමින්, පෞද්ගලීකරනයට එරෙහිව සටන් වැදීමට සහ සමාජ අයිතීන් ආරක්ෂා කිරීමට ලංවිම කම්කරුවන් සටනට පැමිනිය ද, ඊට ප්‍රතිකූලව, ලංවිම වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුනේ නායකයෝ එකම ප්‍රහාරයට මුහුන දී සිටින රාජ්‍ය අංශයේ කම්කරුවන්ගේ පොදු අරගලයක් වර්ධනය කිරීම අවහිර කලහ.

විදුලි සේවක විරෝධතාවය 2024 දී ශ්‍රී ලංකාවේ සිදු වූ පලමු ප්‍රධාන කාර්මික ක්‍රියාමාර්ගයයි. වෘත්තීය සමිති නායකයින් මෙම උද්ඝෝෂනය ලංවිමට සීමා කර ඇතත්, එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) නියෝග කරන ලද කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව මේ වසරේ ශ්‍රි ලංකාවේ කම්කරු පන්තියේ සෑම කොටසක් තුල ම මතු වීමට නියමිත අරගලවල ප්‍රකාශනයකි.

වික්‍රමසිංහ ආන්ඩුවේ පෞද්ගලීකරන වැඩපිලිවෙලට, ලංවිම, වරාය, දුම්රිය, එයාර් ලංකා ගුවන් සේවය, ටෙලිකොම්, ඉංජිනේරු සංස්ථාව සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වැනි ප්‍රධාන ආයතන ඇතුලුව රජය-සතු ව්‍යවසාය සිය ගනනක් ඇතුලත් වේ. එය රැකියා සහ වැටුප් කප්පාදු මෙන්ම දැඩි සේවා කොන්දේසි සමඟ ඉදිරියට යෑමට නියමිත ය. ආදායම් බදු සහ එකතු කල අගය මත බද්ද නොහොත් වැට් ජනවාරි 1 වැනිදා සිට සියයට 18 දක්වා ඉහල දමා ඇති අතර අත්‍යාවශ්‍ය භාන්ඩ මිල ගනන් සියයට 3කින් ඉහල ගියේය. මෙතෙක් වැට් බද්දෙන් නිදහස් කර තිබූ ඇතැම් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල සියයට 18කින් ඉහල ගොස් ඇත. නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය තවදුරටත් කප්පාදු කිරීමට නියමිත ය.

ජාමූඅ අවධාරනය කර ඇත්තේ ආන්ඩුව මෙම වැඩපිලිවෙල 'කුරිරු අත්හදා බැලීමක්' තුලින් ක්‍රියාත්මක කල යුතු බවත් එසේ නොවුනහොත් ඩොලර් බිලියන 3 ක නය මුදලේ ඉතිරි වාරික නො ලැබෙන බවයි. ශ්‍රි ලංකාව විසින් පැහැර හරින ලද විදේශ නය ආපසු ගෙවීම සහ ආයෝජකයින්ගේ ලාභය ඉහල නැංවීම සහතික කිරීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම ආන්ඩුවට අවශ්‍ය කෙරී තිබේ.

රටෙහි පෙර නොවූ විරූ ආර්ථික අර්බුදය විසඳීම සඳහා “ජාමූඅ වැඩපිලිවෙලට විකල්පයක් නොමැති” බව වික්‍රමසිංහ යලි යලිත් අවධාරනය කර ඇත.

නිර්දය ලෙස කප්පාදු පියවර ක්‍රියාවට දැමීමේ කොටසක් ලෙස, ආන්ඩුව කම්කරුවන්ගේ අරගල බිය ගැන්වීම හා මර්දනය කිරීම සඳහා ආඥාදායක පියවර ක්‍රියාවට නගමින් තිබේ. පසුගිය වසරේ, විරෝධතාවයේ නිරත රාජ්‍ය සේවකයින්ට, ගුරුවරුන්ට සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට කුරිරු ලෙස පහර දීමට ආන්ඩුව පොලිස් කැරලි මර්දන කන්ඩායම් මෙහෙයවී ය.

