කප්පාදු පියවරයන්ට එරෙහි ශිෂ්‍ය විරෝධතාවලට ශ්‍රී ලංකා පොලිසිය පහර දෙයි

[මෙය Sri Lankan police attack student protests against austerity measures යන මැයෙන් 2024 මාර්තු 11 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

පසුගිය සතියේ කොලඹ පැවති ශිෂ්‍ය විරෝධතා දෙකකට ශ්‍රී ලංකා පොලිසිය පහර දුන්නේය. පොලිස් ප්‍රහාර, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව විසින්, එහි ම්ලේච්ඡ කප්පාදු පියවරවලට සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහි විරුද්ධත්වය තලා දැමීමට දරන ප්‍රයත්නයේ දී නියෝග කරන ලද මර්දනකාරී ක්‍රියාවන්හි කොටසකි.

2024 මාර්තු 6 වන දින සිසුන්ගේ පාගමනට එල්ල කල ප්‍රහාරයේදී කැරලි මර්දන පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය සිසුන් පසුපස හඹා යයි [ඡායාරූපය: ෆේස්බුක් අවිශිබම] [Photo: Facebook IUSF]


පසුගිය අඟහරුවාදා (05), එක් පොලිස් මර්දනයකදී ශිෂ්‍ය කන්ඩායම් කිහිපයක් විසින් සංවිධානය කරන ලද විරෝධතාවයක් නැවැත්වීය. විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ, නේවාසිකාගාර සහ අනෙකුත් සුබසාධන ගැටලුවලට විසඳුම්, වෛද්‍ය උපාධි විකිනීම නතර කිරීම, ජීවන වියදමට සරිලන පරිදි ශිෂ්‍යත්ව අරමුදල් වැඩි කිරීම සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) සහ අනෙකුත් මර්දන නීති අහෝසි කිරීම ආදිය යි.

කොලඹ විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ප්‍රධාන මාර්ගයකට අවතීර්න වූ 1000 ක් පමන දෙනාගෙන් යුත් පෙලපාලිය පොලිස් කැරලි මර්දන ඒකකය අවහිර කලේය. ජල ප්‍රහාරක රථවලින් සහ කඳුලු ගෑස්වලින් සන්නද්ධ තවත් පොලිස් බලඇනියක් සිසුන් විශ්වවිද්‍යාල භූමියට පසු බසින තෙක් ඔවුන්ට පහර දීමට පටන් ගත්හ. අනතුරුව පොලිසිය විශ්වවිද්‍යාලය තුල රැස්ව සිටි සිසුන්ට කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කලේය.

පෙරේදා (09) උදෑසන, බිය ගැන්වීමේ ක්‍රියාවක් ලෙස, පෙලපාලියට එක්වීමට පැමිනි පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිසුන් රැගත් බස් රථ පොලිසිය විසින් නතර කලේය. පොලිසිය වාහන පරීක්‍ෂා කල අතර ඔවුන් යන්නේ කොහේදැයි සිසුන්ගෙන් ප්‍රශ්න කලේය. පසුව සිසුන්ට ඉදිරියට යාමට අවසර දෙන ලදී.

දෙවැනි විරෝධතාව බදාදා (06) මධ්‍යම කොලඹදී පැවැත්විනි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය (අවිශිබම) විසින් සංවිධානය කරන ලද එයට විශ්ව විද්‍යාල කිහිපයක සිසුන් සිය ගනනක් සහභාගී වූහ. මෙම උද්ඝෝෂනයේදී හඬනැගූ සටන් පාඨ, පෙර දින සටන් පාඨවලට සමාන විය.

විරෝධතාව ආරම්භක කල කොලඹ පුංචි බොරැල්ලේ පොලිස් නිලධාරීන් සිය ගනනක් රැඳී සිටියහ. සිසුන් පා ගමන ආරම්භ කරන විට පොලිසිය ඔවුන්ට ජල, කඳුලු ගෑස් සහ බැටන් ප්‍රහාරවලින් අනුකම්පා විරහිත ලෙස පහර දුන්නේය. විරෝධතාකරුවන් පැන යාමට උත්සාහ කල විට, පොලිසිය ඔවුන් අසල මාර්ග හරහා ලුහුබැඳ ගියේය. ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරවලට ලක්වූ සමහර සිසුන් ඔවුන්ගේ සගයන් විසින් රැගෙන යන ලදී.

නුදුරින් පිහිටි කොලඹ ජාතික රෝහලේ සේවකයෝ දුසිම් ගනනක් මාර්ගය අසලට රැස්වී පොලිස් ප්‍රහාරය හෙලා දකිමින් සටන් පාඨ හඬ නැගූහ.

අවිශිබම කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුලු සිසුන් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ප්‍රහාරයට එරෙහිව වැඩෙන විරෝධය මධ්‍යයේ, කොලඹ මහේස්ත්‍රාත් අධිකරනය බ්‍රහස්පතින්දා ඔවුන්ව රුපියල් 500,000 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරියේය.

2024 මාර්තු 6 වන දින ශිෂ්‍ය විරෝධතාවයේදී අවිශිබම කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් පොලිසිය විසින් අත්අඩංගුවට ගනී [ඡායාරූප: ෆේස්බුක් අවිශිබම] [Photo: Facebook IUSF]


උපාධි අපේක්ෂකයින්ට ඔවුන්ගේ අධ්‍යයන කටයුතු කරගෙන යාමේදී දරාගත නොහැකි කොන්දේසි මගින් අවුලුවනු ලබන විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතා, සෑම සතියකම පාහේ පැවැත්වේ. අධ්‍යාපනය සඳහා වන වියදම් කප්පාදුව, වික්‍රමසිංහ ආන්ඩුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමූඅ) විසින් පනවා ඇති කප්පාදු වැඩපිලිවෙලේ කොටසකි.

මෙවර අයවැයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 242 ක් වන අතර එය පෙර වසරට වඩා යන්තම් රුපියල් බිලියන 5 ක වැඩිවීමකි. 2022 සහ 2023 සඳහා වාර්ෂික උද්ධමන අනුපාත පිලිවෙලින් සියයට 46 සහ 18 වැනි ඉහල අගයක් ගන්නා බැවින්, විශ්වවිද්‍යාල සහ සාමාන්‍ය අධ්‍යාපනය පහල මට්ටම් වලින් හෝ පවත්වා ගැනීමට මෙය ප්‍රමානවත් නොවේ.

විශ්ව විද්‍යාල සිසුන්ගෙන් අතිමහත් බහුතරය, පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකින් සහ ජාමූඅ හි දැඩි පියවරවලින් බලපෑමට ලක් වූ දරිද්‍රතාවයෙන් පෙලෙන පවුල්වල අය වෙති. ආන්ඩුවේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන මහපොල ශිෂ්‍යත්ව ආධාර ක්‍රමය යටතේ සිසුන්ට ලැබෙන සොච්චම් මුදල දෛනික වියදම් සඳහාවත් ප්‍රමානවත් නොවේ.

බොහෝ සිසුන් අර්ධකාලීන රැකියාවන්ට යොමු වන්නේ ජීවත් වීමට පමනක් නොව, තම දුප්පත් දෙමාපියන්ට ද මුදල් යැවීමට ය. මෙම අර්ධ රැකියාවන් හේතුවෙන් වැදගත් දේශන අතපසු කිරීමට සිදු වීම ගැන ඔවුහු මැසිවිලි නඟති. විශ්වවිද්‍යාල ප්‍රශ්න වැඩි කරමින්, ආර්ථික දුෂ්කරතාවලින් බේරීම සඳහා විශේෂ කථිකාචාර්යවරුන් ඇතුලු ගුරුවරුන් 1000 ක් පමන පිරිසක් රට හැර ගොස් සිටිති.

මෙම නොඉවසිය හැකි තත්ත්වයන් සිසුන් අතර නොසන්සුන්තාව උත්සන්න කර ඇත. සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) පොලිස් මර්දනය හෙලා දකී. කම්කරු පන්තිය සිසුන්ගේ ආරක්ෂාවට පැමිනිය යුතු අතර නිදහස් රාජ්‍ය අධ්‍යාපනය ආරක්ෂා කිරීමට සටන් කල යුතුය.