වික්‍රමසිංහ, ලංවිම කම්කරුවන්ගේ විරෝධතා ව්‍යාපාරය ආරම්භ කල දිනයේ, අත්‍යාවශ්‍ය සේවා නියෝග ප්‍රකාශයට පත්කරමින් විදුලිය, ඛනිජ තෙල් හා ප්‍රවාහන අංශවල වැඩ වර්ජන තහනම් කලේ ය. සමාජ මාධ්‍ය භාවිතා කරන විදුලි සේවකයින්ට ඒ සඳහා සීමා පනවා ඇත.

ජල ප්‍රහාරක රථවලින් සන්නද්ධ පොලිස් සහ නාවික හමුදා සෙබලුන් සිය ගනනක් විදුලිබල මන්ඩල ප්‍රධාන කාර්යලය ඉදිරිපිට විරෝධතාවයට ආසාන්නයේ සීරුවෙන් තබා තිබුනි. උද්ඝෝෂනවලට සහභාගී වූ සේවකයින්ට එරෙහිව පියවර ගන්නා ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විදුලිබල මන්ඩල ප්‍රධානීන්ට නියෝග කර තිබේ.

මේවා, වෘත්තීය සමිති නායකයන් පෙන්නුම් කිරීමට උත්සාහ කරන ආකාරයේ හිස් තර්ජන නොවේ. කම්කරු පන්තිය පරාජය කිරීමට අධිෂ්ඨානශීලීව සිටින මහා ව්‍යාපාරිකයන්, ජාත්‍යන්තර ප්‍රාග්ධනය සහ මහ බලවතුන්ගේ පිටුබලයලත්, ආන්ඩුවේ දේශපාලන අභියෝගයකට තමන් මුහුන දෙමින් සිටින බව ලංවිම හා අනෙකුත් කම්කරුවන් වටහා ගත යුතුය. ආන්ඩුවේ ප්‍රතිපත්ති පරාජය කිරීමට කම්කරු පන්තිය දේශපාලනිකව සූදානම් විය යුතුයි.

මෙම අරගලයේදී ශ්‍රී ලාංකාවේ කම්කරුවන් තනි වී නැත. ඔවුන්, ජීවන හා සමාජ කොන්දේසි මත එක හා සමාන ප්‍රහාරයකට මුහුන දී සිටින ජාත්‍යන්තර කම්කරු පන්ති බලඇනියේ කොටසකි.

වෘත්තීය සමිතිවල භූමිකාව කුමක්ද?

දෙසැම්බර් 28දා, ලංවිම, ටෙලිකොම්, තැපැල් සහ රාජ්‍ය බැංකු ඇතුලු ක්ෂේත්‍ර ගනනාවකට අයත් වෘත්තීය සමිති 40 කට වැඩි සංඛ්‍යාවක නායකයෝ ආන්ඩුවේ මෙම රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරනය එරෙහිව 'ඒකාබද්ධ අරගලයක් ' සංවිධානය කරන බවට පූච්චානම් දොඩමින් කොලඹ දී සාකච්ඡාවක් පැවැත්වූහ. අවසානයේ ඔවුන් තීරනය කලේ කම්කරු පන්තියේ ශක්තිය හීනකර දේශපාලන වශයෙන් නිරායුධ කිරීම සඳහා හුදකලා හා විසුරුනු විරෝධතා සංවිධානය කිරීමටයි.

මෙම වෘත්තීය සමිති ප්‍රධාන වශයෙන් පාලනය වන්නේ සමගි ජන බලවේගය (සජබ), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුන සහ වතුකරයේ ලංකා කම්කරු කොංග්‍රසය සහ ප්‍රගතිශීලී දෙමල සන්ධානය විසිනි. ඔවුන් සියල්ලෝම සහ අනෙකුත් ඊනියා ස්වාධීන වෘත්තීය සමිති ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට කැපවී සිටිති.

මෙම වෘත්තීය සමිති කම්කරුවන් විරෝධතාවලට කැඳවන්නේ නම්, ඒ, කම්කරුවන්ගේ වැඩෙන කෝපය වාෂ්ප කර සහ පීලි පැන්නීම සඳහා පමනි. එනම්, කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමට ආන්ඩුවට ඉඩ දීමටයි.