2024 මාර්තු 6 වන දින කොලඹ විරෝධතාවට එල්ල වූ පොලිස් ප්‍රහාරයේදී සිසුන් බිම ඇද වැටී සිටි අයුරු [ඡායාරූපය: ෆේස්බුක් අවිශිබම] [Photo: Facebook IUSF]


පසුගිය දෙවසර තුල පොලිසිය ශිෂ්‍ය විරෝධතාවලට අඛන්ඩව පහර දී ඇත. මෙය කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන්ට එරෙහි ප්‍රහාරයේ කොටසකි. මෙම ප්‍රහාරවල තියුනුම ප්‍රකාශනයක් වන්නේ ලංකා විදුලි බල මන්ඩලයේ (ලංවිම) කම්කරුවන් දඩයම් කිරීමයි. ලංවිම පෞද්ගලීකරනයට විරෝධය පල කරමින් කුරිරු අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ රෙගුලාසි උල්ලංඝනය කල සේවකයන් 66 දෙනෙකුට දඩුවම් දීමට සූදානම් ය.

අධ්‍යාපනයට හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාරයට එරෙහිව සටන් කිරීම සඳහා ශක්‍ය වැඩපිලිවෙලක් සහ ඉදිරිදර්ශනයක් සිසුන් සොයා ගත යුතු බව සසජාතශි අවධාරනය කරයි.

පසුගිය සතියේ විරෝධතා සංවිධානය කරන ලද්දේ ප්‍රතිවාදී කන්ඩායම් දෙකක් විසිනි. බදාදා (06) විරෝධතාව අවිශිබම විසින් කැඳවනු ලැබූ අතර, විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සහය දක්වන තවත් ශිෂ්‍ය කන්ඩායමක් පෙර දින පෙලපාලිය කැඳවා තිබුනි. ගරිල්ලාවාදය දේශනා කරන රැඩිකල් සිංහල ජනතාවාදී පක්ෂයක් ලෙස ආරම්භ වූ ජවිපෙ, පසුගිය දශක තුන තුල කොලඹ දේශපාලන සංස්ථාපිතයේ පාර්ලිමේන්තු පක්ෂයක් බවට පරිවර්තනය වී ඇත.

අවිශිබම කලින් ජවිපෙ විසින් පාලනය කරන ලද නමුත්, 2012 දී ජවිපෙ විසම්මුතික කන්ඩායමක් විසින් පිහිටුවන ලද ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වෙත සිය පක්ෂපාතීත්වය මාරු කරන ලදී. එතැන් පටන්, පෙර ජවිපෙ කලාක් මෙන්, පෙසප අවිශිබම නිලධාරිවාදී ලෙස පාලනය කර ඇත.

එහි කැඳවුම්කරු චන්ද්‍රජිත් ඇතුලු අවිශිබම නායකයෝ මේ වන විට, ආන්ඩුවට පීඩනය යෙදීමේ නාමයෙන් ප්‍රතිගාමී සන්ධානයක් පිහිටුවීමට ජවිපෙ සහ සමගි ජන බලවේගය ඇතුලු විරුද්ධ දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති නායකයන් සමඟ සාකච්ඡා කරමින් සිටිති.

වික්‍රමසිංහ ආන්ඩුවට බලපෑම් කිරීමෙන්, සිසුන්ට සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි එහි ප්‍රහාර පසුපසට තල්ලු කල හැකිය යන මිථ්‍යාව අවිශිබම තොරොම්බල් කරයි. අනුප්‍රාප්තික පාලන තන්ත්‍ර විසින් නිදහස් මහජන අධ්‍යාපනයට එරෙහි ප්‍රහාරය තව තවත් ගැඹුරු කර ඇති හෙයින්, අවිශිබමයේ දශක ගනනාවක දීර්ඝ විරෝධතා ක්‍රියා, ශිෂ්‍යයන්ට ආවෘත අන්තයක් වී ඇත.

බ්‍රහස්පතින්දා ඇප ලැබීමෙන් පසු, චන්ද්‍රජිත් මාධ්‍යයට කතා කරමින්, ඔහුගේ කන්ඩායමේ මන්ත්‍රය පුනරුච්චාරනය කලේය: “අපි මේවා [ප්‍රශ්න] මහ පාරෙදි විසඳා ගත යුතුයි.” එනම් වික්‍රමසිංහ තනත්‍රයේ ගමන් මග වෙනස් කිරීම වෙනුවෙන් සිසුන්ගේ කෝපය අපසරනය කිරීම සඳහා තවත් විරෝධතා සංවිධානය කිරීමයි.