විදුලිබල සේවක සංගමයේ නායකයා සහ ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙකු වන රංජන් ජයලාල් ප්‍රකාශ කලේ විදුලිබල මන්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දිනයේදී තවත් විරෝධතාවක් සංවිධානය කරන බවයි. එය පලක් නොවන්නේ නම් උසාවි තීන්දුවක් ඉල්ලා සිටින අතර එය අසාර්ථක වුවහොත් වර්ජනයක් ද සිදු කරනු ඇත. එය කම්කරුවන්ගේ කෝපය වාෂ්ප කිරීමේ මඩ ගොහොරුවකි.

ජාමූඅ කප්පාදු වලට එරෙහිව සහ වැඩි වැටුප් ඉල්ලා, ලංවිම, වරාය, තැපැල්, ටෙලිකොම්, සෞඛ්‍ය, විශ්ව විද්‍යාල, රාජ්‍ය පරිපාලන සේවා ඇතුලු රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති විසින් විරෝධතා දුසිම් ගනනක් කැඳවා ඇත. එම ක්‍රියා, රජයට බලපෑම් කරන නිස්සාර සංකේත වර්ජනවලට, කෑම පැයේ විරෝධතාවලට සීමාකල වෘත්තීය සමිති නිලධරය අවසානයේ දී එම අරගල පාවා දෙන ලදී.

2022 මහජන නැගිටීම අතරතුර, සජබ සහ ජවිපෙ විසින් ඉදිරියට දමන ලද ධනපති අන්තර්කාලීන ආන්ඩු වැඩපිලිවෙලට සහයෝගය දෙනුවස්, මිලියන සංඛ්‍යාත කම්කරුවන්ගේ එක්දින වැඩ වර්ජනය අපසරනය කිරීමට මෙම සමිති කටයුතු කලහ. අන්තර්කාලීන ආන්ඩු වැඩපිලිවෙල කම්කරු නැගිටීම විසුරුවා හැරීමේ යෝජනාවකි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පලා ගොස් ඉල්ලා අස් වීමට බල කෙරුනේ වුවද, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පිටුබලය සහිතව වෘත්තීය සමිති කල පාවාදීම, එක්සත් ජනපද ගැති වික්‍රමසිංහ බලයට පත් කිරීම සඳහා අපකීර්තිමත් පාර්ලිමේන්තුවට මග පෑදීය.

කම්කරුවන්ට තම කාර්මික ශක්තිය යොදා ගනිමින් රජයට වැඩි පීඩනයක් එල්ල කිරීමෙන් පෞද්ගලීකරනය සහ අනෙකුත් ප්‍රහාර පරාජය කල හැකි බවට වෘත්තීය සමිති නායකයෝ මිත්‍යාවන් වපුරති.

ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් 2024 ජනවාරි 4 වන දින කොළඹින් පිටත ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ පවත්වයි.

විදුලිබල මන්ඩලයේ වෘත්තීය සමිති නායකයින් අවධාරනය කර සිටියේ, විදුලිය සැපයීම නැවැත්වීමෙන් කර්මාන්ත ඇනහිටුවා ආන්ඩුවේ සැලසුම් පරාජය කිරීමේ, කාර්මික වශයෙන් ‘සුවිශේෂී ශක්තියක්’, විදුලිබල කම්කරුවන්ට ඇති බවයි. වරාය, ටෙලිකොම්, දුම්රිය සහ වෙනත් වෘත්තීය සමිති ද මීට සමාන ප්‍රචාරනයක යෙදී සිටී.

ලංවිම හෝ වෙනත් ආයතනයක සේවකයින් මෙම මිත්‍යාවට හසු නො විය යුතුය.

ආර්ථිකය නැවැත්විය හැකි දැවැන්ත කාර්මික ශක්තියක් කම්කරුවන්ට ඇති බව සැබෑ නමුත් දේශපාලනිකව එම ශක්තිය නො මෙහෙයවන තාක් දුරට එය දුබලතාවයක් බවට පරිවර්තනය විය හැකිය.

1996 දී විදුලි සේවක වර්ජනය තලා දැමුවේ එවක ජනාධිපති චන්ද්‍රිකා බන්ඩාරනායක පාලනය විසින් හදිසි නීති බලතල යොදා ගනිමින් කම්කරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ දේපල අත්පත් කර ගන්නා බවට තර්ජනය කරමිනි.

සජබ සහ ජවිපෙ උත්සාහ දරන්නේ, ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට සහ වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහි කම්කරුවන්ගේ කෝපය සහ විරෝධය ගසාකෑමටයි. මේ වසරේ මැතිවරනවලදී තමන්ට සහාය දෙන ලෙස ඔවුහු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිති. මෙම පක්ෂවලට සහය දක්වන වෘත්තීය සමිති නායකයින් කම්කරුවන්ට පවසන්නේ තම ඉදිරි පාලන තන්ත්‍ර මගින් ඔවුන්ගේ ගැටලු විසඳන බවයි. කෙසේ වෙතත්, සජබ සහ ජවිපෙ බලයට පැමිනියහොත් ඔවුන් වත්මන් පාලනයට වඩා නොඅඩු නිර්දයභාවයකින් ජාමූඅ පිලිවෙත් ක්‍රියාවට දමනු ඇත.

කම්කරුවන් මුහුන දී සිටින්නේ කම්කරු පන්තිය පරාජය කිරීමට සහ ගෝලීය වශයෙන් දිනෙන් දින ගැඹුරු වන ආර්ථික අර්බුදයේ බර ඔවුන් මත පැටවීමට අධිෂ්ඨානශීලී ආන්ඩුවකටයි.

පහත ඉල්ලීම් මත සටන් වදින ලෙස ලංවිම කම්කරුවන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

අත්‍යාවශ්‍ය මහජන සේවා පනත වහා හකුලා ගනු!

පුද්ගලීකරනය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනෙකුත් කප්පාදු පරාජය කිරීම සඳහා වැඩවර්ජන ක්‍රියාමාර්ග ඇතුලු කම්කරුවන්ගේ ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් සංවිධානය කරනු!

තම අයිතීන් ආරක්ෂා කර ගැනීමේ සටනේ දී කම්කරුවන්ට මෙම කිසිදු ධනපති පක්ෂයක් හෝ වෘත්තීය සමිතියක් මත රඳා පැවතිය නොහැකිබව ඒ සමගම අපි කියා සිටින්නෙමු. ධනපති පක්ෂවලින් හා වෘත්තීය සමිතිවලින් ස්වාධීනව, සෑම වැඩබිමකම, වතුකරයේ සහ කම්කරු නිවහන් ප්‍රදේශයකම ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කර ගන්නා ක්‍රියාකාරී කමිටු පිහිටුවමින් කම්කරු පන්තිය සටන තම අතට ගත යුතු ය.

ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත්කෙරෙන එවැනි ක්‍රියාකාරී කමිටු ජාලයක් පිහිටුවීමෙන්, ජාමූඅ හි විධානයන් මත, තම ජීවන කොන්දේසි වලට සහ පුද්ගලීකරනය ඇතුලු සමාජ අයිතීන්ට වික්‍රමසිංහ ආන්ඩුව එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහිව සටන් කිරීම සඳහා පොදු ක්‍රියාමාර්ගයන් වර්ධනය කල හැකිය. ධනේශ්වර ක්‍රමය තුල වැඩකරන ජනතාවට විසඳුමක් නැත.

පෞද්ගලීකරනය එපා! අවශ්‍ය වන්නේ සියලුම රාජ්‍ය පාලිත ව්‍යවසායන්, පෞද්ගලික මහ සංගත සහ බැංකු කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් කිරීමයි. විදේශ නය ආපසු ගෙවීම ප්‍රතික්ෂේප කල යුතුයි.

මෙම වැඩපිලිවෙල සඳහා සටන් කිරීමේදී, කම්කරු පන්තිය ගම්බද ජනතාව පෙලගස්වා ගත යුතු අතර, ක්‍රියාකාරී කමිටුවලින් තෝරාපත් කර ගන්නා නියෝජිතයින්ගෙන් සමන්විත, කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩ නැගිය යුතුය.

මෙම අරගලය හරහා කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම, ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමේ මාවත සකසනු ඇත.

Loading