අවිශිබමයේ පාලනය යලි අත්පත් කර ගැනීමට උත්සාහ කිරීමෙන් පසු ජවිපෙට කොලඹ විශ්ව විද්‍යාලය ඇතුලු සමහර ශිෂ්‍ය සංගම් තුල බලපෑමක් ඇත. ඔක්තෝබර් මැද භාගයට පෙර පැවැත්වීමට නියමිත ජනාධිපතිවරනයෙන් එහි මැතිවරන පෙරමුන වන ජාතික ජන බලවේගයේ (ජාජබ) අපේක්ෂකයා ජයග්‍රහනය කල පසු සිසුන් ඇතුලු ජනතාව මුහුන දෙන සියලු සමාජ ගැටලු විසඳෙනු ඇතැයි එය අවධාරනය කරයි. ජවිපෙ ප්‍රමුඛ වෘත්තීය සමිති ද කම්කරුවන්ගේ අරගල අවහිර කරමින් එම මිත්‍යාවම ප්‍රචාරය කරයි.

මෙය, මහජන විරුද්ධත්වය පාර්ලිමේන්තු මිත්‍යාවන් වෙතට හරවා කම්කරුවන්ගේ, දුගීන්ගේ හා තරුනයන්ගේ ඡන්ද ලබා ගැනීමේ නිර්ලජ්ජිත වෑයමකි. ජවිපෙ/ජාජබ ඒකාබද්ධව ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට සහ අධ්‍යාපනය පුද්ගලීකරනයට මුලුමනින්ම කැපවී සිටී.

ආන්ඩුවේ ප්‍රහාර වලට සිසුන්ගේ සැබෑ විරෝධයක් ඇතත්, ඔවුන්ට ජවිපෙ මැතිවරන දේශපාලනය හෝ පෙසප විරෝධතා දේශපාලනය සමග ඉදිරියට යා නොහැක. එය, අධ්‍යාපනයට ධනේශ්වරයෙන් එල්ලවන ප්‍රහාරය හෝ මිනිසුන් මුහුන දෙන දුක්ඛිත තත්ත්වය වෙනස් නොකරනු ඇත.

මෙම ප්‍රහාර, ගෝලීය කොවිඩ්-19 වසංගතය, යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය සහ එක්සත් ජනපදයේ සහ අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහාය ඇතිව ගාසා තීරය තුල ඊශ්‍රායල පාලන තන්ත්‍රයේ ජන සංහාරය මගින් උත්සන්න වූ ශ්‍රී ලංකාවේ ගැඹුරු ආර්ථික අර්බුදයේ නිෂ්පාදනයකි. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඉන්දියාව ඇතුලු බොහෝ රටවල ගුරුවරු සහ ශිෂ්‍යයෝ, ධනේශ්වර ප්‍රහාරවල පලමු ගොදුරක් බවට පත්ව ඇති අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීමේ අරගලවල නිරතව සිටිති.

ධනේශ්වර රාමුව තුල කම්කරුවන්ට සහ දුප්පතුන්ට විසඳුම් නැත. අර්බුදකාරී ධනේශ්වර ක්‍රමය පෙරලා දැමීමේ සහ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාරය අවසන් කිරීමේ විප්ලවවාදී කර්තව්‍යය ඉටු කිරීමට නායකත්වය සැපයිය හැක්කේ කම්කරු පන්තියට පමනි.

කම්කරු පන්තිය වෙත හැරී සියලු ධනේශ්වර පක්ෂ, ධනේශ්වර ගැති වෘත්තීය සමිති සහ ව්‍යාජ වාම උගුල් වලින් සිය දේශපාලන ස්වාධීනත්වය ස්ථාපිත කිරීමට සටන් කරන ලෙස සසජාතශි සිසුන්ගෙන් ඉල්ලා සිටී. මෙම අරගලය ගෙන යාමට ඔබගේ විශ්ව විද්‍යාල තුල සසජාතශි ශාඛා ගොඩනගන්න.

Loading